ලක්නව් සීතලට ලෝදිය කෝපි…!!

සුදු පුතා නැගිටින්ඩ නැගිටින්ඩ… දැන් බහින්ඩ ලඟයි…. මේ බෑග් එහෙම ලෑස්ති කරගන්ඩ…

අම්ම මල්ලිට ඇහැරවන සද්දෙට මමත් ඇහැරුණා…

අපි කලබලෙන් අපේ ගමන් මලුවලට දාල තිබුණු දම්වැල් ගලවල සූදානම් කරගත්ත….

පාන්දර එක හමාරයි!!!

අපි ලක්නව්වලින් බැස්ස….

තඩි ගමන්මලු ටිකත් ලං කරන් අපි ටික වෙලාවක් නොහොල්මනේ හිටියෙ යන්ඩ හසරක් හිතාගන්ඩ බැරුව…

දරාගත නෙහෛන සීතලේ අපිව ලක්නව් දුම්රියපොලේ තනි කරල දුම්රිය දිල්ලිය බලා පිටත්වුණා…

දුම්රියපොල නැවතත් තටු අකුලාගෙන නිද්‍රාගත වුණා… රාත්‍රී යාමයට දුම්රියපොල කලබල වෙන්නෙ දුම්රියක් එද්දි යද්දි විතරයි..

මුහුණට මුහුණලා ඈත නවත්තපු දුම්රිය එන්ජින් දෙකක් මාරුවෙන් මාරුවට හුස්ම හෙලනව!!

තැන තැන රෙදි එලාගෙන තමන්ගේ දුම්රිය එනතුරු ගුලිවී නිදන මිනිස්සු!!

ඇඟිලි උරමින් දෙමාපියන් අත නිදි කිරා වැටෙන දරුවො…!

ඩක්කුවල අඩුක් කරගෙන භාණ්ඩ එහා මෙහා ගෙනියන පෝටර්වරු….

හදවත නවතීවි යැයි සිතෙන තරමට  සීතලෙන් ගැහෙමින් මමත් මල්ලිත් කෝපි වෙලෙන්දෙක් ගෙන් කඩදාසි කෝප්පවලට කෝපි තුනක් අරන් අපේ ගමන් මලු ලඟ බලන් හිටිය අම්ම ලඟට ආව

අපි මොකද අම්මෙ දැන් කරන්නෙ?? විහාරෙට දැන්ම යන්ඩ පුලුවන් වෙයිද??

ලෝදිය වගේ උණුසුම් කෝපි තොල ගාන ගමන් මල්ලි ඇහුව…

ඒක තමයි… දැන් ගියොත් ඒ කට්ටිය සේරමල ඇහැරවන්ඩ වෙනවනෙ… අම්ම හිතිවිල්ලෙ කිව්ව

අපි ස්ටේෂන් එකේ ඉඳල පාන්දර යමු…. මේ ඕනෙ තරම් මිනිස්සු ඉන්නෙ…. ඔන්නොහෙ බිම මොකක් හරි දාගෙන එලි වෙනකල් ඉඳිමු අම්මෙ….

ඒ මම

එහෙමවත් කරමු… මේ වෙලාවෙ එලියට බැහැල හරියට යන්ඩ තැනක් දන්නෙ නැතුව ටැක්සිවලට නගින එකත් හොඳනෑ නෙ…

අපි වැඩි කලබල නැති තැනක් හොයාගෙන ඇදුණ…

එතන තව පිරිසක් බිම රෙදි එලාගන්නෙවත් නැතුව නිදාගෙන හිටිය..

අපි අරන් ගිය ගණකම් රෙද්දක් බිම එළල වැතිරුණා…. කොච්චර පොරෝණා අතරෙ සිර වුණත් සීතල දලු සිරුර විනිවිද ගිහින් නතර වෙන්නෙ  ඇට මිදුළු වල හැප්පිලා වෙවුලුම්කවල…

අපි තුන්දෙනා වටිනා කියන දේවල් තිබුණු ගමන් මලු ලඟට කරන් ගුලි වෙලා හිටියෙ මේ සීතල දරාගෙන තව කොච්චර වෙලාවක් නං ඉන්ඩ වෙයිද කියන සිතිවිල්ලෙන්…

ඒ වැතිරිලා ඉන්න ගමන් මං කල්පනා කළේ ලංකාවෙදි වතාවක් අපිට වෙච්ච දෙයක්

දවසක් අපියි ලොකු නැන්දලයි රජයේ අවසරපත් අරන් බදුල්ලෙ කෝච්චිය වෙන්කරවගෙන යන්ඩ කොටුව දුම්රිය ස්ථානයට ආව… රෑ නවයයි… උදේ පාන්දර තමයි කෝච්චිය තියෙන්නෙ… ඉස්සර ස්ටේසම ඇතුලෙ විවේකාගාරවල ඉන්ඩ දුන්නත් ඒ දවස්වල රටේ තිබුණු වාතාවරණෙත් එක්ක රෑ 11 විතර වෙද්දි ස්ටේසමේ හිටිය සේරම මිනිස්සුන්ව එළියට දැම්ම…

එහෙම දේකට කිසි සූදානමක් නැතුව ඇවිල්ල හිටිය අපි කට්ටියට කොටුව දුම්රියපල ඉස්සරහ  නිදාගෙන ඉන්න යාචකයො අතරෙ  පත්තරයක් එලාගෙන පාන්දර වෙනකල් හිටිය හැටි මතක් වෙලා මගේ මූණෙ හිනාවක් ඇඳුන…..

අපිත් කරන වැඩ… !!!

ලක්නව් නගරයේ බුද්ධ විහාරය අපි වගේ එන අයට නවාතැනක් වෙලා තිබුණෙ අම්මල තරුණ කාලෙ ඉඳලයි…

අපේ ගමන තීරණය කරනකොටම අම්මා ලක්නව් බුද්ධ විහාරාධිපති ගලගෙදර පඥ්ඥානන්ද හාමුදුරුවන් ඇමතුවා…

මම රුක්මණීව දන්නෙ කොයි කාලෙක ඉඳලද…. මම නම් ඔය කියන දවස් වෙද්දි ශ්‍රාවස්තියට වඩිනව… ආපහු එන්නෙ සති දෙකකින්……රුක්මණී දරුවො දෙන්නත් එක්ක ඇවිල්ල ඕනෙ කාලයක් නවාතැන් අරන් යන්ඩ….

උන්වහන්සේ අපිට විහාරයේ නවාතැන් පහසුකම් දෙන්ඩ එකඟ වුනේ එහෙමයි…

රජයේ සංගීත විද්‍යාලයේ සිසුවියක්ව ඉගෙන ගන්න කාලයේ අම්මා ඇගෙ සංගීත විශාරද උපාධිය සඳහා ආ ලක්නව් ආ ගමනේදී නවාතැන් ගෙන තිබුණේ බුද්ධ විහාරයේ…

ඒ අත්දැකීම ගැන අපිට ඈ විස්තර කරන හැම වතාවකම මම හීන මැව්වෙ ඈ ලබපු අත්දැකීම් ලබන්න ඇත්නම් කියන එකයි…

හතර වෙනි අවුරුද්දට ගොඩ දාන්ඩ වැඩ වැඩි වෙන බව දැන දැනත් විශ්ව විද්‍යාලයේ තෙවෙනි වසරෙ විභාගෙ මග දාල මම අම්මලත් එක්ක චාරිකාවට එකතු වුනේ ඒ හන්දයි..

චරස්!!!!!!!!!!!

සීතල වතුර පොදක් මුහුණට වැදුණම මම ගැස්සිලා ඇහැරුණා…

පාන්දර දුම්රියපොල අතුගාන සේවකයො ඊට කලින් දූවිලි ඇවිස්සෙන එක වලක්වන්ඩ වතුර විදිනව…

අපි කලබල වෙලා නැගිටල අපේ ගමන් මලුත් අරන් ඉක්මනින් එතනින් ඈත් වුණා…

වරකට එකා බැගින් ගිහින් මූණ කට හෝදගෙන ඇඳුම් මාරුකර ගෙන ලෝදිය කෝපි කෝප්පයකුත් සප්පායං වෙලා බෑග් අරගන්ඩ හැරෙන පමාවට රතුපාට කමිසයක ඇඳගත්ත කෙසඟ පෝටරයෙක් අපේ ගමන්මලු ටික ඔසවාගත්තෙ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුවයි…. දුම්රියපොලවල ඉන්න පෝටරයො මගීන්ගෙ හැසිරීම් රටාව නිරීක්ෂණය කරල තියෙන තරම කොයිතරම් ද කියනව නම්  මගීන්ගෙ ඊලඟ සිතිවිල්ල උපකල්පනය කරල වැඩ කරන්ඩ ඔවුන් දන්නව…. කොච්චර එපා කිව්වත් ආයෙ ඒව බිම තියන්නෙත් නෑ….තමන්ගෙ ව්‍යාපාරයේ පහසුව තකා මගීන් අසලම ගැවසෙනව… මල්ලිටයි මටයි හිනා ගියා…

පෝටරයා අපිට ඉදිරියෙන් යන්ඩ සන් කරල පසුපසින් වැටුණා…

අපි එලියට බැස්සෙ බුද්ධ විහාරෙ බලා යන්ඩයි..

ටැක්සී ටැක්සී.. මෑම් ටැක්සී….

දුඹුරුපාට  කමිස ඇඳපු ටැක්සි රියදුරු සේනාව අපිව වටකරගත්තෙ හරියට රාමගෙ වානර සේනාව වගේ…

එක වරම ක්‍රියාත්මක වුණු පෝටරයා ඉදිරියට පැනල එක අතකින් සේනාව දෙපැත්තට තල්ලු කරමින් පාර පෑදුව…

අරේ හටෝ හටෝ …. ඒ ගමන් ඔහු බෙරිහන් දුන්න…

ක්‍යා භයියා!!

වානර සේනාව අත දිගු කරමින් ඈත් වුණා

පෝටරයා කෙලින්ම ටැක්සියක් ලඟ නතර වුණා…කොහේදෝ ඉඳල ආපු රියදුරා යටහත්පහත් ලෙස අපිට ආචාර කරල අපේ ගමන් මලු ටැක්සියට පටවන්ඩ පෝටරයට උදව් වුණා…

ඉන්දියාවෙ ටැක්සි රියදුරන් හා පෝටරයන් අතරෙ ඒ වගේ ගනුදෙනු තියෙනව…

මේ පෝටරය කුලී ගමන් ගෙනත් දෙන රියදුරන් කීප දෙනෙක් ඇති.. අනිත් රියදුරන් බලන්නෙ කොහොම හරි ඒ ගමන මගදි තමන්ට කඩා ගන්ඩයි

තුම්ලෝග් කහා ජානා චාහතේ හෝ මැඩම්…..??

ලාල්කුවාං… බුද්ධ විහාර්

පෝටරයට සන්තෝසම් මුදල් හෙම දීල  රියදුරාට ගමනාන්තය කියල මං ලොකු හුස්මක් ගත්ත…

 

ද දවසෙ පින්තූරෙ මෙතනින්

 

මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙනුත් ලස්සන පින්තූර හොයා ගත්ත මං

 

අපේ ගමන යෙදුනෙ ඇයි කියන එක මේ විදියට වෙනම ලියන එක හොඳයි කියල හිතුණෙ ඒක මැද්දෙන් රිංගවීම චාරිකා සටහන නීරස කරන්ඩ හේතුවක් වෙන්ඩ ඉඩ තියෙන නිසා….

ලිඛිත හා ප්‍රායෝගික යන දෙවගයේම පරීක්ෂණ තියෙන විශාරද විභාගයට පෙනී සිටින්ඩ  සූදානම් වෙච්ච මල්ලිත් එක්ක ලක්නව් එන්ඩ, ඒ සමගම එයා බැඳුණු පූරබ් ලක්නව් කියන පාරම්පරික තබ්ලා ගුරුකුලයේ ( පූරබ් ලක්නව් ගරාණා) වැඩිහිටියන් බැහැදකින්ඩත් එක්කයි… අපි මේ ආයෙ

මේ ගරාණා කියල කියන්නෙ ඉන්දියාවෙ තබ්ලා වාදන ගුරුකුල…

ප්‍රාදේශීයව, වාදන ශෛලිය අනුව, හා පද අනුව මෙන්ම තවත් විවිධ කාරණා අනුව එකිනෙකට වෙනස් වෙන මේ ගරාණා පැවත එන්නෙ පාරම්පරිකව…

අම්මාටත් තාත්තාටත් ගුරු වුණු, අප අතරින් වියෝ වුණු පී. වී නන්දසිරි කියන  ගුරුතුමා යටතේ තබ්ලා වාදනය හදාරල අවුරුදු නමයක් විතර කාලෙදි එතුමාගේ ගෝලයෙක් විදියට පූරබ් ලක්නව් ගුරුකුලයට බැඳුණු මල්ලීව එතනින් පස්සෙ සැලකෙන්නෙ ඒ පවුලේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ගුරුකුල පවුලෙත් දරුවෙක් විදියටයි…

දැන් චාරිත්‍ර ඒ විදියටම ආරක්ෂා නොවුණට ඉස්සර නම් එහෙම වුණාම පවුලෙ පිරිමිදරුවෙක්ට තියෙන වගකීම් සියල්ල අඩු නැතුව මේ බඳවා ගන්නා ගෝලයන්ටත් තියෙනවලු…

ඒ ගැන වැඩි දුර කියවන්ඩ මෙතෙන්ට යන්ඩ

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

33 Responses to ලක්නව් සීතලට ලෝදිය කෝපි…!!

  1. praveena පවසයි:

    ආපහු ඔන්න ඉන්දියාවට ගියා. 🙂

    අර රෙදි එලලා බිම නිදාගත්ත එක මේ ලෝදිය වගේ කෝපි කෝප්පයක් බොමින් කියවනවා. කොච්චර ලස්සන, අත්දැකීම්ද? මේවා මේ විදියට බෙදාගන්නවට ජනූට පිං.

    හිමිදිරි පාන්දර ඉන්දියාවේ පාරවල් අයිනේ දකින්ට පුලුවන් දරශනයකුත් හිතේ මැවුනා. ඒ ගිණිමැල ලඟට වෙලා කෝපි හරි මසාලා චායේ එකකින් හරි ඇඟේ සීතල නැති කරගන්න හැටි. ඔවුන්ගේ ඔලුවල දවටගෙන ඉන්න ජටා, ඔතාගෙන ඉන්න පොරෝන මේ දැන් පේනවා වගේ.

    අනේ ආයම වතාවක් ඉන්දියාවට යන්ට ඇත්නම්….මේ දැන්ම.

    • මේ ලියන වෙලාවෙත් මගෙ හිතේ මැවෙනව ඔයා කියපු සිද්ධීන්….
      ආයෙත් වතාවක් යන්ඩ මගෙත් හිතේ තියෙනව පාර අයින්වල තමයි ඉන්දියාවෙ ජන ජීවිතේ වැඩි හරියක් සුන්දර දේවල් දකින්ඩ ලැබෙන්නෙ …. අපේ පෙම්බරය ඉන්දියාවට කැමති නැති හන්ද ඉතිං තනියම යන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නෙ…..

  2. ravisandu පවසයි:

    ඉන්දියාවෙ මම සංචාරය කරල තියෙන්නෙ දකුණෙ නගර කීපයක විතරයි. ඒවයිනුත් චෙන්නායි වගෙ ජනාකීර්ණ නගර හරිම අපිරිසිදු සහ කලබලකාරී තමයි ඇත්තටම. ඒත් ජනූ, මටනම් හරිම හෘදයාංගම බවක් ලෙංගතු බවක් දැනෙනව ඒ හැමතැනකම.සමහරවිට අපි ආවෙ ඉන්දියාවෙන්ය කියල යටි හිතේ කොණක නොමැකෙන අයුරු සටහන් වෙලා තියන නිසා වෙන්නත් පුලුවන්. ඒ වගේම ඒ අපිළිවෙලට, ගාලගෝට්ටියට මම කැමතියි….හෙහ්, හෙහ්,

    චෙන්නයි වල මගෙ කවදාවත් අමතක නොවෙන අත්දැකීමක් උනේ තව යාළුවො දෙන්නෙක් එක්ක බාර් එහෙක ඉස්සරහ පඩි පෙලේම ඉඳගෙන කලිසං, වේට්ටි සරුවාල තව නොයෙක් නොයෙක් පාට නමවත් දන්නෙ නැති නා නා ප්‍රකාර ඇඳුං ඇඳගෙන එතනම වාඩි වෙලා බෝතල් කටේ තියාගෙන බොන සහෘදයො කාණ්ඩයක් එක්ක ඉන්දියන් රම් බෝතලයක් ගහපු හැටි….අම්මපා එතනම බැදල ඒ වෙලාවෙම කන අල්ලක් තරං විසාල වඩේ එකේ රහ…ශෙහ් මතක් වෙන කොටත් ඉවසන්ට බෑ බොල…

    හැබැයි එදා අපෙ ලොක්කිගෙන් මම බැණුං ඇහැව්ව කං හෝ හෝ ගානකල්…තාම ඇහෙනව ඇහෙනව වගෙ…මට ඔක්කෝටම වැඩිය දුක එතන අල්ලාපු පෝටොස් ටික..උන්දැ ප්‍රින්ට් කොරපු වහාම අත් අඩංගුවට අරං හැංගුව…දැං එයාටම මතක නෑ කොහෙද කියල….මේ පාර ගිහිල්ලත් හෙව්ව තාම නෑ හම්බ උනේ….

    / දවසක් අපියි ලොකු නැන්දලයි රජයේ අවසරපත් අරන් බදුල්ලෙ කෝච්චිය වෙන්කරවගෙන යන්ඩ කොටුව දුම්රිය ස්ථානයට ආව… රෑ නවයයි… උදේ පාන්දර තමයි කෝච්චිය තියෙන්නෙ /

    බදුල්ලට උදෙම්ම තියෙන්නෙ පොඩි මැණිකෙ…මම දන්න කාලෙ ඉඳලම 6.15 වගෙ කොටුවෙන් පිටත් වෙන්නෙ….ඉතිං බොලා මොකටෙයි මහ රෑ දෙගොඩ හරියෙ කොටුවෙ ඉස්ටේසමට ආවෙ?….අහ්, හරිනෙ මට මතක බැරි උනානෙ…මොකෑලන්තෙ ඉඳං නැතුං කොහොමෙයි ඔය වෙලාවට කොළඹට එන්නෙ….හෙහ්, හෙහ්,

    / මේ ගරාණා කියල කියන්නෙ ඉන්දියාවෙ තබ්ලා වාදන ගුරුකුල…/

    ගරාණා පාර දානවයි කියල අපි නං අහල තියෙන්නෙ වෙන දෙයක්….

    ඇත්තටම ඝරාණා කියන්නෙ මම හිතන්නෙ ඝර ( ගෙදර ) කියන එකෙන් හැදිච්චි එකක් වෙන්නැති…ජල්සඝාර්….මතකයි නේද?

    / දැන් චාරිත්‍ර ඒ විදියටම ආරක්ෂා නොවුණට ඉස්සර නම් එහෙම වුණාම පවුලෙ පිරිමිදරුවෙක්ට තියෙන වගකීම් සියල්ල අඩු නැතුව මේ බඳවා ගන්නා ගෝලයන්ටත් තියෙනවලු…/

    එහෙනං එහෙනං බොල, කොටිම්ම හොඳම ගෝලයට තමයි ගුරුතුමාගෙ දෝණියැන්ද කරකාර බන්දල දෙන්නෙත්….මළයට එහෙම උනේ නැත?

    අහ්, ඔය ලක්නව් ඝරානාවෙ නම් මන්ද වෙන ඔය කොහෙද ඝරානාවක තිබ්බ සිරිතක් හොඳම ගෝලයගෙ අක්කට උස්තාද්ගෙ ලොකු පුතා සැට් කොරන….හෙහ්, හෙහ්, උඹත් මට පේන්නෙ තකහණියක් උඩදාගෙන ඉන්දියාවෙ ගියෙ ඔය ආතල් එක කොහෙං හරි ආරංචි වෙලා වෙන්ට ඕන…..නෑ කියන්න නම් එපා ගොයියෝ…

    • අනෙ අර අත්දැකීම නං මරේමරු…
      ෆොටෝ ටික හොයාගෙන ස්කෑන් කරගන්ඩ.. ලස්සන පෝස්ට් ලියල අලවන්ඩ බැරියැ….
      ./ඉතිං බොලා මොකටෙයි මහ රෑ දෙගොඩ හරියෙ කොටුවෙ ඉස්ටේසමට ආවෙ?/
      අපි ආවෙ අර විදියට ඉස්ටේසමේ නවතින එකත් ෆන් එකක් කියල හිතාගෙන.. මදැයි අපිව එලියට දැම්මනෙ … ඉස්ටේසමේ රෑට කවුරුත් තියාගන්නෙ නෑ කියල…
      ඝරාණා කියන එක ඝර් කියන පදයෙන් හැදුන වෙන්ඩත් පුලුවන්… මං අම්මගෙන් අහලම කියන්නංකො ඒක ගැන අයියට…
      /අහ්, ඔය ලක්නව් ඝරානාවෙ නම් මන්ද වෙන ඔය කොහෙද ඝරානාවක තිබ්බ සිරිතක් හොඳම ගෝලයගෙ අක්කට උස්තාද්ගෙ ලොකු පුතා සැට් කොරන/
      චික්……. බලපං උඹ මෙව්ව කියන්නෙ පරක්කු වෙලා නෙ….

    • Maneka පවසයි:

      ” අහ්, ඔය ලක්නව් ඝරානාවෙ නම් මන්ද වෙන ඔය කොහෙද ඝරානාවක තිබ්බ සිරිතක් හොඳම ගෝලයගෙ අක්කට උස්තාද්ගෙ ලොකු පුතා සැට් කොරන….හෙහ්, හෙහ්, උඹත් මට පේන්නෙ තකහණියක් උඩදාගෙන ඉන්දියාවෙ ගියෙ ඔය ආතල් එක කොහෙං හරි ආරංචි වෙලා වෙන්ට ඕන…..නෑ කියන්න නම් එපා ගොයියෝ…”

      දැන්නේ මට තේරුණේ මෙයා කැම්පස් විභාගත් විසික්කොරලා…තකහනියක් ඉන්දියා දිව්ව හේතුව!!!! හොඳ වෙලාවට මේ දැනුම් තේරුම් තියන අයියලා ඉන්නේ…. අපට මෙව්වා දැනගන්න….
      මේ මං මේ කට කහනවට අහන්නේ……….හොඳම ගෝලයගෙ නෑනණ්ඩිට ඔය මොකෙක් හරි සැට් කරන සිරිතක් එහෙම…නැද්ද???

      • ravisandu පවසයි:

        / දැන්නේ මට තේරුණේ මෙයා කැම්පස් විභාගත් විසික්කොරලා…තකහනියක් ඉන්දියා දිව්ව හේතුව!!!! /

        ආන්න ඒකනෙ බොලං කියන්නෙ…උඹ නෑණන්ඩි උනාට මේ අම්මණ්ඩිගෙ විසිවිත්තර තාම දන්නෙ නෑ හරියකට 🙂

        / හොඳ වෙලාවට මේ දැනුම් තේරුම් තියන අයියලා ඉන්නේ…. අපට මෙව්වා දැනගන්න…. /

        ආන්න එහෙම වරෙං…පිදිය යුත්තාට පුදන්ට පුරුදු වෙයං දැම්ම ඉඳල…හෙහ්, හෙහ්,

        / මේ මං මේ කට කහනවට අහන්නේ……….හොඳම ගෝලයගෙ නෑනණ්ඩිට ඔය මොකෙක් හරි සැට් කරන සිරිතක් එහෙම…නැද්ද??? /

        ඔය උස්තාද්ල ගාව ඉන්නොව අන්තේවාසික් කියල කස්ටියක්…දහරමණ්ඩිය ගොතාන වරුවක් විතර සංගීත බාන්ඩ වාදනේ කොලාම කකුල් කැක්කුං එහෙම අල්ලනව නොසෑහෙන්ඩ…ඒ වෙලාවට ඔය අන්තේවාසික් තමයි සුවඳ තෙලක් කාරිය උලාල උස්තාද් ගොයියගෙ කකුල් සම්බාහනේ කොරන්නෙ…හිංගලෙං කිව්වැකි සට්ටඹියො කියල…ආන්න ඒ සට්ටඹිය තමයි හොඳම ගෝලයගෙ නෑණන්ඩිට සැට් කොරන්නෙ…තේරුණාය මනේකා උඹට…

        හුහ්…ආව මෙතන ගිණි කුන්දමේ උඩ පැනගෙන නෑණන්ඩිට සැට් කොරන එකාගෙ වගතුග අහගෙන යන්ට 😀

      • Buratheno පවසයි:

        හියැහ් පුහ්.!! 😀

      • Maneka පවසයි:

        /ආන්න එහෙම වරෙං…පිදිය යුත්තාට පුදන්ට පුරුදු වෙයං දැම්ම ඉඳල…හෙහ්, හෙහ්,/

        පුහ්! අනේ මගේ කට …මහ ලොකු පිදිය යුත්තා…!!!

        /ඔය උස්තාද්ල ගාව ඉන්නොව අන්තේවාසික් කියල කස්ටියක්…දහරමණ්ඩිය ගොතාන වරුවක් විතර සංගීත බාන්ඩ වාදනේ කොලාම කකුල් කැක්කුං එහෙම අල්ලනව නොසෑහෙන්ඩ…ඒ වෙලාවට ඔය අන්තේවාසික් තමයි සුවඳ තෙලක් කාරිය උලාල උස්තාද් ගොයියගෙ කකුල් සම්බාහනේ කොරන්නෙ…හිංගලෙං කිව්වැකි සට්ටඹියො කියල…ආන්න ඒ සට්ටඹිය තමයි හොඳම ගෝලයගෙ නෑණන්ඩිට සැට් කොරන්නෙ…තේරුණාය මනේකා උඹට…/

        බොලාගේ කාට හරි සෙට් කොරහන් සට්ටඹියොන්ට!!! අපි ඌවට සැට් වෙන්නෑ….. හිටිං මගේ කුමාරයා අස්පයා පිටේ අවි ආයුධත් අරන් එනකං…. (knight in shining armour) 😀
        එදාට බලගමු!

      • ravisandu පවසයි:

        @ Maneka,

        ” Sometimes your knight in shining armor is just an idiot in tin foil ”

        Hope you have heard this and wishing your knight would be totally different 😀

  3. indika27 පවසයි:

    අපෝ ඉන්දියාව හරි අපිරිසිදුයිලු..ඒත් ඉතිං හාමදාම ලු ලු කියන ඒව දැක දැක ඉන්නව මිසක ලග තියෙන ඉංදියාවටවත් මං ගිහින් නෑනෙව..නාකි උනාම ඊ පී එෆ් එකෙං වත් කීයක් හරි ඉතිරි කරං යන්න ඕනි සවාරියක් ඉන්දියාවට…. හරි ලස්සනට ලියලා තියෙනවා…

    • ඔය අපිරිසිදුකම අස්සෙත් අපි ඒ රටට ආකර්ෂණය වෙන්නෙ නං මොකක් හරි සංසාරික බැඳීමක් නිසා වෙන්ඩ ඇති…. ලඟම රට වෙච්චි, ඊපී එෆ් අරන් නාකි වෙනකල් ඉන්ඩ එපා… ඔය කීය කීය හරි එක්කාසුකරල ගිහිං එන්ඩ… කෝච්චියෙ දවස් දෙක තුනක් ගියේ නැත්තං ඉන්දියාවෙ ගිහින් නෑ වගේ තමයි ඕං….

  4. Nish පවසයි:

    මමත් ඔය කියන බදුලු කෝච්චිය වැරදිලා ස්ටේසමේ නිදාගෙන තියෙනව ඒක අපූරු අත්දැකීමක්…….
    අදත් වින්දා…………………..

    • ඒක නියමයි… හිඟා කන කට්ටිය, නාටාමිල, තව නානාප්‍රකාර රස්සා කරන අය එතන නිදාගන්නව… රෑ මැද සැරෙන්සැරේ පොලීසියෙන් එතනිනුත් එළවනව… අපිත් අර ගොල්ලො අනුගමනය කරමින්ම නැගිටල ගිහින් ආයෙත් ඇවිල්ල එතනම වාඩි වෙනව…
      මේක නං කෝච්චිය වැරදිලා නෙවෙයි… ආවෙම ස්ටේෂන් එකේ ඉන්ඩ හිතගෙන නෙ….

  5. Gold fish පවසයි:

    ලස්සන ගමනක්… පින්තූර ටික දකිද්දි කතාව හොඳටම තේරෙනවා… 🙂

  6. mangalika පවසයි:

    ඒකනම් ඇත්ත කොච්චර අපිරිසිදු වුනත් තව සැරයක් ඉන්දියාවට ගිහින් එන්න මම හීන මවනව. සසරේ බැදීමක්දෝ කියලත් හිතෙනව තමයි.තවමත් මමත් ඉන්දියාගමනෙ අසිරිය සිතින් විදිනව.

  7. මධුරංග පවසයි:

    හරියට නිකන් හින්දි චිත්තරපටියක් බැලුවා වගේ. ඒක නෙමේ ජනූ අක්කට හින්දි පුලුවන් ද ?
    එහෙනම් මරු නේ !!

  8. henryblogwalker the Dude පවසයි:

    ලිවිල්ල ගැන නැවත නැවත කියන්න අවශ්‍ය නෑනේ.
    උඹේ පෙම්බරයා වගේම මාත් පුද්ගලිකව ඉන්දියාවට එච්චර කැමති නෑ. සමහරවිට මේ ජොබ් එක කරන්න ගිහින් හම්බවෙලා තියෙන ඉන්දියානුවන්ගෙ ගොබ්බ වැඩ දැකලම වෙන්න ඇති. කොහොම උනත් ඉන්දියාවෙ මම දන්න තරමින් ලංකාවෙ තරම් ඔය වගෙ ස්ටේෂන් එකක නිදාගෙන ඉන්න ගෑනුන්ට ටැක්සියක යන ගෑනුන්ට, අතවර කරන්න හදන උන් නම් අඩුයි මම දන්න විදියට.
    අර ෆෝටෝස් ස්කෑන් කරන්නම ඕනෙ නෑ බං. මිදුලෙන් පු‍ටුවක් තියලා පු‍ටුව උඩ ෆෝටෝස් තියලා ඩිජිටල් කැමරාවෙන් ගනින් ඒවයෙ ෆෝටෝස්. එහෙමත් හොඳට ගන්න පුලුවන්.

    සපාගෙ බ්ලොග පැත්තෙ ගිහින් බලාපංකො ටිකක්. මාරයාඅ මුරට ඉන්නවා වර්ඩ්ප්‍රෙස් කාරයො සපාව රවට්ටගෙන ඔය පැත්තට ගනියි කියලා. 😀 😀

  9. සපතේරු උන්නැහේ පවසයි:

    අපිට ඉන්දියානුවො පෙන්නන්න බැරි වෙලා තියෙන්නෙම හෙන් රි කිව්ව වගේ අපිට එකට වැඩකරන්න වෙලා තියෙන ගඳයො නිසා… ඒත් ඉන්දියානුවො කියන්නෙ ලෝකෙන්ම ඉන්න ප්‍රැක්ටිකල්ම මිනිස්සු ජාතියක්… සෝබන අඩුයි…

  10. සපතේරු උන්නැහේ පවසයි:

    අප්පා මේ වර්ඩ් ප්‍රෙස් වල කොමෙන්ට් දාන්න තියන අමාරුවක්… 😦

  11. TG පවසයි:

    මාත් ප්‍රොෆෙශනල් වර්ඩ්ල්ඩ් එකේ ශ්‍රි ලංකන්ස්ලගෙන් අඩුවක් නැතිව ඉන්දීය විරෝධී (anti Indian ) ගතිය දැකලා තියේ මිඩ්ල් ඊස්ට් , යූ කේ , ඔස්ට්‍රේලියා , යූ එස් ඒ වගේ රට වලට රස්සාවට මයිග්‍රේට් වුන හා යන්න බලන් ඉන්න විශේෂයෙන් ලංකාවේ අයිටී , මෙඩිසින් , ඉන්ජිනේරින්ග් , අකවුන්ස්ට් ෆිල්ඩ් වල උදවිය සෑහෙන්න ඉන්දියන් ෆ්‍රොෆෙෂනල්ස් ලට බනිනවා 🙂

    ඇත්ත ඉන්දියන්ස්ල ස්මාර්ට් වචන වලින් හොඳට හරඹ දන්නවා සමහර වෙලාවට දන්නේ අඩුවෙන් වුනත් දිනන්න එයාලට පුලුවනි ඒකට හේතුව මේ ගොඩ අයගේ ලැන්ග්වේජ් ස්කිල්ස් අපේ උදවියට වඩා හොඳයි . අපේ අය දන්න දේ කියන්නේත් නෑ හරියට .දුර්වල ලැන්ග්වේජ් ස්කිල්ස් නිසා .So how they highlight themselves at their professions ? අනික ලෝක ජනගහනයෙන් සෑහෙන්න ගාණක් ඉන්න උප මහාදීපයක මිනිස්සු හැම ෆීල්ඩ් එකක්ම ඩොමිනේට් කිරීම ඉබේ වෙනවා .කොහොම වුනත් මට නම් අහම්බෙන් හරි වැඩ වලදි හරි , ඒ වගෙම මට ලයින් මැනේජර් හැටියට හරි , යාලුවො හැටියට හරි මුණ ගැහුන හැම ඉන්දියානුවෙක්ම ඉතාම හොඳ අය කියලයි හිතෙන්නේ .ඒ හැම කෙනෙක්ගෙන්ම මම දෙයක් ඉගෙනගත්තා මට එයාල උදව්වක් වුනා .උදාහරණයක් කිව්වොත් කේරලේ මම ගිය රිසර්ච් ඉන්ස්ටිටියුට් එකක ජේෂ්ට මහාචාර්යපේ වරු , ඉන්ජිනියර්ස්ල ඉතාම නිහතමානී මිනිස්සු බොහොම සාමාන්‍ය විදියට ඇඳලා පැලැඬ්හ්ලා යන එන සුහද ඒ වගෙම කොලිෆිකේෂන්ස් අතිනුත් ඉහල නිහතමානී අය .ලංකාවේ ඒ වගේ දෙයක් අපේ ඇකඩමියාවෙන් මම ඉතාම අඩුවෙන් දැකලා තියෙන්නේ . සමහර ශ්‍රී ලාංකික ප්‍රෙජුඩිසස් එක්ක ලෝකේ දකින තරමට ටිකක් ලෝකේ ඇදට පේනව වගේ මට හිතෙන්නෙ 🙂 🙂 hi hii

    කුණු, දූවිලි ,දාඩිය , මුඩුක්කු , මහ පාරේ ශිටින්ග් , අධික ජනාකීර්ණ බව , ඔය කොයිකත් එක්ක තමා ඉන්දියාව රස විඳින්න ඕනේ . හැම හැතැක්ම විස්සකට සැරයක් කල්චර් එක වෙනස් වෙන අමුතුම රටක් ඉන්දියාව .

    • ඉන්දියානුවන් එක්ක වෘත්තීය අත්දැකීම් නැති හන්ද මම තාමත් අඳුනන්නෙ අපිට එහෙදි මුන ගැහුණු සංගීතය තමන්ගේ ජීවිතේ කරගත්තු හෘදයාංගම මිනිස්සු ටික දෙනෙක් විතරයි!!!
      ඒ හන්ද තාමත් මගේ හිතේ ඉන්න ඉන්දියානුවා දූෂිත කෙනෙක් නෙවෙයි!!

      ඔයා කියන්න වාගෙ එහෙ එකිනෙකට වෙනස් සංස්කෘතීන් දකින්ඩ ඒ හැටි දුරක් යන්ඩ ඕනෙ නැති එක නං පුදුමයක්…ඇයි භාෂාව… ඒකත් වෙනස් වෙන සැතපුම් ගාණක් තියෙනව!!

  12. Susara Wijeratne පවසයි:

    ඉන්දියාව ගැනත් ඉන්දියානුවෝ ගැනත් මට තියෙන්නේ දෙයාකාරයක අදහස් . මගේ රස්සාවත් ඒ ආශ්‍රිත කාරණාත් එක්ක මුණ ගැහිච්ච ඉන්දියානුවෝ නම් නැවත මුණගැසෙන්නට නොයෙදෙවා කියලා පතන්නට වෙන ජාතියේ අය. ඒත් ඉන්දියාවේ සංචාරයක් කියන්නේ මගේ හිතේ තියෙන සබැ කරගතයුතු සිහිනයක් . ඒක ඔය කට්ටිය කියනවා වගේ සංසාරික බැඳීමක් වෙන්නැති . මගේ තාත්ත මං පොඩි කාලෙ කියලදීපු කතා වලින් හිතේ ඇඳුනු ඉන්දියාව පසුකලෙක කියවපු චාරිකා සටහන් වලින් තව තවත් හිත බැදගත්ත. ඒ චාරිකා සටහන් ලියපු බොහෝ අය ඉන්දියාවට ආදරය කරන අය . ජනුගේ මේ චාරිකා සටහනත් ඒ වගේමයි .
    සංගීත ඝරානා එහෙම නැතිනම් ගුරුකුල වල ඇත්තෝ ගැන නම් මගේ තිබෙන්නේ ඉමහත් භක්තියක් . සුපිරිසිදු ඉන්දියානු සංගීතය ආරක්ෂාකර පවත්වාගෙන යන්නේ ඔවුන් නිසා. සියලු කලාවන් මිනිසාගේ ආනන්දය උදෙසාය යන වර්තමාන ලුහු අර්ථදැක්වීමට එහා ගිය “සංගීතය සංගීතයේ ප්‍රගමනය උදෙසා” එහෙම නැතිනං ” දෙවියන් උදෙසා වූ සංගීතය” වගේ උතුම් අරුතක් ඔවුන්ගේ මෙහෙවර තුල මා දකිනවා. අදටත් ඉන්දියාවේ ජනප්‍රිය ධාරාවේ සංගීතඥයන්ට තරමට මෙවැනි අයත් සිටිනවා . කොතරම් දුප්පත් උනත් අර්බුදතිබුනත් ඉන්දියානු සමාජය මේ ඝරානාවල් නඩත්තු කිරීමට තරම් පොහොසත් .
    මේවා කියවනකොට දුකත් හිතෙනවා මගෙත් එක්ක ලක්නව් යන්න තාත්ත අද නැති නිසා.

    • අපේ පෙම්බරය කියන්තේ තමන්ගෙ වෘත්තීය ජීවිතේදි ඇසුරු කරන්ඩ ලැබුණ ඉන්දියානුවො නං කිසිම කමකට නැති උදවිය කියලයි… අවාසනාවක මහත… උන්දැට වැඩිපුරම පුහුණුවලට යන්ඩ වෙන්නෙත් ඉන්දියාවට…!!
      සංගීතය හැදෑරූ අම්මා මෙන්ම ඉන්දියානු සංගීතයට ඇලුම් කළ මගේ තාත්තා තමන්ගෙ ඉන්දියානු චාරිකා විස්තර කළේ අපිට දෙවරක් නොහිතා ඉන්දියාවට ඇලුම් කල යුතු යැයි සිතෙන විදියට…
      අපි තුන් දෙනා ඔය චාරිකාව යන විටත් එසේ අප සමග යාමට බොහෝසේ ආසාවෙන් බලා සිටි තාත්තා අප හැර ගොසින්!!
      දකින දකින දේ ගානේ චාරිකාව පුරා ඔහු සිහිපත් වූ වාර අනන්තයි!!!

  13. Buru පවසයි:

    ‘කුණු, දූවිලි ,දාඩිය , මුඩුක්කු , මහ පාරේ ශිටින්ග් , අධික ජනාකීර්ණ බව , ඔය කොයිකත් එක්ක තමා ඉන්දියාව රස විඳින්න ඕනේ . හැම හැතැක්ම විස්සකට සැරයක් කල්චර් එක වෙනස් වෙන අමුතුම රටක් ඉන්දියාව .’

    ඉන්දියාව මටත් ඒ විදියට රස විඳින්න ආසයි. ඒ වුනාට ඕක කරගන්න බෑ.
    මුලින් ඉන්දියාවේ ගිහින් මම වින්ද දුක දන්නේ මමනේ. හික්ස්…
    මේ පාර නම් ඉන්දියාවේ ගියාම බලෙන් හරි ගේමට හරි මම පාරේ කෑම කාලා පාරෙම වමනේ දාල බඩේ අමාරුව හදාගෙන මිසක් නතර වෙන්නේම නෑ. හිටපල්ලකො මේ බ්ලොග් ඈයොන්ට.

    ඉන්දියන් ඈයො ගැන නම් මටත් තියෙන්නේ ලොකු පිළිගැනීමක්. කොටින්ම හිතවත්කමක් බලෙන් මවා ගන්න ඕනේ නෑ ආශ්‍රය කරද්දි. මගේ ඉන්දියන් යාළුවෝ ඉන්නවා බොහොමයක්. ලස්සන කොල්ලෝ හෙම… මොනවට කියනවද නේද?
    ඉන්දියාවේ කතා කියලා මෙහෙම ඉරිශියා කරවන එක පවු වැඩක්….!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )