මගේ අක්කා සහ මල්ලිගෙ යකා….!!!

ආ…මෙන්න පුතේ කට අරින්ඩ…

ආච්චි අම්ම දවාලෙ මට බත් කවනව….

මං බත් කට හප හප  ගේ වටේ රවුමක් යන ගමන් ගේ පිටිපස්සෙ තියෙන තිබ්බටු ගහ ලඟ නතර වෙලා දල්ලක් කඩාගෙන ඒකත් බත් කටත් එක්ක කනව….

ආයෙත් ආච්චි අම්ම ලඟට ගිහින් බත් කටක් කවාගෙන ගේවටේ රවුමක් යන ගමන් බටු කොල කනව

දවසක් තාත්ත බත් කවන වෙලාවක මං ඊලඟ කට කන්ඩ එන්ඩ පරක්කු මොකද කියල බලන්ඩ තාත්ත මං පිටිපස්සෙන් ඇවිල්ල අන්තිමට ගුටිත් කාල  තමයි ඔය පුරුද්ද නතර වුණේ….

අක්ක තමයි කිව්වෙ බටු කොල කන්ඩ කියල…..

මං ඇඬුව තාත්ත ගැහුවාම…

කවුද අක්ක?? තාත්ත විස්මයට පත් වෙලා ඇහුව

ඉන්නව අක්කෙක්… එයා තමයි කිව්වෙ….. ඒව රසයි කියල… දවසක් මං බත් කනකොට…

අපේ තාත්ත අම්ම දිහා බැලුවෙ මේ හතර බීරි කතාව මොකද්ද කියල හිතා ගන්ඩ බැරුව…

අම්මගෙ ඉඟියෙන් යමක් තේරුම් ගත්ත තාත්ත

එයා කිව්වට ඒව කරන්ඩ යන්ඩ එපා කෙල්ලෙ… කිව්ව තාත්ත මාව ගේ වටේ රවුමක් ලුණු අරන් ගියා!!!

ඔය ළමය සෙල්ලං කරද්දිත් තනියම කතා කරනව… ඔය අක්ක කියන්නෙ  හිතෙන් හදාගත්ත කවුරුහරි චරිතයක් වෙන්ඩ ඕනෙ…. කෑ ගහල බැණල වැඩක් වෙන්නෙ නෑ… පහුගිය දවසක මොන්ටිසෝරියෙ ආන්ටි මට මෙයාගෙ පොතක් පෙන්නුව.. මේ ලමය පිටුවක් පිරෙන්ඩ බෝල ඇල….

කවුද කලේ කියල ඇහුවාම අක්ක කිව්වලු…

ඉස්කෝලෙ යන්ඩ ගත්තාම ඕව හරියනව… පස්සෙ අම්ම තාත්තට කිව්වලු..

ඒ වුණාට ඇත්තටම ඒ දවස්වල මට එහෙම අක්ක කෙනෙක් හිටිය…  එයා හිටියෙ මගේ හිතේ….

එයා කොහොම මගෙ හිතට ආවද දන්නෙ නෑ.. ඒත් මගෙ දේවල් බොහොමයක් අක්ක කිව්ව විදියට තමයි වුණේ….

සෙල්ලං කරද්දි පාරෙ ඇවිදිද්දි එයා මගෙත් එක්ක ඉන්නවයි කියල හිතාගෙන මං එයා එක්ක කතා කළා…

අම්මට මං තනියම කතා කරනව පෙනුණෙ ඒ හන්ද…

මේව මං ඉස්කෝලෙ යන්ඩ පටං ගන්ඩත් කළින් කතා නෙ

පස්සෙ කාලෙක සුනේත්‍රාගේ  රිදී තිරංගනාවි කියවද්දි මාෂලාගෙ චූටි අක්කිව දැනගන්ඩ ලැබුණම මට පුදුම හිතුණ….

ඊට බොහොම සමාන අත්දැකීමක් තමයි මං ලබල තිබුනෙ….

ඊට පස්සෙ බීසස් සහ රමෝනා කියන ළමා කතා පොතේ තිබුණ විදියට රමෝන කියන පුංචි ගෑනු ළමයගෙ සුරතලා ඔය වගේ මනෝමය කටුස්සෙක්…එයා ලණුවක් බිම දිගේ යන යන තැන ඇදගෙන යන්නෙ ඒ ලණුව කෙළවර ඇගේ සුරතල් කටුස්ස ගැට ගහල ඉන්නව කියල හිතේ මවාගෙන….

මේ පොත කියෙව්වාමත් මට මගේ ළමා කාලෙ අක්කව මතක් වුණා…

අපේ මල්ලිට ඉස්සර අරුම පුදුම පුරුද්දක් තිබුන… එයා පාරෙ ඇවිදගෙන යන ගමන් එක පාරට මොකක් හරි බාධකයක් තිබිල ඒක උඩින් පනිනව වගේ පනිනව… හැබැයි එහෙම එයාගෙ ගමන වෙනස් කරල උඩින් පනින්ඩ තරම් බාධකයක් පාරෙ නෑ…

ඒ මොකක් උඩින්ද පැන්නෙ කියල ඇහුවාම එයා කියන්නෙ ඒව ගැටි කියල…

එයාට පාරෙ යද්දි  ඒ ගැටි හම්බ වුණාම ඒව උඩින් පනිනව… ඉස්කෝලෙ ඇරිල හවසට එයා පිටිපස්සෙන් ටවුමට යන අම්මටයි මටයි මල්ලිගෙ මේ මනෝමය ගැටි උඩින් පැනිල්ල හරිම විහිලුවක් වුණා…

තව එයාට ඉස්සර හිටිය යකෙක්

රෑට නිදාගන්නකොට එයාව අල්ලං යන්ඩ එන..

එයා ඌව මවාගෙන තිබුණෙ කලුපාට මවිල් තියෙන රතු පාට දිවක් තියෙන ඇස් ලොකු එකෙක් විදියටයි…

ඒ හන්ද මට සහතිකයි එයා මගෙ පරාස්සයා කියන පොත කියවල තමයි ඔය යකාව හිතේ මවා ගත්තෙ කියන එක…

ඒ යකා එක්ක එයා හදා ගත්ත කොන්දේසි වගේකුත් තිබුණ.. ඒ කියන්නෙ හරියට සුහද එකඟතාවක් වගේ

  1. යකා එන්නෙ රෑට විතරයි
  2. කාමරේ ලයිට් නිව්වාම විතරයි මල්ලිට යකාව පේන්නෙ
  3. යකාට එයාව පේන්නෙ එයා රෙද්දක් පොරවගෙන නිදාගෙන හිටියෙ නැත්තං විතරයි…

ඉතින් හැමදාම මෙයා නිදාගන්නෙ හොඳට ඔලුවෙ ඉඳන් කකකුල් දෙකට වෙනකල් රෙද්දකින් වහගෙන.. අනික එයාට නින්ද යනකල් අපි කවුරු හරි ලඟ ඉන්ඩත් ඕනෙ…

මේ මෑතකදි පෙම්බරයයි මමයි දෙන්න බලපු ඉන්සීඩියස් කියන චිත්‍රපටයෙ අර ළමයගෙ ලඟට එන්ඩ ඉන්න යකා දැක්කාම මට එකපාරටම මතක් වුණේ අපේ මල්ලිගෙ පුංචි කාලෙ යාලුව යකා….

තව මගෙ යාලුවෙක් කිව්ව එයාට හිටියලු ජිම් බ්‍රීන්ස් කියල යාලුවෙක්!! ජිම් බ්‍රීන්ස් තමයි  එයාගේ ළමා ලෝකෙ වීරය වෙලා ඉඳල තියෙන්නෙ… එයා හරියට අර සුපර්මෑන් වගේ චරිතයක්!! මගෙ යාලුවට මොනව හරි කරදරයක් වෙනව නං එයා තමයි වීරයෙක් වගේ ඇවිල්ල මෙයාව බේරගන්නෙ!!!

බැරි වෙලාවත් එයාට කරදරයක් වෙලා එයාව බේරගන්ඩ බැරි වෙලා නං ඒ එයා ඒ වෙලාවෙ වෙන කාට හරි ලොකු උදව්වක් කරමින් හිටපු වෙලාවක්!!!

මට හිතාගන්ඩ බැරි අපේ ළමා හිත්වල ඒ වගේ චරිත මැවිල ඒ චරිතවල හැසිරීම සාධාරණීකරණය කරන්ඩත් අපිම දේවල් හදාගන්න හැටි!!!!!

අපේ පෙම්බරය කියන්නෙ එයා  පුංචි කාලෙ නිදා ගත්තු මදුරු දැල දාපු ඇඳ සබ්මැරින් එකක් කියලලු  එයා හිතාගෙන හිටියෙ…මල්ලියි මමයි නං අපි දෙන්නගෙ පොරවන රෙදි දෙක අස්සට වෙලා තමයි  ඔය සබ්මැරින් සෙල්ලම කලේ!!

පුංචි කාලෙ අපේ හිත්වල මැවෙන චරිත, අපි හිතේ මවාගෙන ඉන්න දේවල්  හරි පුදුමයි!!!
ඒ දවස්වල ඒව තරම් ලොකු දේවල් නෑ නෙ අපිට..

අපි වයසට යද්දි  ඒ දේවල් අපිව අතෑරල යනව…

අපිට උස්සගෙන යන්ඩ අපිටත් වඩා ලොකු පොත් බෑග් එකක් තියනව…. හිතන්ඩ ඊට වඩා සංකීර්ණ දේවල් එනවනෙ… ඒ විතරක් යැ… ඉස්කෝලෙට ගියාම ඊට වඩා වීරයො හම්බ වෙනවනෙ… ඉතින් එතකොට අපේ අර මනෝරාජික වීරයන්ට තිබුණු අපේ හිත්වල ඉඩ හෙමින් හෙමින් නැති වෙලා යනව

මේ දවස්වල කතන්දර සේරම කැරකෙන්නෙ පුංචි කාලෙ මතකයන් වටේමේ දවස්වල ඉන්නෙ ලියන මූඩ් එකේනෙ ඉතින් වැඩට යන එන වෙලාවට ලියන්ඩ දේවල් ගැන හිත හිතා යන්නෙ…

අද පෝස්ට් එක ලිව්වෙ නිකං ම නෙවෙයි..දවසක් අපි මේ වගේ පුංචි කාලෙ හිතේ මවාගෙන හිටපු දේවල් ගැන  කතා කරකර ඉන්න ගමන් පෙම්බරය කිව්ව ඒ වගේ හිතේ මවාගත්ත ලෝකෙක සෙල්ලම් කරපු පුංචි ළමයි දෙන්නෙක් ගැන ලස්සන චිත්‍රපටයක් තියෙනව කියල

ඒකේ නම තමයි Bridge to Terabithia

මම නම් තාම බලල නෑ…

ඔයාලට හම්බ වුණොත් මටත් කියන්ඩ හොයාගත්ත තැන….

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

29 Responses to මගේ අක්කා සහ මල්ලිගෙ යකා….!!!

  1. sarath chandrasiri පවසයි:

    බත් සමග බ‍ටු කොල..?ම්..ම්ම්…ම්හු..අනේ මංදා !හොල්මන්ද පොල්කොල. ප/ලි: පුංචි කාලේ ගැන නම් කතා බොහොමයි.කාටවත් කරදරයක් නැති ඒ හීන ලෝකවල හිටපු අපේ වීරයෝ ගැන අපි ගැන මිහිරි මතක නැවත අලුත් කලාට ස්තූතියි ඔයාට. මමත් ලියනවා දවසක,ඒත් අද හෙට නෙමෙයි ඒ. ජය….!

  2. Lucky Wickramasinghe පවසයි:

    ඈ දෙයියනේ අක්කෙ, ඔයාම මේව ලියනවා මිසක් මම නම් හිතන් හිටියෙම මට පිස්සු නිසා හිතෙන දේවල් කියලනෙ බොලේ.
    ඉස්සර මටත් හිටියා ඔහොම යාළුවෙක්. එයාගෙ නම විජේ (වයසට ගැලපෙන නමක් නෙවේ තමයි.) මාත් එක්ක හැම දිසාවෙම හක්කලං කළා ඔය වගේම. පොඩිකාලෙ මං හිතාගෙනම හිටියෙ මාත් කොල්ලෙක්ම තමයි කියලා. කොටින්ම හීන වලත් මට මාව පෙනුනෙ කොල්ලෙක් වගේනෙ.මං ඒ කාලෙ කරන තරමක් දඟ වැඩ කළේ මේ යාළුවත් එක්ක තමා.

    • ඔයා හිතින් නෙ කොල්ලෙක් වෙලා හිටියෙ… මං නං එක කාලයක් තිබුණ කොල්ලෙක් වගේ කොටටම කොන්ඩෙ කපල… වෙන එකක් තියා ඒ දවස්වල අම්ම මල්ලිට මහල දෙන සරම් පවා මං ඇන්ද… අදටත් අපේ ඔෆිස් එකේ අය මගේ වැඩ දැක්කාම කියන්නෙ මොකට කෙල්ලෙක් වෙලා ඉපදිලාද මන්ද කියල…

      • Lucky Wickramasinghe පවසයි:

        හ්ම්ම්… මාත් ඉතින් ඔච්චරම තමයි. කොන්ඩෙ කොටටම කපලනෙ හිටියෙ ඉස්කෝලෙන් අයින් වෙනකම්ම. ඒ විතරක් නම් මදෑ කන් විද්දෙත් අපේ අක්කගෙ වෙඩින් එකටනෙ. මාත් පොඩිකාලෙ සරම් කොට කලිසම්ම තමයි ඇන්දෙ හලෝ. මේ ඊයෙ පෙරේදා තමයි මට හරියටම කෙල්ලෙක් වගේ ජීවත් වෙන්නෝනෙ කියලා හිතුණෙ. ඒත් දැන්නම් ආයි ඒ ගැන සලකා බලනවා! 🙂

      • මං කඩෙත් ගියා සරං ඇදගෙන.. පස්සෙ ආච්චි අම්මල හිනා වෙලාම තමයි නැවැත්තුවෙ…

  3. Buratheno පවසයි:

    අර කිවුවත් වගේ මේකි ලියන්න ගත්තම ලියනවා හිටු කියලා.. අනේ හොදා, ඔය මූඩ් එකේම හැමදාම ඉන්ඩෝ.. 🙂

    මේං මෙතනින් සිත්තරපටිය බාගන්ට.. ඔය කා‍ලෙකට ඉස්සර බයිස්කෝප් සයිට් එකේ දුන්නු ලින්ක් එකක්..

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    මදැයි, බලං ගියහම හැමෝටම ඉඳලනෙ පොඩි කාලෙ හිතේ බිහිවෙච්ච යාළුවො. මටනං එක්කෙනෙක් නෙවෙයි කණ්ඩායමක්ම හිටියා. එසේ මෙසේ කණ්ඩායමක්ම නෙවෙයි හොරු කණ්ඩායමක්! ලකී නගා කියලා තියෙනවා වගේ පොඩි කාලේ මගේ හිතේ මැවෙන කතන්දර වල මාත් කොල්ලෙක් තමා. අර හොරු කණ්ඩායම කළේ කැලේ ගස් කපන එක. මං ඕකට බොහොම විරුද්ධයි. ඉතිං හැමදාම ඒ හොරුත් එක්ක ජල්ලි අල්ලන එක තමයි මගෙ වැඩේ. රෑට නිදාගන්න ගියාම ආයෙ මට කතන්දර කියන්න වෙන කවුරුත් ඕන නෑ, මං අනිත් අයටත් ඇහෙන්න හොරුන්ගෙයි මගෙයි කතන්දර කියවනවා. 😀 😀 😀

    තව එකෙක් හිටියා මගෙ හිතේ මැවිච්ච. මකුළුවෙක්. දවසක් මට මොකක් හිතිලද මන්දන්නෙ නෑ, කළු පාට අඟුරු කැටයක් අරං අඬු විහිදගත්තු මකුළුවෙක් අතේ ඇඳගත්තා. පස්සෙ මම ඇඳගත්ත එකාට මමම බය වෙලා හූ තියලා ඇඬුවා මගෙ ඇඟට මකුළුවෙක් පැනලා කියලා. ආච්චියි අම්මයි දෙන්නම දුවගෙන ඇවිත් ඒ මකුළු රූපෙ මගෙ අතින් මකනකල් මගෙ ඇඬිල්ල නැවතුනේ නෑ. එදායින් පස්සෙ, තාමත්, මං අඬු විහිදගත්තු ලොකු මකුළුවන්ට පරාණ බයයි.

    • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

      කියන්න අමතක උනානේ. ජිම් බ්‍රීන්ස් කියන නම දැක්කහම මට මතක් උනේ ‘ජිම්බ්‍රීස්’ව. ඉස්සර අපේ ගෙදර නිතරම ඇහුනා ‘ජිම් රීව්ස්’ කියන ගායකයගෙ ගීත. මං එයාගෙ නම කිව්වෙ ‘ජිම්බ්‍රීස්’ කියලා. 😀

    • ඔයා ඔහොම කියද්දි මතක් වුණේ.. මං කිව්වෙ මකුලුවන්ට බය එක…මං අපේ ලොකු නැන්දට හරි වැඩක් කළා දවසක්… ඒ ගැන වෙනමම ලියන්නංකො…
      තනියම කතන්දර හදගෛන කියන එක නං අපි දෙන්නගෙම තිබුණ පුරුද්දක් .ඒවගෙ අර ඉමැජිනරි ෆ්‍රෙන්ඩ්ස් ල අනිවාර්යයෙන් චරිත වෙලා හිටිය… සමහර වෙලාවට ඒ කතාගොඩනැගෙන්නෙ අපි දෙන්න එකතු වෙලා කරන වැඩ වටා තමයි

  5. Gold fish පවසයි:

    මම යකාට දෙන්න හිටි ෂොට් එක අක්කා දීලා නිසා මගේ පෝස්ට් එක පස්සට දැම්මා…

  6. henryblogwalker පවසයි:

    මම පොඩි කාලෙ අහසෙ මනෝමය චිත්‍ර අඳිනවා ඇඟිල්ලෙන්. අකුරු ලියනවා. තාත්තා මාව ඒ පුරුද්දෙන් ගලවා වන්න මෙහෙම කිව්වා.
    “ඔයා ඔය පුරුද්ද නවත්තන්න. ඉස්සර මෙහෙ හිටියා……..කියලා වයසක මනුස්සයෙක්. එයාත් පාරෙ යන ගමන් තනියෙන් කතා කර කර අහසෙ එයාගෙ ඉඩම් වල මායිම් අඳිනවා ඇඟිල්ලෙන්. මායිම් වලට රන්ඩු කරනවා තනියෙන්. ඉතින් ඕක නවත්තන්න.”

    ඉතින් අහන්න දෙයක් නෑනෙ. අන්න එහෙමයි ඒ පුරුද්ද නතර වුනේ.

    ජනූටත් අර අතීතය ඉතාම පැහැදිලිව විචිත්‍රව මතකයට නගා ගැනීමේ හැකියාව පිහිටලා තියෙනවා. ඕක හුඟ දෙනෙකුට නෑනෙ. මටත් කොච්චර කල් ගෙවිලා ගියත් පොඩීම කාලෙ වුනු සමහර සිදුවීම් විචිත්‍රව මතක තියෙනවා. හැබැයි උදේට කෑවෙ මොනවද , ඊයෙ ඇඳන් ගියේ මොන පාට ටයි එකක්ද වෆේ දේවල්මතක නෑනෙ. 🙂
    තව මේවගෙ ඒවා ලියමු.
    ප. ලි.: ආහ් කියෙව්වෙ නැත්ද මගේ “පාහර වැඩේ”? ඒ ප්‍රබන්ධයක් නොවේ.

    • හෙන්රි අයියෙ…මට පුංචි කිලෙ වෙච්ච ගොඩක් දේවල් මතකයි… ඒ කියන්නෙ අවුරුදු එක හමාරක් දෙකක් වෙච්ච කාලෙ ඉදල දේවල් මට මතකයි… අපේ මලයට බත් කවනව…එහෙමත් මට මතකයි…
      මට අකුරු කියෙව්ව මට මතකයි…
      අනේ මං අර ඔයාගෙ පෝස්ට් එක කියෙව්ව… මොනව ලියන්ඩද කියල සෑහෙන වෙලාවක් බලන් ඉදල ආපහු හැරිල ආව….
      කෝච්චි සංස්කෘතිය නං හරිම පිලිකුල් සහගතයි…. ඒවගේ හැමදාම යන මිනිස්සුන්ට හැර අපි වගේ ආගන්තුකයන්ට ඉඩක් නෑ…

      • henryblogwalker පවසයි:

        ජනූ, අර කිව්වත් වගෙ හිටපු ගමන් මතුවෙනවා. ලියාගෙන ලියාගෙන යනවා. කමෙන්ට් දාගෙන දාගෙන යනවා යකා ගැහුවා වගෙ. ඊට පස්සෙ ආයෙම නෑ. හයිබනේට් වෙනවා. මේ දවස් වල නම් ඔච්චර බිසි ඇයි කියලා හිතා ගන්න අමාරුත් නෑ. 😀 😀

        ඉතින් අර පෝස්ට් එක දිහා බලන් ඉඳලා ආපහු ගියාට ඔය ලියලා තියෙන එක ලිව්වා නම් ඉවරයිනෙ.

      • හි හි… නෑ අයියෙ මට තියෙනව අසීමිත කම්මැලි කමක්!!
        දැන් පහුගිය දවස් තුනේම අපේ පෙම්බරය කීප වතාවක් කිව්ව ලියන්ඩකො මොනව හරි කියල
        මං නෙවෙයි ලිව්වෙ
        මට කම්මැලියි
        ඒ වෙලාවට ලිව්වම කොච්චර හොද කතාවක් වුණත් හරි ගොං කියල හිතෙනව…
        දැන් අද නං ලියන ඹූඩ් එකේ ඉන්නෙ…
        ඉන්ඩකො ඉන්ඩකො දැන්මම ගිහින් දාන්නං!! මං කිව්වෙ ඔයාගෙ පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එක ගැන

  7. Ravi පවසයි:

    දෙයියංටම ඔප්පු වෙච්චාවෙ මේකිල ඔක්කොටම හීං එවුං සංදියෙ ඉඳම්ම නුහුගුණේ නෙව…මදෑ අපිටත් ආස්සරේට හම්බ උනේ 150 බස් එකේ යාවජීව සීසන් ගන්ට ඕන සයිස් එකේ කස්ටිය නෙව.

    අම්මප ජනූ බොලා පොඩි කාලෙ බොලායෙ ගෙදර නිකං තියෙන්ට ඇති අංගොඩ මානසිකාරෝග්‍ය ශාලාවේ දඹදෙණිය ශාඛාව වගේ…හෙහ්, හෙහ්,

    උඹේ ඔය තිබ්බටු කොල කන සීන් එක බොල වෙන අහවල් දෙයක්වත් නෙවෙයි…ඕක එකත් එකටම කිරිපණු ගාය…පණුවො බඩ වැලේ ගණසාරෙට හැදුනම එවුං මතුවෙන්ට ගන්නව Rear Entrance එකෙන්. ඔය කාලෙ අනිවා බොන්න ඕන පණු බේත්.පණු බේත් දුන්නෙ නැත්නම් එහෙම වැඩිහිටියො, සරීරෙම්ම ඒකට ගන්නව ප්‍රතිකාර. බටු කොල කන්ට හිතෙන්නෙ අන්න එතකොට. දන්නවද බල්ලොන්ට හැදෙනව ගුල්මගාය කියල ලෙඩක්…ඒත් ඔය පණුගායම තමයි. එතෙන්දි බල්ලො කොරන්නෙත් ඔය කැළෑ කොළ ජාති කාල අමාරුව හොඳ කරගන්න එක. අන්න ඒ සීන් කෝන් එකමයි බොටත් උනේ…නැතුව ඔය කෙහෙල්මල් අක්කෙක් කියපු දෙයක් නෙවෙයි…හෙහ්, හෙහ්,

    දැන් මල්ලිගෙ අර මනෝරාජික ගැටි උඩින් පැනිල්ල ගමු. එතන වෙලා ඇත්තෙ උඹ වැඩිමල් සහෝදරී හැටියට ඒ ළමයට බොහොම කරදර කොරල තියෙනව. ඒ කිව්වෙ මල්ලිගෙ පොත් පත් උඹ පාවිච්චියට ගන්නව, එයාගෙ සෙල්ලම් බඩු බලහත්කාරෙන් ගන්නව …අන්න ඒ වගෙ එව්ව…ඒ මානසික පීඩනයට එරෙහි අවිඥාණික ප්‍රතික්‍රියාවක් හැටියට තමයි මල්ලි ඒ මනෝරාජික ගැටි උඩින් පනින්නෙ. ඒ ගැටි වලින් සංකේතවත් වෙන්නෙ උඹ. සැබෑ ලෝකෙ බොට විරුද්ධව මොකවත් කරන්න බැරිඋනාට මනෝලෝකෙ එයා උඹව මැඩපවත්වල ජය ගන්නව කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නෙ.Sub consious reaction to extreme mental tension කියල තමයි මනෝ විද්‍යාවෙදි ඔය තත්වෙ විස්තර කෙරෙන්නෙ….. අධික මානසික ආතතියට එරෙහි අවිඥාණික ප්‍රතික්‍රියාවන්…. ඔන්න සිංහලෙන්…

    අර යක්කු සහ සබ්මැරීන් ගැනත් කිව්වැකි..ම්ම්ම්… එක්කොත් ඕන නෑ….දැනට මේ ඇති.

    තව ඔය වගෙ පොඩි කාලෙ කොරපු එව්ව තියනව නං කියාපං…විස්ලේසනයක් දෙඤ්ඤං…උඹට හින්ද නොමිලෙම…. 😀 😀

    • henryblogwalker පවසයි:

      //ඒ ගැටි වලින් සංකේතවත් වෙන්නෙ උඹ. //
      පට්ටයි, කුජීතයි!!!!!!!
      රවීගේ කටේ චූටි සුපියල් දහයක් එබීමට සිතේ!
      LOL, ROFL!!!
      😀 😀 😀

    • හ හා!!! ඔය තියෙන්නෙ විශ්ලේෂණේ!!!
      හැබෑට මං හිතලවත් තිබුනෙ නෑ නෙව එහෙම වෙන්ඩ පුලුහං කියල එව්ව!!!
      උම ඔහොම කිව්වට මං අදත් කොළ ජාති කන්ඩ මනාපයි නෙ!!! ඒ මොකෝ පණු අමාරුවටයැ??

      හැබිය මං අහපු ගොඩක් දෙනෙක්ට ඒ වගේ ඉමැජිනරි ෆ්‍රෙන්ඩ්ස් ල ඉදල තියෙනව
      සමහරුනුට ඉතා ලොකු වයසෙදි පවා!!!
      ඇයි බොලං උඹ අර හරේ කියලු ද බියුටිෆුල් මයින්ඩ චිත්තරපටිය හෙම බලල නැද්ද??

      මල්ලි නං හැබෑට මට ගුටි දීගන්ඩ බැරිවෙච්ච එකේ වාඩුව ගන්ඩ ගැටි පැන්න කියන්ඩකො….
      ඒ වුණාට මට මතක ඇති කාලෙක ඉදල උන්දැ මගේ දේවල් කාබාසිනිය කරපු එකමයි කලේ!!!

  8. hare :-) පවසයි:

    ඔය මවාගන්න කේස් එක පොඩි කාලෙ තියෙන පසුබිම් එක්ක අපි හදාගන්න දෙයක්නෙ. ලොකු වුණාමත් ඔහොම වෙනකොට ඒක මානසික ලෙඩක් වෙනව. (එහෙම නොවුනත් එහෙමනෙ කියන්නේ.) පුළුවන් නම් Beautiful mind චිත්‍රපටියත් හොයාගෙන බලන්න. (http://www.baiscopelk.com/?p=7641) තව My neighbor totoro, Where the Wild Things Are වගේ ඒවටත් කැමති වෙයි…

  9. mekuwi පවසයි:

    මේ පැත්තේ දෙතුන් ගමනක් කැරකුනාට අද තමා මුලින්ම කමෙන්ට් එකක් දාන්නෙ..කියෝපු ඔක්කොම හරිම ලස්සනය්.. හීන් සීරුවේ ඔක්කොම කියෝගෙන එන්නම්කෝ.. මගේ දු පැටියට තුනහමාරය්.. එයටත් ඉන්නවා අවුරුදු 2 විතර ඉඳන් හිටිය nisni කියල ඔහොම හදාගත්ත යාලුවෙක්.. හැම සෙල්ලමේම නිස්නිත් ඉන්නවා..ලඟදි ඉඳල මොන්ටිසෝරි යන්න ගත්තම තමා එයාව ටිකක් අමතක උනේ .. ඒත් තාම දවසකට සැරයක්වත් මතක් කරනවා..:)

  10. රන්දිල් පවසයි:

    මං හිතන්නේ මගෙත් පළමුවෙනි කොමෙන්ට් එකද මන්දා. මට මතක නැහැ.

    කොහොම හරි මටත් හිටියා එහෙම යෙහෙළියක්. එයාගේ නම සුසිලා. අම්මා කියනවා මං පොඩි කාලේ, “සුසිලා” කිය කියා කථා කර කර සෙල්ලම් කරපු හැටි. මට එයාව එච්චර ම මතක නැහැ. හැබැයි එහෙම දෙයක් වුනා කියලා මතකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )