අපේ තනිකම…!!

දුවේ… ඉතිං කොහොමෙයි??

ඉන්නව අම්මෙ…

වෙසක් එකට මෙහෙ එනවැයි?? මෙහෙ වැවුරුකන්නල පන්සලේ ලොකු පෙරහැරක් තියෙනව…ආවනං ශෝක්!!

අපි දෙන්න අවුරුද්දට ගෙදර හිටියෙත් නෑ නෙ අම්මෙ…. අනික ඔහෙ එනව නං වාහනයක් එපැයි…. දැන් මේ අවුරුද්දට ආපු ගමන් ඒ කට උඩම එන්ඩ බැරි වෙයි… අපි දෙන්න ගෙදර වෙසක් කූඩු හදල පත්තු කරන්නංකො..

ඒ පෙම්බරයගෙ අම්ම…

චූටි පුතා…. මේ සතියෙ ඕගොල්ලො මෙහෙ එනවද??

බැරි වෙයි වගේ අම්මෙ යජිත්ට ට්‍රේනින් එකක් නෙ.. සෙනසුරාදා ක්ලාස් නෙ…

මේ අපේ අම්ම….

ඉස්සර තනිකඩ කාලෙ නං හිතුණ මල්ල කරේ දාගත්ත බස් එහෙක එල්ලුණා ගෙදර ගියා… ඒ වුණාට දැන් එහෙම යන්ඩ පුලුහනෑ??

කීයක් ජාති හිතන්ඩද?? කරන්ඩද?? පවුල් වුණාම ඔහොම තමයි… වගකීම් යුතුකම්!!!

මම කල්පනාකලේ ඒවත් එක්ක ටිකෙන් ටික අපි අපේ පවුලෙන් ඈත් වෙලා අපි අලුතෙන් හදාගත්ත පවුලෙ වගකීම්වලට තැනදෙන්ඩ නිරායාසයෙන්ම පෙළඹෙන හැටි…

තාත්ත නැති වුණා.. අම්මටයි මටයි මල්ලිටයි ඒ හදිසි කම්පනයත් එක්කම විසිරෙන්ඩ වුණා..

අම්ම ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ සේවයට ගියා…

මල්ලියි මමයි කොළඹට සේන්දු වුණා…

ඒ කාල සීමාව ඇතුලත මං නං කැම්පස් එකේ නිවාඩු කාලෙට  අම්ම නැවතිලා හිටපු නේවාසිකාගාර කාමරේ අක්‍රමණය කළා වරක් දෙකක්..

ඊට පස්සෙ කොහොම වුණත්  අපි තුන් දෙනාම එකට ගෙදර හිටියෙ සතියකට නැත්නම් දෙකකට විතරයි.. ඒත් සිංහල අවුරුද්දට එහෙමත් නැත්තං වාර නිවාඩුවකට…

අපි අපේ ගෙදරම බෝඩිංකාරයො වුණා…

ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවලට හිරවුණාම වෙනද අමාරුවෙන් හරි සති අන්තෙක වත් ගෙදර දුවගෙන යන එක අඩු වුණා..

මොනවද චූටි පුතේ මේ ඔයාල කරන රස්සාවල්!!!! සති අන්තෙකවත් නිවාඩුවත් නැද්ද ඔයාලට…??

අනේක විධ ක්ෂේත්‍ර චාරිකා, රැස්වීම්, සම්මන්ත්‍රණ මැද්දෙ අපිටත් නොදැනි අපේ ජීවිතේ ගමන් මග තීරණය වෙද්දි අම්ම හිටියෙ පරණ තැනමයි…

අපිට එක ලක්ෂ්‍යයකට එන්ඩ බැරි වුණා!!!

අම්ම එහෙ ඉන්ඩ හේතු හෙව්ව.

කුඹුරු කෙරුවාව, තෙල් ඉහින ටැංකි, සංගීත පන්ති, අපේ බලු තඩිය…

අපි එයාව මෙහෙට එක්කං එන්ඩ හැදුව…

ඉතිං අම්ම එන්ඩකො මෙහෙ… මේක හරියන්නෙ නෑ.. අපි කොළඹට කිට්ටුව ගෙදරක් අරගෙන එකට ඉමු.. ඔහෙ තනියම ඉන්ඩ දෙන්ඩ බෑ අම්මට… මිනිස්සු මොනව ද කියන්නෙ අපි දෙන්නෙක් ඉඳලවත් අම්මව බලාගන්ඩ බැරි වුණාම හරියට…. අම්ම එන්ඩ අපි එක්ක ඉන්ඩ…නැත්තං මං රස්සාවෙන් අයින් වෙලා ඇවිල්ල මෙහෙ ඉන්නව…

අම්ම තනියම ඉන්ඩ කොච්චර කැමති වුණත් ඒක දරාගන්ඩ බැරි වුණු මල්ලි බෙරිහන් දුන්න..

කෑ නොගහ ඉන්ඩ… එයා එහෙම මේ අපේ කූඩු ජීවිතේට ඇදල ගන්ඩ බෑනෙ මල්ලි… අපි පුලුවන් විදියට එයාව බලාගන්ඩ ඕනෙ.. අපේ පහසුව නෙවෙයි බලන්ඩ ඕනෙ මෙතෙන්දි…

එහෙම පණ්ඩිත උත්තර දුන්නට ඒක කොයි තරම් අමාරුද කියල තේරෙන්නෙ දැන් මේ පවුල් වෙලා වගකීම් අතට ගත්තාමනෙ…

එක අතකට ගෙදරින් හෙමින් හෙමින් ඈත් වෙලා හිටපු නිසා මිසක් ගෙදරම හිටිය නං විවාහ වෙලා වෙන් වී යාම ඉතා දුෂ්කර වෙන්ඩ ඉඩ තිබුණ…

චූටි පුතා  මොනවද ඕනෙ දැන්….තුනපහ ඉවරද??  ඊයෙ පොලුත් කැඩුව, වීත් කොටලයි තියෙන්නෙ.. මේ සති අන්තෙ ආව නං අරන් යන්ඩ තිබුණ..

ගමෙන් හාල්පොල් ගෙනහිල්ල මිසක් අපිට මේ කොළඹ ජීවිතේ ආණ්ඩු මට්ටු කරගන්ඩ බැරි බව ඈ දන්නව

අපිට අම්මව තේරෙනවනෙ.. ඈ ඊට යටින් අපිට නොකියූ දේ අපිට දැනෙනව

ඈට පාලුයි අපිව එක දිගට සති දෙක තුනක් නොදැක්කම…

ඒ බවක් නොකියා ඈ අපිව කැඳවනව…

අපි නැතුව පාලුයි කියල කියන්නෙ නෑ….

අම්ම මෙහෙ එන්ඩකො…

අම්ම මාත් එක්ක දුරකථනෙන් කතා කරන අතරෙ පෙම්බරය දුරකථනය උදුරන් කෑ ගහනව… මෙච්චර කල් අම්මත් එක්ක හුරතල් වෙවී හිටපු එයාට අපි දෙන්න විතරක් ඉන්න ජීවිතේ ජොලි වුණාට පාලුයි…

එන්නංකො පුතා….

සතියක් ඉන්ඩ එන්ඩ….

අප්පේ එච්චර ඉන්ඩ බෑ නෙ පුතා…….මේ බල්ලව දාල එන්ඩ බෑ නෙ

මං අම්මත් එක්ක තරහයි.. අම්ම මෙහෙ ඉන්නෙ නෑ…

මාතර ඉන්න අම්මට එන්ඩ කියල කරදර කරන අපේ පෙම්බරය අපේ බලු තඩියව තනියම දාල ගෙදරින් එන්ඩ බෑ කියන අපේ අම්මටත් ආඩපාලි කියනව…

අනේ පෙම්බරයගෙ අම්මවත් හිටිය නං!!

හැන්දෑකරේ කාත් කවුරුවත් නැති අන්දකාර ගෙදරට අඩිය තියන මටත් හිතෙනව…

හ්ම්!!!!!!

ඉහිගෙඩියො ගැන කතාවක් මතකුත් වුණා බං බූරයියෙ.. ඒත් සමා වෙයං… අද ලියන්ඩ බෑ…

අද මෙන්න මේ පෝස්ට් එක කියවල ටිකක් සංවේගප්‍රාප්ත වෙලා ඉන්නෙ…

ඒ මදිවට අද මේකත් ඇහුව…..

 

ඉතිං ඉහිගෙඩියො ගැන පස්සෙ ලියන්නං

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, පෙම්බරයයි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

12 Responses to අපේ තනිකම…!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    😦

  2. praveena says:

    අර ඔයා බෑග් මල්ල කරේ දාගෙන ගෙදර දුවන කාලේ තිබුනු තනිකම තමා දැන් අපේ හිත්වල තියෙන්නේ. තමන් ආදරේ කරන කෙනා ලඟින් හැමදාම උදේ නැගිටන එක ලොවම දිනුවා වගේ කියලා සටහනක් ‘රූ සිරිනි’ ලියන රූ දාලා තිබුනා එයාලගේ සංවත්සරය වෙනුවෙන්. දැන් ඉතින් හදිස්සි ඔය වගේ දේකට තමයි. කාලෙන් කාලෙට අපේ ‘තනිකම්’ වෙනස් වෙනවානේ.

    ඒත් අර තනිවෙලා ඉන්න මව්පියෝ ගැන නම් ඇහුවාම ඇතිවෙන්නේ හරිම දුකක්. අම්මව ගෙවල් ලඟට ගෙන්නගන්ට ජනූ. 😦

  3. Nish says:

    ඕවා ඔහොම තමා මම මේ කිලෝමීටර් 12ක් ඈතින් ඉන්න අම්මව බලන්න යන්න වෙලාවක් නැතිව දගලනවා සති දෙහෙක ඉඳන්.

    දුකයි තමා ඒත් මක් කරන්නද

  4. Ravi says:

    අර උඹම කියන්නැහෙ බඩේ ඉඳල වොලිබෝලයක් උණුවට උඩට ඇවිල්ල උගුර දිහාවෙ හිර උනා වගෙ දැනුන බොල….

    තනිකම …..හ්ම්ම්…තනිකම කියන්නෙ කවදක හරි අපි කවුරුත් ජීවිතේ විඳින්න ලෑස්ති වෙලා ඉන්න ඕන දෙයක්…අපි ආදරය කරන අය අපිට ආදරය කරන අය දවසක අපිව දාල යනව…ඒ තනිකම සදාකාලිකයි…එහෙම නැත්නම් තාවකාලික වෙන්වීමක්…ඒත් තනිකමක් තමයි 😦

    පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ..
    තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ…

    සුනිල් එදිරිසිංහ ගයන ඒ ගීය මම බොහොම කැමති ගීයක්…ඒ සමහරවිට තනිකම මට ඉතාම සුපුරුදු නිසාම වෙන්න ඇති. ලාබාල වියෙහිදීම ගෙදරින් වෙන් වීම සමහරවිට ඊට ප්‍රධාන හේතුවකුත් වෙන්න ඇති….දන්නවනෙ සියළු බැඳීම් දුකට හේතුවේ කියල කිව්වෙ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයිනෙ නේද?

    ඒත් බැඳීම් අඩුකරන එක ඔය කියන තරම් ලේසි නම් මොනව කොරන්ට බැරිද?…නේද ජනූ?

    කරන්ට දෙයක් නෑ…අම්මලව උඹලගෙ ගෙදර එක්ක ආව කියන්නෙ හිරේ දැම්ම වගෙ තමයි…ඒ නිසා පුළුවන් වෙලාවක ගිහිල්ල දුක සැප බලල එන එක තමයි කරන්ට පුළුවන් එකම දේ…..

  5. Buratheno says:

    ඉස්ගෙඩියො මක්කටැයි බං, මේ තියෙන්නෙ මසුරං වටින පෝස්ට් එකක්.. පෝස්ට් එක ගැනනං දාහක් ‍දේ කියාගන්න හිතට ආවා බං, ඒත් ඉතිං කොච්චර කිවුවත් ඔච්චර තමා නෙවැ.. අර බස්සා කියන්නැහේ අපි කොන්ක්‍රිට් වනාන්තරේ හිරවුනු යාන්ත්‍රික සත්තු වෙලා.. අපට ඕනකම තිබුනත් ඒකෙන් නිදහස්වෙන්න හරි අමාරුයි.. 😦

  6. අමාරුයි කියලා පුලුහනෑ ජනූ ජීවිතේ දිනන්න නම් මේ රේස් එක දුවන්නම වෙනෝ.පුලුවන් හැම වෙලාවකම ලැබෙන හැම අවස්තාවකම හිනා වෙන්න. තනියම නෙමේ සමීපතමයෝ හැමෝම එක්ක. දිනන්න අහැකි. ඒකාකාරී බවක් දැනෙන එකකුත් නැහැ එතකොට. ජය..!

    ප/ලි අපි තුන් දෙනාට ඉන්න හදපු කූඩුවේ වැඩ ඉවර වෙනකොට මම ලොස්.ඒනිසා මෙහෙ ආවා. හිත සතුටෙන් නොවුනත් ඉන්න වෙලා තියනවා. හැමෝගෙම යහපත වෙනුවෙන්. අනාගත හීනයක් වෙනුවෙන් වර්තමානය උගස් තියලා අපි.

  7. ඉහිගෙඩියා! මේක උඹ නිර්මාණය කරපු වචනයක් නෙවෙයි නේද? ඒකනම් අහලම නෑ. ඉස්ගෙඩියා මිසක. 🙂

    අලුත් පවුලක් පටන් ගන්නකොට තමන්ගෙ පවුලෙන් ඈත්වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. මේ ගැන කියන්න බොහෝ දේ තිබ්බත් දැන් සුදුසු කාලය නෙවේ.
    henryblogwalker the Dude

  8. Gimhani says:

    ඔහොම තමා ජනූ පවුල් උනාම . පුලුවන් හැම වෙලාවෙම දෙමපියන් බලන්න යන්න කාලය හදා ගන්න .
    …ඉස්සර වගේනම් බෑ තමයි .

  9. TG says:

    ජනූ ඕන් බලාපං ජුනි ජූලි මාසේ මාතර දිහාවේ ගෙදරින් කෝල් එකක් එන්නේ මෙන්න මෙහෙම

    දුවේ කවදැයි ගෙදර එන්නේ ? දැන් මෙහේ දෙවුන්දර උස්සව කාලේ නේ . සල් පිල් බලාලා , දේවාලේ පෙරහැරත් බලාලා ගියහැකි ,නරකෙයි මෙහේ ආවොත් හෙටානිද්දා ?:)

    මේ නියාමය අපි කාටත් පොදුයි ජනූ .අම්මලා තාත්තලා අපිට උගන්නලා ලොකු මහත් කරලා තැනකට ගේනවා .අපිට දවසක එයාලා දාලා ඈත යන්න වෙනවා රස්සා වලට ඉගෙනීමට .මාත් කාලයක් මේ නියාම ධර්මෙට මැදිවෙලා කල්ගෙවන්නේ .එක අතකින් සතුටුවෙන්න නංගී තාම ලංකාවේ හරි ඉන්නවනේ අම්මලා බලන්න ගෙදර යන්න .

  10. නවම් says:

    උගුරෙ මොකක්ද හිරවුනා බං. මම ඉන්නෙත් උඹෙ බෝට්‍ටුවෙම තමයි, තව අවුරුද්දකින් නංගි බැඳල ගියාම මේ තත්වය තවත් අමාරු වෙනව. ඒත් බං උඹල අපි කැමති නෑ අයෙම ගමට යන්න. ගමේ ඉන්න අය මෙහේ එක්ක ඇවිල්ල දුක් දෙන්නත් බෑ. අන්‍තෝජටා බහිජටා !!

  11. රෝස කුමාරි says:

    ජීවිතේ හැටි ඔහොම තමා. දුර රටක ඉන්න අපිට ඔය අම්මල නැන්දම්මලගෙ අගේ ලංකාවෙ ඉන්න ජනූලටත් වැඩියෙන් දැනෙන වෙලාවල් තියනව. මාස දෙකක් අපි බලන්න ඇවිත් හිටිය බඹර කුමාරයගෙ අම්ම මේ සති අන්තෙ ආපහු ලංකාවට යනව. අපොයි ඉතින් රසට කාල බීල හිටිය කාලෙත් ඉවරයි ඉතින්.:(

  12. Buru says:

    ඊරිශියා හිතෙන කතා ලියලා දැන් එන්න එපා ගෙදර ගිහින් හොත්තිරි පැන්චන් කන්න හෙම ආසාවක් නෑ කියලා ඔන්න…
    අම්මලා ගමෙන් ඈත් වුනොත් ඒ අයට ඒ අයගේ ජීවිතේ වෙනස් වෙලා දුකින් ඉන්න ගනී කියලා මට හිතෙනවා.
    වෙන එකක් තියා මේ තරුණ මටවත් බෑ මම හුරුපුරුදු පරිසරෙන් මිදිලා ටික දවසකට වඩා ඉන්න. ඒක හින්දා මම නම් අරයා මෙයා මොනවා කීවත් අම්මලව ගෙදර තමයි තියන්නේ. නිතර නිතර හොයලා බලලා එයාලව රැක ගන්න එක වෙනම දෙයක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s