රහ ගැන ඉව…!!!

අම්මේ… අම්ම පොල් මැල්ලුමට දාන පහේ මොනවද??

සෙනසුරාද උදේ අටට විතර  පහුගිය සුමානෙ  වලස්ගල ගිහින් එනකොට පුංචි මාමලයෙ නැන්ද දීපු රෝස පාට කැකුලු හාල් ලිපේ තියල එහෙම මං මෙහෙම ඇමතුමක් දුන්නම පෙම්බරයගෙ අම්මට  ඉස්සෙල්ලාම හිනා ගියා….

ඇයි දුවේ?? පුතා පොල් මැල්ලුං ඉල්ලනවද??

කියන්ඩකො අම්මෙ…. නෑ නෑ ඉල්ලුවෙ නෑ.. මං හදන්ඩ ඕනෙ කියල හිතුණ…

ඕං අහගන්ඩකො… මං අමුමිරිස් කරල් හතරක් පහකුයි, ගොරක අණ්ඩකුයි, කහයි තව මිරිස් කුඩු චුට්ටකුයි, රම්පෙ කරපිංචයි වතුරෙන් තැම්බෙන්ඩ ලිපේ තියනව…

මිරිස් කුඩු ටිකක් දැම්මම පාට හොඳයි….තව උම්බලකඩවලට ලුණු ටිකක් දාල යහමිං ගලේ අඹරල ඒකත් දානව තැම්බෙන එකට…

ඊට පස්සෙ පොල් ටික රතුලූණු ගෙඩි තුන හතරක් දාල හොඳට හීන්දහ වෙන්ඩ අඹරගන්නව…

අර ලිපේ තිබුණ එව්ව තැම්බීගෙන එද්දි අඹරපු පොල් ටික දාල හොඳට හිඳුනාම බාගන්නව… ඔච්චරයි…

දැං  ඔය අද  පොල් මැල්ලුං හදන්ඩද යන්නෙ දුවේ…??

ඔවු අම්මෙ.. පොලුත් ගාල ඉවර වෙලා තමයි අම්මට කතා කළේ…

හැබැයි දුවේ ඇඹුල් තියලක් නං ඕනෙ වෙයි…

හරි හරි ඒක හදල තියෙන්නෙ ඊයෙම…

ඈ??

ඔවු අම්මෙ ඊයෙම මාලු උයල තිබ්බෙ…

තව ඕකට එන්ඩ ඕනෙ රටලූනු අමුමිරිස් ලියල  දෙහි උම්බලකඩ ගම්මිරිස් දාල හදාපු සම්බලකුත්..

පුතා හරිම ආසයි එහෙම කන්ඩ…

ඉන්ඩකො අම්මෙ… මං හදල ඉවර වෙලා අම්මට කතා කරන්නංකො ආයෙ..

ඇමතුම ඉවරයි!!
දැන්නෙ වැඩේ තියෙන්නෙ…

මං පොල් මැල්ලුං මීට කලිං හදල නැතුව නෙවෙයි.. ඉඳි ආප්ප කන්ඩ අපේ ගෙදර හදන තිබ්බටු මැල්ලුමත් මේකට බොහොම සමානයි..

ඉස්සර කඩේ ආච්චි අම්ම අපිට ඉඳි ආප්ප හදල ඒකත් එක්ක කන්ඩ අරන් එනව කරවල කෑල්ලක් හෙම දාල ටිකක් තෙත ගතියට හදපු පොල් මැල්ලුමක්… ආං ඒකත් හරි රහයි….

ඒත් ඔය මොන එකකටවත් ගහන්ඩ බෑ අපේ නැන්දම්මගෙ පොල් මැල්ලුමට නං…

ආයෙ නෑ ගෑවුණ තැන කත හැකි.. ඒක එක්ක විතරක් වුණත්…

ඒ රසේ වෙනස තමයි පෙම්බරයගෙ අම්මගෙන් එයාගෙ වට්ටෝරුව අහගන්ඩ උවමනාව ඇති කළේ…

අම්ම කිව්ව විදියට පහේ ලෑස්ති කරල ලිපේ තියල මම පොල් අඹරන්ඩ පටං ගත්ත… වෙනදට වඩා බොහොම සීරුමාරුවට වැඩේ කලේ… පොල් ටික හීන් වෙන්ඩ ඇඹරුණ තරමට තමයි ඒකෙ රසය එන්නෙ කියල මට අම්මගෙ කතාවෙන් තේරුණ හන්ද…

ඒ ටික අඹරල ඉවර වෙලා ලිපේ තියපු ඇතිලියට දාපු මම ඔයිට කලින් දවසක මම අම්ම පොල් මැල්ලුම හදන හැටි බලන් හිටිය නිසා එදා එයා කරපු දේකුත් කළා…

ඒ තමයි සකසුරුවමට වතුර පොඩ්ඩක් දාල ඇඹරුම් ගල සෝදල ඒ වතුර ටිකත් අර මැල්ලුමට දාපු එක…මොනව ඇඹරුවත් ඒ දේ හොඳම හරිය ඔය ගලේ ඉතුරු වෙනවනෙ..

ඒක සකසුරුවමට අරගන්ඩ පුලුවං වෙන්නෙ එහෙමත් කෙනෙක්ට තමා….

අම්මට කතා කරද්දි ඕක කියන්ඩ අමතක වුණාට මොකද මට ඒක මතකෙ තිබුණ…

ඒ පාර පටං ගත්ත ලූණු සම්බෝලෙ හදන්ඩ… රටලූණු හීනියට ලියල උම්බලකඩ යහමිං දාල ලුණු ඇඹුල් ගානට වැටුණම ඒකෙ සුවඳටත් කටට කෙල උණනව නෙ…

ඊට පස්සෙ ඉතිං පෙම්බරයව අඬ ගහගෙන කෑම මේසෙට ඇවිල්ල දෙසා බාපු එක තමයි කළේ…

අම්ම කියන විදියට ඉස්සර අපේ පෙම්බරයට අම්ම ඉවුවෙ නැත්තං හරි යන්නෙ නෑ… ලොකු අම්මල ඉව්වහමවත් ඇදක් කියන්නෙ නැතුව කන්නැතිලු..

අම්ම හදන අඹ මාලුව වගේ, මාලු ඇඹූල්තියල් වගේ, හුන්සල් බතක් වගේ එකක් ආයෙ මං කොහෙදිවත් කාල නෑ…

පෙම්බරයයි අම්මයි දෙන්නම මං හදන පොල් සම්බෝලෙට බොහොම මනාපයි…

කෑමවල රස මතක තියාගෙන ඒ රසම හොයන පෙම්බරයට  කැමති විදියට උයන්ඩ නං නිකං ලුණු මිරිස් දාල තම්බන අත්දෙකක් හරියන්නෙ නෑ…

මට තේරෙන විදියට නං ඒ වැඩේට යමක් දැක්කාම ඒකට දාල තියෙන දේවල්, ප්‍රමාණ, සහ ඒක උයල තියෙන විදිය ගැන හොඳ ඉවක් තියෙන්ඩ ඕනෙ…

අම්මගෙ පොල් මැල්ලුම ඉස්සිස්සෙල්ලාම දැක්ක දවසෙම මට තේරුණා  කුරුණෑගල පැත්තෙ අපි දානව වගේ කහ විතරක් නෙවෙයි මිරිස් පොඩ්ඩකුත් දාල තියෙනව කියල… මොකද කහ විතරක් දැම්මාම එන්නෙ බොහොම බබලන කහ පාටක්… හරියට රුක්කත්තන මලේ පාට වගේ පොල් මැල්ලුමක්…

ඒත් අම්මගෙ පොල් මැල්ලුම රතු මිශ්‍ර කහපාටක්… මේං බලන්ඩකො මං හැදුව එක

කුරුණෑගලයි මාතරයි උයමන් ගැන වෙනම ලියන්ඩ හිතාන ඉන්න හන්ද ඒ ගැන කතාව වැඩිය දිග්ගස්සන්ඩ යන්නෙ නෑ…

හැබැයි එකක් කියන්ඩ ඕනෙ…

ඔය දෙපැත්තෙ උයමං දෙක සමබරව ගෙනියන්ඩ නං ඒ ගැන අර මං කිව්ව ඉවක් තියෙන කෙනෙක්ම වෙන්ඩ ඕනෙ…

මේ පහුගිය දවසක අපි හිතුව හැමදාම දවල් කෑම වේල දෙන අපේ ඔපීසියෙ  සිකුරාද කෑම වේල අපි අපිම සැලසුම් කරල එක එක්කෙනාගෙ වට්ටෝරුවලට හදමු කියල…

මේක මටනං ටිකක් ජොලි වැඩක්..

සමහරුන්ගෙ නං මූණු දෙක වුණා මේක අහල… ගෙවල්වලත් විහිලුවට වත් උයන්නෙ, කුස්සියට යන්නෙ නැතුව ඇති නෙ සමහර විට…..

ඉතිං ගිය සතියට කලින් සතියෙ සිකුරාදා දවල් කෑම වේල ඉව්වෙ මං…

මං ඉව්ව කිව්වට වෙනදට අපිට කන්ඩ හදල දෙන මාලයි සරෝජයි සේරම දේවල් ලැහැත්ති කරල දුන්න..

ඕං අපි එක්කහු වෙලා හදපු දේවල්…

මාලු ඇඹුල් තියල් ( මාලා මේ වෙනුවෙන්ම මැටි වලං අරන් ආව ගෙදරින්)

අල කිරට

බැදපු වම්බටු කිරෙන් උයල සීනි පොඩ්ඩක් හෙම දාල ( අපේ අම්මගෙ මං ආසම වට්ටෝරුවක්)

ගොටුකොල සම්බෝල

මාලු ඇඹුල්තියල අපි කලින් දවසෙ හැන්දෑවෙ හදල තිබ්බ…

අල කිරි හොද්දටයි බටු එකටයි  දාන්ඩ( මාලුව කියල ලියවෙන්ඩයි ගියේ, ආයෙ පෙම්බරය ඇවිල්ල බටු එකේ මාලු කොයින්ද ඇහුවොත් එහෙම.. ඒ හන්ද මැකුව) මං අපේ අම්ම මට හදල එවන තුනපහ ටිකක් අරන් ගියා…

මාලටයි සරෝජටයි උපදෙස් දීල නෝන වගේ පැත්තක ඉන්නෙ නැතුව සේරම දේවල් යොදල ලෑස්ති කළා…

අපේ ආශක්ක නං කිව්වෙ මං කුස්සියට ගියා වගේ නං වෙන කවුරුත් එහෙම ගිහින් උයන එකක් නෑ කියලයි…

උයන එක ඉතිං මං කොහොමත් ආසාවෙන් කරන දෙයක් නෙ.. ඉතිං ගෙදර, ඔෆිස් එකේ කියල වෙනසක් මොකටද??

මං ගොඩක් අය උයනව දැකල තියෙනව… වැඩි දෙනා උයන්ඩ දන්නව… ඒත් ඔය රහ කියන සාධකය රඳා පවතින්නෙ ඒ ඒ දේවල් යොදන අනුපාතය අනුවනෙ.. මම අල කිරි හොද්දට දාපු කහ මිරිස් තුනපහ ප්‍රමාණෙ නෙවෙයි බටු එකට දාන්ඩ ඕනෙ..

ඊලඟට තමයි පොල් කිරි… ලේසියට පැකට් පොල් කිරි ,ටින් කල පොල් කිරි නං දාතහැකි

ඒත් මට නං ඒවගෙ දැනෙන්නෙ පොල් කිරි රහක් නෙවෙයි.. අමුතු තෙල් රහක්…  ගෙදරිං හාල් පොල් එවන හන්ද ඉතිං චන්ඩි වගේ මෙහෙම කියනව තමයි… ඒත් පිරි මහල ඇත්ත පොල් ටිකක් දාන්ඩ පුලුවං නං ඉතිං රසයි නෙ…

ඊ ලඟට අර ඉව.. ඒ කියන්නෙ යමක් ඒ ඒ ප්‍රමාණයට දැම්මම රසට සිද්ධ වෙන්ඩ පුලුවන් වෙනස්කම් ගැන ඉව…

තව දෙයක් තමයි ඒ ඒ දේවල් ලිපේ තියන කාලය… ඒ ඒ දේට අනුව වෙනස් කරන එක…

සමහරු මං දැකල තියෙනව එලවලුව වැහිල තව අඟලක් විතර උඩට හිටින්ඩ කිරි දාල ඒ එලවලුවෙ පාට ගිහින් ඉව්වෙ මොනවද කියල හොයාගන්ඩ බැරි වෙනකල්ම තම්බනව….

පොලොස් ඇඹුලක්, තැල්කොල ඇඹුලක්, පණු අලකොල ඇඹුලක් වගේ නෙවෙයි බෝංචි වගේ එකක තෙල් පෑදිලා කැදලි හැදිල තිබුණාම මගෙ නං පිරිය නැත්තටම නැති වෙලා යනව…

මං ඒකට හොඳ දෙයක් කරනව… යමක් හදල ඉවර වුනාම අන්තිමට ඒක තියෙන්ඩ ඕනෙ විදිය පාට මම මගේ හිතේ ඇඳ ගන්නව.. එතකොට ඒකට යොදන හැටි, දාන්ඩ ඕනෙ කිරි ප්‍රමාණෙ, තෙල් දානව නං ඊට ගැලපෙන දේවල්, ලිපේ තියන්ඩ ඕනෙ කාලය… ඔය ඔක්කොම හිතට එනව… ඒක අර ඉවත් එක්ක සම්බන්ධ දෙයක් නිසා කෙනෙක්ට කියල දෙන්ඩ නං පුලුවංද මන්ද…

අනිත් එක තමයි හිතේ සතුට…

හයියෝ දැං ඉතිං උයන්ඩ එපැයි.. මල වදේ??

අනේ අද උයන්ඩම ඕනෙද??

මට බෑ මාලු අල්ලන්ඩ ගන්දස්සාරෙ ඉන්ඩ බෑ…මෙහෙම කිය කිය ඉව්වාම ඒ දේ රස වෙයි යැ??

ඉවුම් පිහුම්වලට  මොනව හරි අඩු වුණත් හිතේ සතුට තියෙනව නං ඒක දැනෙන එකක් නෑ….

ඒ හන්ද තේරුම්ගන්ඩ ඕනෙ මෙන්න මෙච්චරයි….

රස කියන දේ හිත සහ ඇස එක්ක බොහොම සම්බන්ධයි… ඔය බඩ විතරක් පුරවන්ඩ උයන්නෙ පිහන්නෙ නැතුව හිත පිනවන්ඩ නෙව ඔය සේරම  හෝටල්වල කෑම ලස්සන කරන සැරසිලි එහෙම….

ගෙදරක  ඉතිං අපි එව්වගෙන් ඇස් පිනවන්ඩ යන්නෙ නෑනෙ…

ඒ හන්ද තමයි උයන පිහන එකේ රහ ගැන ඉව තියෙන්ඩ ඕනෙ….

යමක ලියල තියෙන දේ ම නැතුව හිතෙන දේවල් කරල බලන්ඩ උනන්දුව තියෙන්ඩ ඕනෙ

ඔය අබ ග්‍රෑම් තුනයි, ගම්මිරිස් තේ හැන්දයි කියකියා කෑම වට්ටෝරු දුන්න පලියටම යමක් රසට උයාගන්ඩ බැරි ඒ හන්දයි….

 

කාලෙකිං කටිටියගෙ රස නහර අවුස්සන්ඩ යමක් දාන්ඩ බැරි වුණානෙ…. ඒකයි පින්තූරත් එක්කම ආවෙ… බැනුං අහගන්ඩ බැරියැ කං පිරෙන්ඩම දැං ඉතිං..

මට බැන බැන ඉන්නෙ නැතුව නරකද කුස්සිය පැත්තට ගියා නං….

ඕං තමම්ම හදල කාල බලනව නං කෑම වට්ටෝරු දෙකක්ම තියෙනව….

 

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ ඉවුම් පිහුම්, මට හිතෙන හැටි. Bookmark the permalink.

60 Responses to රහ ගැන ඉව…!!!

  1. Nish පවසයි:

    ඇඹුල් තියලේ පාට නම් ටිකක් අවුල් නේද ජනූ.
    අර ලස්සන තද දුඹුරු පාට නෑ:)

  2. Jayantha Upatissa පවසයි:

    ඇඹුල් තියල් වල පාට එන්න තව පොඩ්ඩක් මිරිස් බැදුනනම් හොඳයි කියල හිතෙන්නෙ.පොල් මැල්ලුමට තව පොඩ්ඩක් කහ ඕනෑ ඒකෙ ආවේනික පාට එන්න. මේ මට හිතෙන හැටි.

  3. දුමී පවසයි:

    අර කිව්වත් වගේ තමන්ගේ නියපොතු වල පාට වෙනස් වෙයි, කැඩෙයි බිඳෙයි කියලා බයට කුස්සිය පැත්ත පලාතෙටවත් යන්නෙ නැතිව ඉන්න අද කාලේ කෙල්ලොත් එක්ක බලනකොට නංගිගේ මේ වෑයම ගොඩක් අගේ කරන්න ඕනෙ. ඕනෙම මනුස්සයෙක් කැමති තමන්ගේ අම්මගේ හරි භාර්යාවගේ (නංගිලාගේ වචෙනෙන් කියනවනම් පෙම්බරියගේ ) හරි අතින් ඉදෙන් බතක් මාළුවක් සම්බෝලයක් කන්න තමයි. යහමින් පහේ ජාතිත් එක්කල යහමින් ආදරෙත් එකතු කරලා උයන ඒ වගේ කෑමත් එක්ක තරඟ කරන්න දිව්‍යය භෝජනවලටත් බෑ….

  4. හර්ෂණ1985 පවසයි:

    ඇඹුල් තියල් වලට මිරිස්, තුන පහ, ලූනු, සුදුලූණු මුකුත් දාන්නෙ නෑ, ලුණු,ගම්මිරිස්, ගොරකා, කරපිංචා සහ ඕන නම් කහ චුට්ටක් විතරයි දාන්නෙ. ඒකට ලූණු , සුදු ලූණු දාන්නෙ නැත්තෙ කල් තියා ගන්න බැරි වෙන නිසා, දැම්මත් ලොකු අවුලක් නෑ, ඒත් අර ඇඹුල්තියල් වල එකන ආවේණික රස පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. අනිත් එක මට පේන විදියට ඔයා කරලා තියන එකට කියන්නෙ මාලු මිරිසට තම්බනවා කියලා, ඒක ඇඹුල් තියල් නෙවෙයි……

    • බොහොම ස්තූතියි මල්ලි…. මම ඔයාගෙ විදියටත් උයල බලන්නංකො…. මං ඉතිං තාම මාතර අහ කෑම ජාති හදන්ඩ පුරුදු වෙන ගමන් නෙ…
      ඔයා හරි.. දැන් අපෙ අම්ම හදන ඇඹුල් තියල් වෙනස් පෙම්බරයගෙ අම්ම හදනවට වඩා…
      ඇත්තම කිව්වොත් මට රසම පෙම්බරයගෙ අම්ම හැදුවාම තමයි

  5. Gold fish පවසයි:

    පෙරේත කම අවුස්සනවනේ ඉතිං…. 😀

  6. praveena පවසයි:

    පොඩ්ඩක් ඉන්ට අඬලා ආපහු කියවන්ට එන්නම්… 🙂

  7. vimukthi පවසයි:

    පොල්මැල්ලුම් කටට කෙල උනයි.හදන්න ඕනෙඋනත් පොල් නෑ නොවැ.

  8. praveena පවසයි:

    හරි අඬලා ඉවරයි. පින්තූරු ඔක්කොම හරිම ලස්සනයි. මටත් පුලුවන් සම්බෝල හදන්ට වේලපු පොල්වලින්. ඒවා රහ නෑ ඒත් ඉතින් නරක නෑ.

    මාලු ඇඹුල් තියල නේද හදලා බලන්ට ඕනි. අර පින්තූරේ ගානටම ගත්ත හැකි. මාලු ලිපේ තිබ්බා, චැට් එකට ආවා කා එක්ක හරි. හැරිලා බලන කොට මාලු හරි. ලූනු සම්බෝලේ ඔය විදියටම කපාගන්ට බැරිවෙයි. ඒත් ඒක තමා ලේසිම. ඔක්කොම ජාති දාලා අනන එකනේ. ග්ලව්ස් දාලා ඇනුවානම් දැවිල්ල හැදෙන්නෙත් නෑ.

    බත් එක කොහොමත් රයිස් කුකර් එකේනේ.

    ඔය කෑම වේල ඔය විදියටම උයලා පින්තූර දැම්මේ නැත්නම් බලන්ටකෝ…. 🙂

  9. නිසුපා පවසයි:

    අපේ ගෙදරනම් පොල් මැල්ලුමට දාන්නෙ හාල්මැස්සො.අම්මේ ඒවගෙ රහ…ඔන්න දැන් මටත් ආස හිතුනා කන්න.මාත් තාම නම් උයන්න හොරයි.වැඩේ තියෙන්නෙ අපේ අම්මට ලුණු පදම මට වඩා වැඩියි.ඉතිං මං ඉව්වොත් හැමදාම අම්මට ලුණු මදි. 😦

    //ඔය අබ ග්‍රෑම් තුනයි, ගම්මිරිස් තේ හැන්දයි කියකියා කෑම වට්ටෝරු දුන්න පලියටම යමක් රසට උයාගන්ඩ බැරි ඒ හන්දයි….//
    අක්කා කියලා තියෙන්නෙ සහතික ඇත්ත.ඒකනෙ ඔය ලුණු ඒවා මේවා රස අනුව දාන්න කියන්නෙ සමහරු නේද? 🙂

    • හ්ම් අපේ ගෙදරත් දාන්නෙ හාල්මැස්සො.. මේක පෙම්බරයගෙ අම්මගෙ රහස් වට්ටෝරුවක් නෙව….
      තොහොම වුණත් නගේ… ඔය කෑම වට්ටෝරුවල්රසවල් මට හරියන්නෙ නැත්තං මම ඒව මට එහ්නෙ විදියට වෙනස් කරනව…. කෙනෙක්ට රස දේම තව කෙනෙක්ට රස වෙන්නෙ නෑ නෙ…
      ඉන්ඩකෝ!! ඉන්ඩකෝ!!! තව දාන්නං

  10. නවම් පවසයි:

    සැහ්.. මල් හතයි බං ජනූ. ඔයි පොල් මැල්ලුමට නං මං හරිම මනාපයි. ඒත් අපේ උන්දැට කියල තාම හදවං කන්න බැරි උනා නෙව අම්මගෙං කෑවට පස්සෙම. හිටිංකො මේ වීක් එන්ඩ් එකේවත් නිවී හැනහිල්ලෙ හදවං කන්න. උඹලට අජරාමර නිවං සැප ලැබෙන්න ඕනෙ බං මේ කරන පිං කං වලට.

    • සාදූ සාදූ සාදූ!!! නවං අයියෙ…
      ඕං චූටි මැණිකෙට කියල හදවං කන එකය් ඇත්තෙ…
      කෝ බං ඊයෙ අපි වර්ඩ්ප්‍රෙස් වෙනුවෙන් දිවි පුදා දියත් කළ සටනට උඹ ආවෙ නෑ නෙව….

      • නවම් පවසයි:

        මං හාංකවීසියක් දැනං උන්නෙ නෑ බං ඒ වගක්. මොකෑ උනේ ? අර මාරයාගෙ මූණුපොතේ ස්ටේටස් එක මේකට සම්භන්දයිද ? ඒක දැක්කෙත් අද උදේ.

      • ඔවු බොල.. පැහැදිලිවම ඉලක්කය වෙලා හිටියෙ උඹයි තව කීප දෙනෙකුයි.. මමයි මාලුවයි සපයි දිවි දෙවෙනි කොට සටන් කලේ… විජාතික බලවේග ඇවිල්ල අපිට සීනිබෝල නාරං බිකි දීල අපේ හිත් වෙනස් කොරන්ඩත් තැනුව… අපි නොවයි සැලුණෙ

  11. ravisandu පවසයි:

    අඩේ..ඇඹුල් තියල…. මොකක්ද බං අර ඒකෙ පාට 😦 ගම්මිරිස් ගොරක දෙකම මදි වගේනෙ….අනික ගලේ ඇඹරුවට වඩා හොඳයි ඔය ටික බ්ලෙන්ඩර් කරපං…ආයෙ නෑ පේස්ට් එක එනව එළ කිරි වගේ…

    මම ගෙනාව එනකොට ඇඹුල් තියල් හට්ටියක්ම………මෙහෙදි හදාගන්ටත් පුළුවන් 🙂

    ප.ලි. – මේ උඹ ඔය කොරන වැඩේ අතෑරල ඔෆිස් එකේ සූපවේදී වැඩේ ඉස්තිරවම බාර ගනිං….හෙහ්, හෙහ්, නරකද එහෙම?

    • මොකා කිව්ව… රවීසඳු?? දෙයියෝ සාක්කි අයියෙ උඹ මොකෝ මේ වෙස්වලං ඇවිල්ල… සී අයිඒ කාරයො පන්නන්ඩ අරන්ද උඹ පස්සෙනුත්?? හැබැයි නියම වෙස්වලාව ආයෙ…. මට උඹේ බාසා විලාසෙං මිසක් වෙන තිසිම විදියකිං උඹව අඳනගන්ඩ බැරි වුණා නෙව??

      ඔවු බන්… මං ගම්මිරිස් අඩුවෙන් දාන්නෙ පෙම්බරය ඒ හැටි කැමති නැති නිසා ඒ රහට… මිරිස් වැඩියෙං දැම්මට දුඹුරු පාට එන්නෙ නෑ නෙ… දැන් මං හදන්නෙ අර අපෙ ඊමේල් කවිකාරි අක්කණ්ඩි කියල තියෙනව වගේ මිරිස් ටිකක් බැදල දාල බලන්ඩයි….
      මෙ අදත් උදව් කරල ආවෙ.. ආයෙ අමුතුවෙන් බාරගන්ඩ දෙයක් නෑ බන් ඒ හන්ද

      • ravisandu පවසයි:

        වෙස් වලාගෙන???….හිහ්, ඒක උනේ මෙහෙමනෙව බං….අරුණිගෙ බ්ලොග් එකේ ගූගල් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දාන්න බැහැනෙ දැන්. ඒ නිසා වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිල් එකක් හදාගත්ත……ඊට පස්සෙ දැන් වෙලා තියෙන්නෙ නවමා උඹ වගෙ වර්ඩ්ප්‍රෙස් කාරයන්ගෙ බ්ලොග්ස් වල කමෙන්ට්ස් දාන්ට යනකොට අර ප්‍රොෆයිල් එක තමයි එන්නෙ…..වර්ඩ්ප්‍රෙස් එකේ රවි කියල ඇක්සෙප්ට් කරන්නෙ නෑ…ඒ නිසා සඳු කෑල්ලකුත් අමුණා ගන්ට උනා 🙂

  12. TG පවසයි:

    මේ අඩෝ ජනූ උඹ මාතර කෑම මෙකේ දාලා මගේ යකා අවුසන්න එපා හරිද ?

    අවුරුදු පහක් ජයට පහට කිරි හොදි , ලුණු මිරිස් , පොල් සම්බෝල , මාලු ඇඹුල් තියල් , පොල්මැල්ලුම් ,රතු බත් තුන් වේලටම කෑව මමනේ දැන් මේ කොලඹට වෙලා පාන් රොඩු/තායි /චයිනීස් /සවුත් ඉන්දියන් කකා විඳවන්නේ .ආයේ දාලා අහුවෙයන්කෝ මාතර කෑම ගැන . 🙂

  13. මධුරංග පවසයි:

    අඩේ කටට කෙලත් ඉනුවා මේ පෝස්ට් එක කියවලා.
    මට නම් ඔය කෑම වල රහක් ගුණක් නෑ. ඔහේ කාලා දානවා. 🙂

  14. Buru පවසයි:

    පොල් සම්බෝල ගැන කීවම මට මතක් වුනේ මේ කතාව.
    අපේ ගෙදර පොඩි කාලේ හදපු කෑම හිටි ගමන් මට මතක නෑ. අපේ කිරි අම්මා තමයි ඉස්සර මේක අපිට හදලා දුන්නේ. ඒ අසු ගණන් වල වෙන්න ඕනේ.
    2007 මම අහම්බෙන් ඇඹිලිපිටියේ ඉන්න අපේ නෑයෙක් බලන්න ගියාම එයා මට මේක හදලා දුන්නා. අර පොඩි ඉස්සෝ හෙම දාලා. තාමත් මතකේ රහ එනවා. අවුරුදු විස්සකටත් පස්සේ.

    එදා එවෙලේම අපේ අක්කට කතා කරලා ඔයා මොකද මට මම කන්න කැමති කෑම හදලා දෙන්නෙ නැත්තේ කියලා කීවම අපේ පොඩි අක්කා හිනා වෙලා කීවේ එයාටත් මම එහෙම කෑමක් කාලා ඇති කියලා හිතුනේ නෑලු. කොහොම හරි මට ඒක අමතකම වෙලා ගියා පස්සේ.

    ආයේ ගිය දෙසැම්බර් වල අපේ මලීගේ අම්මාට කියලා ඒවා හදන් කෑව විතරක් නෙමෙයි හලාවත මාළු විකුනන තැනකට ගිහින් කරවල වර්ග ඉස්සෝ වගේ වේලපු කෑම මෙහේ ගේන්නත් අර ගත්තා. මෙහේ ගෙනාපු ඉස්සෝ තාම ෆ්‍රිජ් එකේ. ආශාව වුනාට මට ඕක මම හදලා කන රහට වඩා ඕනේ අර අතීත රහෙන් කන්න කියලා ඒක අමතක කරලාම ඉන්නවා. කොහොමත් මම ඔය ආසයි කියන හැමදේම අන්තිමට එහෙම තමයි.

    මාත් දකින මම අකැමතිම දෙයක් තමයි කෙනෙකුට උයන්න බැරි එක. කීයට වැඩ ඇරිලා ආවත් මොන තරම් වැඩ තිබ්බත් මට ගෙදර හදන කෑම එකක් තරම් කිසි දෙයක් රස නෑ. නිතර එලියෙන් කන්න වෙන එක සාමාන්‍යය දෙයක් වුනත් හැකි හැම වෙලේම ගෙදර කෑම හදාගන්නයි මම නම් කැමති. සමහර වෙලාවට අපි පුරුදු පුහුනු වෙලා ඉන්න කෑම රටාවන් වෙන්න ඇති. ජනූට වගේ කෑම රහ බලලා ක්‍රෙඩිට් දෙන්න පෙම්බර ඇත්තෝ නැති වුනත් කෑම එක හදලා ඉවර වුනාම ලොකු සතුටක් හිතට එනවා.
    මගේ මෙහේ යාළුවෝ විතරක් නෙමෙයි ලංකාවේ යාළුවොත් මම හදන කෑමක් කාලා මේක රසයි නේ කියද්දිත් අර ලංකාවේ යාළුවෝ මේ මිරිස් තුනපහ තෙල් නෑ කියලා නෑ නේ හලෝ මේක මාර රහයිනේ කියලා කියද්දිත් දැනෙන්නේ අපමණ සතුටක්…

  15. සිඳු පවසයි:

    හරිම ෂෝක් අක්කෙ. මමත් හරි ආසයි ඒ විදියට රසට උයලා දෙන්න ආසා විදියට. බොලඳ වාක්‍යක් කිවුවද මන්දා මම. ඒත් ඉතින් හිතෙන දේ තමයි කිවුවෙ

  16. Buratheno පවසයි:

    හිටහංකො, මම වෙලාවක අර පොල් මැල්ලුම හදලා උඹට කියඤ්ඤා තත්ත්වෙ මොකද කියලා..

    මං හදන පොල්සම්බලේටත් අපේ ගෙදර උදවිය හරි මනාපයි.. හැබැයි අහන්ට එපා රෙසිපි එක, ඒවා රාජ්‍ය රහස්, ගෙදර උන්දැලාවත් ඒක දන්නෙ නෑ.. 🙂

    පලි: අර ඇඹුල් තියල් එක ගැන දැනටමත් ගුරුහරුකම් ගොඩක් ඇවිත් තියෙන නිසා මං මුකුත් නොකියා ඉඤ්ඤා.. 😛

    • ආන්න උත්සාහවන්තයො!!!
      අපොයි… රාජ්‍ය රහස් නං එව්ව හෙලි කරන එක අපරාධ නෙව…
      ඇඹුල් තියල හදන හැටි ප්‍රෙද්ශීයව වෙනස් කියලයි මට තේරිලා තියෙන්නෙ.. ඒ කියන්නෙ දාන අඩුම කුඩුම වල ඉඳල උයන විදිය දක්වාම වෙනස්…
      අපේ පැත්තෙ මාලු හට්ටිය උඩිං උඩ කබලක් තියනව.. අර ආප්ප හදනකොට වගේ!! ඒකෙන් යට වගේ ම මාලු කෑල්ලෙ උඩත් හොඳට ගානට වේලිලා අමුතු ගතියක් එනව… හැබැයි මාතර පැත්තෙ අර කලු පාටට හදන මාලු ඇඹුල් තියල නං පුදුම රසයි!!!

  17. emailkavikaari පවසයි:

    රතුබත තේරුවාට ලකුණු ලැබේ.

    නමුත් කෑම වේලට එක එළවලුවක් වත් නැහැ නෙ. මතක තියාගන්ට හැම වේලටම එළවලුවක් දෙන්ට. දැං සුපර්මාකට් එකේ මැල්ලුං කාරිය ලියලම තියනව. පොල් වලිං කෑම හදනකොට ගොඩක් හදන්ට එපා ඉතුරුවෙන තරමට. නරක් වෙනව.
    පෙම්බරයව නිරෝගීව තියන්ට .
    ඔයාගෙ නැන්දම්ම ආදරෙං මතක්කලා කියන්ට

    • පෙම්බරය දකුණෙ වෙච්චි රතුබත් නැතුව ආයෙ වෙන මොනව කන්ඩද අපි??
      අපි උදේ වේලට නං එලවලු කනව අඩුයි අක්කෙ… දවල්ට නං අනිවාර්යයෙන් මැල්ලුමක් එලවලුවක් වරදින්නෙ නෑ…කොහොමත් මම එළවලු, කොල ජාති කන විදියට පෙම්බරයට නං හැරෙන්ඩවත් බෑ
      අපි දෙන්නට තියෙන්නෙ පුංචි මැටි වලං… ගෑස් එකේ වුණත් උයන්නෙ මැටි වලං වලනෙ…
      ගානට ඉතුරු වෙන්නෙ නැති වෙන්ඩ කෑම හදන එක නං අක්කෙ මට හොඳට පුරුද්දට ආව දෙයක්!!
      පුරුද්දක් විදියට අපි දෙන්න උයල ශීතකරණෙ දාගෙන රත් කර කර නං කන්නෙ නෑ…
      ඒක අපේ අම්මගෙන් ආව පුරුද්දක්…!!
      බොහොම ස්තූතියි!!!
      කොච්චර හොඳද අක්කල වගේ වැඩිහිටියො අපිට ගුරුහරුකම් දෙන එක!!

  18. henryblogwalker the Dude පවසයි:

    ඇයි බං උඹ අපිට ඔහොම කරන්නෙ? 😦 😦 😦

  19. සිතුවම් පවසයි:

    අඩේ මම පට්ට ආසයි ඇඹුල් තියල් කන්න.ඒක හදන විදියත් කියන්ඩෝ.ප්ලීලීලීස්…

  20. Maneka පවසයි:

    ඔන්න මේ ඔක්කොම ජාති තිත්තලු…
    ඒ හන්දා මට පොඩ්ඩක්වත් බඩගිනි හැදුන් නෑලු …. හරිද….

    මේ අපිත් ඔය පැත්තේ එන්ටද කේක් පෙට්ටියකුත් ඇන්න….. ඔව්වා කන්ඩ නෙවේ..මේ නිකන් ..කකුල් කහනවට….

  21. අවතාර් පවසයි:

    කටට කෙල ඉනුවා යන්න ඕනා මේක දාලා රෑ කෑම ටික කන්න
    කුරුණෑගලත් වැඩ්ඩෝ ඉන්නවා ඈ අපිත් ඔය ඉසව්වෙම නේ

  22. රෝස කුමාරි පවසයි:

    රසට උයන්න මාත් කැමතියි. මටත් ඔය රස මතක තියාගන්න පුරුද්ද තියන්ව. විවිධ ප්‍රදේශ වල විවිධ රසට උයන තව කෑමක් තමා පොලොස්. ඇඹුල් තියලුත් එහෙමයි. උයන එක එපා වෙන්නෙ මේහේ උයන්න එළවළු ජාති ගොඩක් නැති එක නිසා. මස් නොකන නිසා එලවළු විතරයි. ඒකත් හැමදාම එකම ටික……….අහ් ලංකාවෙ කෑමවල රස මතක්වෙනව අප්ප.

  23. හසී රන් පවසයි:

    සම්බලේ මාත් හදන්න හිතා ගත්තා හැබැයි රස දැන්ම හිතට දැනුනා

  24. dgmbassa පවසයි:

    පිං සිද්ද වෙච්චාවෙ!. ලඟදිම බස්සා පොල් මැල්ලුම් කයි.මෙහෙ පොල්ගෙඩියක් රුපියලයි. ඕදිරිස්ගෙ හිරමණයකුත් තියනවා. බේකරියෙන් ඉඳිආප්ප ගෙනාව, දෙන්නම් ජම්බු 🙂
    අනේ නෝනෙ, මෙන්න මේ වගේ අපේ ගම්වල පරණ සූපසාත්තර රහස් ටිකක් ලියාපංකො.

  25. ඊශා පවසයි:

    math me wela hadala beluwa niyameta thibuna…me warge lipi digatama liyandako akke..

    man eesha..

  26. ඊශා පවසයි:

    මීට කලින් කොම්මෙන්ට් එකත් මගෙන්මයි … අපි ඉතින් කැම්පස් එකේ බෝඩින් ජිවිතේ නිසා උයලමයි කන්නෙ , තාම 22 යි හැම ජාතියම වගේ මෙ වෙද්දි උයල තියෙනවා .. අද මේ පොල් මැල්ලුම හදන හැටි පොඩ්ඩක් බලන්න ආවම comment එකක් දාන්න ගත්තාමයි දැක්කේ කලින් අදහසක් දක්වලා තියෙන බව ..

  27. නිසල් පවසයි:

    අද තමයි මේ බ්ලොග් එක දැක්කේ, ගොඩක් හොදයි..අක්කේ පොල් කප් එකකින් වගේ හදනව නම්, මැල්ලුම වතුරයි කහයි ගොරකයි කොච්චර දාන්න ඕනද? ගොරක අන්ඩක් කියන්නේ කොච්චරක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )