මකුලු නාටකය…!!!

ගුණවතී….. අච්චාරුවට අඹරපු අබ ටික කෝ??

අපේ අම්ම ඇහුව

ආං අර ඇස්වට්ටියෙං වහල…නෝම්මහත්තය

සයිං නැන්ද කැවුං උයල ඉවරයි කියල මාම කඩේට යන ගමං කියාගෙන ගියා…මං යනව එහෙනං ඒ ටිකත් අරං උන්දැත්  එක්කං එන්ඩ….

අනෙ අම්මෙ මාත් යන්නං ගුණවතී නැන්දත් එක්ක??

කොහේදෝ නට නටා ඉඳල කුස්සිය පැත්තට රෝල් වෙච්ච මං ඒ ඇහිල්ලට ඇහුව..

හහ්…… ගෑණු ළමයි නේන්නං යන්ඩ ඕනෙ රස්තියාදුවෙ…. මෙන්න මෙහාට වෙලා ඉන්නව…  අම්ම සැර දැම්ම

අනේ අම්මෙ……

අනේ!!!!

දැං සැරයක් කිව්වනෙ…. අම්මට ඔන්න ඉතිං දැං රතු කටුව පනින්ඩ ලඟයි මාත් එක්කල…

හා.. මෙහෙ එන්ඩ දුවේ!!!

එන්ඩ මාත් එක්ක ලූණු සුද්ද කරන්ඩ..

චූටි නැන්ද මාව එයාගෙ වැඩට හවුල් කරගන්ඩ කතා කළා…

කෝ නංගිල මල්ලිල…??

චූටි නැන්ද අකමැත්තෙන් වගේ  ලූණු සුද්ද කරන්ඩ ඉඳගත්ත මගෙන් ඇහුව

මල්ලිල මොකද්ද අල්ලන සෙල්ලමක් කරනව…

නංගිල ආං මගේ බෝ නික්කො ටික අරං නලවනව.. මට බෑ ඒව කරන්ඩ…

මං නෝක්කඩු කිව්ව

එහෙනං මෙන්න මෙහෙං ඉන්ඩ…

චූටි නැන්ද එහෙම කිව්වට මට එක තැනක වැඩක් කරගෙන ඉන්ඩ පුලුවනෑ එහෙමත්??

අනේ ඇස් දනවෝ!!!!

ලූණු ගෙඩියක් දෙකක් සුද්ද කරල මං පැන්න කුස්සියෙං එළියට

අපේ පරණ ගෙදර කුස්සියෙ අම්මයි ලොකුනැන්දයි, චූටි නැන්දයි, අපේ ගෙදර එන යන ගුණවතී නැන්දයි තව ගමේ නැන්දලයි පිරිල… වැඩ වැඩ වැඩ

අපේ කිරිඅම්මගෙ අවුරුද්දෙ දානෙට තව දවස් දෙකයි!!

බණ දවසෙ රෑ කෑමට අච්චාරු හදන්ඩ, පොලේ ගිහින් එළවලු මාලු ගේන්ඩ…

වැඩ කෝටියක්!!!!

ඒ අස්සෙ මේ කියන දවසෙ හැන්දෑවෙ කිරි අම්ම වෙනුවෙන් පහන් දාහක් පත්තු කරල පින් අනුමෝදන් කරන්ඩත් යොදා ගත්තනෙ….

තාත්ත ගමේ කට්ටියත් එක්කාසු කරන් පන්සලට යන්ඩ ලෑස්තිය

කට්ටිය පුවක් පටි  ලෑන්ඩ් මාස්ටරේට පටවනව

මේ පුවක් පටි මොකටද මාමෙ??

ඒ දුවේ පහන් තියන්ඩ ඕනෙ කරන වැටවල් හදන්ඩනෙ..

අනෙ තාත්තෙ මාත් එන්නං පන්සලට යන්ඩ…

හා හා.. අර පැත්තට ගිහිං අම්මට එහෙම උදව් වෙන්ඩ.. ගෑනු ලමයි යන්නෙ නෑ නෙ ඒ වගේ වැඩවලට…

මගෙ මූණ ඉතිං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙන එක අහන්ඩත් දෙයක්ද??

මේක හරි වැඩක්නෙ… තාත්ත එක්කන් යන්නෙත් නෑ… අම්ම යන්ඩ දෙන්නෙත් නෑ…

මං පුටු පුටු ගෑවම තාත්තට දුක හිතෙන්ඩ ඇති…

හා හොඳ ළමය වගේ  ගිහිල්ල අර  ලිඳ ලඟ තියෙන පහන් ටික පොඟවන්ඩකො වතුරෙ….අර මල්ලිලටත් කතා කරගන්ඩකො…

අපි ආයෙ එනකොට ඒව ගෙනියන්ඩ ලැහැත්ති කරල තියන්ඩ කියල අම්මට කියන්ඩ… මං එද්දි බඩුවක් ගේන්නංකො බොලාට

වැදගත් රාජකාරියක් ලැබුණම කාට ද ආඩම්බර නැත්තෙ??

මේ එන්ඩෝ….. පහන් පොඟවන්ඩ එන්ඩෝ….

මං වත්ත පහල සෙල්ලං කරන මල්ලිලව අඬගහ ගත්තෙ බොහොම අමාරුවෙන්…

මොකදට අක්කෙ පහන් පොඟවන්නෙ…??

අම්ම ලිඳෙන් ඇදල බාල්දියකට පුරවල දුන් වතුරෙ පහන් පොඟවන ගමන් අපේ මල්ලි ඇහුව..

එහෙම කලේ නැත්තං පහන තෙල් බොනවනෙ…

ඒ මං කිව්වෙ පොඩ්ඩකට කලිං වෙන කවුදෝ තාත්තගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවාම තාත්ත එයාට දුන්න උත්තරේ..

වෙන මොනවටද ඉතිං පණ්ඩිතකම පෙන්නන්ඩ මිසක්ක

ඈ…..??

පහන් වගුරෙ දදා හිටපු කට්ටියම පුදුමෙන් මගෙ දිහා බැලුවෙ හරියට තෙල් බොන්ඩ පහනට කටක් කෝ කියල අහන්ඩ වගේ

අපේ මල්ලි කටත් ඇරගෙන හිටියෙ!!!

ඉන්තේරුවෙන්ම  එයා එයාගෙ කිරි කෝප්පෙ බොන්නැහෙ පහනත් ගුඩු ගුඩු ගාල තෙල් කෝප්පයක් බොන හැටි මවාගෙන තමයි  ඒ උන්නෙ

නෑ නෑ… ඒ කියන්නෙ පහන එහෙමම තියද්දි තෙල් දැම්මම දරන් මේ වතුර උරනව වගේ උරාගන්නෙ අපි දාන තෙල් නෙ.. ඒ හන්ද තෙල් නහත්ති වෙනවට තමයි අපි මැටි පහං වතුරෙ පොඟවන්නෙ.. පහනට තෙල් උරාගන්න  එකට තමයි කියන්නෙ පහන තෙල් බොනවයි කියල….

මං අර වික්ෂිප්ත වෙලා තිබුණ  මුහුණු ටික ආපහු හරි තත්වෙට ගෙනාව ඕං

 

ඕං කැවුං ගේන්ඩ ගිය ගුණවතී නැන්ද ඇවිල්ල පෝර කවරවලට අපි පොඟවපු පහන් එක්කාසු කරල කට බැන්ද..

ලෑන්ඩ් මාස්ටරේ ආවාම කතා කරන්ඩ ළමයිනේ!!!

එහෙම කියල උන්දැ කුස්සිය පැත්තට ගියා!!!

අපි මිදුලෙ දම්පාට පොකුරු මල් වැලේ මහත කඳ උඩ ඉඳන් බස්එකේ සෙල්ලම කළා..

ඩක ඩක ඩක ඩක ඩක ඩක ඩක….

ඈත ලෑන්ඩ් මාස්ටරේ එන සද්දෙ ඇහුණම අපි සෙල්ලම නවත්තල පාර අයිනට ගියා

මල්ලිල සේරම ලෑන්ඩ්මාස්ටරේ පස්සට නැග්ග..!!!

හරෙ  යාං!!!!

එයාල හදන්නෙ බස් සෙල්ලම ඒක ඇතුලෙත් කරන්ඩයි

ඒ අස්සෙ කාටවත් නොපෙනෙන්ඩ තාත්ත මට කතා කළා ඔලුවෙං

මාත් ඉතිං ලඟට ගියා……..ඇයි මොනවද බඩුවක් ගේනව කියලත් කිව්වනෙ තාත්ත….

ආ අල්ලන්ඩ අත…

හැබැයි කෑ ගහන්ඩ බෑ හරි??

මං හා කිව්වෙ ඔලුව වනල..

ඊ තාත්තේ!!!

මගේ අතේ මිට මොලවපු දේ දැක්කම මට කෑගැස්සෙන්ඩ ආව

මගේ අල්ල උඩ අඬු හොලව හොලව හිටියෙ මොකෙක්ද දන්නවද??

රබර් මකුලුවෙක්!!!

උගෙ කලු පාට අඬුවල පුංචි මවිල් පවා හෙලවුණා… ඒව අග යන්තං සුදු පාටට දිලිසුණා….

ඇස් දෙක සුදු පාටට වස නපුරුවට තිබුණ…

බැලු බැල්මට ඇත්ත එකෙක් වගේමයි!!

හරිම හිරිකිතයි…

බොලා හොරෙන්ම ඕක ගෙනිහිං ලොකු නැන්දට දෙන්ඩ…..

තාත්තගෙ මූණෙ තිබුණෙ හරිම සෙල්ලම් පාටක්!!!

මූණෙ හිනාව පුපුරන්ඩ එනව…. අමාරුවෙන් තද කරගෙන තමයි ඒක කිව්වෙ

ඇයි තාත්තෙ?? එයා බයයිද??

කතාව පස්සෙ කියන්නංකො.. ඕක ගිහින් අල්ලෙන්ම තියන්ඩ හරිද??

මං ටිකක් අදිමදි කළාට මොකද හොර වැඩක සේයාවක් පෙණුන හන්ද ඒක කරන්ඩත් හිතේ තිබුණ

මං මකුලුවත් අරන් කුස්සියට ගියා..

ලොකු නැන්ද ජනේලෙ ලඟට වෙලා අල සුද්ද කරනව…

ලොකු නැන්දෙ අත අල්ලන්ඩ බඩ්ඩක් දෙන්ඩ

පොඩ්ඩක් ඉන්ඩ….මොනව හරි කන දෙයක් වෙන්ඩ ඇති කියල හිතපු ලොකු නැන්ද බොහොම සීරුවට පිහදාල එහෙම මගෙ දිහාවට අත දික්කළා

මං බඩ්ඩ තිබ්බ ලොකු නැන්දගෙ අල්ලෙන්!!!

හූ!!!!!!!!!!!!!!! හූ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

එක පාරටම අතේ හිටපු මකුලුවව ගසල බිම දාපු ලොකු නැන්ද බාජන සේරමත් පෙරලගෙන නැගිට්ටෙ හූවකුත් කියාගෙන

මට දාඩියත් දැම්ම.. කටේ කෙලත් හිඳුන..

අම්මත් ආව!!!

ලිං මිදුලෙ හාල් ගර ගරා හිටපු ගුණවතී නැන්දයි සයිං ආච්චියි මිදුලෙ සෙල්ලං කරපු මල්ලිලයි සේරම දුවගෙන ආව!!!

අත්දෙකෙන් මූණ වහගත්ත ලොකු නැන්ද මකුලුවව මතක් කර කර හූ කිව්ව!!!!

 මොකද චූටි නංගියෙ වුණේ ??

අපේ අම්ම ඇහුව …

මකුලුව මකුලුව!!!! හූ!!!!!!!!!!!!!!!!!!!!!!! හූ!!!!!!!!!!!!!!!!!!!

එතකොට තමයි අම්ම දැක්කෙ බිම වැටිල තාමත් අඬු පඬු හොලව හොලව ඉන්න මකුලුවව

කවුද මූ ගෙනාවෙ මෙහාට…. අම්ම වට පිට බැලුව…

මමයි ගෙනාවෙ!!!!

මං ඉදිරිපත් වුණා… අතිං කනව නං එහෙමයි… හනස්සකිං කනව නං එහෙමයි කියල ඕනෙ දේකට හිත හදාගෙන!!!!

අම්මට හීනියට හිනා ගියා!!! ඒත් හිනා වෙලා බෑනෙ… ලොකු නැන්ද තාමත් හූ කියනව නෙ මකුලුවව මතක් වෙන මතක් වෙන පාරට!!!
කොහෙන්ද මූව හොයාගත්තෙ….

මං නෙවෙයි සද්ද කළේ!!!

ඇත්ත කියනව මූ කොහෙන්ද??

අම්ම සැර කළේ ලඟ තිබුණු පොල්කටු හැන්දකුත් අරන්!!!
ළමයට ගහන්ඩ එපා… ඒක ගෙනත් දුන්නෙ මමයි… ලොකු නංගිගෙ අතට දෙන්ඩ කිව්වෙත් මමයි

කොහෙදෝ ඉඳන් ලොකු නැන්දගෙ හූව ඇහිල ආපු තාත්ත වැරැද්ද පිලිගත්ත…

චූටි නැන්දටත් හිනා!!!

මං හිතුව මකුලුව දකිනකොටම අයියගෙ වැඩක් තමයි මේක කියල… අක්ක මකුලුවන්ට බයයි කියල දන්නෙ අයියනෙ… අනේ අනේ!!!!

ඒ වෙනකොට ලොකු නැන්ද මකුලුවව අමතක කරල පියවි තත්වෙට පත්වෙමින් හිටිය හන්දද කොහෙද එයාටත් හිනා වෙච්ච දේට…..

 

අක්කෙ මූ බොරු මකුලුවෙක් අනේ!!!මේ අයියනෙ දුවට දීල තියෙන්නෙ ඔයාට ගෙනත් දෙන්ඩ කියල…. ඒ ළමය දන්නවයැ ඔයා බයයි කියල මකුලුවන්ට….

චූටි නැන්ද ලොකු නැන්දට කිව්ව….

ඔක්කොමල හිනා වෙන්ඩ ගත්ත

අම්මටත් හිනා!!!!

යං යං දැං පහන් පූජාවට යන්ඩ එපැයි… මූණ කට හෝදගෙන ලෑස්ති වෙන්ඩල කට්ටියම ගිහින්… එන්ඩ කියන්ඩ මල්ලිලටත් ලිඳ ලඟට!!!

චූටි නැන්ද හිනාවෙන්ම මට අණ කළා….

ඕං වෙච්ච දේ

බුදු අම්මෝ… මං හිතන්නෙ ඒ වෙලාවෙ  ලොකු නැන්දටත් වඩා මං බය වුණා!!!

ඇයි හූ තියන එක නවත්තගන්ඩ බැරි වුණොත් එහෙම!!!!

 

එයා හූ කිව්ව විදිය මතක් වෙද්දි මට මතක් වුණේ අර පලිඟු මැණිකෙ ටෙලිනාට්‍ටියෙ තියෙන්නෙ කෑල්ලක්

සූරසේනෝ!!!!!!!!!!!!!!!
හූ…………..!!!!!!!!!!!!!!!!!!!

මහසෝන එනෝ!!!!!!!!!!!!!!!!!!!!

කියල සිරිල් වික්‍රමගේ මාම කෑගහන

ආන්න ඒක!!!

ඒතරම් බියකරුයි

තාත්ත ඇයි ඒක ලොකු නැන්ද අතට දෙන්ඩ කිව්වෙ එයා බයයි කියල දැන දැනම??

හූහ් හහ් හහ් හහ් හා!!!

හිනා තමයි තාත්තට නං ……..මං තව පොඩ්ඩෙං කනව අම්මගෙන් හොඳ හැටියට!!!

උන්දැ පොඩි කාලෙ ඉඳලම බයයි උන්ට…. ඕක කඩේ විකුණන්ඩ තියෙනව දැක්ක ගමන්ම මට මතක් වුණා!!!දෙන්නං බැටේ කියල තමයි අරං ආවෙ….

හපෝ පවු තාත්තෙ… ම් හොඳටම බය වුණා!! ලොකු නැන්ද හූ කියද්දි!!!

හූහ් හහ් හහ් හහ් හා!!

බඩ ගෙඩියත් උඩ දම දම තාත්ත හිනා වෙනව!!!!

ඕං සිද්ධියට පස්සෙ අපි දෙන්නගෙ දෙබස….

 

හපොයි එදයිං එදා මං කාවවත් බය කරන්ඩ නං යන්නෙ නෑ ඕං!!!

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති. Bookmark the permalink.

12 Responses to මකුලු නාටකය…!!!

  1. Gold fish පවසයි:

    මකුලුවනට බය කොල්ලොත් ඉන්නවනේ… ඔය කිව්ව තරම් ලොකු වෙන්න ඕනේ නෑ… පුංචි පැටියෙක් දැක්කම ඇති…

  2. henryblogwalker පවසයි:

    තාත්තත් ජොලි වැඩ කරන තාත්තෙක්! 🙂
    මට පොඩි ගැටලුවක් තියෙනවා ජනූ. මම කොහොමත් ඩයලෙක්ට් ගැන උනන්දුයි සිංහල ඉංග්‍රීසි භාෂා දෙකේම. ජනූගෙ ඩයලෙක්ට් එක සීයට අනූවක් බස්නාහිර පළාතෙ මේ මගෙ වගෙ. ඒ කියන්නෙ කොළඹ ගම්පහ කලුතර හෝ ආසන්නයෙ. එතකොට තාත්තා පාවිච්චි කරන බොලා කියන කෑල්ල අනිවාර්යයෙන්ම දකුණෙන්, ඒ කියන්නෙ ගාල්ල, මාතර, හම්බන්තොට වගෙ. මම හරිනම්, මේක කොහොමද වුනේ? මේක බොලාව 😀 අමාරුවෙ දාන්න ලිව්ව එකක් නෙවෙයි, නිකම් මට ඇතිවෙච්ච කුතුහලය නිසා ලිව්ව එකක්.

    • හෙන්රි අයියෙ…. මට තියෙන්නෙ කොහෙද කියල ඔයාලට හිතාගන්ඩවත් බැරි භාෂා විලාසයක්!!..
      අපේ අම්ම සබරගමුවෙ…
      තාත්ත සත්කෝරලේ දඹදෙනියෙ
      මං කසාද බැන්දෙ මාතරිනුත් එහායිං
      එතකොට අපේ මාම බැඳපු නැන්දම්ම මාතලේ!!!
      එතකොට මම කියවපු පොත්වල තියෙන භාෂා ශෛලීන් විවිධයි…
      අනිතක මම මට ඇහෙන වචන පෙරලා පාවිච්චි කරන කෙනෙක්… දැන් අපෙ අම්මගෙන් අම්මට කොහොමද කියල අහන මම පෙම්බරයගෙ අම්මගෙන් ඉතිං කොහොමෙයි අම්මෙ කියල අහනව… ඒක වෙන්නෙ නිරායාසයෙං… මං කැම්පස් යන කාලෙ මාමලගෙ ගෙදර ඉන්නකොට මාතලේ කතාව පුරුදු වුණා.. කරව්ව, කියව්ව… එයාල හොද්ද හැඳි ගාන්නෙ නෑ කරු ගානව… එතකොට හොද්ද බාන්නෙ නෑ බිම තියනව…. අපේ පෙම්බරය මට හිනාවෙනව අපි මාලුපිණි කියනව කියල.. ඒ මදිවට බෝංචි මාලුව, කරවිල මාලුව… කියනවටත් එයැයි හිනාවෙනව….එයාලට මාලු කියන්නෙ වතුරෙ ඉන්න එවුන්… අපි මාලුව කියල ව්‍යංජනවලටත් තියනව නෙ….
      අපේ තාත්තත් මං වගේ තමයි.. එයා අපිට බොලා විතරක් නෙවෙයි… ලොකු බල්ලයි පොඩි බල්ලයි කිව්ව…. එතකොට බොලා බල්ලො බලා බොල්ලො කිව්ව… ඔය බොලා කියන එක මාතර පැත්තෙන් ආව එකක් නෙවෙයි බං අයියෙ.. ඒක මේ කෙටි කරගැනිල්ලක්ද කොහෙද?
      දැන් මං තනිකරම කලවංලතා කෙනෙක් වෙලා ඉන්නෙ
      *තනිවම මුමුණමින්* ශහ්!!! මං මේ ගැන කොයි වෙලේ හරි පෝස්ට් එකක් ලියන්ඩ නෙ හිටියෙ… මේ බ්ලොග්වෝකරයට ඕන්නැති දෙයක් නෑනෙ අම්මප… දැං ඉතිං ආයෙ කාලෙකට ඒ ගැන ලියන්ඩ බෑ නෙව…. කියවන උන්ට අමතක වෙනකල්!! 😀

      • නවම් පවසයි:

        හෙහ් මාලු තමයි මාලු.

        අපේ අම්මයි ගම මාතර හක්මණ. පුංචි අම්ම බැන්දෙ කෑගල්ලට. ඔන්න මඟුලෙන් පස්සෙන් පහු නංගි පොඩ්ඩයි මස්සිනා පොඩ්ඩයි බලන්න කද බැඳං ගියාලු අම්මලගෙ නෑදෑසනුහරේම.

        ඕං දැං එහේ දවල් කෑම මේසෙට වාඩි උනාම එහේ අම්ම මෙහෙන් ගියපු උන්දැලට කියනවලු දුවේ තව මාළු බෙදාගෙන කන්න. පුතේ කෝ මාළු බෙදාගෙනම නැහැනෙ කියල.

        මාතර එවුන් ගැන ආයෙ කියන්න ඕන නෑනෙ. මාළු තියනවනං ආයෙ වෙන මක්කාවත් ඕනෙයි.

        ඒත් කර උස්සල දීසි දිහා බැලුවට ඔහේ ඇති මාළුවෙක් නෑලු.

        මෙච්චර කියද්දිත් ඉතිං එකෙක්වත් මාළු බෙදාගන්න වගක් නොදැක්ක එහේ අම්ම හැන්ද දාල බෙදුවලු වට්ටක්ක !

  3. sarath chandrasiri පවසයි:

    ඇත්තම කියනවානම් මමත්, මකුලුවන්ට විතරක් නෙවි කුරුමිනියන්ටත් බයයි තවම.අදටත් ගෙදරට කුරුමිනියෙක් හරි මකුලුවෙක් හරි ආවොත් මම නතර වෙන්නේ මිදුලේ.නංගි බබා තමයි හිනාවෙවී උන්ව එලවන්නේ. යන්තම් බහ‍තෝරන මගේ දෝනිත් හිනාවෙනවා ඒ වගේ වෙලාවට. ඒ උනාට රටට ලෝකෙට නම් මම හරි චන්ඩියා. හිනාවෙන්න නම් ඔට්‍ටු නෑ ඕං. ජය..!

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    මටනං කළිනුත් කිව්වා වගේ මකුළුවන්ව පේන්න බෑ. අර චූටි චූටි එවුන්නං ගාණක් නෑ, ඒත් අර අඬු විහිදගත්තු ලොකු එවුන් පේන්න ඉන්න පළාතකවත් මමනං ඉන්නෙ නෑ. සර්පයෙක් දැක්කත්, ඌ ඉන්නෙ ඈතකනං, මං ඉන්න පැත්තට එන බවක් පේන්න නැත්තං මං ගාණක් නැතුව ඉන්නවා. ඒත් මකුළුවො එක්කනං එහෙම බෑ. උං මේ ඉන්නව, මේ නෑ. කොහෙ ගියාද කියලා හොයාගන්න බෑ. ඒ හන්දා ඒකෙක් ගේ ඇතුලෙ ඉන්නවා දැක්කොත් මං ඌට ගේ දීලා මං එළියට වෙලා ඉන්නවා කවුරුහරි ඇවිත් ඌව එළවලා දානකල්. හැබැයි මට එළවපු දිහාවත් කියන්ඩ ඕන, නැත්තං ඔට්ටු නෑ. කවුද දන්නෙ, එළවනවා කියලා කාමරේ ඇතුලෙම මුල්ලකට එළෙව්වද කියලා.

    මේ ඔන්න මට විතරක් හිනා වෙන්ඩ එපා හරිද, අපෙ නංගිත් බයයි උන්ට. අපේ අයියත් ඉස්සර රබර් මකුළුවෙක් තියාගෙන අපි දෙන්නට ඔය වැඩේම කරලා තියෙනවා.

    අනිත් පොඩි පොඩි සත්තුන්ටනං ඒ හැටි බයක් නෑ. කැරපොත්තොත් එහෙ මෙහෙ පියාඹන්නෙ නැතුව ඉන්න කොට හරි අහිංසකයි. උන් පියාඹන්ඩ ගත්තොත් ඉතිං ඔන්න මට ආයෙත් එළියට බහින්ඩ වෙනවා.

    ඔන්න මට පොඩි කාලෙ වෙච්ච වැඩක් හොඳද. මම නිදාගත්තෙ ආච්චිත් එක්ක, ආච්චිගෙ කාමරේ. මේක වෙච්ච දවසෙ ආච්චි ලොකු නැන්දලාගෙ ගෙදර නවතින්න ගිහිල්ලා, මම තනියම හිටියෙ. නෙට් එක ඇතුලට රිංගලා නිදාගන්න ලෑස්ති උනා. යාන්තමට නින්ද යාගෙන එනකොටම මාව ගැස්සිලා ඇහැරුණා. කවුරුහරි ලයිට් එකත් නිවලා. මගේ බෙල්ලෙ මොකෙද්දෝ අඬු තියෙන එකෙක් ඇතිල්ලෙනවා. මට හෙල්ලෙන්නවත් බයයි ඉන්න මොකා හරි එකා හපා කයි කියලා බයේ. ඒ කාමරේ ලඟම මැද සාලේ තමයි ඒ දවස් වල තාත්තා නිදාගත්තේ. නංගි අම්මා එක්ක එහා කාමරේ. අයියා එයාගෙ කාමරේ. මං හෙල්ලෙන්නෙවත් නැතුව තාත්තට ඇහෙන්න කතා කළා.

    “තාත්තේ…” තාත්තා නිදි. මට ඇඬෙනවා. “තාත්තේ…..”

    මගේ කෙඳිරිය ඇහිලා ඔන්න තාත්තට ඇහැරුණා. “ඕ?” තාත්තා ඇඳේම ඉඳං ඇහුවා.

    “අනේ සතෙක් ඇවිල්ලා…”

    “සත්තු එන්නෙ කොහොමද? නෙට් එක දාලනෙ තියෙන්නේ…”

    “අනේ මකුළුවෙක් ඇවිල්ලා… මගෙ බෙල්ල කනවා……” මං හයියෙන් අඬන්න ගත්තා.

    තාත්තා නිදිමතේම ඇවිල්ලා ලයිට් එක දැම්මා. “කෝ, ඔහෙ ඇති මකුළුවෙක් නෑ…”

    “මේ මෙතන ඉන්නවා…” මං අඬ අඬම මූණ ලඟ වකුටු කරං හිටපු ඇඟිල්ලක් විතරක් හොල්ලලා බෙල්ල පෙන්නුවා.

    තාත්තට හිනා ගියා. “හයියෝ… ඔය ඔයාගෙ ඇඳුමෙ පටියනෙ බෙල්ල උඩට වැටිලා තියෙන්නෙ…”

    මදැයි!!! ඇඳුමෙ පටියට තමයි මං සතෙක් කියලා රැවටිලා බය වෙලා තියෙන්නෙ!!!

  5. නිසුපා පවසයි:

    අපොයි වෙලාවට නැන්දට හාට් ඇටෑඛ් තිබුනෙ නැත්තෙ.නැත්නම් සුන්. තාත්තත් මරු වැඩනෙ කරලා තියෙන්නෙ… 😀

  6. Dishan Savithra Rajapaksha පවසයි:

    මැවිලා පේනවා නන්ද කෑගහපු හැටි 😀

  7. Ravi පවසයි:

    හෙහ්, තාත්ත ජොලි පොරක් නෙව..උන්දැගෙ ගති ලස්සන අනුවනම් අඩුගානෙ හීනියටවත් හවහට හවහට කරුමාන්තයක් කොරන උත්තමයෙක් වෙන්ටෝන….නෑ කියන්න එපා ජනූ…හෙහ්, හෙහ්, 🙂

    / නෑ නෑ… ඒ කියන්නෙ පහන එහෙමම තියද්දි තෙල් දැම්මම දරන් මේ වතුර උරනව වගේ උරාගන්නෙ අපි දාන තෙල් නෙ.. ඒ හන්ද තෙල් නහත්ති වෙනවට තමයි අපි මැටි පහං වතුරෙ පොඟවන්නෙ.. පහනට තෙල් උරාගන්න  එකට තමයි කියන්නෙ පහන තෙල් බොනවයි කියල…./

    එහෙම හරි යන්නෙ නෑ බොල වතුරෙ දැම්මට… වතුරෙ විසිට්ට ගුරුත්තයයි මැටිවල විසිට්ට ගුරුත්තයයි එකතු කරල 3.5 න් බෙදල පොල්තෙල් වල දුස්සාවිතාවෙන් වැඩිකලාම එන්නෙ 1 ට අඩු අගයක්….ඒ කියන්නෙ වතුර බී ගත්තට මැටි අංසු අතරෙ තියනව තව ඉඩ…පොල් තෙල් වක්කලාම ඒ ටිකට පොල්තෙල් බීගන්නව අනිවා…

    දැං අපි කලේ මොකක්ද දන්නවයි ඕකට…මැටි පහං වරුවක් විතර පොඟෝනව මී තෙල් වල…උඹ දන්නවනෙ මී තෙල් නේද?….අර මී ඇට වලිං හිඳින්නෙ…හෙහ්, හෙහ්, මීයංගෙ ඇට නෙවෙයි බොල… 🙂

    මා වවුලන් රෑ පුරාම රංචු ගැහීලා,
    මී ගස් යට මී වැහි වැහැලා,
    බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ…
    මට තනියක් දැනෙනවා…

    අමරදේව මාස්ටර් පොඩි එකා කාලෙ පාන්දරම ගිහිල්ල ඇහිඳල මාස්ටර්ගෙ අම්මට ගෙනත් දුන්නෙ තෙල් හිඳින්න…අන්න ඒ මී ඇට වලින් හිඳින තෙල්….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )