චීන රටේ අපේ පාද චාරිකා… 01

වේලාව උදේ  පහ හමාරයි.  ජංගමය හීන් හඬින් බොම්බේ චිත්‍රපටයේ  තේමා වාදනය වයන්නෙ මට ඇහැරවන්ඩයි…

රාත්‍රිය පුරා සීතලට ඝන පොරෝනයක ඇතුලට රිංගල නහය විතරක් එලියට දාගෙන ඉන්න මම ඇහැරෙන්නෙ වෙනදට වඩා ප්‍රබෝධමත් බවකින්…

වෙනදට වගේ නැගිට්ට ගමන් කුස්සියට ගිහින් උයන්ඩ පිහන්ඩ  දෙයක් හෙම නෑනෙ ඒ නිසා වෙන්ඩත් ඇති මේ අමුතු ප්‍රබෝදෙ…

කාමරේම තියල තියෙන විදුලි කේතලෙන් වතුර රත් කරල තේ එකක් හෙම හදාගෙන මම  ජනෙල් පේලිය ලඟට ගිහින්  තිර ඉවත් කරනව. හීතල හුළඟ කාමරේ ඇතුලට කඩා වදින්නෙ හරියට අගුල පන්නල ජනේලෙ අරින කල් ඉවසිල්ලක් නැතිව බලන් උන්න වගේ…..

ඒ හුළඟ වැදුනම ඇඟ කිලි පොලා යනව මොහොතකට….

ඉර පේන්ඩවත් නැති වුණාට ශැංහයි නගරෙට එලිය වැටීගෙන එනව.. රාත්‍රියේ දීප්තිමත්ව දිලුණ ගොඩනැගිලිවල විදුලි බුබුලු නිවී යනව …  මීදුම පාත් වෙලා නිසා ඈත ගොඩනැගිලිවල ඡායාවන් විතරක්  පේනව…පේන තෙක් මානෙ දකින්නෙ ගොඩනැගිලි විතරයි…

එකිනෙකා පසුපස පෙරහැරක් වගේ යන වාහන….

හෙමින් හෙමින් තේ එක බොමින් මේ දිහා බලන් ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ…

මූන කට සෝදල ලෑස්ති වෙලා ගමන් මල්ල සූදානම් කරන කොට කාමරේ බෙල් එක වදිනව… නිරෝ අක්කයි ශිරෝමියි දෙන්න  උදේ කෑමට දහ තුන් වෙනි තටිටුවෙ රොක්සි රෙස්ටොරන්ට් එකට යන්ඩයි ඔය බෙල් කරන්නෙ…

වෙලාව උදේ හතයි…රෙස්ටොරන්ට් එකේ  උදේ කෑම  සඳහා අපිට ටෝකන් එකක් තියෙනව.. මේ ටෝකන් එක අරගෙන තමයි අපි යන්නෙ කෑමට… ඒක අපේ කාමර පවිත්‍ර කරන වෙලාවට කාමරෙන් තියල යනව…

ආසියා ශාන්තිතර කලාපයේ රටවල් එකොලහකින් මේ වැඩමුලුවට ඇවිල්ල ඉන්න එක්කෙනා දෙන්න උදේ ආහාර ගන්න රෙස්ටොරන්ට් එකට එනව…

කෑමෙන් පස්සෙ අපි හෙමින් හෙමින් පයින් යන්න පිටත් වෙනව අපේ පන්තිය තියෙන එන් අයි පී ඩී එකට…

උදේ සීතල සුළඟ මූණෙ වදිනව… හැමෝම සීතලෙන් ගැලවෙන්ඩ  ලුහු ලුහුව ඇවිදිනව…මේපල් ගස් හෙවනෙන් යුතු පාර දෙපැත්තෙ නානාප්‍රකාර කඩපලවල්… කෑම, පලතුරු, සීත කාලෙට අඳින සපත්තු, ඇඳුම්,

පාරෙ ඇවිදින වයසක චීන මිනිස්සු අපි දිහා, අපි කතා කරන දිහාව උවමනාවෙන් බලනව…

සමහරු හැරිලත් බලනව..

මේව දිහා බලබලා අපි පන්තියට යනව…

උදේ නවයෙ ඉඳල හවස පහ වෙනකල්ම එන් අයි පී ඩී එකේ  දේශන ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතර හිර වෙලා ඉන්න අපි එලියට බහින්නෙ අපේ සුපුරුදු පාද චාරිකාව අරඹන්ඩයි…

මුල්ම දවසෙ අපේ කණ්ඩායම මමයි නිරෝ අක්කයි, දොස්තර මනෝජ් හා ශිරෝමියි.

අපි ඇවිද්දෙ තරමක් බයෙන්… හැම පාරක්ම එක වගේ… ඒ විතරක් යැ… හැම පාරකම නම එක වගේ පේන හැම තැනකම එකම වගේ කඩ පේලි,  අනික හදිසියෙ අතරමං වුණොත් කාගෙං හරි අහල දැනගන්ඩ කියලයැ???

ඒ හන්ද අපි ආපහු එලියට එන විදිය හොඳට මතකයේ තියාගෙන තමයි ඔය පුංචි වීදිවලට රිංගුවෙ…මේ වීදිවල තියෙන කඩ හරිම ලස්සනයි, විසිතුරු බඩු, ආභරණ, සේද සලු,  ලී බෝනික්කො, පොත්, සම් භාණ්ඩ, අම්මේ කොච්චර නං දේවල්ද !!

ඒ අතරෙ අවන්හල් හා පාරෙ පුටු තියල අල්ලාප සල්ලාපයේ යෙදෙන ගමන්  බීර බොන්න හදපු පුංචි බීම හල්!!

මට මේ වීදි අතරෙ ඇවිදිනතොට දැණුනෙ හරියට හීනයක් ඇතුලෙ ඇවිදිනව වගේ… ඒ විතරක් නෙවෙයි, පුංචි කාලෙ කියවපු චීන ළමා කතා මතක් වෙනව…

කැන් අයි ඕල් සෝ ජොයින් විත් යූ???

දෙවෙනි දවසෙ එන් අයි ඵී ඩී එකේදි දිවා ආහාර ගන්නකොට අපි හතර දෙනාගෙ මේසෙට ඇවිල්ල ඉඳගත්තෙ අවුරුදු හැටක් විතර වයස පිරිමි කෙනෙක්… කතා විලාසයෙන් නම් පෙනුණෙ ඔහු ඉන්දියානුවෙක් බවයි..

වඩාත් හොඳින් ඔහුව මගේ මතකයේ රැඳුනෙ නිර්මාංශීකයෙක් වුණු ඔහු කලින් දවසෙ උදේ රෙස්ටොරන්ට් එකේදි තමන්ට කෑමට යමක් සොයාගන්න වෙච්ච මහන්සිය දැකල.

කැන් යූ බොයිල් දීස් වෙජිටබල්ස්  ෆො මී ප්ලීස්….!!!

දීස් වෙජිටබල්ස් අයි කාන්ට් ඊට් ලයික් දිස්…

නිර්මාංශ ආහාර විදියට එතන තිබුණ අමු එළවලු තම්බා දෙන ලෙස ඔහු කල ඉල්ලීම චීන ජාතික සේවකයන්ට තේරුණේ නෑ..

නෙවර් මයින්ඩ් නෙවර් මයින්ඩ්!!  අයි විල් හෑව් සම් බ්‍රෙඩ් විත් ජෑම්…

අවසානයේ ඔහු තීරණය කළා පාන් පෙති දෙකක් ස්ටෝබෙරි ජෑම් සමග උදේ ආහාරයට අරන් වැඩේ ඉවර කරල දාන්ඩ

කම් කම්… ටේක් අ සීට් ප්ලීස්

අපි සාදරෙන් අපේ දවල් කෑම මේසෙට ඔහු ව පිලිගත්ත..

යූ ඕල් මස්ට් බී ෆ්‍රොම් ශ්‍රි ලංකා?? අයි හර්ඩ් යූ ටෝකිං

අයි හෑව් බීන් ටූ ශ්‍රීලංකා ටූ ත්‍රී ටයිම්ස්…  අයි නෝ ඩොක්ට…… ඇන්ඩ් ඩොක්ට…..

අපිට වචනයක් වත් කතා කරන්ඩ ඉඩ නෙතිබ්බ ඔහු තමන්ට ශ්‍රීලාංකිකයන් හා ඇති සම්බන්ධතාව විස්තර කරන්ඩ පටන් ගත්ත.. මෙයා ගැන ඔයාල මගේ කලින් සටහන්වලින් කියවල දැකල තියෙනවනෙ….

ඔහුගෙ දීර්ඝ විස්තරය අනුව ඔහු නමින් රාකේෂ් මනී රස්තෝගි… සේවය කරන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන්.. මේ පුහුණුව සඳහා ඔහු ඇවිත් තියෙන්නෙ හරිම අහම්බෙන් ඒ වගේම හදිසියෙන්….

ඒ නිසා ඉන්දියානුවෙක් වුණත් ඔහු මේ පුහුණුවට ඇවිත් තිබුණෙ ඉන්දියාව නියෝජනය කරමින් නෙවෙයි…

මහා හඬින් කතාකරන හැම තිස්සෙම හිනා වෙන ඩොක්ට රස්තෝගි අපේ පාද චාරිකාවල සගයෙක් වෙන්නෙ මෙන්න මෙහෙමයි

වට් ආර් යුවර් ප්ලෑන්ස් ටුඩේ?? හැමදාකම පුහුණුව ඉවර වෙලා පහලට ආව ගමන් අපිව හොයන් එන රස්තෝගි මහත්තය අපෙන් අහන්ඩ පටන් ගත්ත..

මේ මනුස්සය මල වදයක් වුණානෙ… මහ හයියෙන් කෑ ගහනවනෙ අප්ප…

අපේ සමහරු මුණු මුණු ගාන්ඩත් පටන් ගත්ත…

ඒත් මිනිහගෙ ආශ්‍රයේ මොකක්දෝ යමක් තිබුණ… අත ඇරල හොරෙන් යන්ඩ බැරි….

මම නම් ආව දවසෙම කලේ ලංකාවෙන් එන්ඩත් කලින්ම හොයාගෙන තිබුණු ශැංහයි නගරෙ ලස්සන තැන්වල චීන නම් අපේ සත්කාරිකාවක් වෙච්ච ලින්ඩට කියල ලියාගත්ත එක… නැත්තං ඉතිං අපි ගිහින් ඉවරයි…

සාමාන්‍යයෙන් අපේ රාත්‍රී ආහාර ගන්න වෙලාව වුනේ හවස හය. ඉතින් රාත්‍රී කෑමෙන් පස්සෙ අපිට රෑ වෙනකල්ම ඇවිදින්න පුලුවන්..

ඉතිං එදා දවසෙ අපේ ප්ලෑන් එක වුනේ බන්ඩ් එක බලන්ඩ යාමයි….

පලමු වෙනි දවසෙ අපිත් එක්ක කතා කරල හඳුනගත්ත භූතාන ජාතික සෝනම් ගෙල්ශ්‍යාන්ටත් අපි ආරාධනා කළා අපිත් එක්ක යමු කියල..

අපි පාර බැහැල ටැක්සි දෙකක්  නවත්තගත්ත. ලින්ඩා අපිට ලියල දුන්න කොලේ පෙන්නල ටැක්සිවලට ගොඩවුණා…

අහරෙන් හැරිල මෙහෙන් හැරිල පාරවල් දිගේ අපි බන්ඩ් එක ලඟට ගියා….

ඒක හරිම ලස්සන තැනක්..!!!

යැංසි ගඟ ඉහත්තාවෙ තියෙන පර්ල් ටවර් එක හා තවත් උස ගොඩනැගිලි රාශියක් පාට පාට විදුලි බුබුලු රටාවලින් අලංකාර කරල… සමහර ඒව අපේ තොරණ වගේ… සැරෙන් සැරේ වෙනස් වෙනස් රටා…

එක දෙයක් ඔයාලට කියන්ඩ ඕනෙ අමතක වෙන්ඩ කලින්. ඒ තමා ශැංහයි නගරයේ ලස්සන දකින්න නං රෑට ඇවිදින්න ඕනෙ කියන එක

අපි කැබ්වලින් බැහැපු වෙලාවෙ ඉඳල කලේ ඒ ලස්සන කැමරාවල සටහන් කරගන්න එකයි… ඒත් ඒ විදුලි ආලෝක රටා හොඳ හැටි සටහන් කරගන්න තරම් මගේ ඡායාරූපකරණ දැනුමවිතරක් නෙවෙයි කැමරාව ගැන දැනුමත්ප්‍රමාණවත් මදි…

මොකෝ ලංකාවෙදි වගේ හිතිච්ච ගමන් පෙම්බරයට කතා කරල අහගන්ඩවත් කියලයැ…

අපි පාර පැනල බන්ඩ් එක හොඳින් නරඔන්න පුලුවන් වෙන්න හදල තියෙන කොටසට ගියා…මෙන්න බොලේ පට පට පට ගාල එක ලාරටම මල් වෙඩි වරුසාවක් පර්ල් ටවර් එක පැත්තෙන් පත්තු වෙන්ඩ පටන්ගත්ත එක පාරට…. පුදුම ලස්සනයි!!… පැය කාලක් විතර එක දිගටම මේ මල් වෙඩි!!!!

ඒ අතරෙ ලස්සන විදුලි බුබුලු රටාවලින් අලංකාර කරපු බෝට්ටු ලඟ දිගේ යනව.. මේව පාවෙන රෙස්ටොරන්ට්…. සාමාන්‍යෙයන් යුවාන් සීයක් විතර ඕනෙලු ඒවට ඇතුල් වෙන්ඩත්!!

අපිට කොයින්ද ඉතිං බූල් බල්ලො!! මෙහෙම හිතල අපි ඇවිදින්ඩ පටන් ගත්ත…

අයි වෝන්ටු ටු ගෝ ඇන්ඩ් සී ද පර්ල් ටවර්!! හූ ස් කමින් විත් මී.. දෙයාර් ශුඩ් බී අ ෆෙරී බෝට් ටු ක්‍රොස් ද රිවර් නෝ…. වයි ඩෝන්ට් වී ෆයින්ඩ් දැට් ඇන්ඩ් ගෝ… රස්තෝගි මහත්තය ඉස්සර වුණා…

බන්ඩ් එකේ දර්ශනය පසුපසින් දිස්වෙන්ඩ අපේ ඡායාරූපය හදල දෙන තැන්… පුංචි පුංචි කෑම කඩ පහු කරගෙන යන අතරෙ සමහර චීන කෙල්ලො කොල්ලො අපිත් එක්ක ෆොටෝ ගත්ත….

විහිලුවට කියනව නෙවෙයි.. ඒක කීප තැනකදිම වුණා… නන්නාඳුනන සංචාරකයොක් එක්ක වුණත් ෆොටෝ අරගන්න එයාල උනන්දු වෙන හැටි මට හරිම පුදුමයි තාමත්…

මග දිගට නතර වෙවී අපිත් ෆොටෝ ගත්ත…

ඔන්න  අපි ෆෙරී බෝට්ටුව තියෙන තැන හොයාගත්ත

යුවාන් දෙකයි එක්කෙනෙකුට යන්ඩ…

සල්ලි ගෙව්වාම ඉන්න මිනිස්සු ගාණට ටෝකන් ලැබෙනව… ඒක අපි ඇතුල් වෙන තැන තියෙන කණුවට දාල තමයි අපි  ෆෙරී එකට ඇතුල් වෙන්නෙ…වෙලාව රාත්‍රී නවයට විතර ඇති…

අපි ෆෙරී එකෙන් එලියට ආව ගමන් බැලුවෙ ආපහු යන්න අන්තිම ෆෙරී එක කීයටද කියල

දහයයි කාල වගේ වෙලාවක් වෙනකල් ම ඒක වැඩ… ඉස්සෙල්ලාම කලේ ආපහු යන්ඩ ටෝකන් සල්ලි දීල අරගත්ත  එක… පහුවදා අපේ ෆීල්ඩ් විසිට් එක යන දවස…  බැරි වෙලාවත් ෆෙරි එක මිස් වෙලා අපිට මෙගොඩම ඉන්ඩ වුණොත්… අපි ඒකට නොගියොත් අපේ සත්කාරක යාලුවො සේරමල බය වෙයි නෙ….

තියෙන වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්ඩ හිතාගෙන මමයි නිරෝෂ අක්කයි පර්ල් ටවර් එක තියෙව දිහාවට දුවන්ඩ පටන් ගත්ත…

ඈතට ලස්සනට පෙනුණට මෙගොඩට ආවම ඒක උසම උස ගොඩනැගිලි අස්සෙ හැංගිලා

රස්තෝගි මහත්තයට අපිට තරම් වේගෙන් ඇවිදින්ඩ බෑනෙ… ඉතින් එයා කෑ ගහනව මහ හයියෙන්…ඒ මදිවට හින්දියෙන්…

දුවන්ඩ එපා කෙල්ලනේ… මේ නාකි මම කොහොමද උඹලගෙ ගානට ඇවිදින්නෙ….?? අනික පර්ල් ටවර් එක කොහෙවත් යන්නෙ නෑ…. එතනම තියෙනව…

උන්දැ හින්දියෙන් කතාකරන්ඩ පටන් ගත්තෙ  මං සංගීතෙ ඉගෙනගෙන තියෙනව, ලක්නව්වලට ඇවිත් තියෙනව කියල කිව්වට පස්සෙ තමයි….

 

අපි දෙන්න හිනාවෙවී දුවනව…

ආප් ජල්දී ආඕ නා ඩොක්ට රස්තෝගී හම් ජල්දී වාෆස් ජානා භී  හේ. වර්නා හම් දේර් හෝ ජායෙංගී… කල් හමාරී ෆීල්ඩ් ට්‍රිප් හේනා.. කුච් රෙස්ට් භී කර්නා හේ නා….??

මමත් අත අරින්නෙ නෑ… මගෙ කතාවෙ ව්‍යාකරණ වැරදි තිබුණත් උන්දැ නෙවෙයි එව්ව ගණන් ගන්නෙ…

අරෙ වා!! යේ ලඩ්කී හින්දී අච්චී තරහ් ජාන්තී හේ නා??

හති හල හල අපිත් එක්ක තරගෙට එන රස්තෝගි මහත්තය  සෝනම් එක්ක කියනව…

පුංචි වෙලාවකට   මට අපි කට්ටිය ලංකාවෙන් ඉන්දියාවෙන් භූතානයෙන් ආව කියල නොදැනී හැමෝම එකම රටක අය වගේ දැනෙන්ඩ ගත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ..

සමහර විට මේ වගේ රාත්‍රී සංචාරවලදි දකුණු ආසියාතික අපි ටික දෙනා කල්ලි ගැහෙන්ඩත් පැසිෆික් හා අනෙකුත් ආසියාතික රටවල් වෙනම කල්ලි ගැහෙන්ඩත් හේතුව කලාපීය වශයෙන් මිනිස්සුන්ගෙ තියෙන සමානතාව වෙන්ඩ ඇති

ඔහොම කතාවෙන් කතාවෙන් අපි පර්ල් ටවර් එක ලඟටම ගියා. හරිම ලස්සනයි!! හැබැයි පස්සෙ තමයි දන්නෙ ටිකට් අරන් ඒක උඩට නගින්ඩ පුලුවන් ලු… ඒක උසම ගොඩනැගිල්ලක් හන්ද රෑට ශැංහයි නගරෙම ලස්සනට පේනවලු…. ආයෙත් දවසක යමු කියල කතා වෙලා හිටියට අපි ට වෙලාව මදි වුණා නෙ…..

ඒ ලස්සන බලන්ඩ නං එතෙන්ට යන්ඩම ඕනෙ යාලුවනේ.. ෆොටෝ ගත්තට වැඩක් නෑ…

ආපහු ෆෙරී එකේ එක ගමන් නිරෝ අක්කයි මමයි දුවගෙන ගිහින් ෆෙරී බෝට් එකේ ඉස්සරහම සීට්වල ඉඳගත්ත… ඒ විතරක් නෙවෙයි අපි දෙන්න සෝනම්ට කියල අපි දෙන්නගෙ ෆොටෝ එකක් අරගත්ත… මේ ඉන්නෙ අපි…

ෆෙරී එකෙන් බැහැල අපි කට්ටිය කැබ් දෙකක් අල්ලගෙන හෝටලේට ආවෙ නිදාගන්ඩ ඇඳට වැටෙන්ඩ බලාගෙනයි… ඒත් ඉතිං එහෙම බෑනෙ… කතා කරන්ඩත් වෙන්නෙ නැති හන්ද අපේ පෙම්බර ඇත්තො බලන් ඉන්නව නෙව මං චැට් එකට එනකල්….

ඒ හන්ද ඉතිං ඒ ඇවිල්ලත්  රෑ වෙනකල්ම නිදා ගන්නෙ නං නෑ

 

 

එක ලිපියකින් ඉවර කරන්ඩ හිතුවට මොකද අපි ඇවිදපු තරම එක දවසකින් ලියල ඉවර කරන්ඩ  අමාරුයි වගේ

හපොයි!!!

ඉක්මනටම ලියන්නං කියල පොරොන්දු වෙන්නෙ නං නෑ… ඒත් උත්සහ කරන්නංකො

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

15 Responses to චීන රටේ අපේ පාද චාරිකා… 01

  1. praveena පවසයි:

    අනේ අර ඉන්දියානු මහත්තයා තරුන ෂාරුක් ඛාන් වගේ උනා නම්, මෙතැන් සිට පටන් ගන්නා ලිපි පෙල අපි මොන තරම් ආසාවකින් නම් කියවයිද? 🙂

  2. නවම් පවසයි:

    ओह, इसके लिए पता है अच्छा है कि आप हिंदी जानते हैं:)
    වරේවා.. නියම සංචාරක සටහනක්. බොහොම පැහැදිලිව කියවන්න ආසා හිතෙන විදියට ලියල තියනව.

    • නවම් අයියෙ අපිට හරි හරි වැඩ වුණා.. ලියන්නංකො හෙමින් සැරේ… හින්දි ඉගෙනගත්තෙ නං වැඩි හරියක් චිත්‍රපටි බලලමයි… අම්මගෙන් සංගීත ඉගෙනගෙන භාත්කණ්ඩේ විභාග ලියන්ඩ ඕනෙනෙ හන්ද ටික කාලයක් පන්තියකටත් ගියා… දැන් නං භාවිතයේ නැති හන්ද ව්‍යාකරණ හෙම මතක නෑ… හැබැයි ඉන්දියාවට ගියොත් ලංකාවෙ කියල හිතෙන්නෙවත් නැති වෙන්ඩ, අඩුගානෙ අපි මුම්බායි බැංගලෝර් පැත්තෙන්ද ආවෙ කියල අහන තරමට සෙල්ලමක් දාගන්ඩ පුලුහං….

  3. Ravi පවසයි:

    හෙහ්, මල් හතට ලියල තියනව….සංචාරක සටහන්…..ජනූගේ චීන චාරිකා…..Janu in China……Adventures of Janani the Incredible……හෙහ්, හෙහ්,…..ඒක නෙවෙයි බොල…දැක්කෙ නැද්ද අර කොණ්ඩෙ බැඳපු වර්ගයෙ චීන්නු එහෙම….

  4. ජනනි ලැබුන වෙලාවෙ හැටියට උපරිම දේවල් ටිකක් බලා කියාගෙන තියෙනව වගේ… ඇත්තටම රටක ඇවිදින්න ගියහම පාරට බැහැල ඔය විදිහට යන්නම ඕනැ… නැතුව ගයිඩ්ල පෙන්නන තැන් ටික විතරක් බලල වැඩක් නෑ…

    මම මදුරාසියෙදි තට්ට තනියම රෑ පාරවල් වල ඇවිදින්න ගිහින් තියෙනව.. ඒ කාලෙ මට හින්දිත් බෑ… දෙමළ නම් දැනුත් බෑ… ඒත් ඒ ගමන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ…

    • නැත්තං!! දෙයියනේ කියල මම ඇවිදින එකෙන් නං හෙම්බත් වෙන්නෙ නෑ අයියෙ ලේසියෙං… හැබැයි ෂොපිං නං අරහං….
      මං කැමති ඔහේ ඉබාගාතෙ ඇවිදින්ඩ.. නන්නාඳුනන රටක එහෙම ඉබාගාතෙ ඇවිදින එකේ පුදුම වින්දනයක් තියෙනව… සීමා මායිම් නැති…
      මදුරාසිය නං දැං එච්චර හොඳ තැනක් නෙවෙයි තනියම රෑ ඇවිදින්ඩ… හැබැයි ශැංහයි නං රෑ දොලහට එකටත් අවදියෙන්!!!

  5. ආසයි යන්න මටත් …ෂඔලින් බලන්න යන්නම ඕනේ කවදා හරි…

  6. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    අපූරු සටහනක් අක්කේ. අර රස්තෝගී මහත්මායාව මට නිකං කතන්දරයක ඉන්න චරිතයක් වගේ දැනුණේ. හරි අපූරු චරිතයක් වගේ.

    සංචාරේ සටහන් ටික කොහොමහරි මේ වගේ ලස්සනට ලියලා දාලා ආයෙ ඉක්මණටම ගමට යන්න තියෙනවනං මං ආසයි. මුතුගලට හරි මල්දෙණියට හරි.

  7. නිරෝෂා පවසයි:

    නංගී,
    දොස්තර රස්තෝගී ගැන නම් වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තියෙනවනේ.. ඉඩක් ලැබුන වෙලාවක ඒ ගැන ආයෙත් ලියන්න. කෑම ගැන බයට මුලදී නොකා හිටියට අපේ ශිරෝමිට මස් මාලු කන්න උවමනා වුනත් කන්න බැරිවුනානේ මහත්තයා නිසා.

    ඔයා ලියන විදියට හැමදේම මැවෙනවා. ඔයාගේ ශෛලියේ ඒ වගේ ගුණයක් තියෙනවා. මට ආයෙත් යන්න හිතෙනවා ඒ දවස්වලට…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )