පෙම් පුරාවතක්…!!!

ජනනි දීදී වැඩක්ද??
මල්ලි විද්‍යාපීඨයට පුහුණුවීම් සඳහා ගිය දවසක නිදැල්ලේ කළ පාද සංචාරෙකින් පස්සෙ කාමරේට වැදුණු අම්මයි මමයි සංගමිත්‍රා එද්දි හිටියෙ සඳලුතලේට වෙලා අපි ලංකාවෙන් අරන් ආව තේකොළවලින් හදාපු රස තේ කෝප්පයක් බොන ගමන්!!!
ඇයි නංගි??
මහන්සි නැත්තං එන්නකො…බඩේ බන්තේ ජී ගෙ උපන්දිනේට අපි අද පන්සලේ පූජාවක් කරනව… මල් මාල ටිකක් අමුණගන්ඩ ඕනෙ..
යමු යමු!!
මගේ මහන්සිය කොහෙන් ගියාද නෑ!!!
සංගමිත්‍රා….
බටර් වාගෙ හමක් තිබුණු, ලස්සන කලු ඇස්දෙකක් තිබුණු ඈ හරිම හුරුබුහුටි කෙල්ලෙක්…
කඩිසරයි, හරිම මිත්‍රශීලීයි…
ඈට තිබුනෙ ඇගෙ අම්ම ගෙ හැඩ නොවෙයි…. තාත්තගෙ හැඩ….
සුධා කියන්නෙ ඇගේ අක්ක… දිග ලස්සන කොණ්ඩයක් තිබුණ නීලු ඇගේ නංගි…තව පුංචිම පුංචි නංගි මුස්කාන්!
මේ සහෝදරියන් අතරින් වඩාම අපිත් එක්ක මිතුරු වුණේ සංගමිත්‍රායි….

මාත්එක්කයි මල්ලි එක්කයි විතරක් නෙවෙයි.. අපේ අම්ම එක්කත් ඈ මිතුරු වුණේ පුදුම ඉක්මණින්…
දීදී.. ඔයාට ලස්සන කඩහඬක් තියෙනව… දවසක් ලංකාවෙදි වගේ සින්දුවක් මුමුණමින් ඈ එක්ක කුස්සියෙ චපාති හදමින් ඉන්න වෙලාවක ඈ කිව්ව…
ලකී ෆිල්ම් එකේ මං ආසම සින්දුවක්!!
අනේ දීදී කියන්ඩකො.. ඔයා කියද්දි ඒක ලස්සනයි!!!

මෙන්න වැඩක්… මෙච්චර හින්දි චිත්‍රපට හදන, දක්ෂ ගායිකාවො ඉන්න රටේ සංගමිත්‍රාට ඇහෙන්ඩ සින්දු කියන්ඩ ලංකාවෙන්ම එන්ඩ වුණා මට…
මං ඈට විහිලු කළා….
ඉතින් ඈ අපේ ලඟම හිතවතියක් වගේ දැනෙන්ඩ මහ කාලයක් තියේ නෑ කියන එක පුදුමයක් නෙවෙයිනෙ
මට ආභරණ ගන්ඩ ඕනෙ කිව්වාම මාව අමීනාබාද්වල මහා විසාල ආභරණ කඩ පෙලකට ඇදන් ගියේ ඈ..
මෙහෙම එකටම කාලෙ ගත කරල අපි අතරෙ හින්දි ඉංග්‍රීසි මිශ්‍ර කලවම් භාෂාවක් ගොඩනැගිල තිබුණ…
දවසක් අපි දෙන්න කුස්සියෙ ඉන්නකොට සංගමිත්‍රා මගෙන් ඇහුව ප්‍රශ්නයකට මං දන්නෙම නැතුව සිංහලෙන් උත්තර දීල තිබුණ…
ඈ කට ඇරගෙන බලන් ඉන්න බව දැක්කම තමයි මට තේරුනේ මං ඈට කතා කරල තියෙන්නෙ සිංහලෙන් කියල මට තේරුණේ!!!

ඒ කියන්නෙ දීදීට මාව ඔයාගෙම නංගියෙක් වගේ කියන එකනෙ… නේද.. ඒකනෙ මං ඉන්දියාවෙ කියල අමතක වෙලා සිංහලෙන් මාත් එක්ක කතා කළේ!!
ඈ කිව්වම තමයි මටත් හිතුණෙ… මට මං ඉන්නෙ ඉන්දියාවෙ කියලත් මොහොතකට අමතක වෙලා නේද කියල
දීදී එන්නකො එන්නකො…. මට බඩුවක් කියන්ඩ තියෙනව… අපි පාක් යමුකො…
දවසක් ඈ කඩිමුඩියෙ දුවගෙන ඇවිදින් මට කරදර කළා
හ්ම් යමු… බෑයි කිව්වත් ගැලවිල්ලක් නෑ කියල දන්න නිසා මං අවනත වුණා
දීදී…..දීදීට කොල්ලෙක් ඉන්නවද??
ඈ ප්‍රශ්න අහන විවෘත ස්වභාවය මට හරි පුදුමයක් වුණා….
නෑනෙ…..
එතකොට ප්‍රමෝදිත් භයියට කෙල්ලෙක් ඉන්නවද??
ඈ ඇහුවම මට හිනා ගියා….
ඇයි මගෙ නෑන වෙලා අපේ ගෙදරවත් එන්ඩ හිතිලද??
මටත් ඇගෙන් එහෙම අහන්ඩ තරම් සෙල්ලක්කාර හිතක් පහල වුණා ඒකෙන්!!!
ඇගේ මුහුණ රතු වුණා…
අනේ යන්ඩ දීදී…. මං එහෙම හිතාගෙන ඇහුවද?? මං නිකමට ඇහුවෙ… එයාට කෙල්ලෙක් නොහිටියොත් නෙ පුදුමෙ….
ඉන්නව ඉන්නව….

මටත් එක්කෙනෙක් ඉන්නව දීදී….
ආ.. මේ ඒක කියන්ඩයි මට බඩුවක් කියන්ඩ තියෙනව කියල මාව පාක් එකට එක්ක ආවෙ නේද?
මට හිනා ගියා!!
මං තරහයි… දීදී මට හිනා වෙනව… කතාව කියන්ඩ දෙන්නෙ නැතුව….
හා හා.. කියන්ඩ….කියන්ඩ ඉතිං

මං අපි දෙන්න ඉඳගෙන හිටිය රිසාල්දාර් උද්‍යානයෙ සිමෙන්ති බංකුව උඩ හරි බරි ගැහිල එරමිණිය ගොතාගෙන ඉඳගත්තෙ ප්‍රේමකතාවක් අහන්ඩයි
එයා අස්මත්…..!කොලෙජ් එකේ මගේ පන්තියෙ ඉන්නෙ… මගේ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ
එයා හරිම හොඳයි දීදී… මට හරි ආදරෙයි!!

මදින් මද ඇගේ මුහුණ දීප්තිමත් වුණා
මුසල්මාන්?? නමෙන් ලැබුණු ඉඟිය නිසා මං ඇහුවෙ තහවුරු කරගන්ඩයි…සංගමිත්‍රා බෞද්ධ පවුලකින් එන යුවතියක්!!වෙන එකක් තියා පෙලපත් නාමය පවා බෞද්ධා!!
ඇගේ දිස්නෙ දෙමින් තිබුණ මූණට වැහි වලාකුලු පාවෙලා ආව!!
ඈ හිස වැනුවෙ ඔවු කියන්ඩයි…
මං දන්නව දීදී…
ආගම් අනුව බැලුවොත් අපි අතරෙ ගැලපීමක් නෑ…

ඒත් කවද හරි මං මගෙ අම්මයි තාත්තයි කැමති කරවගන්නව… අස්මත්එයාගෙ අම්මයි තාත්තයි කැමති කරවගනියි….
එතකොට හැමෝගෙම කැමැත්ත ඇතිව අපිට එකතු වෙන්ඩ පුලුවන් වෙයි!!!

මට දැනුනෙ මං ඒ බංකුව උඩ ඉඳගෙන හින්දි චිත්‍රපටයක් නරඹනව වගේ!!!
ඒ වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින්, අටෝරාසියක් ප්‍රේම සම්බන්ධතා ඇති වෙන ඇටි ඒව පවතින හැටි සහ නැති වෙන හැටි අත් දැකල තිබුණු මට ඈ මේ කියන දේවල් ඉතාම බොළඳ කල්පනා බව හැඟුණත් ඈ කියන්නෙ ඒ වෙද්දි අස්මත් හා ඈ ගැන ඇත්තමට ඇගේ හිතේ ඇඳිච්ච දේවල් කියල දැණුනම ඇත්ත එයා හිතනවට වඩා කටුකයි කියල හිත බිඳවන්ඩ මට පුලුවන්කමක් තියේද??
නේද දීදී…?? මම පියවි ලෝකෙට ආවෙ ඇගේ ප්‍රශ්නයෙන්!!
ම්!!! හොඳම දේ තමයි ඔයාල දෙන්න කාලයට ඉඩ දෙන්ඩ…. මේ වෙලාවෙ අවසාන තීරණ ගන්ඩ යන්ඩ එපා තාම කොලෙජ් යන පොඩි ළමයි නෙ ඔයාල… ඒ නිසා ඉස්සෙල්ල යාලුවො වගේ ආශ්‍රය කරල බලන්ඩ!!
මං ඔය වගේ වෙලාවක ලේසියෙන්ම දෙන්ඩ පුලුවන් උත්තරේ දුන්න. ඈට ඕනෙ වුනේ මේ ආදර කතාවයි ඇගේ හිතේ ඒ ගැන තියෙන ආසාවයි හා බය මුසු හැඟීමුයි කාට හරි කියල හිත නිදහස් කරගන්ඩ වෙන්ඩ ඕනෙ.. නැත්තං තමන්ගෙම අක්ක ඉන්නකොට මාසයක් ඈ හා ඉඳල ආපහු ලංකාවට එන මට මේ කතාව ඈ කියන්නෙ ඇයි?? ඒ වෙද්දි ඒ කතාව බෙදාගන්ඩ පුලුවන් තරමින් ඈ ආසන්නයේ හිටියෙ මං විතරක් නිසා වෙන්ඩ ඇතිනෙ… අනික සුධාට ඒ ගැන කියන්නෙ නැත්තේ ගෙදරට බයෙන් වෙන්ඩ ඇතිනෙ… මට කිව්වට මං කාටවත් කියන්ඩ යන්නෙ නෑ….
ඒ නිසා මේ ප්‍රේම කතාවට උඩගෙඩි දෙන්ඩ ගිහින් බෑ…. ඔන්න ඔය උත්තරෙන් වැහිල තිබුණ මගෙ සිතුවිලි!!

අපි දෙන්න හෙමින් හෙමින් අපි පඩි පෙළ බැස්සෙ බුද්ධ මන්දිරයට යන්ඩයි…
අපි හිටිය ගොඩනැගිල්ලෙ පහත මාලයේ තිබුණූ විශාල ශාලාව විවර වුණේ අලංකාර බුදුපිළිමයක් අපේ ඇස්වලට දකින්ඩ සලස්සමින්!!
ඒ පාමුල පැදුරුවල ඉඳගත්ත තවත් කාන්තාවො දෙන්නෙක් අල්ලාප සල්ලාපයෙන් මල් මාල අමුණනව…
සංගමිත්‍රායි මායි දෙන්නත් පැදුරක ඉඳගත්තෙ මල් මාල අමුණන්ඩයි!!
ඒක හරිම අපූරු වැඩක්!!
එකින් එක මල් ඇමිණෙනකොට, මල්මාලාව දිගු වෙනකොට ඇතිවෙන පහන් හැඟීම!!!
මට පුරාණ ඉන්දියාවෙ දේවදාසියන් ගැන කතා මතක් කරල දුන්න
බාගෙට පිපිච්ච පිච්චමල් නටුව වටේ නූල් කරකවල අමුණන මල් මාල කාරයො මං ලංකාවෙ කෝවිල්වල ඇති තරම් දැකල තියෙනව!!
ඒ මිනිස්සුන්ට ඒක පට පට ගාල අමුණල ඉවරයක් කරන්ඩ ඕනෙ රස්සාවක් විතරනෙ.. ඒත් ඒක තව කෙනෙක්ට කොයි තරම් නම් ආස්වාදජනකද කියල මට හිතුනෙ එදා!!
දීදී දීදී…
ඇයි බහාදුර්??
එන්ඩකො??
ඇයි බං…
සෝමු අයියා දීදීට ඛීර් හදන්ඩ එන්ඩ කිව්ව…

බහාදුර් කොලුවා ඇවිල්ල සංගමිත්‍රාට කරදර කරන්ඩ පටන් ගත්ත..
හා මං එන්නං..මේක ඉවර කරල එන්නං…
ඛීර් කියන්නෙ අපේ කිරිබත සහ මුරුතැන් බතේ මිශ්‍රණයක් වගේ එකක්.. හැබැයි ඒක තියෙන්නෙ තරමක් දියරමය ගතියකට.. අපි වගේ පොල් කිරි දාන්නෙ නෑ ඒ වෙනුවට ඒ රටේ සුලභ එලකිරි තමයි දාන්නෙ… අපේ මුරුතැන් බත්වලට වගේ කජු, වියලි මිදි හෙම දාල හදන බොහොම රසවත් ඛීර් හදන්නෙ සුභ කටයුතුවලදි…
සංගමිත්‍රා මල්මාලෙ ඉක්මනින් ඉවර කරලා නැගිට්ටේ මාවත් ඇදගෙන
අනේ දීදී… ඔයත් එන්ඩකෝ… සෝමු අයිය ඉන්න වෙලාවට මං තනියෙම එතෙන්ට යන්ඩ ආස නෑ!!
හ්ම් ඒකත් එහෙමද??
අපි දෙන්න කුස්සිය පැත්තට යනකොට සෝමු කජු පියලි කරමින් උන්න…
බහාදුර් හාල්වල ගල් ඇහිඳිනව…
සෝමු… පන්සලට නිතර එන අසල්වැසි තරුණයෙක්…ලොකු හාමුදුරුවන්ගේ බොහොම හිතවන්තයෙක්!!
බුද්ධ විහාරයේ හිටිය සාමනේර හාමුදුරුවරුන්ගෙත් ගජ යාලුවෙක්!!!

හැබැයි මගේ රහස් පරීක්ෂක මනසට ඉවෙන් වාගෙ වැටහිලා තිබුණ සෝමු නිතර දෙවේලෙ බුද්ධ විහාරෙට ගාටන්නෙ නිකංම නං වෙන්ඩ බෑ කියල
සංගමිත්‍රාම කිව්ව දේ මගේ සැකය තහවුරු කළා!!!
අර භාජනේ සෝදල අරගමු දීදී…
භාජනේ බහාදුර් හෝදයි… ඔයා ඇවිල්ල මට කජු කපන්ඩ උදව් වෙන්ඩ
සංගමිත්‍රා මාව සම්බන්ධ කරගන්ඩ හැදුවත් සෝමු හැදුවෙ ඈව තමන් කරන වැඩේට සම්බන්ධ කරගන්ඩයි.
නෑ මායි දීදීයි වෙන වැඩක් කරන්නං!! ඔය කජු තියෙන්නෙ තව පොඩ්ඩයි නෙ…
සංගමිත්‍රා මට ඇහෙන් ඉඟි කරල බහාදුර්ගෙ හාල් භාජනේ ලඟ ඇණ තියාගත්ත…
ඇත්ත තමයි භාජනේ පියලි කරන්නෙ නැතුව ඉතුරු වෙලා තිබුණෙ කජු ගෙඩි විසිපහක් විතරයි…
සෝමුගෙ මූණ බිම ඇද වැටිච්ච වැල ගෙඩියක් වගේ වුණා!!
ගිණි පිටවෙන බැල්මෙන් සංගමිත්‍රා දිහා බලාන හිටපු ඒ මූණෙ තිබුණෙ තරහක්…
හරියට හින්දි චිත්‍රපටයක දුෂ්ටයගෙ චරිතය රඟපාන නලුවෙක් තව කෙනෙක්ගෙන් පලිගන්ඩ හිතනකොට හදාගන්න මූණ වගේ!!
උත්සවය අවසන් වුණා!!!
පහුවදා උදෙන්ම මල්ලිත් මමත් අම්මත් තුන්දෙනා මල්ලිගේ ලිඛිත පරීක්ෂණය සඳහා ගෝමතී නගර් බලා පිටත් වුණා
අපි ආපහු එද්දි වෙනදා නැති මහා සද්දයක් ලොකු හාමුදුරුවන්ගේ කාමරය පැත්තෙන් ඇහුණා!!
පිරිමි කටහඬක් ඉතා උස්වත්… කවුදෝ ගෑණු ළමයෙක් ඉකි බිඳිමින් කතා කරන හඬ දෙවනුවත් ඇහෙන්ඩ වුණා.
කාමරේට ගිහින් මං ආපහු පහලට බැස්සෙ තේ වක්කරන්ඩ කුස්සියෙන් උණුවතුර අරගන්ඩ… ඒ යනකොට තමයි දැක්කෙ සංගමිත්‍රා ඇගෙ අම්මයි තාත්තයි දෙන්නම එක්ක ලොකු හාමුදුරුවන්ගෙ කාමරේ… සෝමුත් ඔවුන් ඉදිරියේ!!
මම කරබාගෙන ආව වැඩේට ගියා!!!
වතුර අරන් ආපහු උඩට යද්දි සංගමිත්‍රා එයාලගෙ කාමරේ ඉස්සරහ එල්ලල තිබුනු ඔන්චිලි පුටුවෙ ඉඳගෙන බර කල්පනාවක!!
නංගී!!
සද්ද නොකර උඩට ගිහින් අම්මට උණු වතුර බෝතලේ දීල ආපහු ආව මම ඈට කතා කළා.
ඈ මා දිහාට හැරුණ… හැඬූ නිසා ඇගේ ඇස් ඉදිමිලා… රතු වෙලා….
දීදී……
මහ හඬින් හඬාගෙන නැගිට්ට ඈ මා වැලඳගත්තා!!!
නංගී ඉඳගන්ඩ…. මොකද වුණේ??
ඇගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් කිසිසේත්ම අපේක්ෂා නොකල නිසා මොකක් කරන්ඩද කියල හිතාගන්ඩ බැරි වෙච්ච මම ඈව නැවත ඔන්චිලි පුටුවෙ ඉන්දවන ගමන් ඇහුව
ඈ නොනවත්වාම හැඬුවා!!
ඇගේ අම්මා කාමරෙන් ඔලුව දාල බලල මට ඉඟියෙන් කිව්වෙ ඈ එක්ක කතා කරන්ඩ කියලයි.
අපි යමු ඇවිදින්ඩ….
ඈ හඬල ඉවර කරල සන්සුන් වෙන තුරු ඈත් එක්ක පැත්තකින් ඉඳගෙන අතක් අල්ලගෙන හිටිය මම ඈට කිව්ව…
ඈ කතාවක් නැතුව නැගිටල මාත් එක්ක රිසාල්දාර් උද්‍යානය පැත්තට ඇවිදගෙන යන හැටි ඇගේ අම්ම ජනේලෙන් බලන් හිටිය!!
උද්‍යානය නිහඬයි!!.වෙනදා ක්‍රිකට් ගහන, සරුංගල් යවන්ඩ රැස් වෙන කොලු කුරුට්ටො රොත්තත් එදා හිටියෙ නෑ…
නුග ගහ යට බංකුවෙ ඉඳගෙන හිටිය අපි දෙන්න අත් අල්ලගෙන තිබුණෙ අපි දෙන්න දන්නෙවත් නැතුව…
ඈ හිස් බැල්මෙන් පාර දිහා බලන් හිටිය!!!
මම ඈට ඇති තරම් වෙලාව දුන්න!!
දීදී… අන්තිමට ඈ හඬ අවදි කළා
සෝමු ඇවිත් අද මට හොඳටම බැන්න බඩේ බන්තේ ජී ඉස්සරහ….
ඇයි ඒ??
එයා මගේ ගැන හිතේ තියාගෙන ඉන්නව… මට සැරෙන් සැරේ කරදර කරනව…
මං එයාට අකමැති බව දන්න නිසා එයා මං ගැන හොයල කේලම් කියනව…
අස්මත් ගැන කවුරුහරි එයාට කියල… සෝමු අපේ කොලෙජ් එකේ නොවුණට එයාගෙ යාලුවෙ ඉන්නවනෙ ඇති තරම් අපේ කොලෙජ් එකේ…
හැමෝම ඉස්සරහ අපේ අම්මටයි තාත්තටයිත් බැන්න… මට නිදහස දෙනව වැඩියි කියල…
ඒ මිනිහට පිස්සුද කොහෙද??

මට කියවුනේ ඉබේම… හරි වැඩක්නෙ.. සංගමිත්‍රාගෙ පවුලට බලපෑම් කරන්ඩ සෝමුට තියෙන අයිතිය මොකද්ද??
මම එයාට කෙලින්ම කිව්ව… එයා හිතේ තියං ඉන්න එව්ව නං හරි යන්නෙ නෑ කියල….
ඒ පාර එයා අස්මත් ගැන කතාව ඇදල ගත්ත!!
අපි ගැන පුදුම කතන්දර කිව්වෙ දීදී… බලන්ඩ මේ…….මාව වෙව්ලනව තාමත්!!!

ඈ තමන්ගෙ වෙව්ලන අත් මට පෑව
බන්තේ ජීත් ඉස්සරහ… මට හරි ලැජ්ජයි.. අපි හිතලවත් නැති දේවල්!!
ඉතින්…?? මොකද වුනේ…

අන්තිමට සේරම දේවල් නිහඩව අහන් ඉඳපු බන්තේ ජී කිව්ව සෝමු සෝමුගෙ වැඩක් බලා ගන්ඩ… මීට පස්සෙ මං නැති දවසට මේ පැත්තෙ එන්ඩ ඕනෙ නෑ…. සංගමිත්‍රාට පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ කියල
ඒක මිසක්… යන්තං ඇති…!! ඉතිං ඇයි මේ දැන් අඬන්නෙ?? නාඬ ඉන්ඩ නංගී… මට සැනසිල්ලක් දැණුනෙ එතකොටයි!!
ඈ අයෙමත් කල්පනාවට වැටුණා…
මම අස්මත්ට කිව්ව දීදී මේක වෙන්නෙ නෑ කියල….
ඈ කිව්ව…
ඇයි නංගී??
අදයි මට තේරුණේ අම්ම මං ගැන කොයි තරම් නං විස්වාස කරනවද කියල දීදී…
සෝමු මගෙ ගැන බොරු චෝදනා කරද්දි අපේ අම්ම කිව්වෙ මෙන්න මෙච්චරයි
මට මිත්‍රාව විශ්වාසයි.. සෝමු ඔයා නීලු ගැන ඔය කතාව කිව්ව නං මං විස්වාස කරනව… ඒත් මිත්‍රා එහෙම නෑ….!! මිත්‍රාට ඒ වගේ දෙයක් කරන්ඩ තරං හිතේ හයියක් නෑ ගෙදරට පිටුපාල.. මගේ දරුව ගැන මං තරං වෙන කවුද දන්නෙ??

මං හිත යටිං මොන තරං වේදනාවකද හිටියෙ කියල දීදීට තේරෙනව නේද?? නිකමට හරි මං හිතුවනෙ අස්මත් ගැන අම්මල මං ගැන ඒ තරම් විස්වාස කරද්දිත්!!!
මට දුක සෝමු මට චෝදනා කරපු එක ගැන නෙවෙයි දීදී..අම්මල මෙච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න මම එයාලට මොහොතකට හරි බොරුවක් කළානෙ මම.. ඒ ගැන හිතද්දියි මට දුක…

සතියකට පෙර මේ උද්‍යානයේ මේ බංකුවේම ඉඳගෙන තමන්ගෙ උන්මාද ප්‍රේම පුරාණය ගැන මට කිව්ව සංගමිත්‍රාමද මේ!!
මට හිතුණ!!
ඈ හමු වී වෙන්වී බොහෝ කලකට පස්සෙ මගේ ජීවිතේ සම්බන්ධ තීරණයකදි ඈ ගත්ත තීරණේම මට ගන්න වුණ වෙලාවක මට ඈ නැවතත් මතක් වුණා!!!
මට අක්කට දෙයක් කියන්ඩ තියෙනව
ගිය සතියේ චූටි ( මගේ ඥාති නැගණියක්) අපේ ගෙදර ඇවිල්ල අපි දෙන්න කුස්සියෙ උයන ගමන් මට කිව්වාම සංගමිත්‍රාව හිතේ විදුලියක් කෙටුව වගෙ ඇඳිල ගිය හැටි හරි පුදුමයි!!!
ඉන්දියාවේ සංගමිත්‍රාගේ ප්‍රේම පුරාණය හා සමාන නැතත් මට අහන්ඩ ලැබුනෙ ප්‍රේමයක මග සලකුණු…
හම්මේ!! යන්තං ඇති මගෙ හිත සැහැල්ලු වුනේ අක්කට මේක කිව්වට පස්සෙ… චූටි එහෙම කිව්ව
ඇයි එහෙම කිව්වෙ…. නංගි??
නෑ ඔයානෙ අපේ පවුල්වල ලොක්කි!! ඉතිං මට හිතුණ කාටත් වඩා ඔයා දැනගෙන ඉන්ඩ ඕනෙ කියල මේ ගැන..

මට පුදුම හිතුණ…හිතින් තාමත් පුංචි ළමයෙක් වගේ වැඩ කරන මාව මගේ සහෝදර සහෝදරියන් විසින් වැඩිමල් වගකීම්සහගත මනුස්ස පරාණයක් විදියට වටහගෙන තියෙන එක ගැන…
ඔවුන්ට යමක් මාත් එක්ක කියන එක ඔවුන්ගෙ හිතේ සැහැල්ලුවට කාරණාවක් වෙන්නෙ ඒ හන්දනෙ!!!
මට තනියම හිනා ගියා!!
දැනට වසර පහ හයකට උඩදි මාසෙකට ඉන්දියාවට ගිය මාව අඳුනගෙන සතියකින් ඇගේ සහෝදරියක් කරගත්තු සංගමිත්‍රා ඇගේ පෙම් කතාව මට කියල ඉවර වෙලා විඳින්ඩ ඇත්තෙත් ඒ සැහැල්ලුවම නේද??
මට හිතුණා
මගේ නිහඬබව නිසා ජනේලෙ අයියෙ බංකුවෙ වාඩි වෙලා කල්පනාවට වැටිච්ච චූටි නංගිගෙ මූණෙ මල් හිනා පිපිල තියෙනව මං දැක්ක

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා, මට හිතෙන හැටි. Bookmark the permalink.

20 Responses to පෙම් පුරාවතක්…!!!

  1. tg පවසයි:

    ජනූ කියෙව්වා නිවී හැනහිල්ලේ කමෙන්ට් එකක් දාන්නම් කො

  2. praveena පවසයි:

    ලස්සන, ඒත් දුක හිතෙන පෙම් පුරාවතක්!!!

    ඒ වගේ ප්‍රශ්නෙකදි කතා කරන්ට හොඳ කෙනෙක් තමයි ජනූ ඔයා… හොඳ සංවේදී, ඒ වගේම නිර්භීත තීරණ ගන්ට පුලුවන් කෙනෙක් …

    ඔයාගේ අලුත් පෝස්ට් එකක්වත් මගේ බ්ලොග් රෝලේ පේන්නේ නැත්තේ මොකෝ?

    • Buratheno පවසයි:

      මෙයාගෙ RSS Feeds වැඩ කරන්නේ නැතෝ.. අඩුගානෙ Google Reader එකේවත් update වෙන්නෙ නෑ..

      • henryblogwalker පවසයි:

        බුරා මම නම් මේකිගෙ ෆලෝවර් කෙනෙක් හන්දා මට මේල් එකක් එනවා අලුත් පෝස්ට් එකේ. හුඟක් වෙලාවට එන්නෙ තායි වලින්. එතකොට මම ලින්ක් එක ඇරියාම සිංහලෙන් පේන්න ගන්නවා.

    • ස්තූතියි!!! අනේ මන්ද පොඩ්ඩි… මං හිතන්නෙ ඔය බූර කියන හේතුව වෙන්ඩ ඇති නේද බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙන්නෙ නැත්තෙ….
      @ බූරා: ආයෙ කිය කියා ඉන්ටන අරක වැඩ නෑ මේක වැඩ නෑකියල.. මට උදව් වුණා නං නාකෙයි?? මේ උලව්ව ගොඩ දාගන්ඩ??
      @හෙන්රි අයියා: උඹට පහලිං උත්තරයක් දෙන්නං…බලපං මං මේ උඹල වෙනුවෙන් බ්ලොග් එක ලියල පෝස්ට් තැපෑලෙං එවන්ඩ වෙන මහන්සිය කොච්චරක්ද කියල??
      මං පෝස්ට් ලියල තායිලන්තෙට යනව උඹලට එවන්ඩම :-p

  3. henryblogwalker පවසයි:

    උඹ අර international shoulder to cry on තත්වයට පත්වෙලා. ඒ කියන්නෙ උසස් වෙලා. ඒ කියන්නෙ තව කෙනෙක්ගෙ විශ්වාසය දිනාගන්න තරම් වාසනා ගුණයක් තියෙනවා කියන එකනෙ. ඒකත් ලොකු දෙයක් බං.

    දැන් වැඩ රාජකාරි අඩුවෙලා විවේකයක් ලැබිලද මේ?

  4. Lucky Wickramasinghe පවසයි:

    ජනූ අක්කේ, ඔයා ගෞරවනීය වැඩිමහල් සහෝදරියකගේ තත්වයට ඔබින බව සහ මිත්‍රාත් චූටිත් ඔයාව විස්වාස කිරීමේ පුදුමයක් නැති බවත් කියලා මම නවතින්නම්.

  5. Buratheno පවසයි:

    International shoulder to cry on, පට්ට ඈ… 😀

  6. nirosha පවසයි:

    නංගි, නිවී හැනහිල්ලේ කමෙන්ට් එකක් දාන්නම්, heta exam

  7. සුසර පවසයි:

    //ගිය සතියේ චූටි ( මගේ ඥාති නැගණියක්) අපේ ගෙදර ඇවිල්ල අපි දෙන්න කුස්සියෙ උයන ගමන් මට කිව්වාම සංගමිත්‍රාව හිතේ විදුලියක් කෙටුව වගෙ ඇඳිල ගිය හැටි හරි පුදුමයි!!!//

    පහුගිය සතියේ බන්ග්ලාදෙසේ සිදු වුනු දේවල් ඇහෙන කොටත් මේ සංග මිත්‍රව මතක් වෙන්න ඕනා ඔයාට.

    අර හෙන්රිගේ යෙදුම නම් නියමෙට ගැලපෙනවා “අන්තර් ජාතික දුක්ගන්නාරාල “

  8. මුදියන්සේ පවසයි:

    සංවේදි සටහනක්, මොකකද ඔය මිත්‍රාගේ සංසිද්දිය මාත් මේ දවස් වල අත්දකිමින් සිටින නිසා. කෙසේ වුවත් ඔබගේ ලිවීම සුපිරි තලයක තියනවා

  9. ravi පවසයි:

    ජීවිතය වෙන අන් කුමක්ද?
    අපරිමේයවූ කැපකිරීම් සමූහයක්ම මිස,
    උපන්දා පටන් මියෙන තුරු,
    ඔබ මම අප කරනුයේ,
    අනුන් වෙනුවෙන් කැපකිරීම් නොවේද?

    අපේ සතුට කැපකොට,
    අප අපේක්ෂා කරනුයේ,
    අපේ ලබැඳියන්ගේ සතුට නොවේද?
    ඒ ජීවිතයද?….නො එසේනම් ………..

    අපි හැමෝගෙම ජීවිතේ එක් අංශු මාත්‍රයක් ජනූ උඹ මේ සටහන් කරල තියෙන්නෙ…සංඝමිත්‍රා කියන්නෙ අපි ඔක්කොම..උඹත් මාත් ඇතුලුව අපි හැමෝම…ඈ වෙනුවෙන් මම වෙනුවෙන්, උඹ වෙනුවෙන් අපි හැමෝම වෙනුවෙන් උපන් කඳුලක් මගෙ දෑසට මේ උනන්නෙ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )