සොඳුරු සැරිසර මතක…!!

අපි උදෙන්ම බුද්ධ විහාරෙන් එළියට බැස්ස…

ඒ වෙද්දිත් මීදුමේ අඩුවක් නෑ…

දූවිල්ල අවුස්සාගෙන එන සීතල සුළඟ ඇඟේ දැවටිලා ආයෙමත් ඇතුළට ගිහින් පොරවගෙන නිදාගන්ඩ බල කළත් ඒ රටේදි හිත කියන්නේ  ඇවිදින්ඩයි!!

ඒ වෙද්දි මල්ලිගේ ලිඛිත පරීක්ෂණය අවසන් වෙලා…ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දින නියම වෙලා තිබුණු නිසා පුහුණුවීම් කටයුතුවලට භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨය වෙතට දිනපතාම පාහේ යන දවස්…

භාත්කණ්ඩේ විද්‍යාපීඨය තියෙන්නෙ කෛසර්භාග් වල… ලාල් කුවාං වල ඉඳල කෛසර්භාග්වලට අපි යන්නෙ පයින්…

විහාරයෙන් පිටත් වෙලා අපි ඉස්සෙල්ලාම වැටෙන්නෙ දෙපැත්තෙම එකකට එකක් ඇලිච්ච ගෙවල් පිරිච්ච පටු මාවතකට….

මේ පටු මාවත තමයි අපිට ඉස්සෙල්ලාම කියන්නෙ නගරය පාන්දරින්ම අවදිවෙලා කියල

මහ තඩි කල්දේරම්වල පුරවපු කිරි උණු කරන ගමන් දොදොල් පත්තක් වගේ දිග උපකරණයෙන් ඒක පදමට හැඳිගාන වේට්ටි ඇඳගත්ත උඩුකය නිරුවත් මිනිස්සු…

කරත්තවල භාජන තියාගෙන කොළ ගොටුවලට වෙඬරු පුරවල දෙන වෙලෙන්දො…

උදේම පුංචි එවුන් නාවල උන්ව උණුහුමෙන් තියන්ඩ ඕනෙ නිසා පාරට එක්කන් ඇවිල්ල වෙඬරු අරන් කවන සීයලා….

මාසයක් එකදිගට දවසට එක ජාතිය ගානෙ කාල බැලුවත් ඉවර වෙන්නෙ නැති තරම් රසකැවිලි වර්ග පුරවගත්ත කරත්ත තල්ලු කරන් තමන්ගෙ තැන අල්ලගන්ඩ දුවන මිනිස්සු…

ගෙවල්වල ඉස්සරහ කාමරේ ගාල් කරපු සීතලට ගෝණි ඇඳුම් අන්දපු හරක් තාමත් නිදිමත බේරෙන ඇස්වලින් කාමරේ ජනෙල්වලින් එබිල… කෑමට යමක් ලැබෙනකල් බලන් ඉන්නව…

සාරි කොණෙන් හිස වහගත්තු ගෑණු සෙම්බුවලට වතුර අරන් ගෙයි එලිපත්ත සෝදනව…

පාරවල් දෙපැත්තෙ රික්ෂෝ නවත්තල එක තැනකට එක්කහු වෙලා පාර අයිනෙ ලිපක් බැඳගෙන තේ හදන චපාති හදන මිනිස්සු පහුකරගෙන අපි ඉස්සරහට ඇදෙනව…

එතනින් පස්සෙ අපි වැටෙන්නෙ ගෞතම බුද්ධ මාර්ගයට…මේක තරමක් විශාල වීදියක්…

විශේෂත්වය තමයි මේකෙ වැඩි හරියක් විකුණන්ඩ තියෙන්නෙ තුවක්කු සහ වෙඩිබෙහෙත්!!!

තුවක්කු ගන්ඩ ආව රජ ඇඳුම්, තලප්පාවල් බැඳගෙන කඩු කස්තාන ඉනේ ගහගත්ත මනුස්සයගෙ ඉඳල ඈත ගමක හේන් වවන ගොවියො දක්වා  නානාවිධ ඇඳුම් ඇඳගත්තු මිනිස්සු ගැවසෙන වීදියක් තමා මේක

අනේ අනේ… පුදුම ගෞතම බුද්ධ මාර්ගයක් තමා ඒක නං!!

මට හිතුණෙ මේක දැක්ක පළවෙනි  දවසෙමයි!!

ඊලඟට හම්බවෙන්නෙ හරිම කලබලකාරී හතරමංහන්දියක්.. ඒකෙ උදේ හවා පොදිකන නානාප්‍රකාර වාහන අස්සෙන් රිංගල පාර මාරුවෙන එක තමයි හපං කම..මේ ලක්නව් නගරෙ ගමන් කරන බස් එකක් හොයාගන්ඩ හරිම අමාරුයි..

රික්ෂෝ, තුන්රෝදෙකට වඩා තරමක් ලොකු ටෙම්පෝ, සහ සුමෝ රථ මගින් තමයි නගරයේ අභ්‍යන්තර ගමනාගමනය වැඩි හරියක් සිද්ධ වෙන්නෙ..

ඒ ඇරුණම මරුති, වගේ ඉන්දියාවෙ නිශ්පාදිත පුංචි කාර්වලින් පාරවල් එක යායට පිරිල පැය ගණන් තදබදය තියෙන පාරවල්වල අනතුරක වුණත් අත දික්කරල  මොනවද ඕයි කරන්නෙ කියල අහන්න වගේ  මූණ ඇදකරනව මිසක් මිනිස්සු බැහැල ගහ මරාගන්නව නං දැක්කෙම නෑ මං..

ඒ හන්ද වෙන්ඩ ඇති හැම කාර් එකකම වගේ බඳ රවුම් වෙලා තිබුනෙ

මේ ටෙම්පො කියන්නෙ හරියට  තුන්රෝදෙ ලොකු අය්ය වගේ එකක්… පිටිපස්සෙ බංකු දෙකක් මුහුණට මුහුණලා ඉඳගන්ඩ පුලුවං වෙන්ඩ හදපු මේ ටෙම්පො රථයෙ රියදුරාගෙ සීට් එකෙත් දෙපැත්තෙ තව දෙන්නෙක් යනව

සාමාන්‍යයෙන් මෙතන යන දෙන්නගෙන් එක්කෙනෙක් තමා සල්ලි ගන්නෙ…

ඒ මදිවට දෙන්නගෙම ශරීරයෙන් බාගයක් එලියෙ තියෙන්නෙ කුන්දෙනා එක පෙළට ඉඳගත්තාම එන පළල ටෙම්පො එකේ පළලට වඩා වැඩි හන්දයි..

ඉතිං ඔන්න මොකක් හරි වාහනයක් ඉස්සර කරන්ඩ එනව පේනව නං ඒ අදාල පැත්තෙ මනුස්සයට තමන්ගෙ එලියෙ තියෙන බාගෙ ඇතුලට ගන්ඩ අනිත් පැත්තෙ ඉන්න කෙනා එලියට පැනල උදව් වෙනව..

මේ වැඩේ  අපි වගේ ආගන්තුකයන්ට නං බලන්ඩ හිනහයි…

හැබැයි මේක බොහොම හොඳ අන්‍යොන්‍ය අවබෝධයෙන් සහයෝගයෙන් කරන දෙයක්!!!

කොහොම හරි ඔය හතරමං හන්දියෙන් බේරිලා පාර පැනල ටිකක් දුර ගිහින් අතුරු පාරකට හැරුණාම අපේ කෑම කරත්තෙ තියෙනව…

මේ කෑම කරත්තෙ කරන්නෙ අයියල මල්ලිල කට්ටියක්

රුපියලට දෙකට බඩ පැලෙන්ඩ කන්ඩ පුලුවන් පාර අයිනෙ කරත්ත කඩයක්…

බත්, පූරි චපාති වගේ දේවල් හොදි සහ තවත් විවිධ දේ එතන තිබුණ.. විවිධ එළවලු වර්ග සහ පරිප්පු යොදල හදාපු උඩිං අමු කොත්තමල්ලි කොල ඉහපු ඒ හොද්ද සහ බත ඔවුන් ගෙදර ඉඳල හදාගෙන එන බව දැක්කෙ දවසක් අපි කලින්ම ඇවිත් එයාල එනකල් බලන් හිටිය දවසකයි…

සමහර විට ඒ ළමයිංගෙ අම්ම උදේ පාන්දරින්ම නැගිටල මේ හොද්දයි බතයි හදල දෙනව ඇති!!

පූරි නං එවෙලෙ බැදල දෙනව… චපාතිත් එවෙලෙ හදල උණු උණුවෙ දෙන්නෙ…

ආප් කහාංසේ ආයේ හෝ??  කල්කත්තේ සේ??

ඒ ලොකු කොලුව  නිතින්…

අපි අමුතු භාෂාවකින් කතා කරනව ඇහුණම අංහංඉන්ඩ බැරිම තැන ඇහුව අපි ආවෙ කල්කටාවෙන්ද කියල??

අපි ලංකාවෙන් ආව කිව්වම රස්සාවක් කරන්ඩද ආවෙ කියල ඇහුව

හැමදාම එකම වෙලාවකට කන්ඩ එන හන්ද වෙන්ඩ ඇති එහෙම ඇහුවෙ…

විභාගෙකට ආවෙ කිව්වාම  කොලුව හිනාවෙලා පොඩි වෙලාවකට  බර කල්පනාවකට වැටුණ

මම නං ලොකු දුරක් ගියා…

සමහරවිට නිතින් ඉගෙන ගන්ඩ බොහාම ආසාවෙන් ඉන්ඩ ඇති… ඒත්  පියා මිය ගියා නම් පවුලෙ වැඩිමලා විදියට පවුලෙ බර කරට ගන්ඩ සිද්ධ වෙන්ඩ ඇති…

ඉගෙනීම පැත්තක තියල අඩු වයසෙන්ම තාත්තගෙ භූමිකාව රඟපාන්ඩ වුණාම ඉතිං ඉගෙන ගන්ඩ තියෙන ආසාව අමතක කරන්ඩ වෙන්ඩ ඇති…

හ්ම් !!!  මං ගිය දුරක්!!!

මට දැනෙන විදියට ඉන්දියාවෙ පහල සමාජ ස්ථරවල පිරිමියෙක් ශ්‍රම බලකායට එක්වෙන වයස් සීමාව හරිම පහලයි… අවුරුදු තුනෙන් හතරෙන්ම තමන්ගෙ වයසට ඔරොත්තු නොදෙන රස්සාවල් කරන්ඩ වෙන්නෙ ජීවන බර ඒ වයසෙදිම දැනෙන්ඩ ගන්න හන්දයි…

කෝච්චියෙ කසල අතුගාන්නෙ, සපත්තු මදින්නෙ, චායේ චායේ කිය කියා තැන්තැන්වල තේ විකුණන්නෙ, මේ හැම දේ ම බඩගින්න නිවන්ඩනෙ…

මේ වැඩිදෙනාගෙ බලාපොරොත්තුව තියෙන්නෙ පුලුවං ඉක්මනට රික්ෂෝවාලෙක් වෙන්ඩ.. නැත්තං  ආටා එකක් පදින්ඩ…

ඒ අතරෙ නිතින් එයාගෙ මල්ලිල එක්ක එකතු වෙලා කෑම කරත්තයක් පටන් අරන්!!

අපි හැමදාම වගේ කෑවෙ එතනින්.. අන්තිම දවසෙ නිතින් සහ එයාගෙ කෑම කඩේ පින්තූරයක් අරගන්ඩ හිටියත් අනේ බැරිවුණානෙ!!!

ඒ කාලෙ මං බ්ලොග් ලියන්ඩ පටන් අරන් තිබුණනං කියල මට සැරෙන් සැරේ හිතෙන්නෙ ඒක වෙන්ඩ ඇති

එයාට අපි වගේ තවත් නිත්‍ය පාරිභෝගිකයන් හිටිය..

වටේ පිටේ හිටිය වැඩි දෙනෙක් එතන බංකු පොඩිවල ඉඳන් උදේ කෑම කනව…

මල්ලි නං වැඩිපුරම කෑවෙ පූරි මහිතෙ…

මං නං වැඩි දවසක් නෑවෙ අර කලවං හොද්දයි බතුයි තමයි.. ලංකාවෙදිත් ඒක හොද්දයි බතයි කන්ඩ වැඩියෙං මනාප මං ඒක පුදුම විදියට රසවින්ද

මේ බත් හෝ පූරි හෝ චපාති බෙදල දෙන්නෙ වියලි පත්‍ර තට්ටු කීපයක් දැඩි පීඩනයට ලක්කරල හදපු පිඟන්වල…මේ කාලෙ ප්ලාස්ටික් භාවිතය සහ පොලිතින් ප්‍රතිචක්‍රීකරණ සංකල්පයක් ඉන්දියානුවන් අතරෙ සෑහෙන්ඩ පැතිරිලා තිබුණ කාලයක්

මේ  දිරාපත්වන පිඟන්වලට වැඩි ඉල්ලුමක් ලැබිල තිබුණෙ ඒක නැවත පාවිච්චි කළ නොහැකි වුණත් පරිසරයට හානියක නැතුව ඉවතලන්ඩ පුලුවන් වීම නිසයි

. කොටින්ම කිව්වොත් කුණු ගොඩවල් අසල කෝටු කෑලිවලින් පොලිතින් හොයන ගෑණු දැක්කමයි හිතුණෙ පොලිතින් අහුලල කිලෝ ගාණට විකුණන එක ගැහැණුන්ගෙ ජීවනෝපායක් බව

බඩ කට පිරෙන්ඩ සප්පායං වෙලා ආයෙමත් අපේ චාරිකාව පටං ගන්න අපි බාරාදරී  ශාලාව පහු කරන් ඇවිත් බට්ලර් පාක් එක ලඟින් ඇවිත් නවතින්නෙ විද්‍යාපීඨය ඉස්සරහ…

සල්වාර් ඇඳන් වයලින් එස්රාජ් තුරුල් කරන් එහා මෙහා පාවෙන සුන්දර කෙල්ලො… කුර්තා ඇඳන් තාම්පුරා උස්සගෙන  තමන්ගෙ ගුරු ජී පිටිපස්සෙන් පන්තියට යන කොල්ලො රෑන්…උන් දැක්කම මගෙ හිතට හෙමින් සැරේ පාලුවක්… කාන්සියක් ඇවිත් රිංගගත්ත…

ඒක හුරු පුරුදු පාලුවක්.. දුකක්…

සංගීතය ජීවිතය වෙලා හිටපු අවුරුදු ගාණක් පහුකරල… කවද හරි ඉන්දියාවට ගිහින්  එහෙ ජීවත් වෙමින් සංගීතය හදාරන්ඩ සිහිනයක හිටිය කෙනෙක්ට හොඳ උසස්පෙල ප්‍රතිපල ලැබීම නිසා අනාගතය ගැන හිතල තමන්ගෙ සිහින දිශානතිය අංශක අනූවක් වෙනස් කරල යාත්‍රා කරන්ඩ වීමෙන් හට ගත්තු දුකක්!!

මල්ලි අපෙන් මිදිල එයාගෙ මිතුරු කැලට එක්කාසු වෙනව…

අම්මයි මමයි නිමක් නැති ලක්නව් නගරයේ අපි කැමති කැමති තැන්වල පයින් ඇවිදිනව…

මේ කාලය මගේ හිතේ කුරුලු හැඟීමක් හිතේ දැවටිච්ච කාලයක්…

නන්නාඳුනන මිනිස්සු අතරෙ ඔහේ ඇවිදින එක අපි දෙන්නට පුදුම විනෝදයක් වුණා!!!

එක දවසක බට්ලර් පාක් එකේ බංකු උඩ.. සීතල මීදුම් වැදි වැදී අපි දෙන්න වචනයක් කතා නොකර හිටිය වුණත්  මගෙ හිත පිරිල තිබුණෙ කියාගන්ඩ බැරි අමුතුම හැඟීම්වලින්!!

ඒක හෝටන් තැන්නට ගියාම, රිවස්ටන් ගියාම මට ඇති වෙන හැඟීමට සමානයි!!

තව දවසක් විද්‍යාපීඨයට යාබදව පිහිටි සදාත් අලි ඛාන්ගේ අලංකාර සොහොන් ගර්භය අසල අපි දෙන්න ඔහේ වැටිල හිටිය…

තවත් දවසක වීදුරු වළලු, අරුමෝසම් බඩු පිරිච්ච වෙවර්ණ වීදියක  හැඩ බල බලා පයින් ඇවිද්ද හැටි මතක් වෙද්දිත් හිතට එන්නෙ හරිම අපූරු හැඟීම්…..

මෙහෙම කොච්චර ලිව්වත් සැබෑ හැඟීම අකුරුවලට නැගේවි කියල හිතන්ඩවත් බැරිතරම් අපූරු හැඟීම්!!!

හ්ම්!!

කාලෙකින් ආපහු ලියන මූඩ් එකට ආවෙ…

රික්ෂෝ වාලා

භූල්භුලෙයියා හී  අතරමංව

ඉන්දියානු සහෝදරී

ඔන්න ළමයි මට අමතක වුණොත් කියල මේ ඉන්දියානු චාරිකාවෙ මං ලියන්ඩ ඉන්න කතා ටිකක් මෙතන පෙල ගස්සනව…

අමතක වුණොත් මතක් කරන එකයි ඇත්තෙ…

මෙන්න රවී අයියගෙ කරදරේ බැරිකමට ටෙම්පො එකක පින්තූරයක් දානව. ඇත්තමයි.. මං කම්මැලි වෙලා තමයි ටිකක්!!

ඒක මෙතනිං

අනිත් පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

27 Responses to සොඳුරු සැරිසර මතක…!!

  1. henryblogwalker the Dude පවසයි:

    ගෞතම බුද්ධ මාර්ගයේ වැඩිපුරම විකුනන්න තියෙන්නෙ තුවක්කු සහ වෙඩි බේත් කියන එක පුදුමෙකුත් නෙවෙයි අපේ ගෞතම බුද්ධ දේශයෙ කෙරෙන අකටයුතුත් එක්ක බලනකොට.
    ඉන්දියාවෙ එහෙම නිදහසේ ඕනෙ කෙනෙකුට ගිණි අවි පාවිච්චි කරන්න පුලුවන්ද අමෙරිකාවෙ වගෙ?

    කේජු කියන්නෙ චීස්, වෙඬරු කියන්නෙ බටර්. එහෙමයි මම හිතාගෙන හිටියෙ. ඔය උඹ කියන කොල ගො‍ටුවලට දාල දෙන වෙඬරු ජාතිය මොකක්ද?

    අර ටෙම්පො වලින් එලියට පැන්න පස්සවල් ගැන කියපු කතාව නම් මාරයි.

    යකෝ මාත් නොදැනිම ප්‍රශ්න පත්තරයක්ම අහලා. 😀

    • පහුගිය ද්ග නිවාඩුවට අපි තිරිකුණාමලේ ගියානෙ අයියෙ.. අද තමයි පොඩ්ඩක් කමෙන්ට් කරන්ඩ ඉඩ ලැබුණෙ.. මොන එකක් ද ඒ පාරෙ මන්ද වැඩියෙන් තිබුණෙම තුවක්කු කඩ…. එහෙ කොහොමත් එක එක දේවල් විකුනන වීදි වෙන වෙනම තියෙනව නෙ…
      සම් භාණ්ඩවලට වෙනම තියෙනව ප්‍රතාප් මාකට් එක… විසිතුරු බඩු, ආභරණ එහෙම අරගන්නව නං අමීනා බාද්….
      වෙඬඑු කියන්නෙ බටඒම තමයි අයියෙ… වෙනස මේ ව අර ශීතකරණවල එහෙම දාල කල් තියපු එව්ව නෙවෙයි.. එදිනෙදා නිපදවන එව්ව
      ඔය ටෙම්පො කියන වාහනෙයි අර ඉස්සර අපේ පොලීසිවලට දීල තිබුණ සුමෝ ජීප් එකයි රික්ෂෝයි තමයි ලක්නව් නගරෙ ඇතුලෙ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය..
      හම්මේ…. මීට පස්සෙ ප්‍රශ්න අහද්දි එක දිගට අහන්ඩ එපා බං අයියෙ…
      මගෙ දිවත් ගිලෙන්ඩ එනව උත්තර දීලම 😀

    • Sarath Lankapriya පවසයි:

      මේ හෙන්රියාව දීයා කන්න එපාය (ඔබා කියන්නේ එහෙමයි හිටියානම්) මං ලියන්න හිතු එක ලියලානේ..

  2. indika27 පවසයි:

    මේ ඉන්දියානු සංචාර ලියවිල්ලෙ කලින් එකක් මං බැලුවා ඒකත් කදිමයි..ඔයාට සල්ලි ටිකක් යහමින් ගැවසෙන කාලයක් ආවොත් මේ ඉන්දියානු චාරිකා සටහන් ටික පොතක් ගහන්න..ඒ තරම් මුදලක් නම් පොතකින් හොයාගන්න බැරිවෙයි..ඒත් මේ වින්දනය තවත් අයට ලැබෙයි..අපි ඉන්දියාව විදියට දකින්නෙ මහා ජරා ගති තියෙන්න ජරාව පිරුණු රටක් විදියට..නමුත් ඒ අදහස මේ වචන පේලි අස්සේ වියැකිලා යනවා අපූරුවට….හරිම ලස්සනට ලියලා තියෙනවා…ආසා හිතෙනවා කියවන්න… බොහොම ඇඟට දැනෙන සටහන් කීපයක්….

  3. පවසයි:

    නියමයි
    මාත් හරි කැමතියි ඉන්දියාවේ සංචාරෙකට යන්න

  4. Buratheno පවසයි:

    ඒක නෙවැ අපේ අයත් කියන්නෙ “මේ ‍ගෞතම බුද්ධ රාජ්‍යයයි” කියලා.. මේ මිනිස්සු ඒක තේරෙන්නැතුං නෙවැ ‍මේ බොරුවට කෑ ගහන්නෙ.. 🙂

  5. Gold fish පවසයි:

    ඔය මූඩ් එක හැමදාම තියෙන්න ඕනේ…. 😀 නියමයි අක්කේ…

  6. Nish පවසයි:

    මූඩ් එක ආවත් පරන රිදම් එක පොඩ්ඩක් මග ඇරිල වගේ.:)

    නියමයි වින්දා…!

  7. ravi පවසයි:

    අඩේ, මේ ඔය ටෙම්පොද මක්කද කියන එව්ව වගෙ අපි දන්නෙ නැති අටමගල් ගැන ලියනකොට එව්වයෙ අඩු ගානෙ පිංතූරයක් වත් හොයල දාහං…කොහෙද උඹෙ කම්මැලි කොම ඉහ වහ ගිහිල්ල නෙව..ඉතිං කොහෙද කොරන්නෙ?

    ඔන්න මම එකක් හෙව්ව..බලාපං මේකද කියල….හෙහ්, හෙහ්,

  8. praveena පවසයි:

    ලස්සන සටහනක් ජනූ. ඉන්දියාව කියන්නේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති, බලලා ඉවර කරන්ට බැරි රටක්.
    ඔයාගේ ලියවිල්ලත් ඒ වගේමයි. 🙂

  9. henryblogwalker the Dude පවසයි:

    ඇයි බං උඹ අපි කියන දේට හ්ම්ම් කියලාවත් කියන්නෙ නැත්තෙ? 😦

  10. අනේ සමා වෙයං අයියෙ… අපි තිරිකුණාමලේ ගියා නෙව… ඉතිං ජාලගත වෙන්ඩ වෙලාවක් තිබුණෙ නෑ.. වැඩි වෙලාවක් මූදෙ හිටියෙ…

  11. රූ පවසයි:

    ඉන්දියාවෙ ඇවිදින කොයි කාටත් ලැබෙන මේ අත්දැකීම වෙන කිසිම රටකදි ලැබෙන්නෙ නැතුව ඇති ජනූ..
    මට නීල් විජේරත්න මහත්තයා ලියපු මදුරාසි කොළුවා පොත ආයෙත් මතක් වුනා..

  12. මී පැටියා පවසයි:

    ලංකාවේ හිටියත් කොළඹදි මමනම් වැඩිපුර කන්නේ සයිවර් කඩ වලින්.

    ඉන්දියාව කියන්නේ එක රටක් වුනාට රටවල් ගොඩක එකතුවක් වගේ ඇත්තටම. සංස්කෘතීන් ගොඩක්, භාෂා ගොඩක්..

  13. මධුරංග පවසයි:

    ඒක නෙමේ එද්දි ගිනිබටයක් ගෙනාවේ නැද්ද… ?
    ගෙනාවනම් මට ටික දවසකට ඉල්ල ගන්ඩ පුලුවන්ද… අපේ හොස්ටල් එක ගාවට එන වල් ඌරෙක්ව එලා ගන්ඩ තිබ්බා !

    ප.ලි . – දැන් මනෙක්කත් ලියයි මෙහෙම සීරීස් එකක්… උන්දැත් ලඟදි ඉන්දියා ගිහින් ආවා නෙහ්. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )