මගෙයි කූඹින්ගෙයි යාලුකං!!!

දුවේ එන්ඩෝ!!!

වැස්සට කලියෙං වී මාගල් දෙක ගෙට ගන්ඩ… ආච්චිඅම්ම චීත්තෙත් කැටි කරන් මිදුලට පැන්නෙ හරියට දහ අටේ ලමිස්සියෙක් වගේ….

ඒ පිටිපස්සෙන් මාත් උඩ පැනගෙන ගියා!!!

වැහි බීරුම…. ටිකෙන් ටික අන්දකාරෙ කරල.. ඉර කොහෙ ගිහින්ද නෑ…වලාකුල් එහේ මෙහේ පාවුණේ රස්තියාදුකාර ගතියකින්…..

පමාවුණොත් පරාදයි!!

කොහේදෝ ඉඳල අම්මත් දුවගෙන ආව

කිරිඅම්මයි අම්මයි හනි හනිකට වී මාගල් දෙක අකුලල ගෙට අරන් සාලෙට දැම්ම

ඊට පස්සෙ සාලෙ ඒව දිගෑරල ආයෙමත් වී වැනුව…

හරියට වේලිලා නෑ දුවේ… වේලුනේ නැති වුනොත් වී ටික නහත්ති වෙයිද මන්ද??

නෑ අම්මෙ හෙට පැයක් හමාරක් අව්වට දාගන්ඩ පුලුහං වෙයි නෙ… එතකොට හරි…

අයියෝ!!! ඔන්න ඔයා හලලත් එක්ක …. යං යං… ඔය දැං ඇති චූටි පුතේ….

අම්මයි කිරි අම්මයි එක්ක තරගෙට වී පැදුරෙ වී වනපු මාව එතනින් ඇදගෙන යන්ඩ නං  අම්මට ලේසි වුණේ නෑ…

ඔන්න ඔහේ හිටපු දෙන් දුවේ අපි යං….

ඒ පාර අම්මයි කිරි අම්මයි මාව සාලෙ දාල කුස්සිය පැත්තට ගියා…

 

මට හරි සතුටුයි!! මෙහෙම වී පැදුරු සාලෙ වනල නෑ කවදාවත්!!!

මං සැරෙන් සැරේ සාලෙට ඇවිල්ල බැලුව ඒව තියෙනවද කියල….

ඔන්න එක පාරක් එද්දි තමයි මං දැක්කෙ දිගම දිග කූඹි රැලක් අපේ වී මාගල්වලට ඇදෙනව…

මෙයාල කොහෙද මේ යන්නෙ…..??

පුරුදු පරිදි මං උන්ගෙ පස්සෙන් වැටුණ…

කූඹි පෙරහැර වී මාගල දිගේ ඇවිත් රංචු ගැහිල බරට බරේ  වී ඇට උස්සගෙන යනව…

එක වී ඇටයක් උස්සන්ඩ හය දෙනෙක් විතර ඉන්නව…

මට ඕනෙ වුණා ඒ වි ඇට උස්සගෙන යන කූඹි රංචුවෙන් එක්කෙනෙක් වෙන්ඩ….

වී ඇටයක් අරන් හිටගත්තු මම උන්ගෙ පෙරහැර ලඟින්ම උන් යන දිහාවටම ගියා..

යන ගමන් මාත් එක්ක වී ඇටේ උස්සගෙන යන අනිත් කූඹි යාලුවොන්ව හිතේ මවා ගත්ත…

ඌයි  ඌයි…..

මං වී ඇටේ විසි කරල එක පාරටම බිම ඉඳගත්තෙ එකපාරටම කකුලෙන් දැණුනු වේදනාව හන්දයි..

මගේ කකුල් පාරවල්වලට කුපිත වෙච්ච කූඹි රැල මට දඬුවම් දෙන්ඩ මාව හපා කාල….

ඒ මදිවට මාව ඉන්දවිලා තියෙන්නෙත් කූඹි පෙරහැර උඩ… හොඳටම තරහ ගියපු කූඹි රංචුව ආව වැඩේ අමතක කරල මට හතර අතට දෂ්ට කරන්ඩ පටන් ගත්ත…

නයි කූඹි!!!!!

ඇඟ පුරා තුවාල හැදිල  උණත් ගත්ත… ඒව කසල  කසල ලොකු වුණා….

අම්ම යි තාත්තයි බිම තියන්ඩ දෙන්නෙ නැතුව කකුල් රිදෙනවයි කියල අඬාපු මාව වඩාන කුරුණෑගල නාවින්න ඉස්පිරිතාලෙ  කොරිඩෝ දිගේ එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නව මට තාම මතකයි…

දොස්තරල ගියාම කිව්වලු මට ඇඟ වැහෙන්ඩම අන්දල, මේස් දාල තියන්ඩ කියල දවසම…සත්තුංට දෂ්ට කරන්ඩ බැරි වෙන්ඩ….

ලංකාවෙ තියා සඳලංකාවෙවත් එහෙම ඉන්ඩ පුලුහංද පොඩි එකෙක්ට ??

තාත්ත ගෙදර ඇවිත් හිනා වුණා

අන්තිමට ඔහොම ගිහින් නතර වුණේ උදම්මිට වෙදමහත්තය ලඟ

නයි විසට කිව්ව වෙදකං කරන්ඩ වෙලා තියෙන්නෙ… ඒ අම්ම

බලන්ඩ!!!! ඒ කිරි අම්ම

කවුද හිතන්නෙ අම්මෙ ඒ පුංචි සතා කාපුවාම නයි විසට එයි කියල…

නයි කූඹි කියන්නෙ නිකං යැ??

කූඹි හන්ද මං පුංචි කාලෙ තිත්ත කසාය හැලි ගණන් බ්ව්වෙ අන්න එහෙමයි…

 

ඔය කූඹි වගෙ පුංචි සත්තු ගැන මට ඒ කාලෙ ඉඳලම හරි කුතුහලයක් තිබුණ… කොහෙදි හරි කූඹි පෙරහැරක් දැක්කොත් උන්ගෙ පස්සෙන් යන්ඩ ඕනෙ..

ගිහින් මට බලන්ඩ ඕනෙ උන්ගෙ ගමනෙ  පටන්ගැන්මයි අවසානෙයි…

සමහර වෙලාවට පුංචි වුණත් මට හිනා යනව.. එතම තැන වට දෙකතුනක් කැරකිලා, එහෙම නැත්තං කෙලින් යන්ඩ පුලුවන් තැනක වංගු ගහල යන මේ කූඹි පෙරහැරවල් දැක්කම…

ඊට වඩා මං ආසම කරපු දේ තමයි උන්ට ලෝකෙ පේන විදිය කොයි වගේ ද කියල දැනගන්ඩ…

ඉතිං මගේ වැඩේ මිදුලෙ පෙරලිලා තණකොල අස්සෙන් අහස පේන විදිය ඉර පේන විදිය… ගස්කොලන් දකින විදිය බලන්ඩ යන එක…

ටිකක් ලොකු කාලෙ විතරක් නෙවෙයි අද වුණත් මට ආසයි උන්ගෙ ලෝකෙ දිහා උන්ගෙ ඇසින් බලන්ඩ…

චූටිපුතා…. එනව ගෙට….ඔයා එක්කො මොකෙක් හරි ලව්ව කවාගන්නව නැත්තං එල්ලාගන එනව කිණිතුල්ලො…

මගෙ විකාර ඉවසන්ඩම බැරි වුණාම අම්ම බෙරිහන් දෙනව..

කිරි අම්මගෙ මලගෙදර ඉවර වුණාට පස්සෙ මගෙ සෙල්ලම වෙනස් වුණා…

ඊට පස්සෙ මට ඕනෙ වුණේ කූඹින්ගෙ ලෝකෙ මරණය අත් දකින්ඩයි..

අතින් ගහල තලල කූඹි දෙතුන් දෙනෙක් මරාගත්ත මම උන්ව ගිනි පෙට්ටියක දාගත්ත…

ඒක තැන්පත් කලා කූඹි පෙරහැර යන පාරෙ…

කූඹි ටිකක් වෙලා කල්පනා කරල ඒක මැදිකරල දෙපැත්තෙන්ම ගිහින් ආයෙත් එකතු වුණා..

හා දැන් දේහයට ආචාර කරපු නැති කවුරු හරි ඉන්නව නං ඇවිල්ල ආචාර කරන්ඩ… අපි දැන් අවසන් කටයුතුවලට ගෙනියන්ඩ දේහය සූදානම් කරන්ඩයි යන්නෙ..

ඒ කාලෙත් පණ්ඩිත ආච්චියෙක් වෙච්ච මං මෙත්තෙ මාම කිරි අම්මගෙ අවසන් කටයුතු වෙලාවෙ කියලු දේවල් අකුරක් නෑර මතක තියන් හිටිය ආපහු රඟපාන්ඩ…

ඒ විතරක් නෙවෙයි දේහය කිව්වෙ කිරි අම්මගෙ පණ නැති ශරීරයට කියලත් මට වැටහිලා තිබුණ…

ගිණි පෙට්ටිය දෙපැත්තෙන්ම යන කූඹි රැල නිසා මට පෙණුනෙ හරියට ජෝතිපාල මාමගෙ මල ගෙදර ටී වී එකෙන් පෙන්නද්දි  ඒක මාමල මිනී පෙට්ටිය උස්සගෙන ගිය හැටි වගේ…

මම තව තූඹි තුන් හතර දෙනෙක් ගෙ උදව්වෙන් මිනීපෙට්ටිය අරන් ගියා … කලින්ම හාරල සූදානම් කරපු වල ලඟට….

අරන් ගිහින් බොහොම පරිස්සමට වල වටේ රවුම් කීපයක් අරන් ගියා…

ඊට පස්සෙ ඒක වල ඇතුලෙන් තිබ්බ

ආ දැන් ඔය කවුරුත් ඇවිදින් වලට පස් මිට ගානෙ දාන්ඩ

ඊට පස්සෙ හෙමින් හෙමින් වටේ තිබුණ පස් වලට තල්ලු කරල ඒක වහන අතරෙ කූඹි ටික දෙනෙක් අඬන්ඩ ගත්ත.

ඕක ඉතිං කාටත් ඔහොමයි.. වෙලාව ආවම කවුරුත්  යන්ඩ එපැයි!!

කිරි අම්මගෙ මලගේ දා ලොකු නැන්දල අඬද්දි පොඩි අත්ත කියපු දේත් මට ඒ විදියටම මතක තිබුණ…

අන්තිමට වල හොඳට මුදුන් කරල අර කනත්තෙ මාමල හැදුව වගේ ලස්සනට හතරැස් කරල හදල ඉවර වෙලා කහ පාට රුක්කත්තන මල් දෙක තුනක් ගැහුවෙ අපේ බතික් බැලලි මැරිච්ච දවසෙ කිරි අම්මයි මායි දෙන්න එකතු වෙලා ඌව වලලල ඉවර වුණාම  කිරි අම්ම ඒ වලේ මල් දෙක තුනක් ගහනව දැකපු මතකෙටයි…

එක පාරක් නෙවෙයි.. කීප පාරක්ම මං ඔය මලගෙවල් සෙල්ලම කළා…

කාලය ගෙවිල ගියා…

ඉස්කෝලෙ යන්ඩ පටන් අරන් ගෙදර වැඩ… ඊට පස්සෙ  ශිෂ්‍යත්ව පන්ති, ක්‍රමයෙන් වෙනමම ජීවිතේකට හුරු වුණා…

ඒත ඉඳ හිටල මිදුලෙ සෙල්ලං කරනකොට දකින කූඹි රැලක් පස්සෙ යන්ඩත් මං අමතක කලේ නෑ…

ඔහොම ඉන්නකොට තමයි “ද බග්ස් ලයිෆ්” කියන චිත්‍රපටය බලන්ඩ ලැබුණෙ..

හරිම ලස්සනට කෘමීන්ගෙ ලෝකය විස්තර කරන ඒ චිත්‍රපටයට මම කොච්චර කැමති වුණාද කියනව නං මම තාම දන්නෙ නෑ මම කී පාරක් ඒක බලන්ඩ ඇතිද කියල….

ඒක පුංචි කාලෙ මගේ මතකයන් එක්ක කොච්චර බද්ධ වුණාද!!!

අර ඒකෙ ෆ්ලික් කියන කූඹිය පාවෙලා යන මලක එල්ලිලා එගොඩට යන විදියට යන්ඩ මම කොච්චර නං ආස වුණාද?? වෙන එකක් කියා මට ඒක හීනෙනුත් පෙණුන…

අද වුණත් මම ආයෙ ඒක බලන්ඩ කැමතියි…

 

අයියෝ මේ මොකද මේ!!!
පෙම්බරයටයි මටයි කන්ඩ උයාගන්ඩ පාන්දර හතරයි හතලිස් පහට අවදි වෙලා නිදිමතේ ඇස් පිහ පිහ කුස්සියට ආව මම උදේ පාන්දරම දැක්කෙ සතුටුදායක දෙයක් නං නෙවෙයි…

කාලයක් තිස්සෙ කුස්සියෙ මිරිස් ගල යට පදිංචි වෙලා හිටිය ඇඹලයො රැලම සිංක් එක උඩ!!

ඒ මදිවට සුදු පාටට බිත්තරත් අරගෙන

ඒ මදිවට කට්ටිය මිරිස්ගල යට ගුහාව අත ඇරල මගෙ සබන් පෙට්ටිය තෝරගෙන…

මේ මොන වදයක් ද උදේ පාන්දරම මම ඒකෙ පියන ඇරල බැලුවෙ තරහෙන්….

අයියෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

උන් වලන් හෝදන ස්පොන්ජ් එක උඩ යසට බිත්තර තැන්පත් කරන හැටි දැක්කම මගේ තරහ ඉහ වහා ගියා…

උදේ බොහොම අමාරුවෙන් තමයි ඒ වෙලාවට නැගිටල වැඩ කරගන්නෙ.. දැන් ඉතිං සුද්ද කරපංකො කූඹි රැල….මගෙ තමයි වැරැද්ද මුන්ට මිරිස්ගල යට ඉන්ඩ දුන්නෙ මං නෙ…. මෙච්චර දවසක් ඉවසුව.. අද නං ඉවසන්ඩ බෑ….

ආයෙ දෙපාරක් නොහිතා මගේ අත ගියේ කැරපොතු නාශක ඉසිනයට

අතට අරන් කට්ටියට එල්ල කරල විදින්ඩ ඔන්න මෙන්න කියල තියද්දි ඉස්සෙල්ලාම මට මතක් වුණේ පෙම්බරයගෙ අම්මව…

උන්දැ හිටිය නං කූඹි මරන්ඩ ගියාට ගුටියක් හම්බ වෙනව මට ඒකාන්තයි!!!
ඊට පස්සෙ පෝලිමට මතක් වුණේ මං උං එක්ක ඉස්සර සෙල්ලං කරපු හැටි…

මලගෙවල් දාපු හැටි… උන්ගෙ ලෝකෙ කෙනෙක් වෙන්ඩ හදපු හැටි…

එච්චර යාලුවො වෙච්ච එකේ ඉතිං කොහොමද උන්ව මරන්නෙ….??

තරහ එහෙමම යට ගියා…

මං සබන් පෙට්ටිය උස්සගෙන ගිහින් ජනෙල් පඩිය උඩින් තිබ්බ…

ඕං යන ලෝකෙකට යමල්ල කියල!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

42 Responses to මගෙයි කූඹින්ගෙයි යාලුකං!!!

  1. henryblogwalker පවසයි:

    එහෙනං උඹ කූඹින්ට allergic ඇති. නැත්නම් එහෙම වෙනවයැ? කූඩැල්ලො කාලා තුවාල වෙන අය නම් මම දන්නවා. ඒත් කූඹින්ට!!

    මට වෙලාවකට තරහයි උඹත් එක්ක මම ලියන්න හිතං ඉන්න දේවල් ලියනවට. අර තණකොල ගස් අස්සෙන් අහස පේන හැටි බලන එක. එතකොට මමත් ඉස්සර හරි ආසයි ඔලුවෙන් හිටගෙන ලෝකය දිහා බලන්න. සමහර වෙලාවට දෙකට නැමිලා කකුල් දෙක අස්සෙන් ලෝකය දිහා බලනවා. හරි ජොලි බං.

    තව කූඹි ගැන කතා තියෙනවා, ඒව බ්ලොග් එකකම ලියන්නම්, නැතිනං රවියා හිතයි මම එයාගෙ මාගල් කමෙන්ට් රෙකෝඩ් එක කඩන්න හදනවා කියලා.

    henryblogwalker the Dude

    • Ravi පවසයි:

      / කකුල් දෙක අස්සෙන් ලෝකය දිහා බලනවා. හරි ජොලි බං. /

      ඒ වැඩෙත් නරකම නෑ හැන්රියො, පොඩි අවුලකට තියෙන්නෙ දැං ඔය කාගෙ කකුල් දෙක අස්සෙන්ද උඹ ලෝකෙ දිහා බැලුවෙ කියල නොකියපු එක 🙂 🙂

      • @හැන්රි අයිය: කූඩැල්ලො විතරක් නෙවෙයි බං අයියෙ ඔය නයි කූඹිත් හරිම විසයි…
        /මට වෙලාවකට තරහයි උඹත් එක්ක මම ලියන්න හිතං ඉන්න දේවල් ලියනවට./
        ඒක තමා කියන්නෙ කම්මැලි නොවී ලියන්ඩ කියල මේ මං වගේ…
        හහ් හා අර කකුල් අම්මෙන් ලෝකෙ බලන එක තමා සිරාම එක…..
        @ රවී අයිය: හපොයි මට ඉතා තදින් සිනා

  2. Buru පවසයි:

    ෆිල්ම් එකක් බැලුවා වගේ….
    මාව නම් කූඹියෝ කාල නෑ. ඒත් මට මතකයි මම ඔය නයි කූඹින්ට ඉස්සර ගල් ගහලා මරනවා නම්.
    දැන් නම් කූඹියෝ දැක්කොත් ආයේ ඒ පලාතෙවත් යන්නෙ නෑ භයේ.

  3. ප්‍රියන්ත පවසයි:

    මගේ සිඩ්නි සිතුවිලි අතරට ආපු අය කවුද කියල බලන්න ගිහින් තමයි මෙතෙන්ට ආවෙ. හරිම රසවත් ලේඛණ ශෛලියක්! සුභ පැතුම්!!

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ඒ, අපේ ආච්චි කියලා දුන්නු කතන්දරේ වී ඇට අරං ගියෙ මීයෝ. කූඹි අරං ගියේ සීනි කැට. මේ ආච්චි අම්මා කතාව වෙනස් කරලනේ…

    /*ඊට වඩා මං ආසම කරපු දේ තමයි උන්ට ලෝකෙ පේන විදිය කොයි වගේ ද කියල දැනගන්ඩ…
    ඉතිං මගේ වැඩේ මිදුලෙ පෙරලිලා තණකොල අස්සෙන් අහස පේන විදිය ඉර පේන විදිය… ගස්කොලන් දකින විදිය බලන්ඩ යන එක…*/
    ඔය එක එක සත්තුන්ට ලෝකෙ පේන හැටි ගැන හදාරන්ඩ උනා මට කාලයක්, එක විභාගෙකට සූදානං වෙන්ඩ. ඒක සිත්තර විභාගයක්. අන්තිමේදි අඳින්ඩ ආවේ පොකුණක ඉන්න ගෙම්බෙකුට පොකුණ පේන හැටි. චෙහ්, අක්කව අඳුනගෙන ඉන්ඩ තිබ්බෙ ඒ කාලේ.

    අක්කේ, කූඹින්ගෙ මළ ගෙවල් ගත්තෙ, උන් දෙන්නෙක්ව ජෝඩු කරලා මඟුලක් හෙම ජයට අරං දෙන්ඩ හිතුන් නැද්ද?

    /*මගෙ තමයි වැරැද්ද මුන්ට මිරිස්ගල යට ඉන්ඩ දුන්නෙ මං නෙ….*/
    ඕං ඔය වගේම දෙයක් මටයි සිත්තරාටයි උනා පහුගිය ටිකේ. කූඹි හන්දානං නෙවෙයි, දෙබරු හන්දා!

    • /චෙහ්, අක්කව අඳුනගෙන ඉන්ඩ තිබ්බෙ ඒ කාලේ./
      හා.. එහෙනං ඉතිං ඒ ඇඳපු ටිකවත් අඳින්ඩ නැති වෙයි…
      /උන් දෙන්නෙක්ව ජෝඩු කරලා මඟුලක් හෙම ජයට අරං දෙන්ඩ හිතුන් නැද්ද?/
      නෑ නෙ….වැඩේ මේකනෙ… උන් හැම වෙලේම හරිම කාර්යබහුලයි නෙ… ඉතිං විවාහයක් ගැන හිතන්ඩ ඉඩ තිබුනෙම නෑ…. :-p
      හපොයි අඩු ගානෙ ඇඹලයො ඇඟ දිගේ දුවනව විතරයි දෙබරු නං හුරතල් කරන්ඩ එපෝ…!!

    • Ravi පවසයි:

      @ සිත්තමී,

      / ඔය එක එක සත්තුන්ට ලෝකෙ පේන හැටි ගැන හදාරන්ඩ උනා මට කාලයක්, එක විභාගෙකට සූදානං වෙන්ඩ. /

      හෙහ්, හෙහ්, පොඩි කතාවක් මතක් උනා සිත්තමී නඟේ…

      හතරෙ හරි පහ වසර හරි සිංහල ගුරුතුමී ආව පන්තියට..

      ” ළමයි, අද ඔය ලමයි ලියන්ට ඕන රචනාවක්…මොකක්ද දන්නවද මාතෘකාව…ට්‍රැක්ටරයක් කතා කරයි …හරි එහෙනම් පටන් ගන්ට…”

      ලමයි ඔන්න දිවවල් විකාගෙන, නලල් රැලි කරගෙන ලියනව කියමුකො. එකෙක් ඔන්න නැඟිට්ට විනාඩි පහකට පස්සෙ,

      ” මිස් මම ලියල ඉවරයි “

      ” මොනවා?…මෙච්චර ඉක්මනට?…හරි පුතා ගේන්න බලන්න මෙහාට ලියපු එක, ”

      පොඩි එකත් බොහොම ආඩම්බරෙං ගෙනත් දුන්න පොත,

      මෙන්න මෙහෙමයි උගෙ රචනාව….

      ට්‍රැක්ටරයක් කතා කරයි.

      ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….ඩ්ර්….. ඩ්ර්….

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

        අයියෝ අයියා කතාවෙ බාගයයිනෙ දන්නේ. මං කියන්නද මුළු කතාවම? ඒ කතාවෙ හැබැයි ටීච ළමයට පොත ගේන්න කියන්නෙ නෑ, ලියපු රචනාව කියවන්න කියනවා. ඔන්න ඉතිං ළමයා කියවනවා.
        ඩ්ර්… ඩ්ර්ර්……. ඩ්ර්…. ඩ්ර්ර්ර්ර්…..
        ඩ්ර්ම්.. ඩ්ර්ම්.. ඩ්ර්ම්…. ඩ්ර්… ඩ්ර්.. ඩ්ර්..
        ඩ්ර්… ඩ්ර්ර්……. ඩ්ර්…. ඩ්ර්ර්ර්ර්…..
        ඩ්ර්ර්ර්……………..
        ඩ්ර්… ඩ්ර්ර්……. ඩ්ර්…. ඩ්ර්ර්ර්ර්…..
        ඔන්න ටීචට තරහා ගියා. “නවත්තනවා ඕක!”
        ඩ්ර්.. ඩ්ර්ර්ර්.. භ්ප් – බ්ම් – ප්ෆ් – ඩ්ර්ම් – පූඌෆ්!
        ළමයා ට්‍රැක්ටරේ නැවැත්තුවා.

      • හි හී… නියමයි නගේ මේක නං!!!

      • Ravi පවසයි:

        @ සිත්තමී,

        අඩේ එහෙමත් තියනවද ඒ කතාවෙ?…එහෙනං සුවර් එකට අපෙ ටීචර් මාරු වෙලා ගියාට පස්සෙ ආපු ටීචර් වෙන්ඩ ඕන, හෙහ්, හෙහ්, ඔන්න බොලේ තවත් කතාවක් මතක් උනා…මේකත් අර අලිය හුළුදිය බාන්නැහෙ එක පිට එක කතා මතක් වෙනව නෙව…

        මේත් ටීචර් කෙනෙක් සහ පහේ පංතියෙ විතර සිස්යාවක් අතර සීන් එකක්,

        රමණි, නැඟිටලා කියන්න බලන්න ඊයෙ ගෙදරදි කරපු මොකක් හරි දෙයක් ගැන වාක්‍යයක්…

        ඔන්න රමණි නැඟිටල අත්දෙකත් පස්සට බැඳගත්ත.

        මම ඊයේ අපේ තාත්තා ළඟ නිදා ගන්නෙමි.

        වැරදියි… රමණි, වැරදියි වැරදියි..මම ඊයේ තාත්තා ළඟ නිදාගතිමි,

        රමණිගෙ කටත් ඇරුන බාගෙට….

        ඈහ්……..එහෙනම් මිස් මට නින්ද ගියාට පස්සෙ එන්න ඇති…

  5. Gold fish පවසයි:

    ඇයි අනේ ඔයාට “චූටි පුතා” කියන්නේ….? අක්ක නේද පවුලේ වැඩිමලා…

    • ඔය ඉතිං බෑ නෙ… කලිං ඕවට උත්තර දීල තියෙනව නෙ මලයො…
      කමන්නෑ උඹ හන්ද ආයෙ කියන්නං.. මට ඉස්සර ඉඳල කිව්වෙ එහෙම තමා… ඉතිං අපේ මලය ඉපදෙනකොට මං කිව්වලු අම්මට මට චූටි පුතා කියලම කතා කරන්ඩ කියල.. එතකොට අම්ම ඇහුවලු
      මල්ලිට අපි මොකක් කියලද කතා කරන්නෙ කියල
      මං කිව්වලු එයාට සුදු පුතා කියන්ඩ කියල…
      ඕං ඔහොමයි මං චූටි පුතා වුණේ මල්ලි සුදු පුතා වුණේ… තේරුණාය??

  6. Ravi පවසයි:

    / මගෙයි කූඹින්ගෙයි යාලුකං!!! /

    අම්මප..ඒක කියාපු ලස්සන කිසිම ලැජ්ජාවක් බයක් නැතුව.. 🙂

    යාළුකං..හුහ්, යකාගෙ යාළුකං එව්ව….උන්ට උංගෙ පාඩුවෙ ඉන්ට දෙන්නෙ නෑ…උං පස්සෙ යනව..ඒ කරල ඉඳගන්නෙත් එවුං උඩ…ඒ කරල මරහඬ තියනව කෑවෝ..කෑවෝ කියල…අනෙ අම්මප…කූඹි උඩ ඉඳගත්තම සාමාන්‍ය නෝමල් කූඹියෙක් නෙවෙයි සෝවාං වෙලා ඉන්න කූඹියෙකුට උනත් මං අහන්නෙ මල නොපැන තියේවිද?

    අනික එවුං උඩ ඉඳගත්තය කියන්නෙ කන්ට ඇති මුළු පස්සා පැත්තම මදියි නොකියන්ට…හෙහ්, හෙහ්, … ඔය නයි කූඹි කියන ජාතිය කෑහම කැළලක් හිටිනව මේ සත පණහෙ කාසියක්කිතර..උඹ නඟේ වෙලාවට මිස් සිරි ලංකා තරඟෙට එහෙම ගියෙ නැත්තෙ…නැත්තං අර බිකිනි අයිටම් එකේදි…. සික්….හතර මහ විළි ලැජ්ජාවෙ පස්වෙනි එක තමයි වෙන්නෙ….අනිවා…ඕං මට මතක් වෙද්දිත් වස අපුලයි….හෙහ්, හෙහ් 😀 😀

  7. මීගොඩයා පවසයි:

    මැවිලා පේන්න ගත්තා…. හරියට කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියෙව්ව වගේමයි කියලත් හිතුනා…

    • ස්තූතියි.. අපි දෙන්නම වැඩිපුර ලියන්නෙ අපේ පුංචි කාලෙ මතක සටහන් නං තමයි.. ඒත් එයා ලියන විදියයි මං ලියන විදියයි නං දෙකක්….
      අනික මං හිතන්නෙ නෑ සිද්ධීන් පණ පිහිටවල විස්තර කරන්ඩ අපේ බුද්ධි තරං දක්ෂ කෙනෙක් තව ඉන්නව කියල….

  8. vajiradevi පවසයි:

    අයියෝ..කූඹි!!මොනා උනත් ප්‍රවේසමෙන්.. මට කූඹි ගැන චිත්‍රපටියක්ම මැවිලා පෙනුණා..

  9. sarath chandrasiri පවසයි:

    යක්කු,කලාමැදිරියෝ,මෙරු,කූබි ඊලගට මොක්කු ගැනද ජනූ. කූබි කෑවම ඇස්පෙනීම හොද වෙනවලු නේද. ජය..!

  10. Buratheno පවසයි:

    බග්ස් ලයිෆ් කියන්නෙ නං මගෙත් favම ෆිල්ම එකක් තමාය.. මං ආසම ෆ්ලික් හදන අර එකේක ගැජමැටික්ස් වලට..

    ඊලඟට ලියමු බලාන්ට ඉස්ගෙඩියො ගැන.. 🙂

  11. රෝස කුමාරි පවසයි:

    ජනූ ලියන හැම දේම මම හරිම ආසාවෙන් කියෙව්ව.කමෙන්ට් එකක්නම් දාන්නෙ ඔන්න අද තමයි. ඔයා ලියන භාෂාවට තමා මම ගොඩක්ම කැමති.

  12. නිසුපා පවසයි:

    අපොයි..ඔයින් ගියා මදැයි.සමහරු ඉන්නවා නේද කූඹි විස හොදටම දැනෙන. මගෙ යාලුවෙකුත් හිටියා එයාව මදුරුවො කෑවාම කහලා ගෙඩි දානවා.පැච් එක යන්නෙත් නෑ කාලයක් යනකල්.

    • praveena පවසයි:

      //ඊට වඩා මං ආසම කරපු දේ තමයි උන්ට ලෝකෙ පේන විදිය කොයි වගේ ද කියල දැනගන්ඩ…
      ඉතිං මගේ වැඩේ මිදුලෙ පෙරලිලා තණකොල අස්සෙන් අහස පේන විදිය ඉර පේන විදිය… ගස්කොලන් දකින විදිය බලන්ඩ යන එක…//
      ටිකක් ලොකු කාලෙ විතරක් නෙවෙයි අද වුණත් මට ආසයි උන්ගෙ ලෝකෙ දිහා උන්ගෙ ඇසින් බලන්ඩ.//

      පොඩි කාලේ වගේම දැනුත් මම ආසා කරන දෙයක්. කවුරු හරි කෙනෙක් කොහේදී හරි දැක්කත්, එයා ඉන්නේ මොන වගේ තැනකද, කරන්නේ මොනවද වගේ සිතුවිලි මවා ගැනීමත් මගේ පුරුද්දක්. ලියන අයට පොඩි කාලේ ඉඳන් පවතින නුහුගුණයක්ද දන්නේ නෑ. 🙂

      ඔයාගේ ලිපිය, මාව ආයම මගේ ළමා කාලය වෙත අරන් ගියා ජනූ. ගම්බද ආරෙට මෙහෙම ලියන්ට පුලුවන් තවත් කෙනෙක් ඇත්දැයි මට නම් සැකයි. හරිම සොඳුරු සටහනක්. කරදර සියල්ලා පැත්තක දමලා වැටෙන්ට පුලුවන් තැනක් මේ.
      මට මහන්සියි අනේ… 🙂

      • පොඩ්ඩි අක්කෙ……ඒක නුහුගුණයක් තමයි.. හැබැයි අනිත් අයට… අපිට නෙවෙයි…. ඉතිං ඔන්න ඔහෙ ඇවිල්ල වැටෙන්ඩ…. ආයෙ කාගෙං කියල තහනමක්ද??

    • නිසූ: හා.. මටත් ඒ සෙතේම තමයි නගේ….

  13. සිඳු පවසයි:

    මම හැමදාම ආසාවෙන් කියවන බ්ලොග් එකක් ජනූ ගෙ බ්ලොග් එක, ඒත් කමෙන්ට් කළේ අදම වෙන්න ඇති. මේ ලියන බොරු ආටෝප නැති අව්‍යාජ විදියට මම හරි කැමතියි.
    මේක කියවනකොට මට මතක් වුණේ “ant bully” ‍ෆිල්ම් එක. bugs life වගේම තමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )