අහඹු හමුවීම් සහ සමුගැනීම්…!!!

දුම්රිය හති ලමින් නතර වුණා….

බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන වේදිකාවේ බලන් හිටිය මගීන් තමන්ගෙ බඩු පොදි  පාපැදි, එලුවො ආදී එකී නොකී දේ අරන් ළමා ලපටි වඩන් කඩිමුඩියෙ දුම්රියට නගිනව…

අපේ මැදිරියට එන්නෙ කලින් වෙන් කරගත් ප්‍රවේශපත් ඇත්තන් නිසා  ඒ හැටි ජනාකීර්ණ නෑ…

නමුත් සාමාන්‍ය මැදිරි නම් ඇඟිල්ලක් ගහන්ඩ බැරි වෙන්ඩ පිරිල කියල කවුලුවෙන් හිස දාල බලනකොට පෙණුන….

වෛශ්නවී ජල්දී ආවෝ නා!!!!

ජල්දී  ජල්දී…

සම්හාල්කේ සම්හාල් කේ…

සිලි සිලි වළලු සද්දෙයි පාද සලං සද්දෙයි එක්ක මුසුවෙලා ඇහුණ

ඒ අස්සෙන් සල්වාර් ඇඳන් අතින් කටින් ගමන් මලු අරන් හිනා පොකුරු හලාගෙන බාලිකාවො රංචුවක් ඇවිල්ල අපේ මැදිරියට නැංග…

මැදිරියෙ තැන් තැන්වල ඉඩ තිබුණ හැටියට කෙල්ලො ටික විසිරිලා ගිහින් ඉඳගත්තට මොකද හැමෝටම ඉඳගන්ඩ ඉඩ තිබුණෙ නෑ….අම්මයි මමයි දෙන්න ටිකක් එහාට වෙලා තව තුන් හතර දෙනෙක්ට එතන ඉඳගන්ඩ ඉඩ දුන්න.

අපි දෙන්නට හිනා කටින් සංග්‍රහ කරල තව දෙතුන් දෙනෙක් ආසනේට එකතු වුණා…

කොලීජියක ඉගෙන ගන්න මේ කෙලි රොත්ත තමන්ගෙ ගුරුතුමියන් දෙන්නෙක් එක්ක ක්ෂේත්‍ර චාරිකාවක් යන ගමන්….

කොහේ යන ගමන්ද??

මගේ ලඟින්ම ඉඳගෙන මිතුරු හිනාවක් දාපු නගා මගෙන් හින්දියෙන් ඇහුව…

අපි ශ්‍රීලංකාවෙන්… ලක්නව් යනගමන්..

හානේ ඔයා ඉන්දියාවෙ නෙවෙයිද?? ඒත් හින්දි කතා කරන්නෙ කොහොමද??

ඈ පුදුම වුණා…

මම හිතුවෙම ඔයාල ඉන්දියාවෙ කියලනෙ...

මෙහෙම කියල කතාව පටන් ගත්තු ඈට ශ්‍රිලංකාව ගැන දැනගන්ඩ බොහොම දේවල් තිබුණ….

ආ මං දන්නව සනත් ජයසූරියව!!!

ඈ එහෙම කිව්වාම මට හිනා ගියා!!!

අනිත් කෙල්ලො ටිකත්හිනා වුණා…

රූපාලි එයාට හරි කැමතියි දීදී….

ඒ වෙන කෙල්ලෙක්…

තමන්ගෙ ආසම ක්‍රිකට් ක්‍රීඩකයා සනත් බව කියපු ඈ සනත් ක්‍රීඩා කරන රටෙන් ආව මට  ක්‍රිකට් ගැන ඒ හැටි උනන්දුවක් නොතිබීම ගැන මට දොස් පැවරුවෙ හිනා වෙමින්…

උපන් ගම ගැන, පවුල ගැන, කොලීජිය ගැන කෙලවරක් නැති විස්තර කතා කරල අපි අරන් ගිහින් තිබුණු කඩල බැදුමත් රහ බලපු ඔවුන්ට ඔවුන්ගේ ගුරුතුමියගෙන් සංඥාවක් ලැබුණා….

දීදී අපි ඊලඟ ස්ටේෂන් එකේදි බහිනව…

ඔයා කවද හරි අපිව බලන්ඩ එනවද  මෙහෙම??

ඔවුන් අහපු හිතවන්තකම මාව නෑ කියන්ඩත් බැරි, බොරුවට ඔවු කියන්ඩත් බැරි තැනකට ඇදල දැම්ම….

මම ඔවුන්ගෙ කැමැත්ත විමසල ඔවුන් සමග ඡායාරූපයක් අරගත්ත…

වචනෙන් දෙකෙන් සුහදකම වපුරල සහෝදර බැම්මක් හදාගෙන දීදී කියල කතා කරන්ඩ තරම් හිතවත් වුණු ඒ කෙලි රංචුව පැයක පමණ ගමණකින් පස්සෙ අපෙන් වෙන් වුණා….

ඔවුන්ගෙ අව්‍යාජ හිනා තැවරිච්ච ඒ ඡායාරූප දකින ගානෙ දැනෙන්ඩ හිතවත්බවක් ඉතරු වුණා….

දවල්ට කන්නෙ මොනවද කියල හිතමින් ඉන්න ගමන් අපේ ඉන්දියානු මහත්මයාගෙන් ඇහුවාම ඔහු කිව්වෙ තමන්ගේ රොටීම ආහාරයට ගන්න බවයි..

නමුත් අපිට දුමිරියේ ආපන ශාලාවෙන් ආහාර ඇණවුම් කළ හැකි බව ඔහු කිව්ව…

අපි දෙන්නගෙ මූණු ඇද වුණා…

හපෝ ඊයෙ අරන් ආවෙ ඒව නේද?? අදත් නං ඒව කන්ඩ බෑ අම්මේ ඕං…. එහෙම වුණොත් නං මං බැහැල අර පූරි අරං කනව..

මල්ලි නහකුණු ගාන්ඩ පටංගත්ත

චාවල්… චාවල්!!!!

යාබද දුම්රිය නැවතුමෙන් දුම්රියට නැගුණු වෙලෙන්දෙක් බත් මුල් විකුණනව දැකපු  අපි දෙන්නගෙ හිතේ මල් පිපුණ…

මල්ලියි මමයි හිතුවක්කාර විදියට අපි දෙන්නට අම්ම දීල තිබුණ සල්ලිවලින් මුල් තුනක් අරගත්ත…

අම්මත් ඒ පාර නං සද්ද නොකර හිටියෙ එදා දුම්රිය ආපන ශාලාවෙන් ඇනවුම් කරල ගෙනත් දුන්න දවල් කෑමෙ රහ මතක් වෙච්ච හන්ද වෙන්ඩ ඇති…..

ලා කොල පාට කෙසෙල් දල්ලක දමාපු ලොකු ඇට හාල්වලින් උයාපු බත්!!!

තෙලට හදාපු වම්බටු !!

වතුරෙන් උයල තෙම්පරාදු කරපු පරිප්පු හොදි…

ඉන්දියාවට ආවේණික විදියට හදන දෙහි අච්චාරු..!!

අපි ඉන්දියාවේ ගත කරපු මාසයටම මම එහෙම රස බත් වේලක් කෑවෙ නෑ!!

රේල් පාරට යාබද කොහේ හෝ නිවසක ගෘහණියක්  මුලුතැන්ගෙයි බිම ඇණ තියාන මේ කෑම වේල පිසින හැටි මට මැවිල පෙණුන…

ඈ ඉවූ බත් වේල කෝච්චියේ ගිය ශ්‍රීලාංකික මගීන් තුන් දෙනෙක් රස බැලූ වග, නාඳුනන ඇය ගැන හිතමින් යන වග ඈ දන්නවා ඇත්ද??

අබ යායවල්, තෙරක් නොපෙනෙන ගංගාවලට එපිටින් ඉර ගිලෙනව…. හාත්පසින් අඳුර ගලාගෙන ඇවිල්ල ඒ අඳුර දුම්රිය මැදිරි ඇතුලට එන රාත්‍රී අට පමණ වන විට දුම්රියේ බොහෝ දෙනා නින්දට සැරසෙනව… රාත්‍රී ආහාරය අරගන්නව….

දුම්රියෙ ඇතුලෙ ඉන්න මිනිස්සු අක්‍රීය වෙනව… කචබචය අඩුවෙලා යනව… අමුතු නිසංසල බවක් ඇති වෙලා දුමිරිය ගමන් ලතාවෙ හඬට මුල් තැන ලැබෙන්ඩ ගන්නව…

මේ මං ආසම වෙලාවක්…

බංකර ඇඳට වෙලා ඝන පොරෝණාව අස්සට ගිහින් උඩු බැල්ලෙන් ඉඳන් දුම්රිය ගමන් තාලයත් එක්ක ඒකාත්මික වෙන්ඩ!!!

ඒ අතරේ හිතට එන නිමක් නැති සිතිවිලිවල අතරමං වෙන්ඩ!!!

මෙහෙම ඉන්න අතරෙ දන්නෙම නැතුව නින්දයනව!!!

රාත්‍රියේ දරාගත නොහෙන සීතල!!!!!!!

කොයි තරම් හොඳට පොරෝණාව ඇතුලෙ ගුලි වුනත් ආවරණය නොවූ පුංචි සිදුරකින් ඇතුලට විදින සීතල දලු  විදල ශරීරය වෙවුලුම් කවනව..

දුම්රියේ තහඩුවලට යන්තමින් හෝ ගැටුණොත් ගල් වෙලා යාවි කියා හිතෙන තරම් සීතලක් දැනෙනව…

ඉන්දියානු රාගධාරී සංගීත නාදයක් හීනෙන් වගේ ඇහෙනකොට මං හිටියෙ දැඩි සීතලෙන් පෙලෙමින් නින්දත් නොනින්දත් අතර…

මේ කොහේද??

මම  නැගිට්ටා… රාත්‍රී දහය පමණ වෙලා!!!

තරමක් විශාල දුම්රිය නැවතුමක්!! කලබලෙන් බහින හා නගින මිනිසුන්!!!

පහත් වෙලා කවුලුව දිහා බැලුවාම මම දැක්ක ඒ භෝපාල් නැවතුම්පල!!!

රාගධාරී සංගීතය පසුබිමෙන් වාදනය වන දුම්රිය නැවතුමක්!!!

නින්ද අහලකවත් නැති වෙච්ච ඒ රාත්‍රියේ මම බංකර ඇඳේ මුනින් අතට වැතිරිලා….

හමුදා සෙබලෙක් හිස් අසුනක නිදි කිරා වැටෙනව….

රාත්‍රියට දුම්රිය මැදිරිවලට හමුදා ආරක්ෂාව සපයනව….  පැයකට වරක් වගේ හමුදා භටයා දුම්රිය මැදිරිය පුරා සංචාරය කරනව….

මිනිස් පුලුටක් නැති පාලු පඳුරු බිම් අස්සෙන් මතුවෙන කොල්ලකාර මිනිස්සු නිසාලු

දුම්රිය මැදිරියේ දොර ආසන්නයේ වැසිකිලිය පාමුල දර මිටියක්!!!

ඒ අසල බිම ඇණ තියාගෙන ඉන්න ගෑනු කෙනෙක්…. කම්මුලේ අතක් රන්දාගෙන… අතේ රැඳුනු පාට පාට වලලු ටිකක් ඕනෙවට එපාවට වගේ පහලට වැටිල තිබුණ…

ඈ වරින් වර  මැදිරියට එබෙනව… රාත්‍රී කාලයට එන ප්‍රවේශපත් පරීක්ෂකවරුන්ට බියෙන් වෙන්ඩ ඕනෙ

ඈ දුමිරියේ යන්නෙ ප්‍රවේශ පත් නැතිව…. ඒ නිසා ඇගේ ඇස් මුවැත්තියකගෙ වගේ බියෙන්….!!!

පරීක්ෂකවරුන්ට ඈ හසුවුනොත් ඈව මේ රෑ කොහේ හෝ තැනකින් දුම්රියෙන් නෙරපුවොත්!!! මගේ හිත මේ නන්නාඳුනන ගැහැණිය ගැන අසීමිත බයකින් පිරුණ…

ඈ සූදානමෙන් ඇත්තෙ… වැසිකිලිය ඇතුලට ගිහින් දොර වහ ගනීවී….

මම මාව සනසවාගත්ත…

ඈත ගමකින් මේ විදියටම  දුම්රියට නැගල ඈ දර කඩාගෙන යන්ඩම ආව ගමනක්ද මේ??

සමහර විට ඇගේ දෙමාපියන් බලන්ඩ නෑගම් ආව ගමන් දරත් කඩාගෙන දුමිරියට නැග්ග වෙන්ඩ බැරිද??

ඒත් ඈ විතරක් තනියම??

කෝ සැමියා??

දරුවන්??

සැමියා මිය ගිහින්, දරුවන්ට කන්ඩ දෙන්ඩ මසං කඩන්ඩ ආපු අරණකට පෙම්බැඳ පොතේ හිටපු කුන්තා මගේ හිතට ආවෙ ඇස්වලට කඳුලකුත් අරන්…

මේ ඉන්නෙ ඇගේ ජීවමාන රූපය වෙන්ඩ බැරිද??

මං ආයෙමත් ඈ එක්ක දුර ගමනක් ගියා…

බේටී…. දැන් මම බහින නැවතුමට ඇවිත්… තව පැයකින් ලක්නව්වලට යාවි… පරිස්සමෙන් තුන්දෙනාම බැහැගන්ඩ….දෙවි පිහිටයි!!!

අපි සමග හිටි ඉන්දියානු මහත්මයා කාන්පූරයෙන් බහින්න සූදානම් වෙලා මම අවදියෙන් ඉන්න බව දැකල මට කිව්ව

මම අම්මටත් මල්ලිටත් කූද්දල  ඔහුට සුබ රාත්‍රියක් සහ සුබ ගමන් පැතුවා!!!

ඔබට දෙවි පිහිටයි!! නැවත හමුවෙමු!!!!

අහම්බෙන් මිසක කවදාවත් නැවත හමුනොවන ගමන් සගයා අපිට කිව්ව

හ්ම්!! බොහොමයක් සිදුවීම් අමතකයි!!!

වසර හත අටකට කලින් සිහල බ්ලොග් එකක් ලියන්ඩ ආව නං කොච්චර නං වටිනවද කියල හිතුණෙ එතකොටයි

අද දවසේ ලස්සන පින්තූරවල අයිතිය මෙන්න මේ දෙන්නගෙ

http://alyssa-india.blogspot.com/

http://www.desi-living.com

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

41 Responses to අහඹු හමුවීම් සහ සමුගැනීම්…!!!

  1. Buru පවසයි:

    මමත් මේ කෝච්චියේ ගිහින් නේ…
    බ්ලොග් එකට වඩා බොහෝ දුර මම මේ ගමන් ඉන්දියාව පුරා යනවා…..

    වැටෙන්ඩ ලියලා ජනුවෝ…
    නියමයි…
    හෙට අනිද්දට ඉන්දියා ගියාම මාත් මේ වගේ කෝච්චියේ යන්න ඕනේ.

    • හි හි… උඹේ යෙදුම් මං මේ කල්පනා කරන්නෙ බං රංගියො…
      වැටෙන්ඩ ලියල!!!
      ආන්න හරි… මට ආසයි උඹයි ටීජී අක්කයි දෙන්න එක්කල මෙහෙම පිස්සු රවුමක් යන්ඩ ඇත්තං..!!!

      • TG පවසයි:

        ආයේ අහලා .යමු යමු .රංගි අපිට ෆයිව් ස්ටාර් බුක් කරලා ලිමොසින් එකකුත් අරන් ඒවි 🙂 පාරේ කඩවල් වල චායේ බීලා පූරි කන්න නම් හිතන්නවත් එපා ජනුවෝ 🙂

      • Buru පවසයි:

        හිටපල්ලකෝ මම බොලාලට පේන්නම දවසක ඉන්දියාවේ කෝච්චියේ ෆුට් බෝඩ් එකේ ඉඳගෙන අර ගඳ ගහන කිළුටු ඇඳගත් මිනිස්සු එක්ක කෑම කකා යනවමයි.
        අනික ඉතින් අපි මොකෙන් ගියත් අන්තිමට ගමන එන්ජොයි කරල ඇති මදි නොකියන්නම. ඔය කෑම කන එකත් එහෙම තමයි.

    • Buratheno පවසයි:

      ඉවරයි.! ඉන්දියාවම ඉවරයි.!! 😛

      • Buru පවසයි:

        ඒකනේ බුරා මුන් එක්ක ඉන්දියාවේ ගමන් ගිහින් අර ඉන්දියානු කතා වල තියෙන සාරය නැති කරන්නේ මොකටද නේද? මම නම් ඔන්න ඔහේ තනියම යනවා ඉන්දියාවේ පැවැත්ම තියාගෙන.

  2. Buratheno පවසයි:

    කවුද බං සනත් ජයසූරිය කියන්නෙ..!? අර TV එකේ නටන මනුස්සයාද..?? 😀

    ඔන්න උඹ මට ‘අරණකට පෙම්බැඳ’ මතක් කලා.. යුගල ප්‍රසාද්, මංචි, කුන්තා.. ග්ර්ර්!! ආයෙමත් ගෙදර යනකං ඕක කියවන්න ලැබෙන්නෙ නෑ නෙවැ.. 😦

  3. kathandarakaraya පවසයි:

    ඉන්දියන්කාරයින් (උතුරේ උං) අපි හින්දි දන්නේ නෑ කියලා පුදුම වෙනවා.

    අනිත් අතට ලෝකේ අනිත් පැත්තේ ඉන්න ඉංගිරිසි කාරයින් ගේ භාෂාව දොඩන අපි හින්දි නෙමේ දෙමල නොදැනීම ගැනයි දුක් වෙන්න ඕනෑ!

  4. henryblogwalker the Dude පවසයි:

    ඇයි ඉන්දියාවෙ ගියේ කියන හේතුව ටික ටික තමයි පාඨකයට දැනගන්න හරින්නෙ නේද? අර ෆෝටෝස් වලට කරන්න ඕනැ දේ දන්නවනෙ. මමකමෙන්ට් එකක් දැම්මා ඒ ගැන කලින් පෝස්ට් එකේ.

    • පෞද්ගලික කාරණාවට ඒ හැටි වැදගත්කමක් දෙන්ඩ හිතුණෙ නෑ මේ පෝස්ට් දෙකේදි… ඒත් ඉස්සරහට ලියද්දි ඒ ගැන විස්තරත් කියන්නංකො අයියෙ අවශ්‍ය විදියට…
      මම අර ෆීචර්ඩ් ඉමේජ් එකක් විදියට දාන්ඩ ට්‍රයි කළා.. එතකොට අර මගෙ ලස්සන වී කරල් පින්තූරෙ නැති වෙලා යනව නෙ…. ඒක නං මට ඕනෙ මොනව නැති වුණත්!!!

      • henryblogwalker the Dude පවසයි:

        වී කරල් නැතුව යන්නෙ කොහොමද බං. වී කරල් ෆීචර්ඩ් ඉමේජ් එක නෙවෙයි. ඒක බ්ලොගේ ගවුමනෙ. ෆීචර්ඩ් ඉමේජ් එකක් තියෙනවා නම් ඔය තම්නේල් එනේබල් කරලා තියෙන මගෙ HeyDude වෙනියගෙ වගෙ බ්ලොගර් බ්ලොග් වල පේනවා. පොඩ්ඩක් කරලා බලපංකො කිව්ව එක.

  5. සිතුවිලි සිතූ පවසයි:

    හිතේ මැවෙන විදියට ලියලා තියෙනවා… මට මතක් වුනේ නීල් විජේරත්න ගේ මදුරාසි කොලුවා සහ බෙංගාලි යෙහෙළිය කියන පොත් දෙක..

  6. Nimal(Desertfrog) පවසයි:

    මේ වගේ දුම්රිය ගමනක් යන්න ආස හිතෙන තරමට ලස්සනට ලියල…

  7. Gold fish පවසයි:

    //වෛශ්නවී ජල්දී ආවෝ නා!!!!
    ජල්දී ජල්දී…
    සම්හාල්කේ සම්හාල් කේ…/// මට මතක් වුනේ “මෝසම්” මූවි එක….!!!

    අර කතාවද මේ?

  8. මධුරංග පවසයි:

    අපි ඉන්දියාඅවේ ගිහින් ආවා වගේ !!! මේවා කියෙව්වම ආස හිතෙනවා ඉන්දියාවේ ගිහින් එන්ඩ !!!
    🙂

  9. පාණ්ඩේ පවසයි:

    බඩා අච්චා ලග්තා හේ…මුජේ ලගා මේ බි උස්‌ ගාඩි මේ තා..කුෂ් හුවා…ආගේ ලිකෝ… (හරිද මන්දා??)

  10. TG පවසයි:

    හ්ම් ඉන්දියානු දුම් රිය ගමන් ගැන මගේ ඔලුවෙ තැන්පත්වෙලා තියෙන දෙවල් ඉවෙන් වගේ දැනගෙන ජනූ ලියලා කියලා හිතුනා

    අර ඔක්කොම කලබල ඉවර වෙලා පාලු නිසරු බිම් , අබ යායවල්,ඉඳහිට පහුවෙන ගම් මණ්ඩියක පැල්පත් එලි පහුකරන් තාලෙට පැද්දි පැද්දි රෑ යාමේ ඇදෙන ඉන්දියානු දුම් රියක නිදා ගැනීමේ අමුතුම සතුට ජනූ අපූරුවට ලියලා තියේ

    • හ්ම්.. චාරිකා සටහන් ලියද්දි මං ඉන්නෙ වෙනම වේශයක අක්කෙ.. ඒක ඔයාටත් එහෙම ඇති…. වෙනමම මනෝ ලෝකෙක ඉඳන්… ඒ අතීත සිද්ධිය ඇතුලෙ ජීවත් වෙන ගමන් ලියන්නෙ… මේ දවස්වල කවුරුත් වැඩිය කතා කරනවට මං කැමතිත් නෑ… දුවල පැනල කෑගහල ඉන්න මගෙ මේ වෙනස කාර්යාල හිතවතුන්ට මේක ඉක්මනින් දැනෙනව… සමහරු අහනව..
      හිනා වෙලා ඉන්නව……මොකෝ……බ්ලොග් එකක් ලියනව කියන්ඩ යැ?

  11. ravisandu පවසයි:

    विवाद, जननी, आपके यात्रा कथाएं हैं, वास्तव में प्रेरणादायक रहा, heh, heh, उत्तर प्रदेश और इसे रखना बधाईयां

  12. ravisandu පවසයි:

    බංකර ඇඳ නෙවෙයි ජනූ, ඕක Bunk Bed …..සිංහලෙන් බංක ඇඳ කිව්වැකි.

    වැඩේ නැඟල යනව බොල…මල් හතයි, පහන් දාහතරයි, හඳුන් කූරු විසි අටයි…හෙහ්, හෙහ්,

    බෝපාල් වල තමයි 1984 දි ලෝකෙ විශාලතම කාර්මික අනතුර සිද්ධ උනේ. යූනියන් කාබයිඩ් කියන අන්තර්ජාතික සමාගමේ කම්හලෙන් මාරාන්තික විෂ වායුවක් කාන්දුවෙලා ජීවිත තුන්දහස් ගනනක් නැතිඋනා.

  13. සිඳු පවසයි:

    අක්කෙ, කොහොමද මෙහෙම ලියන්නෙ? මේ තරම් ලස්සනට?
    මම සාමාන්‍යයෙන් පරිවර්තන කියවන්නෙ නෑ ,හොඳ පරිවර්තනයක් දැක්කොත් මොන ලෝකෙන් හරි මුල් කෘතිය කියවනවා මිසක්.ඒත් ඉන්දියානු, වංග, බෙංගාලි පරිවර්තන අත අරින්නෙ නෑ. කොහොම හරි කියවනවා. ඒත් චින්තා ලක්ෂ්මි කළ තරම් සාර්ථකව හැමෝම ඒක කරන්නෙත් නෑ. මට හිතෙනවා ඔයා ඒ වගේ දේකට අත ගැහුවොත් හොඳයි කියලා.
    මොකද මේක කියවද්දි මට දැනුනෙ ඉන්දියන් පරිවර්තනයක් කියවනවා වගේ. චිත්ත රූප මැවුණා.

    (අදනෙ දැක්කෙ බ්ලොග් එකේ යටම තියන පුංචි හිනා මූණ)

    • ලැජ්ජ කරන්ඩ එපා සිඳුවො මට…. බෙංගාලි පරිවර්තන කරන්ඩ චින්තා නැන්දා අයෙ එනකල් බලං ඉන්න මට එයා කළා වගේ වංග බස හදාරල ඕක කරන්ඩ පුලුවං වෙයි කියල හිතනවද?? ඔයා හරි සමහර පරිවර්තන කියවද්දි නං ඇඬෙනව…. කරල තියෙන විනාසෙ දැක්කම…
      මම බුක් ෆෙයා යන වැඩේ නැවැත්තුවෙත් ඕකයි… මුලු පඩියම වියදං කරල පොත් අරං එන අපි වගේ එවුන් ගිහින් ඔය ප්‍රදර්ශනේ ඉලක්ක කරගෙන ක්ෂණික නූඩ්ල්ස් වගේ කරල මුද්‍රණය කරපු මෙලෝ රහක් නැති පොත් උස්සගෙන එන්ඩ ඕනෙ නෑ නෙ…
      මට කීප දවසක් ඔය වැඩේ වුණා…..

  14. praveena පවසයි:

    මම දැකපු ජනූගේ විශිෂ්ටම සටහනක්. හදවතින්ම, ලියලා. පටන් ගත්ත තැන ඉඳන් අපි ඉන්නේ ඒ දුම් රිය මැදිරියේ. පුද්ගලයෙක් හරි , හිතට අල්ලන සිද්ධියක් හරි දැක්කාම මගේ හිතත්, ඔයාගේ වගේ ඒ පස්සෙන් දුවන ගතියක් තියනවා. ඒ අය ඉන්න ගෙවල් දොරවල කොහොමද, එයාලගේ ජීවන රටාව, කෑම, බීම ඔය හැමදේම
    මවාගන්නවා. අද මේ ගමනෙදි ඔයා කීව පාරවල් ඔස්සේ තවත් දුරට යන්ට පුලුවන් උනා ඒ හන්දා.

    ඉතින් අපිව මේ වගේ සොඳුරු ගමනක් ගෙනගියාට තුති. 🙂

  15. praveena පවසයි:

    //දුම්රිය හති ලමින් නතර වුණා….//
    වෙන මොනවත් ඕනේ නෑ. මේ ටිකම ඇති. 😀

  16. dgmbassa පවසයි:

    ලස්සන ලිපි පෙලක්. ස්තූතියි අපිවත් කෝච්චියෙ එක්කන් ගියාට 🙂

  17. Susara Wijeratne පවසයි:

    ඉන්දියාවේ හරහා දුම්රියෙන් බස් වලින් සහ පයින් යන ගමන් ඒ මිනිසුන්ගේ ජීවිතය කියවන ලංකාවේ ගැහැනියක් මට මුලින්ම මුණ ගැහුනේ දැනට අවුරුදු 20 කට විතර ඉස්සර. එයාගේ නම පද්මා එදිරිසිංහ. ඊට පස්සේ ආයෙමත් ඒ ගැහැනියම මට හමුවුණා 1995 වගේ එතකොට එයාගේ නම සුනේත්‍රා රාජකරුණානායක .
    දැන් මෙන්න එයා ආයෙමත් ඇවිත් මේ සැරේ එයාගේ නම ජනනි.
    සුබපැතුම්

    • සුසර අයියාට ස්තූතියි… නම දුටු පමණින්ම මට දැණුන ඔබට සංගීතයට තිබෙන සම්බන්ධය ගැන…මොකද ඒක මටත් පොදු කාරණාවක් නිසා!!
      සුනේත්‍රා කියන්නෙ මගේ ප්‍රියතම ලේඛිකාව, චින්තා ලක්ෂ්මී කියන්නෙ මගේ ප්‍රියතම පරිවර්තිකාව!!
      පුංචි කාලෙ ඉඳල ශාස්ත්‍රීය සංගීතය හැදෑරුව හන්දද කොහෙද ජීවිතේ ගොඩක් දේවල් සමබරව ගෙනයන්ඩ පමණක් නෙවෙයි, ජීවිතේ අසීරු අවස්ථාවන් දරා ගැනීමට අවශ්‍ය කරන මානසික සංයමය මා සතුයි!!!
      ඊටත් වඩා හොඳ දෙයක් මගේ ජීවිතේ රසවින්දනය කියන පැත්තට එක්කාසු වෙන්ඩ ඕනෙ කියල හිතෙන්නෙ නෑ අයියෙ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )