වැහි කාලේ අපෙ සෙල්ලං….!!!

අයියෝ දැන්නම්  ඇලේ වතුර පිරිල!!!!

අක්කෙ මේ වැස්ස අඩු වෙන්නෙම නෑනෙ ඕයි….

කිරිඅම්මගෙයි මගෙයි කාමරේ මේසෙ ට මූහුණදාල තියෙන ජනේලෙ ඇරගෙන, මේසෙ උඩ අරමිණිය ගොතන් ඉඳගෙන අපි දෙන්න  නොයිවසිල්ලෙන් බලන් හිටියෙ  තද වැස්සකට විතරක් ගලන පාරෙ වතුර අපේ වත්තට හරවල තිබුණ බෝක්කුව අස්සෙන් ගලාගෙන ඇවිත්  අපේ ගේ පිටිපස්සෙන්  යන ඇල හැදෙනකල්!!!

වැස්ස පොඩ්ඩක් තුරල් කරනකල් බලන් හිටිය අපි දෙන්න කාමරෙන් එළියට පැනල අම්මට හොරෙන් වැස්ස පටං ගන්ඩ අහස ගුගුරනකොටම හදන්ඩ පටං අරන් හංගල තිබ්බ කඩදහි ඔරු ටික එළියට ගත්ත…

යං යං අම්මට අහුවෙන්ඩ කලිං යං!!!

අම්ම නෑ…. අම්ම වැස්සට කලිං කඩේ ගියා… දැන් වැස්සට අහුවෙලා එන්ඩ බැරුව ඇත්තෙ….

තව සෑහෙන වෙලාවක් යයි එන්ඩ…

මං කිව්වෙ පණ්ඩිතය වගේ

දෙන්න හොරෙන්ම ඉස්සරහ දොර ඇරගෙන ගේ වටෙන් ගිහින් ඇලට බැස්ස..

බෝක්කු කට අස්සෙන් වැටෙන වරුර පාරට යට හෑරිලා තියෙන වල ඇතුලෙ පොර කකා තියෙන වතුර බුබුලු අස්සෙන් අපේ වත්ත මැද්දෙන් වතුර ගලාගෙන යනව…

අපිදෙන්නට දැනෙන්නෙ හරියට වික්ටෝරියා ජලාශෙ වාං දොරවල් ඇරිය බලන්ඩ ගියා වගේ

ඔහොම වතුර ගිහිල්ලම සකස් වෙච්ච පුංචි නිම්නය කෙළවර වෙන්නෙ කෝපි කැලෙන්… අර වතුර පාර අරගෙන ආව සිනිඳු වැලි කෝපි කැලේ ඇතුලෙ තැන්පත් කරගෙන වතුර කෝපි කැලේ සීමාවෙන් එපිට ට ගලාගෙන යනව….

ඊට පස්සෙ ඒ සීමාවෙන් වතුර කංකුං වලට වැටෙනව……

ඒ අපේ ටාසන් සෙල්ලම කරන රසකිඳ වැල ගියපු මහ අඹ ගහ ලඟින් පස් කඩාගෙන ගිහින් දිය ඇල්ලකුත් හදාගෙනයි…

අපි දෙන්න ඇලට බැස්සට මොකද තාමත් වහිනව…  වැස්ස හොඳටම තුරල් කළොත් බෑ…..

අපි දෙන්නගෙ වැඩේට වැස්සත් තියෙන්ඩ ඕනෙනෙ….මොකද අපි දෙන්නට ඕනෙ කතාවක් රඟපාන්ඩ නෙ….

රගපාන්නෙ ගලිවර්ගෙ සුවිසැරියෙන් උපුටාගත්ත කොටසක්!!

අර එයාලගෙ නැව ලොකු කුණාටුවකට අහු වෙලා යන කෑල්ල සම්බන්ධ කරල අපි දෙන්න හදාගත්ත කතාවක් තියෙනව…  ඒකට ඔය  ඒ කාලෙ අපි බලපු ඉංග්‍රීසි කාටුන්වල කෑලිත් දාලයි තියෙන්නෙ…..

අපි පිටපත හදාගන්නෙ එවෙලෙන් එවෙලෙට…

අපි දෙන්න නැවක යනව… ඒ නැව කුණාටුවකට අහු වෙලා අපි මූදට වැටෙනව…. අර කඩදහි ඔරු අරන් එන්නෙ අපි දෙන්නගෙ නැව සංකේතවත් කරන්ඩයි… ඒක ඇලට දැම්ම වෙලේ ඉඳල අපි දෙන්න හිතේ මවාගෙන ඉන්නෙ අපි ඉන්නෙ ඒ නැවේ කියලයි….

ඔන්න අපි දෙන්න කඩදහි නැව ඇලට දානව!!!!

ඒ කියන්නෙ  අපේ කතාවෙ හැටියට අපි දෙන්න ඉන්න නැව මුහුදෙ යනව

අපේ නාටිටිය යන්නෙ මෙන්න මෙහෙමයි

ඔන්න කුණාටුව එනවා!! හයියෙන් අල්ලගන්ඩ කැප්ටන් මල්ලී!!!

එහෙම කියල මං ඇල ඉවුරෙ තියෙන පඳුරක එල්ලෙනව

අයියෝ අන්න අපේ ලොකුම රුවල ඉරුණා!!!! දැන් මොකද අපි කරන්නෙ??

මල්ලි ඇල ඉවුර දිගේ එහාට මෙහාට දුවන්නෙ අර නැවක ඒ වගේ හදිසි අවස්ථාවකට මුහුණ දෙන මිනිස්සු නැව් තට්ටුවෙ එහා ට මෙහාට කඩිසරව දුවන්නෙ…. අන්න ඒ වගේ

මේ වෙනකොට ඇල කෙළවරින් වතුරට දාපු නැව වතුර පාරෙ වේගෙට ඒක ඇදිල ගියාට මොකද ඇල මගේ රැඳිල තියෙන කෝටු බෝටු හන්ද ගමන අඩාල වෙනව!!!

හපොයි!! කුඹගහට අකුනක් වැදුන නේද!!!!

අපේ කඩදාසි නැවට දොඹ ගෙඩි වගේ වතුර බින්දු වැටෙන හන්ද ඒක යට යනව දකින  ඒ කැප්ටන් මල්ලි ආයෙමත් කෑගහනව!!!! රඟපෑම කොච්චර නං ස්වභාවිකද කියනව නං අත් දෙකත් ඔලුවෙ!!!

ඔන්න අපිව ලොකු සුලියකට අහුවුණා!! ආරක්ෂිත ස්ථානවලට යන්ඩ හැමෝම!!! ඉක්මනට ඉක්මනට!!
නැව අපේ පාලනයෙන් මිදිලයි තියෙන්නෙ!!!

ඇල මගේ  ගැඹුරු තැනක හැදිච්ච සුලියට අහු වෙලා  නැව කැරකෙන්ඩ පටන් ගත්ත මල්ලියි මමයි දෙන්නත් හරියට දේවාලෙ මායං වෙන කපු මහත්තය වගේ දෙපැත්තට වැනෙනව වැඩේ තව තාත්විකව සිද්ධ වෙන්ඩ ඕනෙ හන්ද …

නැව අගාධයක ගිලෙන්ඩයි යන්නේ!!!!! හැමෝම ජීවිතාරක්ෂක බෝට්ටුවලට නැගපල්ලා!!! !!!

ඇල මැද්දට බැහැල අර වල ලඟට හදල තිබ්බ අනිත් බෝට්ටු ටික අතාරින ගමන් කැප්ටන් මල්ලි කෑ ගහනව…

අපි ජීවිතාරක්ෂක බෝට්ටුවලට නගින විදිය එහෙම  ඇල මැද්දෙ ජබි ගහමින් රගපාන අතරෙ අපේ නැව අගාධයට ඇදිල යන දිහා අපි ජීවිතාරක්ෂක බෝට්ටුවල ඉඳල බලන් ඉන්නෙ ඉතාම දුක්බර මුහුණින්!!!

ඊට පස්සෙ අපි ගොඩබිමක් බලා බෝට්ටු පදවන්ඩ පටන් ගන්නව… මගදි ඒවට කුණාටුවෙන් හානි සිද්ධ වෙනව!! අන්තිමට පණ බේරගෙන ගොඩබිමට සේන්දු වෙන්නෙ කැප්ටනුයි එයාගෙ සහායිකාවයි විතරයි…

හැබැයි ඔය කතාව දවසින් දවස වෙනස් වෙනව… !!

සමහර දවසට නං අම්ම එන්ඩ කලිං මීයො වගේ ගෙට පැනල තෙත් ඇඳුම් ගලවල දාල හොඳ ළමයි වගේ ඉන්ඩ වෙලාව තියෙනව වුණාට සමහරක් දවසට නං අම්ම ඇවිල්ල තෙතබරියං වෙද්ද අපි දෙන්නගෙ පස්සට දෙකක් දීල ඇදගෙන යනකල්ම ඕක ඇදෙනව….කතාව ගලාගෙන යන විදිය ගොඩක් රසවත් නං!!!

ඔය අපේ වත්ත මැද්දෙ හැදෙන ඇල හරිම ක්ෂණිකයි!! ඒ වගේ ම තාවකාලිකයි!!

පාර දිගේ ගලංඑන වතුර හිඳුනාම ඒක ඉවරයි!!

වැඩිම වුණොත් තියෙන්නෙ දවස් තුනයි!!!!

ඉතිං ඔය දවස් ටිකේ තමයි සේරම සෙල්ලං ටික කරගන්ඩ ඕනෙ!!!

ඉතිං  ඊලග දවසෙ සෙල්ලම පටන් ගන්නෙ කෝපි කැලෙන්…

දැන් අපි දෙන්න බෝට්ටුව මුහුදු බත් වෙලා පීනගෙන පීනගෙන ඇවිත් දූපතකට ගොඩවෙලා නෙ ඉන්නෙ…

දූපත තමයි කෝපි කැලේ!

ඔන්න අපි දෙන්න කෑමට යමක් හොයාගෙන දූපත ඇතුලට ඇවිදගෙන යනව… යන්නෙ ඇල දිගේ….

ඇල කෝපි කැලෙ මැද්දෙන් යද්දි අර කාලයක් තිස්සෙ තැන්පත් වෙද්ද සුදු වැලි තලාව උඩින් තාවකාලික නිම්නයක් හාරගෙනයි යන්නෙ… වැලි උඩින් ගලන හන්ද වතුර හරිම පැහැදිලියි!!…

කෝපි කලේ හෙවනත් එක්ක  ඇති වෙච්ච පරිසරය අපේ හිතේ මැවිච්ච කතාවට බද්ධ වුණේ හරිම පුදුම විදියට….

බිමට පාත් වෙලා තියෙන කෝපි අතු එහෙම අපි දෙන්නගෙ මූණුවල වදින නිසා ඇත්තටම දූපතක පඳුරු අස්සෙන් ඇවිදිනව වගේම හිතට දැනෙනව….

ෂ්………………………!!

මම එකපාරටම අපේ ගමන නවත්තනව

ඇහනවද සද්දයක්??

මං අහනව කැප්ටන්ගෙන්!!

ඔවු…. මිනී කන මිනිස්සු….! ඔය ඇහෙන්නෙ ගිනි මැලේ වටේ නටනව බෙර ගහ ගහ!!!

අපිට ඇත්තට මොනවත් ඇහෙන්නෙ නැති වුණාට ඒ වෙලාවෙ  අපි දෙන්නටම ආවේණික වෙච්ච ගෝත්‍රික සංගීතයක් අපේ හිතට ඇහෙනව…

ඊට පස්සෙ කොහොම හරි උන්ට ඉව වැටිල මාව උන් අල්ලගන්නව… මාව ගස් බැඳල  කන්ඩ ඔන්න මෙන්න ඉන්නකොට කැප්ටන් එක පාරටම ඇවිල්ල අර සේරම උන් එක්ක සටන් කරල මාව බේරගන්නව…

දැන් අපි දෙන්න ආයෙමත් කැලේ ඇතුලට යනව!!!

ඊට පස්සෙ හම්බ වෙන්නෙ වතුර පිරිච්ච කෑල්ල….
ඒ කෑල්ලෙ අපි දෙන්නගෙ දණක් උසටවත් වතුර තියෙනව!!!

ඒකෙ බැහැල අපි දෙන්න රඟපාන්නෙ ගඟකින් එගොඩට පීනන හැටි… බොර පාටට පස් දියවෙච්ච වතුරෙ පීනනව කියල බොරුවක් කරන අපි දෙන්න ලඟා වෙන්නෙ අර කංකුංවලට වතුර වැටෙන දිය ඇල්ල ලඟට…

එතනින් පස්සෙ අපි දෙන්න ගෙ නාට්ටිය වෙනස්!!!

කුරුම්බැට්ටි හොයල අරන් ඒවගෙ පියන් ඉරටුවල ගහල අපි ටර්බයින් හදනව.. ඒව තව කෝටු  හතරක් අරන් අර කරු හදල අපේ දිය ඇල්ල ලඟ හයි කරනව!!!

එතකොට හරියට අපි දෙන්නට දැනෙන්නෙ හරියට අපි දෙන්න වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතියෙ ඉංජිනේරුවො දෙන්නෙක්  වගේ!!

මේ තලබමන හදන වැඩේ විතරක් නෙවෙයි  ඊලඟට කරන්නෙ වතුර පිරිච්ච කංකුං වලේ කෙසෙල් කොට පැදිල්ල

මේ දෙකම  අපිට කියල දුන්නෙ තාත්ත!!

අනිත් එක තමයි අපිට අවසර තිබුනෙ නෑ කෙසෙල්කොට පදින්ඩ තාත්ත නැතුව….

ඒ හන්ද ගොඩක් වෙලාවට වැහිකාලෙ අපේ සෙල්ලම් ඔය මුහුදු බත්වෙච්ච නැවේ සෙල්ලමෙන් පටන් අරන් තල බමනෙන් ඉවර වෙනව….

එක වතාවත් අපි තාත්තට කංකෙඳිරි ගාල කෙසෙල් කොට හයක් විතර අස්සෙන් කෝටු ගහල පහුරක් හදාගත්ත…

ඊට පස්සෙ ඒක තල්ලු කරන් ආව කංකුං වල ලඟට…

මේ කංකුං වල ඉස්සර ලිඳක් ගොඩ වෙලා ඉවුරු කඩන් වැටිල හැදිච්ච පතහක් වගේ එකක්!!!

තාත්ත අපි දෙන්නව අර පහුරට නග්ගල එයත් නැගල ඉඳගෙන අත්දෙකෙන් පහුර හෙමින් සැරේ වතුරට තල්ලු කළා!!!

දැන් ඔන්න අපි තුන්දෙනාම ඕකෙ නැගල කංකුං වලේ පාවෙවී ඉන්නව…

අන්න  තාත්තෙ  කබරයෙක්!!!!  ඈත ඉවුරෙන් කංකුංවලට බහින්ඩ හදන කබර තඩිය දැකල කලබල වෙච්ච මල්ලි කෑගහගෙන නැගිට්ට!!!

ලන්ඩ එපා දලන්ඩ එ…….

තාත්තට කියන්ඩ ගත්ත දේ ඉවර කරන්ඩ බැරි වුණා

පහුර වාංගු නැති වෙලා අපි තුන්දෙනාව කංකුං වලට වැටුණෙ හිතාගන්ඩවත් ඉඩක් නැති විදියටයි!!

අපි පොව්වන තරං වතුර තිබ්බ වලේ… කොහොම හරි තාත්ත අපි දෙන්නවත් ඇදගෙන වතුරෙන් ගොඩ වෙලා ගෙදර ඇවිත් අපිවත් නාවල නාගත්ත!!!!

වෙච්ච සිද්ධිය අම්මට කියන්නෙ නෑ කියල අවබෝධතා ගිවිසුමකුත් ගහගත්ත කියමුකො

හැබැයි ඊලඟ දවසෙ අපි තුන්දෙනාගෙම ඇ‍ඟ කසන්ඩ අරන් රතුපාට බිබිලි දාපු හන්ද අපි තුන්දෙනාටම ඇත්ත වමාරන්ඩ වුණා!!

පොඩි බබාල මදිවට දැන් මහ බබත් ලෑස්ති වෙලානෙ…. කියල අම්ම අපිට බැන බැන දොස්තර ලඟට එක්කන් ගියා!!!

මං නං ඔය වැස්සෙ නටන එක කළේ පොඩි කාලෙ විතරක් නෙවෙයි….

කැම්පස් එකේ අවලමේ* වතුර පිරුන දාට රජිකයි මායි දෙන්න  කලිසං උඩට නවාගෙන අත් අල්ලගෙන ඔය වතුරෙ බැහැල ඇති වෙනකල් නටල නටල  ග්‍රීන් ටේබල්ස් වලට ගොඩ වුණා!!!

මුන් දෙන්නගෙම මොලේ නං තාම වැඩිල නෑ අප්ප…

අපි දෙන්න වතුරෙ බැහැල නටන නැටිල්ල දැක්කම අපේ යාලුවො කිව්ව

අද වුණත් ගෙදර මිදුලෙ වතුර පිරිච්ච තැනක් හෙම තිබුණොත් මම පය නොදා ඉන්නෙ නෑ….

කුණු වතුරෙ නටල කවාගන්නවකො දියමිටියො  එහෙම… ඊට පස්සෙ කස කසා ඉන්නව ඇගිලි කරු!!

අම්ම බණිද්දි තමයි ගොඩ එන්නෙ!!!.

පහුගිය දවස් ටිකේ ම හරි වැස්සනෙ……

ඔහොම හරියට අපේ වැඩ ඉවර වෙච්ච වෙලාවෙම අහස කලු කරගෙන වහින්ඩ ආව….

ගාලු පාරෙ මං හවස වෑන් එකට නගින තැනට එද්දි හොදටෝම වැස්ස….

වැස්සෙ ටික වෙලාවක් වුණාට මොකද වැස්සෙ තද කමට පාර පුරාම වතුර එක්කාසු වුණා…..

මං හෙවණක් අල්ලගෙන හිටිය වෑන් එක එනකල්….

හෙමින් හෙමින්  වැස්ස කුඩු පොදකට හැරුණ

මම හෙවණට හිටපු කඩේ සේවිකාවො ටික එලියට පැන්න..

අතේ තිබුණ කඩදාසි ඔරු ටික පාර දිගේ ගලාගෙන යන වතුර දිගේ පා කරල ආපහු ඇතුලට දුවනව දැක්කම මට මේ කතන්දර විතරක් නෙවෙයි ඒ ඔස්සෙ හිතද්දි තව කතා මතක් වුණා අපේ පොඩි කාලෙ ගැන…

අමතක වෙයි කියල බයේ ටක් ගාල ජංගමයගෙ ටයිප් කරගත්ත…

දැන් පෝස්ට් පහ හයකට දේවල් තියෙනව ඕං

 

අපේ රවී අයියාගේ අදහස පරිදි  මෙසේ ගැටපද විවරණයක් සැපයීමට අදහස් කරන ලදි…

අවලම – කොළඹ සරසවියේ ග්‍රීන් ටේබල්ස් නමින් අප හදුන්වන පොදු ශාලාව ඉදිරිපිට මැද මිදුලේ අලයන්ට වෙන් වූ සිමෙන්ති බංකු දෙක මේ නමින් හැදින්වේ…  වැසි දවසට එම මැද මිදුලේ වතුර පිරේ.

කෝලම යනු සරසවියේ  ජෙප්පන් රැදී සිටින සිමෙන්ති බංකු රවුමයි…

කෝලම අප කලා පීඨය ඉදිරියෙන් බසයක ගමන්ගන්නෙකුට පවා දිස්වන අතර අවලම එසේ දැකබලා ගැනීමට නොහැකි ය.

 

පින්තූරෙ හම්බ වුණේ මෙන්න මෙතනින් – agefotostock.com

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මුතුගල විත්ති. Bookmark the permalink.

29 Responses to වැහි කාලේ අපෙ සෙල්ලං….!!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    මල්ලිට කැප්ටන් කම දීලා අක්කා සහයිකාව උනා පුදුමයි! 😀

  2. නිසුපා පවසයි:

    අඩේ මටත් ආසයි ආයෙත් වැස්සට පැනලා තෙමෙන්න.කොහෙද එහෙම තෙමෙන්න ගියොත් හිතයි පිස්සු කියලා…. 😀

    • පිස්සුද නිසූ… මං නං මගෙ හිතට එන ඔය වගේ පිස්සු වැඩ කරන්ඩ තාමත් වටේ පිටේ ඉන්න අය දිහා බල බල ඉන්නෙ නෑ… මේ පහුගිය දවසක මම මොර සූරන වැස්සෙ කුඩේ අතේ නැතුව බස් එකෙන් බැහැල තෙමි තෙමී වැඩට ගියා… ඔෆිස් එකේ අතුගාන මාලා මට බැණ බැණ තුවායක් අරන් ඇවිත් වතුර බේරි බේරි හිටපු මගෙ ඔලුව පිහදැම්මෙ…. අර මාලුව ගෙං අහගන්ඩකො තෙමෙන හැටි

  3. ඔයාගේ කථාව චිත්ත රූප මවන හැටි අපූරුයි ජනනි… අතිවිශිෂ්ඨයි…!!! ඒත් ඔයාලාගේ අපේ ළමයින්ට ඔයවගේ කාලයක් එන එකක් නෑ කියල හිතෙනකොට දැනෙන කණගාටුව කියා නිමකරන්න බෑ නේද?

  4. suranga පවසයි:

    අපිට තිබුණු ඒ සුන්දර ළමාකාලය අයෙත් කවදාවත් අපටවත් අපේ මීලග පරපුරටවත් ලැබෙන්නේ නෑ.
    මං තාමත් වැස්සට තෙමෙන්න ආසයි.ඒ සොදුරු මතකයට යන්න ඔයාගේ අතීතාවර්ජනය ඉවහල් උනා
    ඔය විශිෂ්ටයි …………………………

  5. Ravi පවසයි:

    මොන විකාරද බං….වැස්ස වෙලාවෙ ඇඳට නැඟල ඔලුවෙ ඉඳං පොරෝගෙන බුදියෙනව මිසක මොන කෙහෙල්මලකටද ඔය තෙමෙන්ඩ යන්නෙ?….අම්මප උඹටනං ලේසි පාසු මඤ්ඤමක් එහෙම නෙවෙයි තිබිල තියෙන්නෙ….මේ පොඩි අවවාදයක් දෙන්නෙයි හිතවත්කොමට,…….ඔය උඹ කොරපු පිස්සු විකාර ලියන්නෙ ටිකක් පරිස්සමිං හොඳේ….බැරිවෙලාවත් මැඩිකල් පැකල්ටියෙ ලොක්කෙක් දැක්කොත් මේ ලියන එව්ව උඹව බලෙම්ම උස්සාගෙන යනව වයිද්දිය සිස්සයින්ට ලෙඩ ගැන උගන්නන්ට සජීවී ආදර්සකයක් හැටියට ( As a Live Specimen)

    මොකද අර කතාවට කියන අටානූවක් රෝග නවානූවක් වියාදි ඔලිං සියට අනූනමයක්ම උඹට තියෙනව ආයෙ ඒකෙ නෑ හෝදන්ට දෙයක්…ඒ නිසා මයෙ අම්මා….පරිස්සමිං හොඳේ…..නාඳුනන කවුරු හරි කතාකොලාට කතාවට යනව එහෙම එහෙම නෙවෙයි ඔන්න…

    ******************************************

    වැස්සෙ නටන එක ගැනත් දෙන්න නම් පුලුවං ඇනලයිසිස් එකක්..හෙහ්, හෙහ්, ඒත් ඉම්පස්සෙ උඹ මගෙ මූණවත් බලන එකක් නෑ අනිවා ඩෙෆා…..ඒ නිසා නොමිලේ උපදෙස් දෙන්ට ගිහිල්ල මොකටෙයි අර කොහෙද මොනවද ගාගන්නෙ…ඒක ඇරිච්චාවෙ 🙂

    ******************************************

    The first drops of rain always bring a smile on our faces. The smell of wet soil, the damp grass, and the slosh of puddles under our feet make us want to dance with wanton joy. Rains make a heart go romantic. Ever danced in the rain? The feeling is inexplicably beautiful. Hold your sweetheart’s hand and walk in the rains while the clouds play cupid. ( උපුටාගැනීම quotations.about.com )

    පළමු වැහිබිඳු ගෙනේ මඳහස දෙතොලගට ඔබගෙත් මගෙත්,
    තෙමුණු පොළවෙන් නැවුම් සුවඳක් නැඟී පපුවේ පිරෙනතෙක්,
    තණග පිණිබිඳු දියකඩිති මත පියනඟමු අතිනත අරන්,
    මේකුලෙක සෙවණේ රඟමු අපි මුලු ලොවම ඔබගෙත් මගෙත්,

  6. Gold fish පවසයි:

    මම නම් වැස්ස දාට හිතාගෙන ඉන්නේ අම්ම මට කුඩේ දුන්නට තෙමන්න එපා කිව්වයි කියලා… එ​තකොට මරුවට තෙමෙන්න පුළුවන්…! ගෙදර ගියාම තාමත් තාත්ත අල්ලගන්නවා බෙල්ලෙන්, අල්ලගෙන ඔළුව රත් වෙන්න කියලා පිහිදනවා පිහිදිල්ලක් ඇස් වලින් කඳුළු පයින්න…

    මම නම් ලෝබයි අදටත් වැස්සේ තෙමෙන්න.

  7. Tharindu Amunugama පවසයි:

    Beautiful.This brings back wonderful memories from childhood.Thank you

  8. Buratheno පවසයි:

    “අපේ තාත්තට රහස් සිතියමක් හම්බවුනා.. ඒකෙ තිබුනෙ නිධන් දූපතක් ගැන විස්තර.. මේ සිතියම තාත්තගෙන් ලබාගන්න අපි ගමන්කල නැවේ නියමුවා දග දැම්මා.. තාත්තට බොහෝම හිරිහැර කරන්න ආවා.. ඔය අතරෙ තමයි නැව කුණාටුවකට අහුවුනේ.. නැව සුන් වුනා.. තාත්තට මොනව වුනාද දන්නෑ.. මමයි වයිටායි කොහොමහරි පාවෙලා ආවා ලිලිපුට් දූපතට.. ලිලිපුට්ටො කුරුමිට්ටො.. ඒ අය හිතුවෙ මං සතුරෙක් කියලා.. ඒ වුනත් කුරුමිටි රජ්ජුරුවො උකුස්සගෙන් බේරගත්ත නිසා ඒ අය මාත් එක්ක යාළුවුනා.. දැන් ඉතිං මට තියෙන එකම ප්‍රශ්නෙ මගෙ තාත්තව හොයාගන්න එක..”

  9. mekuwi පවසයි:

    අනේ මටත් තාම ඔය වතුර වලක් මඩ වලක් දැක්කොත් හොයාගෙන ගිහින පනින පුරුද්ද තියෙනවා..ඇත්තටම ජනු ඔයාගේ පොඩි කාලේ කරපු වැඩය් මගේ කෙල්ල දැන් කරන වැඩය් එකම වගේ.. මුළු දවසම කරන්නේ එයාම script එකක් හදාගෙන..අපි ඔක්කොමව නළු නිලියෝ කරන් රඟපාන එක.. ඔයාව අන්දුනගත්තනම් මට හිතාගන්න පුළුවන් වෙඉ අපේ කෙල්ල ලොකු උනාම මොන කරය් ද කියල :)….ලියවිල්ල නම් හරිම අපූරුඉ..

  10. henryblogwalker පවසයි:

    ජනූගෙ සටහන් ක්‍රමයෙන් මගෙ ප්‍රියතම බ්ලොග් එකක් බවට පත් වෙමින් තියෙන්නෙ මේ ලියන රටාවයි අන්තර්ගතයයි හන්දා. ඇත්තටම මේ දවස් වල අපි හරක් වගෙ වැඩ මොකද සෙමෙස්ටර් ටෙස්ට් වලට පේපර්ස් හදන්න වගෙ වැඩ නිසා. ඉතින් ස්ට්‍රෙස් එක හරි වැඩියි. මේ පෝස්ට් එක කියෙව්වාම සෑහෙන සනීපයක් දැනුනා. ඔය මූඩ් එකේම ඉන්න, හරිද?
    henryblogwalker the Dude

  11. TG පවසයි:

    කෝලම කිව්වේ ලයිබ්‍රරි එකයි උඹලගේ ආර්ට්ස් ෆැක් එකයි අතරේ තියෙන අර හෙවණ ගස් ගොල්ලෙ තියෙන බංකු සෙට් එකනේ ? ඈ බං ඒක ජෙප්පන්ගේ බූදලේද දැන් ? ඉස්සර අපි සෙට් එකක් පාඩම් කලේ , කුප්පි දැම්මේ ඔතන ස්ටඩි ලීව් කාලේට

    වැස්ස වැඩි වෙලා මම පොඩි කාලේ උන්නු අපේ ආච්චිලගේ ගමට ගංවතුර ගලනවා ගිං ගඟ උතුරලා . එතකොට වියලි සලාකත් ලැබෙනවා .මම හරි කැමති ඒ කාලේ සලාකෙට දෙන සැමන් ටිං වලට . ඒ කාලේ සැමන් මාර රහයි 🙂

  12. තරු පවසයි:

    හරිම ලස්සනයි ….පුංචි කලේ මතක් වෙනවා…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )