සුවඳ, සිදුවීම් සහ මතක…!!!

වෙලාව පහයි දහයයි….

වැඩ ඉවර වෙලා  එලියට බැස්ස මම මගේ  වෑන් එක අල්ලගන්ඩ ඩුප්ලිකේෂන් පාර දිගේ ගාලු පාර දිහාට දුවන්නෙ හරියට මගෙ පස්සෙන් කවුරු හරි පන්නනව වගේ !!

එක පාරටම මාව පහුකරගෙන ගිය පිරිමි පරාණය ලඟින් ආව විලවුන් සුවඳ  දැණුනු මගේ හිත මට සරසවි මිතුරෙක්ව සිහිපත් කරල දුන්න…

රවී!!!

ඒ දවස්වල රවී පාවිච්චි කළෙත් ඒ ජාතියෙම සුවඳ විලවුන්!!!

නමක් දන්නෙ නෑ!!

ඒත් ඒ සුවඳ දැනුණ විගසින් මට රවීව මතක් වුණා…

විශ්වවිද්‍යාලෙදි රවී එක්ක අපේ යාලුවො සෙට් එක ගත කරපු සුන්දර අවස්ථා ඒ එක්කම හරියට චිත්‍රපටයක් වගේ  මගෙ හිතේ දිගෑරුණා!!!

ජනනි කතා කරනකොට වොයිස් එකයි සිංග් කරනකොට වොයිස් එකයි මාර වෙනස් නේද??

නිතර අපි එක්ක සෙට් වෙන්ඩ ආවෙ නැතත්  ඕක ඉස්සෙල්ලාම දැනුණෙ රවීට…!!!

එක නිවාඩු කාලෙක  ඒක පාර්ශ්වික ප්‍රේමයකින් හිත රිදිල  ඔද්දල් වෙලා වෙනද වගේ  මියුසික් වැඩ, කලා උළෙලෙ වැඩ කිය කියා සෙට් එකේ නොහිට ගෙදර ගිහින් ලැගපු කාලෙක අපේ සාලියි රවියි දෙන්න මාව බලන්ඩ ආවත් මතකයි!!!

ඒ විතරක් නං මදැයි උන් දෙන්න එක්ක දුක කිව්ව හැටිත් මතක් වුණා!!

උඹට නං පිස්සු!! දැන් ස්පෙෂල් එකක් කරන එකේ ඒ වැඩ ටික කරගෙන ඉඳපන් හිටිය වගේ!!! මේ අපි ඉන්නෙ යස අගේට…

ඒක මතක් වෙලා නං මට තනියම හිනා ගියා!!!

ඔය වගේ මං කරපු දහසකුත් එකක් බොළඳ වැඩ විතරක්  නෙවෙයි ජීවිතේ පිස්සුම නටපු කාලයක් පහුකරල මං අද නැවතිලා ඉන්න තැන මට කොයි තරම් සුවදායකද,  කියල මතක් වුණාම මං ගැනම පොඩි ලැජ්ජාවකුත් ඇති වුණා…

ඒත් අනුන්ට හිනාවෙන්ඩ ඉඩ තියන්නෙ නැතුව මට මටම හිනාවෙන්ඩ පුලුවන් වෙච්ච එකත් ලොකු දෙයක් නෙ… නේද??

මං කල්පනා කළේ මාව පහු කරගෙන ගිය නාඳුනන කොලුවා අරන් ආව සුපුරුදු සුවඳ ගෙනාව මතකය මොන තරම් නම් සුන්දරද??

ඇත්තට සුවඳත් එක්ක මට කොයි තරම් නම් මතකයන් තියෙනවද??

ඉස්සර තිබුණ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි කියල සබන් කෑල්ලක්!! මේ සබන් කෑල්ලෙ සුවඳ අද දැණුනත් මට මතක් වෙන්නෙ අපි ලොකු නැන්දලත් එක්ක කෝච්චියෙ නුවර එලියෙ ගිය ගමන…

මේ ගමනෙදි අපි ලඟ මේ සබන් කෑල්ලක් තිබුණ…

අපි කෝච්චියෙ ගිය හැටි… කවුලුවලින් ඔලුව දාගෙන මම අහසට උස් වෙච්ච ෆයිනස් ගස් දිහා බලන් ඉන්නකොට මට ගුරුගීතයේ දුයිෂෙන් හා අල්තීනායි මතක් වෙච්ච හැටි… වරින්වර, තැනේ හැටියට වෙනස් වෙලා ඇහෙන කෝච්චිය කඳු නගින තාලෙත් එක්ක ඒකාත්මික වෙච්ච හැටි…. හග්ගල මල්වත්තෙ පිපිල හිනා වෙවී හිටපු අසෙලියා මල්!!!

ඇඩිෂම් බංගලාවෙ පියස්සට උඩින් බර වෙලා මහා ගුප්ත ගතියක් එතනට අරන් එන මීදුම් වලාකුලු!!!!

ඒ සුවඳත් එක්ක මතකෙට එන්නෙ ඒ හා කිසිම සම්බන්ධයක් නැති සිදුවීම් පෙලක්!!!

කාලෙකට ගහක් වැහෙන්ඩ පිපිච්ච මල් දවස පුරාම හෙමින් හෙමින් බිම හලන රොබරෝසියා ගස් දැක්කම මට මගේ මිතුරි ඉන්දිව මතක් වෙනව…

අන්න බලන්ඩ රෙබරෝසියා!!!

අපි දෙන්න දවසක් කොහෙ හරි යද්දි මම ඒ ගහක් පෙන්නුවා

කෝ… කෝ!! කවුද  කවුද කොහෙද යන්නෙ??

ඉන්දිකා  එහෙම කියල රෙබරෝසියාව හොයන්ඩ ගත්ත!!
ඒ ඩිංගට එයා ඒ නම තියෙන ගෑනු ළමයෙක්ව හිතේ මවාගෙන එයාව හොයනව

අර ගහ අනේ … වෙන කවුරුත් නෑ……

හයියෝ!!! මං හිතුවෙ කවුරු හරි මනුස්සයෙක් කියල!!!

ඉන්දිට වෙච්ච ඒ වැරදීමට අපි දෙන්න මහ හයියෙන් පාර මැදම හිනා වෙච්ච හැටි!!!!

තුන්වෙනි වතාවට දාපු අන්තිම ජියෝග්‍රපි ස්පෙෂල් සිලෙක්ෂන් ලිස්ට් එක බලන්ඩ ගැහි ගැහී අත් අල්ලගෙන ගිය හැටි…

අනිත් එවුන් සේරම අපි දෙන්නගෙ පිටිපස්සෙන් ආව හැටි!!!

ඉන්දිගෙ නම නැතුව මගෙ නම විතරක් තියෙනව දැකල මම අඬාගෙන ගිහින් ග්‍රීන් ටේබල්ස් ලඟ ගෑනු ටොයිලට් එකේ දොර වහගෙන අඬද්දි  ඉන්දි ඇතුලට ආව හැටි…

ඔයා නැතුව මට තනියම ස්පෙෂල් කරන්ඩ බෑ!!!!!!!

මං අඬපු හැටි!!

ඒක බැරි කමට වඩා ඉන්දි නැතුව මට ඉස්සරහට යන්ඩ වෙනව කියන එන දැනගෙන ඇති වෙච්ච දුකයි, ඉන්දි තේරිච්ච නැති එක ගැන තරහයි සේරම මිශ්‍ර වෙලා පිටට පැන්න කඳුලු වෙන්ඩ ඕනෙ..

ඔයිට වඩා දරාගන්ඩ අමාරු වෙලාවල මං කඳුලක් හෙලන්නෙ නැතුව ඉඳල තියෙනව නෙ….

මට ඇත්තටම දැණුනෙ හරියට මාව කාන්තාරෙක හරි මහ මුහුදෙ හරි අතරමං වෙන්ඩ යනව වගේ මහා අනාත හැඟීමක්….

අනිත් මොකා සිලෙක්ට් වෙලා හිටියත් ඉන්දිගෙ හිතවත්කම නැතුව මට එතන ඉන්ඩ බෑ!!!!

නෑ ජනූ ඔයා ස්පෙෂල් එක කරන්ඩ.. අපි දෙන්නට තව අවුරුදු දෙකක් එකට ඉන්ඩ පුලුවන්නෙ… ඔයාට තනියම ඉන්ඩ වෙන අවුරුද්ද ගැන දැන් හිතන්ඩ එපා!!!!

මාව බදාගෙන ඉන්දි කියපුව මට ඇහුණෙ නිකං උඩිං පල්ලෙං… මං ඒ වෙලාවෙත් ප්‍රාර්ථනා කළේ මිරැකල් එකක් වෙලා හරි ඩිපාට්මන්ට් එකෙන් හතර වෙනි ලිස්ට් එකක් දමත්වා!!!! ඉන්දිගෙ නම ඒකෙ තියේවා කියලයි!!!

අපි දෙන්න බදාගෙන අඬල එලියට එනකොට ගෑනු වොෂ්රූම් එක හන්ද ඇතුලට ඒගන්ඩ බැරුව අපි එනකල් බලන් ඒ ලඟ පිරිල හිටිය අපේ යාලු කොල්ලො රෑන අපි ලිස්ට් එක බලන්ඩ යනකොට පස්සෙන් ආව වගේ ම ආපහු කැන්ටිමට යද්දිත් පස්සෙන් ආව හැටි!!

ඔයා මං හන්ද අඬපු දවස නං මට කවමදාවත් අමතක වෙන්නෙ නෑ ජනූ!!!!

ඉන්දි අපිව කැම්පස් එකේ තනි කරල ගිය දවසෙ මට එහෙම ලියල දීපු නෝට් එක මගෙ ලඟ තාමත් ඇති!!! තොහෙද දන්නෙ නෑ ඒක….

ගෙදර පොත් මේසෙ ලාච්චුවෙ වෙන්ඩ ඕනෙ..!!! ඒක ආයෙත් කියවන්ඩ ඕනෙ!!
ඒත් ඉතින් ගෙදර යන්ඩ එපැයි ඒකට!!!

අපි ගොඩක් දවසකින් ඔයාලගෙ ගෙදර ගියේ නෑ නේද??  පෙම්බරය ඇහුවෙ ඊයෙ!!!

පෙම්බරය සම්බන්ධයෙන් මතකයන් වැඩි හරියක් තියෙන්නෙ මට මගේ ජංගමයත් එක්කනෙ…

අපි මුණ ගැහුණ කාලෙ මම  ජංගමයට දාගෙන හිටපු කෙටි පණිවිඩ හැඟවුම් නාදය, දුරකථන ඇමතුම් හැඟවුම් නාදය!!!  ඒ විතරක් නෙවෙයි එයා ඒ කාලෙදි දුරකථන ඇමතුම් හඟවන නාදය විදියට දාගෙන හිටිය කණාමැදිරි සින්දුව….

මේව කොහෙදි ඇහුණත් මට මතකෙට එන්නෙ පුදුම තරම් අහම්බෙන් මට අපි දෙන්න  ඉස්සෙල්ලාම මුණ ගැහුණ හැටි.. ඒ දවස්වල කෙටි පණිවිඩ නිසා මගේ ජංගමයා අතොරක් නැතුව නාද වුණ හැටි!!

මිහිරිම මතකයන් රැසක් ඒ නාද එක්ක බද්ධ වෙලා තියෙනව!!!

සරාස්!!!!

එකපාරටම ඉස්සරහින් නතර කරපු වෑන් එක දැකල මං ගැස්සුණා!!!!!

මිස් බර කල්පනාවක වගේ!!!

ගුණවීර අංකල් ඇහුවාම මම මතක ලෝකෙන් මිදිල හිනාවක් දාගෙන වෑන් එකට නැංග!!!!!!!!!!

මගෙ අම්මේ!!!!!!!!!!!!!

පයිං ආපු විනාඩි හත අටට මං ගිය දුරක්!!!!!!

පින්තූරෙ ගෞරවය මෙන්න මෙයාටයි

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

27 Responses to සුවඳ, සිදුවීම් සහ මතක…!!!

  1. Amila පවසයි:

    සුපිරියි,
    සිංහළෙන්ම වැනුවොත් ” සිම්ප්ලි ඇවෙසම්”.
    හිතට දැනෙන්න ලියලා තියනවා

  2. Gold fish පවසයි:

    මටත් එක සුවඳක් එද්දි මතක් වෙන දේවල් තියෙනවා. මං හිතන්නේ වූඩු සීක්‍රිට් ජෙස්මින් පර්ෆියුම් එක වෙන්න ඕනේ ඒ… තව නම් දන්නේ නැති දෙක තුනකුත් තියෙනවා.. 😉

  3. RanDil පවසයි:

    ලස්සන ලියැවිල්ලක් ජනූ……… මේ වගේ සුවඳ එක්ක මතකයන් මටත් තියෙනවානේ. ඒක හරි පුදුම දෙයක් නේද? කොහොඹ සබන් වල සුවඳ දැනෙද්දි මට හිතෙන්නේ මං ඉස්කෝලේ නිවාඩු කාලේ අම්මලාගේ ගමේ ඉන්නවා වගේ…. ඒ සීතල පරිසරය පවා ඇඟට දැනෙන්න ගන්නවා…….. ඒ වගේ මතකයන් ගොඩයි………. 🙂

  4. henryblogwalker පවසයි:

    සුවඳක් ගිය දුර! ජනූ එක්තරා සුවඳක් ගැන මටත් තියෙනවා ඔයවගෙ මතකයක්. ඒක රසවත් එකක් නෙවෙයි, මම ඒක බ්ලොග් පෝස්ට් එකක ලියන්න තාම කල්පනා කරනවා. වෙනද වගේම සුපිරි ලියවිල්ලක්!
    henryblogwalker the Dude

  5. Maneka පවසයි:

    ඔයාලගේ ගෙදර විතරක් යෑ….අපේ ගෙදර ආවෙත් නෑ නේ කාලෙකින් :(((
    මං මොනා හරි බේක් කරන්නම්කෝ ඔයාල එනදාට :ඩී

  6. හැමදාම උඩින්ම ඇවිත් මූණ පෙන්නල යන යජිය අද පේන්න නැත්තෙ… ඩිංගක් ඉරිසියා හිතුනද දන්නෙ නෑ…

  7. praveena පවසයි:

    හිතට තදින්ම දැනුනා. මටත් ඇස් වගෙන සමහර සුවඳ වර්ග එක්ක එන සිදුවීම් මෙනෙහි කරන්ට පුලුවන්. සැවැන්දරා මුල් සුවඳ ගෙනෙන්නේ අත්තම්මාගේ සුවඳ. තව ගොඩක් තියනවා. හවසට හමන මල් සුවඳවල්, මූදු රල ඇවිත් වෙරලේ හැපෙන හඬ……..ගිනි මැලයක ගිණී පුපුරු සද්ද කරලා ගිනි මැලයටම වැටෙන හඬ…. ගස් වල කොල කකුලට පෑගෙන කොට නැගෙන හඬ. ඔයා මතකයන් රැසක් අවදි කෙරෙවා…..

    //අපි මුණ ගැහුණ කාලෙ මම ජංගමයට දාගෙන හිටපු කෙටි පණිවිඩ හැඟවුම් නාදය, දුරකථන ඇමතුම් හැඟවුම් නාදය!!! ඒ විතරක් නෙවෙයි එයා ඒ කාලෙදි දුරකථන ඇමතුම් හඟවන නාදය විදියට දාගෙන හිටිය කණාමැදිරි සින්දුව…//

    මේ ටික සිහියට ගෙනෙන්නේ රසබර වර්තමානය. 🙂

  8. Buratheno පවසයි:

    සුවඳ මට දී.. පාට තැවරූ.. මල අරන් පිටවී..

  9. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    වෙසක් කූඩුවෙ රැලි හෙලවෙන සද්දෙ
    කහ අරලිය මල් සුවඳ
    පරෙවි මල් සුවඳ
    නැවුම් පස් වල සුවඳ
    ලිඳට බාල්දිය වැටෙන සද්දෙ
    හෝස් එකෙන් මල් වලට වතුර දාන කොට ඇහෙන සද්දෙ
    පිණි වැටිච්ච තණකොළ, උඳුපියලිය උඩ ඇවිදින කොට දැනෙන සනීපෙ
    පාට තැවරුන පින්සල පිරිසිඳු වතුර එකක ඔබද්දි වතුර ඇතුලෙ පාට දිය වෙලා යන හැටි
    කැවුම් බදින කොට තෙල් උතුරන සද්දෙ
    පියානෝවක සද්දෙ
    (ඔන්න මේක ඇඩ් එකක් එහෙම නෙමෙයි!) Nokia 1100 ෆෝන් එකේ 1 Message Received කියලා පේලි දෙකට පේන විදිහ. (මගේ මුල්ම ෆෝන් එක ඒ. මගේ අයියා අවුරුදු ගානක් පාවිච්චි කරලා, මම රස්සාවට ගිය අළුත දුන්නෙ. එච්චර කල් සිත්තරා මට එවන පණිවිඩ එව්වෙත් මගේ යාළුවෙක්ගෙ ඒ ජාතියෙම ෆෝන් එකකට. පස්සෙ කාලෙ, ලස්සන පෙනුමක් තියෙන වෙන ෆෝන් එකක් පාවිච්චි කළා. ඒත් ඒක අර තරං ලස්සන මතක එකතු කළේ නෑ. ඒක පවිච්චි කලේ ‘දැන් එස් එම් එස් නෑ, කෙළින්ම කෝල්’ කාලෙ. ඒකට පණිවිඩ ආවෙ රාජකාරි සම්බන්ධව විතරයි. ඉතිං ඒකෙ මතකය මහා කරදරකාරියි. දැං මං ආයෙ පාවිච්චි කරන්නේ ඒ ඉස්සර පාවිච්චි කරපු මගේ ආදරණීය පළවෙනි ෆෝන් එක.
    කාසි දාලා කෝල් ගන්න පෙට්ටි – මට ෆෝන් එකක් නැති කාලේ සතියක් පුරා කාසි එකතු කරල එකතු කරලා සිත්තරාට කෝල් ගත්තෙ ඒ පෙට්ටි වලින් 🙂

    ඔය තියෙන්නේ අක්කගේ ලියමන කියෙව්වහම මට මතක් වෙච්ච ඒ වගේ මගේ නොස්ටැලිජික් මෙමරීස් අවුස්සන – පපුව ඇතුලේ මොකද්දෝ වෙනසක් කරන්න සමත් වෙන – දේවල් ටික. ෆෝන් ගැන කියපු ටික වගේම අනිත් ඒවා ගැනත් විස්තර කියන්න ඕනෙ උනත් අනේ ගලපලා ලියාගන්න වෙලාවක් නෑනේ. 😦

    • මගෙ කලිං ජංගමය බස් එකේදි හොරු ගත්ත නෙව… අනේ මං පෙම්බරයත් එක්ක දුක කියල ඇඬුව හොඳටම…
      දුක හිතුණෙ ජංගමය නැති වුණ හන්ද නෙවෙයි.. අපි දෙන්නගෙ ඉස්සෙල්ලාම එස් එම් එස්, තිබුනෙ ඒකෙ නෙ.. පිස්සු නේද අපිට??

      • Buratheno පවසයි:

        හුටාස්! මටත් ඔහොම වැඩක් වුනා නෙවැ.. අර තිබ්බ භාවාතීෂ ලටපට සේරම (SMS, photos) නැතිවුනා phone එකත් එක්කම.. දැන් ඒකයි මම නිතරම phone එක backup කරන්නෙ.. 🙂

      • අනේ මාත් අඩු ගානේ එහෙම එකක්වත් කරගෙන තිබුණ නං… දැන් නං ගාණක් නෑ.. ඒ වුණාට ඒ දවස්වල හැංකි පැංකිය පටංගත්තම දවස් නෙ.. ප්‍රොග්‍රස් එක තනිකරම තිබුණෙ ඒවගෙ ඇතුලෙ තමයි

  10. TG පවසයි:

    හ්ම් සුවඳක් ගිය දුර …………..හීනෙන් ගෑ සුවඳක් වගේ මතක් එනවා කියන්නේ ඕකට වෙන්න ඇති .මෙන්න මම කැමති සුවඳ

    ටිනර් /ටර්පන්ටයින්/පොලිශ් /ඩියුලක්ස් පේන්ට්/නේල් පොලිශ් රිමූවර් සුවඳ 🙂

    ජොන්සන්ස් බේබි මොර්නින්ග් ඩිව්ස්

    නිව්යා ඩියොඩ්‍රන්

    පායලා පායලා වහිද්දී පොලවෙන් එන සුවඳ

    රෑ කුමාරි /පරවි මල් සුවඳ

    උනු උණු පාන් /බනිස් සුවඳ

    දුම් දාන නෙස්කැෆේ / කැෆේ ලටේ /මොචා සුවඳ

    දුම් දාන නෙස්ටමෝල්ට් සුවඳ

    • /හීනෙන් ගෑ සුවඳක් වගේ මතක් එනවා කියන්නේ ඕකට වෙන්න ඇති ./
      වෙන්ඩ ඇති අක්කෙ…. ඔයා මුලු පෝස්ට් එකම එක වාක්‍යයකට ගෙනාව හැටි නං හරි අපූරුයි!!!
      /ජොන්සන්ස් බේබි මොර්නින්ග් ඩිව්ස්/
      මං ආස හෙවන් එකට
      /පායලා පායලා වහිද්දී පොලවෙන් එන සුවඳ/
      මේකට තමයි මං හරිම ආස… තව ගොයං කපල ඉතුරුවෙන ඉපනැල්ල අලුත් වැස්සෙං තෙමුණාම එන නැවුං සුවඳටත් මං ආසයි.. ඒක මට අපේ ගෙදර මතක් කරවන නිසා
      /රෑ කුමාරි මල් සුවඳ/
      අප්පේ!! ඒක නං හරිම මායාමය සුවඳක් අක්කෙ…
      /දුම් දාන නෙස්කැෆේ / කැෆේ ලටේ /මොචා සුවඳ/
      කෝපි පෙරේතී

  11. සිඳු පවසයි:

    කැරට් ෆේස් වොෂ් එකේ ලා සුවඳ මට මතක් කරන්නෙ ඉස්කෝලෙ උසස් පෙළ කාලෙ. ඒක බෑග් එකේ තියනවා අහු වුණත් පන්ති තහනම් කරන මට්ටමේ ඉස්කෝලයක් අපේ ඉස්කෝලෙ. ඉතින් හොරෙන් ඒක ගෙනල්ලා හවසට මූණ හෝදාගෙන පන්ති ගිය හැටි තවම මතක් වෙනවා ඒ සුවඳ කොහෙදි දැනුණත් තවම.

    මගෙ මුල්ම ෆෝන් එක සීමන්ස් එකක් හීනි කහපාට් ස්ක්‍රීන් එකකුත් එක්ක තියන. ඒකෙ මැසෙජ් එකක් ආවාම එන සලකුණ කොයි තරම් මගෙ මතකෙ තියනවද කියනවා නම්, දැනටත් මම නෝට්ස් වල වැදගත් සලකුණට පාවිච්චි කරන්නෙ ඒක.

    තවමත් බස් වල යද්දි එහෙම සමහර වෙලාවට මතකයන් අවදි කරවන සුවඳවල් තියනවා………

    • ආ… අපි යන කාලෙ තිබුණ ලව් එෆෙයාර් කියල ෆෙයානස් ක්‍රීම් එකක්….කෙල්ලොන්ගෙ ඒ කාලෙ මතයක් තිබුණ ඒකට සුදු වෙනව කියල.. ඉස්කෝලෙ ඇරිල මිහිඳු මාවත දිගේ ප්‍රේමදාස සර්ගෙ සිංහල පන්තියට කෙල්ලො ටික ගියාම පාරත් සුවඳයි සෑහෙන වෙලාවක් යනකල්!!!

  12. Ruwani Jayasinghe පවසයි:

    oyage mathaka suvada mavath parana mathakavala gilluva janu.ravige suvanda matath mathakai.ravige rubber sereppuvala idan konde langata venakanma mata aluthen mathak una.kalathurakin sapaththudapu davasaka sapaththu kakulenma mata Ravi gahapu parath mathak una.thava Indigei magei hina katha godakui,saliyage unusum miththratvayai,subo aiyage sahodarakamai mathak una.ko Ravi?mata oya vidihata hamavelema mathakvenne ape shaliva.johnson’s suvadaval daneddi.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )