ෆෙංෂුයි තක්කාලි…!!!

චූටි පුතා කන්ඩ….

උයල පිහල වැඩ ඉවර කරපු අම්මත් ආව….ටී වී එක ලඟට…

හා අම්මෙ කන්නං!!

එහෙම කිව්වට මොකද  මං කම්මැලිකමට ඇඳේ ඉඳන් චැනල්පාල වෙලා එහාටයි මෙහාටයි මාරු කරකර හිටිය….

උදේට කාලත් නෑ නේද තාම… මොකද්ද මේකෙ තේරුම?? උදේ ඉඳල ඇඳේ වැටිල හොල්මං බල බලා ඉන්නව…. අතුගාන්ඩකෙ මේ ගේ මිදුල පොඩ්ඩක් ගෙදර ඉන්න දවසටවත්….

අම්ම නෝක්කඩු කිව්වට මොකද මං නෑහුණු කනින් ඉන්නෙ කතා කරන්ඩ ගියොත් වැඩේ තවත් දරුණු වෙන හන්දයි….

අපේ ඔෆිස් එකේ දිග දෙසැම්බර් නිවාඩුවට බඩුත් පොදි බැඳගෙන ඔන්න මං ගෙදර ආව…

ආව දවසෙ ඉහලිං පිලිගත්තට මොකද දවසයි දෙකයි යන්නෙ මගේ ක්‍රියා පිලිවෙත ගෙදරින් විවේචනය වෙන්ඩ පටං ගන්නව….

නිවාඩු දවස්වලට ඉතිං  මං වැඩිපුර කරන්නෙ අතන මෙතන වැටිල නිදා ගන්න එකයි, පොත් කියවන එකයි, අම්ම  මටයි මල්ලිටයි ටීවී බලන්ඩ දාල දීල තියෙන ඇඳේ වැටිල ටීවී බලන එකයි තමයි…

ඔන්න එක දවසක් මට උදේම ඇහැරුණා…… ඉහේ ඉඳල පොරවගෙන ආයෙ නිදාගන්ඩ හැදුව…  හරියන්නෙ නෑ…

ඒ පාර එහෙමම ඇඳෙන් බැහැල ඩීවීඩී ගොඩ ඇවිස්සුව බලන්ඩ දෙයක් හොයා ගන්ඩ… එතන තිබුණ සේරෝම ඩීවීඩී අඩුම ගාණෙ දෙපාරක්වත් බලල තියෙන ඒව හන්ද බලන්ඩ ප්‍රියජනකයි කියල මොකක්වත්ම තිබු‍ණෙ නෑ……

ඒ පාර තමයි කට කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ල වගේ කරගෙන ටීවී බලන ඇඳට වෙලා චැනල් මාරු කරන සෙල්ලම පටන් ගත්තෙ…

අන්න අන්න… චූටි පුතා පොඩ්ඩක් දාන්ඩ ඒක………………

අම්ම කෑ ගැහුවෙ මගෙ අධිවේගී චැනල් මාරු කිරිල්ල මැද්දෙ මොකක් හරි වැදගත් දෙයක් දැකල…..

මෙහෙ දෙන්ඩ ඕක මං දාගන්නං

මගේ චැනල් මාරු කිරීමේ වේගය එයාට අවශ්‍ය වේගය හා ගැලපෙයි කියල කිසිසේත්ම විශ්වාසයක් නැති නිසා අම්ම රිමෝට් එක ඉල්ලුව…

මං අම්ම අතට රිමෝට් එක දුන්නෙ හරිම දුකෙං

අයියෝ මට බලන්ඩ මොනවත් නෑ!!!!

ඒ පාර  මං ඇඳ උඩ තිබුණ නවයුගය සඟරාව අරන් ඒකෙ තිබුණ ලිපියක් කියවන්ඩ ගත්තෙ  කරන්ඩ කිසිම දෙයක් නැතුවයි

අම්ම එයාට ඕනෙ චැනල් එක දාගෙන බැලුව

ඒක ඔය උදේට තියෙන සලාද වැඩසටහනක කෑල්ලක් කියල අර සඟරාව කියවන ගමන් මට ඇහුණ…..

ඉතිං අම්ම ඒක බලල ඉවර වෙලා අම්මගෙ යාලුව චන්ද්‍රා ආන්ටිත් එක්කත් මොනවදෝ විස්තරයක් කියනව  මට ඇහුන. ඒත් උවමනාවෙන් ඇහුම්කන් දුන්නෙ නැති නිසා ඒව අතරින් පතර කණට වැටුණ විතරයි….

ඔවු….. ඔවු…. ඒ චැනල් එකේ තමයි ගියේ

යන එන ගමන් කාසි දාන්ඩ ඕනෙ… වීදුරු බෝල් එකකට..

අම්ම ඒක බලල ඉවර වෙලා හන්ද ආයෙමත් රිමෝට් එක තමන් අතට හම්බවුණා…

මං ආයෙමත් චැනල් මාරු කරන සෙල්ලම පටන් ගත්ත

ඔන්න ටිකකිං අම්ම ආව….අතේ තක්කාලි ගෙඩියක් තිබුණ…

කොහෙන්ද අම්මෙ තක්කාලි….??

මං කන්ඩ ආසම දෙයක් වුණත් මට හොඳ නෑනෙ….

ඒ නිසා ගෙදරට වැඩිය තක්කාලි අරන් එන්නෙ නැති බව දන්න නිසා මං ඇහුව…

අපේ වත්ත පහල ගහක තිබුණ……

මට අම්ම දුන්න උත්තරේ ඇහු‍ණෙත් නෑ… ඒක නිකං තක්කලි ගෙඩිය දැක්කට ඇහුව ප්‍රශ්නයක් විතරයිනෙ…

කෑම කන්ඩකො චූටි පුතා…. මොකද්ද මේ??

ඔන්න අම්ම දහ පාරක් විතර කිව්වට පස්සෙ මං නැගිට්ට කෑම කන්ඩ….

අම්ම නං කාලත් ඉවර වෙලා එතකොට…

දැන් ඉතිං උදේටයි දවල්ටයි දෙකටම එකට කන්ඩයි වෙන්නෙ……. කී පාරක් නං කිව්වද කෑම නිවෙන්ඩ කලිං කන්ඩෙයි කියල…

අම්ම එහෙම කිය කියා එයා මහ මහ හිටපු ඇඳුමෙ වැඩ ඉවර කරන්ඩ මහන මැෂින් එක ලඟ ඉඳගත්ත

මං  කෑම බෙදාගෙන ඇවිල්ල වටපිට බැලුව….

ෆ්‍රිජ් එක ඇරල බැලුව….මොනවත් නැද්ද කටගැස්මක් කියල…

ඔහොම කැරකි කැරකි වටපිට බලන අතරෙ තමයි මගෙ ඇහැ ගැටුනෙ මේසෙ උඩ දීසියක් ඇතුලෙ තිබුණු අම්ම ගෙනාව තක්කාලි ගෙඩිය….

ඔය තියෙන්නෙ කට ගැස්ම…

කන එක රසට කන්ඩ එපැයි කියල මං ගත්ත ඒක අතට..

ඈ…………….!!! මේ තක්කාලි දාපු දීසියෙ කාසි දාල තියෙන්නෙ?? අම්මට අමතක වෙලාද??

තක්කාලි ගෙඩිය ගත්ත දීසිය ඇතුලෙ කාසි තියෙනව දැක්කම මට පුදුම හිතුණෙ අම්ම එහෙම දේවල් ආවට ගියාට දාල තියන්නෙ නෑති හන්දයි

ඕනෙ එකක්!!!! මං තක්කාලි ගෙඩිය අරන් ගිහින් සෝදල කෑලි කපල බත් එකට දාගත්ත……

කාල බීල සුනේත්‍රාගෙ මතක පොතත් අතට අරන් මං ආයෙමත් ඇඳට ගොඩ වුණා….

කවදත් කියවීමටයි චිත්‍රපට බැලීමටයි මං වැඩියෙන්ම කැමති ඇඳට…. ලැප්ටොප් එක ඇඳට අරගන්නව කියල මං අහන බැනුම් නං එමටයි!!

ඒත් පොතක නියම රසය දැනෙන්නෙ, චිත්ත රූප මවන්ඩ පුලුවන් වෙන්නෙ ඇඳේ වැතිරිලා ගිනි මද්දහනෙ වුණත් පොරෝන රෙද්දත් ඇඟේ ඔතාගෙන මටම ආවේණික ඉරියව්වෙන් පොත් කියවද්දි තමයි….

චූටි පුතා…………. කෝ මේ දීසියෙ තිබුණ තක්කාලි ගෙඩිය??

අම්ම එක පාරටම කෑගහල ඇහුවම පොත කියවමින් නොකියවමින් නින්දත් නොනින්දත් අතර දෝලනය වුණු මාව උඩ ගිහින් වැටුණ

මොන තක්කාලි ගෙඩියද?

එක පාරටම හිතාගන්ඩත් බැරි වුණ පාර මං ඇහුව…

ඇයි අර මං අපේ ගහෙන් කඩන් ආවෙ… ඔයා දැක්කෙ…

ඕං ඒ පාර තමයි පූර්වාපර සන්ධි ගැලපුනේ…

ආ…………. මං ඒක කෑවනෙ බත් කද්දි…….

ආ!!!!!!!!!!!!!!!!!!!!! ඒක මගෙ ෆෙංෂුයි තක්කාලි ගෙඩිය නෙ… ඔයා කෑවද ඒක?

මොන තක්කාලි කිව්ව????

මගෙ ඇරුණු කට වහගන්ඩත් අමතක වුණා ඒක ඇහුණම

ඒ ෆෙංෂුයි කලාව රටට හඳුන්වා දුන්න මුල්ම කාලෙ…. මං නං හාංකවිසියක් දන්නෙ නෑ ඒව ගැන ….

හැබැයි අතන මෙතන රතුපාටට කහ පාටට රත්තරං පාටට දිලිසෙන බෝඩ් තියෙන, බඩ තඩි පිලිමයක් ඉස්සරහ තියපු, ෆෙංෂුයි කියල ගහපු පුංචි කඩ නං  දැක්ක…

අපේ අම්ම අර තකහනියක් බලපු වැඩසටහනේ තිබිල තියෙන්නෙ  ඔය වගේ ධනය ආරක්ෂා වෙන්ඩ, අය වැඩි වෙලා වැය අඩු වෙන්ඩ, ආදී මෙකී නොකී සියලුම ගෘහාශ්‍රිත හා කුටුම්භාශ්‍රිත ගැටලුවලට විසඳුම් විදියට අනුගමනය කරන්ඩ පුලුවං ෆෙංෂුයි ක්‍රම ගැන…

ඔන්න ගෙදර වියදම වැඩි නං තක්කාලි ගෙඩියක් දීසියක දාල යන එන ගමන් ඒකට කාසි දාන්ඩ කියල ඒකෙ කිව්වලු…. ඊට පස්සෙ ඒක ගෙදර ඉස්සරහ ගහක් යට වලලන්ඩ කිව්වලු  හඳ තියෙන දවසක…..තව එක එක කෙම්පහන් තිබුණ මගෙ හිතේ ඒ විස්තරේ…………

මදැයි කොලා!!!!!!!!!!

මං කාල තියෙන්නෙ අපෙ අම්ම චන්ද්‍රා ආන්ටිටත් කියල හා හා පුරා කියල කරන්ඩ ගත්ත ෆෙංෂුයි වැඩේට ගෙදර ගහෙන්ම ගෙනල්ල දීසියෙන් තියාපු තක්කාලි ගෙඩියනෙ!!!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

13 Responses to ෆෙංෂුයි තක්කාලි…!!!

  1. mekuwi says:

    අය්යෝ සල්ලි.. ජනුත් හරි වැඩ තමා කරන්නේ.. අපේ අම්මත් ඕව හරියට බල බල ලියාගන්නවා ..හැබය් පොතේ විතරය්.. මන් හිතන්නේ මට මතු ප්‍රයෝජනෙකට ගන්න වෙන්ඩැති..

  2. google says:

    ඔය ෆෙංෂුයි වලට රැවටෙන්න ඵපා

  3. අපේ නැන්දම්ම එකපාරක් අරන් ආව තඩි ගෙම්බෙක්… ඌට කකුල් තුනයි තියෙන්නෙ… කටේ කාසියක්… මේකව ගෙයි තියාගත්තම සල්ලි වැඩිවෙනව කියල.. ඒ දවස්වල හෙන සැලකිලි… දැන් ඌව තමා දොර හුළඟට යනවට තියන්න ගන්නෙ.. 😀

  4. පෙන්ෂුයි තක්කාලි කිව්වා නේද හික්.. අයියෝ සල්ලි. මමත් ඔහොම කතාවක් අහලා තියනවා. ඒ උනාට නොදන්න දෙයියන්ට වඩා දන්න යකා හොදයි කියලා හිතන කෙනෙක් මම. ජය…!

  5. ancsi says:

    ඉතා වැදගත් වැදගත් ලිපියක්
    http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html

  6. හයියෝ මේකි කරන වැඩ! හැබැයි උඹ කරපු වැඩේ වඩා ප්‍රයෝජනවත් ඇති මං හිතන්නෙ. 🙂

  7. vimukthi says:

    ඇයි ලාෆින් බුද්ධා,
    මේ ලංකාව නිසා පුදුමවෙන්න දේකුත්නෑ අප්පා.මොකද තවටිකදවසකින් බුදුවරුම දෙන්නෙක් බිහිවෙනව නොවැ ලංකාවෙන්..එහෙව්එකේ….

  8. අපොයි ෆෙංෂුයි. මට නම් තේරෙන්නෙම නෑ ඔය වැඩේ.මේ ලගදි මං යාලුවෙක්ගෙ ගෙදර ගියා.එයාගෙ කාමරේ ජනේලෙ කැටයම් දාපු ලස්සන වීදුරු බෝලයක් එල්ලලා.මේක ලස්සනයි බං කිව්වාම කියනවා ඒ බෝලෙ ෆෙංෂුයි වල ගැජට් එකක්ලු.අම්මලු ගෙනත් එල්ලුවෙ.මං ඇහුවා ඕකෙන් මොකෝ වෙන්නෙ කියලා.මට හම්බ වුන උත්තරේ තමා “කවුද දන්නෙ බං” කියන එක. 😀

  9. hare :-) says:

    ෂෙන්ෂුයි කියන්නෙත් ආත්ම විශ්වාසය අඩු අය වෙනුවෙන් තියෙන එකක්. (ඒවගෙ ඒව තව තියෙනව) මම ෂෙන්ෂුයි පිළිගන්න කෙනෙක් නෙවෙයි. නමුත් ෂෙන්ෂුයි කියන්නෙ වැරදි දෙයකුත් නෙවෙයි. ඒකෙ තියෙන ගොඩක් දේවල් මනස්ගාත වගේ පෙණුනට ඒ පිලිවෙත් සමහරක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත අඳුණගෙන ඒ අනුව දියුණු කරපු දේවල් කියල හිතෙනව. විශේෂයෙන්ම ගෙයක් ඇතුලෙ ටිකක් ප්‍රිය මනාප ගතියක හැදුනම නිකංම හිත කූල් වීම වගේ දේවල්.

    ඒ වුණාට සැලකිය යුතු තරමක් තියෙන්නෙ වවාගෙන කෑමක් තමයි. අවුරුදු 7-8ක් ඇතිනෙ ඕව ලංකාවට ඇවිත්. ඊට කලින් හිටපු අය අසාර්ථකව ජීවත් වුණේ නෑනේ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s