අතුගාන කොලුවා…!!!

දුම්රියේ මහා හූ හඬට මාව ගැස්සිලා ඇහැරුණා!!

මං හිටියෙ අපි ඉඳගෙන හිටිය කොටසෙ උඩින්ම තිබුණ බංකර ඇඳේ…. ඇතුලට ඉර එළිය වැටිල තිබුණ නිසා එලි වෙලා කියල තේරුණත් මට පහළට බහින්ඩ නං ඊට පහලින් සීට් එකේ ඇන්ද වහලෙ එල්ලල හදාගන්න බංකර ඇඳේ නිදා ගෙන ඉන්න මල්ලිට ඇහැරවන්ඩ ඕනෙනෙ…

කම්මැලිකමටත් එක්ක  ඔහේ පෙරලිලා ඉන්න ගමන් මම ආවර්ජනය කරල බැලුවෙ අපේ ගමන…

දවස් එක හමාරකට කලින් අපි ලංකාවෙන් චෙන්නායි නගරෙට ඇවිල්ල ලක්නව් බලා යන දුම්රියට නැග්ගෙ…

දුම්රියක ගෙවුණ පළවෙනි රාත්‍රිය නිමා කරල තවත් උදෑසනක් එබිකම් කරමින් තිබුණා..

තවමත් දුම්රියේ හෝ හඬ සහ  විටින් විට ඇහෙන හූ හඬ විතරක් ඇහෙන්නෙ නිදාවැටෙන් මිනිස්සු අවදි වෙලා නැති හන්දයි…

චූටි පුතා, සුදු පුතා, ඉක්මනින් නැගිටල මූණ හෝදගන්ඩ….

ආසනේ යටම කොටසෙ නිදාගෙන හිටපු අම්ම කතා කරල අපි දෙන්නව කීද්දුව…

නැගිටිනව… නැත්තං අපි අද ටොයිලට් ගිහින් ඉවරයි…

මම උඩ බංකරේ ඉඳන් මලයට පයින් අනින ගමන් කෑ ගැහුවෙ ඊ යෙ දවසට දුම්රියේ වැසිකිලිවල තත්වය ගැන හොඳ අවබෝධයක් ඒ වෙනකොට තිබුණ හන්දයි….

උදේම, කවුරුත් වැඩිය ගියේ නැති වෙලාවට හරි , නැවතුම්පොලක තවත්තල අධි පීඩිත වතුර නලයකින් පිරිසිදුකරපු ගමන්ම හරි යාගන්ඩ බැරි වුණොත් නං ඉතිං ටිකක් අමාරුයි…

අපි තුන්දෙනා එකෙක් පස්සෙ එකෙක්  වරින් වර ගිහින් මූණ කට සෝදගෙන ඉවරවෙනකොට කලින් දවසෙ ඉඳල අපිට ඉස්සරහ ආසනේ ඉඳගෙන ආව ඉන්දියානු  මහත්මයා තමන්ගෙ අලුයම ස්තෝත්‍ර ගායනයත් නිමා කරල උදේ ආහාරය අරගන්ඩ සූදානම් වෙන ගමන්……

අපිට සුබ උදෑසනක් පතපු ඔහු .මන්ගෙ ගමන් මල්ල අවුස්සල අරගත්තෙ ඔහු නිවසින් හදාගෙන ආව රොටී….

ඒ එක්කම තවත් භාජනේක තිබුණ මොකක් හෝ ව්‍යංජනක් එක්ක ඔහු ඒ රොටී කෑව….

ඔහු ඔහුගෙ රොටී අපට දුන්නත් අපි අරන් ගිය දේවල් කෑම ඔහුට කැප නැහැ… මට මතක හැටියට ඔහු බ්‍රාහ්මණයෙක්…

අපි තුන් දෙනත් ගෙදරින් හදාගෙන ගිය සීනි සම්බෝල, මලවපු පොල් සම්බෝල හෙම එලියට අරන් පාන් කෑව..

නැවතුම්පොලවල නැවැත්තුවාම පාර අද්දර තියෙන සුවඳින්ම රස නහර පිනායන  පකෝරා , පූරි, එහෙම දුමිරියේ ඉඳලම ජනේලෙකින් ඉල්ලගෙන කන්ඩ පුලුවංකම තියෙද්දි දවස් දෙකක් විතර පරණ වෙලා තිබුණ පාං කන්ඩ වුණාට අපි දෙන්නගෙ හිත හරි නෑ ඒ හැටි….

ඒත් කොහෙද?? අම්මගෙන් අවසර තිබුනෙ පොඩි කොලු පැටවු චායේ චායේ කියාගෙන ඇවිල්ල අර මැටි කෝප්පවලට වක්කරල දෙන තේ එකක් බොන්ඩ විතරයි නෙ…

දෙයියනේ කියල ලක්නව්වලට යනකල් ඔයාල දෙන්න කටවල් පරිස්සං කරගන්ඩ… මේක ඉන්දියාව… බඩේ අමාරුවක් වත් හැදුණොත් අපිට මග බහින්ඩ බෑ ලංකාවෙ වගේ…

අපි දෙන්න යටත් වුණේ අම්මගෙ ඉල්ලීමෙ සාධාරණකමක් තියෙනව කියල තේරිච්ච හන්දයි…

කෝච්චිය නොනවත්වාම ඇදුණා… වරින් වර අත්‍යවශ්‍ය සැපයුම් සඳහා විනාඩි දහයක් විතර නවත්තනව හැරුණු කොට මගීන් නංවාගන්ඩ හෝ බස්සන්ඩ නැවැත්තුවෙ බොහොම පොඩි වෙලාවක්…

නැවතුම්පලක් නං ඉන් සැතපුමක් විතර යනතුරු පහු වුණේ පැල්පත් නිවාස, උදේ පාන්දරම දූවිලි නාන පොඩි එවුන්… දුම්රිය පාර අසල කල්ලි ගැහිල මහ හයියෙන් කතාකරන හිනාවෙන තරුණ ගැටවු…

මානා අකුල් අස්සෙ ඉඳල වතුර සෙම්බු අරන් කෝච්චිය එද්දි නැගිටින මිනිස්සු…

ඊට පස්සෙ පරක් තෙරක් දැකගන්ඩ අමාරු  ඉරු රැස් වැදිල කහ පාටට දිලිසෙන අබ යායවල් තිරිඟු කෙත්..

අතරින් පතර දොඩම් වතුවල විදුලි බුබුලු වගේ දොඩම්…!!!

ඊයෙ හැන්දෑවෙද්දි අපි දකුණු ඉන්දියාව පහු කරගෙන මධ්‍ය  ප්‍රදේශ් බලා ඇදෙමින් හිටියෙ…. මල්ලියි මමයි පුංචි සටහන් පොතක අපි පහු කරපු දුම්රිය නැවතුම් ලියමින් හිටියත් අඳර වැටෙද්දි ඒකත් නවත්තල දාන්ඩ වුණා…

කලුවර ගුහාවත් ඇතුලෙන් ඇදෙන හැකරැල්ලෙක් වගේ කෝච්චිය ඉදිරියට ඇදුනා…

විදුලි බලයෙන් දුවන දුම්රියක් යන මාවත් දෙපස නිවාසවලට විදුලිය තිබුණෙ නෑ…

බලං ඉන්නෙ නැතුව ඉක්මනට කාල ඉවර කරන්ඩ චූටි පුතා .. මේව ආපහු ඇතුලට දාන්ඩ …

පාං කෑල්ලත් අතින් අරන් ජනේලෙන් එබිල බර කල්පනාවක වැටිල හිටිය මාව ඉන් මුදාගත්තෙ අම්ම….

ඒ වෙනකොට නිදාගෙන ඉඳල අවදිවෙච්ච මිනිස්සුන්ගේ කතාබහ නිසා දුම්රිය මැදිරියෙ තිබුනු පාලු නිසංසල ගතිය ගෙවිල ගිහින් තිබුණ….. මල්ලි කැඩිච්ච හින්දි, ඉංග්‍රීසි සහ සිංහල මිශ්‍ර භාෂාවක් හදාගෙන ඉන්දියානු  මහත්මයා එක්ක බර කතාවක…මං දෙන්නගෙ කතා බහට සවන්දුන්නෙ මද සිනාවකින්…

අදහස් හුවමාරු කරගන්ඩ උවමනාව තියෙනව නං භාෂාව කියන්නෙ කිසිසේත්ම බාධකයක් නෙවෙයි කියලයි මට හිතුණෙ…

අනික දවස් දෙකක් දෙක හමාරක් දුම්රියක යන ගමනකදි විදේශිකයො වෙච්ච අපිට මේවගේ අහඹූ සම්බන්ධකම් නිසා ලැබෙන උපකාර අතිශය වැදගත්.

දම්වැල් දමා ආසන කකුල්වල බැඳපු අපේ ගමන් මලු ටික වරින් වර පරිස්සම් කරන්ඩ….දකින යම් යම් දේ ගැන අපිට විස්තර කරවගන්ඩ…

ඉන්දියානු  මහත්මයා අපිට රුකුලක් වගේ ම රැකවරණයක් වුණා…

රාජකාරි වැඩකට චෙන්නායි නගරයට ආපු ඔහු යන්නෙ කාන්පූර්වලට… අපේ ගමනාන්තය වෙන ලක්නව් නගරයට කිලෝමීටර් අසූවක් පමණ කලින් තියෙන නගරයක්

ඉංජිනේරු ශිෂ්‍යයෙක් වුණු මල්ලී, තබ්ලා වාදනය හදාරන බවත් ඒ සඳහා චාරිත්‍රනුකූලව බැඳුණු ගුරු පරම්පරාව බැහැදකින්ඩ යන බවත් අහල ඔහු පුදුම වුණා…

තමන්ගෙ මල්ලෙන් එලියට ගත්ත තඩි රටකජු මුලකින් කොටසක්  අපි තුන්දෙනාට වෙන්කරල දීපු ඔහු කතා කරන අතරෙම රටකජු කෑව… හැබැයි පොතු සේරම තමන් ගේ දෙපතුලට දැම්ම…

බිමට දාන්ඩ… කොල්ලො ඇවිල්ල අතුගායි

අපි තුන්දෙනා පරණ කවරයක් හොයල පොතු බිමට දාන්නෙ නැතුව කන හැටි බලන් ඉඳල අපිටත් කිව්ව

වටපිට පොඩ්ඩක් බැලුවාම තමයි හැම සීට් එකක් යටම තිබුණ පොතු ලෙලි කවර කන්දරාව දැක්කෙ…

මගදි දුමිරියට ගොඩවුණු සන්තරා ( දොඩම් වර්ගයක්) වෙලෙන්දෙක් ගෙන් දොඩම් මිලදී ගත්ත අපි ඔහුටත් දුන්න… ඒක පිසූ ආහාරයක් නොවන නිසා දෝ ඉන්දියානු  මහත්මයා සතුටින් බාරගත්ත..

හැබැයි බික් ටික බඩට ලෙලි ටික බිමට…

දුම්රිය ගමන බාල වුණා.. දුම්රිය වේදිකාව දිගේ දුවගෙන ආපු කොලු නඩයක් දුම්රියට වැදුන…

අප හිටිය මැදිරියට ආව කොලුවා තමන්ගෙ කමිසය ගලවා අතේ ඔතා ගෙන දණ ගහගත්ත…පාටක් හොයන්ඩ බැරි තරමට වියැකිච්ච කමිසෙ දුඹුරු පාටට පෙණුනෙ ඒක වෘත්තීය මෙවලමක් විදියටත් පාවිච්චි කරන හන්ද කියල මට තේරුණේ ඔහු ඉලපතකින් කුණු අතුගානව වගේ අර කමිසය ඔතපු අතින් සීට් අතරෙ බිම අතුගානකොටයි… කොණක ඉඳන් දුම්රිය දෙපැත්තෙ ආසන අතර කුණු එක්කාසු කරපු එක ආසන පෙලක් අවසානයේ ඒ ආසනවල මගියන්ගෙන් සල්ලි ඉල්ලුව… සමහරු දුන්න.. සමහරු නම් බැලුවෙ වත් නෑ…කොලුව ටිකක් වෙලා බලන්  ඉඳල කුණු ටිකත් තල්ලු කරගෙන ඊ ලඟ පෙළට ආව… අතු ගෑව… සල්ලි ඉල්ලුව…

ලැබීම් නොලැබීම්, රැවුම් ගෙරවුම්, ගුටි මැද්දෙන් කොලුව අපේ ආසන වෙත ලඟා වුණා… අර ඉන්දියානු  මහත්මයගෙ දෙපා යට තිබුණ කුණු කන්ද තමන්ගෙ කමිසයෙන් එක්කාසු කරපු කොලුව අපේ කකුල් යටත් පිහ දැම්ම….

මරාති මහත්මයා දුන්න කාසිය අරන් අපි දිහාට අත දික්කළාම අම්මත් කාසියක් දුන්න…

ඒ කාසිය අතට අරන් වික්ෂිප්ත වෙච්ච කොලුව… වතාවක් අම්ම දිහා බැලුව… ක්ෂණයකින් ඉන්දියානු  මහත්මයා දිහා බැලුව ඔහු ඒ සැනින් කුණුගොඩ එහෙමම දමල මැදිරියෙන් එලියට දිවිවෙ අපිව පුදුමයට පත් කරවල….

ඉන්දියානු  මහත්මයා මහ හඬින් හිනා වුණා…

මම දුන්නෙ සත පණහක්!! රුපියල් දෙකක් දුන්නාම කොලුව හිතන්ඩ ඇති වැරදිලා දුන්නෙ කියල… මං දිහා බැලුවෙ මං ඒක කියයි කියල… දිව්වෙ ආයෙ ඒක ආපහු ඉල්ලයි කියල….

ඔයාලත් හරි වැඩ තමයි කරන්නෙ…. ඔහු හිනා වුණා…

අපි පුදුම වුණා….

ලංකාවෙ රුපියල් පහක් දුන්නත් මූණට දමල ගහල යන, ඇණුම් පද කියන ඉල්ලන් කන මිනිස්සු මං දැකල තියෙනව…

ඒත් මං කල්පනා කළේ.. රුපියල් දෙකක් ලැබුණු අර කොලුවට එලොව මෙලොව නැතුව ගිය හැටි…

ඒ කියන්නෙ සමහරවිට දවසම අතුගාලත් හම්බ කරනව ඇත්තෙ රුපියල් පහක් දහයක්නෙ…. වැඩි පිරිසක් අතුගානකල් ඉඳල සල්ලි දෙන්නෙ නැතුව කොල්ලට තරවටු කරල… ගහන්ඩත් හදනව මං දැක්ක.

එහෙව් එකේ රුපියල් දෙකක් කියන්නෙ සමහර විට කොලුවගෙ එක වේලක් පිරිමහ ගන්ඩ පුලුවන් මහාර්ඝ වස්තුවක්  වෙන්ඩ ඇති නෙ!!!

මාලුවගෙ ලියමනක් දැකල මතක් වෙච්ච කතාවක් ලියන්ඩ හිතාන පටං ගත්ත ගමන

මගෙත් ආයෙ වනන්ඩ ගියාම වැනිල්ලෙ කෙලවරක් නැතුව යනව නෙ….

ඉතිං ඒ පාර කොණක ඉඳන් ලියන්ඩ පටං ගත්ත…

දැන් ඉතිං මේක කොටස් කීපයක් ඇදෙන්ඩත් ඉඩ තියෙනව…

කියාගෙන යන කතාව අස්සෙ තව කතාවක් මතක් වුණානෙ.. ඒ අලුක්කාලත් ඔන්නොහෙ මේක අස්සෙම ගහල දානව….

අපේ මිතුරි සඳා දුගී මගී යාචකාදීන්ට දානයක් දෙන්ඩ ඕනෙ කියල හිතල මේ පහුගිය දවසක අපි උදේ කෑම ගන්ඩ ලඟ තිබුණු කඩේ කට ගිය ගමන් එතන ඉඳල අත පාපු ඉල්ලන් කන වයසක ගෑනු කෙනාගෙන් මෙහෙම ඇහුව…

ආච්චිට හෙට දවල්ට කෑම එකක් ගෙනත් දෙන්ඩද මං??

ඕනෙ නෑ… මට මේ කඩෙන් රයිස් දෙනව….

ඕං ආච්චිගෙ උත්තරේ

පින්තූරෙ මෙතනින්

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මගේ චාරිකා, මට හිතෙන හැටි. Bookmark the permalink.

40 Responses to අතුගාන කොලුවා…!!!

  1. praveena පවසයි:

    ලස්සන විස්තරයක් ජනූ. අර පොඩි එකා දැක්කාම දුකේ බෑ. මම ඉන්දියාවේ කෝච්චියේ ගිහින් නෑ. ගිහින් බලන්ට ආසා හිතුනා. ඔය කියන අබ යායවල් දැකලා තියනවා අග්‍රා යනකොට. ඒවායේ කහපාට මල් පිරිලා. ගෑනු කලගෙඩි ඔලුව උඩ තියාගෙන පේලියට යනවා. ඉන්දියාව නම් පුදුම ලෝකයක්. කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නෑ.

    අර කුණු දාන කතාව. මට මතකයි දොඩම් ගෙඩියක ලෙලි බිමට දාන්ට බෑ කියලා මම බෑග් එකක් ඉල්ලපු හැටි. කඩේ හිටපු ගෑනු ලමයා ඒ ටික විසි කරන්ට වගේ අතට අරගෙන මම ආපහු හැරෙනවා එක්කම, ඒ ටික බිම දාපු හැටි. Incredible India… 🙂

    ඒක නෙමේ. මේකේ දෙවෙනි කොටසක් තියනවද?

  2. Buratheno පවසයි:

    ඕං බලන්ට, දැන් අර කොළුවට රුපියල් දෙකක් දීලා ඌව නරක් කොලා නෙවැ.. දැං ඉතිං ඌ හැමදාම රුපියල් දෙකේ ඒවම තමා ඉල්ලන්නෙ.. මීට පස්සෙ අපට සත පනහක් දීලා පිරිමහගන්ට වෙන්නෙ නෑ.. කලොත් ඔහොම වැඩක් තමා කොරන්නෙ..

  3. desertfrog පවසයි:

    දවස් ගනන් යන ඉන්දියාවෙ දුම්රිය ගමන් ගැන අහල තිබුනට මේ වගේ ලස්සනට කියවල තිබුනෙ නෑ….
    අපූරුයි….තව දිග ඇතිනෙ කෝච්චි ගමන?

  4. henryblogwalker the Dude පවසයි:

    මේ කතාව කියවනකොට මට අර Déjà vu හැඟීමක් එන්නෙ ඇයි කියලා කලපනා කලා. මේ කතාව උඹ දැම්මද අර සරත්ගෙ බ්ලොගේ සපත්තු කරන ඉන්දියන ලමයෙක් ගැන කියලතිබ්බ පෝස්ට් එකට කමෙන්ට් එකක් හැටියට? මට එහෙම මතකයක් තියෙනවා….
    හැබැයි මේකනම් මම ඉන්දියාව ගැන කියවපු හොඳම පෝස්ට් එකක්. අපි උඹට සලකනවා මදි කියලා හිතුනා.

    • උඹට කියන්ඩ හෙන්රි අයියෙ, සරත් අයියගෙ ඔය පෝස්ට් එක තියෙව්වාම මට මතක් වුනේ මේ මං ලියපු කතාවයි තව මට අද මාලුවගෙ පෝස්ට් එක බලල මතක් වෙච්ච කතාවයි…සමහර විට මං දාන්ඩ ඇති කමෙන්ට් එකක් විදියට…..මට මතක නෑ.. දැං ගිහිං බලන්ඩ ඕනෙ…. උඹේ Déjà vu හැඟීම ඉතා සාධාරණයි…
      හැබෑ නේන්නං… උඹල මට සලකනව මදි නේන්නං?

  5. ravisandu පවසයි:

    අඩේ නියමයි බං….උඹ යමක් කමක් ඇහැක්, කැත නැතුව කලාරිටක් කියල කට පුරා කියන්ට පුළුහං දැරිවියක් කියල මම එදා ඉඳම්ම දැනං උන්නට මෙහෙම විබවයක් තියෙන අම්මණ්ඩියෙක් කියල මම හීනෙකිංවත් හිතුවෙ නෑ බං, අනෙ අම්මප බොරුවක් එහෙම නෙවෙයි…

    මට මතක් උනේ මම කියවල තියෙන චමත්කාරජනකම චාරිකා සටහන් පොත් දෙකක්….නීල් විජේරත්නගෙ ” මදුරාසි කොලුවා ” සහ ” බෙංගාලි යෙහෙලිය ”….අම්මප ඒ තරමටම ඉහලයි උඹේ චූර්ණිකාව….

    පොඩ්ඩි කියාපු කතාව නම් හරියටම හරි….Incredible India ම තමා…ඔය කියන්නෙ Tourism Promotion වලට හදා ගත්තු Theme එකක් උනාට ඒ කතාව උත්ප්‍රාසාත්මකව උනත් හරියටම හරි….චෙන්නායි වෙරළෙ මේ ට්‍රැක් සූට් ගහගෙන ඉටිකිරිස් කෙල්ලො රංචුවක් උදේ වියායාම් කොරද්දි ඊට එහා ඉමේ උන්ට පිටුපාල වයසක ලොක්කො රංචුවක් මූද දිහා බලාගෙන ඇණතියාගෙන සරීර කුරුත්තිය කොරනව…හෙහ්, හෙහ්, මෙහෙම දේවල් දකින්න තියෙන්නෙ ඉතිං where else but in Incredible India 😀 😀

    මගෙත් ඉන්දියාවෙ අත්දැකීම් ගැන ලියන්න ඕනය කියල කීප අනන්ත හිතුනට ඒ වැඩේ කෙරුනෙ නෑ….අම්මප උඹෙ සටහන දැක්කම නම් ලියන්නම හිතුන 🙂

    මේ මොකෝ කියන්නෙ අනික් ඔක්කොම අතෑරල ගහමුද පොතක්…..අම්මප ගෙදර ඉතුරු වැඩ යකාට පලච්චාවෙ කියල මාත් දෙන්නම් සම්මාදමක් : D

    • Buratheno පවසයි:

      ඔය නීල් විජේරත්නගෙ චාරිකා සටහන් නම් මාත් ආසාවෙන් කියෝලා තියේ.. පංකාදු කහට ලියනවා උන්දෑ අපටත් නිකං මැවිලා පේන්න වගේ..

    • මං කියල තියෙනව නෙ රවී අයියෙ.. මට පොඩි හෘද කම්පනයක් ඕනෙ ලියන්ඩ නං කියල… ඔය දැක්කට දුටුවට හිතුණටම ලියන්ඩ බෑ… අරක ඒනෙ මයි.. ඒකනෙ ලියන්ඩ දාහක් දේවල් කියද්දි ලියන්ඩ වෙලාවත් තියද්දි… ආසාවත් තියද්දි ලියාගන්ඩ ඒනෙ රිදම් එක නැති වුණාම මං සති ගණං සද්ද නැත්තෙ….
      අනේ මං උඹ කියපු පොත් දෙකෙං එකක් වත් කියවල නෑ නෙ….
      ලියමු ලියමු…උඹට මට වඩා හොඳට ඇහැක් වෙයි නෙව ආලවට්ටං හෙම දාල ලියන්ඩ…
      කවිත් ලියන්නෙ නැතෑ…
      ඔය Incredible India කියන එක ගැන මං වැඩිය වෙනම කතා කරන්ඩ යන්නෙ නෑ… ඒක මගෙ සටහන්තුලින් ඉබේම වෙනව නෙ…

      පොතක් ගහන්ඩ!!! අම්මප උඹ ඔය හදන්නෙ අපි දෙන්නට දෙයියනේ කියල මාසෙ ගෙවාගන්ඩ ඉතුරුවෙන තුට්ටු දෙකටත් කෙලවගෙන උඹටයි සඳා අක්කණ්ඩිටයිත් දෙයියනේ කියල වසන්ඩ තියෙන පණං හතරයි සේරටම කෙලවගන්ඩ කියල හිතෙන්නෙ නැති හැටි??

      • kathandarakaraya පවසයි:

        ජයතිලක කම්මැල්ලවීරත් කෙටිකතා දෙක තුනක් ලියලා තියෙනවා ඉන්දියාව පසුබිම තියෙන.

    • නවම් පවසයි:

      හ්ම් හ්ම්.. පිස්සු කෙලින්න හදන්න එපා. ආයෙම පාංගමු දඩයක්කාරයගෙ විලම්බීත ස්ටෝරිය

  6. මට ඉටු කර ගන්න බැරිවුණ එක ආසාවක් තියෙනව මදුරාසියෙන් කෝච්චියෙ නැගල දිල්ලි යන්න… ආයි ජීවිතේට කෝච්චියෙ යන්න කියල ආසාව ගෙවෙනකම්….

    ……………..

    මම දවසක් චෙන්නායි වල රෑ ඇවිදින්න ගියා වැඩක් ඇතුව නෙමෙයි… අපි නැවතිලා හිටපු ගෙදර කපිලත් ආව තව හාමුදුරුකෙනෙකුත් හිටිය සාරි ගන්න ඕන කිය කියා… ඔහෙම යද්දි පාරෙ හිඟන මිනිස්සු ආව… කපිල කලින්ම කිව්ව සල්ලි හෙම දෙන්න එපා කියල… ඒත් එක ගෑනු කෙනෙක් දරුවෙකුත් වඩාගෙන ඇවිත් හොඳ පැහැදිලි ඉන්ගිරිසියෙන් කිව්ව ( මට ඒ කාලෙ හින්දි තේරෙන්නෙ නෑ… දෙමළ දැනුත් බෑ.. ) මේ දරුවට ඇදුම හැදෙනව බෙහෙත් ගන්න සල්ලි නෑ කියල…. අතේ සිල්ලර කාසි කීපයක් තිබුන…මම අතේ තිබුන රුපියල් දහයක් දුන්න…ජනූගෙ කතාවෙ වගේම හිතා ගන්න බැරි වේගෙකින් ඒ ගෑනු කෙනා මිනිස්සු අතරින් අතුරු දහන් වුණා…

    හොඳම හරිය වුණේ ඊට පස්සෙ… ඇස් පිල්ලමක් ගහන්න කලින් එහෙන් මෙහෙන් කස් කස් ගාල හීන්ගන හමුදාවක් මගෙ වටේ… නා නාප්‍රකාර හිඟන්නො… ඉන්ග්‍රීසියෙන් , ඩෙමලෙන්, හින්දියෙන් කෑ ගගහ සල්ලි ඉල්ලනව… මම කපිල්ට කෑ ගහල බොහොම අමාරුවෙන් බේරුනේ… අර මිනිස්සු කපිලටත් බැන්න දෙමළෙන්….

    • අයියෙ, අපිට දිල්ලියට ගුවනින් ගිහින් ආපහු ලක්නව්වලට එන්ඩත් තිබුණ… ඒත් මල්ලිටයි මටයි ඕනෙ වුණේ අම්ම ඉස්සර එයාගෙ සංගීත විශාරද විභාගෙට ඉන්දියාවෙ ගිය හැටි, එහෙ ගත කරපු ජීවිතේ ගැන කරපු විස්තරේ හැබැහින් අත් විඳින්ඩ…. මැටි කෝප්පවල තේ බොන්ඩ… ගුලාබ් ජමූන් කන්ඩ… වීදිවල ඔහේ ඇවිදින්ඩ… තොරොම්බල් විසිතුරු බලන්ඩ….
      ඉතිං හිතාමතාම තමයි කෝච්චියෙ ගියේ!!!
      වැඩි විස්තර ලියන්නංකො….
      ඒක නං ගිහින් අත් විඳිය යුතුම චාරිකාවක් කියල කියන්ඩම ඕනෙ

    • kathandarakaraya පවසයි:

      මං දවසක් බම්මා වල පාරේ හිටියා හාමිනේ ෂොපින් කරන කං. දරවෙක් වාගෙන කපල් එකක් ඇවිත් පොලොන්නරුවට යන්න රුපියල් ක් ඉල්ළුවා. මං තුන්සීයක් දුන්නා ඉස්සෙල්ලා රෑට කාලා ඊලඟට බස් එකේ නගින්න කියලා.

      මුං දෙන්නා ඒක අරං දුවලා ගියා වැල්ලවත්ත පැත්තට!

  7. රෝස කුමාරි පවසයි:

    කවදත් ඔයා ලියන විදිය හරි ප්‍රියයි. ඔච්චර රසට කොහොම ලියනවද මන්ද. ජීවන අත්දැකීම් කියවන්නාට උපරිමයෙන් විදින්න පුළුවන් විදියට ලියන බ්ලොග් එකක් ඔයාගෙ බ්ලොග් එක.වචනවල තියන සංයමයටත් හරි සතු‍ටුයි මන්. ඒත් මොකෝ මේ එකපාර හදිස්සියෙන් වගේ පෝස්ට් පෝලිමක් දාල අතුරුදහන් වෙන්නෙ?
    කොළු පැටියගෙ පින්තූරෙ දකිද්දිනම් හිතට හරි දුකයි. ඔක්කෝම විස්තර ලියන්න හොඳද අපි බලන් ඉන්නව.

    • ස්තූතියි කුමාරී…ඔය රවී අයියට ලිව්ව දේ තමයි ඇත්ත… මං ලියන්ඩ නං ඒක වෙනම දැනෙන්ඩ ඕනෙ… ඒක නෙ අතුරුදහන් වෙන්නෙ…
      ඔයා කොලු පැටිය කිව්වාම මතක් වුණේ….මට අපේ චාරිකාවෙ ඇත්තම පින්තූර දාන්ඩ තිබුණ නම් හොඳයි.. ඒත් ඒකට ටිකක් මහන්සි වෙන්ඩ වෙනව…මොකද ඒව ඩිජිටල් කැමරාවකින් ගත්තුව නෙවෙයි…
      එහෙම වුණොත් නං ලියන්ඩ වෙන්නෙම නෑ….

      ඉක්මනට ලියන්නංකො

      • henryblogwalker the Dude පවසයි:

        ජනූ, ඔය ෆෝටෝස් ඔෆීස් එකේ ස්කෑනර් එකට එකපාර හයක් විත්‍ර දාලා ස්කෑන් කරපං. පස්සෙකොපි හයක් හදලා ක්‍රොප් ල්කරන්න පුලුවන්.
        නැතිනම්.ෆෝටෝඑකේ ඩිජිටල් ෆෝටෝ එකක් කැමරාවෙන් ගන්නත් පුලුවන්නෙ. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.

      • ඒව අපේ ගෙදරනෙ අයියෙ… ඉතිං ඒව ගෙනල්ල ඕනෙ ස්කෑන් කරන්ඩ
        ඉන්ඩකො මගෙ ෆේස් බුක් එකේ තියෙන ටික මේකට ඇදල දාන්නං…

    • kathandarakaraya පවසයි:

      මටත් සිහිවුනේ මගේ පුතු පැටියා!

  8. maal පවසයි:

    මන කමෙන්ට් එකක් දැම්ම එක නැනේ.. 😦

  9. TG පවසයි:

    ඉන්දියානු දුම් රිය ගමන් ම්ම්ම්ම්ම්…..චායේ වෙලෙන්දෝ , පූරි වෙලෙන්දෝ ,වෙජ් කට්ලට්ස් , …………..සෝ නොස්ටැල්ජික් මෙමරීස් Janu 🙂

    ගොඩක් වෙලාවට ඉන්දියානු දුම් රිය වල රෑ ගෙවාගෙන දවස් ගණන් ගමන් යද්දී ඉබේම හිතවත්තු එකතුවෙනවා ……මේන් තියෙනවා මටත් එහෙම වුණ අවස්තාවක්
    http://www.ahasgawwa-tmg.blogspot.co.uk/2010/10/blog-post_21.html
    ශටාබ්දී , රාජධානි එකප්‍රස් වගේ කෝච්චි මරු .එක සැරයක් මම රාංචි ඉන්දලා තපස්විනි එක්ප්‍රස් නයිට් ට්‍රේන් එකේ උත්කල් ගිය ගමනේ සැරින් සැරේ කොච්චියට නැගලා බිම අතුගෑව කොලු පැටවු මතක් වුනා

    දවසක දිල්ලි ඉඳන් කෝච්චියේ දෙහෙරාදූන් /හරිද්වාර් යන්න හීනයක් තියේ ඒත් කවදා යැවේද මන්දා 😦

    • මං ඔයාගෙ පොස්ට් එක කියවල තියෙනව අක්කෙ… ඒ දවස්වල තනියම හිතුව ලියන්ඩ ඕනෙ කවද හරි මගේ දුම්රිය අත්දැකීමුත් කියල…
      අපි දෙන්න.. ඒ කියන්නෙ මලයයි මමයි දෙන්න දැන් සෑහෙන කාලෙක ඉඳල ප්ලෑන් අඳින්නෙ ආයෙ ඒ වගෙ ගමනක් යන්ඩ…
      ජාන්සි බැහැල කජුරාවෝ යන්ඩ… දිල්ලියෙ ඇවිදින්ඩ… ලක්නව් නගරෙ හැතැම්ම ගණං පයිං ඇවිදින්ඩ,
      මල්ලිගෙ ගුරුකුල පවුල ඉන්න හසරත්ගංජ්වලට ආයෙ යන්ඩ…
      ඒත් ඉතිං මල්ලිට පුලුවං වුණත් මට නං ආයෙ කවදා යන්ඩ වෙයිද දන්නෙ නෑ… අපේ පෙම්බරය ඉන්දියාවට කැමති නෑ නෙව… 🙂

    • kathandarakaraya පවසයි:

      @TG
      මේ සැබඳිය මෙතන දැමීම වැදගත්.
      ජනුටත් තියෙන්නේ මනෝ ගේ ලිපියේ සබඳියක් දාන්න.

  10. මධුරංග පවසයි:

    අපොයි ඉන්දියාව කියන්නේ සුන්දර වගේම මහ ජරා ටරක් නේ.
    බලාගෙන ගියහම ලංකාවේ හිඟන්නෝ මාර වාසනාවන්තයෝ සෙට් එකක් නෙව. උන්ට පහේ දහයේ කෑලිමයි වදින්නේ. 🙂
    අක්කට මල්ලි කෙනෙකුත් ඉන්නවා නෙව. උන්දෑ ගැන අපි දන්නේ නෑ නෙව.

  11. සිඳු පවසයි:

    මේ ඉන්නෙ ඇත්තටම ඒ පොඩි එකාද අක්කෙ?
    ඉන්දියාවෙ කෝච්චියෙ ගිය අය එක්ක කතා කරද්දි එයාල කියන්නෙ ඒකෙ තියන එපා වෙන ස්වභාවය ගැනමයි. ඒත් ඒ අමුතුම රටාවත් කතාවක් කරගෙන අක්කා මේක ලියලා තියන විදියට මම හරි ආසයි.

    • අනේ නෑ නගේ… ඒ දවස්වල දැන් වගේ ඩිජිටල් කැමරා සුලබ නෑ නෙ… අපි අරන් ගියෙත් අපේ මාමගෙන් ණයට ගත්ත රීල් දාන කැමරාවක්… ඒකෙන් ඉතිං බොහොම අල්ප විදියට පරිස්සං කොරගෙන නෙ… ඉතිං ඒව ගොඩක් මග ඇරුණ
      වෙලාවට මේ පින්තූරෙ හම්බ වුණේ
      මේකෙ ඉන්න පැටව් වගේ එවුන් තමයි ඇවිල්ල අතු ගෑවෙ

  12. kathandarakaraya පවසයි:

    හොඳ වෙලාවට අපේ මුතුන් මිත්තෝ ඉන්දියාවෙන් තොලොංචි වෙලා පල්ලෙහාට ආවේ, නේද?

  13. maal පවසයි:

    මං වෙන එකක් දැම්මා . එක නැ. 😦 කොහොම හරි කිව්වේ මේක කියවනකොට අර වංග ට්‍රාන්ස්ලේෂන් කියවන කොට දැනෙන හගීමම දැනුනා. ඒ කියන්නේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි. එක පාරක් ඉන්දියාවට ගිහින් අවේ ඇය යන්නෙම නැ කියලා හිතාගෙන.ගඳයි ජරාවයි ඉවසන්න බැරුව.මේක කියව්වාම ආයෙත් යන්න ආස හිතෙනවා…

    ප.ලි – කොහොමද මම නංගි කියලා දන්නේ?? :O

    • බොහොම ස්තූතියි නැවත වතාවක් කමෙන්ට් කළාට…. මට හිතෙන්නෙම ඔයා නංගියෙක්…
      මම ඊ මේල් එකක් දාල ඇති ඒක බලන්ඩ කො…
      ඔය ගඳ ජරාව අස්සෙත් අමුතු සුන්දරත්වයක් මැවෙනව…ඉන්දියාවෙ යන්ඩ, ජීවත් වෙන්ඩ ඕනෙ කියන හැඟීම එන්ඩ නං ඉතිං මට හිතෙන විදියට පූර්ව ජන්ම සම්බන්ධකම් තියෙන්ඩ ඕනෙ…
      ආයෙමත් ගිහින් බලන්ඩකො මං කියන දේ ඇත්තද කියල

  14. Sarasihina747 පවසයි:

    හරිම ලස්සනට ලියල තියෙනවා අක්කේ…..හිතින් ඉන්දියාවට ගියා වගේ……..පොඩි එකා දැක්කම නම් ඇස් වලට කඳුලුත් ආවා……හැම ළමයෙක්ම මලක් 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )