මගේ ලෝබ කම්!!!!

ඊල ගවුමෙත් ඉස්සරහට අපි බෝ එකක් දාමුකො අම්මෙ…..

ඇයි පුතේ දැන් බෝ එකක් ඉස්සරහට දාල අපි එකක් මැහුවනෙ… වෙන විදියකට මහමු මේක

අනේ මං කැමතියි ඒකටත් බෝ එකක් මහනවට….

නෑ පුතේ අපි ඒකට ලස්සන නේවි කොලර් එකක් දාල මහමු!!! ගවුම් රෙද්ද තද නිල් පාටයි නෙ… අපි සුදු පාටින් කොලර් එකක් දාල ඒකට ලස්සනට රිබන් අල්ලමු…කෝ දැන් මේක දාල බලන්ඩ…

අම්ම මහල ඉවර කරපු ගවුම මට අන්දල හැඩ බැලුව…

රතු නිල් කහ කොළ කොටු රෙද්දෙන් මහපු ගවුමෙ අත් බෝරිච්චි කරල මම ආසම විදියෙ බේබි කොලර් එකක් දාල තිබුණ… ගවුමෙ ඉස්සරහ ලස්සන ලොකු බෝ එකක්…..දනිස්ස ලගට තිබුණු ගවුම් සායෙ යට කොටසෙ තනි රතු පාට කොටසක් අල්ලල….

ඒකයි කොටු රෙද්දයි යාවෙන දාරය දිගට කොළ පාටයි කහ පාටයි බෝ අල්ලල… දුරින් දුරින්….හරිම ලස්සනයි … මං ගවුම ඇදගෙන වටයක් කැරකුණේ සාය විසිරිලා ගිහින් පිම්බෙන හැටි බලන්ඩයි……

නෝනා!!!  නෝනා!!!

ගෙදර ඉස්තෝප්පුව පැත්තෙන් කවුදෝ කතා කරනකල්ම මං හිටියෙ මට මහපු ගවුම අන්දල හැඩ බලමින් හිටපු  අම්ම ලඟට වෙලා මෙහෙම බෝ එකක් ඕනෙ පිටිපස්සට පටි දෙකක් ඕනෙ…. කියකියා…. අම්මට කරදර කරමින්…

අපි දෙන්නම එතනින් නැගිටල මහන මැෂිම ලඟින් නැගිටල ඉස්තෝප්පුව පැත්තට ගියා…

අනේ නෝනා!!! අපිට බොන්ඩ මොනව හරි දෙනවද??

ඉස්තෝප්පුවෙ හිටියෙ පරණ වෙච්ච සායකුයි අවුවට පිච්චිලා, පුස් කාල කලු ගැහිච්ච හැට්ටෙකුයි  ඇඳපු අම්මගෙ වයසෙ ගෑණු කෙනෙක්….

මං වගේම කොණ්ඩ දෙකක් ගොතල එයාට වඩා දෙගුණයක් විතර ලොකු ගවුමක් ඇඳගෙන හිටපු ගෑණු ලමයෙක් ඒ ගෑණු කෙනාගෙ ඇගේ එල්ලිලා පිටිපස්සට වෙලා බයෙන් වගේ අපි දිහා එබිල බැලුව….

ඔයාල කොහෙ අයද??

අපි ගල්ගමුවෙ ඉදල එන්නෙ නෝන… අද දවසටම වතුර උගුරක්වත් නැතුව මායි මගෙ කෙල්ලයි ඇවිදින්නෙ….තේ උගුරක් ලැබුණොත් පින් සිද්දවෙයි නෝන…

ඔහොම ඉස්තෝප්පුවෙ ඉන්ඩ…. මං මොනව හරි අරන් එන්නං

එහෙම කියල අම්ම මාවත් ඇතුලට අරන් ඉස්සරහ දොර වැහුවෙ කොයි එකටත් සූදානං සරීරෙ කියල වෙන්ඩ ඇති…

ඒ වුණාට මට ඕනෙ වුණේ එතන දොරකඩ ඉන්ඩ…. අර ගෑණු ළමය එක්ක කතා කරන්ඩ….

ලස්සන ගවුමක් ඇදගෙන ඉන්න එකේ පොඩ්ඩක් ඒකෙ ලස්සන පෙන්නුවාම මොකෝ??

අපි තේ අරන් එනකොට දෙන්න ඉස්තෝපුපුවෙ පඩියෙ ඉදගෙන ඉන්නව.

අම්ම ගෙනත් දුන්න විස්කෝතු කාල තේ උගූරක් බිව්වාම ගෑණු ළමය තරමක් ක්‍රියාශීලී වුණා…

මූණට හිනාවක් ආව…

අම්ම අර ගෑණු කෙනාට කතා කරන අතරෙ මම ඇදන් හිටිය ලස්සන ගවුම පේන්ඩ එහාට මෙහාට ඇවිද්ද… ඒ අතරෙ එයා මගෙ ගවුම දිහා බලනවද කියලත් බැලුව…..

එයත් හොරෙන් මං දිහා බලනව….

මම මිදුලෙ වටයක් දෙකක් කැරකුණා….. සාය ලස්සනට කැරකෙන විදියට…

මගෙ දිහා බලන් හිටපු එයාගෙ ඇහි පිය වැදුනෙත් නෑ…. කටත් ඇරුණ……. එයා මගෙ ගවුම දිහා බලන් හිටියෙ පුදුම ආසාවකින්!!!!

එයාගෙ තරමට වඩා ලොකු ගවුමෙ කර උරහිසෙන් කඩාගෙන වැටුණ…..

රැලි රැලි තට්ටු ගොඩක් තියෙන ඒක වෙන කාගෙන් හරි හම්බ වෙච්ච එකක් කියල පේනව විතරක් නෙවෙයි… සාමාන්‍ය ගමනකට නොගැලපෙන සාද ගවුමක්….

ගවුමෙ ඉස්සරහ මහල තිබුණ රිබන් රෝසමල්වල පාට හොයන්ඩවත් බැරි තරමට වියැකිලා ගිහින් තිබුණ…

අනේ පවු!!!

එක පාරටම මගෙ පුංචි හිතට දැණුන එහෙම කෙනෙක් ඉස්සරහ මං කරන දේ වැරදියි නේද කියල..

මං අම්ම පිටිපස්සට ගියා…

අම්ම අනුවේදනීය කතාවකට ඇහුම් කන් දෙමින් හිටියෙ…

මෙයාට බාල තව තුන්දෙනෙක් ඉන්නව නෝන… එයාලව අපේ අම්මලගෙ දිහාවෙ දාල තමයි මං ආවෙ…

අනේ මේ බේබිගෙ අදින්නෙ නැති ඇදුම් එහෙම තියෙනව නං දෙනවද නෝන….??

හරි මං බලන්නං තියෙනවද කියල…

ආයෙමත් අම්ම මාවත් ඇදගෙන ගේ ඇතුලට ගියා..

අම්මෙ….!!!
අම්ම මගෙ ඇදුම් කබඩ් එක ඇදල අර මනුස්සයට දෙන්ඩ පුලුවන් ඇදුම් හොයන අතරෙ මං කතා කළා

ඇයි පුතේ….??

අපි මේ ගවුම අර ළමයට දෙමුද අම්මෙ??

ඇත්තටමද ඔය කියන්නෙ??

අම්ම මගෙන් ඇහුවෙ මගෙ වචනවලින් පුදුම වෙලා

ඔයා ඒකට හරි ආසයිනෙ පුතේ… ඔයාට දුක හිතෙයිද පස්සෙ ඕක දීල??

මම ඒ ගවුමට හරිම ආසයි කියල දන්න අම්ම මගෙන් ආයෙ ආයෙත් ඇහුවෙ ඒක සහතික කරගන්ඩයි…

කමක් නෑ අම්මෙ ඒක දෙමු අපි.. අම්ම මට තව අලුත් එකක් මහනවනෙ…

බලන්ඩකො එයාගෙ ගවුමෙ හැටි… ඒක ලොකුයිනෙ එයාට.. අනික පාටත් පිච්චිලා….

එයාට ආස හිතෙයිනෙ අලුත් ගවුමක් ලැබුණාම

මට අම්ම ගවුම් මහල දෙනවනෙ ගොඩක්…….

ඒ හන්ද අපි දෙමු…

අම්ම මොහොතක් මගෙ දිහා බලන් ඉදල ගවුම ගැලෙව්ව… ඒක ලස්සනට නවල බ්‍රවුන් පේපර් බෑග් එකක දැම්ම… අනිත් ඇදුම් ටිකත් මල්ලක දාගෙන ඉස්සරහට ආව…

මෙන්න මෙතන ඇදුම් ටිකක් ඇති… මේකෙ හාල් තුනපහ ටිකකුත් ඇති!!!

අනේ නෝනා නෝනට බුදු බව අත්වෙයි නෝනා!!!

කෝ… ඔයා මෙහෙට එන්ඩ පොඩ්ඩක්!!මේ නංගි ලග තියෙනව ඔයාට දෙන්ඩ දෙයක්!!
අම්ම කතා කළේ අර ගෑනු ළමයට…

එයා කුලෑටි කමෙන් අම්ම පිටිපස්සෙ හැංගුණා…

ඒ පාර මං ඉස්සරහට ගිහින් අතෙ තිබුණු පාර්සලේ එයාට දික්කළා…

එයා හොරෙන් ඒක දිහා බලන් හිටිය මිසක් ගත්තෙ නෑ…

ආ….මේක ගන්ඩ… මං කිව්ව…

අරගන්ඩ දුවේ!!! බේබිට පින් දීල අරගන්ඩ…

අම්ම එහෙම කිව්වාම එයා අහක බලාගෙනම අත් දෙක දික් කළා!

මම එයාගෙ අත් දෙකෙන් පාර්සලේ තිබ්බාම  එයා ඇස් දෙකෙන් ස්තූතියි කිව්ව

මම හිනාවුණා…. හොරෙන් මගෙ දිහා බලන් හිටපු එයත් හිනා වුණා….!!

එයාගෙ අම්ම අපේ අම්මටයි මටයි පින්දෙන අස්සෙ එයා හොරෙන් කවරෙ ඇරල බැලුව…

එයාගෙ ඇස් උඩගියා ඒ කවරෙ ඇතුලෙ තිබුණ දේ දැකල…. එක පාරට  එයා බැලුවෙ මගෙ දිහා…. ඊට පස්සෙ එයාගෙ අම්මව හොලවල හොලවල ඈට  කවරෙ ඇතුල පෙන්නුව….

අනේ නෝන!!! මේ බේබි ඇදන් හිටිය ගවුමනෙ…. ඇයි මේ අලුත් ගවුමක්!! පරණ මොනව හරි තිබුණනං ඇති නෝන… මේක ගන්ඩ බෑ…. බේබිට දුක හිතෙයි නෙ නෝන…..අනේ ඕක දෙන්ඩ දුවේ ආපහු….

ඈ ඊටත් වඩා කළබල වුණා….

නෑ නෑ… දුව තමයි කිව්වෙ ඒ ගවුම මෙයාට දෙන්ඩ ඕනෙ කියල… ඕක එයාට ගන්ඩ දෙන්ඩ… මං දුවට වෙන ගවුමක් මහල දෙන්නං…. එයා කැමැත්තෙන් ඔය දෙන්නෙ…..

එහෙනං අපි ගිහින් එන්නං නෝන එන්නං බේබි!!!

කට ගෙවෙන කල් අපිට පින්දීපු අම්ම දුවත් එක්කල යන්ඩ පිටත් වුණා!!!

ගේට්ටුව ලඟට ගිහින් ඈ මං දිහා බලල හිනා වෙලා අත වනපු විදිය තාමත් මතකයි

දැන් අවුරුදු විස්සකට විතර එහා සිද්ධියක් වුණත්!!!

ඒ විතරක් නෙවෙයි…  පුංචි ළමයෙක් විදියට මං ආසම කරපු දෙයක් එයාට දීල මං ලබපු සතුටත් මට තාම මතකයි…!!!

අදටත් කෙනෙක්ට යමක් දෙනකොට මම ආස ඒක අලුත් පිට දෙන්ඩ… මං කෙනෙක්ට දෙයක් දීල ලබන සතුට ඒකයි!!

ඒක කාගෙන් ආව පුරුද්දක් ද මන්ද?? සමහර ගෙවල්වලට ගියාම දෙන්නෙ හද්ද පරණ වෙච්ච ඇදුම්, පරණ කෑම, කුණු වෙච්ච පලතුරු එහෙම…

මට නං පෙන්නන්ඩ බැරි වැඩක් ඒක…. අපි දෙන්ඩ ඕනෙ හොදම දේ… අපිට කන්ඩ බැරි නරක් වෙච්ච එව්ව වෙන මනුස්සයෙක්ට දුන්නම හරිද??

මෙහෙම කිව්වට මමත් සමහර දේවල්වලට ලෝබයි!!!

හැබැයි සමහර දේවල් කොච්චර ආසාවෙන් පරිස්සම් කරකර තියන් හිටියත් යම් වෙලාවක ඒක කාට හරි දෙන්ඩ හිතුණොත් මම දෙනව…

හැබැයි සමහර දේවල් තියෙනව ඒව නැති වුණ එක ගැන මම අදටත් දුක් වෙන…මම ආසාවෙන් කියන් ඉදල තෑගි දීපු දේවල් එක්ක සන්සන්දනය කළාම කිසිම වැදගැම්මකට නැති දේවල් කියල හිතෙන.

ඊට කාලෙකට පස්සෙ දවසක් අපි ගාලු කොටුව බලන්ඩ ගියා!!

ගාලු කොටුව ලග හිටපු සිප්පි විකුණන ළමයෙක් ලග තිබුණු දම්පාට ලස්සන සී අර්චින් ශෙල් එකක් දැක්ක මම ඒක අරන් දෙන්න කියල අම්මට කරදර කළා…

අම්මත් මගෙ හැටි දන්න හන්ද නොවටිනා ගානක් දීල ඒක අරන් දුන්න….

ඒ කාලෙ මගෙ ලග පුරුද්දක් තිබුණ කොහෙ හරි යන තැනකින් ගල් කැටයක් අරන් එන්ඩ… විශේෂ හැඩයක් තියෙන, වර්ණයක් තියෙන ගල්… මේ ගල් එකතු කරල මගෙ පුංචි පොත් රාක්කෙ උඩ මම පුංචි මුහුදු වෙරළක් හදල තිබුණ…. මම අර සී අර්චින් ෂෙල් එක අරන් ගිහින් මගෙ මුහුලු වෙරලෙ තැන්පත් කළේ පුදුම ආදරෙන්!!

නානා විධ සිප්පි බෙල්ලො අතරෙ ඒක හරිම විශේෂයි… ඒක මගෙ මුහුදු වෙරළ ඇත්තම මුහුදු වෙරලක් කලා!!!!

දවසක් මගේ කාමරේට ආව යාලුවෙක් ඒක බලන්ඩ අරන් බිම අත ඇරිල කෑලිවලට කැඩුණාම මට දැණුනෙ හරියට කවුරු හරි මගෙ පපුව පලල හදවත අරන් බිම දැම්ම වගේ!!!

එයා නොසෑහෙන්ඩ සමාව ඉල්ලුවත්, අපි වෙන එකක් හොයාගමු කියල අම්ම කිව්වත් මම නෙවෙයි ඇහුවෙ….

මගෙ ලග තියෙන අලුත්ම වටිනම දේවල් තෑගි දෙන්ඩ කිසිම ලෝබ කමක් නැති වුණත් අර සිප්පි බෙල්ලා නැති වුණ නිසා රෑට රෑට හොරෙන් අඬපු වාර ගාණ!!!

උසස්පෙල හොදම ප්‍රතිඵල සදහා පාසලෙන් ලැබුණ  රුපියල් දහදාහක ශිෂ්‍යත්ව මුදලෙන් කිසිම ලෝබ කමක් නැතුව මල්ලිට තබ්ලාවක් අරන් දුන්න මම මගෙ ගෝර පොත මල්ලි අරන් ගිහිල්ල ඒකෙ පිටු ගාණක වදින්ඩ මොනවදෝ කහටක් තවරල ගෙනාව දවසෙ මම ඉකි ගහ ගහ ඇඩුව…

අල්ලන්ඩ දෙන්ඩ එපා එයාට මගෙ නවල්ස්!!! මෝඩයා…………… මං ඇඩුව

කොල්ලො ඔහොම තමයි චූටි පුතේ.. අලුත් පොතක් අරගන්ඩ ඔයා! කියල අම්ම කිව්ව

ඒ විතරක් නෙවෙයි පොත් වලට පණ තියෙනව කියල හිතල  කියවන්ඩ කලින්ම ඉටි කොළ වලින් පිටකොළ දාන, පොත් වලට රිදෙනව කියල හිතල ස්ටේපල් කටු ගහන්නෙ නැතුව සෙලෝටේප්වලින් ඉටි කොළ අලවන, දුවගෙ පිස්සු ගතිය දන්න හන්දම අම්ම පොත් අල්මාරියට මල්ලිට තියා සක්කරයට වත් අත තියන්ඩ බැරි වෙන්ඩ ඉබ්බෙක් ගෙනත් දැම්මෙ මාවෙ සනසන්ඩ…. නැතුව මල්ලිට පොත් අරගන්ඩ බැරි වෙන්ඩ නෙවෙයි

එක වතාවක් මගෙ උපන්දිනේට ලැබිච්ච සේරම තෑගි පහුවදා උදේ පාන්දරම හොස්ටල් එක ලගට ගිහින් අපේ පන්තියෙ හිටපු පරණ පොත්වල ඉතුරු පිටු තියනව නං කඩල ගෙනත් දෙන්ඩ කියල ඒවගෙන් පොත් හදාගෙන නෝට් ලිව්ව කුමාරිට ගිහින් දෙන්ඩ පුලුවන් වුණ මට ගොඩක් වයසින් වැඩිල හිටියත්  කාමරේ හැඩි කරගෙන කුනු ගොඩක් වගේ කියල අම්ම මං කාඩ් හදන්ඩ වත්ත පුරා ඇවිදල එක්කාසු කරපු වේලිච්ච මල් ටික විසි කරල තිබුණාම ඇඬුණ…..

ඇයි මේ…?? ලෝබ හිතෙනව නං  එහෙම හිතිල ලග තියාගන්ඩ වටිනා කියන දේවල් ඕනෙ තරං තියෙද්දි මගේ ලෝබ කම් පොත් වලටයි, සිප්පි බෙල්ලොන්ටයි, වේලිච්ච මල්වලටයි සීමා වෙන්නෙ??

අපේ අම්ම නං මගෙ පිස්සු වැඩ දන්නවනෙ… ඒ හන්ද ය‍මක් දෙනකොට කියන්නෙ නෑ…

චූටි පුතා මේක තියාගන්ඩ… මේක වටිනව….කාටවත් දෙන්ඩ එපා කියල…

එයා දන්නව වැඩක් නෑ කියල එහෙම කිව්වට…

මං නං දන්නව මගෙ මේ පිස්සු ගතිය අම්මටයි අපේ පෙම්බරයටයි ගෙදර අනිත් අයටයි තේරුණාට වෙන කාටවත් නං තේරෙන්නෙ නැති වෙයි…

මේ ළමයට නං පිස්සු අප්ප!!!  වෙඩින් කේක් කෑල්ලක් හම්බ වුණත් මුලු ඔෆිස් එකටම පුංචි කෑලි බෙදන මගෙ වැඩ දකින අහන බොහො දෙනෙක් කියනව

ඉතිං පොඩි පහේ පිස්සුවක් තිබුණාම මක් වෙනවද හා??

අනෙත් අතට අපි බැදීම් ඇති කරගත යුතු අපි ලග තිබිය යුතු දේවල් තීරණය කරන්ඩ ඕනෙ අපි නෙ… නැතුව බාහිර ලෝකෙ නෙවෙයි නෙ….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

30 Responses to මගේ ලෝබ කම්!!!!

  1. kavikaari says:

    මගෙ දෝණිත් ඔයවගේ. ඔයාලවගෙ අයට දෙන්ට නං වැඩිවැඩියෙං ලැබෙන්ට එපැයි.

    • දෙන අයට ලැබෙනව… ඒක නං මං පිලිගන්න දෙයක් සමහර වෙලාවට මොනව හරි ලැබුණොත් හොදයි කියල හිතුණොත් මට ඒක කොහෙන් හරි ලැබෙනව…

  2. Pinky says:

    හරිම ලස්සනට ඔය මේ බ්ලොග් එක ලියනවා අක්කේ. ඇස දෙකට කදුළුත් ආවා කියවල මට.
    “අපි බැදීම් ඇති කරගත යුතු අපි ලග තිබිය යුතු දේවල් තීරණය කරන්ඩ ඕනෙ අපි නෙ… නැතුව බාහිර ලෝකෙ නෙවෙයි නෙ….”
    සහතික ඇත්ත මේ කතාව නම්… 🙂

      • ලාරා says:

        Dying inside, ‘cos I can’t express myself in sinhala. Sorry for writing in English as I am not good at Sinhala typing. is it OK with you? I can’t type sinhala as fast as thoughts drain in to me. I’m trying these days to type in Sinhala. Your Blog is Best. Heart Warming and feel like hugging you. I’m a book worm too. Sinhala typing igena gena oyata liyannam. maawa baara gannawa neda?

  3. Buru says:

    මේ වගේ පුරුදු නම් මටත් තියෙනවා.
    මම පොඩි කාලේ ඉඳන් ඕනේ තරම් දේවල් අනිත් අයට තෑගි දෙනවා. සමහරවෙලාවට මට කවදාවත් මගේ කරගන්න බැරි වෙච්ච දේවල් වුනත්. මුදලින් අගය කරන්න බැරි තරමට හරි.
    ඒත් මම මගේ දෙයක් කාටවත් දෙන්නේ නෑ. ඒ කියන්නේ මම පාවිච්චි කරන මම ආස කරන දෙයක් මම කාටවත් දෙන්නේ නෑ. බරි වෙලා හරි දුන්නොත් ඒ මම මටත් වඩා ආදරේ කරන කිහිප දෙනෙකුට. ඔන්න අපේ මල්ලි හා තවත් තුන් දෙනෙක් විතර ජීවිතේටම. ඒ දීලත් මම හොයලත් බලනවා එයා ඒකට මම වගේම ආදරේ කරනවද ඒක එයාට අගයක් නැතිද කියලා හෙම.
    ඔයාට කියන්න ඉතින් ඔය මගේ ඇඳුම් අල්මාරි වල මම ඉස්සරහට අදින්න කියලා ගනිපු ඇඳුම් සමහරවිට මම මහත් වෙලා හින්දා අඳින්න බැරිවත් මගේ අල්මාරියේ තියෙනවා. හෙට කෙට්ටුවෙයි වගේ හිත හිතා මම ඒවා කාටවත් දෙන්නේ නෑ. මම ගැන හිතද්දිම මටම හිනහායි. බලාගෙන ගියාම මගේ ඇඳුම් අල්මාරි වල තමයි මගේ ධනය වැඩියම යොදවලා තියෙන්නෙත්…. හා හා…. ඒ උනාට මම කවදාවත් කෙට්ටු වෙන්නෙත් නෑ. ඒවා ජීවිතේටම අල්මාරියේ. කාටවත් දෙන්නෙත් නෑ. ඒ වුනාට මේක මට ඔය මගේ දේවල් වලදි විතරයි. ඒ වගේමයි මට කවුරු හරි පොඩිම දෙයක් දුන්නත් ඒක කාටවත් අල්ලන්නවත් මම දෙන්නේ නෑ. ඒ තරම් මම ලෝභයෙක්.
    ඒ වුනාට අනිත් දේවලට මම බෝදි සත්ව කියලා දන්න කියන අය මට බනින්නේ….

    • මං නං එහෙම ලග තියාගෙන ඉන්න දේවල් කාටවත් ම වැඩක් නෑ… මට ආස හිතෙන්නෙ, ලෝබ හිතෙන්නෙ අනිත් කාටවත් වැඩකට නැති දේවල්වලටනෙ බූරු

  4. රහස says:

    අනේ ජානු………….
    මට ඔයාව මගෙ හදවතට තුරුළු කර ගන්න හිතුනා.

  5. Buratheno says:

    // ලෝබ හිතෙනව නං එහෙම හිතිල ලග තියාගන්ඩ වටිනා කියන දේවල් ඕනෙ තරං තියෙද්දි මගේ ලෝබ කම් පොත් වලටයි, සිප්පි බෙල්ලොන්ටයි, වේලිච්ච මල්වලටයි සීමා වෙන්නෙ?? //

    වටිනාකම මනින්නෙ මුදල්වලින්ම පමණක් නෙවෙයි ජනුවෙ, ඒකයි අපට එ‍හෙම හි‍‍තෙන්නෙ.. හැබැයි ඉතිං ඕක හැමෝටම තේරෙන්නෙ නෑ, ඔය සිතුවිලි හැමෝටම ඔහොම පහළවෙන්නෙ නෑ, ඒකටත් පින ති‍යෙන්න ඕන.. 🙂

    // මගෙ ගෝර පොත මල්ලි අරන් ගිහිල්ල ඒකෙ පිටු ගාණක වදින්ඩ මොනවදෝ කහටක් තවරල ගෙනාව දවසෙ මම ඉකි ගහ ගහ ඇඩුව //

    මම නං අඩ අඩා ඉන්නෙ නෑ, පොත කිලිටි කරපු එකාට හොදවයින් දෙකක් කියලා තමා නවතින්නෙ.. 😀

  6. says:

    පොතුයි බෝතලුයි ඇරෙන්න අනික් ඒවා ගැන නම් මටත් කිසි ලෝබ කමක් නැහැ 😀

  7. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    /*ඉතිං පොඩි පහේ පිස්සුවක් තිබුණාම මක් වෙනවද හා??*/

    අක්කෙ, මේ ලියලා තියෙන කාරණාවටනං මං පිස්සුවක් කියන්නෙ නෑ, ඒක පිනක්. දන් දෙන්ඩ හිතක් පහල වෙන්න පින් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඉතිං ඒක නැතුවට මොකෝ අක්කේ, උඹට සාමාන්‍යෙන් තියෙන පිස්සු වලටනං පොඩි පහේ පිස්සු කියන්ඩ බෑ.

  8. Ravi says:

    අපූරු ලියවිල්ලක් නංගි…..ඇත්තටම අපූරුයි…උඹ ලියපු හොඳම එක නැත්නම් හොඳම එකක් කියල කිව්වැකි.

    ජීවිතේ කියන්නෙ මහ පුදුමයි අප්පා….මිනිස්සු දෙන්නෙක් එකම අවස්ථාවකට මුහුණ දෙනකොට හැසිරෙන විදිහ පරස්පරයි කියල කියන්න ඕන නෑනෙ. ඒත් එකම පුද්ගලය එකම අවස්ථාවට මුහුණ දෙද්දි සමහරවිට හාත්පසින්ම වෙනස් විදිහට හැසිරෙන්නත් පුළුවන්….ඒකම තමයි මිනිස් ස්වභාවයෙ අපූර්වත්වය….මිනිස් සිත පුරෝකථනය කිරීමෙහි නොහැකියාව (Sheer unpredictability of the human mind )

    • හැමදාමත් වගේ රවී අයියට ස්තූතියි!!! ජීවිතේ සංකීර්ණ බව ගැන වැඩිය හිතන්ඩ ගියොත් මට නං පිස්සු හැදෙයි.. ඒ හන්ද මං කරන්නෙ එන එන විදියට හැඩ ගැහෙන එක…. දැන හිතන්ඩකො… අපි දෙන්නගෙ කසාදෙං පස්සෙ ජීවිතේ ප්ලෑන් කරල ජීවත් වෙන්ඩ ගියා නං අපි දෙන්නටම එපා වෙයි…. ඊට වඩා අර විදියට මං කැමතියි

  9. Nish says:

    තෑගි දෙන්න ඕන තමන් වැඩියෙන්ම කැමති දේවල් කියනවනෙ…..

    තමන් කැමති දෙයක් වෙන කෙනෙකුට දීලා ඒ කෙනා සතුටු වෙන දිහා බලලා සතුටු වෙන්න පුලුහන් වෙන්න පුලුවන් මිනිස්සු වාසනා වන්තයි.

    • අනිවාර්යයෙන්.. දැන් වෙලාවකට මට යම් දේකට ඕනෙවට වඩා ආස හිතෙනව නං මම ඒක ඊට වඩා අවශ්‍ය වෙන කෙනෙක් හිතල ඒක දෙන්ඩ බලනව…. ඒක මේ ආශාව ප්‍රහීණ කරන්ඩ හිතල කරන දෙයක් හෙම නෙවෙයි… ඒකට තියෙන දැඩි ඇල්ම කරදරයක් වෙයි කියල බය හිතිල කරන දෙයක්

  10. Gold fish says:

    අක්ක ලිව්ව හොඳම පෝස්ට් එක…!

    මාර විදියට රස වින්දා… නියමයි අක්කේ…

    • ස්තූතියි පිෂ් මලයො… කාලෙකින් මං උඹේ ටැංකිය පැත්තට ආවෙ නෑ අප්ප… මේ දවස්වල ඉන්නෙ කියවනවට වඩා ලියන මූඩ් එකක… එන්නංකො වෙලාවක

  11. හරියටම මං වගේ! මටත් ඕක තාම තේරුම් ගන්න බෑ අක්කෙ.සමහරවිට අපේ වටිනාකම් පිළිබඳ තක්සේරුව කෙරෙන්නෙ වෙනම මිනුම් දණ්ඩකින් නිසා වෙන්න ඇති.

    • ලකියො… මට නං තේරෙන්නෙ අපි දෙනව කියල වෙස්සන්තරටම අදින්ඩ ගියොත් අපිට කෙලවෙනව….
      ඒ හන්ද ඕකෙ සීමාවකුත් තියෙනව…
      අර සීලවන්ත නාගය දැක්කම ගෑනු දරමිටිත් බැන්දලුනෙ උගෙන්

  12. ජනු, බොක්කටම වදින ලියවිල්ලක්. මේවගෙ ලිපි කියවනකොට තමයි හිතෙන්නෙ අපි වගෙ හිතන අය තව ඉන්නවා නේද කියලා. මතුපිටින් බැලුවම ඇතිදේකුත් නැති, නමුත් ටිකක් නැවතිලා කල්පනාවෙන් බැලුවම නැති දේකුත් නැති සුපිරි ලිපියක්.

    ඔයාට පිස්සු නෑ. වෙලාවකට මමත් ඔහොමයි, මගෙ වයිෆුත් ඔහොමයි. මම කාලයක් බයේ හිටියෙ මේ ගෑනි මාවත් කාටහරි දීලා දායිද කියලා.. 😀 😀

    • හෙන්රි අයියෙ ස්තූතියි!!! අපිට පිස්සු කියල වැඩි දෙනෙක්ට හිතෙන්නෙ ඒ හැමෝම එහෙම නැති හන්ද වෙන්ඩ ඇති නෙ…
      නෑ අයියෙ .අක්කත් මං වගේ ම හිතන කෙනෙක් නං….. අලුත් පිට නං සලක ල බලන්ඩ වත් ඉඩ තිබුණ ඔයාව කාට හරි දෙන එන ගැන… දැන් ඉතිං ඔයා වයසට ගිහින් ඉහ නිකට පැහිල ඉන්න මනුස්සයනෙ දැං ඉතිං අක්ක ඔයාව කාටවත් දෙන එකක් නෑ… 😀

  13. හෙහ් හෙහ්. අනේ බං ජනූවො, වයින් චීස් වගෙ සමහර දේවල් ඉහ නිකට පැහෙන තරමට වටිනාකම වැඩි වෙනවලු. 😀
    හරි එක අල්ලලා දාමු. ඔය වගෙම වැඩ කරන එක්කෙනෙක් ගැන ලියැවුනු ABOUT SOMEONE SPECIAL කියන බ්ලොග් පොස්ට් එක කියවලා බලන්න. මෙන්න ලින්ක් එක මේක ලිව්වෙ මම නෙවෙයි, අපේ දුව අම්මා ගැන. කියවලා මට කියන්නකො හිතෙන දේ.

    • අනේ මං ඒක කියෙව්ව අයියෙ!! දුව ලස්සනට ඒක ලියල තියෙනව!!!
      එයාටත් කියන්ඩ බ්ලොග් එකක් පටන්ගන්ඩ කියල!!!

  14. Giza says:

    මොනව ලියන්නද හෑමදාමත් වගේ හිතට සංවේදි විදිහට ලියල තියනවා

  15. ලස්සනට ලියලා තියෙනවා.
    “සමහර ගෙවල්වලට ගියාම දෙන්නෙ හද්ද පරණ වෙච්ච ඇදුම්, පරණ කෑම, කුණු වෙච්ච පලතුරු එහෙම…
    මට නං පෙන්නන්ඩ බැරි වැඩක් ඒක…. අපි දෙන්ඩ ඕනෙ හොදම දේ… අපිට කන්ඩ බැරි නරක් වෙච්ච එව්ව වෙන මනුස්සයෙක්ට දුන්නම හරිද??”
    මමත් මේකට එකගයි.අපි දෙන දේවල් ලැබෙන්නෙත් ඒ විදිහටම තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s