අපායයි මගේ පවු කෙරුවාවයි..!!!

ඒයි ඒයි….. බොලා මොකද්ද ඔය කරන්නෙ..??

ඇයි ඔය අහිංසක සත්තුංගෙ තටු ගලවන්නෙ

තාත්ත ගෙයි ඉස්සරහ දොරකඩට ඇවිල්ල මහ හයියෙං කෑ ගැහුවා

කලින්දා වැස්සට ඉස්තෝප්පුවෙ සිමෙන්තිය වැහෙන්ඩම මෙරුවො පදිංචි වෙලා..

තාත්තගෙ සද්දෙට මෙරුවො අල්ලල උංගෙ තටු ගලව ගලව හිටපු මාව විතරක් නෙවෙයි එතෙන්ට වෙලා  යසට සප්පායං වෙවී හිටපු බතික් පූසිත් උඩ ගියා!!!

මායි බතික් පූසියි දෙන්න ඉස්සරහ දොර ඇරගෙන ආවෙ සෙල්ලං කරන්ඩ…

ඒ එනකොට තමයි දැක්කෙ එතන හිටපු මෙරුවො කන්දරාව…

බතික් නං පැන්න ගමන් මෙරුවො පොදියක්ම කටේ අලවගත්ත…

මට උන් පාගගෙන එලියට යන්ඩ විදියකුත් නෑ!!!

ඉතිං මං ඉස්සරහ පඩිය උඩ ඉඳගෙන මෙරු දිහා බලං හිටිය..

උන් කලින්දවසෙ නං අපේ හුඩ් එක යට ලයිට් එක වටේ කැරකි කැරකි හිටියෙ හරියට උපන්දින සාදෙකට ඇවිල්ල වගේ…

අද නං හරිම අසරණව බිම වැටිල ඉන්නෙ…

සමහර අයගෙ තටු  නෑ… .තටු නැති සමහරු තටු තිබුණත් පියාඹන්ඩවත් ඇවිදගන්ඩවත් බැරුව වැටිල ඉන්න තමන්ගෙ සගයන් ගෙ උඩිනුත් ඇවිදිනව…

හුලඟක් හමාගෙන ඇවිත් ගැලවිච්ච මෙරුතටු  එහාට මෙහාට හොලවල දැම්ම… ඒ අතරින් මතුවෙච්ච තටු කැඩිච්ච මෙරු ගතකරන්නෙ තමන්ගෙ අවසාන කාලෙ කියල මං දැනගෙන හිටියෙ නෑ ඒ වෙද්දි…

මට හිතුණෙ උන් තටු ගැලවුණාම කූඹි වෙනවයි කියල…..

හරි හරි!!!! බතික් ඔයා දන්නවද?? මේ මෙරුන්ගෙ තටු ගැලවුණාම උන් කූඹි වෙනව!!!මේ එයාලව කාල දාන්ඩ එපා… අපි එයාලට කූඹි වෙන්ඩ උදව් කරමු!!!
මම එහෙම කියල තටු තිබුණ මෙරුවෙක් අල්ලගෙන උගේ තටු දෙකම ගලවල දැම්ම… දාල ඌව බිමින් තිබ්බ… වලංගු නැතුව පොඩ්ඩක් දෙපැත්තට පැද්දිච්ච මෙරුව ගමන් ආරම්භ කළා….

මට හිතුණෙ එයා මට ස්තූති කරකර යනවයි කියල…

ඊලඟ මෙරුව ව අල්ලගන්නකොට තමයි තාත්ත කෑගැහුවෙ…

බොලා මොනවද මේ කරන පවු වැඩ…. උන් වැටිල මැරෙන්ඩ යන වෙලාවෙ බොලා උංගෙ තටුත් ගලවනවද….

තාත්තෙ… මං එයාලට කූඹී වෙන්ඩ උදව් කළා විතරයි මැරෙන්නෙ නෑ උන්…

මං මගෙ පණ්ඩිත වාක්‍ය දාල වැඩේ සාධාරණිකරණය කරන්ඩ හැදුවත් වැඩක් වුණේ නෑ…

තාත්ත පඩිය උඩින් මාව ඉන්දවල  එයත් ඉඳගත්තෙ බර කතාවකට කියල මට තේරුණා…

මම කියල දීල තියෙනව නේද අපාය ගැන බොලාට…

තාත්ත ඇහුව

මහ බැරෑරුම් භයානක හඬකින්!!

අපාය!!!

දවසක් දවල් නිදි පැයේදි නිදාගන්ඩ කලින් අපි දෙන්නට  කතන්දර කියන තාත්ත ඒ ගැන විස්තර කරපු හැටි මට ඒ විදියටම දෝංකාර දෙමින් ඇහෙන්ඩ ගත්ත!!

ජීවත් වෙලා ඉද්දි වැරදි කරපු මිනිස්සු මැරුණාම යමපල්ලො ඇවිත් අපායට ඇදං යනව….කටු ඉඹුල කියන උල් කටු තියෙන ගහ දිගේ තමයි අපායට මිනිස්සු අරන් යන්නෙ.. ඒ ගහේ කටු අපි හැරෙන හැරෙන පැත්තට හැරෙනව… ඒ හන්ද කොහොමවත් බේරෙන්ඩ බෑ කටු ඇනෙන එකෙන්…

ඊට පස්සෙ සේරමලව යම රජ්ජුරුවො ලඟට එක්කන් යනව…යන්නෙ ලේ පෙරි පෙරී….

යන කොට යම රජ්ජුරුවො ඉන්නව ආසනේ උඩ

 මිනිහගෙ ආසනේ  ඇන්ද උඩ මෙන්න මෙහෙම විරිත්තගත්තු මිනී ඔලු දෙකක් ගහල තියෙන්නෙ..

ඊට පස්සෙ එක එක්කෙනාගෙන් අහනව තමන් කරපු වැරදි මොනවද කියල…

එම්බා නරය, අපායේ දඬුවම් විඳින්නට තොප කළ වරද කුමක්ද?

යම රජ තුමනි මම සතුන් මැරුව…

හා….එහෙමද?? තොප කළ වරදේ බරපතල කම වැටහෙන්නටත් එක්ක දෙන්නම් හොඳ දඬුවමක්!!!

යමපල්ලනි.. වහාම මූ ලෝදිය හැලියේ හත්වරක් ලා ගොඩ ගනු…

ලෝදිය කියන්නෙ මොනවද තාත්තෙ?

හහ්… ඔය පාරෙ තාර දාන්ඩ උණු කරන්නෙ…. ආන් ඒ වගේ හැම තිස්සෙම පැහි පැහි තියෙන ලොකු හැලියක තමයි ලෝදිය තියෙන්නෙ… ඒ කියන්නෙ යකඩ උණූ කරපුව

ඉතිං ඊට පස්සෙ..??

ඊට පස්සෙ යමපල්ලො ඇවිල්ල මිනිහව අරන් යනව යන්නෙ හෙල්ලෙන් ඇන ඇණා…

ගිහින් මිනිහ කෑ ගහද්දි ලෝදිය හැලියෙ දානව…

මිනිහව ගොඩ ගන්නකොට හමක් නෑ…. රෝස පාටයි!!!

ඊට පස්සෙ ගන්නව ඊලඟ පවුකාරයව…

ඔහොම එක එක වැරදි වලට එක එක දඬුවං දෙනව…

කටු ඉඹුලෙ හත් පාරක් නග්ගනව.. කියත්වලිං ඉරනව….

මට සේරම මැවි මැවී පෙනුණෙ හරියට චිත්‍රපටියක් බලන්ඩ ගියා වගේ

අපායෙ සත්තු මරපු සත්තුන්ට හිංසා කරපු මිනිස්සුන්ට දුන්න දඬුවම් මතකයි නේද බොලාට??

මං සද්දයක් නැති බව තේරුණාම තාත්ත කිව්ව

මං ඔලුව වැනුවෙ ඔවු කියන්ඩයි

ආයෙ කවදාවත් අහිංසක සත්තුන්ට හිංසා කරන්ඩ එපා!!!

බොලා දැං ඔය තටු ගලවන එකෙං ඔය අහිංසක මෙරු මැරෙන එක ඉක්මං වෙනව…

මං ආයෙ එහෙම කරන්නෙ නෑ තාත්තෙ….

මං තාත්ත බදාගෙන පොරොන්දු වුණා…

දවස ගෙවුණ….

උදේ මෙරුන්ගෙන් වැහිල තිබුණ සිමෙන්තිය හවස්වෙද්දි සුද්ද වෙලා තිබුණ…වරින් වර හැමුව හුළං පාරට මෙරු සේරම විසිරිලා ගිහින් මිදුලෙ තැන් තැන්වල පැලපදියං වෙලා තිබුණ…

මිදුලෙ සෙල්ලම් කරන්ඩ ආව මට ඒ මෙරු තටු දැක්කම අපාය මතක් වුණා…. මැරෙන්ඩ බය හිතුණ.

පුංචි කමට වුණත් ඒක මතක් වුණාම බඩ පපුව පිච්චිලා යනව දැණුන මට මතකයි….

මුලු දවස තිස්සෙම මොනව කළත් මෙරු මතක් වුණ වෙලාවට ඇස් දෙකේ කඳුලු පිරුණ

මෙහෙ එන්ඩ…ඇඟ හෝදවන්ඩ..

කිරි අම්ම හැන්දෑවෙ කුස්සියෙ එකෙල මෙකෙල වෙවී හිටපු මාව අල්ලල ඇඟ හෝදවල කෑම කවන්ඩ පටන් ගත්ත…

එක පාරටම ආයෙමත් අපාය මතක් වුණේ කොහොමද කියලනං මට මතක නෑ…

මට පෙණුනෙ හරියට  කුස්සිය දෙබෑ කරන් ගිණි දැල් මතු වෙලා අර දෙව්දත් තෙර ඇදන් ගියා වගේ මාවත් ඇදන් යන්ඩ යමපල්ලො දැන් එයි දැන් එයි වගේ!!!

ඒ සිතිවිල්ල දරාගන්ඩ බැරි කමට මගෙ කටේ තිබුණු බත් පංගුවත් පිට උගුරෙ ගියා!!!!

හෙමිහිට හපල කන්ඩ ළමයො.. මොකද ඔය හැටි හදිස්සිය…

එහෙම කියල කිරිඅම්ම මට වතුර පෙව්ව

මට ඇති ආච්චිඅම්මෙ…

කටවල් තුන හතරක් කාපු මට එතනින් එහාට කාගන්ඩ බැරි වුණේ  බැරි වෙලාවත් අද රෑ මැරුණොතිං අපායට යන්ඩ වෙනව නේද??එතකොට යම රජුජුරුවො දෙන දඬුවං විඳින්ඩ පුලුවං වෙයිද?? මේ වගේ අටෝරාසියක් දේවල් මගෙ ඔලුවෙ පිරිච්ච හන්දයි!!!

එහෙනං යං දත් මදින්ඩ…. ඊට පස්සෙ නිදාගන්ඩ..

මගෙ හිතේ මොනව හරි වැඩ කරනව කියල තේරිච්ච කිරිඅම්මත් බලකලේ නෑ කෑම කන්ඩ කියල

මං හිතන්නෙ මං  මැරෙනවට… මිනී පෙට්ටිවලට බය වුණේ ඔය අපායෙ සිද්දිය හන්ද වෙන්ඩ ඇති

අර පොඩ්ඩිට වගේම මටත් ඉස්සෙල්ලාම සමීපතමයෙක් මැරුණ කියන අත්දැකීම ලැබුණෙ කිරිඅම්ම හිටි අඩියේම මිය ගිය වෙලාවෙ…

මේ හිටිය… අමාරු වෙලා ඉස්පිරිතාලෙ අරන්ගියා…. රෑ වෙද්දි අරන් යන මගදිම අපේ අම්මගෙයි ලොකු නැන්දගෙයි කඩේ ආච්චිඅම්මගෙයි ඔඩොක්කු උඩම නැති වුණා

මට ඒක පුදුමයක් වුණේ නෑ…  ඈ අවසන්ගමන් යන්ඩයි යන්නෙ කියන එක මට දැනුණ…. සමහර විට අපි අතරෙ තිබුනු දැඩි බැඳිම නිසාම වෙන්ඩ ඇති  එදා

කිසි දවසක නැතුව ඈට උණ අරන් ඇඳේ වැතිරිලාම ඉන්නකොට,

ආච්චි අම්මෙ එන්ඩ ගලිවර් බලන්ඩ….

කියල ඇගේ ප්‍රියතම කාටුන් එක වෙච්ච ගලිවර්ගේ සුවිසැරිය බලන්ඩ කතා කරද්දිත් ඈ

මට ටිකක් අමාරුයි දුවේ ඔයාල බලන්ඩකො කිව්වාම

ඈ වරින් වර වැසිකිලි යන්ඩ ගත්තාම, තාත්තත් වැඩට ගිහිල්ල හන්ද කිරිඅම්මව ඉස්පිරිතාලෙ එක්ක යන්ඩ අම්ම කලබල වෙලා වාහන හොයන්ඩ ගත්තාම මට මොකද්දෝ අමුත්තක් හිතට දැණුන…

කිරිඅම්ම මැරෙයිද??

මගේ හිතේ එදා හවස් වරුවම වැඩ කලේ ඒ ප්‍රශ්නෙයි..

අනේ යමපල්ලො කිරිඅම්මව අපායට ඇදන් යයිද??

නෑ… කිරි අම්ම පවුකරන්නෙ නෑ නෙ… පන්සල් යනව… සිල් ගන්නව.. බුදුන් වඳනව හැමදාම.. ඒ හන්ද එයා දිව්‍ය ලෝකෙ යයි!!!

එහෙම හිත හිතා ඉන්න අතරෙම මට නින්ද ගිහින් තිබුණ…

ආච්චි අම්ම නැතිවුණා නෙ චූටි පුතේ ඊයෙ ඉස්පිරිතාලෙට යන මගදිම…

නිදාගත්තෙත් දවසම ගැවසුණෙත් කිරිඅම්මත් එක්ක වුණු කොට ඇගේ අභාවය මට දැඩි කම්පනයක් වෙයි කියල හිතල අම්ම මට බොහොම හෙමින් හෙමින් තමයි ඒ ආරංචිය දුන්නෙ

ඈ බොහොම ශාන්තව අපි දෙන්න නිදාගෙන හිටපු ඇඳේ වැතිරිලා හිටිය

පහනක් බොහොම මලානික එළියක් විහිදවමින් ඉහ අද්දර දැල්වුණා!!!

අනේ කිරිඅම්ම එක්කමනෙ හිටියෙ… හරි දුක ඇති..

කිරි අම්ම වටේ එක්රැස් වෙලා හිටිය ගමේ වයසක උන්දැල මාව දැක්කාම මුණු මුණු ගෑව..

මට ඉකි ගැහුණ.. අම්මව බදාගෙන මං ඇඬුව මතකයි….

දවල් බත් හෙම කාල කිරිඅම්ම නින්දක් නිදා ගන්න වෙලාවට මමත් ගිහින් ඇඳේ ඉන්නව…

ඈට නින්ද යනව….

ඈ නින්දෙන්ම මැරෙයි කියල බය හිතිල මම සැරෙන් සැරේ ඉස්සිලා බලන්නෙ ඇගේ පපුව උස්පහත් වෙනවද කියල… ඈ හුස්ම ගන්නව කියල තහවුරු කරගන්ඩ… හොරෙන්ම පපුවට අත තියලත් බලනව….

කිරිඅම්මෙ…කිරි අම්මෙ… නැගිටින්ඩකො…..

ඒ වුණත් විශ්වාස නෑ වගේ හිතුණොත් මං ඈට කතා කරනව…

නිදාගන්ඩකො ළමයො….. ඈ මට නින්දෙන්ම කියනව…

දවසක් මල්ලියි මමයි දෙන්න බත්කූරෙක්ගෙ පස්ස පැත්තෙ නූලක් බැඳල  ඌව  සරුංගලයක් වගේ ඉගිල්ලෝනව අහුවෙලා කිරි අම්ම පැයක් විතර අපි දෙන්නව මේස කකුලක ගැට ගහල තිබ්බ…

අපායට ඇදගෙන යයි දැන් ඉන්නවලකො….ලෙහන්නෙ නෑ මං අද දවසම …..තේරෙනවද දැන් ඒ අහිංසක සතාට දැනිච්ච වේදනාව දෙන්නට??

ඈ සැර කලාම අපි දෙන්න ඇඬුව

ආයෙ එහෙම කරන්නෙ නෑ කිරි අම්මෙ අපි දෙන්නව ලෙහන්ඩකො!!!

අනේ තාත්තට නං කියන්ඩ එපා!!!

ටික වෙලාවකින් අත්ත ඇවිල්ල අපි දෙන්නව ලිහනකල්ම අපි දෙන්නට දැණුනෙ හරියට අපි දෙන්න අර බැඳගෙන උඩ යැව්ව බත් කූරට දැණිච්ච බයමයි….

අනපේක්ෂිත ලෙස නෑදෑ සොයුරු සොයුරියන් එක් රැස්වෙලා සෙල්ලමට හිත ගිහින් තිබුණත් මලගෙදර ඉවර වෙලා සියලු දෙනා විසිරුණාම අපි හැමෝම හිටියත් මට ගෙදර පාලුවක් දැණුන…

ඈ නැතිව පහන් පැලේ මල් පුදන්ඩ බැරි හන්ද ගේ ඇතුලෙ බුදු කුටියක් හැදුන..

කිරි අම්මයි මමයි දෙන්න නිදාගත්ත කාමරේට මම තනියට යන්ඩවත් බය වුණා…

ඒ කාමරේ ඇතුලෙ තිබුණ මීපැණි හොරෙන් කන්ඩ නං මල්ලි එක්කල යාලුවෙං ඉන්ඩ වුණා…

පස්සෙ කාලෙක නං ඒ බයවල් නැති වුණා… ඒ කාමරේ පදිංචියටත් ගියා…

ඔහොම ගිහින් අත්තත් අපිව දාල ගියා… ගමේ ආතත් යන්ඩ ගියා…

තාත්ත නැති වෙන දවස වෙන කොට අපි වයසින් වැඩිල අපාය වගේ දේවල් ගැන ඒ හැටි විශ්වාසයක් නැතිවුන් වෙලා… මොනදේ දිහත් වයසට වඩා මෝරපු, වෙනස් විදියට බලන ඈයො වෙලා නෙ හිටියෙ…

ඉතිං පවු කරල මැරුණම අපායට යනව කියන එක නං අමතක වෙලාම ගියා!!

හැබැයි යන මග කූඹියෙක් වතුරෙ වැටිල හිටියත් නතර වෙලා ගොඩින් අරන් තියල යන පුරුද්දක් මටත් නොදැනුවත්වම ඇති වුණා…

ඔය කොච්චර කිව්වත් මදුරුවෙක්  මාව කනව ඉවසන්ඩ බැරිවුණාම තටස් ගාල ඌට ගැහුව!!

නයි කූඹියෙක් මාව කෑවොත් ඌව දෙකට කඩන්ඩ හිතුණ…

ඇයි අප්ප ඉවසන්ඩ පුලුවංයැ.. මොකෝ මම  ලේ දන්සැලක් ය??

දුව… මොකද්ද ඔය කරන්ඩ යන්නෙ…

සත්තු මැරුවාම වෙන දේ දන්නව නේද??

ඔය මොන පින්කං කළත් මේ පහුගිය දවසක කැරපොත්තෙක්ට සපත්තුවෙන් පාරක් ගහන්ඩ ගිහින් පෙම්බරයගෙ අම්ම මගෙන් එහෙම ඇහුවාම මට ආයෙමත් එක පාරටම අපේ තාත්තගෙ අපාය මතක් වුණා…

මං මීය වගේ සපත්තුව පැත්තක දාල කැරපොතු උන්දැව අල්ලල එළියට විසි කළා!!!

ඇයි දෙයියනේ කොච්චර පින් කළත් වැඩක් නෑ නෙ…ඇත්තටම අර තාත්ත කිව්ව වගේ යමපල්ලො මාව අපායට ඇදගෙන ගියොත් එහෙම කාට කියන්ඩද??

පින්තූරෙ ලැබුණෙ මෙන්න මෙතනින් monarchbfly.com

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

20 Responses to අපායයි මගේ පවු කෙරුවාවයි..!!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අනේ ඇඟ හිරිවැටෙන පින්තූරයක්නෙ දාලා තියෙන්නේ. 😦

    මරණාසන්නව ඉඳලා, අපායටත් ගිහිල්ලා කඨින පිංකම කරන්ඩ තියෙන බව යම රජ්ජුරුවන්ට දන්නලා ආපහු මේ ලෝකෙට ආපු මනුස්සයෙක් ගැන ඊමේල් එකක් මං දැනට ටික කාලෙකට කලින් කියවලා තියෙනවා. ඇත්තද බොරුද කියලනම් දන්නෙ නෑ.

    /*ඇයි දෙයියනේ කොච්චර පින් කළත් වැඩක් නෑ නෙ…ඇත්තටම අර තාත්ත කිව්ව වගේ යමපල්ලො මාව අපායට ඇදගෙන ගියොත් එහෙම කාට කියන්ඩද??*/

    ආ, මට කෝල් එකක් දෙන්ඩ. මං ට්‍රාන්ස්ෆර් එක හදලා දෙඤ්ඤං!

  2. Gold fish පවසයි:

    හූ හූ මෙයා යම පල්ලන්ට බය වෙලා….

    මෙරුවන්ගේ තට කැඩුනම කූඹි නෙමෙයි වෙන්නේ… වේයෝ…!

    • හා… ම හිනා වුණා වගේ නෙවෙයි උඹට තේරෙයි අපායට යන්ඩ වුණාම හරිය??
      නෑ නෙ බොලං.. වේයොන්ට තටු ආවම තමයි මෙරු වෙන්නෙ… උංගෙ තටු කැඩුණම ආපහු වේයො වෙනවැයි… එතකොට උං තටු කැඩිච්ච මෙරු මිසක්??

      • Ravi පවසයි:

        මෙරු කියන්නෙ වේයො තමන්ගෙ වර්ගයා පතුරවන්ට පාවිච්චි කරන උපක්‍රමය…කාලෙකට වේයො කට්ටියකට තටු ඇවිල්ල යනව දුර බැහැර පියාඹල..ඒ කරල කොහෙ හරි අලුතින් හුඹහක් හදාගෙන පරපුර බෝ කරගෙන ඒකෙ පදිංචි වෙනව…

  3. Buratheno පවසයි:

    මට නං ටක්කෙටම ෂුවර් ඔය ජනුවා සිත්තමියා වගේ එවුං අපායට ගියත් ගිය පරක්කුවෙන් ආපහු එවනවා මේ ලෝකෙටම.. ඇයි බොලං මුන්ගෙ පිස්සු විකාර ඉවසං ඉන්න පුළුවන්ද යම රජ්ජුරුවන්ට වුනත් මං අහන්නෙ.. 😛

  4. sarath chandrasiri පවසයි:

    මට හිතෙන විදිහට එදා අපේ වැඩිහිටියෝ එහෙම කීවේ අපේ හිත්වල පව් වැඩ වලට බය ඇතිකරන්න. මොකද ඒ අය දැනගන හිටියා ඒක අපි අතින් හිංසාවට ලක්වෙන අසරන සත්තුන්ට බෝනස් එකක් වෙන බව.ඒ කතා අපි විශ්වාස කලේ අපට මතක තිබුනේ ඒවයේ තිබුනු නිර්මාණාත්මක බව නිසා.සුලු මොහොතකට හරි අපිවත් අපේ ළමා කාලයට ගෙන ගියාට තුති. ජය….!

  5. mekuwi පවසයි:

    ඔයාගේ ලියවිල්ල නම් හරිම ලස්සනය් ජනු..අපරාදේ මේක මට මෙච්චරකල් මග ඇරුනේ..දැන් නම් හැමදාම එනවා මේ පැත්තේ…

  6. පවසයි:

    අපොයි ඉස්සර කරන පව් වැඩ
    ඒ කාලේ අපිත් ඔය බත් කූර අල්ලලා ගැට ගහන වැඩේ කලා
    ඌටකන්න කියලා එක එක ගෙඩි ජාතිත් දෙනවා.
    බිංකුඩෝ එලියට අරන් කරකවනවා උන්ව ගන්නේ ගුලට ඇමක් හැටියට කූඹියෙක් දාලා
    කඩියයි දිමියයි ෆයිට් බලනවා වලක් හාරලා වීදුරුවක් යටින් දාලා. මොන අපාය ගැන දැනන් හිටියත් මට සත්තු පේන්න බැහැ ඒ කාලේ ගල් පාරක් දෙන්නමයි හිත.

  7. henryblogwalker පවසයි:

    පෝස්ට් එක කියවද්දි මට හිතුන හැම දේම ලිව්වොත් ජනුවගෙ පෝස්ට් එකට වැඩිය දිග කමෙන්ට් එකක් වේවි මේක. අපේ ලමා කාලවල මොන තරම් සමානකම් තියෙනවද කියන එක සිහිගැන්වෙන පෝස්ට් එකක්. එක දෙයක් නම් නොකියම බෑ. මම තාත්තා හුස්ම ගන්නවද කියලා බලන්න ඉස්සර ඇඟිලි තුඩුවලින් ගිහින් තියෙනවා. ගිහින් බලන්නෙ පපුව ඉස්සෙනවා පහත් වෙනවද කියලා…
    බත් කූරො ගැනත් යමක් මතක් වුනා.ඒක ඕනෙ නෑ. දිග වැඩියි..

    henryblogwalker the Dude

  8. Praසන්ன පවසයි:

    ලස්සනට ලියල තියෙනවා.

  9. Buru පවසයි:

    අපෝ ජනුවා අහිංසක සටෙකුටවත් ඉන්න දීලා නෑ.
    මම නම් පොඩි කාලේ බ්ලේඩ් තලවලින් හරියටම දෙකට මැදින් පැලුවේ අපේ ගේ ඉස්සරහා දොලේ හිටපු මාළු පැටව්. තව කක්කුට්ටෝ පොලොවේ ගහලා ගල් දෙකක් අරන් උන්ව මැද්දට දාලා කුඩු කරනවා. ඒ පොඩි කාලේම. පස්සේ නම් සත්තු මැරුවේම නෑ. දැන් නම් කැරපොත්තෙක් හා ඔය වගේ සතෙක් ඉන්නවා නම් මම ඒ ගෙදරටවත් යන්නේ නෑ භයේ. ඉතින් මම අපායේ යන එකක් නෑ නේ නේද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )