දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මම්….!!!

අන්න උඹට සපුමල් එන්ඩ කිව්ව සිංගින් රූම් එකට….

යුනිවසිටි කැන්ටිමේ අපිටම සින්න වෙල තිබිච්ච කහ මේසෙ ලඟට ඇවිත් මගෙ ලඟ හිස් පුටුවෙ ඉඳ ගත්ත සාලිය හොරෙන් වගේ කිව්ව….

ඒ මොකටද…….??

මට බය හිතුණෙ මගෙ හිත ගැහිච්ච හැටි සාලියට ඇහෙයි කියල…

මං දන්නෙ කොහොමද?? මෙතන මගෙ මූණෙ පෙරහැරක් යනව වගේ බලං ඉන්නෙ නැතුව පලයං……

මට එතකොටයි සිහියට ආවෙ මං කතාබහක් නැතුව සාලිගෙ මූණ දිහා බලං ඉඳල කියල….

මේ යමුද සිංගින් රූම් එක පැත්තෙ…..?

අනිත් උන් සේරම උන්ගෙ කතා නවත්තල මං දිහා බලං ඉන්නව කියල තේරිච්ච හන්ද මං ඇහුව

සාලි මගෙ අත කෙනිත්තුව………..

මෝඩි උඹට විතරයි එන්ඩ කිව්වෙ..

මං ගෙදර යනව අනූ…. ඔයා යන්ඩ…

මාත් යනව ටියුට් එකේ වැඩ කරන්ඩ.. කොහෙද මෙතන වල බැස්සම දවස ඉවරයි නෙ…. ඒ තව එකෙක්

අඩේ මාත් එනව… ඉවරයක් කරමු අදවත්!!

සේරොමල විසි වුණා…  හරියට කතාවෙලා හිටිය වගේ…. මොනව හරි දැණිල වගේ!!!

හැබැයි සාලි ඇරෙන්ඩ

මොන මංගල්ලයක්ද කරන්නෙ යන්නෙ නැතුව උඹ??

සාලිගෙ එරවිලි බැල්මෙ තිබුණෙ අන්න ඒක

මං හෙමින් සැරේ පොත් ටිකත් එක එක්කාසු කරන් සාලි දිහා බැලුව…

යමුද ඔයත්???

මං ඇහුවෙ ඇහෙන නෑහෙන හඬින්

මට එන්ඩ කිව්වෙ නෑනෙ….කිව්වහම අහල පලයන් දැන් ඌ සෑහෙන වෙලාවක් එතන…

මම ගියා…

යන අතරෙ හිතට ආව එකක්වත් එකකට එකක් ගැලපෙන දේවල් නෙවෙයි…

ඇයි මගෙ කකුල් මෙච්චර බර….??

අරුන් සෙට් එකම ඇයි මං  සිංගින් රූම් යං කිව්වම මග ඇරල ගියේ??

ආ කංකුං වලේ වතුර පිරිල… වැස්සට වෙන්ඩ ඇති!!

ඇයි සපුමල් අයිය මට එන්ඩ කිව්වෙ??

හිතට ආව දාහක් දේවල් අතරෙ ඇත්තම කතාව හිතනකොට හිත හිරිවැටුණ…

සින්ගින් රූම් එකේදි සින්දු කියද්දි, කැන්ටිමේ ටේබල් එකේ හැන්දෑවට කයිය ගහද්දි මගෙ ඇස් මග අරින්නෙ මගෙ හිත එයාට කියවන්ඩ පුලුවං වුන හන්දද??

එක අතකට සපුමල් අයියට නොදැනි තියෙන්ඩ බෑනෙ….. මම එයා දිහා බලද්දි මගෙ ඇස්වලින් පිටවෙන රශ්මි ධාරාවෙ සැරට මාත් පිච්චෙනවනෙ….

එයා අහක බලද්දි මගෙ හිත උඩින් බර කලුගලක් තියල වගේ මට  ඒ දැනෙන්නෙ ආදරේද??

අපි දෙන්නම අයිය නංගි කියල කතා කරගත්තට හිතට හොරා ආදරේ කරනවද?

මේ එන්ඩ කියන්නෙ ආදර කතන්දරේට මුලපුරන්ඩද??

නෑ නෑ වෙන්ඩ බෑ….. අනේ….. මට ආදරේ නෑ කිව්වොත් එහෙම…..!!!!

ඒ පාර නං තවත් එක අඩියක්වත් ඇවිදගෙන යන්ඩ බෑ කියල හිතුණ. ආපහු හැරිල දුවන්ඩ හිතෙනකොට හිතේ ඉන්න කවුදෝ කෙඳිරුව….

පලයං!! එයා උඹට ආදරෙයි!!!!

මං ගියා… ජීවිතේම සපුමල්ට බාරදෙන්ඩ වුණත් සූදානමක් හිතේ තිබුණ.

නුග ගහ යටට යනකොටම හීන් පියානෝ හඩක් ඇහුණ….

මම සිංගින් රූම් එකේ දොර ලඟ හිටගෙන ටිකක් වෙලා හරියට දැහැන්ගත වෙලා වගේ පියානෝව වයන සපුමල් අය්ය දිහා බලන් හිටිය….

එන්න අනුදි නංගි, ඉඳගන්ඩ

මං හෙමින් සැරේ ඒ ලඟ තිබුණ පුටුවක ඉඳගත්ත…

මේ ඉඳගත්තෙ මගේ ජීවිතේ පළවෙනි වතාවට ආදරේ ගැන කතාකරන්ඩයි කියල මට දැනෙන්ඩ ගත්තෙ කොහොමද මන්ද??

මං සපුමල් අය්යගෙ මුහුණෙන් කතා බහ ගැන හෝඩුවාවක් හෙව්ව…..

ඇයි බය වෙලා වගේ ඉන්නෙ??

නෑ………

මං හිනා වුණත් හිතේ තිබුණ නොසන්සුන් කම නොදැනෙන්ඩ හේතුවක් නෑ නෙ…..

එන්ඩ අපි සින්දුවක් කියමු!! මොකක්ද කියන්නෙ… ඔයා කැමතිම එක කියමුද??

මොකක්ද?? මං විස්මයට පත් වුණා….

 මේ එන්ඩ කිව්වෙ සින්දු කියන්ඩද?

දිල් චාහ්තා හෛ එකේ!

එහෙම කියල සපුමල් අයිය පියානෝවේ හඬ අවදි කළා

මට ගයන්ඩ වුණා…..

Oh, kaise kisi ko bataaye
Kaise yeh samjhaaye, kya pyaar hai
Is mein bandhan nahin hai
Aur na koi bhi deevaar hai
Suno pyaar ki niraali hai daastaan

අපි දෙන්නම එකට ගායනා කරද්දි අපේ හඬ කොයි තරම් නම් එකට ගැලපෙනවද අනුදි නංගි?? අපිත් එහෙම නේද??

ඒ වෙලාවෙ මට දැණුනෙ සපුමල් අය්ය මෙහෙම අහනකල් කල්පයක් වුණත් බලන් ඉන්ඩ පුලුවන් තරම් ආදරයක් මගෙ හිතේ තියෙන බවයි…..

දෙන්නගෙම ගීත හඬ වියැකුණේ එකම වෙලාවට

හරියට අපේ කතා බහට වෙලාව හරි කියල කියන්ඩ වගේ

නංගි,

මොහොතක් කතාකරන්ඩ වචන නෑ වගේ මා දිහා බලන් හිටපු සපුමල් අයිය වචන ඇමිණුවෙ හරිම ආයාසයෙන්

මං එන්ඩ කිව්වෙ සින්දු කියන්ඩ නෙවෙයි……

මට ඔයාට දෙයක් කියන්ඩ තියෙනව…..

මගෙ උගුර කට සීතල වුනා!!!

කියන්ඩ?? මං කතා කරන්ඩ හැදුවත් සද්දෙ පිට වුනේ නෑ…..

ඊට කලින් මට ඔයා ඇත්තම කියන්ඩ ඕනෙ…..

……………………….

ඔයාගෙ හිතේ මං ගැන බලාපොරොත්තුවක් එහෙම තියෙනවද???

මම මොහොතකට ගල් වුණා!!!! මොකක් කියන්ඩද?? තියෙනව කියන්ඩද නෑ කියන්ඩද?? ඇයි මෙහෙම අහන්නෙ??බොරුවක් කියන්ඩද??

මගේ මුහුණ වෙනස් වෙච්ච විදියෙන් සපුමල් කැළඹුනා….

ඇයි උත්තර දෙන්නෙ නැත්තෙ?? කියන්ඩ….

මං හිතුවෙ වෙන කාටත් වඩා ඔයාට තේරුනා කියල සපුමල් අයියෙ මගෙ හිතේ තියෙන දේවල්??

මං වචන තේරුව!!

හ්ම්!!! ඔයාව තේරුණේ නැතුව නෙවෙයි අනුදි නංගො……එහෙම දෙයක් නෙවෙයි මං අහන්නෙ……… ඔයා අයිය කෙනෙක්ට වඩා වෙනස් විදියකට මං දිහා බලනව කියල දැණෙනව කියල සාලියත් මට කිව්ව…ඒක මටත් දැණුන… ඒකයි අහන්නෙ…..

කියපන් කියපන් ආදරෙයි කියල…

මා තුළ ඉන්න මට වඩා නිර්භීත වෙලා හිටිය මම සපුමල් අයිය ඉස්සරහ අසරණ වෙලා ඉන්න අවිහිංසක මට තර්ජනය කළා…

මට කතා කරන්ඩ ඉඩක් නොතියා සපුමල් අයිය කතා කලා!

මං කවදාවත් හිතුවෙ නෑ නංගි ඔයාගෙ හිතේ මං ගැන එහෙම හැඟීමක් ඇතිවෙයි කියල… අනේ මට සමා වෙන්ඩ මෙහෙම කියනවට… මං හිතුවෙ ඔයා මට ඔයාගෙම අයිය කෙනෙක්ට වගේ ආදරේ කරනව කියලයි.. ඒත් දැන් ටික දවසක ඉඳල මට දැණුන ඔයා වෙනස් කියල…. ඇයි නංගි එහෙම වුණේ???

ආදරේ පිරිච්ච හිතේ  බැම්ම කැඩුණ… ඒ ආදරේ ඇස්වලින් දෝරෙ ගලන්ඩ වුණා…..

කඳුලු නවත්තගන්ඩ බැරුව මම පුටු අතේ ඔලුව තියා ගත්ත…..

නංගි මට කියන්ඩ… ඔයාගෙ හිතට එහෙම බලාපොරොත්තුවක් ඇතිවෙන විදියෙ දෙයක් මගෙන් කියවුණාද? කවද හරි මගෙන් වුණාද??

මම ඔලුව නූස්සාම දෙපැත්තට වැනුවෙ නැහැයි කියන්ඩ‍

එහෙනං අපි සින්දු කියන වෙලාවල හොරෙන් මගෙ ඇස් දිහා බලන් හිටියෙ ඇයි??

මං ආදරේ ගැන කවි ලියපු පුංචි කවි ලියපු බුක්මාක් සේරම  යාලුවො කාටවත් නොදී මේක මට, මේකත් මට කියල අරන් ගියේ ඇයි?

හැමදාම හවසට යමු සිංගින් රූම් කියල මාව ඇදගෙන  සින්දු කියන්ඩ ගියේ ඇයි??

සින්දු කියල හවස් වෙච්ච දවසක කැන්ටිමේදි අපි දෙන්න තේබොද්දි සපුමල් අයියගෙ ඇඟිලි හරියට අපේ තාත්තගෙ වගේ කියල මම කියද්දි මගේ දිහා බලන් හිටිය ඇස්වල තිබුණෙ මොනවද???

මේ වගේ ඇහුවෙ නැති ප්‍රශ්න ගොඩාරියක් හිතේ හිර වෙලා තියෙද්දි….

දැන් කාලෙක ඉඳල මධූ ගැන මගෙ හිතේ ආදරයක් ඇති වෙලා තියෙනව… මං ඒක එයාට කියල නෑ… හිතේ තිබුණ විතරයි… ඒත් කවුරු හරි ඒක මධූට කියල තිබුණ.මධූ හිතල  තියෙන්නෙ මම ඔයාව ආශ්‍රය කරන්නෙ එහෙම බලාපොරොත්තුවකින් කියල…. … එයාට හොඳටම තරහ ගිහින්….මම ඔයාට බලාපොරොත්තු දීල එයාගෙන් යාලු වෙන්ඩ අහනවයි කියල….එයා බැච් ට්‍රිප් එක නොගියෙත් ඒකයි…

සාලියි චමියි මට බැන්න උඹ මධූ ගැන ආදරයක් හිතේ තියෙනව නං ඇයි අනුදිනී එක්ක මේ තරම් ගැවසෙන්නෙ, ඇයි උඹ ඒ කෙල්ලට බලාපොරොත්තු දෙන්නෙ කියල??

මං උන් එක්ක රන්ඩු වුණා…. ඔයාගෙ හිතේ එහෙම එකක් නෑ කියල.. ඒත් දැන්…………..???

හින් ඉකියක් මටත් නොදැනීම එළියට පැන්න……

මධූ!!! මගේ හොඳම යාලුව…. සපුමල් අයිය  එයා ගැන ආදරයක් හිතේ තියාගෙන ඉන්න බව මම විතරද එතකොට නොදැන හිටියෙ???

එයා ගැන ආදරයක් හිතේ තියෙන බව මට කියන්ඩ නං ඇයි මගෙ හිතේ බලාපොරොත්තුවක් තියෙනවද කියල ඇහුවෙ?? මධූගෙ කතාව කිව්ව නං මං කියන්නෙ නෑ නේද මගෙ හිතේ තියෙන දේ ගැන….

මට මම ගැනම හරිම අනාථ අසරණ හැඟීමක් දැණුන!!!

හරියට මුලු කැම්පස් එකම ඉස්සරහ නිරුවත් වුණා වගේ!!!

අනේ අඬන්ඩ නං එපා නංගි.. මට ඉවසන්ඩ බෑ… මට දැනෙන්නෙ මං මහ පවු කාරයෙක් කියල…

මං ඔයාට ලොකු වැරැද්දක් කලා නංගි!! මට සමා වෙන්ඩ… පුලුවන් නං මට සමාව දෙන්ඩ…

ඔයාගෙ හිතේ මං ගැන ඒ විදියෙ බලාපොරොත්තුවක් ඇති වෙන විදියෙ දෙයක් කලා නං මට සමා වෙන්ඩ අනුදි නංගි… ඒත් මට කවදාවත්ම ඔයා ගැන ඒ විදියට හිතන්ඩ බෑ..

ඔයාව මට මගේ නංගි වගේ… ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ වෙනස් නංගි

ඒක මධූට මගේ හිතේ ඇත් වෙච්ච දේට වඩා උතුම්!!! කවදාවත් නැත් වෙන්නෙ නැති දෙයක්!!

ඒ වුණාට කොච්චර උතුම් වුණත් මට ඒ ආදරෙන් වැඩක් නෑ  අයියෙ….

මගේ හිත කෑ ගැහුව.. සපුමල් අයියට ඇහුණෙ නෑ….

මුලු පරිසරයම මොහොතකට නිහඬ වුණා. හිතුවක්කාර රැහැයියෙක් දෙන්නෙක් විලාප තියන්ඩ පටන් ගත්ත…හරියට මගෙ දුකට හවුල් වෙන්ඩ වගේ…

අයියෙ…. කවද හරි අයියගෙ හිතේ මං ගැන තියෙන හැඟීම වෙනස් වුණොත් මට කියනවද??

අන්තිම තුරුම්පුව!!!!!

ඇයි දෙයියනේ සපුමල් අයියට තේරෙන්නෙ නැත්තෙ මං එයා වෙනුවෙං බලං ඉන්ඩ හදන්නෙ ජීවිත කාලයක් කියල???

හ්ම්!!!!!!!!!!!!!!!!!!!!!!!

මා කම්පාවට පත් කරන්නේ ඒ සුසුම් හඬයි!!

නෑ අනුදි නංගි…. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ….. වෙනස් වෙන්ඩ මං ඉඩ දෙන්නෙත් නෑ… ඒ නිසා මට සමා වෙන්ඩ… මාව අමතක කරල හිත හදාගන්ඩ….

ඔයාට හොඳ අනාගතයක් තියෙනව…. ඒකෙ ඔයා ගෙ සහකාරය වෙන්ඩ මට ඉඩක් නෑ….

ප්ලීස් ඔය කඳුලු පිහගන්ඩ දැන් රෑ වුණා… ඔයා යන්ඩ ඕනෙ දැන්… මට තව ටික වෙලාවක් තනියම ඉන්ඩ ඕනෙ…

මං සිංගින් රූම් එකෙන් එළියට බැස්සෙ හරි සිහියකින් නං නෙවෙයි!! ඔහේ ඇවිදගෙන ගියා…

ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතැනද සැගව ගියේ

ඉවත ගලාගිය කඳුලක දියවී ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ග්‍රහලෝකාගාරෙ සික්කෙක් රේඩියෝ එක දාල තිබුණෙ මගෙ පූරුවෙ පවකටද කොහෙද..

කඳුලු නවත්තගන්ඩ ආයාසයෙන් වෙර දරද්දි මගෙ පපුව රිදුම් දුන්න… උගුරෙ ලෝදිය හැලුව වගේ වේදනාවක් දැණුන!!!!

අනේ ඇයි මෙහෙම වුණේ!!!!!!!!!!!!!!! මං තනියම හඩාවැටුණ!!!!

දෙනෝ දාහක් ගැවසෙන සරසවියෙ තනි වෙලා හඬා වැටුණ!!!

රැහැයියොන්ගෙ හඬ විතරක් තනියට ඇහෙද්දි… මං ගෑටුව…

පුරුද්දට වගේ මං ගිහින් තිබුණෙ කැන්ටිමට…

කැන්ටිමේ කොණේ මේසෙ පුටුවක වාඩි වෙලා බිම බලාගෙන කොහේදෝ අතරමං වෙලා හිටිය සාලි ලඟින් ඉඳගත්ත මං හඬා වැටුණ…

 මට ඇති වෙනකල් අඬන්ඩ ඉඩ දීල බලන් හිටපු සාලි අකුරු ඇමිණුව….හරිම හෙමින්!!

 සපුමලය හොස්ටල් එකේ බිත්තියක කෙල්ලෙක්ගෙ චිත්‍රයක් ඇඳල තියෙනව.. ඒකෙ ඇස් හරියට මධූගෙ වගේමයි කියල යන එන කොල්ලො හැමෝම කියනව!!!!

කවුරුහරි එකෙක් ඒක මධූට කියල තිබුණ….

මං සපුමල්ට කීප වතාවක් කිව්ව අනූ, ඔයා ඌට කැමැත්තෙන් හිටිය බව අපේ සෙට් එකම දැනගෙන හිටපු දෙයක්!! ඒකට අකුල් හෙලන්ඩ කාටවත් ඒනෙ වුනේ නෑ… මධූ ඌ එක්ක තරහ වුණෙත් ඒක කියල…. මොනව කරන්ඩද?? කොහෙද පවට පින දෙන්ඩ බෑ නෙ…

අපි ආදරය කරන මිනිස්සු අපි ලඟම ඉන්ඩ ඕනෙ කියල දෙයක් නෑ අනුදිනී, හැම තිස්සෙම ඒක වෙන්නෙත් නෑ… ඒක තේරුම් ගන්ඩ, එයාල කොහේ හෝ සතුටින් ඉන්න එක බලල අපිට සතුටු වෙන්ඩ පුලුවන් නං ඒක තමයි ඇත්තම ආදරේ!!!

සාලි හෙමින් කිව්ව….

එදායින් පස්සෙ මම සිංගින් රූම් ගියේ නෑ…. අහම්බෙන් සින්දුවක් ඇහුණත් ඇස්වලට කඳුලු උණල පපුව ඇතුලෙන් රබර් බෝල හිර වෙන්ඩ එන හන්ද සින්දු ඇහුවෙත් නෑ…. ආදර කතා කියෙව්වෙත් නෑ….

ජීවිතේ දිශානතිය හෙමින් හෙමින් වෙනස් වෙන්නෙ අපිට හොරා…..

අද යමක් නොලැබීමෙන් හඬා වැටෙන අපි හෙට ඒ දේ නොලැබීම ගැන සතුටු වෙනව.. ඒ අපි අත්දැකීම්වලින් පන්නරය ලබන නිසා!! නා නා විධ අරුමෝසම් මැද ජීවිතේ සැබෑව වටහාගන්න නිසා

හැබැයි සෑහෙන කාලයක් යනකල් එක ගීතයක් නං මාව රිද්දන්ඩ වගේ මං යන යන තැනින් ඇහුණ…

පස්සෙ කාලෙක නං ඒව නැවත ගීත පමණක් බවට පත් වුණා….

නිරෝෂා විරාජිනීගෙ මං හරිම ආස ගීතයක් තමයි මේ….

නිරෝෂගෙ හඬටත් වඩා මං ආස බන්දුල නානායක්කාරවසම් කියන අපට ලස්සනම ගේයපද රැසක් තිලිණ කරපු රචකයගෙ වචන භාවිතයට… ඊලඟට සංගීත සංයෝජනයට!

හැබැයි ගීතය ගැයෙන රිද්මය තව පොඩ්ඩක් විතර අඩු වුණා නම් ඒකෙ තියෙන භාවාත්මක ගතිය, ඇහෙන කෙනෙක්ට තමන්ගෙ පෞද්ගලික අත්දැකීමක් සිහි වෙලා ගීතය තමන්ගෙම වෙන ගතිය වැඩි වෙන්ඩ ඉඩ තිබුණයි කියල මට හිතෙනව…

මට නම් ගීතයක රිද්මය කියන එක හරිම වැදගත් දෙයක්… හරිම පරිස්සමෙන් තෝරා බේරාගන්ඩ ඕනෙ දෙයක්… ඒ වගේම තමයි සංගීත භාණ්ඩත්… බටනලාවක් වැයෙන්ඩ ඕනෙ තැනක වයලීනයක් වැයුණොත් අපේක්ෂා කරන රසය එන්නෙ නෑ…. ලංකාවෙ සමහර සරල  ගීත ගැයෙන රිද්මය ඒ ගීතයෙන් ඉස්මතු වෙන්ඩ ඕනෙ දේවල් යටපත් කරනව… මං හිතන්නෙ මං ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුතු දෙයක්!!! දැන් තියෙන කච කච එෆ්එම් නාලිකාවල නිතර නෑසෙන මේ ගීතය අහම්බෙන් ඇහිල තමයි මේ කතාව හිතේ මැවුණෙ….

ඒ විතරක් නෙවෙයි මුහුණු පොතේ හුවමාරු වෙච්ච එක්තරා ඡායාරූපයක තිබුණ එක් වැකියක් මගේ හිතේ නතර වෙලා මේ කතාවට රුකුල් දුන්න… එහෙම ඉබේම මැවුණ කියන්ඩත් බෑ… සමහර දේවල් අත්දැකීම් කියල නොකිව්වොත් ඒ බොරු නෙ!!!

දැන් හිතෙන දෙයක් ලියල යන්ඩලාකො පහලින්!!!

මේක කියවල මං බහුබූත ලියනව කියල පෙම්බරය බනින එක නං ආයෙ ඉර හඳ වගේ විස්වාසයි.  ඒ වුණාට බහුබූතයක් වගේද බ්ලොග් පෝස්ට් එකක්……. නැද්ද???

අවවාදයයි.. මේ කතාව කියවල කාගෙවත් ජීවිතවලට ආදේශ කරන්ඩ හෙම යන්නෙ නෑ කවුරුත් හරිය??

අද පින්තූරෙ හම්බවුණේ මෙන්න මෙතනිං: http://www.123rf.com

 

 

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

33 Responses to දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මම්….!!!

  1. Ravi පවසයි:

    සික්, මේ යකා එළ හරකෙක්නෙ….ඔය වගෙ අවස්තාවක කරන්ට පුළුවන් අන්තිම නරක විදිහටයි මේ ගොනා සීන් එක හැඬල් කරල තියෙන්නෙ….

    Project Proposal වල තියනව Worst Case Scenario කියල එකක්. අන්න එහෙම එකකට නම් මරු උදාහරණෙ…හෙහ්, හෙහ්,

    ඔය වගෙ තවත් කෙනෙකුගෙ විශේෂයෙන් තමන්ට ආදරේ කරන කෙනෙකුගෙ සිතුවිලි ගැන අවබෝධයක් නැති මෝඩයෙක් වෙනුවෙන් අර කෙල්ල මොකටද අර ජීවිත කාලයක් බලං ඉන්ට යන්නෙ?..පව් අප්පා…

    මගෙ වචන සැර වැඩියි ද මන්දා…ඒත් මට ආපු කේන්තිය තමයි මම ඔය කිව්වෙ …:( 😦

    උඹ මේ කතාවෙ සපුමලයගෙ චරිතෙ ගොඩ නඟල තියෙන්නෙම බොල ඌට කිසිම සමාවක් දෙන්න බැරි විදිහට……හෙහ්, හෙහ්,

    ප.ලි. – ඒයි මොකෝ මේ සපුමල් කියලම මූට නම දැම්මෙ?…මේ දවස්වල රට පුරා ඒ යකාගෙ කඩුව හොය හොය යන එක හින්දය?……:) 🙂

    ප.ප.ලි. – පෝටොස් ලින්ක් එකත් නියමයි…අඩේ අන්න එහෙම තව ඔය හොයාගන්න එව්ව දාපිය අපිටත් ඔය මොනව හරි ගන්ට,

    ප.ප.ලි.ලි. – අනික ජනූ උඹේ කතාවල චරිත වලට උඹ දානව නියම නම්..හෙහ්, හෙහ්, කියල වැඩක් නෑ….කලින් මතකෙයි? තරිණි, විසල් සිදත්…අද අනුදිනී,

    අරිසෙන් අහුබුදුවෝද මිය පරළොව ගොස්යැ, එබැවින් කෙසේ ද නැඟණියනි, අමතර ආදායම් මාර්ගයක් ලෙස දරුවනට නම් තැබීමේ ව්‍යාපාරයක් ඇරඹුවහොත්?…:) 🙂

    කොහොම හරි මීට පස්සෙ ආදර කතාවක් ලියනකොට මම උඹෙන් තමයි නම් අහගන්නෙ ඔන්න..හැබැයි මගෙ අරක්කු මටම තලනව කිව්ව වගෙ උඹ මගෙං එහෙම සල්ලි ඉල්ලන්නෙ නෑ හොඳද?….:) 🙂

    • ඔය ඉතිං උඹ එක්ක බැරි ඕකනෙ අයියෙ… සීරියස් ගන්නවනෙ…. සපුමල්ටත් හේතු තියෙන්ඩ ඇතිනෙ එහෙම කරන්ඩ…ඇත්තටම එයා අනුදිනී ගැන හිතුවෙ තමන්ගෙම නංගි කෙනෙක් වගේ නං එහෙම???

      ඒකතං හැබෑව ජීවිත කාලයක් බලං ඉන්නෙ අහවල් එකටෙයි?? ඔතන ප්‍රතික්ෂේප වීම කියන තැනදි සපුමලුයි අනුදියි දෙන්නම එක ගොඩේ නේ?? අනුදිට තියෙන්නෙ සපුමල්ගෙන් ප්‍රතික්ෂේප වීමේ වේදනාව විතරයි… ඒත් සපුමල්ට මධූ ගෙන් ප්‍රතික්ෂේප වීම විතරක් නෙවෙයි ඒකට තමන් නංගි කෙනෙක් විදියට සලකපු අනුදි හේතු වෙච්ච එකේ වේදනාවත් ඇති නෙ?? නැද්ද? ඔය කොහොම කිව්වත්ගැහැණු පිරිමි කියල නෑ… ඔය වගේ තමන්ගෙ ආදරේ ප්‍රතික්ෂේප වුණාම ඒකෙ වේදනාව හරිම අමුතු විදියට තමයි එළියට එන්නෙ… නොහිතූ වෙලාවල…. සමහර විට අවුරුදු ගාණක් ගිහිල්ල වෙන අය එක්ක ආදරෙන් බැඳිල හිටියත් ඒ වේදනාව එළියට පනිනව…. මං අමුතුවෙං කියන්නෙ මොකටද?? කලිපනා කළොත් අපි කාගෙත් මලුවල හුණු පොඩි නැතෑ??
      අප්පේ ආර්යසේන ආෂුබෝධයන්ගේ ප්‍රිය දියණිය දැන් පියාණන්ගේ රාජකාරි භාරගෙන අහවරයැ.. ඒබැවින් එවැනි මුග්ධ යෝජනා ඉදිරිපත් කර මාගේ බොටුව කැපී යන්නට සිද්ධ නොකරනු මැනැවි…
      හික් හික්… ඔය උඹගෙ ආදර කතාවලට නං දෙනකො නං ඉතිං සලකල බලන්ඩ ඕනෙ…. කතාව හිට් වුණොත් ගාණක් අයකොරන්ඩ වෙනව…

      රවී අයියාට ස්තූතියි කවදත් වගේ මා දිරිමත් කරවන වචනවලට…!!

      • Ravi පවසයි:

        / ඔය ඉතිං උඹ එක්ක බැරි ඕකනෙ අයියෙ… සීරියස් ගන්නවනෙ…. /

        කතා සීරියස් ගන්නෙ ඉතිං උඹ ලියන විදිහට එව්ව සීරියස් නොගෙන බැරිවෙනවනෙ….පපුවටමත් නෙවෙයි ඊටත් ටිකාක් පල්ලෙහට නෙව වදින්නෙ….:) 🙂

        / සපුමල්ටත් හේතු තියෙන්ඩ ඇතිනෙ එහෙම කරන්ඩ…ඇත්තටම එයා අනුදිනී ගැන හිතුවෙ තමන්ගෙම නංගි කෙනෙක් වගේ නං එහෙම??? /

        “හප්පච්චියෙ ඇත්තම නොවෙන්නම්….සපුමල් ගැන එහෙම හිතන්නත් පුළුවන් නෙව..උඹ කිව්වමනෙ ඔන්න ඒකත් මතක් උනේ…කොහෙද මල පැනල ඌට බැණගෙන බැණගෙන ගියා මිසක නිවීහැනහිල්ලෙ එකත්පස්ව එහෙම හිතුවෙ නෑනෙ….ඒක උනේ මේකනෙ බොලේ…,මම ඇවිල්ල ඉතිං වනිතා පක්සෙට බොහොම මනාප ගොයියනෙ…අන්න ඒක නිසා අනූට වෙච්ච අකරතැබ්බෙට මයෙ පපුව හොස් ගාල ගියා, එතකොට මයිල් කෙලිං උනා, කෙස් කේසාකර්සනේ උනා.කොටිම්ම උන්න මලා පේන්නෙ නැතුව ගියා.

        හරි ගියදේ ගියාවෙ. ඔන්න උඹ කියාපු විදිහට සපුමල් වෙනුවෙං මම ඉදිරිපත් වෙනව….

        ” සාලිය උඹ ගිහිල්ල අනූට එන්න කියාපං හොඳ එකා වගෙ….”

        සාලිය උත්තර දුන්නෙ ටික වෙලාවක් මගෙ දිහා රවාගෙන ඉඳල….

        ” මේ යකෝ පිස්සු කෙළින්නෙ නැතුව ඉඳහං…මේ වෙච්ච පලහිලව් මදිවටද?…උඹේ මේ එහාට මෙහාට වැනෙන එක තමයි මේ ඔක්කෝටම මුල…..”

        ” හරි , හරි බං…මම නෑ කිව්වය…ඒක ඇත්තමය කියමුකො….හරි ගිහිං ඒ කෙල්ලට එන්න කියාපංකො…”

        ” දැං මොකටද ඔය එන්න කියන්නෙ…”

        ” එයත් එක්ක සිංදුවක් කියන්න…”

        ” මේ මගෙං මොකුත් අහගන්න එපා…සිංදු කියන්න ගිහිල්ල තමයි මේ ඔක්කොම උනේ……තවත් කියනවනෙ කිසිම ගාණක් නැතුව..”

        ” මේ සාලිය…උඹල ඔය කොච්චර කිව්වත් අනූගෙ හිතේ එහෙම අදහසක් නෑ…මට ඒක සහතිකයි…අපි ආශ්‍රය කලේ අයියල නංගිල වාගෙ…”

        සාලිය මා දිහා බලා ඉඳල ඔළුව හෙල්ලුව දෙපැත්තට….මේ මෝඩයට කියනවට වඩා හොඳයි….වචනෙං එහෙම නොකිව්වට ඌ හිතුවෙ එහෙමය කියල මම දන්නව.

        ” හරි, හරි…අනූගෙ හිතේ මා ගැන එහෙම අදහසක් තියනවය කියමු…හරි උඹ ගිහින් එයාට එන්න කියාපංකො…අද මම කෙලින්ම එයාගෙන් ඒ ගැන අහන්නම්…හරිනෙ එතකොට…..”

        ” අහල අනූ කිව්වොත් එහෙම අදහසක් තියේය කියල?….” සාලිය මා දිහාම බලාගෙන…

        දිගටම උගෙ මූණ දිහා බලාඉන්ට බැරුව මම කතාකලේ බිම බලාගෙන…වචනෙන් වචනෙ හඬ අඩුවෙලා ගිහිල්ල අන්තිම හරිය කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.

        ” එහෙම උනොත් මම කෙලින්ම කියනව අනූ මගේ හිතේ ඔයා ගැන එහෙම අදහසක් නෑ, ඒ නිසා මා ගැන බලාපොරොත්තු තියාගන්ට එපාය කියල ”

        සාලිය ආයෙම මා දිහාවෙ ඇහිපිය නොහෙල බලා හිටිය…

        ” එහෙම කිව්වම හරියි කියල උඹ හිතනවද? ”

        ” හරි හෝ වැරදි හෝ මම වෙන මොනව කරන්නද?…අනූ ගැන මගෙ හිතේ තියෙන්නෙ නංගි කෙනෙකුට ඇතිවෙන ආදරයක් විතරයි කියල කිව්වට ඇයි දෙයියනේ උඹල ඒක පිළිගන්නෙ නැත්තෙ? ”

        ” නෑ, සපුමල් මට ඒක පිළිගන්න පුළුවන්, ඒත් අනූ මේක කොහොම බාර ගනියිද කියන එකයි මට තියෙන බය…ඒ කෙල්ල……හ්ම්..නෑ, එක අතකට කමක් නෑ….මේක මෙහෙම හරි දෙකෙන් එකක් ඉවරයක් වෙන එක හොඳයි…හරි මම අනූට එන්න කියන්නම්..ඒත් උඹට මම වඳින්නං, කියල මළ දානයක් ඒකිගෙ හිත රිද්දන්නෙ නැතුව කියාපං…”

        සාලිය ගියා……

        පියානෝ එක ලඟ වාඩිවෙලා ඔළුවත් අත්දෙකේ ගහගත්ත මම….

        අනූගෙ හිතේ මා ගැන එහෙම අදහසක් ඇත්තටම තියෙනවද?……මට මෙච්චර කාලෙකට එහෙම දෙයක් හිතුනෙම නැත්තෙ ඇයි?..ඇත්තටම හිතුනෙ නැද්ද?…එහෙමත් නැත්නම් එහෙම දෙයක් දැනුන උනත් මම ඒ ගැන සැළකුවෙ නැද්ද?….එහෙමත්ම නැත්නම් මගෙ හිතේ දෙගිඩියාව නිසා මම ඒ ගැන වැඩිදුර නොහිතා ඔහෙ නිකම්ම හිටියද?

        මගෙ ඇස් වලට අනූගෙ ඇස් හමුවෙච්චි අවස්තාවල ඒ ඇස් වලින් කියන්න හදපු කතාව මට ඇත්තටම තේරුනේ නැද්ද?….නැත්නම් වෙන ඇස් දෙකකට කතාවක් කියන්න පෙරුම් පුරාගෙන හිටපු මගෙ ඇස් දෙකට අනූගෙ ඇස් වලින් කියන කතාව වටහාගන්න තරම් වෙලාවක් තිබ්බෙ නැද්ද? එහෙමත් නැත්නම් ඒ ගැන වැඩිදුර කතාකරන්න ගිහිල්ල අනූත් එක්ක සිංදුවක් කියනකොට මට දැනෙන අපූර්ව සුවය නැතිවෙලායයි කියල…අනූ එක්ක එකට හිනහවෙනකොට මගෙ හිත පාවෙලා ගිහිල්ල විඳින සැහැල්ලුව නැතිවෙලා යයි කියන බය නිසා මම නොතේරුනා වගේ හිටියද?

        මට නොදැනිම ඇඟිලි තුඩු පියානෝවෙ යතුරු පුවරුව දිගේ දුවන්ට පටන් ගත්ත. පියානෝවෙ නාදය හෙමිහිට කාමරේ පුරා ගලායන්න ගත්ත.

        නැත්නම් ඇත්තටම උත්තරේ ඔය තුන හතරෙම මිශ්‍රණයක්ද?….අනික් අතට මේ වගෙ ප්‍රශ්නෙකට ඇත්තටම උත්තරයක් තියනවද?

        අනික් කාරණේ උත්තරයක් හොයාගත්ත කියල මේ වෙලාවෙ ඇති වැඩක් තියෙද?….වෙන්න ඕන දේවල් ඔක්කොම උනාට පස්සෙ….මොකද ඉතිං කරන්නෙ?….ජීවිතේ මේ තරමට අකාරුණික වෙන්නෙ ඇයි?..අපි ආදරය කරන අය අපිට ආදරේ නෑ…අපිට ආදරේ කරන අය ගැන අපේ හිතේ ආදරයක් උපදින්නෙ නෑ…..

        අනුදි දොර ලඟ ඉන්නව මට තේරුණෙ කොහොමද මන්ද..

        ” එන්න අනුදි නංගි, ඉඳගන්ඩ ”

    • Buratheno පවසයි:

      ඔය ඔක්කෝටම වැරැද්ද මේ අනුදි ද කවුද මන්දා කෙල්ලගෙ නෙවැ.. කොල්ලෙක් සහෝදරකමට හිනාවෙලා කතාකරපු ගමන් මේකිලාට මගුල් විසේ ගහනවා ඔලුවට.. ඉගෙනගන්න ආවානං ඉගෙනගන්ට ඕන මගුල් නටන්නැතුව..අන්තිමට අර අහක ඉන්න අහිංසක කොල්ලො පලි.. 😛

      • රවී අයිය: ඔය තියෙන්නෙ අපූරුවට තේරුං අරං….සපුමල් වැරදිත් නෑ අනේ… එයත් සිද්ධ වෙච්ච හැම දේම නිසා වික්ෂිප්ත වෙලා ඉන්ඩ ඇත්තෙ…. හැබැයි මට අල්ලන්නෙ නැත්තෙ අර කුමාරි හාමි උන්දැ වගේ මෙතන උඹත් සාලියව පොඩ්ඩක් සීන් එකට ගේන්ඩ හදන එක තමයි හරිය?? අලි මදිවට හරක් නේද බොල අනුදිනීට එතකොට??

        බූරයියා: ඔය ඉතිං…. උඹල ඔය කොච්චර කොච්චර පාරම් බෑවත් රජෝ ආදරේ කරල වෙන්වුනා වගේ නෙවෙයි, කුලුදුල් ආදරෙන් ප්‍රතික්ෂේප වුණාම ඒ වේදනාව හරියට දත් කැක්කුමක් වගේ….

  2. කිරිපුතා පවසයි:

    පස්ට පට පට………..
    මං මේ අන්තිම හරිය වෙනකල් සිරා සීන් එකක් කියල හිතාගෙනනෙ හිටියෙ. අපරාදෙ කැම්පස් එකේ හිටපු දවස්වල කිව්වනම් ඕකට දෙකක් කතාකරන්න තිබ්බ.
    සුපිරියි. මවල දීල තියෙනව ලොවෙත්.

  3. මධුරංග පවසයි:

    කතාව කියෝලා කතවේ ආදර්ශ ටික ඔලුවට දාගත්තා !
    පහු කාලෙකට ඕන වෙයි නේ. එතකොට ජන්නු අක්කව මතක් කරගෙනම ආදර්ශ ටික ක්‍රියාවේ යොදවන්ට පුලුවන් !!!

  4. Gold fish පවසයි:

    ඔක්කොම කියලා, අපිව්ත මඥ්ඥං කරලා… අන්තීතීතීතීමටම එනවා තව අවවාදත් දෙන්න… බැනපිය පෙම්බර අයියේ බැනපිය…!!!

    ලස්සනයි අක්කේ… මොකක් දිහා බලාගෙනද මේක ලිව්වේ…

  5. henryblogwalker පවසයි:

    හංසකිංකිණි, ඔය කතාව කියෙව්වාම මට මතක් වුනේ මේ සින්දුව. මේක all girl band එකක් වන CLOUT ගයන්නේ. නම ‘SUBSTITUTE’. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා
    http://beemp3.com/download.php?file=8259225&song=Substitute
    මම හින්දි සින්දු වලට එක්ක නම් ආශ්‍රයක් නෑ.
    henryblogwalker the Dude

    • ස්තූතියි ලින්ක් එකට හෙන්රි අයිය,
      මම නං හින්දී ගීතවලට බොහොම ප්‍රියයි. ඒක මේ අදක ඊයෙක ඉඳල නෙවෙයි.. ඉස්සර අර වෙළඳ සේවයෙ පැරණි රසාංග යන්නෙ.. අන්න ඒ කාලෙ ඉඳලම.. තව අපේ තාත්තගෙ තිබුණ පරණ ටේප් වගයක්. ඕව ඒක්කම තමයි මගෙ ජීවිතේ… මේ සින්දුව මං අහන්නංකො

  6. රූ පවසයි:

    ගීතයටම ගැලපෙන අත්දැකීම..නෑ..නෑ..අත්දැකීමටම ගැලපෙන ගීතය..
    ලස්සනයි

  7. වර්ෂා පවසයි:

    හරිම ලස්සනයි ජනූ අක්කියො.. අපූරුවට කෙල්ලෙක්ගෙ හිතේ තියෙන වේදනාව ලියල තියෙනව.

  8. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අපොයි පපුව පිච්චිලා ගියා. මමත් ආස සින්දුවක් අක්කේ. ලස්සනට කතාව ලියලා තියෙනවා.

  9. abeetha පවසයි:

    අප්පා….. පිස්සු හැදෙනවා….. සිරා කථාව නංගි…

  10. praveena පවසයි:

    මොකද මන්දා මට නම් කතාව බලනකොටම ඕක තමා වෙන්ට යන්නේ කියලා තේරුනා. එයාට හරියන්නේ සාලිය. බල්න්ටකෝ කවදාහරි දවසක සාලිය කියයි ‘මම හැමදාමත් ඔයාට ආදරෙන් හිටියේ අනුදී’ කියලා….

    අපි ආදරේ කරන කෙනාම අපට සමහර වෙලාවට හම්බ වෙන්නේ නෑ. අපි හැමෝම සමහරවිට නතර වෙන්නේ ඊලඟට හොඳ කෙනා ලඟ.

    මෙන්න පෙම්බරයෝ…මේ ජනුවට හොඳවයින් දෙකක් කියන්ටෝ. 🙂

    • ඕං කිව්ව!!!! මෙයා හරියට සාලිය ගැන දන්නව වගේ???

      ඔයා හිතන දේත් හරි… සමහරු තමන් ආදරේ කරන කෙනාට එයාගෙ ආදරේ වෙනුවෙන් උදව් කරනව….. තමන්ගෙ ආදරේ හිතේතියාගෙන…. ඒක හරිම අමාරු දෙයක් නෙ… ඒත් හරිම අපූරුයි… එහෙම කරන්ඩ නං පුදුම ඉවසීමක් තියෙන්ඩ එපායැ නැද්ද අක්කෙ??

  11. Buratheno පවසයි:

    ඔක්කොම හොඳයි, අර අන්තිම ඡේද 2-3 සිංදු විචාරය දැම්මෙ නැත්තං තවත් හොඳයි.. අච්චර ලස්සනට ගලාගෙන ආව කතාවෙ රසේ එහෙම්පිටිංම කාලා දැම්මනේ මේකි.. චැහ්! ගීතයක රිද්මය වගේම තමා කතාවක රිද්මයත්..

    පලි: // අපි ආදරය කරන මිනිස්සු අපි ලඟම ඉන්ඩ ඕනෙ කියල දෙයක් නෑ අනුදිනී, හැම තිස්සෙම ඒක වෙන්නෙත් නෑ… ඒක තේරුම් ගන්ඩ, එයාල කොහේ හෝ සතුටින් ඉන්න එක බලල අපිට සතුටු වෙන්ඩ පුලුවන් නං ඒක තමයි ඇත්තම ආදරේ!!! //

    very true.. 😉

    පපලි: අප්පච්චියේ, ඔය උඩින් දාලා තියෙන image එකේ file name එකේ දිග…………………… !!!!!!!

    7109975-couple-with-grand-piano-1-in-white-shirt-black-pants-and-sundress-sitting-at-piano-bench-with-red-ro.jpg 😀

  12. මටත් තේරුණා මං ගම කාගෙන යනව කියල.. ඒත් හිතේ තිබුණු ආවේගෙට ඒ ටික නොලිය බැරි වුණා නෙව…ඇරත් කතන්දරේ ලිව්වෙත් ඒ සින්දුව ඇහිල නෙව.. ආයෙ එහෙම පණ්ඩිත විවරණ නොදා ඉන්නංකො අනුවේදනීය කතා පුවතක් අගට…
    කියල වැඩක් නෑ බොල.. මටත් හිතාගන්ඩ බැරි වුණ ඒ ෆයිල් නේම් එකේ දිග දැක්කම….

  13. TG පවසයි:

    ජනූ සින්ගින් රූම් එක තිබුණේ ජිම් එක පැත්තේ නේද ? 🙂 🙂

  14. නවම් පවසයි:

    මට එන කේන්තියක් ගර්ර්ර්ර්ර්……. දැං මෙතන කොමෙන්ට් දාපු උන් [විශේෂයෙන්ම අර රවියාභිදාන ගොයියා] කියන්න තියන සේරෝම කිව්වම මං කියන්න අහවල් දෙයක්ද. පරක්කු වෙලා ආවම ඔහොම්ම මයි.

  15. නිසුපා පවසයි:

    //එහෙනං අපි සින්දු කියන වෙලාවල හොරෙන් මගෙ ඇස් දිහා බලන් හිටියෙ ඇයි??

    මං ආදරේ ගැන කවි ලියපු පුංචි කවි ලියපු බුක්මාක් සේරම යාලුවො කාටවත් නොදී මේක මට, මේකත් මට කියල අරන් ගියේ ඇයි?

    හැමදාම හවසට යමු සිංගින් රූම් කියල මාව ඇදගෙන සින්දු කියන්ඩ ගියේ ඇයි??

    සින්දු කියල හවස් වෙච්ච දවසක කැන්ටිමේදි අපි දෙන්න තේබොද්දි සපුමල් අයියගෙ ඇඟිලි හරියට අපේ තාත්තගෙ වගේ කියල මම කියද්දි මගේ දිහා බලන් හිටිය ඇස්වල තිබුණෙ මොනවද???//

    මේ ටිකට තමා අක්කේ නියම. අත්දැකීම් සහිතයි වගේ ඒ ගැන නම් 😉

  16. Ravi පවසයි:

    / සින්දු කියල හවස් වෙච්ච දවසක කැන්ටිමේදි අපි දෙන්න තේබොද්දි සපුමල් අයියගෙ ඇඟිලි හරියට අපේ තාත්තගෙ වගේ කියල මම කියද්දි මගේ දිහා බලන් හිටිය ඇස්වල තිබුණෙ මොනවද??? /

    වෙන අහවල් දෙයක් ද බං ” අඩේ..හරියන්නෙ නෑ…මේකිව ලඟදිම දොස්තර කෙනෙකුට නම් පෙන්නන්ටම වෙනව” ඔන්න ඕකයි සපුමලයගෙ ඇස් දෙකේ ලියවිල තිබ්බෙ….අර කෙල්ල රටේ නැති බූත හිතාගත්තට ඒ අහිංසකය මක් කොරන්නද?…හෙහ්, හෙහ්,

    ඒ කිව්වෙ නඟේ ඔහොම හිතෙන එක ඇවිදිල්ල හිට බොහෝම්ම බරපතල මනෝ ව්‍යාධියක්….. නම ඇවිල්ල ඉලෙක්ට්‍රා සංකීර්ණය.

  17. Maneka පවසයි:

    මං හෙම නම් කොල්ලට හොම්බට දෙකක් ඇනල මිසක් පස්ස බලන්නෑ ඕං!!! මෙච්චර කල් ඇස්දිහා බලන් හිටියේ මක්කටද එහෙනම්…:ඩී

    මේ මාත් එකතු වෙනව බනින්න ඔයාට නිකන් ජොලියට වගේ… (දැන් කසාද ජීවිතේට ඇනුම් බැනුම් හෙම එක වෙලාද ඈ???)

  18. අසේල පවසයි:

    අනූදිනී සිංගින් රූම් එකට යද්දි එයාගෙ පපුවෙ සද්දෙට වැඩිය සද්දයක් එන්න ඇති මම මේ කථාව කියවද්දි…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )