නොදුටු හැඬුම….!!!!

ජේ වී පී  කැරලිකරුවන් ගම් වදින්ඩ වුණා….

කඩවල ගෙවල්වල මරණ තර්ජන අලවල ගිහින් තිබුණ.

ඒ විතරක් යැ…… හන්දි ගානෙ නාඳුනන, අඳුනන වෙනසක් නැතුව මිනිස්සු පිච්චුනා…

වෑන් එකේ ඉස්කෝලෙ යනකොට කිවුල්ගල්ල හන්දියෙ කඩේ ඉස්සරහ මිනී පහක් දුම් දම දම දැවෙනව පේන්නෙ නැති වෙන්ඩ අම්ම අපි දෙන්නව තුරුල් කරගෙන ඇස් පියාගන්ඩ කියන කොට අපි ඒක දැකල ඉවරයි…

එතකොටත් පණ තිබුණ වගේ ඒ ශරීරවල අතපය එහෙට මෙහෙට හෙලවුණා මට අදටත් මතකයි….

අපිට ඉස්කෝලෙ නිවාඩු දුන්න….

ඒත් ගුරුවරියක් වේචච අම්ම උදේට ඉස්කෝලෙ යන්ඩ පැය ගාණක් බස්හෝල්ට් එකේ ඉඳල ලොරියක එල්ලිලා ගියා…. ගෙදර ආවෙ රෑ වෙන්ඩ ඔන්න මෙන්න තියල….

උදේ ගෙදරින් වැඩට යන තාත්ත හැන්දෑවෙ ගෙදර එනකල් අපි බලන් හිටියෙ ගැහෙන හදවත් අතෙන් අරන්…

අම්මටයි තාත්තටයි මාස ගණන් පඩි ලැබුණෙ නෑ….

අල, පරිප්පු, කිරිපිටි දැකපු කාලයක් මතක නැති වුණා…

මල්ලියි මමයි සමහර දවසට වැඩට යන්ඩ විදියක් නැතුව ගෙදර හිටපු තාත්තයි වත්ත පුරා තිබුණ කිරි අල ගස් ඉගිල්ලුව…

අල ටික ගලවගෙන ආයෙමත් සීරුවට ඉන්දුවෙ කී කාලයක් තව මෙහෙම ගෙවෙයිද දන්නෙ නැති හන්දයි…

හාල් ටිකයි පොල් ටිකයි තිබුණ හන්ද හොඳයි…

කිරි අම්ම කිරි අල හොද්දයි, වත්තෙ අගල්වල හැදිච්ච කොහිල දලුයි අලයි, මැල්ලුමකුයි  ඔය මොනව මොනව හරි උයල දීල  අපේ සුදහ ගින්දර නිව්ව….

කිරි අල රහයි නේද අක්කෙ?? මලයට හරක් බරක් නෑ ඒ කාලෙ……

අපි ජොලියට කිරි අල හාරල කනව කියල හිතෙන්ඩ ඇති

කුසගින්න නිවාගත්ත අපි දෙන්න අන්තිමට ඉස්කෝලෙ  ගිය දවසෙ පන්තියෙ දැල්වල එල්ලිලා බලන් හිටිය ලොකු අයියලගෙ පෙලපාලිය රඟ දැක්කුව…

වත්ත පල්ලෙහාට ගිහින් පොලු උස්සගෙන…. ඒවගෙන් ගස්වලට තඩි බාන ගමන්!!

විදුලිය නැති හන්ද හැන්දෑවට ගෙදර මීක් සද්දයක් නැති වුණා..

රූපවාහිනිය අමතක කරපු අපි හැන්දෑවෙ ප්‍රවෘත්ති අහන්ඩ විතරක් බැටරි බලෙන් ක්‍රියා කරපු ගුවන් විදුලියෙ ප්‍රවෘත්ති ඇහුව.. වැඩි හරියක් තේරුණේ නෑ ඒ කියාපුව.. මෙච්චරයි වෙන්ඩ ඇති තේරුණේ….

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි.. මෙන්න ප්‍රවෘත්ති!! ප්‍රකාශය ……………….

පාලුව යන්ඩ ඒකත් ඇති ඒ දවස්වල අපි දෙන්නට…

ප්‍රවෘත්ති අහල ඉවර වෙලා හීන් හඬින් ගෙදර සාකච්චා වුණේ එදා දවසෙ දැකපු කියපු දේවල්!!

අපි දෙන්නව ඇඳට දැම්මට මොකද ඒ කතා වෙච්ච අපි දෙන්නට ඇහුණ…

අපේ සමීපතමයන් අතුරුදහන් වුන හැටි.. එයාලගෙ හිස නැති කඳන් අතන මෙතන තිබිල හම්බ වෙච්ච හැටි….මේව ඇහිල  දැකල අපි දෙන්න නිතරම බයවුණා… ඒව හීනෙන් දැකල

ගොම්මනේ සාලෙයි, කුස්සියෙයි භූමිතෙල් ලාම්පු දෙකක් පත්තු වුණාට රෑ වෙද්දි ඒව නිවල දාල හැමෝම කාමර අස්සෙ ගුලි වුණා…වෙඩි සද්දවල්, පාර දිගේ මහ හයියෙන් වාහන සද්දෙ රෑ මැදත් වෙනසක් නැතුව ඇහුණ….

දවසින් දවස අපේ බත් පතට ලැබුණු දේවල් අඩු වුණා… අපි දෙන්නත් පැමිණිලි කරන්ඩ ගියේ නෑ…

පොඩි වුණාට…අම්මයි තාත්තයි සල්ලි හොයන්ඩ වෙන මහන්සිය අපිට තේරුණා…

ඉස්සර ඉස්කෝලෙ ඇරිල එනකොට හැමදාම හැන්දෑවට තේ බොන්ඩ පෙරේරා බේකරියෙන් අරන් එන බනිස් ගෙඩිය නැති අඩුව නං දැණුන….

ඔහොම ඉන්න අතරෙ දවසක් තාත්ත වැඩට ගියා!!

කිරි අම්ම අසනීප වුනේ එදා…

අම්ම ස්වර්ණා ආන්ටිගෙන් රුපියල් පණහක් ඉල්ලගෙන දොස්තර ධර්මරත්නගෙන් කිරි අම්මට බෙහෙත් අරන් ආවෙ….

අන්තිමට අමාරුවෙන් වාහනයක් හොයාගෙන කිරි අම්මව ඉස්පිරිතාලෙ එක්කන් යන මගදිම නැති වුණා….

කලබල කාලෙ හන්ද මල ගෙදර කටයුතු ඉවර වෙලා ගෙදරින් හැමෝම හැකි ඉක්මනින් විසිරුණාම ආයෙමත් අර පාලුව දැනෙන්ඩ වුණා…

එක හැන්දෑවක තාත්ත ගෙයි දොරකඩට වෙලා ඉඳගෙන රෑට මහ හයියෙන් හඬ දීගෙන වාහන ගියාට දවල් දවසෙ වාහනයක් දකින්ඩවත් නැති වුණ පාර දිහා ඔහේ බලාගෙන හිටිය….

තාත්තෙ අනේ මාව ඔඩොක්කුවට ගන්ඩකො

පාලුව උහුලන්ඩම බැරි වෙච්ච තැන මං තාත්ත ලඟට ගියාට මොකද තාත්තගෙ කල්පනාව තිබුණෙ වෙන ඉසව්වක

තාත්තෙ මට ඔරු පදින්ඩ දෙන්ඩකො… මං තාත්තව හෙලෙව්ව….

අනේ  අද බෑ ලොකු බල්ලො…. වෙන දවසක කරමුකො අපි… මල්ලිත් එක්ක සෙල්ලමක් කරන්ඩකො….

අනේ තාත්තෙ… අනේ  අනේ…. මං බලෙන්ම තාත්තගෙ ඔඩොක්කුවට පැනල ඉඳගත්ත

බරා…….ස්!!!
මගේ බරට තාත්තගෙ සරම ඉරුණ….

මං දඩිබිඩි ගාල නැගිට්ට…

ඒක ලා කොලපාට පිජාමා සරමක්!!

අතරින් පතර තැඹිලි පාටයි දුඹුරුපාටයි කලවං වෙච්ච ඉරි තිබුණ බව පෙනෙන නොපෙනෙන තරම් ඒ සරම තුනී වෙලා තිබුණෙ….

ඒක ඉරිල ගියේ මගෙ බරට…

ඉරුවණෙ  ඉතිං සරම….. කවදාවත් නැතිව තාත්තගෙ  හඬ හැඬුම්බර වෙලා නිසා මම ගල් වුණා…

තාත්තගෙ ඇස්වල කඳුලු පිරිල…. ලොකු කඳුලු බෝල දෙකක් වැටිල ගලාගෙන යන්ඩ ඔන්න මෙන්න…

මට තිබුණ එකම සරම… ඒකත් ඉරුණ… දැන් මං අඳින්නෙ මොකද්ද??

තාත්තට ඇඬුණ….

ඉකි ගහ ගහ තාත්ත අඬන දිහා මං තුෂ්නීම්භූත වෙලා බලන් හිටිය…..

මට ඉවෙන් වගේ තේරුණා තාත්තගෙ දුක සරම ඉරිච්ච එකට වෙන්ඩ බෑ කියල… ඒත් මගේ අතින් වෙච්ච වරද නිසා මට එහෙම හිතල හිත හදාගන්ඩ බෑ නෙ….

තාත්තෙ අඬන්ඩ එපා තාත්තෙ… මං තාත්තව බදාගෙන  උරහිසට මූණ තියාගෙන හිටිය…

තාත්ත ඇඬුව….

කවදාවත් තාත්ත අඩනව නොදැක්ක මට ඒක පුදුම තරම් වේදනාවක් වුණා….

පපුව හිරවෙච්ච තරම කොච්චරද කියනව නං ඒ  වේදනාව එලියට පැන්නෙ මගෙ ඇස්වලින්…..

ලොකු කඳුලු ගුලි දෙකක් වෙලා….!!

ටිකෙන් ටික තාත්ත සන්සුන් වුණාම මං තාත්තව ඉඹල ඒ වෙනකොට අපේ ගෙදර එලියෙ තිබුණු වැසිකිලියට ගිහින් දොර වහගත්ත

ඒ අඬන්ඩ….. ඒක තමයි ඉස්සර මං අඬන තැන… කාටවත් පේන්ඩ නැතුව අඬන්ඩ ඕනෙ වුනාම මං යන තැන…

එදා හැන්දෑවෙ ආච්චි අම්ම (අපේ අම්මගෙ අම්ම) මගෙ අතින් ඉරිච්ච තාත්තගෙ සරම පාගන මැසිමෙං මහල දුන්නත් තාත්තව දකින දකින පාරට මගෙ හිත ඇතුලෙ පොල් කට්ටක් ඇවිලෙනකොට හෝ ගාල විදින ගිනි දල්ලක් වගේ එකක් දැල්වුණා…

මට තාත්තගෙ මූණ කෙලින් බලන්ඩ බැරි වුනා.. ඒ දිහා බැලුවොත් මට ඇඬෙයි කියල  මට බය හිතුණ..

තාත්ත ඇඬුවෙ ඇයි??

ඒ මං අතින් එයාගෙ සරම ඉරුණටමද??

නැත්නං තමන්ගෙ අම්ම නැති වුණ වෙලාවෙ ලඟ ඉන්ඩ බැරි වෙච්ච දුකටද??

නැත්තං තමන්ගෙ සමීපතමයන් අතුරුදහන් වෙන හැටි අහල දැකල ඒ ගැන ඇතිවුණු දුකින්ද එහෙමත් නැත්නං අනාගතේ ගැන බයකින්ද??

නැත්තං ඒ දවස්වල අපි ජීවත් වෙච්ච විදිය ගැන ඇති වෙච්ච කලකිරීම පිට වෙච්ච හැටිද??

තරමක් උස් මහත් වෙලා මොලේ පළල් වුණාම මට ඒ සිද්ධිය මතක් වෙන හැම පාරකම ඔය වගේ ප්‍රශ්න රාශියක් ඔලුවට ආව..

ඒත් ඒ ගැන තාත්තගෙන් අහන්ඩ හිතේ හයියක් තිබුණෙ නෑ….. තාත්ත නැති වෙනකල්ම..

ඒ සමහර විට මගෙ අතින් සරම ඉරුණ කියන එක වැරැද්දක් විදියට  මගෙ හිතේ තිබුණ හන්ද වෙන්ඩ ඇති…..

අද අහම්බෙන් මේ සිද්දිය හිතට ආවෙ කොහොමද කියන්ඩ මං දන්නෙ නෑ….

වෙනමම  දෙයක් ලියන්ඩ ඇවිල්ල ඒක අංශක එකසිය අසූවක්ම අනික් පැත්තට කැරකුණා….

දැන් ඉතිං මං ඒක කොහොම දැනගන්ඩද??

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

27 Responses to නොදුටු හැඬුම….!!!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    අක්කෙ, ඔයාගෙ අකුරු වෙලාවකට අපේ හිත් වල තියෙන බර අහකට විසික් කරලා දාලා අපේ මූණට බොහොම සැහැල්ලු හිනාවක් ගේනවා. ඒ හිතට එකතු වෙන සැහැල්ලු මිහිරි බව හිතේ දවසක් දෙකක් යනකල් තියෙනවා. මේ අද ලිපිය, ඔයාගෙ කලින් ලිපිය වාගේ ඒවා අර ගෙනාපු මිහිරියාව තරම්ම විශාල වේදනාවක් අපේ පපුව ඇතුලේ හිර කරනවා. මෙහෙම ඒවා ලියන්න එපා කියන එක නෙවෙයි හොඳේ මේ කියන්නේ. ඔයාගේ හැකියාව ගැන මේ කියන්නේ. ලියමන් වල තියෙන සමබර බව ගැන. අඬාගන්න බැරුව පපුව ඇතුලේ හිර වෙන වේදනාව දරාගෙන ඉන්න හරි අමාරුයි. මම මේ ලියන වෙලාවේ ඉන්නෙ එහෙම.

    ඔයා ලියලා තියෙන කාල වකවානුව ගැන මුකුත් කියන්න මට සමීප අත්දැකීම් නෑ. පිරිමි කෙනෙකුගේ ඇස් වල කඳුළු දකින එක හරිම අමාරුයි. ඒ තමුන්ගෙ තාත්තා උනාම… හ්ම්……….. 😥

    • තාත්ත අඩනව මම දැක්කෙ එදා විතරයි ද කොහෙද නගේ… ඒක නං දරාගන්ඩ හරිම අමාරු දෙයක්!!
      මං ලියන්නෙ ඒ වෙලාවෙ හිතට එන දේ… ලියල ගබඩා කරගැනිල්ලක් නෑ… සමහරවිට ඔයාලට ඔය දැනෙන්නෙ මේක ලියන වෙලාවෙ ඇත්තමට මගෙ හිතේ තිබුණු හැඟීමමයි…

  2. Buratheno says:

    මට මුකුත් මේකට කියාගන්න බෑ ජනුවො… 😦

  3. Buru says:

    ……………………………………!

  4. Ravi says:

    88-89 භීෂණ සමය……..

    උඹට තරම් සමීප අත්දැකීම නම් ඇත්තටම මට නෑ ජනූ…මම එතකොට රැකියාවක් කරනවා..ඔය මුලු කාලෙම මම අපේ සයිට් වල ගෙව්වෙ…තියන අවිනිශ්චිත තත්වය නිසා ගෙවල් වලිනුත් කිව්වෙ පුළුවන් තරම් ගෙදර නෑවිත් ඉන්නෙයි කියල.

    ඒත් ඒ මාස දෙහෙකට විතර පස්සෙත් ආපු දවසක… උදේ පාන්දර ආපහු වැඩට යන්ට මම අපෙ ගෙවල් කිට්ටුව නුවර – කොළඹ පාරෙ තියෙන බස් හෝල්ට් එකට ආව…වටින් ගොඩින් යන්තම් එළිය වැටීගෙන ආවට ඒ හෝල්ට් එක හරිය ගස් ගොන්න නිසා හරිම අඳුරුයි…

    ඒ හරියෙ කාලෙක ඉඳල වී මෝලකින් දහයිය ගෙනත් දාන හිස් ඉඩමක් තිබ්බ…මම දැක්ක යන්තමට ඔතන ගින්දරක් වගෙ ඇවිලෙනව..ඒත් දහයිය ගොඩ ගැහුනම මෝල් කාරයො ඇවිත් ගිණි තියල යන නිසා මම ඒ ගැන වැඩි හෝදිසියක් කලේ නෑ…තව පැය කාලක් විතර ගිහාම ඔන්න එළිය වැටුන…මම දැක්ක අර දහයිය ගොඩේ දර කොට වගෙ මොනවද තියනව…

    බිම තිබ්බ මයෙ මල්ලත් කරේ දාගෙන ගියා ඒ පැත්තට…ගියා තමයි…මිනී තුනක් එක ගොඩේ පිච්චෙනව…කෙල්ලෙකුයි කොල්ලො දෙන්නෙකුයි…ඒ දවස් වල මිනී හොඳට පිච්චුවෙත් නෑ. අනතුරු ඇඟවීමක් හැටියට අඳුනා ගන්ට පුළුවන් වෙන්ටයි එහෙම කලේ කියල කතාවකුත් තිබ්බ. ඇත්තකුත් ඇති මම හිතන්නෙ..ඔය ඒ කාලෙ මම අත්දැකපු එක සිද්ධියක්…මේක මොකක්ද?…තමන්ගෙ සහෝදරයො සහෝදරියො පාරවල් අයිනෙ පිච්චෙනව දැක්ක කී දාහක් ඉන්න ඇද්ද ඒ කාළෙ….විශාලා මහනුවර ඇස් පනා පිට දුටු සමය….

    හරි ඒක අතුරු කථාවක්…භීෂණ සමය ගැන උඹ ලියපු නිසා මට මතක් වෙච්චි එකක්…

    තාත්තගෙ හැඬුම ගැන ලියල තියන ටික නම් කියවන්ටත් දුකයි ජනූ…..අර සිත්තමී කියල තියනව වගෙ පිරිමියෙක්….වැඩුනු පිරිමියෙක්….විශේෂයෙන්ම පවුලෙ මූලිකය වුනු පිරිමියෙක් අඬනව කියන්නෙ බලා ඉන්ට අමාරු දර්ශනයක්….ඉස්තිරියාවො අඬනව වගේ නෙවෙයි…හෙහ්, හෙහ්, ඒ උදවිය ඉතින් කඳුළු අතේ අරන් නෙව ඉන්නෙ….ටැප් එක අරින්ඩ එවර් රෙඩී….

    තාත්ත එදා අඬන්ඩ ඇත්තෙ අර උඹ කිව්ව වගෙ ඔය ඔක්කොම සිද්ධීන් දරාගෙන ඉඳල බැරිම තැන වෙන්ට ඕන…උඹ සරම ඉරපු එක හේතුව නෙවෙයි ඒක තමයි උත්ප්‍රේරකය…Not the reason but the catalyst…..එහෙම දේවල් වෙනව…දැන් ඔය ඉතිහාසයට අහන්නෙ පළමු ලෝක මහා යුද්ධයට ආසන්නම හේතුව කුමක්ද?..උත්තරේ ඕස්ට්‍රියාවේ මහා ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම…ඒත් දශක ගණනාවක් තිස්සෙ ගොඩනැඟුණු කරුණු රාශියක් යුද්ධෙට හේතු උනා….වැඩේ පත්තු උනේ අර මනුස්සය මරපු එකෙන්..අන්න ඒ වගේ තමයි උඹලගෙ තාත්ත අඬාපු සීන් එකත්…

    හැබැයි එක අතකට උඹේ තියන දැඟලිල්ලට හරි කමක් නෑ සරම ඉරුන එකත් හොඳයි…මොකද ඔය හැඟීම් හිතේ හිරකරන් ඉන්ට ගිහාම කොයි වෙලාවෙ කොහෙං පුපුරල යයිද දන්නෙ නෑ…අඬල හරි වේගය මුදාහරින එක හරිම හොඳයි.

    හැබැයි මෙහෙම උනානම් වැඩේ කිසිම අඩුපාඩුවක් නැහැ සර්ව සම්පූර්නයි කියලයි බොලේ මට හිතෙන්නෙ…

    ඔන්න දවස් තුන හතරකට පස්සෙ මම දවල්ට කාල ඉස්තෝප්පුවෙ පඩිය උඩ වාඩිවෙලා හිටිය…අහසෙ සුදු වළාකුල් තරඟෙට දිව්වෙ හරිම හදිස්සියකින්..

    ලොකු බල්ලො…

    මම හැරිල බැලුව. තාත්ත ඇවිත් මගේ ලඟින් ඉඳගත්ත. මාව උස්සල ඔඩොක්කුවෙන් තියාගත්ත,

    මම ඔලුව උස්සල තාත්තගෙ මූණ දිහා බලා හිටිය ඇයි තාත්තෙ කියල ඇස් දෙකෙන් ඇහුව.

    බොලා මා එක්ක තරහද?

    තාත්ත කතා කලේ ඈත පේන ගේට්ටුව දිහා බලාගෙන…ඇස් දෙකේ කඳුලු බිංදුවකුත් තිබුනයි කියල මට හිතුන.

    මම තාත්තගෙ මූණ බලාගෙනම ඔළුව දෙපැත්තට හෙල්ලුව…

    නෑ තාත්තෙ

    හෙමිහිට මිමිණුව…..

    එදා මම ඇඬුවෙ බොලා සරම ඉරුවට නෙවෙයි චූටි පුතේ….මමවත් හරියට දන්නෙ නෑ ඇයි ඇඬුවෙ කියල…ඇඬුව නෙවෙයි ඇත්තටම ඇඬුන….උඹට මේව තේරෙන්නෙ නෑ තාම…ඒත් මම ඇඬුවෙ උඹ සරම ඉරපු නිසා නම් නෙවෙයි අන්න ඒක හිතා ගනින්…

    තාත්ත අන්තිම වචන කීපය කිව්වෙ මගෙ බෙල්ල බදාගෙන උරහිස උඩ නිකට තියාගෙන..

    හා තාත්තෙ

    මමත් කිව්ව….අඬපු හේතුවක් මට දැනගන්ට ඕන උනේ නෑ…තාත්ත ඇඬුවෙ මම සරම ඉරපු නිසා නෙවෙයි…මට ඒ ඇති හොඳටෝම…

    • බලපන් උඹ මට කියාගන්ඩ බැරිවෙච්ච සේරම ටික අගේට ලියල.. ඒ මදිවට අපූරු විශ්ලේෂණයකුත් එක්ක…
      වෙන මොනවද ඕනෙ ඉතිං??

  5. Gold fish says:

    හිතේ තියෙන දේවල් පුළුවන් ඉක්මනට අහන්න ඕනේ… නැත්තං පසුතැවෙන්න වෙනවා තමා…

    • ඕං අල්ලගත්ත කොණ මේකා… ඕනෙ එකක් ඔය අහන්ඩ කියෙන දෙයක් අදාල අයගෙං ඉක්මනට අහන එකයි ඇත්තෙ…
      ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියල දැං උඹම නෙව කිව්වෙ…

  6. අදනම් මම මොකුත් ලියන්නේ නෑ ජනූ.ජය..!

    • අනේ කමක් නෑ… කමෙන්ට් කරන්ඩම ඕනෙ නෑ බං අයියෙ…. මමත් ඔය උත්තර නොදී ඉන්නෙ උඹල කොච්චර ලියල ගියත්…
      රහක් තියෙනව කියල හිතෙනව නං කියවල ගියාම ඒ හොඳටෝම ඇති….

  7. රෝස කුමාරි says:

    හිතේ මහා ලොකු බරක් දැනුන මේක කියවල.

  8. සිඳු says:

    ජනූ අක්කගෙ තාත්තා වගේ දරුවන් ට ගොඩාක් සමීප මනුස්සයෙක් ඒ වගේ වචනයක් කිවුවෙත් හිතේ ලොකු බරක් තිබුන නිසා වෙන්න ඇති. ඒ දුක සරම ඉ රුණ නිසා වත්, යම් නිශ්චිත හේතුවක් නිසාවත් නෙමේ වෙන්න ඇති. අඬන්න හේතු ගොඩක් තියෙනකොට, පුංචි හේතුවක් මුල් කරගෙන අනිත් සේරම හේතු වලටත් එක්ක අපි අඬන අවස්තා ඕනා තරම් තියනවානෙ අක්කෙ…….

    මට හුස්ම ගන්නත් බැරි වුණා ජනූ අක්කෙ මේක කියවලා. අම්මා කියලා තියනවා මම අත දරුවෙක් කාලෙ මාවත් අරන් අම්මයි අප්පච්චියි අම්පාරෙ ඉඳන් මෙහෙ එනකොට නිවාඩුවට පාර දිගේ මිනී පිච්චුන හැටි. දවසක් ඇඳිරි නීතියත් දාලා තිබුණ වෙලාවෙ මාවත් අරගෙන අම්මා , පාස් එකකුත් අරන් දෙපාර්තමේන්තු වාහනේක අප්පච්චිත් නැතුව ආව විදිය…….. මට ඒ මොකුත් මතක නෑ.
    හැම සති අන්තෙම මාවයි අම්මවයි බලන්න රටේ හරියටම අනිත් පැත්තෙ ඉඳන් (ජේ වී පී / කලු බලලු උපරිමේටම තිබුණු පැත්තක් අපේ පැත්ත) අම්පාරෙ අප්පච්චි ආවෙත් මේ කාලෙ. මගෙ අප්පච්චි කොයි තරම් අවදානමක් ගන්න ඇතිද, එයාගෙ තරුණ කාලෙ එහෙම යන්න එන්න. කැරලි කාරයෙක්,ඔත්තු කාරයෙක් කියලා කවුරු හරි අල්ලන් යන්න තිබුණා නේද කියලා හිතෙනවා.

    • සමහර වේදනාවල් තියෙනව අපිට අඬල ඉවරකරගන්ඩ බැරි…. හැබැයි සමහර වේදනාවල් සමනය වෙන්ඩ නං එහෙම චිත්ත විරේකයක් වෙන්ඩ ඕනෙ…
      දැන් මේ මගේ සටහන හරහා ඔයාල කරන්නෙත් ඔයාලගෙ හිතේ තියෙන වේදනාවල් විරේක කරගන්න එක තමයි නගේ…

  9. praveena says:

    මොනවා කියන්ටද කියලා හිතාගන්ටත් බෑ ජනූ. පොඩි සටහනකින් ඔයා ලොකු කතාවක් කියලා තියනවා. හරියට එතන හිටියා වගෙයි දැනුනේ.

    තාත්තා අනිවාර්යෙන්ම ඇඬුවේ සරම ඉරුනට නම් වෙන්ට බෑ. එයාගේ හිතේ තදවෙලා තිබුනු වේදනා ඔක්කොම ඒ වෙලාවේ පිටවෙලා යන්ට ඇති. 😦

    මට නොතේරෙනදේ ඔයා හිටපු ගමන් පොඩි කාලෙට ගිහින් තියෙන්නේ ඇයි කියන එක.

    • මමත් දන්නෙ නැති හේතුවක් උඩ මෙ දවස්වල මම සැරිසරන්නෙ මගේ පුංචි කාලෙ මතකයන් එක්ක…
      ඒකට නිශ්චිත හේතුවක් නං නෑ පොඩ්ඩි අක්කෙ… ඒත් මං ඒකට හරි ආසයි…

  10. ප්‍රියන්ත says:

    මට මතක් වුණේ එකපාරටම ගිය අවුරුද්දෙ අගහරියෙ බුද්ධදෙව් දාස්ගුප්ත කියන විශිෂ්ට බෙංගාලි සිනමාකරුව ලංකාවට ඇවිත් කරපු වැඩමුළුව අතරතුරේ ඔහු අතින් කියවුණු කතාවක්. ඒක හරිම සංවේදී කතාවක්. එතුමගේ සිනමා කෘති කිහිපයකුත් පෙන්නුව ඒ දවස් ටිකේ හැන්දෑවෙ, රුසියන් කල්චරල් එකේ. එක දවසක පෙන්නපු ෆිල්ම් එකේ නම කාල්පුරුෂ්! තාත්තෙක් සහ පුතෙක් සම්බන්ද කාල ත්‍රිත්වයක් එකට සමපාත වුණු අපූරු අන්දරයක් ඒක. කෘතිය පෙන්නන්න කලින් එතුමට ආරාධනා ලැබුණ වචනයක් කියන්න.

    “මගේ දයාබර මිතුරනි, මේක මම කළේ මගෙ තාත්ත නිසා. මම තාත්තට ගොඩක් ආදරය කළා. එයත් එහෙමයි කියල මට හැඟුණ. ඒත් ඒක අපි කියන්න ගියෙ නැහැ. තාත්ත බලන්න ගිය හැම වතාවකම, එයා වයසට ගිහින් ඉද්දි පවා, අපි කතා කර කර ඉන්නව විවිධ දේ ගැන. ඒ අතරෙ හිටි ගමන් මට දැනෙන්න ගන්නව එයාගෙ සෙනෙහස… මට කියවෙනව, තාත්තෙ මට දෙයක් කියන්න තියෙනව ඔයාට….!! හැමදාම වගේ ඕක සිද්ධ වුණා. තාත්ත නැතිවෙනකම්ම මට කියන්න බැරිවුණා කියන්න තිබුණු දේ!! ඒ තාත්තෙ මම ඔයාට ගොඩක් ආදරෙයි කියල.!!!
    ජානුගෙ සටහනේ තියෙන්නෙත් ඒ ටිකම තමයි!

    • දෙන්ඩ උත්තරයක් නැතුව සෑහෙන්ඩ වෙලා කල්පනා කළා!!
      මොන දේ කතා කළත් වැඩක් නෑ අයියෙ අපිට එයාලට කියන්ඩ ඕනෙ දේ කියන්ඩ බැරි වුණාම.. ඊටත් වඩා එහෙම තියෙද්දි එයාල අපිව දාල ගියාම….

    • kathandarakaraya says:

      😦

  11. Nish says:

    හ්ම්ම්ම්ම්…………………..

  12. ලස්සනට ලියල ඔයා. තාත්ත ගේ හිතේ තිබුණු දුක පිටවුනේ එහෙම වෙන්ඩැති. නැතුව ඔයා චුටි දු සරම ඉරුව හන්ද නෙවෙයි. මම හිතන්නේ ඒක ඔයා ට එදත් පොඩි උනත් ඉවෙන් වාගේ තේරුනා. නේද? තාත්තගේ හිතේ මොකක්දෝ ලොකු දුකක් තීනවා කියල. මම හිතන්නේ ඔයා අච්චර එදා ඇඩුවේත් ඒ තාත්තට මොකක් හරි කියාගන්න බැරි දුකක් තියෙනවා කියල ඔයාට දැනුනු නිසයි.

  13. Susara says:

    මුලින්ම හිතුනේ වෙනද වගේම කියවල විඳලා යන්න .
    කොමෙන්ට් දාන එක මගේ පුරුද්ද නොවන නිසා .
    ඒත් මම දකින මට දැනෙන යමක් ගැන සටහනක් නොකොළොත් යුතුකමක් පහර හැරීමක් කියල හිතුන නිසා ඔබට මගෙන් ලැබෙන පළමු කොමෙන්ටුව. මේ දවස් දෙක තුන ඇතුලත මේ අදාල කාල සීමාව ගැන ලියවුන ලිපි කීපයක්ම කියෙව්වා. එක එක්කෙනා දකින හැටියට සහ ඒ අයගේ දැක්මේ හැටියක කියාපු දේවල් . ඔය කාලේ හොදින්ම අත්විඳලා තිබුනත් මගේ හිතට වැඩියෙන් දැනුනේ මේ ලිපියයි . අපි වින්ද දේ ජනු හරියටම කියල.
    යෝධ නුග ගස් වගේ තම දරුවන්ට හෙවණ දුන්න තාත්තල අසරණ උනේ මෙහෙම තමයි .
    ජීවිත කාලයක් ඉගෙනගෙන උගන්නපු ඉන්දියානු සංගීතය ඉගැන්වීම නත්වතුවේ නැතිනම් මරණ බව කියා තීන්දුවක් ලැබුණු වෙලාවේ , තමුන් එක්ක එක ගුරු මණ්ඩලයේ හිටපු 80 වර්ජනය නිසා රැකියාවත් නැතිව සිටි තවත් තාත්තෙකු අඹු දරුවන් ඉදිරිපිට වෙඩිතිය දාල මිනියත් දනින් ඉහලට ඔසවන්න තහනම් කරපු වෙලාවේ . තාත්ත වමේ වුන නිසාවටම එකම පුතාව උදේ පාන්දර ඇවිත් ගෝනි බිල්ල ඉස්සරහට ගෙනගිය වෙලාවේ මහා වනස්පතීන් වගේ හිටපු තාත්තල තමුන්ගේ දරු පැටව් සුරක්ෂිත කරන්න බැරිව අසරණ වෙනවා මම දැක්ක . ජනුගේ තාත්තත් මගේ තාත්තත් මම කියපු අනෙක් තාත්තලත් එදා එක වගේ අසරණ උණා. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන නොඉඳ හරි වැරදි විමසන්න තම දරුවන්ට කියල දුන්නු තාත්තලා තමන් කියලදුන්නු දේ නිසාම තම දරුවන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා දැක්කම ඉකි ගහල ඇඩුව. ඔවුන් ඒ තරමටම අසරණ උණා. හැම වෙලාවේම තම ශක්ති පමණින් සමාජය යහපත් කරන්න මොනවහරි කරපු ඒ තාත්තල ඒ වෙලාවේ තමන්ගේ යුතුකම ඉටුකරන්නට බැරි වුන වේදනාවෙන් (ලජ්ජාවෙන්) හඬා වැටුන.ජනු කියන විදිහටම ඒක විස්තර කරන්න බැහැ. ඒක නිසාම වෙන්නැති ඔය කාලේ ගැන ලියපු එකම පොතකවත් ඒ වගේ තාත්තල නැත්තේ
    එහෙම තාත්තල වෙනුවෙන් කරන්න පුළුවන් හොදම උපහාරය කරපු ඔබට ස්තුතියි

  14. kavikaari says:

    Hmmmmmmmmm

  15. Buratheno says:

    කෝ බොලං මේකි..!!?? ආයෙමත් මිසින් ද..??

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s