සොයමි නුඹ ගැන මතක ඇවිද සිත හැම තැන…!!!

ඉක්මනට ගෙදර එනවල අද.. මාත් එනව කලිං

සමහර දවසට තාත්ත මෙහෙම කියල ම ගියා…

ඒ ඇවිල්ල  තාත්ත අපි එනකල් පරණ ගෙදර ජනේලෙ අයිනෙ මේසෙ උඩ තියල තිබුණ ඩොලැක් එක වාදනය කරමින් ඉන්නව!!

අපි ආවම තුන් දෙනා එකතු වෙලා කෑම කනව…

සමහර දවසට තාත්ත එයාගෙ දවල් බත් මුල ආපහු අරන් තමයි ගෙදර එන්නෙ

එහෙම කද්දි අපි ගෙදර තිබුණොත් බිත්තර තුනක් තම්බ ගන්නව…

තාත්තෙ ඔන්න මට ලොකු බිත්තරේ!!!

මල්ලි එහෙම දවසට බිත්තර වතුරෙ දාන්ඩ යද්දිම කියනව

ආ එහෙම කොහොමද?? මමනෙ වැඩිහිටිය මටයි ලොකු බිත්තරේ…

තාත්ත එහෙම කියනව…

ආ එහෙම බෑ…පොඩි එක්කෙනාටයි ලොකුම බිත්තරේ දෙන්ඩ ඕනෙ…

මල්ලිත් එල්ලි එල්ලි යනව…

ඉන්ඩකො මං බිත්තර තම්බන්ඩ කලිං ඒවගේ නම ලියනව…

තාත්ත එහෙම කියල  පැන්සලක් හොයාගෙන බිත්තර තුනේ අපේ නම් ලියනව

කෙල්ලගේ

කොල්ලාගේ

මගේ

ඔහොම ලියල බිත්තර තැම්බෙන්ඩ ලිපේ තියනව…

ඕක ලිපේ තියල තැම්බිලා පොතු ගලවනකල් මල්ලි නෙවෙයි ඒ පැත්තෙන් හෙල්ලෙන්නෙ….

ටිකකින් මල්ලිගෙ හූ හඬ මැද්දෙ තාත්ත බිත්තර සුද්ද කරනව

මහ ලොකුවට ලිව්වට පැන්සලෙන් බිත්තර උඩ ලියපු නම් සේරම මැකිල…

මල්ලි ඉතිං පැන්න ගමන් ලොකුම බිත්තරේ අරගන්නව

ඔය වගේ තාත්තයි අපි දෙන්නයි කරපු පිස්සු වැඩ නං අතොරක් නෑ…

අපේ තාත්ත පුදුම මනුස්සයෙක්…

පාරෙ ඇණයක් මුරිච්චියක් වැටිල තිබුණත් නැවිල ඒක ඇහිඳගෙන සාක්කුවට දාගන්නව..

ඒව වෙනම බෝතලේක එක්කාසු කරනව… ඊට පස්සෙ මල්ලි එක්ක එකතු වෙලා එක එක ගැජට් හදද්දි ඒ ඇණ මුරිච්චි පාවිච්චි කරනව…

එයාගෙ ලොකුම විනෝදාංශය වුණේ අර හවස තුනට වෙළඳ සේවයෙ හින්දි ගී ප්‍රචාරය වෙන වෙලාවට ඒ හින්දි ගීතවලට ඩොලැක් එක වාදනය කරන එක…

ඒක එයාම හදාගත්ත ඩොලැක් එකක්…

තාත්ත සංගීතයට ප්‍රිය කළාට, තබ්ලා වාදනය ඉගෙන ගත්තට මොකද වැඩියෙන් කැමති වුණේ සංගීත භාණ්ඩවල තාක්ෂණික පැත්ත, ව්‍යුහය, නාද උත්පාදනය වගේ දේවල් ගැන අධ්‍යයනය කරන්ඩයි…

ඔයාල දන්නවනෙ ඔය තබ්ලාව, ඩොලැක් එක, එතකොට මෘදංගය, වගේ ඉන්දියානු සංගීතයෙ එන අවනද්ධ භාණ්ඩවල විතරක් නෙවෙයි…ලංකාවෙ බෙර වර්ගවලත් නාදෝත්පත්තිය සිද්ධ වෙන්නෙ කුහර සහිත කොටයක් හෝ ලෝහමය සිලින්ඩරයක් දෙපැත්තට හම් බැම්මකින් බැඳුනු සම් දෙකකින් කියල…මේක තබ්ලාව හා වෙනත් උතුරු හෝ දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩවලට එනකොට ඒ සම් කොටස මැද කලු පැහැති බදාම රවුමකුත් එකතු වෙනව…

සංගීතය ගැන වැඩි අවබෝධයක් නැති කෙනෙක්ට මේ සම් කොටසෙ සියුම් වෙනස්කම්වලින් උපදින නාදවලට සිද්ධ වෙන්ඩ පුලුවන් වෙනස ගැන වැටහෙන එකක් නෑ…

ඒත් තාත්ත මේ දේවල් පුදුම විදියට අධ්‍යයනය කළා…

මට අදටත් ඇස් පියාගෙන මතක් කරන්ඩ පුලුවන් තාත්ත තබ්ලා කැප් හදපු හැටි…මේ කැප් එක කියන්නෙ අර අවනද්ධ භාණ්ඩවල සමින් කළ ආවරණය…

මේව ලියන්ඩ ලේසියි…. ඒ වුණාට හැදිල්ල ලේසි පාසු දෙයක් නෙවෙයි

තාත්ත ඒ ඒ ගණකම අනුව ඕනෙ කරන හම් අරන් එන්නෙ පිටකොටුවෙන්….ඊ පස්සෙ ඒව වතුරෙ පොඟවනව

අවශ්‍ය ප්‍රමාණෙට කපල  හම් තට්ටු දෙකක් අරගෙන ඒකෙ අර කොටේ කට ප්‍රමාණය ලකුණු කරගෙන ඒක වටේ සිදුරු විදිනව… ඒ අර මහත හම් පටි වලින් අවශ්‍ය විදියට ගැටිය ගොතාගන්ඩ…

මේ ගැටිය ගොතන එක බොහොම සීරු මාරුවට කරන්ඩ ඕනෙ දෙයක්!!!

මොකද අවනද්ධ භාණ්ඩ සුසර කරන්නෙ.. ඔයාලට තේරෙන විදියට කිව්වොත් ටියුන් කරන්නෙ මෙන්න මේ කියන ගැටියට ලී හෝ ලෝහ මිටියකින් තට්ටු කරලයි…

බැරි වෙලාවත් මේ ගැටිය නියමිත ප්‍රමිතියෙන් නොතිබුණොත් පැත්තක් වැඩිපුර යටට බහින්ඩ පුලුවන්.. ඒ හේතුව නිසා අර නාදය උපදවන කොටසට හානි වෙන්ඩ වුණත් පුලුවන්!!

ඊට පස්සෙ අර හම් තට්ටු දෙකෙන් උඩ තියෙන තට්ටුව මැදින් කපල ඉවත් කරනව… වටෙන් අඟලක් වගේ හිටින්ඩ ඉතුරු කරල…

ඊට පස්සෙ තමයි අමාරුම හරිය.. අර බදාම රවුම තියන වැඩේ… ඒක ලේසි නැත්තෙ ඒක වට ගණනාවක් තියෙන විදියට බොහොම සුමට විදියට කියෙන්ඩ ඕනෙ නිසයි… මේ බදාමයේ අඩංගු දේවල්වලින් මට මතක තියෙන්නෙ ගල් අඟුරු කුඩු සහ බත් කැඳ… රුලන්වලින් හදාගන්න මැලියම් වර්ගයකුත් පාවිච්චි කළා මතකයි.

මේව හොඳට ගලේ අඹරනව.. ඊට පස්සෙ අර හම මත ඒ බදාමය තියල විදුලි බබුලක වීදුරු මතුපිටෙන් පිරිමදිනව…

අද වගේ කාර්යාලයෙත් නිවසෙත් එකවගේ අන්තර්ජාලය පාවිච්චිකරන්ඩ පුලුවන්කමක් හෝ මේ දේවල් ගැන  ලියවිච්ච පොත් පත් නැති කාලෙක, මේවගේ දේවල්වල සංයුතිය ඒව වෘත්තියක් විදියට නිපදවන්නන් අතර රහස් විදියට තියෙද්දි තාත්ත ඒක හොයාගන්ඩ පුදුම විදියෙ පරීක්ෂණ කළා…

මල්ලිගෙයි මගෙයි වැඩේ ඉතිං මේ වෙලාවට තාත්තට ඕනෙ කරන එක එක දේවල්  ලංකරල දීල උදව් කරන එක තමයි…

එයා ඒ වැඩ කරන විදිය බලං ඉන්ඩ ආසයි!!!

තව දවසක් අම්මගෙ හාමෝනියම් එකේ (ගමේ ගොඩේ බාසාවෙං නං සර්පිනාව) ලී පෙට්ටිය දිරල තිබුණ… ඒ විතරක් නෙවෙයි අර සුළං ඇතුලට පිඹින කොටසත් කැඩිල තිබුණෙ…

තාත්ත මේ හාමෝනියම් එකේ පෙට්ටිය පරිස්සමෙන් ඉවත් කළා… වෙනම සැහැල්ලු ලී අරන් ඇවිල්ල එයාම ඒව යතු ගාල වෙනම පෙට්ටියක් හැදුව…

මේ යතු ගාන ඉරන වැඩවලට වෙනම මේසයක් තිබුණ පරණ ගෙදර.. ඒ කියන්නෙ අත්තගෙ කඩේ ඉස්සරහ ඉස්තෝප්පුවෙ දාගත්ත පරණ ලෑලි එකට තියල පුරුද්දපු වඩු මේසයක්…

කොහොම හරි මේ හාමෝනියම් එකේ හඬට සිදුවෙන වෙනස ගැන පොඩි අත් හදා බැලීමකටත් එක්ක එයා පුංචි බීරලු කෑලි වගයක් ලියවං ඇවිල්ල ඒ පෙට්ටියෙ බඳ කොටසට ඒවගෙන් රාමුවක් හයි කළා. මේකෙන් අර ආවරණය වෙලා තිබුණු හාමෝනියම් එකේ සුළං රඳවාගන්නා කොටස තරමක් එලියට නිරාවරණය වුණා…

අර සුළං පිඹින කොටස දෙවරක් හදන්ඩ වුනේ ඒකට ගැලපෙන හරි ගණකමෙන් යුතු කඩදාසි තෝරාගැනීම ඉතාම අසීරු වෙච්ච හන්දයි…

අන්තිමට හාමෝනියම් එක වැඩ කලා!! හැබැයි කලින් තිබුණ වගේ ගැඹුරු හඬකින් නැතුව බොහොම තියුණු හඬක් තමයි නිකුත් කළේ!!

අපි හිනාවුණා තාත්ත පිරිමි සර්පිනාව ගෑණු සර්පිනාවක් කළා කියල!!

එයා නිතර දෙවේලෙ වාදනය කරපු ඩොලැක් එක අමුතුම විදියෙ එකක්… කිලෝ දහයක් විතර බරයි… සාමාන්‍යයෙන් අර කැප් එක කොටයට සවි වෙන්ඩ යොදන සම් වරපටි වෙනුවට මේකෙ යොදල තිබුණෙ ඇණවලින් තද වෙන බුරුල් වෙන ක්‍රියාවලිය සිදු කරන්ඩ පුලුවන් යකඩ කූරු!! ඒව ඩෝල්කී එකට සවි වුණේ යකඩ පට්ටමකින්!!!

ඒකෙන් නිපදවුණේ අර තවිල් බෙරයත් මෘදංග හඬත් මිශ්‍ර වෙච්ච අපූරු හඬක්!!!

තාත්ත නැති වුණාට පස්සෙ අම්ම ඒක අරන් තිබ්බ…

තාත්ත නැති වෙලා දැන් අවුරුදු දහයකුත් ඉකුත් වෙලා!!!

අදටත් එක පාරටම තාත්තව මතක් වෙද්දි මට  මැවෙන්නෙ අර ජනේලෙ ඉස්සරහ ඩෝල්කී එක ලඟ හිටගෙන ඒක  වාදනය කරන තාත්තව..

එත් දැන් ඒ ඩෝල්කී එක රතුපාට විල්ලුද රෙද්දක් පොරවගෙන කම්මැලි කමෙන් ගෙදර මුල්ලක තැන්පත් වෙලා ඉන්න හැටි දැක්කම නං හරි දුකයි!!

කිසිම ගැලපීමක් නෑ වගේ මටම දැනෙන මේ කතන්දර ගොන්න ලියාගෙන එද්දි මට මතක් වෙන්නෙ තාත්ත නැති වෙලා අවසන් කටයුතුත් කරල ඉවර වෙලා සතියකට විතර පස්සෙ අපි ගම්පහ ඉස්පිරිතාලෙට ගියා…

රෝහල් සේවකයෙක් තාත්තගෙ බෑග් එකයි, පසුම්බියයි, අන්තිම වතාවට ඇඳගෙන හිටපු ඇඳුම් ටිකයි අපි අතට දුන්න..

හ්ම්!!!!

සුසුම් මැද්දෙ ඒව මල්ලකට දාගෙන කතා බහක් නැතිව ගෙදර ආව අපි ගෙදර ඇවිල්ල කලිසම් සාක්කුව බැලුවාමයි දැක්කෙ

එදා දවසෙ තාත්ත අහුලපු ඇණ මුරිච්චි ටික ඒ වෙද්දිත් සාක්කුවෙ තිබුණ!!!

 

 

පින්තූරෙ ලැබුණෙ මෙතනින්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

55 Responses to සොයමි නුඹ ගැන මතක ඇවිද සිත හැම තැන…!!!

  1. හරිම සංවේදීයි අක්කෙ. කියවලා අන්තිමේදි මට සුසුමකුත් පිට වුනා නොදැනීම.

  2. ravi says:

    හපොයි ජනූ..ඉඳහන් ඩිංගිත්තක්…ඉස්සෙල්ලම මම ඇස් දෙක තදින් පියා ගන්නව..ඇහැ තෙත් වෙච්ච කඳුලු එතකොට ඇහිපිය අස්සෙං බේරිල යනව..දෙතුන් පාරක් තදින් ඇහිපිය ගහල ඊට පස්සෙ ඇස් දෙක පුලුවන් තරම් ඇරගෙන ඉන්නව ටික වෙලාවක්…පපුව පිරෙන්ටම උඩට ගත්තු හුස්ම පුලුවන් තරම් වෙලා අල්ලල ආපහු පිට කරනව පෙනහළු හිස්ම වෙලා යනකල්…

    හිතට ලොකු ආවේගයක් ආහම මම කරන්නෙ ඔන්න ඔහොම…උඹේ මේ හෘදයාංගම සටහන කියවල මට එහෙම කරන්ටම උනා…

    මයෙ අප්පච්චි ගැන නම් කියන්න තියෙන්නෙ අපි අතරෙ ඔය උඹයි තාත්තයි අතර වගෙ කිට්ටු සම්බන්දතාවයක් තිබුනෙ නෑ..සමහරවිට ඒ අපි ජීවත්වුනු යුගයෙ වැඩ සිද්ද වෙච්චි පිලිවෙල වෙන්න ඇති…ඒ වගේම මම හිතන්නෙ ඒකට අප්පච්චිගෙ ගතිගුනත් බලපාන්ට අති. එයා බොහොම නිශ්ශබ්ද හරිම තැන්පත් කෙනෙක්.

    මම කලිනුත් උඹේ පෝස්ට් එහෙකදිම කිව්ව..අප්පච්චිගෙ මේ දුරස්ත භාවය පොඩි කාලෙ මයෙ හිතට හරිම දුකක් ..ඒත් පස්සෙ පස්සෙ මම එයාව තේරුම් ගත්ත…

    උඹට කියන්ට අප්පච්චියි මායි ගොඩක්ම කිට්ටු උනේ අන්තිමට හාට් ඇටෑක් එකක් ඇවිල්ල එයා සති තුන හතරක් පේරාදෙණියෙ ඉස්පිරිතාලෙ නවත්තල හීටිය කාලෙ..මම තමයි දිගටම ළඟ හිටියෙ…ඊට කලින් ගත කරපු මුළු ජීවිත කාලෙටම වැඩිය ඒ මාසයකටත් අඩු කාලෙ අපි දෙන්න කිට්ටු උනා…ජීවිතේ මහ පුදුමයි කියන්නෙ නිකම්ම නෙවෙයිනෙ ජනූ…

    සනීප වෙල ගෙදර ගිහිල්ල අප්පච්චි ජීවත් උනේ තව මාස හයක් විතරයි 😦

    හිත හදාගත්තු දවසක ඒ කතාව ලියන්ට ඕනය කියල මම සෑහෙන දවසක ඉඳල හිතාගෙන ඉන්නව…

    හරි මයෙ විස්තර ඇති…උඹෙ සටහන ගැන කියනව නම් බොල උඹ හරියට සන්ලයිට් වගේ කියල තමයි කියන්න තියෙන්නෙ 🙂

    • හ්ම්….!! ඕක ලිව්ව නං අයියෙ… හැම දාම ලියන්ඩ ඕනෙ කිය කියා ඉන්නෙ නැතුව..

      /උඹෙ සටහන ගැන කියනව නම් බොල උඹ හරියට සන්ලයිට් වගේ කියල තමයි කියන්න තියෙන්නෙ/
      ඈ බොලේ, දහ අතේ කල්පනා කළා මේ මොකද්ද උඹ කියල තියෙන්නෙ කියල… තේරෙන්ඩ කියපංකො අයියෙ??

      • ravi says:

        මොනාද බං බොලායෙ නෑනෙ කිසිම විපරීත ඥාණයක්….එතනිං ගිහාම අල්පේශාක්‍ය බුද්ධි සම්පිණ්ඩනයක්….සික්…බොහොම අසික්කිතයි, අජූවයි, අපුලයි..

        ආන්න , ඒකට බූර මලේ….ඌට තේරුණ එක පාරටම තැහ් ගාල මඩ ගොඩට පොල් කැඩුවහෙ…හෙහ්, හෙහ්, ඌත් මයෙ ජාතියෙම එකෙක් නෙව….

      • ඇත්තමයි අයියෙ මට මේ හිනාව නවත්තගන්ඩ බැරුව ඉන්නෙ.. මං ඔය අපේ වත්තෙ පොල් කඩද්දි හැබැහින්ම දැකල තියෙනව මඩ ගොඩට පොල් වැටෙන හැටි!!!
        තැහ්!!!! නියම ශබ්ද නිරූපණය බොල!!! හක් හක් හක් හා!!!

    • Buratheno says:

      සන්ලයිට් – එන්න එන්නම හොඳ වෙනවා!

      • 😀
        ඒකද මේ කියල තියෙන්නෙ මුන්දැ.!!!
        අනේ රවී අයියෙ බොහොම ස්තූතියි
        ඒව එන්ඩ එන්ඩම හොඳ වෙනව නං ඒකෙ ගෞරවය මාත් එක්ක ඉන්න මේ උඹල හැමෝටම හිමි වෙන්ඩ ඕනෙ!!!

        ප.ලි: හැබෑට බූරයියෙ උඹගෙ මතකෙ නං ආයෙ කියල වැඩක් නෑ…
        ඇස්වහක් කටවහක් නෑ ආයෙ ඉස්තරං!!!!!

  3. Gold fish says:

    හොඳ මතකයක් තියෙනවා…. ලස්සනට මතක ටික දිග ඇරලා තියෙනවා…

  4. ලොකුම බිත්තරේ මට හොඳේ…!

  5. Miyuru says:

    හරිම ආදරණීය මතකයක්…. ඇස් දෙකට කඳුළු ඉනුව…. ඔයාගෙ කතාව කියවනකොට මට ඔක්කොම මැවිලා පෙනුනා…
    ඔයා කියපු වාදන භාණ්ඩ මටත් හුරුපුරුදුයි ටිකක් පොඩි කාලෙ අතපත ගාල හෙම, මාමලා ගාව තිබ්බ නිසා…. ඒ උනාට අර ඒවා හදන හැටි ඇහුවෙ පළමුවෙනි වතාවට… ඇත්තටම පුදුම හිතුනා ඔයාලගෙ තාත්තා ඒවා ගෙදර හැදුවා කිව්වම…
    බිත්තර ගැන නම් කතා කරන්නෙපා…. හික්ස්…

    එතකොට ජනූහාමිත් ඔයාමද අනේ….? 😀

    • ස්තූතියි මියුරු මේ පැත්තෙ ආවට… මම ඔයාගෙ කතා ටික සේරම කියෙව්ව හන්ද දන්නව සංගීත භාණ්ඩ ගැන වගේම බිත්තර ගැනත් වැඩිය කතා කරන්ඩ ඕනෙ නැතුවම 😀
      යලට මහට ලියන ජනූ හාමිත් මංම තමා අනේ…

  6. praveena says:

    //සුසුම් මැද්දෙ ඒව මල්ලකට දාගෙන කතා බහක් නැතිව ගෙදර ආව අපි ගෙදර ඇවිල්ල කලිසම් සාක්කුව බැලුවාමයි දැක්කෙ

    එදා දවසෙ තාත්ත අහුලපු ඇණ මුරිච්චි ටික ඒ වෙද්දිත් සාක්කුවෙ තිබුණ!!!//

    මුලු කතාවම මෙතන කියවිලා තියනවා ජනූවේ. හිත දුකෙන් පිරිලා ගියා. 😦

    • හ්ම්!!
      කුමාරි අක්කේ, ඒ ඇණ මුරිච්චි බෝතල් තාම තියෙනව අපේ ගෙදර… ඒව දැක්කාම තමයි හිතෙන්නෙ… තාත්ත අපෙන් ඈත් වෙන්ඩ ඉක්මන් වුණා වැඩියි කියල…

  7. Tharurasi says:

    ඔයාගෙ කතා හරිම සංවේදී.. ජීවිතේට ආදරය කරන්න, අනිත් අයව තේරුම් ගන්න පොළඹවන සුළුයි.. නිතරම කමෙන්ට් නොකළත් ඔයා ලියන දේවල් මම බලනවා… ඔයාගෙ තාත්ත ලෝකෙ ඉන්න හොඳම තාත්තලගෙන් කෙනෙක්… ඔයාගෙ මේ සංවේදීකමත් ඒ තාත්තගෙන් ලැබුණු දායාදයක් වෙන්න ඇති. ඒ ආදරණීය තාත්තට සදාතනික සැනසුමත්, ඔයාට තව තවත් ලියන්න ධෛර්යයත් ප්රාෙර්ථනා කරනවා..

    • ස්තූතියි ඔයාගෙ සියලු ප්‍රාර්ථනාවලට තරූ.. තාත්තගෙන් උරුම වෙච්ච දේවල් ගොඩක් මට තියෙනව… තාත්තට යමක් කරන්ඩ ඒක ඉගෙනගන්ඩ ඒක ඉගෙන ගන්ඩ ඕනෙ නෑ…. දැක්ක ගමන් ඒක කරන්ඩ පුලුවන්…ඔය සංගීත භාණ්ඩ හදන වැඩ, වඩු වැඩ, සහ ඉවුම් පිහුම් පවා තාත්ත බලන් ඉඳල කරපු දේවල්!!
      ඒ වගේ යමක් කරනව බලන් ඉඳල යමක් කරන්ඩ මටත් පුලුවන්!!

  8. Buratheno says:

    මේකට මට ‍මොකුත් කමෙන්ට් එකක් ලියාගන්ට බෑ බං.. 😦

    පලි: අර රවියා කිවුවා වගේ උඹේ ලියැවිල්ල නම් සුපිරිම සුපිරියි!!

    • තාත්තග ගැන මතක සමරද්දි උඹ ඉතාම සංවේදී වෙන බව මං දන්නව බූරයියෙ…
      ඒ හන්ද කියන්ඩ ඕනෙ නෑ මොනවත්!!!

      හා… දැං ඔය උඹ කියන්නෙත් සන්ලයිට් වගේ කියලද?? 😀

  9. /*—කිසිම ගැලපීමක් නෑ වගේ මටම දැනෙන මේ කතන්දර ගොන්න ලියාගෙන එද්දි—*/

    ගැලපීමක් නෑ කියලා නොදැනෙන තරමට මේ කතාව ලස්සනය්!
    කොහොම මොනවා ලිව්වත් මට මගේ තාත්තගෙන දැනෙන දහඩිය සුවඳ මේ කතාව කියවද්දි දැනුනේ ඔයාගේ කතාව ඒ තරමටම අව්‍යාජ නිසා වෙන්න ඇති.

    තාත්තා හොඳ තැනක ඇති ජනු!!!!!

    • සටහනක් ලියල ඒකට මාතෘකාවක් ගැලපෙන මාතෘකාවක් හොයන්ඩ මම වෙනදට සෑහෙන්ඩ මහන්සි වෙනව සමාධි…. ඒත් මේ ලියමන ඊට වෙනස්!!! බොහොම ස්තූතියි!!

  10. RanDil says:

    එදා දවසෙ තාත්ත අහුලපු ඇණ මුරිච්චි ටික ඒ වෙද්දිත් සාක්කුවෙ තිබුණ!!!

    හ්ම්…………. කියන්න වදන් නොමැත…………

  11. සිඳු says:

    මට මේකට කමෙන්ට් කරන්ඩ හිතෙන්නෙ නෑ අක්කෙ.

  12. මම මේ පෝස්ට් එක ටැබ් එකක ඇරියෙ උඹ මේක පබ්ලිශ් කරලා විනාඩි කිහිපයකින්. උඹ දන්නවද මම තාම මේක කියෙව්වෙ නෑ. මම මේක ස්ක්‍රෝල් කරල උඩම පේලියයි යටම පේලියයි විතරයි කියෙව්වෙ. මම මේක කියවන එක මේ වෙනකල්ම කල් දැම්මෙ මේකෙ අන්තර්ගතය ගැන මට යම් බයක් තියෙන නිසා. මේකෙ තියෙන්නෙ මොකක්ද කියලා හිත දන්නවා. උඹේ තාත්තගෙ සිද්ධිය මාව උපරිමයටම කම්පනයට පත් කරපු සිද්ධියක්.

    අර ලොකු බල්ලයි පොඩි බල්ලයි, එතකොට දඹුලු ගලේ කතාව, සරමේ ඔංචිලි පැද්ද හැටි, සරම පැලිලා තාත්තා අඬපු හැටි, දරාගන්න අමාරු කතාවල්.

    මාත් මගෙ තාත්තත් එක්ක පුදුම බැඳීමකින් හිටපු එකෙක්. තාත්තා ජීවත් වුනේ අවුරුදු හැට පහයි. තාත්තා ගැන පෝස්ට් එකක් ලියන්න මට ඕනෙ වුනත් ඒක හැම තිස්සෙම කල් දාන්නෙ අර යටි හිතේ තියෙන බය නිසාමයි.
    කෙටියෙන් කිව්වොත් අච්චර හොඳ ගතිගුණ තිබ්බ මගෙ තාත්තා අවුරුදු 65ක් විතරක් ජීවත්වෙලා දුක් විඳලා මැරිලා යත්දී, ගමේ ඉන්න කසිප්පු කාර, ජාවාරම් කාර, ඉඩම් කොල්ලකාර ********ලා අවුරුදු අසූ පහත් පහු කරලා තාම යහතින් ඉන්න ලොජික් එක මට තේරෙන්නෙ නෑ බං.

    මම මේක කියවලා එන්නං.

    • ඕන්න කියෙව්වා. අර බිත්තර කතාවයි, ඇණ මුරිච්චි කතාවයි නම් කියලා වැඩක් නෑ. ඒක තමයි බං මම කිව්වෙ ඔහොම මිනිස්සු තමයි ඉක්මනින්ම යන්නෙ.

      අර සංගීත භාණ්ඩ ගැන විස්තර ටික නම් මට අලුත්. කොටින්ම සර්පිනාවයි, හාමෝනියම් එකයි දෙකම එකයි කියලා දන්නෙත් ඕං උම කිව්වට පස්සෙ බං.

      • ravi says:

        / ඒක තමයි බං මම කිව්වෙ ඔහොම මිනිස්සු තමයි ඉක්මනින්ම යන්නෙ /

        ඔතන වෙන්නෙ මෙහෙමයි මචං…දිවිය ලෝකෙ තියනව Recruitment Team එකක්..එයාල මේ ලෝකෙට ඇවිල්ල මේ අපි අතර ගැවසෙනව…අපි කවුරුත් දන්නෙ නෑ….ඉතිං ඔය රත්තරං වගෙ මිනිස්සු ඉන්නව නේද?…විජහට එක්ක යනව දිවිය ලෝකෙට…ඔය අසූ අනූ ගනං වේලි වේලි ඉන්න ********** ල දිහා එයාල බලන්නෙ වත් නෑ..ඔන්න ඕකයි සීන් එක…

        මටත් ඔහොම දිවිය ලෝකෙ යන්ට පොඩි ඉන්විටේෂන් එකක් ආවනෙ …එදයිං පස්සෙ මම හිතාගත්ත වැඩිය හොඳවෙන එකත් නරකට හිටින්ඩ පුළුවන්…ඒ නිසා මයෙ හොඳ පොඩ්ඩක් විතර අඩු කොරගෙනයි දැං ඉන්නෙ…මේ..දිවිය ලෝකෙ යන්ට බයකට එහෙම නෙවෙයි ඔන්න…මට තව මෙහෙ කරන්ට තියෙනව ගොඩක් ජාති..ඒකයි 🙂 🙂

    • මන්ද බං අයියෙ උඹට මොනව කියන්ඩද කියල…. මං ආයෙමත් උඹ මෙකන නම් කරල තියෙන සටහන් ටික ආයෙ කියෙව්ව!!
      මං මේ ලියල කියෙන දේවල්වලට උඹට වෙන කිසි දෙයක් කියන්නෙ නෑ.. ඒත් එක කතාවක් කියන්නං…
      මගෙ පුරුද්දක් තිබුණ ඉස්කෝලෙ යන්ඩ දුවනගමන් පරණ කඩ කෑල්ලට ගොඩ වැදිල වැඩට යන්ඩ ඇඳගෙනත් ඩෝල්කී එක වයමින් ඉන්න තාත්තව ඉඹල යන…
      ඒවෙද්දි මං නාරම්මල මහජන බැංගුවෙ වැඩ කළා… අර උසස් පෙල පාස් වෙච්චහම දෙන්නෙ වැඩ කරන්ඩ ආං ඒ කාලෙ
      මොන එකක් ද මන්දා ඒ ජනවාරි පළමුවෙනිද මං කලබලේ දිව්ව… තාත්ත ඒයි ඒයි කොහෙද දුවන්නෙ කියල ඇහුවත්
      තාත්තෙ මං යනෝ පරක්කු වෙනෝ කියල කෑගහගෙන මං දිව්වෙ
      මගදි මතක් වුණා තාත්තව ඉම්බෙ නෑ නේද ගියල….
      ආයෙමත් තාත්ත පණපිටින් දකින්ඩ ලැබෙන්නෙ නෑ කියල හීනෙකිං වත් හිතුණෙ නෑ..
      අදටත් මගෙ හිතේ ඒ ගැන මහා පසුතැවිල්ලක් තියෙනව…
      අපරාදෙ කියල හිතෙනව…
      ඒ හන්ද මම තීරණයක් අරන් තියෙනව… දෙමාපියන් පෙම්බරයා, සහෝදරයා සහ මගේ කිට්ටුවන්තයින් වෙනුවෙන් කළ යුතු යැයි මගෙ හිතට දැනෙන දේ මං මොහොතක්වත් පමා කරන්නෙ නෑ… ඒ හිතිච්ච වෙලාවෙ කරනව!!!
      උඹ ඔය කසිප්පු කාරයො තාම ජීවත් වෙන එක ගැන පසුතැවිල් වෙන එක තේරුමක් නෑ… අපි අතින් අඩුපාඩුවක් වුණොත් ඒක තමයි පසුතැවිල්ල!!
      අයියෙ, ඒගැන කතා කළා මට ඇති….
      ඒ හන්ද උඹ මීට වඩා මොනව ඇහුවත් මං නෙවෙයි උත්තර දෙන්නෙ

      @ රවී අය්යා: 😛

  13. Susara says:

    තබ්ලා සහ බෙර බැඳපු නලා සහ හොරණා හදපු ( වෘතිය මට්ටමෙන් නොවේ ) කිහිප දෙනෙක් මමත් දන්නවා. අර බදාමය හදන්න බිත්තර සාරුත් යොදාගත්ත බවයි මතක. ඔක්කොමත් හරි හරක් හම පදම් කරනකොට තමා ඉවසන්න බැරි හං ගඳ .
    මේ වගේ තාත්තෙකුගේ දරුවෙක් ඉංජිනේරුවෙක් වීම අහම්බයක් නෙමෙයි .

    • Susara says:

      මම දන්නා කුඩා ළමයෙක් හිටිය . ඒ ළමයට යන්තම් බහ තේරෙන වයසේදී එයාගේ තාත්තා සංගීත විභාග සඳහා පුහුණුවීම් කරනවා. ඉස්තෝප්පු කාමරයේ බිම එලාගත් පැදුරක එරමිණිය ගොතාගෙන තාම්පුරාව වයමින් පැය ගණන් එකදිගට. මේ දරුවා පුරුදු වෙලා හිටිය කාන්සියට තාත්තගේ ළඟ පැදුරේ නිදාගෙන අර තම්පුරාවේ ගෙඩියට හිස තියාගෙන ඇතුලෙන් එන නාදයට කන්දෙන්න . බොහෝ වෙලාවට මේ දරුවට එහෙම්ම නින්ද ගියා. එහෙම ඉන්නකොට තාම්පුරාවේ ඇතිවී නැතිවී යන නාද සංකලන මේ දරුවාව අමුතු ලෝකයකට ගෙන ගියා .
      මේ නාද ඇතිවෙන්නේ කොහොමද කියන එක හොයන්න මේ දරුවා ලොකුවෙනකොට උත්සාහ කළා. සමහරවිට භාණ්ඩවලට අලාබ හානිත් සිදු කරමින් . කොහොම හරි පස්සේ කාලෙක ශබ්ද ඉංජිනේරුවෙක් වෙන්න හිතාගෙන මේ ළමය electronic තාක්ෂනය ඉගෙන ගත්ත digital සංගීතය නිපදවන ආකාරය ගැන හොදින් දන්නා ඔහුට අදත් අර තාම්පුරා නාදයට එහා ගිය කිසිවක් නැහැ . කෙතරම් දියුණු පරිගණක වැඩසටහන් මගින් නාද උත්පාදනය කලත් අර මිහිරියාව මවන්න බැරි බවයි ඔහුට හිතෙන්නේ

      • අයියා ඔයා මේ විස්තර කරන්නෙ මගේම අත්දැකීම්!!!
        ඒ අපි දෙන්නගෙම අක්මුල් තියෙන්නෙ සංගීතය ආත්මය කරගත්ත පවුල්වල වීම නිසා වෙන්ඩ ඕනෙ…
        මගේ අම්ම ලඟ ඉඳල තාම්පුරාවට කණ තියල, පස්සෙ කාලෙක ඒක වාදනය කරල උදව් කරල, ඊටත් පස්සෙ ඒක සුසර කරල, ඒ එක්ක ඒකාත්මික වෙලා සතතාභ්‍යාසයේ නිරතවෙලා මම ඇත්තටම ලබපු අත්දැකීම්!!!

        මෙතන ඉඳල මම ලියන හැමදේම ලියන්නෙ ඔයා වෘත්තිය වශයෙන් හාත්පසින්ම වෙනස් රාජකාරියක නිරත වුණත් කවර හෝ කාලෙක සංගීතය ගැන ක්‍රමානුකූල හැදෑරීමක් කරල තියෙන බව මට දැනෙන නිසා..
        ඔය අංකිත තාක්ෂණයට නාදයක් ඒකෙ තාරතාවට සමාන කරන්ඩ පුලුවන් වුණාට ඒ නාද එක්ක කිසි බැඳීමක් නෑ…
        නමුත් අපි මේ කතා කරන තාම්පුරාවට, වගේම අනෙකුත් පෙරදිග වාද්‍ය භාණ්ඩවලටත් මිනිස්සුත් එක්ක පුදුමාකාර විදියට ආත්මීයව බැඳෙන්ඩ පුලුවන්….
        වාදනය කරන පුද්ගලයාගෙ උණුසුම පවා සංගීත භාණ්ඩයකට අවශ්‍යයිනෙ!!
        වාදනය නොකර වසර ගණනාවක් මුලු ගැන්නිච්ච මගේ වයලීනය ක්‍රමයෙන් ගොලු වෙච්ච හැටි මම අත් වින්ද…
        මට පුදුම හිතුණ…
        මුල්ම කාලෙ කිසිම හැඟීමක් නැතුව ඔහේ ගායනා කළාට ටිකෙන්ටික ස්වර ඥානය ලැබෙද්දි, ඒ ස්වර කණ හරහා මොළයට සංඥා නිකුත් කරන විදිය ප්‍රායෝගිකව වැටහෙන්ඩ ගත්තට පස්සෙ තමයි හිතෙන්ඩ ගත්තෙ අපිට උපතින් ලැබිල තියෙන්නෙ ඉතාම විරල දායාදයක් කියල….
        ( අදටත් සංගීත භාණ්ඩයක් සුසර කරගන්ඩ බැරි ගුරුවරුන්ව මම දන්නව.. මාලකෞන්ස රාගය උගන්නන්ඩ ගිහින් ස්වර සංගති අතර අතරමං වෙලා අන්තිමට භාගේශ්‍රී රාගය උගන්නල පාඩම හමාර කරපු සංගීත ගුරුවරුන්ගෙන් මං ඉගෙන ගෙන තියෙනව)
        එහෙම වෙන්නෙ සංගීතය වගේ දෙයක් හදාරද්දි ස යන්න කෝමල ගයන්න මයන්න කියල න්‍යායික දේ විතරක් හිතට දාගත්තට අර කණ සහ මොළය එක්ක නාද ඇතිකරගන්නා බැඳීම ගැන අවබෝධය මදිකම නිසානෙ‍..

        චතුශ් චතුශ් චතුශ් චෛව
        ශඩ්ජ මධ්‍යම පංචමා
        දේ දේ නිශාධ ගන්ධාර
        තිස්රී රිෂභ ධෛවත:

        මේ ශ්ලෝකය අයිය අහල ඇතිනෙ…

        රාගධාරී සංගීතයෙ එන රාගවලදි එකම ස්වර යෙදෙන රාග දෙකක වුණත් ඒ දෙකේ යෙදෙන ස්වර සංගති අනුව ඒ ඒ ස්වරය පිහිටන තාරතාවෙ සියුම් වෙනස්කම් තියෙන බව අවබෝධ වෙන්නෙ න්‍යායික දේට වඩා එහා ගිය ප්‍රායෝගික භාවිතාවක් කියෙන කෙනෙක්ට විතරයිනෙ…

        ස්වර සහ ස්වරක්ෂේත්‍ර අතර වෙනස, මිනිස් සිත සහ කණ අතර සම්බන්ධයෙන් ඇතිවන ඉතා සියුම් අවබෝධයක් නෙ..
        ඒක බින්දුව සහ එක වශයෙන් සියල්ල හඳුනාගන්නා යන්ත්‍රයකට හෝ පරිගණක වැඩසටහනකට කරන්ඩ පුලුවන්වෙයි කියල මට පිලිගන්ඩ බැරි ඒ හන්දයි…..
        අයිය විස්තර කරන ඔය දරුවට ඒ වෙනස බොහොම ප්‍රායෝගිකව අත්විඳින්ඩ ලැබෙන්ඩ ඇති නෙ…
        සියල්ල ඩිජිටල් වෙච්ච, වෙන්ඩ දඟලන ලෝකෙක ඒ දරුවට ඒ සියුම් සත්‍යය තේරුණා නං ඒ තමයි ඔහු ලද වටිනාම දායාදය….

  14. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    ලියමනයි කමෙන්ට් ටිකයි කියෙව්වට පස්සෙ මුකුත් කියාගන්න බෑ අක්කේ. මේ ටික ලියන්නෙත් ඇස් දෙකට උනපු කඳුළු පිහදාලා.

    සංගීතය පැත්තෙන් කියලා තියෙන විස්තර ඇරුණහම මගේ තාත්තත් අක්කගේ තාත්තා වගේම අපූරු හැකියාවන්ගෙන් පිරිච්ච කෙනෙක්. ආයෙ අමුතුවෙන් ඉගෙනගන්නෙ නැතුව ඕන දෙයක් ගලවලා, හදලා, අළුත්වැඩියා කරලා ගන්න පුළුවන් අපේ තාත්තටත්. මං මගේ තාත්තට ගොඩක් ආදරෙයි. හැම දරුවෙක්ම එහෙමයි.

    අක්කලාගෙ තාත්තා හොඳ තැනක ඇති. ඒ එක්කම ඔයාලා අද හොඳින් ඉන්න හැටි දැකලා සතුටින් ඇති. ඔයාලා ගැන ආඩම්බර වෙනවා ඇති, අක්කා තාත්තා ගැන ආඩම්බරෙන් කතා කරන තරමටම.

    • නංගී, අපේ තාත්තලගෙ හැකියාවන්ගෙන් බාගයක්වත් අපි ලඟ නෑ..ඒත් අපි ඒව අගය කරනවනෙ… අපෙ දරුවන්ට ඒවගෙ දේක වටිනාකම හිතට දෙන්ඩ ටිකක් අමාරුවෙයි…
      උන්ගෙත් දරුවො සමහර විට ඒ මොන විකාරයක්ද කියල උඩ බිම බලන්ඩත් ඉඩ තියනව

      මට පුදුම හිතෙනව තාත්ත ගැන මතකයන් ලියන්නෙ හරියට මට තාත්ත ගැන අමතක වෙයි කියන බයකට වගේ.. ඒත් ඇත්තටම හිතුවාම මං ඒ මතක ඔපදාන එකයි කරන්නෙ…!!
      ඒකෙන් ඒ මතක පොදිය තව තව ලස්සන වෙනව!!!

  15. නිරෝෂා says:

    හරීම ලස්සනයි නංගී මම තවම කෝඩුයි මේ වැඩේට පොඩ්ඩක් කල් දෙන්නකෝ

  16. සංවේදි සටහනක්!

  17. මුලින්ම මේ පෝස්ට් එක කියවගෙන යනකොට හිතුනෙම පියසේන කහදගමගේ මහත්තයාගේ පොතක් කියොනවයි කියලා. මොකද ඒ රටාවට ගොඩක් නෑකම් කියන ස්ටයිල් එකක් තමයි අක්කට තියෙන්නේ. නමුත් කතාවේ මුල කියෝගෙන ආපු සතුට අග වෙනකොට නැති වෙලා යනවා. ජිවිතෙත් එහෙම වෙන්ඩ ඇති…..

    • ඔන්න ඒ පාර මට දැන් කහඳගම මාමගෙ පොත් ආයෙත් කියවන්ඩ ඕනෙ වුණා… දැන් ඉතිං ආයෙ බඩගින්න ආව වගෙ තමා!!
      බලං උඹ කරන වැඩ

    • Maneka says:

      ඔන්න ඉතිං මටත් කියවන්ඩ ඕන වුණා!!! :(( මධුරංගයා කළොත් ඔහොම වැඩක්මයි!!! :((

      • ජනූ අක්කා නම් කමන් නෑ කියමු…. ඒත් මනෙක්කා… අපෝ ඒයැයි කියෝන පොත් ! පුඃ !!!! 🙂

        ඕං දෙන්නම පොත් ගන්ඩ එන්ඩෝන හරිද ? මතකයිනේ දවස ? 🙂

  18. මමත් කමෙන්ටුවක් දැම්මා ඒකට මොකද වුණේ

    • එහෙමද හැබැයි මේක විතරයි වගේ තියෙන්නෙ… කලින් දාපු කමෙන්ට් එකක් නෑනෙ ….

      • ටිකක් දිග කමෙන්ටුවක් දැම්මා.ආයෙත් ලියන්න බෑ.කෙටියෙන්ම කියන්නං.මගෙ තාත්තා මැරුණෙ මම පොඩි කාලෙ.දැන් එක මට හිනයක් වගෙයි. අක්කගේ ලිපිය සංවේදියි.
        http://samakayawate.blogspot.com/

  19. ප්‍රියන්ත says:

    මම කලිනුත් කියල තියෙනව වගේ ඔයාගෙ ලිපිවල මොකක්ද සිනමාමය ගුණයක් තියෙනවා. මම දැකල නැති ඔයාලගෙ තාත්ත මුරිච්චි අහුලනව, බිත්තර තම්බනව… එතකොට… ඩොලැක්කෙ ගහනව මම දැක්කනෙ!! ඔයා දන්නව ඒ වෙලාවට මැවෙන්නෙ තමතමන්ගෙ තාත්තලගෙනුත් දේවල් එකතු වෙලා කියල. මට නම් මගේ තාත්තිව!!!

  20. සංගීත පවුලක් වගේ නේද?

    කතාවේ අන්තිම ටිකනම් හරිම සංවේදී. අපේත් අම්මා, තාත්තා දෙන්නම සංගීතෙ කරලා තියෙනවා. ඒත් තාත්තාට තියෙන කාර්්‍යබහුලවයත් එක්ක තාත්තා ඒකේ ඈත් වෙලා.

    මම බෑන්ඩ් එකේ අන්තිම කාලේ ප්ලේ කරේ ක්ලැරිනට් එක. ගිටර් ප්ලේ කරන්න මම හරිම ආසයි. ඒත් ක්ලාස් එකකටවත් යන්න වෙලාවක් නෑ.

  21. TG says:

    කීප සැරයක්ම ඇවිල්ලා බාගෙට කියවලා කමෙන්ට් එකක් නොදා ගියා .දැනුත් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ

  22. Maneka says:

    //අපේ තාත්තලගෙ හැකියාවන්ගෙන් බාගයක්වත් අපි ලඟ නෑ//

    ඒ ගැන නම් කියලා වැඩක් නෑ!!

  23. Hima.. says:

    අදම තමයි අක්කෙ මම මේ පැත්තේ ආවේ.අනේ හුගාක් දුක හිතුනා.හුගාක් එකමුතු පවුලක් කියල හිතුනා.

  24. අම්මලාට වඩා තාත්තලාට දූලා වැඩියෙන් එකතුයි. . .
    කතාව හිතට දැනුන තරම ඇහැ තෙත් කරන් ගලා ගිය කදුලු බින්දුව මට කිව්වා

  25. මට අපේ තාත්තා මතක් උනා. තාත්තා ගිහින් අවුරුදු දහයක් මේ නොවැම්බර් වලට. අපේ තාත්තාත් සර්පිනාව වගේ සංගීත භාණ්ඩ කීපයක් වාදනය කළා. තනියම ඉගෙනගෙන. අර ඇන වගේ දේ එකතු කරන එකත් කළා හැමදාම මොකක් හරි හදන එකත් කළා. තාත්තා ගියාම හරියට වහලය පලාතක් කුනාටුවකට කඩාගෙන ගියා වගේ හිස් කමක් ඉතිරි උනා. අවුරුදු දහයකට පස්සෙත් එහෙමමයි..
    ඔයාගේ සයිට් එක අර හෙන්රි වගේ ගෙන්නකෝ බ්ලොගර් එකට. මට අප්ඩේට් නොවෙන හින්දා ඔයාගේ වගේම රන් මාළුවා හෙන්රි වගේ අයගේ බ්ලොග් අතපසු වෙනවා. මේල් මම කියවන්නේ කලාතුරකින් පෙට්ටිය හිස් කරන්න විතරයි !

    • හ්ම්
      සරත් අයියෙ,
      මං කලිනුත් කිව්ව වගේ අදයි දකින්නෙ මේ කමෙන්ට් සේරම… ලඟදිම මගේ බ්ලොග් එකේ වෙනසක් කරන්ඩ හිතාන ඉන්නව.. පෙම්බරයගෙ අනුග්‍රහය ඇතිව… බලමු!!
      එතකල් පොඩ්ඩක් ඉන්ඩකො

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s