ඉමම්බරා වංගගිරියේ අතරමංව…!!!


සති තුනක් ගතවුණා….!!!

අපි මොන තරං ලක්නව්වල කොටසක් වෙලා හිටියද කියනව නං පාන්දර සීතලට ඝන පොරෝණාවත් ඇඟ වටේට දාගෙන උණු උණූ තේ එකත් අරං බුද්ධ විහාරෙ උඩ වහල් තලයට නගින එක අපේ පුරුද්දක් වුණා.. සීතල සුළඟ අපිව පිලිගන්ඩ ඇවිත් ඇඟ දැවටෙද්දි අර තේ එක බැම්ම උඩ තියල අත් පපුව හරහා බැඳගෙන අපි ඈත ලක්නව් නගරය දිහා බලන් ඉන්නව…

තාමත් නගරයෙන් වැඩි ප්‍රමාණයක් මීදුමෙන් වැහිච්ච හන්ද ඒ දිහා බලන් ඉන්නකොට හිතට පාලුවක් උණන්ඩ පටන් ගන්නව.. එතකොට කරන්ඩ ඕනේ අර උණු තේ එකෙන් උගුරු දෙක තුනක් බීල දාන එකයි….
බොහොමයක් ඉන්දියානු ගෙවල්වල වහල වෙනුවට තියෙන්නෙ ගඩොලක් හෝ දෙකක්, සමහර විට ඊටත් වැඩි උසක් නග්ගපු බැම්මක් සහිත කොන්ක්‍රීට් තට්ටුවක්..
මේක නිවසේ බහුකාර්ය මහලක්!!!
ග්‍රීෂ්ම කාලෙට දවල් කාලෙදි මේ තට්ටුවට වතුර දාල සිසිල් වෙන්ඩ තියල, රෑට පවුලෙ සියලු දෙනා නිදාගන්නෙ මේ වහල් තලයෙ
ඒ විතරක් නෙවෙයි ගෙවල් වල ඉන්න බවලත්තුන්ගෙ සංගම් රැස්වෙන්නෙත් මේ වහල්තලවල.. එකිනෙක ගෑවෙන නොගෑවෙන ගානෙ තියෙන නිසා තම තමන්ගෙ ගෙවල්වල වහල් තලවල ඉඳල මේ සංගම්වලට සහභාගි වෙන්නත් පුලුවන්…ලොකුම විනෝදය තමයි පුංචි එවුන්ගෙ සරුංගල් යැවිල්ල.. අපි තේ එකත් අරන් රෙදි පොරවන් වහලෙට එන ටිකටත් සරුංගල් අරන් පොඩි එවුන් වහල උඩ…

ඔහොම කුසීතකමෙන් ඉඳල ටිකකින් අපි එළියට බහින්නෙ සන්නාහ සන්නද්ධව.. ඒ කියන්නෙ සීතලට ඔරොත්තු දෙන්ඩ ඕනෙ කරන ප්‍රමාණයට කබායක් එහෙම ඇඳල
සමහර දවසට ඉර පේන්ඩවත් නෑ… සීතල විතරයි… පාරෙ ඇවිදිනකොට හුළඟට ඇවිස්සෙන දූවිල්ලෙන් බේරෙනව බොරු….

එදා අපි ටෙම්පෝවෙන් බහිද්දිත් මීදුම එහෙමමයි …කෛසර්භාග්වලින් හුසේනා බාද් පැත්තට අපි තුන්දෙනා ආවෙ බාරා ඉමම්බරා සංකීර්ණය බලන්ඩයි…
මේ ගොඩනැගිලි කීපය බලන්ඩ අපි දෙන්න හිටියෙ එක්තරා ආකාරයක උමතුවක… අම්ම අපි දෙන්න පොඩි කාලෙ එයාගෙ ඉන්දියානු සංචාර ගැන කියද්දි මේ ගොඩනැගිලි ගැන කියනකොට අපි දෙන්න ඒව හිතේ මවාගත්ත… පස්සෙ කාලෙක මෝගල් යුගය ගැන ඉගෙන ගනිද්දි, හින්දි චිත්‍රපටවල දර්ශනවලදි දැකපු ගොඩනැගිලි ඇසුරින් ඒ ගැන මනසේ වඩා පැහැදිලි සිතුවමක් ඇඳගන්ඩ පුලුවන් වුණත් අපි හිටියෙ සියැසින් දකින උමතුවක

ඉන්දියාවේ විශේෂත්වයක් තමයි ඇතුල් වෙන බොහෝ තැන්වල ලොකු කුඩා දොරටු!! ඒ දොරටු හරහා මාර්ග දිවෙනව…..
බාරා ඉමම්බරා සංකීර්ණය අසලත් ඊට අයත් විශේෂ දොරටුවක් තිබුණ…

ඒ අසලපිට පාට වීදුරු කරාඹූ, වීදුරු වළලු, සතුන්ගෙ අස්ථී කොටස්වලින් හදාපු ලස්සන ආභරණ ආදී නානාප්‍රකාර තොරොම්බල් විකුණන වෙළෙන්දො… සමෝසා පකෝරා බදින තලුලු කරන කඩ,

අපූරු කුඩුම්බි සහිත දොරටුව යටින් ඇවිල්ල දෙපස මල් වැටකින් අලංකාරවත් වෙච්ච තනි කෙලින් මාර්ගය දිගේ ගියාම ඒ කෙළවර හමු වන්නෙ මහා විසාල ගොඩනැගිල්ලක්!! බැලූ බැල්මට පේන්නෙ තට්ටු දෙකයි….

ඊට දකුණු පසින් අලංකාර පල්ලියක්!! මම කලිනුත් සඳහන්කළා වගේ මෝගල් යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අයත් මේ හැම ගොඩනැගිල්ලක්ම අලංකාර කැටයම්වලින් සමන්විතයි…

වරුවක් බලන් ඉන්ඩ පුලුවන් තරම්!!!

අපි ප්‍රවේශපත් කවුලුවෙන් විදේශිකයන්ට අදාල ප්‍රවේශපත් අරගෙන හැරෙද්දි තලප්පාවක් බැඳගත්ත තලත්තෑනි, හීන්දෑරි මනුස්සයෙක් අපි ලඟ…
නමස්තේ!!මගේ නම අසීම් ඛාන්. මේ ගොඩනැගිල්ලේ තිබෙන යම් යම් ගෘහ නිර්මාණ ලක්ෂණ නිසා විදේශිකයන් වුණු ඔබලාට තනිව ඇවිද නැරඹීම තරමක් අපහසුයි….ඒ නිසා මට ඔබලාට මගේ සහය ලබා දෙන්ඩ ඉඩ දෙන්ඩ!!…
හොඳයි අපිට උදව් වෙන්ඩ….

ඇයි අපිට තනියම බලන්ඩ අමාරුයි කිව්වෙ??.
හැමදාමත් වගේ ඇයි එහෙම වෙන්නෙ කියල අහන්නෙ නැතුව දෙයක් පිළිගන්ඩ මැලි වෙන මගෙ ප්‍රශ්ණකාර හිත එළියට පැන්න….
බලන්ඩ මේ ගොඩනැගිල්ල දිහා… මේකෙ බැලු බැල්මට තියෙන්නෙ මහල් දෙකයි නේද??
ඒත් ඇත්තටම බැලුවොත් මේකෙ ඒ මහල් දෙක අතරෙ තව රහස් මහලක් තියෙනව…. ඒකට අපි කියන්නෙ භූල්භුලෙයියා.

හින්දි බසින් භූල්භුලෙයියා කියන්නෙ පැටලිලි සහගත වංගගිරියක්, එහෙමත් නැත්තං සිත කලබල කරවන සුලු යමකටයි…
පුංචි කාලෙ අම්ම කියල දුන්න වෙස්සන්තර රජ්ජුරුවොන්ගෙ කතාවෙ වංගගිරියක් ගැන අහල තිබුණට මොකක්ද මේ ඉමම්බරාව ඇතුළෙ තියෙන වංගගිරිය?? අපි පුදුම වුණා!!
අසීම් ඒ ගැන විස්තර කළා…

මේක ඇත්තටම ගත්තොත් උගුලක් වශයෙන් හදපු උමගක්… මේක තරණය කරන්නෙ නැතුව මතු මහලට යන්ඩ බෑ කිසිම කෙනෙක්ට…. මේකෙ තියෙන විශේෂත්වය තමයි උමග තැන් තැන්වලින් තුන් පැත්තකට බෙදෙනව… දෙපැත්තක් වැරදියි… එක පැත්තකිනුයි උමගෙ ඉදිරියට යන්ඩ පුලුවන්!!!

මල්ලියි මමයි අසීම් ගෙ විස්තරේ අහන් ඉන්න අතරෙ දන්නෙම නෑ කටවලුත් ඇරිල!!!

මේ ගොඩනැගිල්ලට ලේසියෙන් සතුරෙක්ට ඇතුල් වෙන්ඩ බැරි විදියටයි හදල තියෙන්නෙ….ඔන්න මේ පඩි පෙළ නැගල අපි ඇතුල් වෙන්නෙ භූල්භුලෙයියාවට…මේ භූල්භුලෙයියාව තරණය කලොත් විතරයි මතු මහලෙ තියෙන මලුවට යන්ඩ පුලුවන් වෙන්නෙ… ඈත ඉඳල ගොඩනැගිල්ල දිහා බලද්දි අපිට පෙනුන අලංකාර ආරුක්කු සහිත තාප්පයකින් වටවුණු මේ මලුවට යන පාර හොයා ගන්ඩයි අපි දැන් යන්නෙ…
ප්‍රධාන ශාලාවෙන් ඇතුල් වෙලා එක තැනකින් උඩට නගින පඩි පළ ලඟ නතර වුණ අසීම් එහෙම කිව්ව

මනුස්සයෙක්ට නැවෙන්නෙ නැතුව ඇවිදගෙන යන්ඩ පුලුවන් තරම් උස උමගකට අපි ඇතුල් වෙමින් හිටිය…. උමගක් කිව්වට මේකට වාතය ඇතුල් වෙන්ඩ ආරුක්කු හැඩයෙ කවුලු හදල තිබුණ… ඒවගෙන් එළිය බැලුවාම පහල අලංකාරව සකසල තියෙන අංගනය හොඳින් පේනව….

හා අපි සෙල්ලමක් කරමු… පළවෙනි තුන්මං හන්දියෙ නතරවුණ අසීම් කිව්ව…
මං කිව්වනෙ… මෙහෙම තුන් පැත්තකට බෙදුනට මේ පාරවල් දෙකක් වැරදියි… එකයි හරි.. මං මෙතනින් හරි පාර පෙන්නනව… ඊලඟ එකේ ඉඳල ඔයාල හරි පාර හොයන් යන්ඩ ඕනෙ… හරිද?? ලෑස්තිද??

අසීම්ගෙ කට හඬට ක්‍රීඩාශීලී ගතියක් එක් වෙලා.. අපිට බෑ කියන්ඩ බැරි තැනකට අරන් ඇවිල්ල තිබුණ….
අපි අභියෝගය බාර ගත්ත..

ඊලඟට හමුවුණ තුන්මං හන්දියෙදි මල්ලි එක පාරක් තෝරගත්ත!!!
ඒක හරි පාර!!!
ඒක අපුරු වැඩක්!!!
ජිවිතේ අනිත් දේවල්වලදි වගේම තමයිමෙතෙන්දිත්
අපි හරිපාර තෝරගත්ත කියල දැනෙනකොට හිතට සතුට ගලාගෙන එන්නෙ හරියට උල්පතකින් වතුර ගලනව වගේ

ඊලඟ තුන්මං හන්දිය!!

හා හා …. නවතින්ඩ!!!

ඒ වෙලාවෙ මං තෝරපු පාර දිගේ අඩි දෙකක් යද්දි අසීම් කෑ ගැහුව
අපි පුදුමෙන් ආපහු හැරුණ….

බලන්ඩ හෙමින් සැරේ… තව අඩියක් දෙකක් තියල… ඔය පාරෙ ගිය වේගෙන් ගියානං කොහෙටද වැටෙන්නෙ කියල ඔයාලව…
ඇත්ත තමයි!! ඒ මාර්ගය කෙළවර වුණේ යන මිනිහෙක්ට එල්ලෙන්ඩ කිසිදු ආධාරකයක් නැතිව කෙලින්ම භූල්භුලෙයියාවෙ ඉඳල පල්ලෙහා ශාලාවට වැටෙන්ඩ හදපු උගුලකින්!!

අසීම් අපි එක්ක ආවෙ මොකක් හරි හොඳ වෙලාවකට වෙන්ඩ ඇති අපේ!!!
බයක් හිතට දැණුන…
ඒක ජීවිතේ සමහර දේවල්වලදි අපි ගත්තු තීරණ වැරදුණාම දැණෙන බයමයි!!

මේක ඇතුළෙ සමහර තැන්වලින් වැරදුණාම අතරමං වෙනව මේක ඇතුලෙ… තව සමහර තැන්වලින් මේ වගේ බිමට වැටෙනව… තව තැන්වලින් ගියාම ආයෙමත් ගිහින් ගිහින් ගිහින් ගිහින් ආයෙ එන්නෙ අපි හිටපු තැනටමයි!!
අසීම් හඬ අවදි කළා

ඊලඟ තුන්මං හන්දියෙදි අම්මගේ වාරය ආවාම ඈ නැවත හරි පාර තෝරාගත්ත!!
අර වෙලාවෙ හිතට දැණුනු බය තුනී කරන්ඩ ඒක හේතු වුනා…

වැරදිලා හරි ගිහිල්ල ආයෙ වැරදිලා ආයෙමත් හරි ගිහිල්ල අපි ආවෙ එක විවෘත අවකාශයකට… එතන හරියට උඩ ඉඳල පහල ශාලාවෙ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්ඩ හදපු තැනක් වගේ…

විකිපීඩියාවෙ ඉමම්බරා ගැන සඳහන් වෙන පිටුව දක්වන ආකාරයට මේ ගොඩනැගිලි හැදුවෙ වර්ෂ එක්දහස් හත්සිය අසූ ගණන්වල ලක්නව් හි නවාබ් වරයා වුණු අසීෆ් උද් දෟලා විසින්. මේක ආගමික කටයුත්තක් වෙනුවෙන් හදපු ප්‍රාසාදයක් බවයි වැඩි දුර කරුණු හෙව්වාම දැනගන්ඩ ලැබුණෙ.

භූල්භුලෙයියාව තරණය කරල මේ විවෘත අවකාශයට ආවාම ශාලාවෙ එහා පැත්තෙත් ඒ වගේ ම කොටසක් තියෙන බව පේනව.

හිසේ රතු පැහැයත් රන් පැහැයත් මුසු තලප්පාවක් බැඳගත්, මුව ට උඩින් කරකවා හැඩ කළ රැවුලක් ඇති, ඇත් දළ පැහැ ඇඳුමකින් සැරසිලා ආභරණ පැලඳගෙන පවුරට අත් තබා ශාලාව දෙසට එබී සිටින නවාබ් වරයෙක් මගෙ හිතේ මැවුණෙ කොහොමද??

අපි කියවන පොත් පත්වල, අහන කතන්දරවල චරිත අපේ හිතෙ ඇඳිල හැංගිලා ඉඳල එළියට පනින්නෙ වෙලාව ආවම හරියට ගැලපෙනම තැන්වලින්!!

අපි යමු… රහස් අහන තැනට…. අසීම් අපේ දැහැණ බින්දා

මොන තැනට??

එන්ඩකො… මෙන්න… ඔයා මේ බිත්තියට කණ තියාගන්ඩ….

අසීම් මට එක බිත්තියක් පෙන්නුව… ඒක තරමක් වටකුරු හැඩයෙන් යුක්ත කාමරයක පිට බිත්තියක් කියල බැලූ බැල්මට පෙණුන….

දැන් ඔයා එන්ඩ… අපි යන්නෙ මෙතනින් බිත්ති තුනක් විතර එහා තැනකටයි
එතෙන්ට ගිහිල්ල මම කිව්වාම ඔයා ඔතන ඉඳල රහසෙන් කතා කරන්ඩ….අසීම් මල්ලිට කියනව මට ඇහුණ

හරි ඔයා කතා කරන්ඩ… අසීම් නැවත මං හිටි තැනට ඇවිල්ල මල්ලිට ඇහන්ඩ කියල

මට කිව්ව කණ තියාගන්ඩ කියල බිත්තියට…

අක්කේ…..!!! අක්කේ…..!!

මල්ලි බිත්ති ගණනාවකට එහෙ ඉඳල රහසින් කතා කරන දේත් මට බිත්තිය ඇතුලෙන් බොහොම පැහැදිලිව ඇහුණෙ කොහොමද??
ඒක නං හාස්කමක්!!!

අසීම් දැනගෙන හිටියෙ නෑ ඒක තාක්ෂණිකව විස්තර කරන්ඩ… ඒත් අපි දෙන්න හිතුවෙ ඒ බිත්ති හදල තියෙන අමුද්‍රව්‍යවල සහ ඒව පිහිටල තියෙන ආකාරය නිසා ඇතිවන මොකක් හරි ක්‍රියාවලියක් නිසා ඒ විදියට ඇහෙනව ඇති කියලයි..

අසීම් කිව්ව විදියට ඒක ඉබේ හැදුන එකක් නෙවෙයි….. එම ස්ථානයෙ සිද්ධ වෙන කතා බහට රහසේ සවන්දීමට හැකි වන පරිදි හිතාමතාම හදල….

නැවතත් භූල්භුලෙයියාවට ඇතුල් වෙලා අපි මතු මහලට යන මාවත හොයා ගැනීමේ මෙහෙයුම දියත් කළා..

ජීවිතේ පවා ඇතැම් භයංකර කඩාවැටීම්වලට මුහුණ දීල යන හසර හොයාගන්ඩ බැරිවුනාම අපි අඳුනන නාඳුනනකම් බලන්නෙ නෑනෙ…….
අඩු ගානෙ අපි කියන දේවල් අහගෙන, උපදෙසක් නැතත් තනියට අපිත් එක්ක එකට යන්ඩ පුලුවන් කෙනෙක් ඕනෙ වෙනවනෙ….. ඒ ශක්තිය තියෙන තාක්, ඒ ගැන අපි විශ්වාසය තබන තාක් ඉදිරියට යන්ඩ බයක් දැනෙන්නෙ නෑ…

සුලු කාලයකට වුණත් අපි අසීම් ගැන තැබුව විශ්වාසයත් ඒකමයි!!

කතාවෙන් කතාවෙන් අපි දන්නෙම නැතුව උඩු මහල් තලාවට ඇවිල්ල තිබුණ….!!

අම්මත් මල්ලිත් ආරුක්කු කවුලු අතරින් පේන ලක්නව් නගරයෙ සිරි නරඹද්දි , අපිව එක්කන් ආව අපේ ගමන් සගයා අසීම් කණුවකට පිට දීල ඇණ තියාන, හිසේ තලප්පාව මදකට ලිහිල් කරල සාක්කුවෙන් පුවක් කෑල්ලක් අරන් කටට දාගෙන හපන ගමන් දිග හුස්මක් හෙලනව මං දැක්ක

සමාවෙන්ඩ, මේ ගොඩනැගිල්ල ගැන විකිපීඩියා සටහන පඩි සහිත ලිඳක් ගැන විස්තර කරනව වුණත් මට ඒක මතකෙට එන්නෙම නෑනෙ…‍
චාරිකාවට අවුරුදු ගණනාවක් ගත වෙලා මෙහෙම හරි මතක තියෙන එක ලොකු දෙයක් වුණාට….හදිසියේ ඒ වගේ පොඩි රසබර කෑල්ලක් මතකයෙන් ගිලිහිලා කියල දැනගත්තම දැනෙන දුකත් හරියට මුලු කතා වම අමතක වෙලා නං ඇතිවෙන දුකට සමානයි!!
අතුරු කතාවක් මතක් වුණා….
ඒකත් මේ ඉක්මණින්ම ලියන්ඩ ඕනෙ…

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා, මට හිතෙන හැටි. Bookmark the permalink.

13 Responses to ඉමම්බරා වංගගිරියේ අතරමංව…!!!

  1. මුදියන්සේ පවසයි:

    ලංකාවේ ඔහොම තැනක් තිබ්බා නම් ඉස්සරලාම කරන්නේහරි පාර පෙන්නලා ඊතල් ටිකක් ගහනවා, ඒකරලා අර වැටෙන්න්ට් තිබ්බ තැන්වල කොන්ක්‍රීට් දාල වහනවා

    🙂

    ඔබගේ විස්තර කිරීම ඉත් මනරම්

  2. නිරෝෂා පවසයි:

    හ්ම්… අතුරු කතාවක් කියන්නකෝ බලන්න…
    හැමදාමත් වගේ හැල්මේ කියෙව්වා.

  3. Nish පවසයි:

    පෝස්ට් දෙකක්ම මග හැරිලා……

    අර රිද්මය ආපහු තියනව ජනූ….

    තව ගොඩක් දේවල් හිතට ආවා කියන්න
    එවුවා මන් කිවුවා කියල හිතා ගන්ටකෝ..

  4. Ravi පවසයි:

    අඩේ බං ඉතිං ඒක මාර වැඩක්නෙ…..බොලාට ටිකට් දෙනකොටවත් අනතුරු ඇඟවීමක් කලේ නැද්ද මෙහෙම අතරමං වෙලා වැටිල බෙල්ල කැඩිල යන්ට පුළුවන්ය කියල?

    සමහර විට එහෙම වැටිල බෙලි කැඩිච්චි එවුං ඒක ඇතුලෙම වල දානව ඇති අර නවාබ් ගොයියගෙ වල කිට්ටුවම…..

    අනික් කතාව මේකයි…….. අනේ බාං උඹටත් ඔය විකිපීඩියාවෙ තියෙන පට්ට බොරු විස්වාසයිනෙ…එව්ව විස්සාස කොරන්ට එපල්ල…ඔය ඉමම්බරා මාළිගාව හැදුවෙ උදුම්බරා කුමාරිගෙ සුපෙම්බරා වන කොසොල් රජ්ජුරුවො පරම්පරා ගානක් පවතින්ට 🙂 🙂

    දන්නවද වංක ගිරියක යද්දි අතරමං නොවෙන්ට නොවරදින ක්‍රමේ?…පස්සෙං පස්සට යන්ට ඕන…ඒත් එක්කම අඩි සීයකිං සීයකිං විතර නැවතිල දෙකට නැමිල කකුල් දෙක අස්සෙං ඔළුව දාල තමන් ආපු පාර දිහා බලන්ටත් ඕන..එහෙම කලානං බඩු බනිස් තමයි…ආයෙ අතරමං වෙන්නෙ නං නෑ ජීවිතේට…ඊලඟ පාර ඉමම්බරා ගිහාම ඔය අසීම්ලට නිස්කාරනේ සල්ලි දෙන්ට ඕන නෑ.ඔන්න ඔය විදිහට කරල බලාපං….අද්දුටුවයි..සත්තයි..හරි නොගියොත් මුදල් ආපසු…හෙහ්, හෙහ්,

    • tg පවසයි:

      මේ රවියා මගේ බලාපොරොත්තු සුන් කොලා .අනේ අම්මපා මම ඕක බලන්න බරණැස යන්නම නෙව හිටියේ 🙂

      • Ravi පවසයි:

        ඔන්න බලාපල්ලකො ඒ පාර කියන එක…මම කොහොමෙයි බොල උඹේ බලාපොරොත්තු සුං කලේ?

        අනික් කාරණේ ආය බරණැසටම යන්ට ඕනය ටී. ජී., දෙකට නැවිල කකුල් දෙක අස්සෙං බලන්ට?….කොහේ ගියත් Same pair of legs නෙව…ඔන්න ඔය ඉන්න තැනම ඉඳල කරල බලාපංකො මොකද වෙන්නෙ බලන්ටත් එක්කලා…

      • tg පවසයි:

        බොලා ඉතින් කිව්වොත් කට කැඩිච්චි කතාවක්ම තමා 🙂
        මම මේ කල්පනාකොලේ සමහර තැන් බලන්න ගියාම ගයිඩ් ල එපා කියලා හිතුමතේ යන එක ඒ තරම් හොඳ දෙයක් නෙවේ බැලුවම .බෙල්ල කඩාගන්න වෙන වැඩක්.
        අර මහිලා සමිති තියෙන ගෙවල් වල අහස් උයන් ගැන කිව්ව කතාවට තමයි මම ආසා .කොහොමට ඇත්ද චායේ බිබී ඕප දූප කියෝ කියෝ හිනාවෙන වර්ණවත් සාරි ඇඳපු ඉන්දියානු ගෑනු මට මැවිලා පේනවා .

  5. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අසීම්ව මගේ හිතේ මැවුනේ නිකං කතන්දරේක ඉන්න චරිතයක් වගේනේ. 😀

    මෙහෙම වංකගිරියක් හැබෑවටම තියෙන තැනක් ගැන මේ ඇහැව්වමයි අක්කේ. ඔයා හරි අපූරුවට ඔයගොල්ලන්ගේ අත්දැකීම් විස්තර කරලා තියෙනවා හැමදාමත් වගේ.

  6. praveena පවසයි:

    භූල්භුලෙය්යා ෆිල්ම් එක මතක් උනා… 🙂

    තාම ඔයාගේ අලුත් පෝස්ට් බ්ලොග් රෝලේ පේන්නේ නෑ ජනූ. අනේ කවුරු හරි මේක හදලා දෙන්ටකෝ.
    බූරෝ, ඩූඩ් පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්ට. ගොඩක් අයට මේ ලස්සන පෝස්ට් මග ඇරෙයි. අපරාදේ…. 😦

  7. henryblogwalker the Dude පවසයි:

    හරි පාර ‍තෝරගන්න මල්ලි දක්ෂයා බව මම බො‍රැල්ලෙ උමං මාර්ගයෙන්ම දැනගත්තා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  8. Buratheno පවසයි:

    අඩෝ! මේකේ ෆීඩ්ස් හදපිය ඩෝ! මට දවස් දෙකකින් මේ පැත්තෙ එන්ට බැරිවුනා, අද ඇවිත් බලනකොට දවස් දෙකකට කලින් පෝස්ට් එකක් දාලා.. Grrr…. 😥

  9. Lucky Wickramasinghe පවසයි:

    මෙහෙන් මෙයා ලියන විස්තර… ඒ මදිවට අරහෙ ගාමිණී ගෙ විජිතයේ විස්තර… දැන් නම් ඉතින් මළොත් කෙලින්ම උපදින්නෙ ඉන්දියාවෙ තමයි අක්කෙ. මොකද චුති චිත්තයත් ඉන්දියාවෙ පහළ වෙන විදිහක් තමයි තියෙන්නෙ…. 😀
    ඉරිසියයි හොඳේ! 😉

  10. මධුරංග පවසයි:

    බූල්බුලයියා කිව්වම මට මතක් වෙන්නෙම අර චිත්තර පටිය.
    ජනූ අක්කට හොඳට කතා ලියන්ඩ පුලුවන් නෙව. මේ කතා සෙට් එකම පොතකට ගැහුවා නම් අගේ ඇති පොතක් හැදුවෑකි. 🙂

    දැන් ඉතින් මනෙකා ඇවිත් මාව කාහන් 🙂
    (විහිළු හොඳේ)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )