හිත ඇත්නම් පත කුඩාද??

ඊයෙ මකුලු දැල් එහෙම කඩපු එකේ අද තිර රෙදි ටිකක් හෙම දාල වැඩේ එකලාසයක් කරන්ඩයි මේ හදන්නෙ.. ඒ වුණාට දැන් ලියන්නෙ මොනවද කියල  දහ අතේ කල්පනා කළා…. කිව්වම මොකෝ ලියන්ඩ හිත ඇත්තං නිමිතිද නැත්තෙ……

යාලුවෙක්ගෙ හරි නෑයෙකුගෙ හරි මගුල් ගෙදරක් වුණාම ඔය විවාහ  වෙන්ඩ බලන් ඉන්න කවුරුත් උනන්දුයි නෙ දැනගන්ඩ කොහොමද එයාලගෙ මගුල සැලසුම් කලේ… ඇඳුම් සකස් කළේ….වියදම කොහොමද?? මේ වගේ දේවල් ගැන.. ඉතිං මට හිතුණ අපි දෙන්න අපේ මගුල සැලසුම් කරපු ආකාරය ගැන ලිව්වොත් ඒක අපේ මේ විවාහාපේක්ෂක කට්ටියට උපකාරයක් වෙයි කියල… දැං ඔය රවී අයියල, නවම් අයියල, එතකොට අභීත අයියල වගේ ඉහ නිකට පැහිච්ච උන්දැල මේක කියවල අය සද්දෙ වහල ඉන්න එකයි ඇත්තෙ… මොකෝ දැං මේක කියෙව්ව කියල ආයෙ පෙලවහක් කොරගන්ඩ කියලයැ….

ඔය අපේ කුමාරිහාමි අක්කණ්ඩි, මනේකා, නිසූපා, ලකී, නැටිලි පැත්තක තියල සේරෝමල මෙහාට ආවනං… තමංලට වැදගත් වෙන දෙයක් කියන්ඩයි හදන්නෙ

ඕං එහෙනං අද දවසෙ මගේ ලියමන වෙන් වෙන්නෙ අපේ මගුල ගැන ලියන්ඩයි.

පෙම්බරයගෙයි මගෙයි නම් ඒ හැටි උනන්දුවක් තිබුණෙ නෑ ඔය ලොකු හෝටලයක් වෙන් කරගෙන අරන් මහා සැරසිලි මැද විවාහ වෙන්ඩ… කොටින් ම කිව්වොත් ඔය කරපු විදියට කරන්ඩ වත් අපේ හිත්වල තිබුණෙ නෑ.. චාරිත්‍ර ටික කෙරෙන චාම් විවාහ මංගල්‍යයකට මගේ හිතේ කැමැත්තක් තිබුණත් පෙම්බරයගෙ නං හිතේ තිබුණෙම දෙපාර්ශවයේ ලඟම නෑදෑයො හා අපේ ලඟම මිතුරු මිතුරියන්  දහ පහලොස් දෙනෙක් එකතු වෙන බොහොම සරල දෙයක් විතරයි…

ඒ වුණාට  පෙම්බරය එයාගෙ අම්මට ඉන්න එකම පිරිමි දරුව වෙච්චි, මං අපේ පවුලෙ වැඩිමල් එකී වෙච්චි… අපේ පවුල්වලිං ඉස්සෙල්ලාම කසාද බඳින එකී වෙච්චි, ඒ හන්ද අපි දෙන්නගෙම අම්මල ට ඕනෙ වුණා නෙව උත්සවයක්….

ඉතිං ඉස්සෙල්ලාම කලේ අම්මල අපිට නැකැත් හදවපු එක… ඒ මට මතක විදියට පහුගිය අප්‍රේල් මාසෙ මැයි මාසෙ විතර….  දින වකවානු හරියට තීන්දු වුණායිං පස්සෙ අපි දෙන්නම අම්මලත් එක්කල කතා බහ කරල  මගුල් ගෙදර අරගන්නෙ දෙපැත්තෙන්ම එකතු වෙලා එක දවසක කියල තීරණය කළා.. ඊට පස්සෙ එළඹෙන සෙනසුරාදා දවසෙ හැන්දෑවෙ අපි අපේ යාලුවන්ට හා කාර්යාලයේ අයට පොඩි සම්භාෂණයක් සූදානම් කරනව කියල හිතුව… මේ උත්සව දෙකම අපි දෙගොල්ලටම දුරින් සමාන අතරමැදකින් හොයන්ඩ අපි මහන්සි ගත්තෙ කාරණා දෙකක් උඩයි..

අපිට ඒ හැටි ලොකු මුදලක් තිබුණෙ නෑ. එහෙම ලොකු මුදලක් වියදම් කරන්ඩ බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ. ඒ වගේම අපි දෙන්නගෙම හිතේ තිබුණ ඔය නිකංම නිකං කොන්ක්‍රීට් බිල්ඩින්වල නං කසාදෙ ගන්නෙ නෑ කියල… ඉතිං අපිට ගැලපෙන මුදලකට අපිට ගැලපෙන විදියෙ තැන් හොයාගෙනයි අපි ගියේ,

අපි දෙගොල්ලටම පහසුවෙන් අපි තෝරාගත් තැන්වලට ගිහින් අපිට අවශ්‍ය විදියට කටයුතු සූදානම් කරගන්ඩ පුලුවන් වීම…මොකද දෙවෙනි දවසටඅපි තෝරාගත්ත ස්ථානයේ උද්‍යානය ශාලාවට වඩා හැඩයි. ඉතින් රාත්‍රියේ අපේ උත්සවය උද්‍යානයේ සැලසුම් කරන්ඩ අපි හිතුව. හැබැයි දන්නවනෙ කාලගුණය ගැන… කොයි වෙලේ වහියිද දන්නෙ නැති නිසා අපිට අවශ්‍ය වුණා අර උත්සව ශාලාවත් සූදානම් කරවල තියන්න…. යම් හෙයකින් අවශ්‍ය වුණොත් කියල… ඒ උත්සව ශාලාවෙ අය කවදාවත්ම සම්පූර්ණයෙන් උද්‍යානයටම අරන් උත්සවයක් සැලසුම් කරල නෑ කිව්ව… ඒ හන්ද අපිට යම් යම් දේවල් අපට ගැලපෙන විදියට වෙනස් කරගන්ඩ හෙම ඕනෙ වුණා…මේව හැමෝම එක්ක කරන්ඩ බෑනෙ.. පාරිභෝගිකයාගේ සැබෑ අවශ්‍යතාව තේරුම් අරගත්ත කෙනෙක්ට විතරයි ඒක තමන්ට කරදරයක් කියල හිතන්නෙ නැතුව අපේ ඉල්ලීම් ඉටු කරල දෙන්ඩ පුලුවන්..

ඉතිං කොහොමිං හරි පහුගිය මැයි මාසෙ වෙද්දි ඔය වැඩ දෙක කළා කියමුකො… ඊට පස්සෙ අපි දෙන්න කතා කළේ අනිත් දේවල් ගැන… ඒ කියන්නෙ ඇඳුම්, ආරාධනා පත්‍ර, කේක් පෙට්ටි වගේ දේවල්, ඒ ඇරුණම මල් සැරසිලි එකී නොකී හැම දේම…

මගේ හීනයක් තිබුණා කවද හරි මගේ විවාහ ආරාධනා පත් හා කේක් පෙට්ටි මම ම හදාගන්ඩ… කරන්ඩ ඕනෙ කිසිම දෙයක් ගැන තීරණයක් නැතුව මම නුගේගොඩ ගියා… යන ගමන් ආරාධනා පත්‍ර හදන්ඩ ගැලපෙන විදියෙ කඩදාසි හා තවත් පබලු රිබන් වගේ දේවල් අරගත්තෙ කරන්ඩ යන දේ ගැන  මහලොකු අදහසක් තිබිල නෙවෙයි…

හැබැයි ඒකෙන් අපිට අවශ්‍ය විදියට ආරාධනා පත්‍රවලට සාම්පලයක් හදා ගන්ඩ පුලුවන් වුණා…

ඒ විතරක් නෙවෙයි  ඒකෙන්ම අදහසක් අරගත්ත කේක් පෙට්ටිවලටත්

මේ තියෙන්නෙ අපේ කේක් පෙට්ටි හා ආරාධනා පත්‍ර…

මේ ආරාධනා පත්‍ර හදන්න අවශ්‍ය කරන කඩදාසි මම අරගත්තෙත් කේක් පෙට්ටි අවශ්‍ය හැඩයට අවශ්‍ය ප්‍රමාණය මිලදීගත්තෙත් පිටකොටුවෙ මැලිබන් වීදියෙන්…

විනෝදාංශයක් විදියට කාලයක් තිස්සෙ විවිධ විසිතුරු කාඩ් වර්ග හදන නිසා අතින් නිර්මාණය කරපු ආරාධනා පත්‍රයක මිල ගැන මට අදහසක් තියෙනව… අනික මෙතෙනදි නම් මිලට වඩා මම හොයපු ප්‍රධානම දේ අපි දෙන්න කැමති වෙච්ච මෝස්තරය යොදාගන්ඩ තියෙන හැකියාවයි..

ඒ විතරක් නෙවෙයි රිබන් හා මල් අරගත්තෙ දෙවන හරස් වීදියෙ තියෙන තොරොම්බල් කඩවලින්…  ඔය ආරාධනා පත්‍රවල මම අලවල තියෙන පුංචි මල දැක්ක ගමන්ම මම මගේ දෙවන මනාලිය හා මලිකුමරියන්ගෙ ඇඳුම්වල මෝස්තරය ගැනත් දළ අදහසක් අරගත්ත… ඒ අනුව හිතල අවශ්‍ය කරන රිබන් හා ඒ මල් අරන් තිබ්බ කලින්ම.. මොකද මම ඇඳුම් හදන්න බලාපොරොත්තු වෙන්නෙ තව මාස තුනක් වගේ කාලයක් ගියාම නිසා.. ඒ වෙද්දි පිටකොටුවෙ ඔය මගෙ හිතට අල්ලපු දේවල් නැති වෙන්ඩ පුලුවන් නෙ… අපි අපිම කරගන්නව කියල හිතපු නිසා පෙම්බරයයි මමයි ඊලඟට කළේ මේ අමුද්‍රව්‍ය අරන් ඇවිත් ආරාධනා පත්‍ර හා කේක් පෙට්ටි ටික හදන එක ඉවර කරගත්ත එක… පෙම්බරයයි, පෙම්බරයගෙ අම්මයි, නංගියි කට්ටියම මට උදව්වට හිටිය නිසා අපි සති තුනක් වගේ කාලෙකදි මේ වැඩ කටයුතු ඉවර කරගත්ත.

ඒ විතරක් නෙවෙයි මම ආස වුණේ නෑ දැන් කඩවල්වල ගන්න තියෙන මගුල් සාරිවලට… එක අතකට ඒවට විශාල මුදලක් යට වෙනව විතරක් නෙවෙයි  චාම් සරල මෝස්තරවලට ආස කරපු මට ඒ වගේ සාරියක් අරගත්තොත් ඒක මට අවශ්‍ය විදියටම තියෙනවද කියලත් සැක හිතුණ…

ඉතින් මම හිතුව සාරිත් මමම හදා ගන්නව කියල…. ඒ විතරක් නෙවෙයි මම උත්සව දෙකටම සැරසෙන්නෙ ඔසරියකින් තියලත් පෙම්බරය පළමු දවසෙ ජාතික ඇඳුමෙන් හා දෙවනි දවසෙ යුරෝපීය ඇඳුමෙන් සැරසෙනව කියලත් තීරණය කළා

අපේ ඔෆිස් එකේ මගේ ලඟම හිතවතියන් නම් කිව්වෙ ඔයා ඔය ගන්නෙ තරමක අවදානමක් නංගි… ඔයාට ඕව කරගන්ඩ වෙලාව තියෙයිද කියල?? ඒත් මට හොඳ විශ්වාසයක් තිබුණ  ඒ වැඩ ටික කරගන්ඩ මට පුලුවන් වෙයි කියල…

මගේ සැරසිලි තේමාව වුනේ  කහ අරලිය මල…. ඉතින් අපි දෙන්න  ඇන්ද අපි දෙන්නට අවශ්‍ය මොනවගේ පෝරු සැරසිල්ලක්ද, ආසනයක්ද, පහනක්ද, මේස සැරසිල්ලක්ද කියල…

ඒව කටුසටහන් විදියට අරන් ගිහින් අපේ මල් සැරසිලි කරපු චමින්ද අයියට පෙන්නුව… එයා ළඟ තිබුණ පෝරු හා අනෙක් සැරසිලි උපාංගගත් බලල, එයාලෙ අදහසුත් අරගෙන අපි දෙන්න ඇඳපු සටහන් තරමක් වෙනස් කරල අන්තිමට අපි කරපු සැරසිලි තමයි මේ ඔයාල දකින්නෙ

අපි දෙන්නට ඕනෙ වුණා කොළ පාට වැඩියෙන් පේන්න මල් අතරින් පතර එන විදියට අපේ සැරසිලි කරන්ඩ..

ඒ විතරක් නෙවෙයි අපි මේස සැරසිල්ල විදියට තෝරගත්තෙ බුලත් කොල උඩ තියපු අරලිය මල් පාවෙන්ඩ දාපු නෑඹිලියක්… හැබැයි ඒක නං හිතපු තරම් ලස්සන වුනේ නෑ කියලයි මටයි පෙම්බරයටයි දෙන්නටම හිතුනෙ… සමහර විට ඒකටත් කොළ පාට  පේන්න අරලිය මල් සැරසිල්ලක්ම යෙදුව නං ඊට වඩා ලස්සන වෙන්ඩ ඉඩ තිබුණ.

ඔහොම එක එක දේවල් සූදානම් කරගෙන කරගෙන යන අතරෙ දවසක් මම ගෙදර ගිය වෙලාවක අම්ම මට පෙන්නුව  එයා මට කියල අරගත්තු බීරලු රේන්ද අල්ලපු මේස රෙද්දක්… ඒකෙ තිබුණ ලස්සන පටි මෝස්තරයකට හා ඒ සමග තිබුණ තව හැඩ කීපෙකට මට කැමති හිතුණ..  එසැනින් මම හිතුව බීරලු රෙන්ද  තමයි මගේ සාරි මෝස්තරය විදියට අර ගන්නෙ කියල. මේස රෙද්දෙ අලවල තිබුණ ලේබලයෙන් අනුරාධපුරේ කුට්ටම් පොකුණ ලඟ ඉන්න මේ ගොතන්නියගෙ දුරකථන අංකය හොයා ගත්ත මම ඈට කතා කරල ඇහුව මේ රෙන්ද ඈ ලඟ තියෙනවද කියල, මගේ හොඳ වෙලාවට අපේ මල්ලියෙ පෙම්බරී එදා දවසෙ අනුරාධපුරේ… ඈට මට අවශ්‍ය රේන්ද වර්ග හා ප්‍රමාණයන් කිව්වාම එදා හවසම ඒ රේන්ද ටික මට ලැබුණ….

මාව හැඩගන්වන්න මම තෝරගත්තෙ මාව පුංචි කාලෙ ඉඳලම දන්න බින්දු අයියව… මගේත් දෙවන මනාලියගේ හා මල් කුමරියන්ගේත් හැඩගැන්වීම  විතරක් නෙවෙයි ඇඳුම් මහන වැඩෙත් එයාටම බාර දුන්නෙ එයාගෙ වැඩ ගැන මම කාලයක් තිස්සෙ දන්න නිසා….

(අපේ රටේ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පීන් කීප දෙනෙක්ගෙ හැඩගැන්වීමට යන මිල ගණන් අහල කලන්තෙ දාන්නත් ආව මට)

ඒ අතින් බින්දු අයිය කියන්නෙ බොහොම සුහද මනුස්සයෙක්… සල්ලිවලට වඩා වැඩක් ලස්සනට කරන්ඩ හිත ඇති සැබෑ හිතවතෙක්… මම මුලින්ම ඔහු එක්ක කතා කරල සාරිය ගැන මගේ අදහස කිව්ව… බීරලු පටිය දැක්කම ඔහුට තේරුණා මම බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ හැඩගැන්වීමක් ද කියන එක….ඒ අනුව අපේ ඇඳුම් පැලදුම්වලට ගැලපෙන රෙදිවර්ගය ඔහු කිව්ව… එක දවසක් පිටකොටුවෙ ගිහින්  රෙදි ටික තෝරල අරන් ආවෙත් මමම තමයි…

මගේ අදහස වුණේ සාරියෙ මැහුම් කටයුතු ඉවරවුණාට පස්සෙ ඒකට පබලු අල්ලා අලංකාර කරගැනීම මමම කරන්ඩනෙ… ඔහු බොහොම සතුටින් මට සාරිය හදල දුන්න විතරක් නෙවෙයි…

ඔයා වැඩ වැඩි වෙලා හිර වුණොත් එහෙම ගෙනල්ල දෙන්ඩ නංගි මම පබලු ටික අල්ලල දෙන්නම් කියලත් කිව්ව….

ඊට වඩා ඔහුගෙ මහන්සියට සරිලන මුදලකට, චාම් විදියට ,මමයි පෙම්බරයයි කැමති වුණ ආකාරයටම අපේ හැඩගැන්වීම් කරපු බින්දු අයියටයි එයාගෙ ගෝලයො රොත්තටයි තමයි මේ තුති මල් මිට!!!

දෙවෙනි දවසෙ සාරිය වෙනුවෙන් ඒ හැටි වෙහෙසක් ගන්න මගේ හිතේ තිබුණෙ නෑ..

මං කලිනුත් කිව්වනෙ මගේ පිටකොටු සංචාරවලදි මම එකී මෙකී නොකී හැම දේම ඇද ඇද බැලුවනෙ… මෙහෙම යද්දි මට හම්බ වුණා යාර ගණනක් දිගට තියෙන පබලු අල්ලල හැඩ කරපු පටියක්… රතු පාට සාරියක බෝඩරය විදියට ඒක යොදාගන්ඩ පුලුවන්…. ඔන්න ඉතින් දෙවෙනි දවසෙ සාරියෙ වැඩෙත් ලේසියෙන්ම ඉවරයි…

මේ තියෙන්නෙ මම මගේ මගුල් සාරියෙ පබලු වැඩ දැම්ම හැටි…

මේ සාරි දෙකටමයි දෙවන මනමාලියෙ සාරියට හා මල් කුමරියන්ගෙ සාරිවලටයි වැඩ දැමිලියි සේරම කළේ මමයි… ලේසි වුණේ නෑ…

වැඩට ගිහින් ඇවිල්ල රෑට මේ වගේ සියුම් වැඩ කරන්ඩ හරි අමාරුයි නෙ… ඉතින් සති අන්ත දෙකක් විතර දවස පුරා වෙහෙසෙන්ඩ වුණා….මගෙ වෙන්ඩ නෑනන්ඩි දසුනිත් හරි හරියට උදව් කළා.. නැත්තං අර වාහනේ ඇවිල්ල ගේ බිම දැම්ම වෙලාවෙ මගේ වැඩ සේරම හිර වෙලානෙ තිබුණෙ….

ඉතිං අදට ලියන්ඩ බලාපොරොත්තු වෙන්නෙ ඔච්චරයි

හෝව්!!! යන්ඩ කලිං තව දේවල් ටිකක් කියන්ඩ එපැයි

සාරි බාරි සේරෝටම වියදම් වුනේ දළ වශයෙන් රුපියල් 25000 – 30000ත් අතර ප්‍රමාණයක්

ආරාධනා පත්‍ර හා කේක් පෙට්ටිවලට ගිය දළ වියදම නම් 15000ක් විතර වගේ කියලයි මතක… සමහර විට ඊට වඩා අඩුයි….මොකද හිතෙන්නෙ….

කෙල්ලනේ….. බැරිවෙයිද  පොඩි උත්සාහයක් ගත්තොත් තමන්ගෙ මගුල් සාරිය තමන්ටම හැඩකරගන්ඩ….???

මෙහෙම කිව්වට වැඩ ගොඩ ගැහිල… පෙම්බරයටත් උදව්වෙන්ඩ බැරි වෙච්ච කාලෙක මගුල් ගෙදර වරඩ සේරෝම මගෙ කරට ගන්න වෙච්ච දවස් ටිකේ නං හිතට බයක් දැණුන ඉවර කරගන්ඩ පුලුවන් වෙයිද වැඩ ටික කියල…. ඒත් මම වැඩක් පටන් අරන් අතර මග අතෑරල දාන්නෙ නෑ….. ඒක පුලුවන් උපරිමයෙන් කරන්ඩ මට ඕනෙ…. මේ උවමනාව තමයි මට ශක්තිය වුනේ!!!!

ඒකනෙ කියන්නේ………………..හිත ඇත්නම් පත කුඩාද  කියල!

හා නැද්ද????

අමතක වුනා නෙව කියන්ඩ ඔය හැම මෝස්තර නිර්මාණයක්ම අපේ පෙම්බර ඇත්තංගෙ නෙව…. උන්දැ තමා ඔය වෙඩින් කාඩ්වල කේක් පෙට්ටිවල මල් අලවල ලස්සනට හැදුවෙ…

දැං ඔය අපි දෙන්න පෝරුවෙ ඉන්නව බලන්ඩ ඕනෙ කිව්ව අපේ රවී අයිය වෙනුවෙන් තමා ඕං මේ

ඉතිං මාත් එක්ක මේ බ්ලොග් ලෝකෙදි මුණ ගැහිල අපි දෙන්නට සුබපතන්ඩ එකතු වෙච්ච ඔයාල හැමෝටමත් බොහෝම ස්තූතියි!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි. Bookmark the permalink.

36 Responses to හිත ඇත්නම් පත කුඩාද??

  1. buddie-බුඩී පවසයි:

    මේ වගේ චාම් මගුල් ගෙයක් කොච්චර නම් වටිනවාද අද තියෙන විච්චූරණ එක්ක බැලුවම. බූඩි නම් හරිම ආසයි මේ වගේ දේකට. මිලියනයක් වියදම් කරලා වෙඩින් අරං ජීවිත කාලෙම ණය ගෙවන උන්ට මෙව්වා හොද පාඩම්. මේ ගැන ලියපු එකනම් ලොකුම ලොකු දෙයක් !!!!!!!

    • මේ තරම්වත් වියදම් කරන්ඩ හිතල තිබුණෙ නෑ බූඩි. ඒත් මගුලු ගෙදරක් වුණාම අපි කොච්චර අරුමෝසම් සරුව පිත්තල අංග අයින් කළත් අනිවාර්යයෙන් යන වියදම් ටිකක් තියෙනව… ඒව ඉතින් කොහොමත් කරන්ඩ වෙනව නෙව…( මං කියන්නෙ උත්සවයක් ගන්නව කියල තීරණය කළොත්)
      අපි අවධානය යොමු කළේ කරන්ඩ ඕනෙම දේවල් ගැන විතරයි…

  2. Ravi පවසයි:

    හෙහ්, හෙහ්, නඟේ, මේ පෝස්ට් එක කියවල මගෙ හිතට මුලිම්ම ආපු කම්පනා මෙන්න මෙහෙමයි,

    1. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන……

    2. මාළුව නහින්නෙ………….

    මොකදෑ හැබෑටම මට එහෙම හිතුනෙ?….මටනම් හිතාගන්න බෑ….උඹටවත් හේතුවක් කාරිය හිතෙනවනං කියාපංකො බලන්ට 🙂

    / ඊට වඩා ඔහුගෙ මහන්සියට සරිලන මුදලකට, චාම් විදියට ,මමයි පෙම්බරයයි කැමති වුණ ආකාරයටම අපේ හැඩගැන්වීම් කරපු බින්දු අයියටයි එයාගෙ ගෝලයො රොත්තටයි තමයි මේ තුති මල් මිට!!! /

    හෙහ්, හෙහ්, මේකතාව නම් උඹ කියන්ට ඕන නෑ…අපට හිතාගත්තෑකි…ආරංචියෙ හැටියට බිංදු අයියයි ගෝලයො විසිහතර දෙනෙකුයි දවස් දෙකක් රෑ දවල් නැතුව මාංසි වෙලයි උඹව යාන්තමට වත් එකවිදිහක් කරල අරගෙන තියෙන්නෙ…….කොහොම හරි දඹදෙණියෙ පහුගියෙ සුමානෙම කැට්ලෝයි පේස්ට් බේතකටවත් හොයාගන්න තිබ්බෙ නෑ කියල ලංකාදීපෙ ” පිස්සු හැදෙන සඳ” තීරුවෙත් දාල තිබ්බයි කියල මට ආරංචියක් ආව.

    ************************************************

    මොනව උනත් වැඩේ නම් අන්තිම ඉහළයි, ඒ වගේම හරිම අපූරුයි ජනූ…..ඇත්තටම ලස්සනයි….නිකම් පිස්සු නොකෙල බොහොම අඩු වියදමකින් උඹ අපූරුවට වැඩේ කරගෙන තියනව…..ඒ අතින් උඹේ හැකියාව නම් අගය කල යුතුමයි.

    බොලා දෙන්න පෝරුවෙ ඉන්න පොටෝ එහෙකුත් දාහං අපිට බලාගන්ට…හොඳේ? 🙂

    • හි හි…. ඔය ඉරිසියාවට කියන කතා මං ගණං ගන්නවද බං???
      පෙම්බරය නං වෙලාවකට ඇහුව ඇයි අනේ ඔයා මේ වැඩ වැඩි කරගන්නෙ කියල??
      ඒත ඒක මගේ ආසාවක් තියල, ඊටත් වඩා මං ඒක කරගන්නවමයි කියල තේරිච්ච හන්ද සද්ද නැතුව හිටිය… හැබැයි අන්තිමේදි උන්දැ තරම් ඒවට ආස කරපු තව කෙනෙක් නැති තරම්!!!
      ඕං එහෙනං අර පොටෝ එකකුත් දාල ඇති… දැං ඒක බලල තව මොනව හරි කියන්ඩ බැරියැ කට කැඩිච්ච කතාවක් 😀

      • Ravi පවසයි:

        අඩේ…තැන්කූම තැන්කූ බොල…මාර ගති පෝරුවෙ පෝටොස් කෑල්ල…..හෙහ්, හෙහ්,

        ලොක්ක මාර කඩවසං හාදයනෙව ( ඇත්තටම දැනට කඩ කීයක් වහල තියනවද උන්දැ? 🙂 )

        දෙවෙනි දවසෙ ෆුල් සූට් නෙවද ඇන්දයි කිව්වෙ?…..එව්වත් දාපං විගැහිං…. 🙂

        මම මේ මතක් කරන්නෙ යජිත් වගේම ඉන්නව මගෙ යාළුවෙක් හෝ දන්න කෙනෙක්….කවුදෝ කියල…..

    • නවම් පවසයි:

      කැට්ලොයි විතරක්නං මොකෝ.. සෑන්ඩ්පේපර් හිඟයකුත් ආවය කියල තුබුනෙ

  3. ලහිරු පවසයි:

    අපූරුයි අක්කේ, ඇත්තටම අගය කරන්නෝන, හැබැයි මට නම් තව වයස තියෙනවෝ!

  4. Buratheno පවසයි:

    එලස් ය.. මැක්සා ය.. කියන්න වදන් නැති ය..

    මම නං ආසම අර කොල පාට මැද්දෙන් කහපාට/ සුදුපාට මල් ඇවිල්ලා මතුකරන රටාවට.. හරිම soothing.. ඇහැට අමාරුවක් නැතිව ඕන තරං වෙලා බලා ඉන්න පුළුවනි..

  5. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    හරිම ලස්සනයි අක්කේ. චාම්, නිර්මාණශීලි විදිහට ඔයාගෙ ඒ ලස්සන දවස ලස්සන කරගෙන තියෙනවා. මම ඒත් අද උදේ එද්දි හිත හිත ආවේ ඔයා හැදුවයි කියපු කේක් පෙට්ටි කාඩ් වල පින්තූරයකුත් දාන්න කියන්න කියලා අපිට බලන්න, මෙන්න ඒ ඇවිත් බලද්දි ඔයා ඒ ගැන පෝස්ට් එකක්ම දාලා. ඔයා ලොකූ ආදර්ශයක් දීලා තියෙනවා ඉස්සරහදි මේකට මූණ දෙන්න ඉන්න අයට. ඒ දේවල් මෙහෙම බෙදාගෙන හරිම වටින වැඩක් ඔයා කරලා තියෙන්නේ.

    ඉතින් අක්කේ ඔන්න ඔයාගෙ අවසරය මත මීට අවුරුද්දකුත් මාස කීපෙකට කලින් මායි මගේ සිත්තරයි ඔය දවසට මූණ දෙන්න ලෑස්ති වෙච්ච හැටි ගැනත් කියන්න හිතුවා. ස්තූතියි ඒ අවසරයට අක්කේ. විවාහය කියන දේ ගැන දැනු තේරුම් ඇති වෙච්ච කාලෙක ඉඳන් මගේ ආසාව තිබ්බේ එදාට ඔසරියක් අඳින්න. කහ පාටට හුරු අර බේජ් පාට කියන්නේ, අන්න ඒ පාටින්. ඒ එක්කම ජනූ අක්කට වගේම මටත් හීනයක් තිබ්බා කේක් පෙට්ටි, කාඩ් මගේ අතින්ම හදන්න. ඔය ආසාවල් තිබ්බෙ සිත්තරා හම්බ වෙන්නත් කලින්. 😀

    ඉතින් කොහොම හරි අම්මලා තාත්තලා එකතු වෙලා නැකත් බලලා නොවැම්බර් විතර වෙද්දි දින ලෑස්ති කරගෙන තිබ්බා ඊලඟ අවුරුද්දෙ මැයි මාසෙට. ඊට පස්සෙ චාම් විදිහට උත්සවේ ගන්න පුළුවන් හෝල් එකක් හෙව්වත් ඒ මැයි මාසෙන් අපිට දීලා තිබ්බ දවස් වලට ඒ ඔක්කොම කලින් වෙන් වෙලා. ඊලඟට ආයෙ නැකැත් බලවන්න උනා. ඊට පස්සෙ අපිට හම්බුනා ජූනි මාසෙන්, හරියටම සිත්තරාගෙ උපන්දිනේට පහුවදා, අපිට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් හෝල් එකකුත් එදා දවසට අපිට ලැබුනා. ඒ හෝල් එකෙන්ම මගෙත්, දෙවෙනි මනමාලිට හිටපු මගේ නංගිගෙත් මල් කුමාරියන්ගෙත් ඇඳුම් ලෑස්ති කරන එක, අන්දවන එක, ශාලාවෙ සැරසිලි, සංගීතය, ජයමංගල ගාතා කියන ළමයි, බෙර-නැටුම් කණ්ඩායම, ඔය ඔක්කෝම ලෑස්ති කරන්න පුළුවන් කියලා ඒ හැම දේකටම යන ගණන් හිලව් අපිට පෙන්නුවා. ඇත්තටම සාධාරණ බවක් දැනුන නිසාත්, අපේ හිතේ තියෙන අදහස් වලට ඉඩ දෙන තැනක් කියලා තේරුණ නිසාත් අපි කැමති උනා. සිත්තරායි මමයි එයාලගෙ තිබ්බ සැරසිලි බලලා අපේ අදහස් එකතු කරලා අපිට ඕන විදිහ පැහැදිලි කරලා දුන්නා. අපේ මුළු කණ්ඩායමම ගෙන්නවලා අපේ ඇඳුම් නිර්මාණය කරන අක්කා අපිට ගැලපෙන වර්ණ යෝජනා කළා. මට මගේ හීනේ තිබ්බ පාට අඳින්න ඉඩ ලැබුණා. මගේ සිත්තරා ජාතික ඇඳුම අඳින්න කැමති උනා. මගේ නංගිගෙයි, මල් කුමාරියන්ගෙයි ඇඳුම් වලට කහයි කොළයි එකතු කරලා නිර්මාණය කරන්න තීරණය උනා. ඒ මුළු වගකීම ඒ අක්කා බාර ගත්තා. කඩේ තියෙන සාරි නෙවෙයි, එයා මං වෙනුවෙන්ම වෙනමම සාරියක් එදා නිර්මාණය කළා. දෙවෙනි මනාළියගේ ඔසරියත්, මල් කුමාරියන්ගෙ ළමා සාරියත් ඊට ගැලපෙන්න නිර්මාණය කළා. මගේ හිතෙන් ඒ බර නිදහස් කරගන්න ලැබුණ එක ඇත්තටම මට නිදහසක් උනා. අපේ සැරසිලි වලට යොදාගැනුනෙත් ජනු අක්කගේ සැරසිලි වලට යොදාගෙන තියෙන පාටමයි. කොළ, කහ, සුදු. ඒත් ඒවා නැවුම් මල්නම් නෙවෙයි, මගේ මල් කළඹ විතරයි නැවුම් මල් වලින් හැදුවේ. ඒත් ඒවා ගැන මට මෙහෙම තියෙන්න ඕනේ කියලා මුල් අදහසක් තිබ්බෙ නැති නිසා ඒ අක්කාට මම ඒ නිදහස දුන්නා හොඳ විදිහකට වැඩේ කරන්න. ඇත්තටම ලස්සනට තිබ්බා ඒ නිසා.
    ඒ අතරේ මම කහ, කොළ, බේජ් පාට වලින් පළවෙනි දවසේ කාඩ්, පෙට්ටි හදන්න ගත්තා. දෙවෙනි දවසට ඒවා හැදුවේ සිත්තරාගෙ යාළුවෙක්. මට හිතට අල්ලපු කඩදාසි ජාතිය හොයාගන්න මුළු පිටකොටුවෙම ඇවිද්දත් බැරි උනා, මලුයි රිබනුයි විතරයි එහෙන් අරන් ආවේ. අන්තිමට කඩදාසි ගත්තෙ නුගේගොඩින්.

    ඒ අතර දෙවෙනි දවසේ මම අඳින සාරියටත් පොඩි පොඩි වැඩ ටිකක් මම කළා. ඒක අඳුරු රන් පාටින් මෝස්තරයක් සාරිය පුරාම දුවපු රතු දම් පාට සාරියක්. ඒත් මම එදාට දාන්නේ රත්තරන් පාට ආභරණ නිසා සාරියටත් ඒ පාට එකතු කරගන්න ඕන උනා. ඒ නිසා රත්තරන් පාට පබළු, සී කුවින්ස් ඒ සාරියට අල්ලන වැඩෙත් මම පෙට්ටි, කාඩ් හදන අතරෙම කරගෙන ගියා. දෙවෙනි දවසේ මම ඇන්දේ ඉන්දියානු සාරිය, සිත්තරා බටහිර ඇඳුම. මුල් දවසේ උත්සවේ බොහොම නිවිච්ච සංගීතයක් එක්ක තිබ්බේ. අපේ තාත්තා වැඩිය ඔය සද්ද බද්ද සංගීතෙට, නැටුම් වලට එහෙම කැමති නෑනේ. ඒක ඒ විදිහට තිබ්බ එක ගැන මායි සිත්තරයිත් සතුටු උනා. ඒත් දෙවෙනි දවසෙනම් ඊටත් හරියන්න සංගීතෙයි, නැටුමුයි තිබ්බා. මං ඒ ගැණ මුකුත් කියන්න ගියෙ නෑ, එයාටත් ඉතිං යාළුවන්ගෙන් ඔළුව බේරගෙන ඉන්න පුළුවන් වෙන්න එපැයි. ඒත් දවස් දෙකම අපි සුරාවෙන් තොර උත්සව තමයි තිබ්බේ. ඒ දවස් දෙකත්, ඒ අතර කාලයත් අපි දෙන්නම නිර්මාංශ උනා අපේ අම්මාගේ ඉල්ලීම මත. දෙවෙනි දවසේ ඔක්කෝම සැරසිලි සිත්තරාගෙ අදහස් මත එයාගෙ යාළුවො තමයි කළේ. එදා පහන, මේස සැරසිලි එහෙම හරිම ලස්සනට තිබ්බා.

    ආ තව එකක්, අපේ විවාහය ලියාපදිංචියත් සිද්ද කෙරුනේ විවාහය දවසේමයි. ඒ රෙජිස්ට්‍රාර් නෝනට එදාම ඊට විනාඩි පහළොවකට කලින් වෙන තැනක නැකතක් තිබුණා. එතනින්, ඒක ඉවර වෙච්ච ගමන් එයාව වෙලාවට අපේ උත්සව ශාලාවට එක්ක එන වැඩේ මගේ අයියා කෙනෙකුටයි අක්කා කෙනෙකුටයි බාර දීලා තිබුණා. හැම දේම කළින් කතා වෙලා, ඒ අනිත් මංගල්ලේ තිබ්බ කට්ටිය එක්කත් කතා වෙලා සැලසුම් කරගෙන තිබුණ නිසා වෙලාවටම නැකතට අපිට පොතේ අත්සන් කරගන්න පුළුවන් උනා.

    ඇත්තටම ජනූ අක්කා කිව්වා වගේ, අපේ ජීවිතේටම එක මොහොතක් විතරක් උදා වෙන ඒ ලස්සන දවසේ නිර්මාණ අපේ පවුලේ උදවිය, යාළුවෝ එකතු කරගෙන අපේ අතින්ම කරගත්තාම එකක් වියදමත් ගොඩාක් ඉතුරු වෙනවා. අනිත් කාරණාව හිතට දැනෙන්නේ කියන්න බැරි තරම් ලොකු සතුටක්.

    ජනූ අක්කට ආයෙමත් ස්තූතියි ඔයාගෙ අත්දැකීම් එකතු උන මේ ලස්සන ආදර්ශය අපි හැමෝ එක්කම බෙදාගත්තටත්, මටත් මේ විදිහට ඒකට හවුල් වෙන්න ඉඩ දුන්නටත්.

  6. ගෝල්ඩ් fish පවසයි:

    උණුසුම් සුභ පැතුම් අක්කේ…. !!!!!!!

  7. Maneka පවසයි:

    මේ ඔක්කොම විස්තරේ දාලා තියෙන්නේ සහ සුද්දෙන්ම… දැන් ඉතිං කාට කාටත් ඔය හැටියට පිළිවෙලක් වෙන්ට බැරුවයෑ…

    හැබැයි ඉතිං අක්කණ්ඩියේ…
    මඟුලට කළින් වෙච්ච මහන්සිය දැකලා……
    එදා දෙවෙනි මනමාලිට ඉඳලා..
    වෙච්ච සහ කොරපු දේවල් ඔක්කොම බලගෙන ඉඳලා..
    රටේ නැති ලා‍ටු මූණේ උලාගෙන ඉඳලා…
    අක්කා ලස්සන කොරන්ට බිංදු අයියා දැම්ම අටන් පහුරු දිහා බලගෙන ඉඳලා…
    ෆොටෝ ගහන්ට හිනාවෙලාම …හිනාවත් අමතක වෙලා..

    පැත්තකට වෙලා නිස්සලංකේ කල්පනා කොරගෙන කොරගෙන යනකොට මටනම් කියන්න තියෙන්නේ….

    “දෙයි හාමුදුරුවනේ… මං නං පණ තියෙනකල් බඳින්නේ නෑ බොල !!!!!!”

  8. නිසුපා පවසයි:

    මාත් හිතාගෙන ඉන්නෙ කවදාහරි මගේ අතින්ම ඔය වැඩ කටයුතු ටික පුලුවන් උපරිමෙන්ම කරන්නයි අක්කේ..ඇදුම් මහන වැඩෙත් මංම කර ගන්න ඉන්නෙ.මොකද මෙච්චර කාලෙකට මං මහපු හැට්ටයක් තරම් එකක්වත් මට හිතට අල්ලලා නෑ නොවැ.
    ඇත්තටම මගේ හිතේ තියෙන්නෙත් හරිම චාම්වට වැඩේ කරන්නයි.හැබැයි ගොයින් අවේ ගවුමක් නම් අදින්න ආසයි. ස්තූතියි මේ විස්තරේ දුන්නට. ලං වෙනකොට අක්කව අල්ලගෙන පුද්ගලිකවම විස්තර අහ ගන්න බැරි යෑ නේද?? 😀

    කෝ අර කේක් පෙට්ටි වල පින්තූර…??

  9. praveena පවසයි:

    පොඩ්ඩි ඉතින් ඔය දේවල් කරන්ට ගියොත් මේ කපේදී බඳින්ට වෙන්නේ නෑ. ඒ හන්දා හොඳම වැඩේ තමා ඒකට ජනුවව සෙට් කරගන්න එක. 🙂

    තව අපිව බය කරලා, අඩු මිලට වෙඩිමක් කරගන්න හැටිත් කියලා දෙන්ට එනවා. අනේ පොඩ්ඩිත් නම් කවදාවත් නොබඳින්ට හිතුවා අර මනේකා වගේ…:-D

  10. නවම් පවසයි:

    කිව්වට බැඳපු අපිට පැත්තකට වෙලා බකං නිලාගෙන ඉන්නෙයි කියල එහෙම ඇහැක. අපූරු වෙඩිම, මාත් කොච්චර දත් කෑවයි ගාඩ්න් වෙඩිමක් ගන්න. කොහෙද මේ උලව් වැහිකාලෙ ඉඩක් දුන්නෙම නෑනෙ. ඊලඟපාර බඳිනකොට නං කොහොම හරි කොරගන්න ඕන.

  11. TG පවසයි:

    ජනූ ගැන හරි ආඩම්බරයි හැම දේම මැනේජ් කරපු විදිය දැක්කම .Salute you for that !! හැබැයි අර අරලිය මල් කඩන්න මගුලට කලින්දා ගස් නැග්ග එකකට මගේ බලවත් විරෝධය .ගස් නැග්ග නිසා නෙවේ ඔහොම වැදගත් දවසක් කටේ තියන් අනතුරු දායක වැඩ කරන්න යනවට . ඕන් ආයේ ඔය ඇඹුල් ජාති කන්න ආස කාලේ ආවම අඹ ගැට දොඩන් ගැට කන්න කියලා ඕව කොරනවා නෙවේ හරිද ? kidding

    Now u guys have satisfied all the expectations / aspirations of ur families . So its the time for yourself .take a rest and enjoy !it is necessary for u guys ! Everything will be all right do!n’t worry too much ! good luck

    • බොහොම ස්තූතියි ටී ජී අක්කේ!! මම ගස් නගින එක නං ප්ලෑන් කරල කරපු දෙයක් නෙවෙයි.. වෙලාවෙ හැටියට වෙන කවුරුවත් හිටියෙ නෑ වැඩේට යවාගන්ඩ.. මල්ලියි යාලුවොයි සේරමල වහලෙ උඩ ගෙයි වැඩ එළි වෙන්ඩ කලින් ඉවර කරගන්ඩ.. ඒ අස්සෙ අපේ අල්ලපු ගෙදර මලයෙක් අත කඩාගෙන රෑ ඌව ඉස්පිරිතාලෙත් අරන් ගියා එයාල.. කොටින්ම කිව්වොත් අපි තුන්දෙනා ට ඊට කලින් දවසෙ එකට කෑම වේලක් කන්ඩ තියා වචනයක් හරියට කතා කරන්ඩ වුණේ නෑ ඕං…
      මල් කඩන්ඩ ගිය ගෙවල්වල අයත් කම්මුලේ අත ගහගත්ත කාගෙද මගුල් ගෙදර ඇහුවම මං මගෙ තමා කිව්ව විදියට….

  12. ජීවීතයේ තියෙන්න ඕන සරල බව සහ අවංක බව හොදින් තේරුම් අරගෙන වැඩ කිරීම ගැන මම අවංකවම සං‍තෝශ වෙනවා
    (මේ කමන්ට් එක දාන්නම ලොග් උනේ ඒක නිසාමයි) හුගාක් අය තමංගේ විවාහය ගැන අතිශෝක්තියෙන් බොරු වර්ණණා කරද්දි මේ දාලා තියෙන ලිපිය හුගාක් ඉදිරියෙන් තියෙන්නේ
    ඔබ දේපලගේ ඉදිරි ගමනට මම හදවතින්ම සුබ පතනවා සහෝදරිය………

  13. Amarasinghe Sujatha පවසයි:

    අගේ ඇති පෝස්ටුව. මම මේක මගෙ එකෙත් දානව. හරි ආදර්ශමත්

  14. නිරෝෂා පවසයි:

    මෙයාට තියෙනවා බොහොම අපූරු ගති ගුණ ටිකක්. මෙයාය කිවේ හංසකිංකිණිට. වැල් වටාරන් නෑ කියන්න ඔ්න දේ කෙලින් කීවා. හරි සරලයි. ඒ වගේම මනා කළමනාකාරී හැකියාවකුත් තියෙනවා.
    ඔන්න දවසක් මටත් කතා කළා. අක්කේ, අර වැඩෙයි මේ වැඩෙයි පුලුවන් විදියට ඔන කීවා.
    දෙවැනි දවසෙ තිබුනේ කන්න පුලුවන් මේස සැරසිල්ලක්නේ…(ඒකෙත් photo එකක් දැම්මනම් නරකද හාමි?)
    ඒ ටික ප‍්‍රවාහනය හා බෙදා හැරීම මටයි බාර වූනේ..චොකලට් ටික, පැය 24ක් කූබින්ගෙනුයි, අපේ මල්ලිගෙනුයි ගලවා ගන්න මට වෙනමම ආරක්ෂක සේවාවක් යොදවන්න වුනා. කොහොමහරි ගෙනාව කියමුකො… ඒ ටික ජනූගෙ මල්ලිගෙන් නම් ආරක්ෂා කරගන්න සැරසිලි කමිටුවට බැරි වූනා.
    ඒ මදිවට උද්‍යානයේ මැද නව යුවලට ඈඳි ගන්නට සැළසුම් කරපු ආකාරයේ පුටුවක් තිබුනේ නැති නිසා, ලැබුනු පුටුව සකසන්න අපි ගත්තු දහිරියක්.. ! මනමාල මහත්තයාගේ යාලුවො ටිකට පින්… නැත්තම් අපේ සායම් ගිහින්..
    ඔයාලා දෙන්නටම ලස්සන අනාගතයක් පතනවා!!

  15. Sithuwili පවසයි:

    මමත් මගේ ආරාධනා පත් කේක් පෙට්ටි තනියම කරන්න ඉද්දී, වටේම අය ” ඔයාට ඕව කරන්න වෙලාවක් නැති වේවි.” කියන වෙලේ අක්ක, අක්කගේ අත්දැකීම් මෙහෙම ඉදිරිපත් කරපු එකට ගොඩාක් ස්තුතියි. මම ධෛර්යමත් වුනා. ඔයාලට සුභ පැතුම්……..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )