සාරි කතා…!!!

පාසැල ඇරුණා….

මල්ලිව සංගීත කාමරේ ලඟින්ම ගෙදර පිටත් කළ අම්මා  මාත් එක්ක කුරුණෑගල කලාප කාර්යාලයට යන්ඩ පිටත් වුණා.

මාස ගාණකට  වතාවක් අහම්බෙන් ලැබෙන මේ අවස්ථාවට මං පුදුම ආසයි..

අපි ඉස්සර මොනව හරි වැඩකට  කුරුණෑගල ගියාම අම්ම අපිව නවරත්නගිරියට එක්කං යනව…

අපි ෂෝට් ඊට් කාල රත්නගිරියෙ මයිලෝ දාල ගාණට සීනි දාල හදන කිරි තේ බීල ක්‍රීම් බනිසුත් අරගන්නව මල්ලිටයි ගෙදර අනිත් අයටයි…

ඉතිං ආස නැති වෙයියැ….

මමත් පැනගෙන ගියා!!

කලාප කාර්යාලෙ වැඩේ ඉවර කරගෙන අපි දෙන්න පාරට බැස්ස…

පයින් ඇවිදගෙන එනකොට සෙල්ලම්බඩු තොරොම්බල් පිරිච්ච තට්ටු තියාගෙන ඉන්න මිනිස්සු පුංචි ළමයින්ව වසඟ කරගන්ඩ නළා හඬවනව…

සෙල්ලම් බඩු හොලවනව…

මං අහක බලාගෙන ආ‍වෙ ඒ දිහා බලන්ඩ ආසාව හිතේ හංගගෙන තද කරගෙන.

ඒ මිනිස්සු දිහා බැලුවත්  ඇති

බෝනික්කෙක් ගමුද නෝන බබාට

කියල අම්මට කියල එතන ඉන්න බෝනික්කො පුලුන් පුරවපු සත්තු තුන හතරක් අතට ගන්නව…

මහ වීදියෙ කඩපිල් අස්සෙන් බෝ ගහ පැත්තට ඇවිදං යද්දි මං දන්නව දැන් අම්මගෙ ඊලඟ  ගමන නවරත්නගිරියට කියල…

චූටිපුතා!!

අම්ම හදිස්සියෙම කතා කළා…

අද සල්ලි නෑ පුතේ මං ල…. තේ බොන්ඩ නං විදියක් නෑ… මං බොරුවක් කියල මල්ලිව දාල ආවෙත් ඒකයි…

මං ඔලුව හෙලෙව්ව… ඒකට කමක් නෑ කියන්ඩ..

ඒ වුණාට නවරත්නගිරි යාමෙන් ලැබෙන රසවත් අත්දැකීමේ බලාපොරොත්තුවෙන් පිබිදිලා හිටිය මගෙ බඩපණුවො රොත්ත මට වද දෙන්ඩ පටන් ගත්ත

වීදියෙන් බස් නැවතුමට හැරෙන්නෙ නැතුව අම්ම තවත් ඉස්සරහට ගියා…

මං  පස්සෙන් වැටුණ…

කවදාවත් නැතුව ඉස්කෝලෙ පොත් බෑග් එකේ බර දැනෙන්ඩ පටං ගත්ත…

කකුල් දෙකත් රිදෙන්ඩ ගත්ත…

යන ගමන නවත්තපු අම්ම කඩයක් ඉස්සරහ නැවතුණා

බඩ පණුවංව මුලා කරන්ඩ එක එක දේවල් දිහා බල බලා ආව මාත් ස්වයංක්‍රීයව නැවතුණා…

ඇගේ ඇස් නතර වෙලා තිබුණෙ රෙදිපිලි කඩේක ඉස්සරහ වීදුරු ආවරණය අස්සෙ ලස්සනට පේන්ඩ දිගෑරල තිබුණු සාරියක…

ක්‍රීම් පාට සැටින් රෙද්දක් වුණු ඒ සාරියෙ රතු පාට බෝඩරයක් තිබුණ…. ඒ බෝඩරේ  හරිම ලස්සනට අඹ කොළ මෝස්තරයක්!! කහ කොළ දම් පාට මිශ්‍ර වෙච්ච අපූරු බෝඩරයක්!!!

ලස්සනයි!!! අම්මට කියවුණා

අම්ම කඩේ ඇතුලට ගියා..

කටක් ඇරල වචනයක් නොකිව්වට නවරත්නගිරියට යාමට තිබුණු ආසාව අනපේක්ෂිතව සුණු විසුණු වෙච්ච හන්ද වෙන්ඩ ඇති මං හිටියෙ තරමක් නොරිස්සුම් ගතියක…

මං ඇතුළට යන්නෙ නැතුව කඩපලේ එලියෙ නතර වුණා…

නොනවතින කාක් කරව්ව!!!

බෝ ගහ යට ඉඳගෙන හිටිය සිඟන්නියට කරදරයක් වෙන තරමට  යමක් ඉල්ලා ඇගේ තුරුලේ දැවට දැවටි හිටිය කොලු පැටියට ඈ හයියෙන් පාරක් ගැහුව…

පැටිය මහ හයියෙන් බෙරිහන් දෙන්ඩ පටන්ගත්ත…

අම්ම පැටියව ඔහේ කෑගහන්ඩ දාල එයාගෙ නෙවෙයි වගේ හිටිය හැටි දැක්කම මාව තවත් නොසන්සුන් වුනා…

පැටිය අඬල අඬල සන්සුන් වුණා!!

සිඟන්නිය තමන් ඉදිරියෙ වැටිල තිබුණු කාසි ටික අතට අරන් ගැන්න… හෙමින් සැරේ පැටියව අතින් අල්ලන් අසල තිබණ කරත්තෙ ලඟට ගිය ඈ පුංචි කවරෙකට රටකජු අරන් පැටියට දුන්න…

චූටි පුතේ… එන්ඩ මෙහෙට

අම්ම එක පාරටම කතා කළා…

මම ඇතුලට ගියේ කැමැත්තකින් නෙවෙයි…

වෙළෙඳ සහායකය නානාප්‍රකාර උපාය වැකි පාවිච්චි කරමින් ඒ තරම් වටින සාරියක් තවත් මේ ලෝකෙ නැති බව අම්මට ඒත්තු ගන්නන්ඩ උත්සාහ කරමින් හිටිය….

ඉස්සරහ පේන්ඩ එල්ලල තියෙන සාරියෙ මෝස්තරේම තියෙන වෙනත් වර්ණවල සාරි කිහිපයක් අම්ම ඉස්සරහ දිග ඇරල

ඇස්බැන්දුං!!!

ලස්සනයි නේද පුතා??

හ්ම්!!!

මගේ උත්තරේ අම්මගෙ හිත අපේක්ෂා කරපු ස්වරය ගැබ් වෙලා තිබුණෙ නැති නිසාදෝ ඈ මගේ මුහුණ දිහා විමසිල්ලෙන් බැලුව…

මං සිනිඳුම සිනිඳු ඒ සාරියෙ කොණක් අතගාමින් අම්මගෙ ඇස් මග හැරිය

දැන් මේක කීයද??

එක්දාස් පන්සීයයි

සේවකයා ඇඟට පතට නොදැනී කිව්ව…

එක්දාස් පන්සීයක්!!

අම්ම සේවකයගෙ වචනම නැවත උච්චාරණය කලා…

ඒ වචනවල තැවරිලා තිබුණ ස්වරය මට තාම මතකයි..

දැන් කාලෙ සාමාන්‍ය සාරියක්වත් රුපියල් එක්දාස් පන්සීයකට ගන්ඩ බැරි වුණාට ඒකාලෙ හැටියට එක්දාස් පන්සීයක සාරියක් කියන්නෙ සැහෙන්ඩ වටින එකක් වෙන්ඩ ඕනෙ…

ඒත් බොහොම අමාරුවෙන් පිරිමහගෙන අපි ජීවත් වෙච්ච විදියට, ඒ මදිවට නවරත්නගිරියට ගිහින් තේ බොන්ඩවත් සල්ලි නෑ කිව්ව අම්ම  ඒ සාරිය එක්දාස් පන්සීයක් දීල මිලදීගන්ඩ හදනව කියන එක මට පුදුමයක් වුණා…

පුංචි වුණාට ඒ වයසෙදිම ඇට්ටර වෙලා හන්ද තරමට වඩා දේවල් මට ඒ කාලෙදිත් තේරුණා…

හිතට තරහක් උණාගෙන එනව තේරුණා

හ්ම්… අපි පස්සෙ එන්නංකො…

මෙහෙම කියල අම්ම මාවත් ඇදගෙන එළියට බැස්ස…

මේක ගන්ඩ නෝනා නෝනට පාඩු නෑ මේක ගත්තට…

නැවතත් වෙළෙන්දගෙ අසාර්ථක වෙළද  ප්‍රයෝගයක්!!

රටකජු කවරෙ අතින් ගත්ත පොඩ්ඩා සතුටු මුහුණක් හදාගෙන බෝගහේ බැම්මට හේත්තුවක් දාල රටකජු කනව…

සිඟන්නිය යන එන්නන්ට අතපානව..ආයෙමත්!!

අම්ම මගෙ අතින් අල්ලගෙන පාර මාරු වුණා

ඇයි අම්මෙ ඒ සාරිය බැලුවෙ අරගන්ඩද??

නෑ නිකං…. ලස්සන බලන්ඩ හිතුණ…

අම්ම කිව්වෙ ඇත්තම නෙවෙයි කියල මට තේරුණා…

අපි අතරෙ දැඩි නිශ්ශබ්දතාවක් ඇති වුණා ටික වෙලාවකට

ඒ වෙද්දි බඩපණු රැල නිහඬව පරාජය බාර අරන් තිබුණ…

අර සාරිය ගණන් වැඩී නේද අම්මෙ??

ඒ හන්ද මට අම්මගෙන් එහෙම අහන්ඩ පුලුවන් වුණා…

හ්ම්!!!

වැඩි යමක් අම්ම කිව්වෙ නෑ.. ඒ වෙනුවට ඇහුවෙ මෙන්න මෙහෙම

චූටි පුතාට බඩගිනිද??

ඇගේ හඬට කාවැදුණු පසුතැවුල් ස්වරය මට දැනුණා

නෑ….

මං නෑ කිව්වට ඈ දන්නව මං ගැන…

අම්මට පෙණුනද දන්නෙ නෑ මගෙ හිතේ තරහ!!!!!

මට මං ගැනම පසුතැවිල්ලක් ඇති වුණා…

මං අම්ම ගැන හිතුව විදිය වැරදියි….

ඈ ආසාවට සාරි දිහා බලපු එක, ඒ සාරිය දරන්ඩ බැරි මිලක් වුණු එක ඇගේ වරදින් සිදුවූ දේවල් නොවීත් මා ඈ ගැන නුරුස්නා බැල්මකින් හෝ බැලුව කියන සිතිවිල්ලෙන් ඇතිවෙච්ච පීඩාවෙන් මිදෙන්ඩ මට සෑහෙන්ඩ දවසක් ගියා

මං කවද හරි මං හම්බ කරපු සල්ලිවලින් අම්මට ඒ වගේ ම සාරියක් ගෙනත් දෙනව!!!

මං මටම පොරොන්දුවක් දීගත්ත.

පුංචිම කාලෙ නොදන්න කමට මොනව හරි ඉල්ලල ඇඬුවට  මොකද අම්ම අමාරුවෙන් ඉහ ගහනව කියල තේරුණ කාලෙ වෙද්දි මම කොච්චර ආස වුණත් මොනවත් ඉල්ලුවෙ නෑ…

ගුරුවරියක් වෙච්ච අම්මගෙ ඒ කාලෙ මාසික පඩිය කීයක් වුණා ද කියල මං අදටත් දන්නෙ නෑ… හැබැයි මුලු පඩියම අම්ම ගෙදර වැඩවලට වියදං කළා කියල මං දන්නව….දිනපතා ගෙදර ඉඳන් කොළඹටත් හැන්දෑවට කොළඹ ඉඳන් ගෙදරටත් ආව ගිය තාත්තගෙ පඩිය නං බස් එකටම වියදං වෙන්ඩ ඇති…

ඒ කාලෙ අම්ම ඇන්දෙ පරණ සාරි… සමහර වෙලාවට කිරිඅම්මගෙ පරණ සාරිත් ඇන්ද…

මෙහෙම ඉඳගෙන මතක් කරද්දි මට මතක් වෙන්නෙ නෑ ඒ දවස්වල අම්ම කඩේකට ගිහින් සාරියක් අරගත්ත එක දවසක්!

ළමයි දෙන්නෙකුත් වැඩිහිටියො හතරදෙනෙකුත් ඉන්න විස්තෘත පවුලක් නඩත්තු කරන්ඩ ඒ දෙන්නගෙ මාසික වේතන ප්‍රමාණවත් නොවුණම ඇඳුම් පැලඳුම් ගැන කවර කතාද??

අපේ වෙනුවෙන් ජීවිත කාලෙන් වැඩි හරියක් කැපකරපු ඈ  ඇගේ මුදලින් ඈට ඕනෙ දේවල් කරන්ඩ පටන් ගත්තෙ අපි දෙන්නම රස්සාවල් කරන්ඩ ගත්තට පස්සෙයි…

පස්සෙ කාලෙකදි නං ඈ සාරි මිලදී ගත්ත…

ඒ එක්කම මටත් සාරි අරගත්ත!!!

විශ්ව විද්‍යාලෙ රස්සාවට යනකොට මං අලුතෙන් සාරි ගන්නෙ නැතුව තාත්ත අම්මට ගෙනල්ල දුන්න අම්මගෙ පරණ අත්යන්ත්‍ර සාරි ටිකට හැට්ට මහල දෙන්ඩ කිව්වට අම්මගෙ හිතට ඒච්චර හරි ගියේ නෑ..

මං බලෙන් වගේ ඒ ටික අරන් ගියා…

ඊලඟ සතියෙ ගෙදර එද්දි අලුත්  අත් යන්ත්‍ර සාරි තුනක් හැට්ටත් මහල මගෙ ඇඳ උඩ තිබුණ…

මං විශ්වවිද්‍යාලෙ රස්සාවෙන් පළවෙනි පඩිය ගත්ත වෙලාවෙ ඈට ගෙනිහින් දුන්නෙ ක්‍රීම් පාට සාරියක්…

ඒ වෙනකොට  ඈ තද වර්ණ සාරි අඳින්න ඒ තරම්  ප්‍රිය නැති බව දැනුන නිසා මම ලා පාට බෝඩරයක් සහිත කපු සාරියක් තේරුව

ඇයි පුතේ සාරි අරගත්තෙ… තව ටික දවසකින් ඕව අඳින්ඩ වෙන්නෙ නෑ නෙ… මං මේ  කියෙන සාරි ටිකත් කාට හරි දීල දාන්ඩ කියල බැලුවෙ.. අල්මාරිය පිරිල පරණ සාරි!!!

ඈ එහෙම කිව්වම මට තරහ ගියේ නෑ… ඈ කියන්නෙ ඇත්ත කියල මට තේරුණා!!!

ඒ වෙද්දි ඈ විශ්‍රාම යන්ඩ අවශ්‍ය ලියකියවිලි සකස්කරල බාර දීල තිබුණ!!

ඒත් ඈ මගේ වයසෙදි මා වෙනුවෙන් කරපු කැපකිරීම මට ඈ වෙනුවෙන් කවදාවත්ම කරන්ඩ බෑ නේද, මං ඈට යුතුකම් ඉටුකරන්ඩ හිතනකොට පෙරහැර ගිහින් නේද කියල පසුතැවිල්ලක් මගෙ හිත රිදෙව්ව!!

ල හිටල හරි ඔෆිස් එකට සාරිය අඳින්ඩ චූටිපුතා!!!

පස්සෙ කාලෙක මං තෝරගත්ත රස්සාවත් එක්ක සාරි අමතක කරල කලිසමට බැස්සම අම්ම කිව්ව

මං කළේ  එකක් දෙකක් තියාගෙන හෙමින් හෙමින් සාරි ටික සාරි අඳින යාලුවෙන්ට දීපු එක

චූටි පුතා… ඔයාට මොනවද ඕනෙ… අපි හෙට බෙනාරස් යනව… සාරි ගේන්ඩද??

මේ දවස්වල පෙම්බරයගෙ අම්මයි අපේ නැන්දල දෙන්නයි එක්ක දඹදිව චාරිකාවක යෙදෙන අම්මට කතා කළාම ඈ මේ දැනුත් මගෙන් අහනව.

මුකුත් එපා අම්මෙ…. අම්මල දෙන්න පරිස්සමෙන් ගිහින් එන්ඩ!!

මෙහෙ ඉතිං වටිනා දේකට තියෙන්නෙ ඒවනෙ.. එකක් ගේන්නං!!

ඈ නැවත අහනව…

බේරෙන්ඩ වෙන්නෙ නෑ

හ්ම්!! එහෙනං ඔය වැඩි තොරොම්බල් නැති සාමාන්‍ය සාරියක් අරං එන්ඩ අම්ම…

බේරෙන්ඩම බැරි තැන මං අවසර දෙනව

ටීජී අක්කගෙ මෙන්න මේ කතන්දරේ මම ආයෙ ආයෙමත් කියවන එකක්!!

මේකෙ ගොඩක් සිදුවීම් මගේ ජීවිතෙත් එක්ක සමපාත වෙන නිසා වෙන්ඩ ඇති මම ඒ හරහා මගේ ජීවිතේ දකිනව…

අපි අම්මලව පහු කරගෙන ඉස්සරහට ඇදෙනව

අපි ඉගෙනගෙන රස්සාවල් කරල ඔවුන් වෙනුවෙන් අපේ හිත්වල රැඳිච්ච යුතුකම් කරන්ඩ පස්ස හැරෙද්දි ඔවුන්ට අපෙන් ඕනෙ ඒ දේවල් නෙවෙයි…

ඔවුන් ලඟ රැඳිල ඉන්ඩ නැතත් අඩු ගානෙ මාසෙකට වතාවක් දකින්ඩ, ඔවුන්ට ඇහුම්කන් දෙන්ඩ,

ඒ වෙද්දි අපි හුරු වෙලා ඉන්න අච්චාරුවක් වගේ කලවං වෙච්ච, තවු මැරිච්ච ජීවිතේ සංකීර්ණතා අස්සෙ අපිට දෙන්ඩ අමාරුම දේවල්!!!

මක්කොරන්ඩද!!!!!!!!!!

සාරි කඩේ පින්තූරෙ මෙයාගෙන්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

29 Responses to සාරි කතා…!!!

  1. praveena පවසයි:

    හරි ලස්සනයි සිත්තමියේ. මම සාරි නොඇන්දට මම අම්මට, අත්තම්මට , සාරි අරං දෙනවා. ලංකාවට යනකොට ඉස්සර මම ගෙනියන්නේ සාරි ගොඩක්. දැන් නම් ගොඩක් අයට දෙන්නේ සල්ලි තමන් කැමති දේවල් ගන්ට කියලා.

    අම්මා ගැන ලියලා තියනවා දැක්කාම හිතට දරාගන්ට බැරි කණගාටුවක් දැනුනා. අම්මා කියන්නේ කොච්චර වටිනා වස්තුවක්ද? දුවලා ගිහින් අම්මට උම්මා එකක් දීලා ආවා මේ දැන්. 🙂

    අද මම එක… 😀

  2. praveena පවසයි:

    oh my god!!!!
    sorry ජනූ….සිත්තමී ගැන හිත, හිතා ඉඳලා ඔයාට සිත්තමී කීවනේ. 😦

  3. හ්ම්ම්ම්……ඇත්ත කතාව..අම්මලා අපි ගැන කොච්චර හිතනවද?

  4. Hareendra Perera පවසයි:

    ලෝකය කැරකෙනවා.. ළමයි ලොකුවෙනවා.. අම්මලා වයසට යනවා..

  5. amilaart පවසයි:

    සුපිරියි මචන්,

    මට හිතා ගන්ට බැරි අම්මට ඇයි හති වටෙන්නේ නැත්තේ කියලා,
    මම උදේ නැගිටිනකොටත් අම්මා ඇහැරිලා, නිදාගන්නකොටත් ඇහැරිලා, වැඩක් නොකර ඉන්න මොහොතක් නෑ

    මම හිතන්නේ මොන අම්මත් මෙහෙමයි

  6. විමුක්ති පවසයි:

    මේක මේ විදියටම මම මගේ තාත්තගෙනුත් දැක්ක ජනු ..ඒත් එයා ඒකාලේ එයා දහදාහකින් කරපු දේවල් අද මට ලක්ෂයක් දීලත් කරන්න බැහැ.කාලයට සාපේක්ෂව නෙමේ,මම කාලයට සාපේක්‍ෂව සංකීර්ණ වෙලා .

  7. TG පවසයි:

    ජනූ බොහොම ස්තුතියි මේ කතාව ලිව්වට . ඉතිරි දේවල් මම ඔයාට ජීමේල් එකේන් කිව්ව නිසා මෙතැන ලියන්නේ නෑ 🙂

  8. අවතාර් පවසයි:

    දෙමපියන්ගේ සම්පත දරුවෝ නේ
    කාන්තා පාර්ශවේට සාරි නම් ඉතින්…..

  9. henryblogwalker the Dude පවසයි:

    වෙනදා වගේම උඹ බොක්කට වදින කතාවක් බොක්කෙන්ම ලියලා.
    මමත් පොඩී කතාවක් කියන්නම්කො. මේ මෙහෙ අපි හිටපු කුලෙ ගෙදරක වෙච්ච සිද්ඪියක් කුස්සියකට ෆෑන් එකක් හයි කරන්නෙ නෑනෙ සාමාන්‍යයෙන් අර ගෑස් ලිපේ දැල්ලට අප්සෙට් නිසා. ඉතින් දීපා දාඩිය දාගෙන කුස්සියෙ ඉන්නවා දකින එක අප්පේ චූටි පුතාට හෙන අප්සෙට්. මට නිතර කියනවා. පස්සෙ දවසක කිව්වා එයා ලොකු වුනාම රස්සාවක් කරලා ඉස්සෙල්ලම පඩියෙන් අම්මට කුස්සියට ෆෑන් එකක් දාලා දෙනවා කියලා. මේක මට දරා ගන්න බැරුව මම ගිහින් (එයත් එක්කම) පෙඩස්ටල් ෆෑන් එකක් ගත්තා. කොල්ලාට සන්තෝසෙ බෑ. ඕක ගෙදර ගෙනත් කුස්සියෙ දොර ලඟ අම්මා දිහාට හරවලා දැම්මාම තමයි මේකා සන්තොසෙන් හිනා වුනේ.

  10. Ravi පවසයි:

    ආයෙම පපුවටම වදින කතාවක් ජනූ….මේකට දාන්ට තිබ්බෙ සාරි කතා නෙවෙයි පපුවටම වදින කතා කියලයි 🙂

    අපෙ අම්ම ගැනත් කියන්ට තියෙන්නෙ ඔය ටිකම තමයි…අම්මයි අප්පච්චියි දෙන්නම ආණ්ඩුවෙ රස්සාවල් කලේ…ඒ කාලෙ හැටියට සෑහෙන පඩියක් උනාට දරුවන්ට උගන්නන්ට කන්ට බොන්ට වියදම් කලාම ඉතුරු වෙච්චි දෙයක් නෑ…අපෙත් ඔය උඹලගෙ වගේම විස්තෘත පවුලක් හිටියෙ…අම්මගෙ විවාහ නොවුණු වැඩිමල් සහෝදරයෙක් සහ අම්මගෙ අම්මා…අපෙ අත්තම්මා. ..ඒ දෙන්න මියයනකල් හිටියෙ අපි එක්ක…

    පරම්පරාවෙන් උරුමවුනු ඉඩකඩම් නැති නිසා විශ්‍රාම යන්ට ඉස්සර ඉඩමක් ගන්ට ඒ වගේම ගෙයක් හදන්ට ඒ දෙන්නට සිද්ද උනා…ඒත් බොහොම අමාරුවෙන් වියදම් පාලනය කරගෙන ඒ දෙන්න කොහොම හරි ඒ දේ කලා…

    සියළු වැරදි වලින් විනිර්මුක්ත උදවිය මේ ලෝකෙ නෑ නඟේ….අපෙ අම්මලගෙත් අනන්ත වැරදි තියනව..ඒත් අපිට පුළුවන් වෙන්න ඕන උපේක්ෂා සහගතව හිතල එව්ව අමතක කරල දාන්ට…සමස්තය ගැන හිතල බලපං නිතරම…මෙව්ව උඹට කියන්ට ඕන නැඇ කියල මම දන්නව….ඒ ත් කමක් නෑ කියල ඔන්න කිව්ව එහෙනං…

    ***************************************************

    ඒයි, ඔය නවරත්නගිරිය කියන්නෙ පුත්තලං පාරෙ තියන හෝටලේ නේද?….තට්ටු දෙකේ?…….

    රත්නගිරිය කියල තව එකක් තිබ්බ නේද?….ඔය රත්නගිරියට වෙන්ඩ ඕන මම කුරුණෑගල ටෙක් එකට ගිය කාලෙ නිතරම වාගෙ ගියෙ…හෙහ්, හෙහ්,

    • අයිය කියල තියෙන කතාව මට තේරුණා… අහල තියෙන ප්‍රශ්නවලට විතරක් උත්තර දීල යන්නං… නැත්තං කමෙන්ට එකම පෝස්ට් එකක් වෙයි..
      මේක තියෙන්නෙ අර බෝගහ ලඟින් මහ වීදියෙන් වමට තියෙන පටු පාරෙ… ඒක ගිහිල්ල වැටෙන්නෙ අර මීගමු පාරයි පුත්තලං පාරයි දඹුලු පාරයි සම්බන්ඨ වෙන හන්දිය තියෙන්නෙ අර බුදු පිළිමෙ එහෙම තියෙන ආං ඒකට… ඒ පාරෙ… මං උඹට මැප් එකක් එවන්නං…. පුත්තලං පාරෙත් රත්නගිරියක් තියෙනව මහිතෙ … මේ මං හිතන්නෙ ඔයා කියන එක නෙවෙයි මේ

  11. මධුරංග පවසයි:

    අපේ අම්මට මොනාහරි අරන් දෙන එක තමා මගේ තියෙන සතුට..
    අපිටම හිතුලා අරන් දුන්නොත් මිසක්කා ඒයැයි මොනාවත් ගන්න එකක් යෑ.. ඕන් නෑ කියලමයි කියන්නේ.. 🙂

    ඒක නෙමේ චූටි පුතා කියලා කිව්වේ ජනූට ද නැද්නම් ‘ඕ ප්‍රමුදිත්’ ට ද ??? 🙂

  12. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    මේක මම කියෙව්වේ ඔයා පෝස්ට් එක දාපු දවසෙමයි අක්කේ. ඒත් එදා මුකුත් කියාගන්න හිත් දුන්නෙ නෑ. හිත බොහොම බරෙන් ආපහු ගියේ. එයාලා අපි වෙනුවෙන් කරන කැපවීම් අපිට හරියට තේරුම් යන්නේ පහු වෙලා. ඒත් ඒ දේවල් ඒ වෙලාවේ තේරුම් ගන්නෙ නැතුව සමහර විට එයාලගෙ හිත රිදෙන දේවල් අපේ අතින් වෙන්න පුළුවන්. ඒ පසුතැවීම හිතින් මකාගන්න හරි අමාරුයි. පොඩි කාලේ නොතේරුම් කමට ඒ දේවල් සිද්ද උනත් ඒ වගේ මතක හරිම වේදනාකාරියි. පුළුවන් තරමින් ඒ දේවල් නිවැරදි කරගන්න බලන එක අපේ යුතුකම. කවදත් වගේ හදවතින්ම ලියපු, හදවතටම දැනෙන පෝස්ට් එකක් අක්කේ.

  13. මී පැටියා පවසයි:

    ඇත්තටම දෙමව්පියෝ අපි වෙනුවෙන් කරන දේවල් වලට අපිට කවදාවත් ගෙවල ඉවර කරන්නේ නෑ. ඒගොල්ලෝ ඒවා කරන්නේ අපෙන් මුකුත් බලාපොරොත්තුවෙනුත් නෙමෙයි.

    සාරි කතාව ලස්සනයි. ජය වේවා..!

  14. pavithra පවසයි:

    හ්ම්. මට ෙම්ක කියවලා කතා ෙදකක් මතකයට අාවා.
    1. මෙග් අම්මාෙග් පියා නැතිෙවලා තිෙබන්ෙන් අැය හා සුෙහා්දර පිරිස කුඩා කාලෙය්දීයි. ගුරුවරියක වුණු අත්තම්මා පුදුම ශක්තියකින් දරුවන් පස් ෙදනා හදලා ඉංජිෙන්රුවන් ෙදෙදෙනක්, කතිකාචාර්යවරෙයක්, ගණකාධිකාරීවරෙයක් හා ගුරුවරියක් බවට ඔවු් පත් කළා. අැය මිය ගිෙය්ත් පිටරට සිට පැමිණි මෙග් පුංචි අම්මාට ෙගන යන්නට සීනි සම්ෙබා්ල සාදමින් ඉතා ප්‍රීතිෙයන් සිටින විටකයි. අැෙග් මළ ෙග් දා, “අෙන් අම්මාට ෙහාද සාරියක් වත් තිබුෙණ් නෑ ඉස්සර” කියා මෙග් මාමා ඉකිබිදිමින් හැඩූ හැටි මට මතක් වුණා.
    2. දිනක් මෙග් මාමාෙග් මිතුරියක් හමුවීමට අපි නුවර නිවසකට ගියා. ඉතා සුපිරි නිවසක් වූ ඒයට යන දිනෙය් මෙග් අම්මා අැද සිටිෙය් තරමක් පැරණි අැදුමක්. ඊජිප්තු චිත්‍ර බිත්ති දිෙග් ඒල්ලා කුණු ෙපාදකින් ෙතාරව තිබූ ඒ් නිවෙස් සිටිද්දී මටත් ඒ් අැදුම පැරණි බව ෙපනී ගියා. අම්මාටත් ඒෙස්ම වන්නට අැති. ඉන්පසු මගුල් ෙගයකට සාරියක් මිලට ගන්නට කැන්ඩි සිටි ෙසන්ටර් ෙවත අා අපි ඒහි දුවන පඩිෙපෙළ් ගමන් කළා. ඉන් ඒකක ඊට ෙපර ෙනාෙගාස් තිබූ අම්මා පය පැකිලී වැෙටන්නට ගිෙය් ෙදෙනා් ෙදහසක් මැද්ෙද්යි. ඒදා අැෙග් මුහුෙණ් අැදුමු ලැජ්ජාව මට තවමත් මතකයි. සාරි කඩයට ගිය අැය සාමාන්‍යෙයන් ෙනාගන්නා තරෙම් මිල වැඩි සාරියක් මිලට ගත්තා. ඒ් මගින් ඒදා දිනෙය් සිදුවූ මදි පුංචිකම් ෙදකට අැය අැෙග්ම සිත රවට්ටාගත්තා යැයි මට සිෙතනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )