අන්න මිනිස්සු!! හා අනේ!!! මිනිස්සු

පළවෙනි දවස  – මාස හය හතකට උඩදි බොරැල්ල මං සන්ධියේ පොදු වෙළ සංකීර්ණය ඉදිරිපිට

ඔයා මගෙ ෆෝන් එක ගත්ත නේද??

මගේ මිතුරිය මහ හයියෙන් අහනකොට මං හිටියෙ බස් එකේ පාපුවරුවටත් නැගල…

දන්නවනෙ තියෙන අමාරුව 135 බස් එකකට නගින්ඩ.. බොරැල්ලෙ ඉඳල..

ඈ බිම… කවුදෝ කෙසඟ මිනිහෙක්ගෙ අතිනුත් අල්ලගෙන…

මම බිමට බැස්ස නෙවෙයි ඉබේ බැස්සවුණා

මම?? පිස්සුද මං ගත්තෙ නෑ…. මිනිහ උත්තර දුන්නෙ ගොත ගහ ගහ

නෑ නෑ.. මෙයාම තමයි ගත්තෙ අන්න ෆෝන් එක බිමට දැම්ම

කලබල වෙච්ච මිනිහ අනිත් අතේ තිබුන ෆෝන් එක හෙමින් සැරේ බිමට අත ඇරිය දැක්ක මං කෑ ගැහුව…

මිනිස්සු දෙපැත්තට වුණා… අද්දන්ඩ ඔන්න මෙන්න කියල තිබුණු බස්එකට නැංග…බස් එක ඉගිල්ලුණා

අර හොරා හෙමින් සැරේ සෙනග මැද්දෙ වාෂ්ප වෙලා ගියා…

මිතුරිය ඇගේ ජංගමයව අහුලගත්ත..

අපි දෙන්න හිතේ උපන්න තරහ තද කරගෙන ඊලඟ බස් එක එනකල් එතන වේලුණා.

 

දෙවෙනි දවස  – ඊට මාසයකට පමණ පසුව බොරැල්ල මං සන්ධියේ පොදු වෙළ සංකීර්ණය ඉදිරිපිටම

අනේ මගෙ ෆෝන් එක ගත්ත.. කවුරු හරි මිනිහෙක් මගෙ ෆෝන් එක ගත්ත…

103 බස් එකකට නගින්ඩ පාපුවරුවට අඩිය තිබ්බ නැගණියක් බෙරිහන් දුන්න..

බස් නැවතුමේ හිටිය මගේ ඇස් හැමතැනම දිව්වෙ පුරුදු මූණක් හොයා ගෙනයි..

මිනිහ අතුරුදහන්…

පොලීස් පොලීස්….

හන්දිය මැද විතරක් නෙවෙයි… පාර මැදත් තැන් තැන්වල හිටගෙන වාහන හසුරුවන පොලිස් නිලධාරීන් කාටවත්ම  ඇගෙ හඬ ඇහුණෙ නෑ…

මහා පිරිසක් මැද ඈ අසරණ නෙතින් වටපිට බැලුවෙ මේ අවනඩුව කාට කියන්ඩද කියල…

කවුරුත් කොක්කු වගේ බෙල්ල පාරට දාගෙන ඉන්නෙ බස්වල එල්ලෙන්ඩ… අත් කකුල් නැතුව හරි වෙලාවට වැඩට යන්ඩ…

 

තුන් වෙනි දවස – ඊට සතියකට පසුව එතනම

ජනූ…. අන්න අර මිනිහ අදත් ඉන්නව…. අර…

හ්ම්!!!  බලන් ඉමු මොකද කරන්නෙ කියල

අපි බලන බව අවන්ඩ එපා….

අන්න බලන්ඩ මිනිහ බලන්නෙ අර නංගි දිහා… එයා කතා කරල ඉවර වෙලා ෆෝන් එක දාගන්න තැන බලන් ඉන්නෙ…..

ක්ෂණයකින් අපි දෙන්න මූනෙන් මූණ බලා ගත්ත…

ඒ නංගිට කියමු!!!

අපි දෙන්න හොර පූසියො වගේ ටිකෙන් ටික වෙන කතාවකින් ඒ නංගිට කිට්ටු වුණා

නංගි වෙලාව කීයද??

මගේ මිතුරි බොහොම සාමාන්‍ය විදියට ඇහුව

හතයි විස්සයි

නංගි ඔයාගෙ ෆෝන් එක පරිස්සම් කරගන්ඩ… අතන ඉන්න මනුස්සය දැන් ඔයා කතා කරන දිහා සෑහෙන වෙලාවක් බලාගෙන හිටිය.. මෙයාගෙ ෆෝන් එක ගන්ඩ හදපු නිසා අපි මිනිහව දන්නව දැන්!! ෆෝන් එක අතේම තියාගන්ඩ නැත්තං පරිස්සං ඇති තැනක දාගන්ඩ..

ඒ අස්සෙ මං පැත්තක ඉඳල කියාගෙන කියාගෙන ගියා…

බොහොම ස්තූතියි අක්කෙ!!!!

තුෂ්නීම්භූත වෙච්ච ඒ ළමය තප්පර ගාණක් නිශ්ශබ්දව ඉඳල ලොකු හුස්මක් අරන් පිට කරල අපිට ස්තූති කළා….

අපි දෙන්න වාෂ්ප වුණා!!

හතර වෙනි දවස- මාස දෙකකට පමණ පසුව – ස්ථානය හැමෝටම හොට හුරුයි නෙ දැන්

හිතිවිල්ලක ආව මම මිනිහව දැකල නතර වුණේ හොල්මනක් දැක්ක වගේ…

හෙමින් සැරේ අයිනකට වෙලා මම බලන් හිටිය…

මිනිහගෙ ඉලක්කය හඳුනා ගැනීමේ මෙහෙයුම ඇරඹුනා…

කළබලෙන් බස් එකක් එනකල් කල් බලන සාරියක් ඇඳපු කාන්තාවක් බව තේරුණා…

ඈ ඉන්නෙ එලිමහන් තැනක…ඔත්තුව දෙන්ඩ ලං වුණොත් මිනිහට දැණෙන්ඩ පුලුවං….

මං බලන් ඉන්නෙ නොයිවසිල්ලෙං…දෙයියනේ බස් එකක් එන්ඩ එපා දැම්ම!!!

ඌත් වොයිවසිල්ලෙං!! දෙයියනේ බස් එකක් වරෙං!!!

මගේ කරුමෙ… ආව 103ක්…

මිනිස්සු කලබල වුණා…

ඒ ඇසිල්ලෙ මිනිහ අර කාන්තාවට ලං වුණා…

මගෙ පපුව ගැහුණ… දැන් ගනියි දැන් ගනියි…

අතේ තිබුණ ඉටි බෑග් එකෙන් තමන්ගෙ අත වහගෙන මිනිහ ඈ පිටුපස්සෙන් බස් එකට නගින්ඩ හදනව!!!

බස් එකට නැගගන්න සිහිය මිසක් ඈට බෑග් එක ගැන මෙලෝ හසරක් නෑ… ඒ මදිවට සාක්කුව තියෙන්නෙ හොරාට අත දාන්ඩ ලේසි වෙන්ඩ ඉස්සරහ පැත්තට….

කාන්තාව දෙවෙනි පඩියෙ…..පළවෙන් පඩියට නැගපු හොරා අර ඉටි බෑග් එකෙන් වහගෙන සාක්කුවෙ සිප් එක අරිනව!!!!

ඔන්න ඔන්න ඔය මිනිහ ඔයාගෙ බෑග් එක අරිනවා!!!!

ඔන්න ඔන්න ඔය මිනිහ ඔයාගෙ බෑග් එක අරිනවා!!!!

මම දන්නෙම නැතුව මහ හයියෙන්  අත දික්කරල කෑගහපු නිසා හැමෝම බස් එක දිහා බැලුව….

කෝ කෝ….?

කට්ටිය වට වුණා…

අර ඉන්නෙ…

කවුද???

සද්දෙ ඇහිල වැඩේ වණ වුණ බව තේරුණ හොරා බස් එකෙන් බැහැල මගෙන් ඇහුව…

තමුසෙනෙ … මං දැක්ක බෑග් එක අරිනව!!!

කවදාවත් නැති කරම් මගෙ පපුව ගැහුණ… ඒ විතරක් නෙවෙයි මට තරහ ගිහින් තිබුණ!!

දවසම මස්තබාල්දු කළා ඕයි තමුසෙ වගේ මූණක් හදල මගෙ දිහා බලපු හොරා… බස් එක ඉස්සරහින් පාර පැනල… පාර මැද සිමෙන්ති පුවරුව උඩ ඇවිදගෙන යනකල් බලන් හිටිය වට වෙච්ච කට්ටිය  සිද්ධිය අළලා මගෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ආරම්භ කළා….

ඔයා දැක්කෙ කොහොමද??

ඔයාට අඳුනගන්ඩ පුලුවං උනේ කොහොමද??

ඌ මෙතන නිතර ඉන්නවද??

හැමෝගෙම ප්‍රශ්නවලට හිනාවකින් උත්තර දුන්න මම එතකොටම ආව 135ට නැග්ග…

අනේ මිනිස්සු!!!!!!!!!!!!!

මේං පස් වෙනි දවස – ඊට සති දෙක තුනකට පස්සෙ  – කියන්ඩ දුකයි තැන නං එතනමයි

මායි යාලුවයි දෙන්න පුරුදු පරිදි එනව බස් එකට නගින්ඩ…

ආං ඉන්නව යාලුව… උකුසු ඇස් දල්වගෙන ඈත ඉඳලම පරීක්ෂා කරගෙන එන අපි දෙන්නම දැක්ක මිනිහව

කාලෙකින් නේද??

හ්ම්!!!

මං වටපිට උඩ හැම තැනම බැලුව…

ඒයි අන්න හමුදාවෙං ඉන්නව

අපි කියමුද…??දෙන්න දෙපැත්තට හැරුණ.. වෙන වැඩකට යන්ඩ ආව වගේ කතා බහෙන් අපි දෙන්න නැග්ග පොදු වෙලඳ සංකීර්ණෙ පඩි පෙල… කිටුටු වුණා හමුදා මල්ලිට

අන්න අර ඉරි ටීෂර්ට් එකක් ඇඳල ඉන්න මනුස්සය ෆෝන් හොරකං කරනව… අපි දවසක් අනූ නවයේ බේරුනා… දැන් හතර වතාවක් මමම දැකල තියෙනව… අදත් කාට හරි වැඩක් දෙන්ඩ කලින් පොඩ්ඩක් බලන්ඩ පුලුවන්ද??

අපේ වචන අහක දාන්ඩ බැරි කමට අරපෙං බේරෙන්ඩ වගේ හමුදා කොලුව පඩිපෙල බැහැල මිනිහට කිට්ටු වුණා…

හමුදා කොලුව තමන් දිහාට එන බවත් එන පොට හොඳ නැති බවත් තේරුණ අපේ හොරා වාෂ්ප වෙන්ඩ පටන් ගත්ත…

මිනිහ ගියේ දුව දුව!!!

යන හැටි බලන් හිටපු හමුදා මල්ලි එතකොටත් පඩි පෙල උඩ හිටපු අපි දෙන්න දිහා බලල හිනා වුණා…

අපිටත් හිනා ගියා!!!

මේ…..අපිට පිස්සුද???

අවවාදයයි: ඔබ බොරැල්ල මං සන්ධියෙන් බසයට නගින්නෙක් නම් අවදධානයෙන් සිටින්න. ඔබ නොදැනුවත්වම ඔබව නිරීක්ෂණය කරන හොරා ගේ ඉලක්කය  අනිවාර්යයෙන්ම ඔබගේ ජංගමයා හෝ මුදල් පසුම්බියයි.

මිටි, කලුථ මුහුණේ වලවල් පිරි කෙසඟ මිනිසෙක්!! අතේ හැම විටම කුඩා ඉටි බෑගයක්!!! සැම විටම බලන්නෙ හොර බැල්මෙන්!!!!

බස් රථවලට නගින බසින අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිළිබඳව මෙන්ම තම ගමන් මල්ලේ ආරක්ෂාව ගැනද සිතන්න!!

මගතොටදී දිගු වේලාවක් දුරකථනයේ රැඳී සිටීමෙන් ඔබ ඔබව සොරුන්ගේ පහසු ඉලක්කයක් කරදෙයි.

කාන්තාවෙනි : පසුම්බිය  හා ජංගම දුරකථනය අත් බෑගයේ පිටුපස සාක්කුවේ දමන පුරුද්ද එතරම් නුවණට හුරු නොවේ!! එසේ දමා එම සාක්කුව ඉදිරිපසට සිටින සේ කරේ දමා ගැනීම නම් මෝඩ කමකි.

ඔය අවවාද මදැයි…

මෙන්න එහෙනං හොඳම කතාව…

ඒ කාලෙ මං විශ්වවිද්‍යාලෙ රස්සාවෙං අයින් වෙලා දැන් වැඩ කරන තැනට ඇවිල්ල සති දෙකක් විතර ඇති…ගෙදර ගිය මම  මගෙ මහ තඩි සාගත මල්ලත් එල්ලගෙන කිරිබත්ගොඩින් 154 බස් එකට නැග්ග… බෑග් එක තිබ්බ රියදුරු මහත්තයගෙ ලග ඒක තැන්පත් කරපු මම ඒ අවටම රැඳුනෙ ඒ දවස්වලත් බෝම්බ භීතිකාව තිබුණ හන්දයි…

ඔහොම ගිහින් මගදි මට ඇමතුමක් ආව.. අලුත් ඔපිසියෙං…

නංගි 9ට මීටින් එකක්… ඔයා කොහෙද??

දෙයියනේ 8.45ටත් මම දෙමටගොඩ!!!

මොකද කරන්නේ??? ඊලඟ හෝල්ට් එකෙන් බැහැල තුන්රෝදයක් ගන්නව

මම දොර ලඟට කිට්ටු වුණා… තඩි මල්ල කරේ දාගත්ත.

බහින සිහියෙන් ඉන්න මට ඉවෙන් වගේ දැණුණ කවුරු හරි මගෙ හංකඩ ඩෙනිමෙ සාක්කුව දිහාට අත දාල කියල…

මං එක පාරට බැලුව..

හරියට හරි.. බස් එකේ ඉස්සරහ  දොර ලඟ රෝදෙට කලිං පොඩි ඉඩ කෑල්ලෙ ඉඳන් ඉස්සරහ බලන් ඉන්න කැහැටු අහිංසක පාට කොලුව මගෙ සාක්කුවට යටින් තට්ටු දාන්නෙ මගේ ෆෝන් එකට විදින්ඩ…

මං මිනිහ දිහා බැලුව… මිනිහට වැඩේ තේරුණා… ටක් ගාල අත ගත්ත

චටාස්!!!!!!

පිටිපස්සෙං අනපේක්ෂිත ලෙස කොලුවට වැදිච්ච කනේ පාරෙ සද්දෙට බස් එකත් බ්‍රේක් කළා…. කොලුව විසි වෙලා ගියා… කොලුවවත් ඇදගෙන, මාවත් තල්ලු කරගෙන මට පිටිපස්සෙ හිටිය දැවැන්ත ශරීරයක් බස් එකෙන් බැස්ස…

බහින්ඩ නංගි ඔයත්!!!! දැවැන්තය කිව්ව

කොලුව වැල මදුලක් වගේ පඩි පෙළ දිගේ ඇදුණ

මමත් බස් එකෙන් බැස්සෙ හිතාමතා නෙවෙයි… ඉබේම බැස්සවුණා…

පිටිපස්සෙ වාහන හෝන් කරන සද්දෙ හන්ද සීන් එක බලං ඉන්ඩ ඕනෙ වුණත් බැරිම තැන බස් එක ඇද්දුව…

අර හොර කොලුව දැවැන්ත ශරීරධාරී තරුණයගෙන් තවත් පහරවල් දෙකක් බඩ පුරා කෑව… කාටවත් ගහනව එච්චර ලඟට කවමදාවත් දැකල නැති මං ඇස් වහගෙන අහක බලාගත්ත….

බිම දනගහල වැඳපු වැල මදුල කමිසයෙන් අල්ලල උස්සල ගත්ත දැවැන්තයා මහ හයියෙන් මගෙ දිහාට හැරිල මෙහෙම කිව්ව

මං බලන් හිටියෙ සෑහෙන වෙලාවක් මූ මොකාට එන්නෙ කියල… ඔයා දකින කල් හිටියෙ දෙන්ඩ මූට කණේ පාරක්… මෙස් වගෙම එකෙක් දවසක් මගෙ ෆෝන් එකට විද්දෙත් ඔන්න ඔහොමමයි.. එදා ඉං එ‍කෙක් මගෙන් බේරිලා යන්නෙ නෑ….මට ආයෙමත් පාරක් දෙන්ඩ හිතෙනව මූට…

අනේ ගහන්ඩ එපා අයියෙ…. හැටි බලන්ඩකො…

දැවැන්තයා ආයෙත් පාරක් ගහන්ඩ අත උස්සනකොට මං කෑගැහුව

ගහන්ඩ එපා… තෝ බේරුණා තියල හිතා ගණිං අදටත්… ආයෙ අහුවුණොත් නං මං අණ්ඩක් කඩල තමයි පස්ස බලන්නෙ අම්මප…

දුවපිය යන්ඩ…. !#$@$#&%$**

මං හිටපු හන්දද කොහෙද හිතට ආව වචන ටික ගිල ගත්ත දැවැන්තය එහෙම කියල හොර කොලුවට යන්ඩ අවසර දුන්න…

කොලුව ගියා වැනි වැනී සිග් සැග් මැෂ්මක් වගේ..

හතර අතට විසි වෙවී…

දැවැන්තය ඊලඟට හැරුණෙ මං දිහා…

තමන්ගෙ දේ පරිස්සං කරගන්ඩ තමං දැනගන්ඩ ඕනෙ… කොහෙද… බස් එකෙන් බහින සිහිට විතරයි… අතේ කණේ කරේ සාක්කුවෙ මොනව තියෙනවද කියල අමතකයි එතකොට නේද??

මෙන්න මුන්දැ ඒ පාර මටත් බැණපි… මං බිම බලාගෙන

දැං කොහෙටද යන්නෙ…??

ඔපිස් එකට??

කොහොමද යන්නෙ??

පරක්කු වෙලා හන්ද ත්‍රී වීල් එකක් ගන්ඩයි කලබලෙන් බහින්ඩ ගියේ.. මං හේතු දක්වන්ඩ ගියා…

ඈත ඉඳල චිත්‍රපටියක් බලන්න වගේ දර්ශනය නරඹපු ත්‍රීවීල් අයියල ටික දැවැන්තය බලද්දි එක පාරටම අහක බලා ගත්තෙ උන්දැලටත් කන්ඩ වෙයි කියල බයේ වෙන්ඩ ඇති…

අත්පුඩි ගහල  එයින් එක්කෙනෙක් ගෙන්නගත්ත දැවැන්තය හා නගින්ඩ… මට අණ කළා… බරට බරේ බිම තියල තිබුණ බෑග් එකත් අරන් ත්‍රීවීල් එකෙන් තියල දුන්න…

පරිස්සමින් යන්ඩ!!

මේ නංගිව පරිස්සමෙන් ඇරලවන්ඩ

කියල ත්‍රීවීල් අයියටත් කියපු දැවැන්තය අඩියට දෙකට ඇදිල ගියා…අනපේස්ෂිත ලෙංගතු උපකාරශීලීත්වය නිසා තුෂ්ණීම්භූත වෙලා හිටපු මට ස්තූති වචනයක් වත් තියාගන්ඩ ඉඩක් නොතියා…

තිඹිරිගස්යායට

සිහි එලවාගත් මං කිව්ව

මොකද්ද මිස් වුණේ ??

මම ඉන්නෙ වචන ඉස්පොල්ලෙ ගිහින් තියල තේරිලා, සෑහෙන වෙලාවක් ත්‍රීවීල් අයියත් සෑහෙන වෙලා ගිහින් මගෙන් ඇහුව

අන්න මිනිස්සු!!!!!

සිද්ධිය විස්තර කළාම එයා කිව්ව…

එදා කරන්ඩ බැරි වුණ ස්තූතිය අදවත් කරන්ඩ එපැයි…

හිතාගන්ඩ වත් බැරි විදියෙ චිත්‍රපට ජවනිකාවක් වගේ සිදුවීමකට පස්සෙ තමන්ගෙ සහෝදරියෙකුට දෙන්න වාගෙ උපදෙස් දීල, ආරක්ෂාව සලසපු,

ත්‍රිවිධ හමුදාවෙන් එකකට අයිති විය යුතු යැයි මට හිතෙන නාඳුනන දැවැන්තයෝ…බොහොම පින්!!!!!

පසුව ලියමි:

මං බහු බූත ලියනවද මන්ද මේදවස්වල…දැන් පේනවනෙ ඔය ඉස්සෙල්ලම විස්තර කරපු සිදුවීම්වලදි මගේ ක්‍රියාකලාපෙට හිතේ හයිය ආවෙ කොහෙන්ද කියල???

 

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

21 Responses to අන්න මිනිස්සු!! හා අනේ!!! මිනිස්සු

  1. Buratheno says:

    තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතුය.. කවුද මෙහෙම කිවුවේ.. 🙂

  2. nadee says:

    දැන් මාල කඩන එකත් ගොඩක් වෙනව.ගෑණු අයට කොච්චර කිව්වත් අහන්නෙ නෑ.දාගන යනව.

  3. කොළඹදි නම් පොකට් කාරයන්ගෙන් සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෙ. ෆෝන් එක, පර්ස් එක විතරක් නෙවෙයි අත පය උනත් ගලවං යන්න ඉඩ තියෙනවා.

  4. horaa malli says:

    chak akke man tamai aa horaa …iyooo oyage oya 1100 phone eka usssala mak korannada..dan kale higannoth owaa pawichchiyak nahane…man nam ussanne i phone oyaage nokia 1100 phone ekak kiyala dannawa nam lesiyen pattawath balanne..apith horu unata nambu kara horu hariya>>>>>>>>

  5. Ravi says:

    මොනව කියන්ටද කියල හිතාගන්ට බෑ නඟේ…..කෝකටත් ටිකක් පරිස්සමෙං දැං ඔය තක්කඩියට ඔයාව නෝට් අනිවාර්යයෙන්….කියන්ට බෑ නෙව, දන්නවනෙ අද කාලෙ හැටි…..මිනිස්සු නෙවෙයි නෙව ඉන්නෙ වැඩි හරියක් තිරිසන්නු…කිසිම අණක් ගුණක් නැති තමන්ගෙ බඩ ගැනම හිතන සත්තු වගෙ ජාතියක්….

    අසාධාරණයට විරුද්ධ වෙන මනුස්සය නිතරම අවශේෂ සහෝදර ජනතාවගෙනුත් අපහාසයට ලක් වෙන කාලයක් මේක….

    මගෙ බොහොම අමිහිරි අත්දැකිම් කීපයක්ම තියනව ඔය සාධාරණය වෙනුවෙන් කතා කරන්න ගිහිල්ල…ඒත් තාමත් වෙලා තියෙන්නෙ ඔව්ව දැක්කම මාලු නටන එක 🙂

    • Buratheno says:

      කියලා වැඩක් නෑ රවි අයියා, ඉස්කෝලෙ යන කාලෙ අපි බස් ඇතුලෙ මරාගන්නවා කොන්දොස්තරලයි, පික්පොකට් කාරයොයි, ජැක්සන්ලයි එක්ක.. ඒ කාලෙ ඉතිං ඕන වෙලාවක වලියකට ඔට්ටුයි නේ.. අනේ වැඩක් නෑ, අනිත් මිනිස්සු නිකං මේ ලෝකෙ නෙවෙයි වගේ අහක බලාගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්නවා.. අපි අන්තිමට යාන්තං ගුටිනොකා බේරෙනවා.. පස්සෙ පස්සෙ මම ඔය වැඩේ අතෑරලාම දැම්මා, නිකං මොකටද කාගෙවත් කේස්වලට අපි ගුටිකන්නෙ.. 🙂

  6. සාතන් says:

    බොරැල්ලෙ හන්දියෙ ආපහු ඉද්දි පරිස්සමෙන්… ඔයාට වගේම ඌටත් ඔයාව නෝට් ඇති ‍දැන්…

    තමන්ගෙ දේ පරිස්සං කරගන්ඩ තමං දැනගන්ඩ ඕනෙ කියන එක නම් 100% හරි… ඒත් ඉතිං ජල්තර් වැඩක් වෙනව දැක්කොත් උන්ගෙ පරිස්සම උන් බලාගන්න ඕන කියල ඉන්න හොඳත් නෑ…

  7. gold fish says:

    දෙන්න ඕනේ මෙයාට… අර අහිංසකයව අල්ලලා දුන්නට…

    ඔය වගේ එවුන් ඕනේ තරම් අක්කේ…

  8. නවම් says:

    රවියයිය කිව්ව වගේ පරිස්සමින්. ඔය මනුස්සයට උඹව මතක තිබුනොත් එහෙම ……… උදව් කරන්න ගියාම දෙතුන්පාරක්ම ආයෙ හිතන්න වෙන වැඩ දෙක තුනක්ම වෙලා තියනව විශේෂයෙන්ම ගැණු ළමයින්ට. එකක් නං මම බ්ලොග් පෝස්ට් එකක් විදියටත් ලිව්ව. තව ඩිංගෙන් මම අතක් පයක් කඩාගන්නව එදා නං.

  9. hare :-) says:

    මේක නම් ටොප් පෝස්ට් එකක්. හොඳ පාඩමක්, ලියල තියෙනව දැණෙන්න. ගොඩක් ගෑණු ළමයින්ට කෝල් එකක් ආවම ඉන්න තැන ගැන සිහියක් නෑ.

    මේක කියවල ඉවර වෙද්දි අපේ ඔපිස් එකේ ඉන්න ගෑණු ළමයෙක්ට වුණ වැඩක් මතක් වුණා. දවසක් මෙයා හැමදාම ඔෆිස් එන පැත්තෙන් නැතිව පාරෙ අනිත් පැත්තෙන් ඇවිදගෙන ඇවිත් ගේට්ටුවෙන් ඇතුල් වෙලා. මේක කට්ටිය දැකල හොයල බැළුවලු. බැලින්නම් එයාට කෝල් එකක් ඇවිත් ඔෆිස් එකේ ගේට්ටුවත් පහු කරගෙන ගිහින් සෑහෙන්න දුරක්.

  10. බුරු බබා says:

    මම නම් ලංකාවේ බස් වල යන්න භය ඔය හේතුවමයි. එක දවසක් මගේ යාළුවෙකුගේ ෆෝන් එකක් හොරකම් කලාට පස්සේ මම බස් එකක ගිහින්ම නෑ වෙන්න ඕනේ. තව පොඩ්ඩෙන් එදා ඒ භය වෙච්ච පාරට මට හාට් ඇටෑක් හැදෙන්න තිබ්බේ ඒ කාලේ.
    මෙහෙත් බස් වල හොරු ඉන්නවා ඒත් අපි පරෙස්සමින් නම් එයාලා ලන් වෙනවා අඩුයි. ලංකාවේ නම් මටත් පුළුවන් මුලු බස් එකම හොරකම් කරන් බැහැලා යන්න කිසි දෙයක් නොදන්න ගානට. ඇයි ඔක්කොමලා නිදි නැත්නම් මල් ලෝකවලනේ.
    (ඒ උනාට ඉතින් ලංකාවට ආවම කොයි තරම් භයද කියනවා නම් තනියම පාරට බහින්නෙවත් නෑ. හික්ස්)

  11. දූපත් වැසියා says:

    ඇත්තටම අන්න මිනිස්සු….

  12. praveena says:

    පරිස්සමින් ඉන්ට ජනූ….

  13. Harshana says:

    ඇත්තටම අපි සිහියෙන් ඉන්නවා නම් ඔය වගේ හොර තක්කඩියන්ට අහු නොවී ඉන්න පුළුවන්.
    ඒ උනා ට ගොඩ දෙනෙකුට තමන් ගෙදරින් ගෙනාවේ මොනවද කියලවත් අමතකයි බොහෝ විට …

  14. රූ says:

    බස් එකේ යද්දි කෝල් එකක් ආවොත් මේක සිද්ද වෙන එක වලක්වන්න බෑ..
    කොහොමටත් අපි ටිකක් කල්පනාවෙන් යන එක හොඳයි…
    කෝල් එන හැමවෙලේම ආන්සර් කරන්න කියලා නීතියකුත් නෑනෙ..

  15. බුරා කිව්වා වගේ, සොරි! ජේ ආර් මහත්තයා කිව්වා වගේ තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න ඕනැ! හමුදාව ඉන්නෙ හොරු අල්ලන්න නෙමේ. හමුදාවට හොරු අල්ලන්න බෑ. එකයි අදිමදි කරන්න ඇත්තෙ. පොලිසිය ඉන්නෙ හොරු අල්ලන්න. පොලිසියට කියන්න. වැඩැක් උනත් නැතත් ඒක තමා කරන්න තියෙන්නෙ…..

  16. Maneka says:

    හයියෝ දුප්පත් මගෙ ෆෝන් එක ඉස්සුවනේ 138 දී එක පාරක්! හත්මුතු පරම්පරාවටම නොසෑහෙන්න බැන්නා…. හිතෙන්…. වෙන මක් කොරන්නද ඉතිං…. ගත්ත එකා මාරුවෙලා නේ..138 යන ඈයෝ ටිකක් පරෛස්සමිං.. මගේ යාලුවන්ගෙත් ෆෝන් උස්සල තියනව…:((

  17. NIsh says:

    හපොයි පරිස්සමින්.

    මම නම් අදටත් අසාධරනයක් දැක්කම කෙලින් කතා කරනවා. ඒත් මම තනියම ඉන්න තැනකදි විතරයි. මිනිස්සු …………………………………………………………………… තමන්ට අවශ්‍ය දේ කරගන්න බැරි උනාම මොනව කරනවද කියලා හිතාගන්න බෑ අප්පා.

  18. 255ත් ෆෝන් හොරුන්ගෙ ලෝකයක්.කැම්පස් ලමයි එහේ මෙහේ යන නිසා ෆෝන් එකක් අනිවා තියෙන බව උන් දන්නවා.මගෙත් ෆෝන් දෙකක් නැති වෙලා තියෙනවා.එකක් බස් එකේ යද්දි ඔය වගේම බෑග් එකෙන් උස්සලා.හිර වෙලා තැලිලා යනකොට තේරුනෙත් නෑ.අනික් පාර නම් පුද්ගලික වාහනයක ගමනක් යනකොට අතරමගදි කන්න නවත්තපු වෙලාවක.ලොරියක් ගියේ පස්සෙ සෙනගත් හිටියා. බෑග් එකේ දාලා ඉස්සරහ සීට් එකක තිබුනෙ.ෂටර් එක ඇරලා තිබිලා බෑග් එක පිටින්ම ගෙනිහින්.වෙලාවට දුප්පත් ෆෝන් එකක්. වැඩේ කියන්නෙ කඩේ ලගම නවත්තලා තිබුනත් කවුරුත් නොදැක්ක එකනෙ.

  19. නිරෝෂා says:

    හපොයි…අනේ නංගියේ මාත් උදේහවා එන්නේ යන්නේ ඔතැනින් නොවැ…
    මං කඩදාසියකුයි පැස්ටල් පෙට්ටියකුයි ගෙනැත් දෙන්නම්, චිත‍්‍රයක් ඇදලා දාන්නකෝ.
    ඔයා ලියන්නෙ මැවෙන්න. ඒත් බයටද මන්දා මේ මනුස්සයාගේ මූණ මැවුනේ නෑ. ආයේ කියවලා බලන්න බලමුකෝ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s