දේවතා එලි…!!!!

රෑ වුණා!!  යං දුවේ,  පාන තියල එන්ඩ…

මිදුලෙ වේලෙන්ඩ වනල තිබුණ දර, පොල්කොල හණසු ටික එකතු කරල කුස්සියෙ ලිප ලඟට කරල, ලිඳ ලඟින් මූණ කට හෝදගෙන ගෙට ගොඩ වෙච්ච ආච්චි අම්ම මට අඬ ගහන්නෙ මිදුලෙ රට ඉඳි ගහ පාමුල ලී කණුවක හදල තියෙන පහන් පැලේ පහන තියන්ඩ යන්ඩයි….

යං ආච්චි අම්මෙ.. ….

මං ඉස්සර වෙන්නෙ   හවස් අතේම නෙළල, දාස්පෙති රවුමක් වටේට තියල, ලස්සනට හදල රෝස මලක් හෙම මැද්දට තියල දොහොන් කරල, කෑම මේසෙ උඩ තියල තියෙන  වතුසුද්ද මල් වටිටියත් අරන්…

අපි පහන් පැල ලඟට යනකොට ඈතින් එන හැන්දෑකරේ පිපිච්ච හෙන්දිරික්ක මල්වල හීන් සුවඳ දැනෙනව,

ඒ සුවඳින් හිත පහන් වෙලා යනව!!

තනි කණුවෙ පහන් පැල ඇතුලෙම තියල තියෙන පුංචි තෙල් බෝතලෙන් මැටි පහනට තෙල් දාල පහන්තිරේ අග මිරිකල පත්තු කරනව….

මෙතෙක් වෙලා අඳුරින් පිරිල තිබුණු පහන් පැලේ පුංචි ගේ පොඩ්ඩ ආලෝකමත් වෙලා ඒ එළිය හාත්පස පැතිරෙන්නෙ හරියට හනි හනිකට මිදුල වහගන්ඩ එන අන්දකාරෙ පලවා හරින්ඩ වගේ!!

මල්වට්ටිය මගේ අතින් අරන් බෙහොම සීරුවෙන් පහන් පැල ඇතුලෙන් තැන්පත් කරන ආච්චි අම්ම දොහොත් මුදුන් දීල වැඳගන්නෙ හඳුන් කූරකුත් පත්තු කරලයි….

නමෝ………. තස්ස භගවතෝ අරහතෝ….. සම්මා….සම්බුද්දස්ස…………

දොහෝ මුදුන් දී වැඳගෙන මිහිරි හඬින් ලතාවකට ගාථා කියන ආච්චි අම්ම ලඟින්ම වැඳගෙන මිනිබිරිත් හීන් හඬින් ගාථා කියනව…

හිත දැහැන්ගත වෙන්නෙ අපිටත් නොදැනීම!!!!!

සරස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

එක  සෙනසුරාදා දවසක්!!!

හැන්දෑ යාමෙ ආච්චි අම්මත් එක්කල බුදුන් වැඳල අහවර වෙලා ගේ පැත්තට හැරෙන කොටම ඇහුන සද්දෙන් මං කළබල වුණා.

ආකාස කූරක් වගේ  දිගට දිගේ ඇවිලෙන හීන් ගිණි පුපුරු සහිත යමක් අපේ ඉහට උඩින් විදුලි වේගෙන් ගියා!!

හරියට උල්කාපාතයක් හරහට ගියා වගේ!!!

ඒ විතරක් නං මදෑ… ඇහැ ගිනිකණ වැටුණ ඒ එළියට

අන්න!! ආච්චි අම්මෙ අන්න!!!

මං පෙන්නන්ඩ හැදුවත් කෝ!! පුදුම වේගෙකින් නෙ ගියේ!!!

ආච්චි අම්ම මගෙ දිහාට හැරුණෙ මන්දස්මිතයක් මූණෙ රන්දාගෙන…

හරියට එයා ට නං ඒක අලුත් දෙයක් නෙවෙයි වගේ!!

දේවතා එළිය ගියා නේද පුතේ…. අද හෙනහුරාද කෙම්මුර නෙ.. ඒක යි…

දේවතා එළියක්?? ඒ මොකද්ද ආච්චි අම්මේ ඒ??

එළිය දැකල හිතෙ ඇති වෙච්ච කුතුහලය දෙගුණ තෙගුණ වෙන දෙයක් නෙ ආච්චි අම්ම කිව්වෙ…

මේ ගං තුලාන ආරක්සා කරන්නෙ මහ දේවතා බණ්ඩාර හාමුදුරුවො නෙ දුවේ… ඔය උන්නාන්සෙ අපේ දේවාලෙ තියෙන ඉඹුල් ගහට වඩිනව!! මේ අපේ ඉඩම මැද්දෙං දේව පාදයක් තියෙනව නෙ….. ඕං  දැං තව පොඩිත්තකිං ආපහු වඩිනවත් පෙනෙයි!!

විජහට ගෙට යං දුවේ… ඒ වගෙ  වෙලාවට අපි ගෑණු එළිපහලියෙ ඉන්ඩ හො නෑ….

එදා කොච්චර කරදර කළත් දේවතා එළිය ආපහු  වඩිනව බලන්ඩ කිරිඅම්මව යාප්පු කරගන්ඩ බැරි වුණා මටග

දේවතා එළි ගැන මගෙ හිත විස්මයෙන් පිරුණෙ එදා!!

පස්සෙං පහු කාලෙ කුතුහලේ හන්දම මං ඕක බලන්ඩම කියල කෙම්මුර දවස්වලට හැන්දෑකරේ එලිපහලියෙ ගැවසුනත් ඒ එකම දවසකවත් ඒක දකින්ඩ ලැබුනෙ නෑ නෙ…..

ඊටත් පස්සෙ කාලෙක අපේ මාමගෙ පර්යේෂණ නිබන්ධයකට තොරතුරු හොයල දෙමින් උදව් කරන කාලෙක සිංහල දෙවිවරු ගැන හොයන්ඩ බලන්ඩ ගිහින් හදිස්සියෙම මට උන්නාන්සෙගෙ පින්තූරයක් දකින්ඩ ලැබුණ….

මං හිතන්නෙ සිංහල දේව පුරාණය කියන පොතෙන්!!

මට වැඩි විස්තර නං මතක නෑ උන්නාන්සෙ ගැන හැබැයි ඔය සිංහල දෙවිවරු ගොඩක් දෙනෙක් මනුෂ්‍යයන්ව ඉඳල දෙවිවරු විදියට ඇදහිල්ලට ලක් වුණා කියල තමයි කියවෙන්නෙ…

ඔහොම ඔය පර්යේෂණ වැඩ අහවර වෙලා සාහිත්‍යය, අධ්‍යයන හා කියවීමෙන් ටිකෙන් ටික ඈත් වෙච්ච, පරිගණකයටම තැන හිමි වෙච්ච කාලයක් ගතවෙච්ච හන්ද මට මහ දේවතා බණ්ඩාර හාමුදුරුවංවයි උන්නාන්සෙගෙ දේවතා එළියයි මතක් වුණේ දේවාලෙ මංගල්ලෙ තිබුණ කියල අම්ම කිව්වාම තමයි. අනික අපේ මලය මගෙ තුනී වෙලා ගිහිං තිබුණ කුතුහලේ ආයෙමත් ඇවිස්සුවනෙ වතාවක් දේවාලෙ මංගල්ලෙ දැකපු විජ්ජුම්බර කියල…

අනේ අම්මෙ ඊල වතාවෙ මංගල්ලෙ තියන කොට මට කලිං කියන්ඩ… මං පුංචි කාලෙ ගියාට පස්සෙ මංගල්ලෙට ගිහිං නෑ..

හැමදාම එහෙම කිව්වත් එක්කො අම්මට අමතක වුණා නැත්තං මතක් කළත් මට යන්ඩ බැරි වුණා… ඕං ඔහොම ගිහිං ගිහිං ගිය අවුරුද්දෙ මංගල්ලෙ වෙලාවෙ මායි මලයයි දෙන්නම ගෙදර හිටිය හන්ද අපි මංගල්ලෙ බලන්ඩ ගියා…

අපේ ගෙදර ගොයං කැපුණ කාලෙට අදටත් අනිවාර්යයෙන්ම දෙයියංගෙ පංගුව තියල කොටහක් වෙං කරනවමයි…ආච්චි අම්ම හෙම ඉන්න කාලෙ ඒක පන් මල්ලක දාල ගෙයි වහලෙ එල්ලල තියනව මට මතකයි.. මංගල්ලෙ කිට්ටුව දේවාලෙ කපු මහත්තය එනව ගෙන් ගෙට මේ හාල් එක්කාසු කරන්ඩ….

මේ දේවාලෙ තියෙන්නෙ පාර අද්දරම තියෙන අපේ ගෙදර ලඟින් ඇතුලට තියෙන පාර දිගේ ටික දුරක් ගියාම ගම ඇතුලට වෙන්ඩයි.. දේවාල බිමේ තියෙන බෝ ගහත්, නා ගහත්, ඉඹුල් ගහත් තමයි පලාතෙ උසම ගස් තුන වුණේ.. දඹදෙනියෙ  මාලිගා ගල මුදුනට නැංගාම අපේ ගම අඳුනගන්ඩ ලේසිම විදිය තමා ඔය ගස් තුන හොයා ගන්න එක… අනෙක් ගස් අතරෙ මේ දැවැන්තයො තුන් දෙනා මහා තේජස් විලාසයෙං එහාට මෙහාට හුළගෙ හෙලවෙනව පේනකොට මහා ගාම්භීර ගතියක් තියෙනව…මේ දේවාල බිම හරිම අඳුරුයි.. වටේට තියෙන රෑස්ස ගස් කොලංවල හෙවණෙන් අඳුරු වෙච්ච එළි කරපු බිම කෙළවර ගල් පඩි පෙලක් නැංගම තමයි දේවාල පොඩ්ඩ තියෙන්නෙ… ඇතුලෙ තියෙන අවි ආයුධ හා ආභරණවල පැරණි කම නිසා හිතෙන්නෙ මේක අපේ  පරම්පරා ගාණක මුතුන් මිත්තොන්ගෙ කාලෙ ඉදිවෙන්ඩ ඇති කියලයි….

ඒ විතරක් යැ…. හරිම ගුප්ත බවක් හාත්පස විසිරිලා තියෙන්නෙ… .තනියම  ඒ දිහාව බලන්ඩත් බය හිතෙන ගතියක්!!

කොහොමිං හරි එදා මංගල්ලෙ දවසෙ මලයයි මමයි අම්මයි අපේ ගෙදර යාවජීව  සාමාජිකාවක් වෙච්ච ගුණවතී නැන්දයි අපි කට්ටිය එදා විනෝදෙටත් එක්ක පයින්ම පිටත් වුණා…

අලුත් කපු මහත්තය ආවයිං දේවාලෙ දැං ආයෙ පිළිවෙලක් වෙලා තියෙන්නෙ නෝම්මහත්තය… මතකනේ එක සන්දියක් අර කිරා උන්දැල හෙම බීල පොරපොල් ගහන්ඩ ඇවිල්ල වෙච්ච දේ??

ගුණවතී නැන්ද එහෙම කිව්වාම තමයි මටත් මතක් වුණේ සිද්ධිය… එකක් නෙවෙයි සිද්ධි දාමයක් මතක් වේගෙන වේගෙන ගියා

ඔය දේවාලෙ මංගල්ලෙ එක චාරිත්‍රයක් තමා පොර පොල් ගැහිල්ල.. මේක ක්‍රීඩාවක් වගේ පෙණුනට ඒකට සහභාගි වෙන හැමෝම හොඳට පේවෙලා තමයි සහභාගි වෙන්ඩ ඕනෙ… දේවාලෙ අරාජික වෙච්ච පහුගිය සන්දියක මංගල්ලෙ ගමේ මිනිස්සුංගෙ හිතූ මනාපෙට සිද්ධ වෙලා කරටි කැඩෙන්ඩ වැදිල හිටපු කිරා අත්තත් ගිහිල්ල පොරපොල් ගහන්ඩ..

මේක මහදේවතා බණ්ඩාර උන්නාන්සෙගෙ අඩවිය.. දේවාල බිමේ සෙල්ලං දාල මොනවයිං මොනව වෙයිද දන්නෙ නෑ ඕං…

උන්දැ කරපු විගඩං බලං හිටපු අනිත් ගමේ වයසක උන්දැල මෙහෙම කියකියා බලං හිටියෙ කම්මුලේ අත තියං…

කිව්වත් වගේ ම මංගල්ලෙ ඉවර වෙලා බයිසිකලේ පාගං මුන්දැ ගෙදර යන අතර මග වැටිල එතනම මිය පරලොව ගියේ බයිසිකලේ අල්ලුව පපුවෙ වැදිල….

වස්වැදුනවත්ද??  ගමේ මිනිස්සු හෙල්ලිලා ගියා වෙච්ච වැඩෙං!!!

ඊට ටික කාලෙකට පස්සෙ දේවාල බිමේ තිබිච්ච  මිනිස්සු හතර දෙනෙක්ටවත් බදන්ඩ බැරි මහ ඉඹුල් ගහ මැරෙන්ඩ පටංගත්ත…

එක දවසක් රෑක මොර සූරන වැස්ස අස්සෙ ඉඹුල් ගහේ මහ අත්තක් කඩා වැටුණ.. මේක  කෑලි කරං අරං යන්ඩ ට්‍රැක්ටරයක් අරං ආව මුස්ලිම් මනුස්සයගෙ ට්‍රැක්ටරේ අතර මගදි පෙරලුනා කියලත් කතාවක් ගියා ගමේ ඒ කාලෙ..

ඒ විතරක්යැ… දේවාලෙ අල්ලපු වැටේ ඉන්න අපේ සුනිල් මාමගෙ මගුල දවසෙ හැන්දෑවෙ මහ සෙනගක් රැස්වෙලා සද්දබද්ද නැටුං ගැයුං හෙම තියෙන මහ සන්දර්ශනයක් තිබුණ නෙව ගෙදර මිදුලෙ…

මගුල ඉවර වෙලා සතියයි.. සුනිල් මාම ඉස්කෝලෙ වැඩ අහවර වෙලා අලුත් බයිසිකලේ ගෙදර එන ගමං කඩේ අයිනෙ නවත්තල කඩේට ගොඩ වුණා විතරයි හිතාගන්ඩත් බැරි වුනාලු!!!!

කොහෙන්දෝ කඩාගෙන බිඳගෙන ආව ට්‍රැක්ටරයක් සුනිල් මාමගෙ බයිසිකලෙත් චරු චප්ප කරගෙන ගිහින්

අනූ නවයයි දශම නවයෙන් තමයි සුනිල් මාම බේරිලා තිබුණෙ….

මල්ලියෙ පඬුරක් හෙම ගැටගහල බාරයක් වෙලා නෙවෙයිද වැඩේ පටං ගත්තෙ?? ඔය වගේ සද්ද බද්ද තියෙන වැඩ කරන්ඩ කලිං එහෙම දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්ඩ කරන්ඩ ඕනෙ… අනික අල්ලපු වැටේ නෙ…

මේ කතාව අහල එලෝ මෙලෝ නැති වෙච්ච අපේ අම්ම කිව්ව….

ඔච්චර අල්ලපු වැටේ ඉඳලත් මහ දේවතා බණ්ඩාර දෙයි හාමුදුරුවංව අමතක වෙලා තිබුණ සුනිල් මාම හනිකට බාරයක් වෙලා මංගල්ලෙ දවසට ඒක ඔප්පු කළා මගෙ හිතේ

ඔන්න ඔහොම එකක් පස්සෙ එකක් සිද්ධි මට මතක් වුණා!!

මං ගිය වතාවෙ දැක්කනෙ … කපු මහත්තය මායං වෙද්දි එක වෙලාවක් එනව දිව එලියට ඇදිල ඇස් ලොකු වෙලා!! මූණ කලුම කලු වෙලා !!! හරියට කඩවර මූණ වගේ!!!

මලයටත් තාම අර සිංහ දේව පුරාණෙ හිටිය දෙවිවරු ලැයිස්තුව මතකයි වගේ!!

ඒ වෙලාවට නං ඇත්තටම හිතෙනව මොකක් හෝ බලවේගයක් ඒ මනුස්සයගෙ ඇට ඇතුල් වෙලාම තමයි කියල!!

ඇත්තටම මොකද්ද ඒ වෙනව ඇත්තෙ?? දැන් ඔය අපේ ගෙදර හරහ යන දේවතා එලිය, කිරා අත්තගෙ මරණෙ, සුනිල්මාමගෙ ඇක්සිඩන්ට් එක……

කට කට කට???? කෙල්ලේ කට පරිස්සමෙං!!

ගුනවතී නැන්දගෙ ගෝරනාඩුවට මගෙ වාක්‍යය සම්පූර්ණ වෙන එක විතරක් නෙවෙයි ටික වෙලාවක් යනකල් කාටවත් කතා කරන්ඩ වචන හොයාගන්ඩ බැරි තත්වයක් උදාවුණා..

දන්නෙම නැතුව අපි හෙමින් දේවාල බිමට ඇවිල්ල තිබුණ…

කපු මහත්තය යාතිකා පටන්ගෙන තිබුණ…. කෙසෙල් පිතිවලින් හදපු පීඨිකාවක් මත මල් පහන් හඳුන් කූරු  පත්තු කරල!! ඒ ඉස්සරහ පන්දමක් අරං  සුදු ඇඳල, පච්චවඩං බැඳල  තාලෙට පැද්දෙනව….ගම්භීර හඬකින් කවි කියනව!! දෙවොල් බෙරයක් හා තම්මැට්ටමක් බොහොම අඩු හඬකින් ගායනයට පසුබිමින් වැයෙනව….  අහල පහල  ගස් කොලන් පවා තුෂ්නීම්භූත වෙලා හෙලවුණේවත් නෑ!!! හීන් හුළඟක් වත් නෑ.. ඒත් ඒ බිම වැහෙන්ඩම සෙනග රොක් වෙලා හිටියත් සීතලක් දැණුන. කවිවල හතර පදේ අවසානෙ පන්දම ඉහලට අල්ලල තමාගෙ අතවැසියගෙ අතේ තිබුණු දුම්මල පොල්කට්ටෙං අහුරක් අරං ගැහුව!!!

ඒ එළියට අර දේවතා එලිය ආයෙමත් මගේ හිතේ ඇඳුන… දුම්මල පත්තු වේගෙන ඉහලට ඇදුණෙ කලු දුම් රොටුවක්!!!

රැස්වෙලා හිටිය හැමෝගෙම මුහුණු  ඒ එළියට රන් පාටට  දිලිසුණා.

කෙමෙන් කෙමෙන් කවිවල හඬ වැඩි වුණා… වේගවත් වුණා…  පැද්දිල්ල නැටුමක් වුනා….බෙර හඩත් ඊට සාපේක්ෂව වේගවත් වුණා!!  නැටුම ක්‍රමයෙන් ආවේශයක් බවට පත් වේගෙන එන බව පෙණුන ආවතේවකාරයො යටවෙලා කපුමහත්තයව අල්ලගන්ඩ ලෑස්ති වෙලා හිටිය…

නැටුමෙන්ම පීඨිකාව උඩ තිබුණු පුවක් මල් අතට ගත්ත කපු මහත්තය ඒව එහා මෙහා වනමින් හිස කරකවමින් නැටුව….

බෙර හඬත්, කවි හඬත් හැරුණුකොට වෙනත් කිසිම හඬක් නෑසුනේ හැමෝම ඒකාත්මික වෙලා හිටිය හන්ද වෙන්ඩ ඇති!!!!

එදා අර මල්ලි විස්තර කළා වගේ කපු මහත්තයගෙ ආවේශය කඩවර හැඩ රුව දක්වා වෙනස් වුණේ නම් නෑ…. ඒත් මොකක්දෝ නොතේරෙන බලවේගයක් ඒ බිමේ රැස්වෙලා ඉන්න අප වටා සැරිසරමින් අපිව ආරක්ෂා කරන බව නම් දැණුන.. මට සහතිකයි හැමෝටම ඒ ආරක්ෂාකාරී හැඟීම දැනුන.. ඒ බව දැනෙන හන්ද වෙන්ඩ ඇති අදත් අපි ඇතුලු ගමේ වැඩි දෙනා නගරෙට  තියෙන සම්බන්ධකම්  වැඩි වෙලා, ඉගෙන ගෙන, රස්සාවල්වලට ගිහින් සමාජ ආස්සරේට වැටිල වුණත් තාමත් මේ දේව මංගල්ල වගේ නොපෙනෙන බලවේගවලට වැඳුම් පිදුම් කරන්න පෙළඹෙන්නෙ…

අද ලියන්ඩ ගියේ වෙන කතාවක්!!!

ඒක පැත්තක දාල මම මේ කතාව ලියන්ඩ පෙළඹුනේ ඇයි කියල දන්නවද??

අර පුංචි කාලෙ  ආච්චි අම්මත් එක්ක දේවතා එළිය දැක්කට පස්සෙ මම දැනට අවුරුදු දෙකකට විතර කලින් හැන්දෑවක අහම්බෙන් මුදුලෙ ගැවසෙන වෙලාවක මේ එළිය ආයෙමත් දැක්ක….

මහ ඉඹුලත් නැති එකේ බෝගහටවත් වඩිනව ඇති දැන්!!!

කට කොණකට හිනාවක් ආව මට එහෙම හිතුණ විතරයි සුරුස් ගාල මෙන්න ඒ කාලෙ ආච්චි අම්ම කිව්ව වගේ ම ආපහුත් වැඩිය…

මට නං පුදුමෙනුත් පුදුම හිතුණ!!!!!!!!!!

ආච්චි අම්ම කිව්වෙ ඇත්ත එහෙනං!!!

 

මහ දේවතා බණ්ඩාර දෙයියොන්ට එහෙනං මාව මතක තිබුණ!!! මට හිතුණ..

කවුද දන්නෙ මගෙ හිතේ උන්නාන්සෙ ගෙ හැබෑ බොරු බලන්ඩ උවමනාවක් තිබ්බ හන්ද උන්නාන්සෙ පෙළහර පෑවද කියල

නැද්ද???

පින්තූරෙ ගැන නම් සමා වෙන්ඩ… අන්තර්ජාලය පීරල පීරට පොඩ්ඩක් ලං වෙන එකක් තමා ඔය  මේං මෙතනිං හොයා ගත්තෙ…

www.korathotaangam.com

ලබන පාර පෙම්බරයත් එක්කම මංගල්ලෙට ගොහිං පින්තූරයක් ඇන්න දානකල් පොඩ්ඩක් ඉවසන්ඩලාකො…..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මුතුගල විත්ති. Bookmark the permalink.

32 Responses to දේවතා එලි…!!!!

  1. praveena පවසයි:

    ඔයා කතාව ලියලා තියන ලස්සන දැක්කාම එතනට ගියා වගේම ආයමත් යන්ට ආසාවකුත් එනවා.
    මටත් දැන් දේවතා එලියක් දැකලා ආරක්ෂාවක් කරගත්තානම් හොඳයි වගේ අප්පා.
    ජනූ වෙලාවක් ඔයාලගේ ගමේ යන්ට එන්ටද? තව එක්කෙනෙක් එක්ක ආවොත් කමක් නැද්ද? 😀

  2. buddie-බුඩී පවසයි:

    අනේ බූඩිටත් ඕනේ ඔය එලි බලන්න !! තාම නම් දැකලා නෑ 😦

  3. Pavithra Dharmapriya පවසයි:

    මමත් ඒ වගේ එළි නම් දැකල තියෙනව.ඒත් ඒ දේවතා එළිද කියල නම් සැකයි.මමත් ආස විදියෙ පෝස්ට් එකක්.හරිම ලස්සනට ලියල තියෙනව.ජය වේවා !

  4. Ravi පවසයි:

    ඔය දේවතා එළි, එතකොට හාස්කම් වගෙ එව්ව ගැන මගෙ තියෙන්නෙ විවෘත මනසක්…..ඔය උඹ දැක්කයි කියන සිදුවීම් වලට සම්පූර්ණ ස්වාභාවික හේතුවක් තියෙන්නත් පුළුවන්…එහෙම නැත්නම් උඹ විස්වාස කරනව වගෙ අත්භූත සිදුවීමක් වෙන්නත් පුළුවන්…කව්දෑ කෙල්ලෙ දන්නෙ?…..:) 🙂

    මම ඔය එළි නම් දැකල නෑ…ඒත් උඹ අහල තියනවද දේවතාවො වඩිනකොට මල්සුවඳක් පැතිරෙනව කියන කතාව….මම එහෙම දේකට කීප වතාවක් මුහුණ දීල තියනව. ඔය අපෙ ගෙදර ඉස්සරහ…රෑ මායි අපෙ ලොක්කියි ඉඳගෙන ඉද්දි එක පාරට ඔන්න එනව බොහොම තද මල් සුවඳක්….සමන් පිච්ච සුවඳ වාගෙ…හැබැයි හරිම තද සුවඳක්…පපුවත් එක්කම පිරිල යනව…

    ” ඒයි කොහෙන්ද ඒ සමන් පිච්ච සුවඳක් වගෙ එන්නෙ?…” පපුව පිරෙන්ඩ සුවඳ පුරවගෙනයි මම අහන්නෙ…

    අපෙ ලොක්කිගෙ මූණෙ තියෙන්නෙ අමුතුම හිතාගන්න බැරි විදිහෙ බැල්මක්..

    ” කෑගහන්න එපා අනේ..ඒ දේවතාවො වඩිනකොටයි ඒ සුවඳ හමන්නෙ…ඔයා ඉන්න..මම යනව ගෙට…” උන්දැ යනව ගෙට…

    මම එහෙම්මම ඉන්නව..අර අමුතු සුවඳ ටිකෙන් ටික මැකිල යනව…..

    අද්භූත කියල අපි යමක් හඳුන්වන්නෙ අපිට නොවැටහෙන නිසා නෙව.ඒ වෙන්නෙ මොකක්ද කියල අපි හරියටම තේරුම් ගත්තම ඒකෙ අත්භූත ස්වභාවය නැතිවෙලා යනව.

    දැං ගමු මෙහෙම..ඔය වහිනකොට අකුණු පුපුරන්නෙ….ඔතන වෙන්නෙ මක්කද කියල දන්නෙ නැත්තං ඕක මහා අද්භූත සිද්ධියක්…ඒත් එහෙම වෙන්ට හේතු කාරණා පැහැදිලි උනාම ඒක මේ එදිනෙදා සාමාන්‍ය දෙයක් වෙනව…මට හිතෙන්නෙ ඔය දේවතා එලි කේස් එකත් එහෙම වෙයි කවදාක හරි…එක්කො ඔතන වෙන සිද්ධිය හරියටම දැන ගන්ට ලැබෙයි. එහෙමත් නැත්නම් ඒ දේවතාවෙක්ම තමයි කියල ඔප්පු වෙයි. කවුද දන්නෙ එහෙම කස්ටිය ඉන්නවද කියල….අපි මේ ලෝකෙ හැමදේම දන්නෙ නෑනෙ …නේද?….:)

    ඔය වගෙ තැන් වලදි මම නිතරම මතක් කර ගන්න කියමනක් තියනව Arthur C. Clarke මහත්මයගෙ,

    The truth is not only stranger than you imagine, it’s even stranger than you can ever imagine,

    අහ්, පොඩ්ඩෙන්නං අමතක වෙනව…ලියවිල්ල නම් කියල වැඩක් නෑ බොල…මල් හතයි, පහන් දාහතයි, හඳුං කූරු විසිහතයි… 🙂 🙂

    ඒයි යන්ට කලියෙං කියන්ටම ඕන….අර ලින්ක් එක නම් බොල මට මාර වැදගත් උනා…තෑන්ක්ස් හොඳද?

    • අඩේ!! අයියෙ උඹ මොකෝ මේ අංගං කොටන්ඩ වත් යන්ඩද ඒ පාර අරාදින්නෙ??

      • Ravi පවසයි:

        ම්ම්ම්…… එහෙම වැඩක් වගෙත් කියල…. කියන්ට නම් පුලුවනිදත් කියල…. හිතෙනවත් එක්ක එක වෙලාවකට 🙂 🙂 🙂

      • අර දඩයක්කාරය උඹගෙ මොලේ අච්චාරු කොරල කියෙන්නෙ අයියෙ!!! ඒකයි ඔය… මේ නහින දෙහින කාලෙ මොන අංගංද බොට…?? චන්ද්‍ර අක්ක උයල දෙන දෙයක් කොටා බාල ඉන්නෙ නැතුව ආව මෙතන අංගං කොටන්ඩ යන්ඩ…

      • Ravi පවසයි:

        / චන්ද්‍ර අක්ක උයල දෙන දෙයක් කොටා බාල ඉන්නෙ නැතුව ආව මෙතන අංගං කොටන්ඩ යන්ඩ…/

        ඔන්න බලාපිය කෙල්ලෙ ඒකෙත් හැටි…ඔය අම්මන්ඩි හින්දමනෙ මම මේ අංගං ඉගෙන ගන්ට යන්නෙ…. 🙂 🙂

        ඒ කියැව්වෙ උන්දැ සාරීරික අද්දියාපන විසේසඥ නෙව, කොහොමවත් බෑ බේරෙන්ට…හොඳ විස්සාසෙට ගනිං නඟේ, තුං මුල්ල පැනල හතරාඩිය පාගල ඔය දාන ඔක්කොම සෙල්ලං නිකං එයයිට කජු කනොව වගේ නෙව.පොඩ්ඩ එහෙමෙහෙ වෙච්චි ගමං මට ඔන්න පොලිස් ගැටේ දාල අල්ලන්නෙ….අනෙ අම්මප….ඉතිං ඔන්න දැං සොළොස් වසරක් උනා නෙව මේකෙ නෑ ඉවරයක්…ඒ පාර ඔය ඉන්න ගමං මම ඇහුව හෙමීට ” මේ ඔයයි අංගං පොර එහෙමත් දන්නවය?’ කියාල. ම්හු නෑ මයෙ වෙලවටම ද කොහෙද උන්දැ දන්නෙ නෑ ඒගැන…ඔන්න ඊට පස්සෙං පහු තමයි මම මේ අංගංපොර පෑට්ටිස් වෙන්ඩ තීරණේ කොළේ…හෙහ්, හෙහ්,

  5. කිරිපුතා පවසයි:

    මටත් පොඩිකාලෙ දේවාලෙ ගියපු හැටි මතක් උනා.
    ලිවිල්ල නම් සුපිරියි බොලේ…..

  6. Gold fish පවසයි:

    මමත් ටිකක් විස්වාස කරනවා. ඒත් කවදාවත් දැකලා නෑ,.. ඇති වෙන්න ඔය ගැන කියවලා නම් තියෙනවා. ඒත් ඉතිං තාම දේවතා එලියක් දැකගන්න හම්බුනේ නෑනේ…

  7. neel පවසයි:

    මගේ1වෙනි කොමෙන්ටුව …දේවතා එලි ගැන දැනගන්න මමත් කැමතියි ..මගේ ලග තියෙනවා මීට මාස කීපයකට කලින් කැඹිලිත්ත දේවාලයට (යාල බ්ලොක් 3හි)ගියපු වෙලේ පූජාව පවත්වද්දි ගනිපු පොටො ටිකක්.
    රාත්‍රී කාලයේ ගනිපු ඒ පොටෝ වල නිල් කහා රතු සහා ඊට ආසන්න පාට වලින් යුතු රවුම් හැඩය ගන්නා දීප්තිමත් එලි රාසියක් බෝධියේ සහා ඒ අවට පේන්න තිබෙනවා බොහො අය පවසන්නේ ඒ දේවතා එළි බවයි.ඒ පිළිබද වැඩිදුර තොරතුරු දන්න අයෙක්ගෙන් දැන ගැනීමටත් කැමතියි බ්ලොග් පොස්ට් එකකින් හො manil.neel@yahoo .com මගින්

    • ස්තූතියි නීල් මේ පැත්තෙ ආවට.. මමත් අහල තියෙනව රුවන්වැලි සෑය වටා, සෝමාවතිය වටා, දේවතා එළි සැරි සරනව කියල… ඒවට ඉදිරිපත් නෙලා තිබුණ ඡායාරෑප නං පිලිගත නොහැකි මට්ටමේ ඒව කියල හිතෙන්නෙ මං දේවතා එළි කියන ඒ වස්තූන් ගමන් කරන වේගය අත් දැකල තියෙනව නෙ….ඒව ඡායාරූපගත කරන්ඩ පුලුවන් අරති කියල මං නං හිතන්නෙ නෑ.. අනික මම දැකල තියෙන්නෙ නං පාට පාට ඒව නෙවෙයි… ඒව එගම පාටක්!
      ගිනි පෙනෙල්ලකට පිඹිනකොට පුංචි පුංචි ගිණි පුපුරු පිට වෙන්නෙ.. දුම්මල පන්දමට දුම්මල ගහනකොට ඒව ඇවිලෙන්නෙ.. අන්න ඒ වගේ වලිගයක් තියෙන ගින් බෝලයක් තමයි මම දැකපු එක….හරියට ධූමකේතුවක් වගේ!!

  8. අපේ පංසලේ නා ගහටත් ඉස්සර දේවතා එළි පාත් වෙනවා කියලා ආච්චි අම්මා කියනවා…පංසලේ දේවාලෙ හැම අවුරුද්දෙම දේව පූජාවක් තියෙනවා..ඒ පළතුරු සුවඳ නං තාමත් මතකයි….

  9. නිසුපා පවසයි:

    නියම විස්තරේ අක්කෙ.මාත් කවදාවත් දේවතා එලිනම් දැකලා නෑ.

  10. නවම් පවසයි:

    චැහ් මං දැකල නැනෙ ඕවැයිං එකක්.

    • Ravi පවසයි:

      එම්බා නවමය, තොප අප වන් නිරත්තයෙහි චිත්තාභ්‍යන්තරයෙහි අසභ්‍ය සිතුවිලි සහ වෙනත් කුණු කන්දලින් පුරවාගත් පාපීන්හට දර්ශනය වන්නට පැමිණීමට දේවතාවෝ පවා බිය වන්නාහුය.

      එතුමෝ දර්ශනය වන්නාහු ජනනිය වන් පිවිතුරු නික්ලිෂ්ට උදෑසන පිපුණු අරවින්දයක් මෙන් දසත සුගන්ධය පතුරනා කුල කතුන්හට පමණි.. 🙂 🙂

      • හපොයි!!! මුන්දැට හොඳ සඟිස්කුරුත දෙකක් කතා කොරනකල්ම අසනීපෙ සනීප වෙන්නෙ නැති හැටියක්… ඕං නවං අයියෙ අල්ලපං රවී අයියගෙ කකුල් කෙටි දෙකෙං… බූර ආවාම කියමු අත් දෙකෙං අල්ලගන්ඩ කියල… මං දාන්නං හොඳවැයිං ඉසගැල්ලුමක්… කහඹිලිය පංචාංගෙ යහමිං දාල….

  11. මධුරංග පවසයි:

    ඇයි අපි වගේ එවුන්ට දේවතා එළි පේන්නේ නැත්තේ !!!
    මාත් ආසයි දේවතා එළියක් පියවි ඇහෙන් දකින්ඩ !

  12. henryblogwalker පවසයි:

    දේවතා එලි ගැන යමක් කියන්න දායක වෙන්න තරම් තොරතුරුනම් නෑ මා ලඟ. නමුත් පණ පිහි‍ටුවලා ලියලා තියෙනවා.විශේෂයෙන්ම අර ආච්චි අම්මත් එක්ක මල් පූජා කරන කොටස හරිම තාත්විකයි.

    “එදා කොච්චර කරදර කළත් දේවතා එළිය ආපහු වඩිනව බලන්ඩ කිරිඅම්මව යාප්පු කරගන්ඩ බැරි වුණා මටග” කියන තැන විතරක් ආච්චි අම්මා කිරි අම්මා, වෙලා තිබ්බා. මටත් ඔයවගෙ වැරදි අනන්ත වෙනවා.

    ‘බයිසිකලේ අල්ලුව’ , ‘ඒකාත්මික වෙලා’ වගෙ යෙදුම් මම ඉගෙනගත්තෙ මේකෙන්. සුපිරි ලියවිල්ලක් හංසකිංකිණි.
    henryblogwalker aka Dude

    • බොහොම ස්තූතියි හෙන්රි අයියෙ,
      මට ඔය කිරිඅම්මයි ආච්චි අම්මයි පැටලෙන්නෙ අපි අම්මගෙ අම්මටයි තාත්තගෙ අම්මටයි දෙන්නට කතා කළේ එහෙම හන්ද… ඉතිං අදටත් පැටලෙනව… ස්තූතියි පෙන්නුවට… කම්මැලි කමට ඒක හදන්ඩ යන්නෙ නෑ…මොනව වුණත් අපේ නිර්මාණ ජීවිතේ අඩිතාලම වැටුණෙ උන්දැල හන්ද කියලයි මට නං හිතෙන්නෙ…

  13. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අපේ ආච්චිත් ඉස්සර දැක්කයි කියලා තියෙනවා ඔය දේවතා එළි. ඉස්සර ආච්චිලා ඉඳලා තියෙන ගේ ඉස්සරහා පරණ බෝධියක් තියෙනවා, අන්න ඒ බෝධිය පැත්තෙ තමයි දැකලා තියෙන්නේ. මමනම් දැකලම නෑ. දකින්න ආසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )