ඔපරේෂන් බිංගෝ…!!!

එන්ඩ එන්ඩ දුවේ… අපි මේ මග බලන් හිටියෙ අලුත් ජෝඩුව එනකල්!!

ආත්තම්ම අපිව ආදරෙන් පිලිගත්ත… පුංචි එකාව වඩාන අරවින්ද බාප්පත් ගේ ඇතුලෙ ඉඳන් ආවෙ අපි ආව සද්දෙට…

අනේ….. අක්කෙ… මේ බලන්ඩ….. මේ බලු පැටියට මොකද්ද මේ වෙලා තියෙන්නෙ??

අපේ පෙම්බරයගෙ නංගිගෙ කෑ ගැහිල්ලට මං බැලුවාම තමයි දැක්කෙ ගෙයි ඉස්තෝප්පුවෙ මුල්ලක ගුලි වෙන පුංචි බලු පැටියව…

අනේ පස්ස කකුල් පණ නෑ නේද??  උගේ ගමනේ වෙනසක් දැක්ක මට කෑ ගැස්සුනා

නංගි දුවගෙන ගියා ඌ ලඟට

හා හා… ඕකව අල්ලන්ඩ එපා…

අත්තම්ම කෑගහනකොටත් අපේ නංගි බලුපැටියගෙ  ඔලුව අතගානව…

අනේ අරවින්ද බාප්පෙ මූට මොකද මේ වෙලා තියෙන්නෙ….

ආව ගමනත් අමතක වෙච්ච මාත් එතෙන්ට යන ගමන් ඇහුව…

මූ මේ පස්ස පණ නැතුව පාරෙ හිටිය.. හාමත් වෙලා හිටියෙ….. මං අරන් ආව….

කන්ඩ දුන්නට පස්සෙ ආපහු ගියේ නෑ….. ඔහෙ වැටිල ඉන්නව…මේ පොඩි එකත් ඉන්න හන්ද මූ තියාගෙන ඉන්නව කියල අත්තම්ම මට බනිනව… දැන් ඉතිං එලවන්ඩයැ….

අරවින්ද බාප්ප කිව්ව..

අපි මූව කොළඹ අරන් යමුද?? පාරෙ ඉන්න නන්නාඳුනන බල්ලොන්වත් හුරතල් කරන අපේ පෙම්බරය ඇහුව…

හා!!! ඒ මං

මේකි බැල්ලියෙක්…. ඒ මදිවට පස්සත් පණ නෑ…  ඔයාලට කරදරයක් වෙයි….අරවින්ද බාප්ප කිව්ව

කමක් නෑ බාප්පෙ… අරන් ගියාට කමක් නැත්තන් අපි අරන් යන්නං… ඒ අපේ නංගි…

කෝකටත් අක්කටත් කියන්ඩ… නැත්තං මට බැනුං අහන්ඩ වෙයි අබ්බගාතයෙක් දුන්නයි කියල ඉස්සෙල්ලාම ගෙදරට ආව වෙලාවෙ…

නෑ නෑ…. අම්ම මොනවත් කියන්නෙ නෑ…

අම්මෙ අනේ මේ බලු පිටියගෙ පස්ස පණ නෑ… අපි අර දොස්තර මහත්තයට කියල මූට මොනව හරි බෙහෙතක් අරන් දෙමුද?? ඊට පස්සෙ අපි මේකව අරන් යනව….

ඈ කොළඹ අරන් යනව??

ඔවු…

අම්ම සද්ද නැතුව හිටිය…

ඒ අවසරයෙන් නංගි එහාට දිව්ව මෙහාට දිව්ව

ආත්තම්මගෙන් පරණ රෙදි කෑල්ලකුත් ඉල්ලාන බලු පැටියව ඒකෙ ඔතා ගත්ත.

වාහනේට දාගෙන පෙම්බරයගේ ගෙදරට අරන් ආව…

වෙලාවට පශු වෛද්‍ය කාර්යාලෙත් තියෙන්නෙ ගෙදරමනෙ…

ඉතින් කරුණාවන්ත දොස්තර මහත්තය බලු පැටියට බෙහෙත් විද්ද…

කන්ඩ බොන්ඩ විතරක් නෙවෙයි අවධානය සැලකිල්ල හා ආදරයත් ලැබෙන බව තේරුම් අරන් තිබුණ බලු පැටිය සනීපෙට ගුලි වෙලා නිදා ගත්ත…

ඒ අතරෙ අම්ම හොරෙන්ම මට  ලං වුණා

දුවේ… දැන් ඔයාල මේ කසාද බැන්ද අලුත… තව ගෙදර වත් දෙන්නගෙ වැඩ වත් පිලිවෙලක් කරගෙන නෑ.. ඒ අස්සෙ මේ ඇවිදින්ඩවත් බැරි බල්ලෙක් ගෙ වැඩ පටලවගන්ඩ එපා…

ඌ එහෙ අරන් යන්ඩ එපා මෙහෙ හිටපු දෙන්….

මෙතන දොස්තර මහත්තයත් ඉන්නව… ඌව බලාගන්ඩ බැරියැ අපිට….

අම්මගෙ කතාවෙ ඇත්තක් තියෙන හන්ද මට එකඟ නොවී බැරි වුණා… පෙම්බරයත් අකමැත්තෙන් වගේ කැමති වුණා බලු පැටියව අම්ම ලඟ දාල එන්ඩ…

පහුවදා බලද්දි බලු පැටියට තරමක් සනීප වෙලා තිබුණ.. පස්ස කකුල් දෙක බිම ඇදගෙන යන්නෙ නැතුව යන්තම් අඩිය තියා ගන්න තරමට සනීප වෙලා තිබුණ…

ඒත් අම්ම අපිට ඌව අරන් එන්ඩ දුන්නෙ නෑ..

මේ ලඟදි අපි ගමේ ගිය වෙලාවෙ ඌව දැක්ක නෙ… දැන් තරමක් වැඩිල… පස්ස ගාත් දෙකේ නම් තාමත් පණ නැති ගතිය තියෙනව… නංගි නං හරිම ආදරෙයි ඌට….  ඌත් නංගි පිටි පස්සෙන්මයි… අපි එක්කත් හරිම හිතවත්…

අක්කෙ දැන් ඌට සෑහෙන්ඩ හොඳයි  නේද?? සමහරු නම් බනිනවලු… ගෙදරටවත් වගතුවක් නෑ ඔහොම සතෙක් ඉන්නකොට කියල… හරි වැඩක් නෙ….එතකොට අබ්බගාත ළමයෙක් හම්බවුණොත් ඒ ළමයවත් ගෙදරින් එලවනවද??

අපේ නංගි පොඩි වුණාට හරි තරහෙන් එහෙම අහනව…

මිනිස්සු ඔහොම තමයි නංගි… ඒව ගනන් ගන්ඩ එපා… අපි මූව බලාගනිමුකො… ඌව අතරමං කරන්ඩ බෑ නෙ අපිට… මං හිත හදනව..

ඔන්න එක කතාවක් ඉවරයි…

දැන් අනිත් කතාව…

ඕයි අක්කෙ… මට කියන්ඩ අමතක වුණා නෙ.. අපේ සයිට් එකට ඇවිල්ල ඉන්නව ලස්සන බල්ලෙක්.. බූල් පිරිල….  අපේ සයිට් එකේ මිනිස්සු කන්ඩ දීල දැන් එතනම ඉන්නව.. ව ටික දවසකින් සයිට් එක වැහුවම ඌට කන්ඩත් නැතුව මැරිල යයි… අපි අරන් එමුද??

හා ගේමු!!!!

අපේ මල්ලි ඇහුවාම මගෙ හිත කිව්ව උත්තරේ නං ඕකයි..

ඒත් කලින් වතාවෙ අම්ම දුන්න අවවාදෙත් මතක් වුණා.. ඒ විතරක් නෙවෙයි පෙම්බරයගෙන් අහන්ඩත් ඕනෙ නෙ එයා කැමතිද කියල…

ජනූ  අපි කොච්චර ආස වුණත් අපේ ගෙදරට බල්ලෙක් හරි යන්නෙ නෑ නේද?? අපි දෙන්නම ගෙදර එන්නෙ රෑ වෙලා… බල්ලෙක් හදන්ඩ ගත්තොත් ඌට පාලු වෙයි මෙහෙ…  එතකොට උන් පවු නෙ නේද??

කලින් වතාවෙත් එයා  එහෙම කිව්ව…

මං යජිත්ගෙනුත් අහල කියන්නංකො ඔයාට…. කියල කිව්වෙ ඒ හන්දයි.. ඒත් හිත යට නං තිබුණෙ ඌව ඕනෙමයි කියලයි…

අනේ මන්ද ….ඔයා කැමති නං අපි ගේමු….. හැබැයි ඉතිං ඌට තනියම තමයි ඉන්ඩ වෙන්නෙ…. අනික ලොකු බල්ලෙක් නං ඌ අපිට කීකරු වෙයිද දන්නෙත් නෑ නෙ….

ඌව හදාගත්ත කට්ටිය  කොහෙ හරි ගිහින් බලා ගන්ඩ වෙන තැනකට දීල ගිහින්ලු… අරගන්ඩ ආපහු ඇවිල්ල නෑ… බලාගන්ඩ පොරොන්දු වෙච්ච කාලෙ ඉවර වෙච්ච හන්ද ඒ ගෙදරින් මූව එලියට දාලලු… පවු නේද??..
කොයි එකටත් අපි ගිහින් බලමුද??
මං ඇහුව…

පෙම්බරය ඔලුව වැනුව

ඒ පාර මල්ලිත් එක්ක අපි කට්ටිය ගියා…

දැන් සති ගානක් වුණා… කවුරුත් එන පාටක් නෑ  ඌව ගෙනියන්ඩ…. ඌ ඉන්නෙ සයිට් එක ඇතුලෙ… අපි උපුල්ට කතා කරල කියමු ඌව එලියට එක්කන් එන්ඩ කියල.. ඌ උපුල් පස්සෙන් එනව…. හැබැයි බැල්ලියෙක්!!!

 

මල්ලි එහෙම කියල උපුල්ට කිව්ව ඌව එලියට අරන් එන්ඩ කියල…  අපි දංවැලකුත් අරන් ගියා…ඌව අරන් එන්ඩ වෙන්නෙ ට්‍රක් එකේ පිටි පස්සෙනෙ

අපි මොකද්ද දැන් මූට කියන නම… අපේ මල්ලිගෙ පෙම්බරී ඇහුව…

සීබ කියමු.. ඒ තිලිණි…

නෑ අපි බිංග කියමු.. නෑ නෑ බිංගෝ හොඳයි

ඒ අපේ මල්ලි…

ඔපරේෂන් බිංගෝ!!!

එතන ඉඳන් බල්ලාව මුදාගනීමේ මෙහෙයුමට ඒ නම වැටුණ

අන්න ඉන්නව….!!! මල්ලි ඈත තියාම අපිට බල්ලව පෙන්නුව….

ලස්සන බූල් පිරිච්ච බල්ලෙක්… හැබැයි හඩුම හඩු වෙලා…

අපි ට්‍රක් එක නැවැත්තුවාම උපුල් ඇවිත් ට්‍රක් එකට නැග්ග… ට්‍රක් එක ලඟට ආව බල්ලා උපුල් දිහා බල බලා උඩ පනින්න පටන් ගත්තා… ට්‍රක් එක යන්ඩ පටන් ගත්තාම ඌ පස්සෙන් දුවගෙන ආව….

උපුල් පාත් වෙලා ඌව ට්‍රක් එක ඇතුලට අරගත්තා!!!!

ඔන්න ඔපරේෂන් බිංගෝ පාට් වන් ගොඩ!!!!

බිංගෝ හරිම සුවච කීකරු බල්ලෙක් වග පෙනුණා…
එයාට අපි කියන ගොඩක් දේවල් තෙරරෙන බව තමයි පෙනුනෙ…

යන ගමන්ම දොස්තරෙක්ටත් පෙන්නගෙනම ආවෙ වැඩි හොඳටයි…

මෙයාට අවුරුදු හයක් විතර වයසයි… කකුලෙ අමාරුව නං කවුරු හරි ගහල ඇති වෙච්ච එකක් වගේ… ඔයාල ගෙදර හදනව නං අනිවාර්යයෙන්ම රේබීස් විදින්ඩ ඕනෙ… දැන් විද්දොත් ඔයාලට මෙයාව නාවන්ඩ බෑනෙ.. ඒ හන්ද නාවල හෙට අරන් එන්ඩ.. ඊට පස්සෙ අපි බලමු.. කෙට්ටු වෙලා තියෙන්නෙ නං කෑම නැතුව….කෑම ටිකක් හෙම වැටෙද්දි ඒව හරියයි…‍මොනව වුනත් හොඳ බල්ලෙක්!!!

අපේ විස්තරේ අහල බල්ලව පරීක්ෂා කරපු දොස්තර මහත්තය කිව්ව..

අපි දෙන්න එකතු වෙලා බල්ලව නෑව්ව….!!

කිසිම කරදරයක් කරන්නෙ නැතුව හරිම අහින්සක තාලෙට හිටිය…

හැබැයි හොඳටම රෑ වෙලා නාවපු නිසා ඉක්මනට වේලන්ඩ වෙයි කියල පෙම්බරය එයාව වේලන්ඩ මගේ හෙයා ඩ්‍රයර් එක පාවිච්චි කරන්ඩ හදනවට නං එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ….

ඒ පාර අපි ෆෑන් එකක් යට එයාට ඉන්ඩ දීල  කෑම දුන්න…

අනේ දෙවියනේ!!! මං හිතන්නෙ හරි හමං කෑමක් ලැබිල නෑ සෑහන කාලෙකින්!!

මගෙ ඇස්වල කඳුලු පිරුණ ඌ කන හැටි දැක්කම…

කාල බීල ගෙදරින් එලියට ගිහින් වත්ත වටේ රවුමක් දාල ගෙට ආව බිංගෝ අපි පේන තැන් වලම ගැවසුනා!!

අපේ මූණු දිහා බලන් ඉන්ඩ පටන් ගත්ත

හරියට ඔයාල මේ මට ආදරේ ඇත්තටම නේද?? කියල අහනව වගේ

අපි දෙන්න බිම වාඩි වෙලා කතා කරකර ඉන්නව නං එතෙන්ට ඇවිල්ල වැතිරුණා….

නෑමෙන් සහ කෑමෙන් සැපවත් වෙලා හිටිය හන්දද කොහෙද නිදා වැටුණ…

මම ඔලුව අතගානකොට එයා උඩු බැල්ලෙන් පෙරලෙමින් සෙල්ලම් පෙන්නන්ටත් පටන් ගත්ත….

කොහේ හරි හුරතලේට හැදිච්ච එක්කෙනෙක්!!!

ඌට හිතාගන්ඩ බැරි වෙන්ඩ ඇති ඌව මෙහෙම අතරමං වුණාම නේද??

ඌට මොනව හිතෙනව ඇතිද?? මං කියන්නෙ දැන් මේ උගේ කකුල රිදෙද්දි ඌටත් අපිට වගේ ගහපු මනුස්සය ගැන තරහක් හිතට එනව දන්නෙ නෑ.. පෙම්බරය කිව්ව…

මෙයාලට එච්චර මොලයක් නං නැතුව ඇති… ඒත් ඉතිං වේදනාව අපි හැමෝටම එකයි නෙ….

දැන් අපි ගැන කොච්චර විශ්වාසයක් තියලද මේ මෙහෙම වැටිල ඉන්නෙ??

මගෙ ඇස්වල කඳුලු පිරුණෙ  ඇයි කියන්ඩ මමම දන්නෙ නෑ…

මොකද ඔයා අඩන්නෙ?? පෙම්බරය මගෙන් ඇහුව…

ඒ වෙලාවෙ  බිංගෝට සිද්ද වෙලා තිබුණු දේ ගැන දරාගන්ඩ බැරි දුකක් මගෙ හිතේ තිබුණ…

මිනිස්සු බල්ලොන්ව හදන්ඩ ගන්නෙ ඇයි සලකන්ඩ බැරි නං….!!!

අනිත් අතට අපි බිංගෝව අරන් ආව එක ගැන මට ලොකු සතුටක් දැණුන…

මගේ කඳුලු සතුටටද දුකටද කියල හිතාගන්ඩ මටවත් බැරි වුණා…

අඬන්ඩ එපා ජනූ දැන් එයා හොඳින් ඉන්නවනෙ…

පෙම්බරය ඉතිං කවදත් මගෙ කඳුලු දකින්ඩ කැමති නෑ නෙ…

මොනව වුනත් අපි දෙන්නටම පුදුම සතුටක් දැණුන අපි කරපු දේ ගැන!!!

දැන් තමයි මගෙ සුපුරුදු දේශනාව පටන් ගන්නෙ…

මට තේ රෙන්නෙ නෑ ඇයි මිනිස්සු සත්තුන්ව හදන්ඩ අරන් අත ඇරල දාන්නෙ කියල… එක අතකට පුදුමයක් නෙවෙයි නෙ නේද??

වදපු අම්ම තාත්තවත් පාරෙ ගෙනල්ල දාන මිනිස්සු අපි අතරෙ ඉන්නවනෙ….

දැන් ඔයාල මූව හදන්ඩ ගන්නෙ මූ හොඳ ලස්සන බල්ලෙක් හන්දනෙ… වගේ කතාත් අපිට ඇහුණ මේ වැඩේ අස්සෙත්….

මට ඒ ගැන හිතෙන්නෙ මෙන්න මෙහෙමයි

සතෙක් හදන්ඩ ගන්නව කියන්නෙ අපි එයාව එයාලෙ පුරුදු ජීවිතෙතන් ඈත් කරල වෙනම ජීවන රටාවකට පුරුදු කරනව කියන එක… එයා ආයෙමත් සාමාන්‍ය බල්ලෙක් වෙන්නෙ නෑ…

පාර අයිනෙ ඉපදිලා ජීවත් වෙන බල්ලෙක්ට වඩා මෙහෙම හදන්ඩ අරන් අතෑරල දාන බල්ලෙක් අසරණයි!!!

අනික උන්ව බලාගන්න තැන්වලින් පවා නියමිත කාල සීමාව ඉවර වුණාම උන්ව අතෑරල දාන්නෙ එතෙන්ටත් උන්ගෙන් ප්‍රයෝජනයක් නැති හන්දනෙ ..

එහෙම නැතුව අපේ බිංගෝ තව කාලයක් පැටව් වදන්ඩ පුලුවන් හොඳ ශක්තිවන්ත එක්කෙනෙක් වුණානං එහෙම එතනින් කීයටවත් එලියට දායිද??

අපි වෙන මොනවත් නොහිතා බිංගෝව ගෙදර අරන් එන්ඩ කැමති වුණේ

සතියෙ දවස්වලට ගෙදර අතුගාගන්ඩ වත් වෙලාවක් නැති මට දැන් තව කටකට කන්ඩ දෙන්ඩත් වෙලා

එයාට කාල පිඟාන හෝදන්ඩ බෑ… එතකොට කලෙන් වතුර වක්කරගෙන බොන්ඩත් බෑ නෙ…

ඉතින් අමතර වැඩ කීපයක් මට එකතු වෙලා….

තව නාවන්ඩ … එයාගෙ දිග ලෝම පීරන්ඩ… බෙහෙත් විදින්ඩ එක්කන් යන්ඩ… වැඩ කීයක්ද??

සමහර දවසට මං පාරෙ ඉන්න බල්ලන්ට අපි දෙන්නට හවසට කන්ඩ ගේන බනිස් දෙකෙන් එකක් දීල  ආව හන්ද අපි දෙන්න එක බනිස් ගෙඩිය කාපු වෙලාවල් තියෙනව…

අනික් අතට අපේ ගෙදර ඉන්න බව්ව “රොවා මල්ලි”  බත් කන්නෙ නැත්තං එයාට බටර් එක්කල බත් දෙන අපේ අම්මගෙ දුවනෙ මං

එහෙවු එකේ ඕක මහ වැඩක් නෙවෙයි නෙ…

කාලෙකින් ඇවිල්ල මහ හෑල්ලක් ලියල ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්ඩ තියෙනව මට…

අනේ සතෙක් හදන්ඩ ගත්ත නං ඌට හරි විදියට සලකන්ඩ….

ඒ කියන්නෙ මේ  සුර සැප දීල  බල්ලව මල් යහනාවක තියන්ඩ කියල නෙවෙයි…

ඒත් තේරුම් ගන්ඩ

සත්තු කියන්නෙත් අපිට වගේම දුක සතුට වේදනාව දැනෙන කොට්ඨාසයක්!!!

වෙනස වචනවලින් ප්‍රකාශ කරගන්ඩ බැරි එක විතරයි…

ප/ලි: අපේ බිංගෝගෙ පින්තූරයක් අද හවසට එල්ලනකල් ඉවසන්ඩලා

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

22 Responses to ඔපරේෂන් බිංගෝ…!!!

  1. Buru පවසයි:

    නියම පෝස්ට් එකක් ජනු.
    බල්ලෝ කියන්නේ අපි වගේම කෙනෙක් කියලා කීයෙන් කී දෙනාද හිතන්නේ?

    මේ ළඟදි දවසක මගේ යාළුවෙක්ගෙන් මම ඇහුවා කොහොමද අනේ බල්ලෝ ගොඩාක් ඔයා හදන්නේ කියලා. එයා උපහාසෙට හිනා වෙච්ච විදිය තාමත් මට මතකයි.
    ලෝකේ තියෙන වැඩියම ආදරේ දෙන්න පුළුවන් බව්වෙක් මට හදන්න පුළුවන් වුනත් මගේ බිසි ලයිෆ් හින්දා එයාගේ නිදහස එයාට ඕන ආදරේ බෙදා හදා ගැනීම් අඩු වෙයි කියලා මම බව් බබෙක් අපේ ගෙදරට ගේන්නේ නෑ. හවසට ගෙදර එනකොට බව්වෙක් හිටියා නම් මේ ජීවිතය මොන තරම් වෙනස් වෙයිද කියලා දුක් වෙන අවස්ථා තිබ්බත් හැමවෙලේම එයාගේ පැත්තෙන් හිතලා අපේ ගෙදරට බව්වෙක් ගේන්නේ නෑ මම. ඒත් හවුලේ බෙදා ගන්න බව්වෝ බොහොමයක් මට ඉන්නවා. ඒ කියන්නේ මට නිවාඩු නම් මගෙ යාලුවාන්ගේ බව්වෝ එක්ක පාක් යන්න දුවන්න යන්න එයාලට බේබිසිටින් කරන්න වගේ දේවල්.

    කෑම වේලක්ම දුන්නට බව්වන්ගේ ලෝකේ පිරෙන්නේ නෑ. එයාලට හම්බ වෙන ආදරේ තරම අපිටත් කරදරයක් නොවී හැමදාම එකම විදියට තියෙනවා නම් ….?
    ඉස්සර මට තෑගි හම්බ වුනා පූස් බබෙක්. ඒ කාලේ මගේ එක්ස් මට නිතරම කියන්නේ අපෝ මෙයාට තියෙන දේවල් මට කවදාවත් හම්බ වෙලා නෑ කියලා. ඒ දෙන්නා අතර බෙදාගැනීමේ අවුල්ත් තිබ්බා. ඒත් මම ගෙදර නැත්නම් එයාල දෙන්න හෙන යාළුවෝ. ඒ මොනවා වුනත් ඕන රෑක මීචො බබාගේ කෑම ගන්න බෙහෙත් ගන්න කියන්නත් කලින් දුවගෙන එන්නත් සැදී පැහැදී හිටි හින්දා ලොකු අවුල් වුනේ නෑ. මීචො බබාත් කන්න බොන්න හෙම ආසා වෙලා හිටියේ එසේ මෙසේ දේවල් නෙමෙයි. මාසේ අන්තිමට මගේ වැටුපෙන් භාගයකටත් වඩා එයා අයිතිකරගෙන හිටියේ. ඒ දවස් මතක් වුනේ ජනූ ගේ පෝස්ට් එකෙන්.

  2. henryblogwalker පවසයි:

    අනේ අපිනම් බල්ලන්ට ආදරේ වුනාට, බල්ලො හදන්න අදහසක් නෑ.මොකද එක පාරක් මූන දෙන්න සිතුවෙච්ච අමිහිරි අත්දැකීම් හන්දා.
    අනික ඔය කැපවීම කරන්න අපිට බෑ, ඒ මොකද අපිට කැමති දිහාක කැමති වෙලාවක ගිහින් කැමති දවසක ආපහු එන්න තියෙන්න ඕනෙ. බල්ලො ඉන්නකොට උන්ව බලා ගන්න මිනිස්සුත් හොයන්න එපායැ.
    බිංගොව මතක් කලැයි කියාපං.

    • ඇත්ත අයියෙ, ඔයාල වගේ ම නිදහසට කැමති අපි දෙන්නටත් අපේ ජීවිතේ දේවල් ගොඩක් සීමා වෙයි බිංගෝ හන්ද.. මට ඕනෙ නං තිබුණ ඈත ඉඳල මල්ලි එයාව පෙන්නුව වෙලාවෙ එපා කියන්ඩත්… ඒ වුණත් ඌව දැක දැක මට එහෙම කරන්ඩ හිත දුන්නෙ නෑ… අනික හුරතල් සතෙක් නැතිව ගෙදරක ඉන්ඩ මට බෑ මං හිතන්නෙ…
      හා මං කියන්නංකො බිංගොට ( උඹ නිකං බිංගොව මතක් කරන්ඩ කිව්වම මට අපේ ගමේ අංගොව මතක් කරන්ඩ කිව්ව වගේ හිතුණා)

  3. නිසුපා පවසයි:

    කියන්න දෙයක් නැහැ අක්කේ..කියන්න ඕනෙ ටික එහෙම්මම කියලා තියෙනවා.අපිත් අලුත් සාමාජිකයෙක් ගෙනාවා.ගේනකොට එයාගෙත් ඇඟ පුරාම මැක්කොයි,තව සත්තුයි හිටියා.යාන්තම් බෙහෙත් කරලා දැන් ටිකක් අඩුයි.එයා නම් ගෙදරක හිටියෙ.ඒත් ජරා වෙලා.දැන් නම් සනීපෙට ඉන්නවා.අපේ අම්මත් කිව්වෙ හොද තැනකින් කෙනෙක් ගන්නවට වඩා මෙහෙම කෙනෙක් ගත්තාම පිනක් කියලා.

  4. nimsha පවසයි:

    10 Things Your Dog Would Tell You…. (This made me cry)
    1. My life is likely to last 10 to 15 years. Any separation from you will be painful: remember that before you get me.
    2. Give me time to understand what you want of me.
    3. Place your trust in me- it is crucial to my well being.
    4. Do not be angry at me for long, and do not lock me up as punishment.
    5. You have your work, your entertainment,and your friends. I only have you.
    6. Talk to me sometimes. Even if I don’t understands your words, I understand your voice when it is speaking to me.
    7. Be aware that how ever you treat me, I will never forget.
    8. Remember before you hit me that I have teeth that could easily hurt you, but I choose not to bite you because I love you.
    9. Before you scold me for being uncooperative,obstinate,or lazy, ask yourself if something might be bothering me. Perhaps I might not be getting the right food, or I have been out too long, or my heart is getting to old and weak.
    10. Take care of me when I get old; you too will grow old. Go with me on difficult journeys. Never say: “I cannot bear to watch” or “Let it happen in my absence.” Everything is easier for me if you are there, even my death.
    Remember that I love you.

    මේක මට හම්බුනේ බුකියෙන් අක්කේ..එත් මේක කියවද්දි මට හිතුනා අනේ එක ඇත්ත නේද කියලා .. සතෙක්ට උනත් ආදරය කරුණාව ඔනේ..මොකද එ අසරණයෝ අපිට වචනේන් කන්න ඉල්ලන්නද ..ඔයාලා කරලා තියෙන්නේ ගොඩක් හොද වැඩක්.

  5. මධුරංග පවසයි:

    අර නංගි කිව්වේ කටකාර මනෙක්කා ද ?
    මම් සාත්තරයක් කියන්නද.
    අක්කෑ පෙම්බරයා සත්තුන්ට ආදරේ කරන කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක් වගේ මට පේනවා !! ඒ වගේම තමා ඔය දෙන්නා ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලත් පේනවා. මම හරි නේද ?
    තව කියන්න නම් දේවල් තියෙනවා. ඒත් නිදිමත හරස් වෙලා. ඇස් දෙක ඉබේටම පියවෙන්ඩ හදනවා.

    මගේ කමෙන්ට් එක කටකාර මනෙක්කා නොදකීවා….. !!!! ඒස්වාඃ පුඃ !!!! 🙂

  6. sarath chandrasiri පවසයි:

    පහුනු දවස් වල පේන්ඩ නොහිටියේ මේ මිෂන් එක හන්දමද. (වෙන්ඩ බෑ.) කොහොම උනත් ඔයාගේ පනිවිඩේ වටිනවා. ජය…!

  7. Buratheno පවසයි:

    පුංචි කාලෙ ඉදන් සිද්ධවුන බලු-පූස් කතා ගොඩාක් මතක්වෙනවා බං මේ පෝස්ට් එක දැක්කහම.. ඒත් මට දැන් කම්මැලියි වගේ දිගට දිගට ලියාන්ට.. ඔන්න ඔහේ අතෑරලා දාමු.. 🙂

    මාත් දැන් කාලෙක ඉදන් බවුවෙක්/පූසෙක් හදන්නෙ නෑ.. මොකද මගෙ බිසී ජීවිතෙත් එක්ක උන්ට සලකන්න කාලය වෙන්කරන්න බැරි නිසා.. ලොකූ අඩුවක් දැනෙනවා හිතට, හුරතල් කරන්න සතෙක් නැති නිසා.. ඒත් ඒකෙ ප්‍රායෝගික පැත්ත කල්පනා කරලා මම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්නෙ.. 😦

  8. හ්ම් අපි දෙන්නත් ඕක ගැන සෑහෙන්ඩ හිතුව අයියෙ… දැන් අපි දෙන්නට හිතුණ ගමන් කොහෙවත් යන්ඩ බෑ…. රෑ වෙද්දි බව්ව පවු කියල හිතෙනව… මම ගන්නවද නැද්ද කියල දෙගිඩියාවක් හිටියෙ යනකල් ම, එයාව දකින කල්ම… ඒත් දැක්කාම හිතුණ මොන හිතකින් දාල ගියාද කියල…මටත් ඒ වැඩේම කරන්ඩ හිත හදාගන්ඩ බැරි වුණා!!

  9. praveena පවසයි:

    පොඩ්ඩිට නම් එයා පණ වගේ ආදරේ කරන බලු පැටියෙක් ඉන්නවා. එයාට සලකන්නේ ලමයෙකුට වගේ. ලංකාවේ පොඩි දරුවෙකුටවත් එහෙම සැප ලැබෙනවද දන්නේ නෑ කියලා වෙලාවකට හිතෙනවත් එක්ක. මේ කතාවේ එන බලු පැටියන් එයා එහෙම නම් කියලා හිතෙන කොට ඇස් කඳුලින් පිරිලා ගියා.

    සත්තු ඇති කරන්ට ගන්න අය අනිවාර්යයෙන් එයාලව බලාගත යුතුයි. ඒකේ කතා දෙකක් නෑ ජනූවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )