තාත්තගෙයි අපෙයි දවස්…!!!

අම්ම මොකක් හරි සංගීත වැඩකට ඉස්කෝලෙ හවස් වෙනකල් ඉන්නව නං එහෙම ඉස්කෝලෙ ඇරිල අපි දෙන්න එන්නෙ  සෝමෙ මාමගෙ වෑන් එකේ

ඒ වෙලාවට ගොඩක් වෙලාවට තියෙන්නෙ ඒක‍

බස් නැවතුමේ නවත්තනකල් ඉඳල අපි දෙන්න වෑන් එකෙන් බිමට පැනල ගෙදර දිහාවට දුවනව…

බස් හෝල්ට් එකේ ඉඳල වැඩි ඈතක නෙවෙයිනෙ ගෙදර තියෙන්නෙ…  උණ බම්බු හරස් කරපු කඩුල්ල උඩින් පිම්මක් පැනල ගෙදර දුවනව…

ඒයි ඒයි… කවුද කඩුල්ල උඩිං පනින්නෙ…. 

පරණ ගෙදර පුංචි ජනේලෙන් එබිල තාත්ත කෑගහනව..

ආ!!!!! අද කලින් ආවද තාත්ත!!! නියමයි!!!

මල්ලි උඩ පනිනව…

සමහර දවසට තාත්ත මල්ලිට කලින්ම කියනව වේලාසනින් එනව නං… අද මං හිතේ අහම්බෙන් එන්ඩ පුලුවං වෙලා

හා හා.. නාගෙන ඉස්සෙල්ල බත් කාල ඉමුකො…..

තාත්ත අපි දෙන්නවත් ඉස්සර කරගෙන යනව…

තුන්දෙනාම නානව… මිදුලෙ ලිඳෙන් වතුර ඇදගෙන.

එක එක කතන්දර…

තාත්තට තිබුණෙ ගෙල තෙක් වවපු මුදු මුදු කොණ්ඩයක්!!!

ඒක දිග වැඩි වෙද්දි යටින් කොට කරන කරණවෑමි වැඩේ කරන්ඩ වෙන්නෙ මටයි…

තාත්ත නාන්ඩ එද්දි ආච්චි අම්මගෙ පරණ කතුර අරන් එනව නං ඒ එන්නෙ කොන්ඩෙ කපන්ඩයි කිය මං දන්නව…

ආ… අද දෙන්නං වැඩේ!! කපනව මං කොන්ඩෙ සිග් සැග්!!!

මං කෑ ගහනව…

අනේ එපා බල්ලො… යටිං අඟලක් අඩු කරපංකො හොඳ එකී වගේ

බෑ බෑ….. අද නං අහුවුණා මට…

කපනව කොන්ඩෙ සිග් සැග්

දෙන්නං වැඩේ මම

පාරෙ බැස යන්ඩ බැරි වෙන්ඩම

මං කවි තාලෙට කියනව…

තාත්ත අනේ එපා කියනව

ඔය යටින් අඟලක් අඩු කරන වෙලාවෙදි තාත්තගෙ කොන්ඩෙ යටින් රැලි රැලි හිටින්ඩ කපන්ඩම හිතෙනව…

ඒත් ඉතිං පවු නෙ!!

අනික මං කොච්චර එහෙම කිව්වත් ඕක කරන්නෙ නෑ කියල තාත්ත දන්නව

ඊට පස්සෙ තුන් දෙනාම කුස්සියට…

අපි තුන් දෙනාටම කන්ඩ බත් මදි නගේ නං අපි අමුතුම කෑමක් හදනව!!!

අම්ම අපි දෙන්නට ඉතුරු කරල ගිහින් තියෙන බතුයි, තාත්තගෙ බත් මුලයි එකට දාල.. එළවලු මාලු ඔක්කොම එක භාජනේකට දානව..හීටරේ ගහල බිත්තරයක් තම්බල ඒක පුංචි කෑලිවලට කපල  ඒකත් දානව… බොම්බයි ලූණූ ගෙඩියක් ලියල ඒකත් දානව.. තව පොල් ටිකක් ගාල.. අමුමිරිස් කරලකුත් කපල දාල සේරම ටික එකට අනනව….

හ්ම් මේක පෙනුමෙන් නං ඒ තරම් ප්‍රියජනක නෑ… අර සේරම එකට ඇනුණාම බල්ලන්ට දෙන්ඩ බත් ඇණුවම වගේ…

ඒත් විස්වාස කරන්ඩ ඒකෙ රස මෙතෙකැයි කියල නිම කරන්ඩ නං වෙන්නෙ නෑ…

ඒක වඩාත් රස වෙන්ඩ නං පරිප්පු හින්දල, කොස් ඇට හාල්මැස්සො, තිබ්බටු මෑකරල් කළවමේ උයල තියෙන්ඩ ඕනෙ…මොනව උයල තිබුණත් අර ලූණු, බිත්තර සහ පොල්වලින් එක් වෙන නැවුම් ගතිය එක්ක වෙනදා නොකන තරම් ඒක රස වෙනව..

ඒ විතරක් නෙවෙයි.. අර කලින් තුන් දෙනෙක් ට කන්ඩ මදි වෙයි කියල හිතුණට බඩ පිරෙන්ඩම කාල අහක දාන්ඩ දුකට කන්ඩත් ඉතුරු වෙනව!!

කාල බීල ඉවර වෙලා  කට්ටියම යන්නෙ ඇඳට… කයියක් දාගෙන ඉන්න අතරෙ තාත්තට නින්ද යනව

අනේ තාත්තෙ නිදා ගන්ඩ ඔට්ටු නෑ..

තාත්තෙ.. අනේ තාත්තෙ….

ආ.. ආ….

තාත්ත නිදිමතේ අහනව…කොච්චර කතා කළත් තාත්ත නැගිටින්නෙ නැති තැන අපි දෙන්න තාත්තගෙ කොන්ඩෙ එක්ක සෙල්ලං කරනව.. තාත්තගෙ කොන්ඩෙ පුංචි කැරලිවලට ගොතල ඒ අගට මගේ පාට පාට වූල් බෑන්ඩ් දානව… හරියට ජැමෙයිකානු කොන්ඩා මොස්තරයක් වගේ වෙන්ඩ

මහර දාට කවුරුහරි ඇවිල්ල තාත්ත ඇහැරෙව්වම තාත්ත අපේ කොන්ඩ මෝස්තරයත් එක්කලම ඒ මනුස්සයව මුණ  ගැහෙන්ඩ ඉස්සරහට ගිහින් තියෙනව…

මේ කෙල්ලගෙයි කොල්ලගෙයි පිස්සු වැඩ දන්නෙ නැද්ද

තාත්ත ඒව ගැන අපි දෙන්න එක්ක තරහ ගත්තෙ නෑ

හැන්දෑවෙ අම්ම එන්ඩ කලියෙන් නැගිටල තේ එහෙම බීල හිතක් හිතුණොත් තාත්ත රෑට උයනව…

එය උයන විශේෂිත මාලුපිනි තිබුණ…

අලයි බිත්තරයි එකට හොද්දට

අලයි හාල්මැස්සොයි එකට හොද්දට

ඔය තාත්තගෙ රසම උයමන් දෙකක්

මට කියල පොල් ගාවගෙන, අල, ලූණු සුද්ද කරවගෙන තාත්ත වැඩ පටං ගන්නව

අලයි හාල්මැස්සොයි උයද්දි තාත්ත අම්ම ගෙදර හදල බෝතලේ දාල තියෙන තුනපහ පාවිච්චි කරන්නෙ නෑ…

සූදුරු කොත්තමල්ලි, සහ තව අඩුම කුඩුම කබලෙ බැදල එවෙලෙම අඹරල හදන තුනපහ කුඩුයි, මිරිස් ගලේ කරල් අඹරල හදාගත්ත රතු මිරිසුයි දාල බොම්බයි ලූණු ගෙඩියක් හතරට පලල ලොකු කෑලි හිටින්ඩත් දානව….

අල රවුම් පෙති කපල හාල්මැස්සොත් එක්ක එකට ඉදෙන සුවඳ පලාතෙම  විහිදිලා යනව!!

ඊට පස්සෙ ලිපෙන් බිමට බාල දෙහි ඇඹුල් මිරිකනව….මේ තුනපහ අලුත් නිසා අමුතුම රසක් හොද්දට එකතු වෙනව… ඒ විතරක් නෙවෙයි.. ගලේ අඹරල ගත්තම අර කුඩු කරපුව දැම්ම වගේ නෙවෙයි අමුතු උකු ගතියකුත් හොද්දට එකතු වෙනව!

දිව්‍ය ලෝක රහයි කියල මිනිස්සු කියනව ඇත්තෙ ඒවගේ හොද්දක රස බැලුවාම වෙන්ඩ ඇති!!!

මේකත් එක්ක ගොටු කොල සම්බෝලයක් සහ පපඩං තිබුණ නං ඉතිං ආයෙ වෙන මොනවත් ඕනෙ නෑ!!

අම්ම ගෙදරට එන වෙලාව වෙද්දි අපි රෑට උයලත් ඉවරයි!!

ඔන්න අපේ වැඩ!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

44 Responses to තාත්තගෙයි අපෙයි දවස්…!!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    හපොයි මට බඩගිනියෝ…..!

  2. buddhiprasadh පවසයි:

    අම්මලා තාත්තලා නිදා ගත්තට පස්සෙ කොන්ඩා මෝස්තර දාන වැඩේ නං අපිත් කලා. ඒක මේ කාලේ ‍පොඩි උන් අතරත් නැගලා යන වැඩක් තාමත්. අනිත් දේවල් නං දැන් ඉන්න අයට කතන්දර විතරක් ම තමා. ආය උණ බම්බු ගේට්ටුවකින් දැන් කාලේ ඇයෝ කවදා පනින්නද? හේහ් හේ…..

  3. ravi පවසයි:

    / හ්ම් මේක පෙනුමෙන් නං ඒ තරම් ප්‍රියජනක නෑ… අර සේරම එකට ඇනුණාම බල්ලන්ට දෙන්ඩ බත් ඇණුවම වගේ…/

    ඉතිං බොල මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?….ලොකු බල්ලටයි පොඩි බල්ලටයි බත් දෙන්නෙ බල්ලොන්ට දෙන්න වාගෙ අනල නෙවෙයි නං වෙන අහවල් විදිහටද?..හොඳයි කියාපං බලන්ට 🙂 🙂

  4. henryblogwalker the Dude පවසයි:

    හරිම ලස්සන කතාව. දැන් මේ කතා කියවලාම උඹේ තාත්තයි මල්ලියි අම්මයි අපේ ගෙදර අය තරම්ම සමීප වෙලා. අර හාල් මැස්සොයි අලයි නම් අපිත් හදනවා. මාර රහයි. අලයි බිත්තරයි නම්…ම්ම්ම්ම්ම්ම්ම්? ඒ කියන්නෙ තම්බපු බිත්තරේ අල එකට දාලා උයනවා වෙන්න ඇති නේ?

    පරිප්පු හින්දපුවම මාරයි. අරකොස් ඇට හාල්මැස්සො, තිබ්බටු මෑකරල් කළවමේ උයපු එක නම් අලුත් රෙසිපියක්. අපි උඹලගෙ ගෙදර ආවොත් හදලා දෙන්න මතක තියාගනිල්ලා.
    (අපි අර මැනර්ස් දන්න කමට ඉල්ලන එකක් නෑ)

    අර රවියා කිව්ව බලු කෑම කතාව නම් පට්ටපල් ඇත්ත. බල්ලොන්ට වෙන කොහොමද කන්න දෙන්නෙ? 😀

    • හරියට හරි අලයි බිත්තරයි තම්බල අරන් අල ලොකු කෑලි කපනව… බිත්තරේ වෙන් නොවෙන්ඩ පොඩ්ඩක් පලනව පැත්තකින්… ඊට පස්සෙ අඩුම කුඩුම දාල උයනව… උම්බලකඩ, අමුමිරිස් කරලක්, රම්පෙ කරපිංච, සහ සාමාන්‍ය අල හොද්දකට වඩා තරමක් වැඩියෙන් තුනපහ මිරිස් වැටෙන්ඩ ඕනෙ…

      /අරකොස් ඇට හාල්මැස්සො, තිබ්බටු මෑකරල් කළවමේ උයපු එක නම් අලුත් රෙසිපියක්. අපි උඹලගෙ ගෙදර ආවොත් හදලා දෙන්න මතක තියාගනිල්ලා.
      (අපි අර මැනර්ස් දන්න කමට ඉල්ලන එකක් නෑ)/

      ඉස්සෙල්ල වරෙංකො අයියෙ ලංකාවට… එතකොට උයල දෙන්ඩ බැරියැ හැලියක්ම… ඕකෙ රසම හරිය තියෙන්නෙ වළඳෙ… ඕක උයාපු දාට මං දවල්ට දෙපාරක් කනව… දෙවනි පාර කන්නෙ වළඳ පිහල… ආජ දිව්‍ය භෝජන!!!!
      (හොඳ වැඩේ දැන් උඹ ලැප්ටොප් එකේ කී බෝඩ් එකටත් කෙල හල හල ඇති 😀 )

  5. Gold fish පවසයි:

    මේවා හදිස්සියට කියෝලා බෑ… නිවි හැනහිල්ලේ කෝපි එකක් බිබී කියවන්න ඕනේ 🙂

  6. සිතුවිලි සිතූ පවසයි:

    සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් ය.

  7. Susara පවසයි:

    අර බෙල්ල ලඟට දිග කැරලි කොණ්ඩේ අතරින් පතර සුදු කෙස් ගස් තියෙන කොට ගලවල වීසි කරන්න හිතිලා නැද්ද?

  8. Sanjeewa Kanchana පවසයි:

    අම්මෝ බඩගින්නක් හැදුනා මේක බලලා

  9. praveena පවසයි:

    අම්මෝ රහ අර හාල්මැස්සොයි, අලයි එකට දාලා, බිත්තරයි අලයි එකට දාලා…
    ජනූ ලීවොත් ඉතින් අනෙක් අයගේ බඩට ඉන්ට බැරි වෙන විදියටම කෑම ගැන ලියනවා….:)
    හොඳ තාත්තෙක්…ජනූ…

  10. මධුරංග පවසයි:

    අපේ බඩගින්නත් අවුස්සනවා නේ අය !

  11. Sumudu Herath පවසයි:

    අදයි මේ පැත්තෙ ආවේ….අතීතය මතක් උනා මටත්…මමත් අප්පච්චි එක්ක හිටියෙ ඔය ව්ගේමයි.සමහර දවසට කොණ්ඩ මෝසතරත් දාලා මුනෙ පවුඩර් තට්ටුවකුත් දානවා.අනේ කවුරු හරි ආවොත් ඒ පිටින්ම සාලෙට යනවා…
    ඔයාලගෙ තාත්තට වෙගේම අප්පච්චිටත් අපේ හොඳට රසට උයන්න පුළුවන්….
    ඒ කාලෙ අපි එයාට වාඩි වෙන්න කියල සරමෙ ඉඳගෙන ඔන්චිලි පදිනවා..
    කොයි තරම් සුන්දර කාලයක්ද?

  12. Tharurasi පවසයි:

    නිතර කමෙන්ට් නොකළත් ඔයාගෙ ලිපි මම ගොඩක් ආශාවෙන් කියවනවා.. හරිම සංවේදී… ලස්සනයි.. ආදරණීයයි.

  13. TG පවසයි:

    අපේ ගෙදරත් හොඳම රහ කෑම උයන්නේ තාත්තා 🙂 නියමෙටම කරවල බදිනවා .තක්කාලි ,රටලූණු එහෙම දාලා .රහට පොල් සම්බලුත් හදනවා උම්බලකඩ ගොඩාක් දාලා .සම්බා බතුත් උයනවා .දිවිය්‍යලෝක රහයි.හොඳ තාත්තකෙනෙක් කියන්නේ උයන්නත් දක්ෂ තාත්තකෙනෙක් .එහෙම තාත්තලා එක්ක දරුවො දාලා හදිසියට වැඩට පලට යන්න , පමාවෙන්න වෙනකොට අම්මලට බය නෑ .මොකද දරුවො බඩගින්නේ ඉඳන්නේ නැති බවත් ,අම්මලා ගෙදර එනකන් තරහෙන් පිපිරි පිපිරි මූණ කුණ්ඩහට්ටි කරන් අපේ තාත්තලා ඉන්නේ නැතිවගත් එයාලා දන්නවා .මේ කාරණාව වර්තමාන තාත්තලත් ඉගෙනගන්නවනම් හොඳයි ජීවිතේට පාඩමක් .විශේෂයෙන්ම වර්කින්ග් පේරන්ට්ස්ලට

    • මං හිතන්නෙ තාත්තලගෙ කෑම වඩා රස වෙන්නෙ අම්මල අරපිරිමැස්මෙන් පාවිච්චි කරන උම්බලකඩ රතුලූණු එහෙම ඒගොල්ලො යහමිං දාන නිසා…
      අපේ අම්මත් ඒ කාලෙ අපිව තාත්තට දාල යන්ඩ කිසි බයක් නෑ… ආයෙ එක වේලක්වත් බඩගින්නෙ තියන්නෙ නෑ අක්කෙ…
      උපදේසෙ නං කදිමයි… හැබැයි ඉතිං මේ කාලෙ තාත්තල ගෙදර ඉන්න පැය ගාණෙත් ඔෆිස් වැඩ නෙ අක්කෙ…ඉතිං උයන්නෙ කෝමෙයි උන්දල??

  14. අමිමෝ මදැයි ඉදලා ඉදලා ආවා.දැං ඉතිං කන්ඩ දීපං අක්කණ්ඩි…

  15. Bindi පවසයි:

    කමෙන්ටුව කොටන්න කලින් ටෙස්ට් කොරල හිටියේ මේ වර්ඩ් ප්‍රෙස් උලව්වේ කමෙන්ට් දාන්න කරදර හින්දා . නැත්නම් මේක කොටලා අපරාදෙනේ . අද නම් හරි වගේ .

    ලස්සන කතාව . අර රෙසිපි ටික වගේම කතාවත් මාරම රසයි . මොකද මන්ද අද තාත්තල ගැන වැඩිය කියවන්න වුනා. ඔය අත්දැකීම් පොඩ්ඩ පොඩ්ඩ එහෙ මෙහෙ වෙලා මටත් තියෙනව . බොහොම කලාතුරකින් අපේ තාත්තගේ සුප සාස්තර බලාගන්න ලැබුන . ඇත්තටම ඔය බිත්තර හොද්ද තාත්තලාගේ විශේෂ එකක්ද කොහෙද . අපේ තාත්තත් බිත්තර හොදි හැදුව මතකයි . රැලි රැලි කොණ්ඩයක් තමයි තිබුනෙත් . සුදු කෙස් ගහට සතේ ගානේ කෙස් ගස් දහ පහලවක් ගලවගත්තම නරන් බිකක් හෙම කන්න පුළුවන් .

    අපේ තාත්තටත් තරහ යන්නෙම නැහැ . අපි කිව්වේ මහන වෙන්න තිබුන කියල . ලොකු හීන තිබ්බෙත් නැහැ . ලද දෙයින් සතුටු වෙන මේ මගේ සැහැල්ලු සිත තාත්තාගෙන් ලැබුන තෑග්ගක් . ඒ වුනාට අපි ඒ කාලේ තරහ වෙනවා අපි ගැන සෙව්වා මදි කියල . අද නම් ඒ ගැන දුකයි..

  16. Sarath Lankapriya පවසයි:

    අයියෝ.. මන් මේ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකෙන් නීරස කෑම එකක් කාල බැන බැන ඉන්න ගමන් කියෙවුවෙ.. මෙහෙමත් අනිත් මිනිස්සුන්ගේ කෑදර කම් අවුස්සන ලිපි ලියනවද මං අහන්නේ? හෆොයි..

    • සරත් අයියෙ
      අදයි මේ කමෙන්ට් පෝලිමම දකින්නෙ…හැමෝගෙම බඩගින්න අවුස්සල මං නේද??

      • ලාරා පවසයි:

        ඔයාගෙ හොදම දේ තමයි, හැමෝගෙම කමෙන්ට් වලට රිප්ලයි කරන ඒක. මම ඔයාගෙ බ්ලොග් ඒකට අලුත් නිසා මේ ටිකේම මම ඒ සියල්ල අග සිට මුලට කියවමින් ඉන්නෙ.
        ඉතින් ඒකයි 2012 ඒකකට දැන් කමෙන්ට් කරන්නෙ.

        හ්ම්…. බොහොම අමාරැවෙන් අකුරැ ටික කොටාගත්තා.
        මේ කෙටෙන අකුරැත් විකාරයි. වෙන font ඒකක් බලන්න ඔනා. පදුරට විද්දත් වැදෙන්නෙ හාවාට වගේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )