අහසෙ තරුයි මුහුදෙ මඩයි…!!!

ආන්න බලන්ඩ… අර … පේනවද අර හඳමාම ට පහලින් තියෙන තරු අස්සෙන් එක තරුවක් ඇවිදිනව…

කෝ කෝ…

සින්දුවක් කිය කියා තාත්තගෙ ඔඩොක්කෙ පැද්දි පැද්දි ඉන්න මම කලබල වෙලා තාත්තගෙන් අහනව..

මේ….. මං අත දික්කරන දිහා බලන්ඩ…

ආනේ… ඇත්තමයි…. ඒ කොහොමද තාත්තෙ ඒ තරු ඇවිදින්නෙ??

ඒ තරු ම නෙවෙයි… ඒවට කියන්නෙ චන්ද්‍රිකා කියල

ඈ… ඒ කියන්නෙ කොහොමද ඒවට අපේ චන්ද්‍රිකා නැන්දගෙ නම ලැබුණෙ??

නෑ නෑ.. ඒ එයාගෙ නමනෙ …මේ චන්ද්‍රිකා කියන්නෙ පොළව වටේ කැරකි කැරකි තොරතුරු හොයන මැෂින්වලට…

තාත්ත පුලුවන් තරං සරල කරල කියල දෙන්ඩ හදනව…

මැෂින් කිව්වාම මගෙ ඔලුවට ආවෙ කිරිඅම්මගෙ පාගල මහන මැෂිම….

ලෝකෙ බෝලයක් වගේ කියල අහල තිබුණ හන්ද මං මහන මැෂිමක් ලෝක බෝලෙ වටේ යන ගමන් එබි එබී ඒ දිහා බලන විදිය හිතේ මවාගත්ත…

එතකොට තමයි දැක්කෙ අපේ ලිඳ ලඟත් ඇවිදින තරු!!!

 තාත්තෙ අර කවුද අර ලිඳ ලඟ ලයිට් දාගෙන පියාඹන්නෙ චන්ද්‍රිකාද ??

ආ…. නෑ නෑ….. ඒ තමයි කණාමැදිරියො..

ඉතින් එයාලට ලයිට් කොහෙන්ද??

එයාලගෙ පස්ස පැත්තෙ තියෙනව  ලයිට් එකක්!!


ඉතිං ඒක පත්තු වෙන්ඩ කරන්ට් කොහෙන්ද??

එයාලගෙ ඇඟේ තමයි කරන්ට් හැදෙන්නෙ..

ඉතිං කවුද එයාලගෙ ස්විච් එක දාන්නෙ..?

එයාලම තමයි දාගන්නෙ…

එතකොට චන්ද්‍රිකාවල ලයිට් දාන්නෙ කවුද??

ඔන්න තාත්තත් හිර වෙනව…

ම්……

පුරුදු පරිදි සති අන්තෙ හැන්දෑකරේ මාවත් සරං ඔඩොක්කුවෙ ඉන්දගෙන අපේ ඉස්සරහ දොරකඩ ඉඳගෙන සැහැල්ලුවෙන් පාර දිහා බලන් ඉන්න තාත්තගෙන් මං නානාප්‍රකාර ප්‍රශ්න අහනව…

අපි ඒ වෙලාවට හුඩ් ලයිට් එක නිවනව….

එතකොට රෑට එළියට එන ඔය වගේ එළිය දෙන එක එක ජාතියෙ සත්තු බලන්ඩ, අහසෙ තරු රටා එහෙම  බලන්ඩ පුලුවන්නෙ….

තාත්තත් ඒව අතාරින්නෙ නෑ… එයාටත් හැම එකටම උත්තරයක් තියෙනව

සමහර වෙලාවට මං අහන පිස්සු ප්‍රශ්නවලට උත්තර නෑ නෙ.. ඒ වුණත් තාත්ත හිතල බලල උත්තරයක් හදල හරි කියනව…

ආ මහත්තයා!!!!

අඳුර අස්සෙන් තාත්තගෙ ඡායාව දකින ගම ඇතුලෙන් මහ පාරට ආව මිතුරු ගම්මු තාත්තට අමතන්නෙ සුහදකම පෙන්නන්ඩ…

ආ  චන්දරේ බෑරක්ද??

තාත්තත් පෙරලා අහනව…

නෑ මේ කඩේ පැත්තට ගිහිං එන්ඩ මහත්තය

සමහර වෙලාවට තාත්ත මාව ඔඩොක්කුවෙන් නැගිට්ටවල බිමින් තියල ගේට්ටුව ලඟට ගිහින් ඒ අයත් එක්ක කතා බහ කරල එනව…

මං ඉතිං බලන් ඉන්නව ආයෙමත් මගේ ප්‍රශ්න මල්ල දිගාරින්ඩ තාත්ත එනකල්!

කවුද තාත්තෙ ඒ මාම??

ඒ චන්දරේ මාම නෙ…

ඒ මාම කොහෙද යන්නෙ??

මටත් ඕන්නැති දෙයක් නෑ නෙ…

එදත් කවුදෝ කතා කරල තාත්ත මාව හෙමින් බිමින් තියල  ගේට්ටුව ලඟට ගියා…

මං පඩිය උඩ ඉඳගෙන බලන් හිටිය…

ලිඳ වටේට කණාමැදිරි කැරකෙනව… උන් ගෙන් සමහරු හිටි ගමන් ඈතට යනව… හිටි ගමන් මගේ ලඟටත් ඇවිත් යනව…

ඔහොම ඉන්නකොට එක පාරටම එක කණාමැදිරියෙක් ඇවිදින් බිත්තියෙ වැහුව…

මගෙ උනන්දුව කොච්චරද කියනව නං එකපාරටම පඩියෙන් නැගිට්ටවුණා…

මම නැගිට්ට කියල දැනිලද මන්ද කණාමැදිරිය ආයෙමත් ඉගිල්ලුනා…

ඒත් එයාට වැඩි දුර යන්ඩ ලැබුණෙ නෑ… වලංගු නැතුව බිම වැටුණ

 

තාත්තෙ තාත්තෙ එන්ඩකෝ!!!
මං වැට ලඟට වෙලා යාලුවත් එක්ක කයිය ගහන තාත්තට කතා කළා….

ලයිට් එක එහෙ මෙහෙ යන හන්ද බිම වැටුණු කණා මැදිරිය එහාට මෙහාට ඇවිදල ඉගිල්ලෙන්ඩ දඟලන බව කලුවරේ වුණත් පෙණුන…

කතාව දිග්ගස්සන්නෙ නැතුව තාත්ත ආවම මං බිම වැටිච්ච කණාමැදිරියව පෙන්නුව…

අනේ පවු තාත්තෙ එයා වැටුණ… මං එයාව එයාව අරන් බලන්ඩද මොකද වෙලා තියෙන්නෙ කියද….??

නැත්තං කූඹි එයාව අරන් යයි….

මං කිව්වෙ හරියට මං කුරුමිණි දොස්තර වගේ

හා හා…. අල්ලන්නෙ හෙම නෑ කණාමැදිරියව… ඔහොම පුංචියට හිටියට කණාමැදිරිය වස නපුරුයි

දැන් බොලා ඌ අතට ගත්තොත් ආයෙ දෙකක් නෑ ඌ බොලාගෙ අත හපනව….

එතකොට ඒ තුවාලෙ සනීප තරන්ඩ එහෙම ලේසි පාසු බේතකට බෑ….

තාත්ත අර මට දෙයක් අවධාරණයෙන් කියන කොට දාගන්න බැරෑරුම් මූණ දාගත්ත….

ඔන්න මට මැවිල පේනව අර තාත්තටයි නිමල්මාමටයි දෙන්නටම කුණකටුවෙක් කාපු වෙලාවෙ අපේ ගෙදර හුඩ් එක යට සර්ප වෙද මාමෙක් ඇවිල්ල දෙන්නටම මතුර මතුර බෙහෙත් කළා වගේ මටත් බෙහෙත් කරන හැටි

ඒ බේත හදන්ඩ නං අහසෙ තරුයි, මූදෙ මඩයි ඕනෙ…. බෙහෙත් කරන්ඩ බැරි වුණොත්නං ඉතිං ආයෙ කරන්ඩ දෙයක් නෑ ඕං

ඉස්සර  අහසෙ අහස් යාත්‍රා යනකොට මං තාත්තගෙන් ඒ ගැන ඇහුවම එයා කිව්වෙ ඒවගෙ යන මිනිස්සු යන්නෙ පිටරට කියලයි..

ඉතිං මං හිතං හිටියෙ පිටරට තියෙන්නෙ අහසෙ කියල…

ඔන්න තාත්ත මට බෙහෙත් කරන්ඩ අහසෙ තරු හොයන්ඩ අහස්යාත්‍රාවක ගිහින් පිටරට ගොඩ බානව.. එතකොට ඒ පිටරට ඉන්න මිනිස්සු තාත්තට අහසෙ තරු කඩාගන්ඩ ඉඩ දෙන්නෙ නෑ… තාත්ත කියනව අනේ අපේ දුවගෙ තුවාලෙ සනීප කරන්ඩ එක තරුවක් දෙන්ඩ කියල.. ඒත් එයාල කියනව ඒව දෙන්ඩ බෑ කියල…

ඊට පස්සෙ නැවක ගිහිං මුහුදෙ මඩ හොයනව… මුහුදෙ ඉන්නවනෙ මෝරු…. ඉතින් තාත්ත නැවෙන් මුහුදට බැහැල අර ටීවී එකේ මුහුදෙ ගල්මල් බලන්ඩ කිමිදෙන මාමලගෙ ඇඳමක් ඇඳල මඩ හොයනව …

එතකොට මුහුදෙ ඉන්න ලොකු මෝරු ඇවිත් තාත්තව කන්ඩ හදනව…

ඉතින් තාත්තට මුහුදෙ මඩ හොයාගන්ඩත් බැරි වෙනව…කොටින්ම කිව්වොත් කණාමැදිරිය කාල හැදිච්ච තුවාලෙ සනීප කරන්ඩ හදාගන්ඩ ඕනෙ බේත හදන්ඩ වෙන්නෙ නෑ….

ඒ කියන්නෙ මං මැරෙයි!!

ඒ පාර කොහෙ දෝ තිබිච්ච අපායකුත් ආව හිතට…

ඕනෙද ඌට කියල කවුවගන්ඩ?? දැං ඔය ඔහොම හිටියට කොයි වෙලේ හරි නැගිටල ඇවිල්ල හපාවිද දන්නෙ නෑ….

තාත්ත මාව හොඳටම බය කළා….

කට්ට කලුවරේ බිම වැටිල හිටපු කණා මැදිරිය දිහා ආයෙත් පාරක් හොරෙන් බලපු මට හිතුණෙ කොයි වෙලේ හරි ඌ නැගිටල පියාඹං ඇවිත් මාව හපාවි කියල…

එපා එපා අනේ තාත්තේ.. මට බයයි …. අනේ මාව වඩා ගන්ඩකෝ!!!!

මම තාත්තගෙ ඇඟේ එල්ලිලා කෑගැහවාම මාව වඩාගෙන තුරුල් කරගත්ත තාත්ත ගෙට ගියා.

මේ කෙල්ලව කන්ඩ කණාමැදිරියෙක් ආවනෙ…

මං වඩාගෙන දුවගෙන දුවගෙන ගෙට ආව…. නැත්තං එහෙම බේතට අහසෙ තරුයි මුහුදෙ මඩයි අපි කොහෙන් හොයන්ඩද??

ඇතුලට ගිහින් අම්මට කියද්දි අම්මගෙ මූණෙ අපූරු හිනාවක් ඇඳුණ…

මං ඉස්කෝලෙ ගිහිල්ල බාලාංශ පන්තියෙ කතන්දර කියන පීරියඩ් එකේදි මේසෙ උඩට නැගල එහෙම කිව්ව කණාමැදිරියෙක් මාව හපා කන්ඩ ඇවිල්ල තාත්ත ඌගෙන් මාව බේරගත්ත කතාවයි තුවාලෙ සනීප කරන්ඩ අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕනෙ කියල…

ටිකිරි චීචත් අතින් කට වහගෙන හිනා වෙනව මං දැක්ක..

මං කතාව ගොතල කිව්ව කියල හිතිල වෙන්ඩ ඇති…

තාත්තෙ , දවසක් තාත්ත මාව රවට්ටන්ඩ කණාමැදිරියො කෑවාම බෙහෙත් කරන්ඩ අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕනෙ කියල මාව බය කලා මතකයිද??

ඊට ගොඩාක් කාලෙකට පස්සෙ මං තාත්තගෙන් ඇහුව

හහ් හහ් හා!!! කිව්ව නේන්නං…..නැත්තං බොලා බය වෙනවයැ??

ඒ කාලෙ  බොලා දකින දකින සතාව අල්ලනව… පොඩි කාලෙ බිම තිබ්බ හූණු බිත්තරෙකුත් අරං කටේ දාගත්ත එකේ කවුද දන්නෙ මොක්කු අල්ලල මොනව කරගනියිද කියල අපි නැති අතරෙ…අපි දෙන්න බොලාව උස්සගෙන දිව්ව ඉස්පිරිතාලෙට… හොඳටම බය වුණා….

අපි දෙන්නටම හිනා ගියා… මං හූණු බිත්තරේ කාපු කතාව මතක් වෙලා…

ඒ වුණාට බොරු කිව්වෙ ඇයි?? ඇත්තම කියන්ඩ තිබුණනෙ… සත්තු අල්ලන්ඩ එපා කියල…

හහ්.. එහෙම ඇත්තම කිව්වත් බොලා එව්ව නොකර ඉඳියි!

ඒ කාලෙ බොලා එව්වට බය කරල තිබුනෙ නැත්තං එහෙම අද බොලා නෑ…

තාත්ත කිව්ව….

අක්කෙ මේං ලයික්කමාරුවෙක්!!!

හා හා…. දානව ඕකව බිම… කෑවොත් නං ඉවරයි.. තුවාලෙ සනිප කරන්ඩ අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕනෙ වෙනව….

අපේ ගෙදර පුංචි සන්දියෙ ඉඳල ම ගැවසන පොඩි එකා සුද්දා කණාමැදිරියෙක්ව අල්ලගෙන අල්ලෙ තියාගෙන ඇවිල්ල මට පෙන්නුවාම තාත්තට බොරු කිව්ව කියල මහ ලොකුවට චෝදනා කරපු මට නිරායාසයෙන්ම කියවුණා…

නෑ අක්කෙ.. මු හපන්නෙ නෑ… මේ බලන්ඩකො මුගෙ ලයිට් එක… මේ ….

මෙහෙම ගියොත් සුද්ද  ඌව විච්ඡේදනයත් කරයි වගේ තව ටිකකින්!!!

මට මං ගැනම දුක හිතුණ ඒ වෙලාවෙ…..

 

අනේ ඇත්තට දැන් කාලෙ එවුන්ව බය කරගන්ඩ තියෙන අමාරුවක්!!!

 

 

කණාමැදිරියන්ගෙ ලස්සන පින්තූරෙ ලැබුණෙ මෙනන මෙතනින්:  environmentteam.com

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති. Bookmark the permalink.

35 Responses to අහසෙ තරුයි මුහුදෙ මඩයි…!!!

  1. Ravi පවසයි:

    දිනය : 2012 වෙසක් මස දසවන දින

    වේලාව : උදෑසන දහය පසුවී මිනිත්තු විස්සකි.

    ස්ථානය : බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක සම්මන්ත්‍රණ ශාලාව.

    ආයතන ප්‍රධානියා මුලසුන අරා හිඳිනුයේ දැඩි ප්‍රීතියකිනි. අද දින අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ආයතනය ආරම්භ කල පසු මෙතෙක් ලැබෙන්නට යන විශාලම කොන්ත්‍රාත් ගිවිසුමටය.

    තම කැරකෙන පුටුවේ අසුන්ගෙන මේසය මත වැළමිටි රඳවා මෙතෙක් සිටි හෙතෙම අසුනේ පසුපසටවී හරි බරි ගැසී මේසය වටා අසුන්ගෙන සිටියවුන් දෙස දෙනෙත් යොමු කලේය. වම්පස අසුන් හතර වෙන්වූයේ ගිවිසුමෙහි සේවාදායකයා වූ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධාන විධායකයා ප්‍රමුඛ උසස් නිළධාරීන් සිව්දෙනෙකුටය. ඔවුන් දෙස සිනාමුසු මුහුණින් නෙත් යොමු කල ප්‍රධානියා මඳක් හිස පහත් කරමින් ඔවුන් පිළිගත් බව හැඟවීය.

    ” හරි, එහෙනම් අධ්‍යක්ෂ තුමා…ගිවිසුම අත්සන් කරන්ට ඔක්කොම සූදානම් නේද?..අපි පොඩ්ඩක් ව්‍යාපෘති වාර්තාව බලමුද?..මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්නෙ…මම බලාපොරොත්තු වෙනව හැම දෙයක්ම නූලට දසමෙට තියෙයි කියල. මොකද කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑ. හැමෝම දැඩි වගකීමකින් තමන්ගෙ රාජකාරි අකුරටම කලේ නැත්නම් මේ වැඩේ සාර්තකව කරන්න බෑ. ”

    සේවාදායක ආයතනයේ ප්‍රධානියා පැවසූයේ අධ්‍යක්ෂ වරයාගේ දෑස දෙස ඉඳුරා නෙත් යොමු කොටගෙනය.

    ” හරි ඇත්ත, මම පිළිගන්නව..අපි මේ ප්‍රොජෙක්ට් එක ඉතාම වගකීමකින් කරන බවට මම ගැරන්ට් කරනව.මේකෙ ප්‍රොජෙක්ට් එක බාරව ඉන්න මම එසයින් කරල තියෙන්නෙ මේ මිස් ජනනි. අපේ ෆර්ම් එකේ එෆිෂන්ට්ම ඔෆිසර් කෙනෙක්.ජනනි ප්‍රොජෙක්ට් ඉම්ප්ලිමෙන්ටේෂන් රිපෝට් එක හදල තියෙන්නෙ. ”

    ” Jananai, please……could you present the implementation report now? ”

    ලොක්කා පැවසුවේ ඔහුගේ දකුණු පස අසුන්ගෙන සිටි රූමත් යුවතිය දෙසට හැරෙමිනි.

    තම උසස් නිලධාරියාහට මෙන්ම ඉදිරිපස අසුන්ගෙන සිටි අමුත්තන්හටද ආකර්ශණීය සිනහවකින් සංග්‍රහකල ජනනි නම් වූ ඇය තමා ඉදිරියෙහි වූ මයික්‍රෆෝනය සකස් කරගනිමින් මේසය මතවූ ලිපිගොනුව විවෘත කොට එහිවූ වාර්තාව කියවන්නට වූවාය.

    ” කෙසෙල් කොට පහුර උඩට ඔන්න එක පාරටම කබරයෙක් ගොඩ උනා. ඒ වෙලාවෙ මම ඒකව දැක්කෙ මහ විසාල කිඹුලෙක් වගෙ. ඌ මගෙ කකුල හපන්ඩ පැන්න දත් විලිස්සගෙන…”

    ” බුදු තාත්තේ මේ කිඹුල මාව කන්ට තනනෝ…මගෙ විලාප සද්දෙට කිරි අම්මයි, මල්දෙනියෙ ආතයි, දැහැංවකේ පුංචිඅම්මයි, ලොකු බාප්පයි, කිරි මල්ලියි ඔක්කොමල්ල දුවගෙන ආවෙ හරියට කතා කොරගෙන මම කෑ ගහනකල් දොරකොඩ බලා හිටි ගානට…”

    කතාව නවතා හිස එසවූ ජනනි තමාදෙස තුෂ්නිම්භූතව බලා සිටිනා පිරිස දෙස බලා තෘප්තිමත් සිනහවක් නැඟුවාය.

    ” ලස්සන කතාව නේද? ඔයාලගෙ මූණු වලිං මට කියන්ට පුළුවන් කතාව හිතට අල්ලල කියල…මම මේ සෑහෙන දවසකින් ලියන්ට පටන් ගත්තෙ. වැඩේ අනේ, ඔයාලට කිව්වම මොකද ලියන්ට හිතෙන්ට ඕන…නැත්නම් බලෙන් ලියන්ට ඕනය කියල හිතුවට ලියවෙන්නෙ කිසිම ලකයක් නැති විකාර. දැං ඔය අපේ පෙංබරය ඉන්නව නේද…උන්දැගෙ පොරේ ලියාපං ලියාපං කියල…ඒත් එහෙම ලියන්නෙ කොහොමද?….. ඒකට එන්ට එපාය සිතුවිලි කාරිය කුල්මත් වෙලා. ඔන්න මේ ටිකේ නම් මගෙ හිතේ අදසස් පිරිල ඉතිරිල යනව…ඔන්න කොටිම්ම අපෙ මල්දෙනියෙ මාමලයෙ ගෙ පිටිපස්සෙ දොලේ සුදුව හැලිය පැහෙන්නැහෙ…හිහ්, හිහ්, ඉතිං ලිව්වැකි දවසට එක ගානෙ…අනික මම මේ…..”

    “සේවා දායක ආයතනයේ ප්‍රධානියාගේ ටිකෙන් ටික පහතට ගමන් කල යටි තල්ල මෙ වන විට මේසයේ ගැටෙන්නට ඉතා ආසන්නය. විවර කර ගත් මුවින් සහ අයාගත් දෑසින් යුතුව ඔහු ලොක්කා දෙස නෙත් යොමුකලේය. එහෙත් ලොක්කා මේ වනවිට සිටියේ මහ රෑ සොහොන් බිමක් අබියස මෝහිණිය දුටුවෙකු සේ ජනනිය දෙස තුෂ්නිම්භූතව බලා සිටිමිනි.

    එක්වරම දෑස තදින් පියාගෙන කිහිප වරක් හිස සොලවා මේ සිහිනයක් නොවන බව සැකහැරගත් ලොක්කා පුටුවෙන් නැඟී සිටියේ බිරුසන් දෙමිනි.

    ” ජනනි පිස්සුද හැබෑට..මේක කෝලම් මඩුවක් කියල හිතුවද? මොකක්ද මේ කියවන විකාර?…කෝ ප්‍රොජෙක්ට් රිපෝට් එක? ”

    ඔහු විමසූයේ වෙව්ලන හඬිනි.

    ” රිපෝට් එක?….ආනේ….. සොරි බොස්, මම මේ වෙන කෙහෙල්මලක්නෙ කියවන්නෙ ….I am really sorry gentlemen…really sorry “

    තවමත් අයාගත් මුවින් යුතු නියෝජිත පිරිස දෙස බැලූ ඈ සුන්දර ලෙස සිනාසුනාය.

    මේසය වටා අසුන්ගෙන හුන් සියලු දෙන සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තෝය.

    ” Okay , everybody deserves a second chance. Let’s get on with it, but i am warning you sir, there shouln’t be anymore nonsense like this ”

    නියෝජිත කණ්ඩායමේ ප්‍රධානිය අන්තිම ටික කිව්වෙ ලොක්ක දිහා බලාගෙන…

    ලොක්කා ජනනි දිහා බලාහිටියෙ කන්ඩ කේන්තියකුත් එක්කම අනේ මාව බේරගනින් කියන ආයාචනයත් මිශ්‍ර වෙච්ච හැඟීමකින්.

    හැමෝම එක්ක බොහොම අහිංසකව හිනා උනු ජනනි ආයෙම ලිපි ගොණුව දිගඇර ගත්ත.

    ” වත්ත කෙලවර මාදං පඳුරු වටේට දිස්නෙ දි දී එහෙ මෙහෙ ඉගිලෙන්නෙ කනා මැදිරියො…උන්ගෙ පස්ස පැත්තෙ තියන ලයිට් එකට මම ඒ දවස්වල හරිම ආසයි.දවසක් තාත්තගෙ ඔඩොක්කුවෙ මම හිටියෙ ඔය කණාමැදිරියන්ගෙ එළි බල බල. තාත්ත චන්දරේ අයිය එක්ක කතා කරන්ට කඩුල්ල ගාවට ගිය ටිකට මම කණාමැදිරියො හතර පස් දෙනෙක් අල්ලල ගිල්ල. එහෙම කලේ උං කෑවම බඩේ ලයිට් පත්තු වෙනවයි කියල මගෙ යාලුවෙක් එදා දවල් ඉස්කෝලෙදි කියාපු හින්ද. ”

    ” කෝ තාත්තෙ ලයිට් පත්තු වෙන්නෙ නෑනෙ බඩේ? ”

    මම තාත්ත කඩුල්ල ලඟ ඉඳල ආපහු ආහම ගවුම උස්සල තාත්තට බඩ පෙන්නල ඇහුව.

    ” මොකක්? ”

    තාත්ත ඇහුවෙ ඇස් උඩ තියාගෙන…

    වාර්තාව කියවීම මොහොතකට නතරකරල ඈ හිස එසවූවාය.

    ” ඔන්න, ඔයාල ඔය ඉන්නෙ ඇසුත් ලොකු කොරාන දොඹගෙඩි වගෙ…. අනේ අපේ තාත්ත එදා හිටියෙත් ඔන්න ඔය වගේමයි..මේ ඇත්තමයි. ”

    ” අනික ඔයාල දන්නවද කණාමැදිරියො හැපුවම හොඳ කරන්ට අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕනය කියල…ඒත් අපි කලාමැදිරියො ගිල්ලම කොහොමද හොඳ කරන්නෙ?…අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියල දෙන්ඩලාකො…ගල්බිතවෙලාවගෙ බලා ඉන්නෙ නැතුව. ”

    ” ජනනීඊඊඊඊඊඊඊඊඊඊඊ………….”

    ලොක්කගෙ අඳෝනාව බම්බලපිටිය හන්දිය දිහාටත් ඇහුන කියල ඔන්න කවුද කිව්ව…

    • රන්දිල් පවසයි:

      මට පේන්නේ අයියලා නගාලා සේරම,

      http://www.malkakulu.com/2012/05/blog-post_10.html මේකේ තියෙන එව්වා කාලා බීලා

    • mekuwi පවසයි:

      මට මතක් උනේ “Alvin and the chipmunks ” එකේ Dave ,Alviiiiiiiiiinnnnnnnnnn …………. කියල කෑගහන හැටි.. ජනුත් alvin වගේද දන්නේ නෑ..මේ අය්යේ එක්කෝ අර පිටසක්වලයව මොන wedding එකක් කරලා හරි ඉවර කරන්න නැත්තන් ඒකාව සුදු වැන් එකක නග්ගල අතුරුදහන් කරලා අලුත් ආදර අන්දරය පටන් ගන්න අප්පා..

      • Ravi පවසයි:

        ඉඳපන් බං ටිකක් ඉවසල….ඔහොමත් පුළුවන්ද අර කොහෙද මොනවද ගහගත්තැහෙ 🙂 🙂

        මේ ටිකේ ටිකක් වැඩ බොලං….ඉන්නකො විගහට දඩයක්කාරය ඉවරයක් කොරනව…අන්න ඊට පස්සෙ තමයි දොරට වඩින්නෙ…..මෙකුවිය පුල පුලා බලා සිටිනා ඒ අනුවේදනීය, ලයාන්විත, මන මෝහනීය, අනභිභවනීය…..සදාදරණීය පෙම් පුවත….පපර පපර පෑං, පෑං, පෑං……… ” කුමරියකට පෙම් කලෙමි ” 😀 😀

    • මහිම මදුරංග පවසයි:

      සිරා මාරයි නේ

    • සාතන් පවසයි:

      රවී අයියත් මරු කතා තමයි කියන්නෙ…

      • Ravi පවසයි:

        @ මහිම මදුරංග,

        @ සාතන්,

        ස්තූතියි..මුන්දැ ලියන විසිවිත්තර කියෙව්වම මයෙ මොලෙත් කොලොප්පං වෙලා ඔන්න ඔය වගෙ බූත තමයි හිතෙන්නෙ 🙂

    • @ රවි අයියා: හහ්!! මෙයිට වැඩිය එව්ව මං කොරල තියෙනවනෙ බොල අයියෙ
      කඳු බිරුවට බල්ලො පාත් වෙනවයැ?? 😀
      @රන්දිකා: බොහොම ස්තූතියි මේ පැත්තට ආවට… පේනව නේද අයියගෙ පිස්සුවෙ තරම?? 😀
      @මෙකුවි: රවී අයිය ඉතිං එයාට වෙච්ච දේවලුත් දාල පේනව නේද මඩ ගහන හැටි…. මට ඔය දඩයක්කාරය අහුවුණොත් නං මං ගන්නව මුන්දැගෙන් ගන්ඩ තියෙන වාඩුව අම්මප ආයි දෙකක් නෑ 🙂
      @මහිම: මරු මරු 😀
      @සාතන්:රවීඅයිය කටක් ඇරියොත් ඉතිං ආයෙ මනවද සාතන් අයියෙ 😀

    • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

      /*මගෙ විලාප සද්දෙට කිරි අම්මයි, මල්දෙනියෙ ආතයි, දැහැංවකේ පුංචිඅම්මයි, ලොකු බාප්පයි, කිරි මල්ලියි ඔක්කොමල්ල දුවගෙන ආවෙ හරියට කතා කොරගෙන මම කෑ ගහනකල් දොරකොඩ බලා හිටි ගානට…*/

      අනේ මට විලම්භීත පොත මතක් උනා. අක්කයි මල්ලියි හොරෙන් පැණි කජු කන්ඩ ගිහිං බංකුව පෙරළිලා තිලක උණු වතුර කේතලෙත් පෙරළගෙන වැටිච්ච වෙලාවේ කට්ටිය දුවගෙන ආවෙත් ඔහොමමයි.

      @ ජනූ අක්කා

      අදත් හරි ලස්සන කතාවක් අක්කේ. ඔයාට කමෙන්ට් එකක් පස්සෙ දාන්නංකෝ.

  2. sarath chandrasiri පවසයි:

    ඇයි බං දැන් මම මොකාගේ පෝස්ට් එකටද කමෙන්ට් එක දාන්න ඕන?

  3. sarath chandrasiri පවසයි:

    කොහොම උනත් මේ ටික පෝස්ට් එකේ නියම අයිතිකාරිට……………. මේ වෙනකොට මමත් ආධුනික තාත්තෙක්.මගේ දූත් ඔයා කියන විදිහේ දාහක් ප්‍රශ්ණ අහනවා කියලා නිතරම මගේ බිරිද මට කියනවා.මම එයාටත් කියන්නම් ඔයාගේ පෝස්ට් කියවන්න කියලා.සමහර විට දොනිගේ ප්‍රස්ණ වලට උත්තර හොයන්න පහසුවක් වේවි ඒක.ජය..!

  4. Gold fish පවසයි:

    මමත් ඉස්සර හිතන් හිටියේ පිටරට තියෙන්නේ අහස උඩ කියලා.
    රෑ බදුල්ලාව දැකලා තියෙයි? ලයිට් කෝච්චිය කියන්නේ… ඌව නම් මං අතේ තියාගෙන ඉඳලත් තියෙනවා. ම්… තව අපේ ලිඳ ගාව තියෙවා රෑට දිලිසෙන චූටි ගස් වගයක්…!

  5. Buratheno පවසයි:

    මේවා කියවලාම මට දැන් නිකං පිස්සු වගේ.. මට යාන්තමට වගේ හිතාගන්න පුළුවන් ජනූගෙ තාත්තට ඒකාලෙ කොහොම හිතෙන්න ඇද්ද කියලා මේකිගෙ මේ පිස්සු විකාර දවසගානෙ අහං ඉදලා.. 😛

  6. කිරිපුතා පවසයි:

    මේවා කියෙව්වම ආයෙ පුංචි කාලෙට ගිහින් එන්න හිතෙනවා.

  7. මහිම මදුරංග පවසයි:

    අක්කේ සිරාවටම ආයි පොඩි කාලෙට ගියා වගේ.

  8. සාතන් පවසයි:

    අහසෙ තරුයි මුහුදෙ මඩයි කතාව නම් මමත් අහල තියෙනව… ඒ වුනාට ඉතිං කණාමැදිරියොනම් ඇල්ලුව… මොකද මම අහල තියෙන්නෙ රෑ බදුල්ලො කෑවොත්ලු අර බේත ඕන වෙන්නෙ 🙂

  9. praveena පවසයි:

    කසාද බැන්දාම කට්ටියට පොඩි කාලේ මතක් වෙනවා වගේ. මොකෝ ජනූ මේ අපි කමෙන්ට් දාන්ට කලින් අලුත් පෝස්ට් ලියන්නේ. ගිය පාර එකට කමෙන්ට් එකක් හිතාගෙන වාඩි උනු හැටියේ මෙන්න අලුත් එකක්.:)

    ලස්සනයි කතා ටික. ආපහු පොඩි කාලෙට ගියා වගේ.
    පිටරට තිබුනේ අහසේ කියලා හිතුවා. පොඩි කාලෙත් දැන් කාලේ වගේම තමා නේද?:D

  10. තරු පවසයි:

    හරිම ලස්සනයි ….පුංචි කලේ මතක් වෙනවා…..

  11. henryblogwalker පවසයි:

    මගේ තාත්තා මතක් වුනා බං. 😦
    මට නම් පිට රට තියෙන්නෙ අහසෙ කියලා කවදාවත් මතක්වුනේ නෑනෙ. සික්! අපරාදෙ!!
    කණාමැදිරියා කෑවාම අහසෙ තරුයි මුහුදෙ මඩයි ඕනෙ කියලා තමයි මමත් අහලා තිබ්බෙ.
    හූණු බිත්තර මොන රහද? ඕං මට මිස් වෙච්ච් දෙයක්. 😦
    මොකාද බොල ලයික්කමාරුවා කියන්නෙ? රෑ බදුල්ලද?
    මේ රවියා ලෝක වාර්තාවක් පිහිටවන්නද හදන්නෙ ලෝකෙ දිගම කමෙන්ට් එක ලියලා? 😀
    henryblogwalker the Dude

    • Ravi පවසයි:

      මෙව්ව මොනවද බං මම කලිං ලියාපු කමෙන්ට් වල හැටියට…මාගල් ලිව්වෙ මලේ මාගල්…මාගල් 🙂 🙂

      • සුද්ද ඔය ලයික්කමාරුව කිව්වෙ අයියෙ කණාමැදිරියට නෙව…. තව ලයිට් පැටිය කියලත් කිව්ව, දැං කාලෙ නැහැදිච්ච එවුං කියන්නෙ ලකේපුයිට් කියල….
        හූණු බිත්තරේ කටට දාල හපන්ඩ විතරයිද කොහෙද පුලුවං වෙලා තියෙන්නෙ… තාත්ත අල්ලගෙන ඒක වමාරල නෙ… නැත්තං කියන්ඩ තිබුණ මොන රහද කියල ඕං…
        රවී අයිය ලියපු කමෙන්ට්වල දිග මයින්ඩ හෙම ඕනෙ නං යන්ඩ වලව්ව පැත්තෙ…

  12. Buru පවසයි:

    ඇහ් කනාමැදිරිරියෝ…!
    මම උන්ව පොඩි කාලෙන් පස්සේ දැකලම නැද්ද කොහෙද?
    ඔයාලාගේ පැත්ත තාම උන් ඉන්නවද ජනුවෝ?
    ඉස්සර මම රෑට රෑට උන් පස්සෙ යනවා උන් එක්ක හඳට යන්න. මම හිතන් හිටියේ උන් ඉනෙන් හදේ කියලානේ….

  13. ප්‍රියන්ත පවසයි:

    ජීවිතය ආපහු ලියන එක අමාරුයි…. ඒක දැනෙන්න ලියන එක ඊට වඩා අමාරුයි.. ඒත් චිත්ත රූප මැවෙන්න, චිත්‍රපටියක් වගේ මැවිල පෙනෙන්න ලියන්න පුළුවන් මිනිස්සු ඉන්නෙ හරිම ටිකයි… ඒක ඒ තරම්ම අමාරුයි! ජානු එහෙම කෙනෙක්!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )