චීන රටේ කෑම බීම….

අනේ මන්ද දුවේ ඔය රටේ කෑම බීම හෙම කන්ඩ පුලුවං එව්වද දන්නෙ නෑ….

ගුවන් තොටුපලට යන දවසෙ උදේ බෑග් පැක්කරන අතරෙ පෙම්බරයගෙ අම්ම කතා කරල ඇහුව…

මේ උඩ පැනගෙන ගියාට බඩගින්නෙ ඉන්ඩ වෙයිද දන්නෙ නෑ නගේ… කෑම දෙනවයි නිව්වට කන්ඩ බොන්ඩ පුලුවං එව්වද දන්නෙ කවුද??

නිරෝෂ අක්කත් එහෙම කිව්ව හන්ද මම කොයිකටත් කියල සුපර් ක්‍රීම් ක්‍රැකර් පැකට් එකක් අරගෙනයි තිබුණෙ…

කන්ඩම දෙයක් නැති වුණොත් ඔන්න ඔහෙ ක්‍රීම් ක්‍රැකර් එකක්වත් කන්නං කො අම්මෙ….

මං අම්මට උත්තර බැන්ද

පෙම්බරයයි මමයි කතා කරද්දිත් ඒ ගැන කතා වුණා.

ඔවු කොහොමත් ඔයා එහෙ හැම ජාතියම නං කන්ඩ යන්ඩ එපා.. අපි දන්නෙවත් නෑනෙ මොන වගේ දේවල්ද හම්බ වෙන්නෙ කියල…

ලංකාවෙ ඔය එක එක ව්‍යාපෘතිවලට ඇවිල්ල වැඩකරන චීන්නු ගැන අහල තියෙන කතා එච්චර හොඳ නැති නිසාද කොහෙද පෙම්බරයත් කිව්ව

හැමෝම වගේ බය වුණාට මට නං වැඩි බයක් තිබුණෙ නෑ කෑම බීම ගැන… මං ඉතිං  ඔය කොළ ජාති හෙම වැඩිපුර කනවනෙ…

(අපේ පෙම්බරය කියන්නෙ එයාට සලාද කොළ කන එක එපා වුණාලු මම කන හැටි දැකල)

ඉතිං ඔන්න කොහොම හරි අපි  ශැංහයිවලට සේන්දු වුණා කියමුකො…

එදා දවස වෙනකොට පුහුණුවට සහභාගි වෙන බොහොමයක් දෙනා ඇවිල්ලයි හිටියෙ… ඉතිං හොයි හොයි, මැක්ස්ල සෑම්, අපි ලින්ඩා කියපු යූ ලී කියන අපේ චීන ජාතික මිතුරු මිතුරියන් අපිව රාත්‍රී ආහාර  සූදානම් කරල තිබුණ අපි නතර වෙලා හිටපු හෝටගේම 13 වෙනි තට්ටුවෙ තිබ්බ රොක්සි රෙස්ටොරන්ට් එකට එක්කරගෙන ගියා…  අවන්හලට ගියා.

අපි ගිහින් මේසෙවල ඉඳගත්තාම අපිට ගෙනත් දුන්න කෑම තමයි මේ තියෙන්නෙ.. මේ තමයි අපි චීන රටේදි කෑව පළමුවෙනි කෑම වේල

මෑකරල් වගේම හීනි කරල් රාතියක් තෙම්පරාදු කරල තිබුණ… පෙනුමෙන් අපේ මෑකරල් තෙලට හැදුවම වගේ… රසින් තරමක් ඇඹුල්…

ඒ එක්කම මින්ස් කරපු මස් වර්ගයක් වෙන්ඩ ඕනෙ තිබුණෙ ඒ දීසියෙම… අර ලොකු භාජනේ තිබුණෙ සුප් එකක්, කෝප්පෙ තියෙන්නෙ බත්…

මට ඒ කෑම වේලෙ නං විශේෂ රසක් තේරුණේ නෑ. ඇත්තම කිව්වොත් ශ්‍රීලාංකික අපේ දිව කොහෙ ගියත් හොයන ලුණු මිරිස් රහක් නං ගෑවිලාවත් තිබුණෙ නෑ… ඇඹුල් රහවල් විතරමයි…

ඊලඟ දවසෙ උදේ කෑම අපිට ලැබුණෙත් රොක්සි රෙස්ටොරන්ට් එකෙන්ම තමයි…

උදේ කෑම තිබුණෙ බුෆේ ක්‍රමයට. ගෝවා, සලාද පිපිංඥා, සලාද කොළ කපල දීසිවල දාල මෙයොනීස් සෝස් එක්ක

තව  අපේ පිට්ටු පෙනේර දෙකක් වගේ ඇස් වට්ටි දෙකක් මැද්දෙ දාපු ඩම්පිලිංග්ස්, බුල්ස් අයි , පාන් හා ජෑම් ඕනෙ නම් ඒව, ඒ වගේම චීන ගෝව ජාතියක් සෝයා සෝස්වල දාල තම්බල, දුඹූරු පාට ස්පැගටි, ඒ විතරක් නෙවෙයි කැඳකුත් තිබුණ…. ලංකාවෙ ලුණු කැඳ වගේ.. එකම වෙනස ලුණු නැති එක විතරයි… මං බලාගෙන නිරෝෂ අක්ක කැඳ රහ බලල මූණ ඇඹුල් කරගෙන ගම්මිරිස් කුඩුයි ලුණු යි දෙකම ඉහගන්නව කැඳට…

හැමදාම වගේ උදේ කෑමට අපිට ලැබුණෙ ඔන්න ඔය වගේ දේවල්

මේ තියෙන්නෙ මේසෙ

මම නම් අමු එළවලු කන්ඩ රුසියනෙ.. ඉතිං හැදාම වගේ මං සලාද කොලයි පිපිංඥයි  ගොඩක් මෙයොනීස් එක්ක කෑව..  ඊට අමතරව අර ස්පැගටි දවසක් අර දවසක් වගේ බොහොම පොඩ්ඩක් කෑව. කැඳ නං බිව්වෙ දවස් දෙකක් තුනක් තමයි… ඇයි වදේ ලුණු නැතුව කැඳ බීල වැඩක්යැ..

දවසක්  මං කන්ඩ කිසිම දෙයක් හිතාගන්ඩ බැරුව කැඳ බෙදාගදනිද්දි නංගි අන්න අර සෝස් එකෙන් ටිකක් ඕකට දාගන්ඩකො කියල නිරෝෂ අක්ක පෙන්නුවෙ දුඹුරුපාට දියරයක් දාපු කෙමියක් තියෙන පුංචි භාජනයක්.

මං සැකෙන් වගේ ඒක හරව හරව ඉන්නකොට ආයෙත් එයා කියනව

මං ඕක චීනෙක් කරනව බලං හිටිය. හැබැයි ඒක දාගත්තම නං පොඩ්ඩක් බොන්ඩ පුලුවං තත්වෙට ආව කියල.

ඕනෙ එකක්කියල මමත් දාගත්ත යහමිං

අපරාදෙ කියන්ඩ බෑ ඒක නං රසට තිබුණ….

ඔන්න ඔහොම තමයි අපේ උදේ ආහාරය ගෙවුණෙ…

මමයි තව කීප දෙනෙකුයි ඇරෙන්ඩ වැඩි දෙනා උදේට කෑවෙ පාන් වෙන්ඩ ඕනෙ…

තුන් වෙනි හතර වෙනි දවස් වෙනකොට නං මම දැක්ක සමහරු උදේට තමන් ගෙ වියදමින් පලතුරු හෙම අරන් ඇවිල්ල කනව… උදේ ආහාරය එපාම වෙලා වෙන්ඩ ඇති..

(මේ එකම වගේ දේවල් කාල චීන්නුන්ට එපා වෙන්නෙ නැද්ද මන්ද)

අපේ දවල් ආහාරය ලැබුණෙ අපේ පුහුණුව පැවැත්වුණු ආයතනයේමයි. ජාතික පරපෝෂිත රෝග

පිලිබඳ අධ්‍යයන ආයතනය ඒ ආයතනයෙ ඉගෙන ගන්න හා වැඩ කරන හැමෝටම නොමිලේ ආහාර දෙනව..  මට ඇහුණ විදියට හැම රජයේ ආයතනයක්ම වගේ පාසලක්ම වගේ දිවා ආහාරය නොමුලේ දෙනව.

ඉතින් පුහුණුව පැවැත්වුණ කාලෙ ඇතුලත අපි සියලු දෙනාටමත් දිවා ආහාරය මේ ආයතනයෙන් ලැබුණ.මේ තියෙන්නෙ ඒ කෑම වේලක්…

ඇත්තම කියනව නම් මේ ආහාර වේලට නම් මම ආස වුණා… මිරිස් සැරක් නම් නෑ.. ඒත් විවිධ විදියට ආහාර වේල සැලසුම්කරන්ඩ එයාල හරියට මහන්සි වෙලා තිබුණ..

අපේ භූතාන මිතුරන් දෙන්න නම් මේ කෑමට කලින් කෑම පිඟානෙ ඡායාරූපයක් ගන්න අපේ පුරුද්දට හිනා වුණා…

ඒ  පාර මම මගේ බ්ලොග් එක ගැනයි ඔයාල ගැනයි කිව්වාම එයාලත් ඒක කියවන්ඩ ඕනෙ කිව්ව… ඒත් ඉතිං ඒක මම ලියන්නෙ සිංහලෙන් කිව්වාම එහෙනං අපෙත් ෆොටෝ එකක් ඒකෙ දාන්ඩ කිව්ව. අර ජාතික ඇඳමෙන් සැරසුණු ඒ දෙන්නගෙ ෆොටෝ එක මම අරගත්තෙ එයාලගෙ ඉල්ලීම ඉටු කරන්ඩමයි.

අපේ පුහුණුවෙ පළමුවෙනි දවසෙ රාත්‍රියෙ අපිව පිලිගැනීමේ රාත්‍රී භෝජනය පැවැත්වුණා..

වැඩි ඈතක නෙවෙයි අපි නැවතුණ ආ යී හෝටලේ  ආසන්නයෙම තැනක්…

දහ දෙනෙක්ට ඉඳගන්ඩ පුලුවන් විදියෙ රවුම් මේස තියෙන කුඩා ශාලාවක් අපි වෙනුවෙන්ම ඒ දින හයේදිම වෙන් කරල තිබුණ…  අපි යන හැම වෙලාවකම ඒ මේස හරිම පිලිවෙලට සූදානමි කරල තිබුණ.. ලංකාවෙ හැඳ ගෑරුප්පු වෙනුවට චොප්ස්ටික් කියල තිබුණ එන තමයි වෙනස වුණේ… අපේ චීන මිතුරු මිතුරියන් හැම දෙනාම ඒ හැම මේසයකටම පැතිරිලා ඉඳ ගත්ත… අඩුම ගාණෙ මේසෙක දෙන්නෙක් වත් ඉන්න විදියට… මෙයාල එහෙම කරපු එක කොච්චර හොඳයිද? කොච්චර වැදගත් වුණාද කියල තේරුණේ කෑම බීම මේසෙට ආවාම තමයි.ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම  ඇපිටයිසර්ස් විදියට මේසෙට එන්නෙ කොළ ජාතිළ සලාදයක් ඉස්සො, චිකන් වින්ග්ස් වගේ දේවල් තමයි.. මෙන්න මේවගේ…

හැමෝම ආසියා ශාන්තිකර මැලේරියා තුරන් කිරීමේ ජාලයට හා ජාතික පරපෝෂිත රෝග පිලිබඳ අධ්‍යයන ආයතනයට සුබ පතමින් සවුදිය පිරුව…මෙන්න බලාගන්ඩකො එතනින් පස්සෙ මේසෙට ආපු දේවල්!!මේ තියෙන්නෙ එදායින් පටන් ගත්ත රාත්‍රී පහක් පුරාවට අපේ මේසවලට ආව නානාප්‍රකාර කෑම බීම

ඉස්සෙල්ලාම ආවෙ මෙන්න මේ මාලු බැදුම…

යාන්තං ලුණු මිරිස් රහකට කන්ඩ ඇහැක් වෙයි කියල දාගත්ත පිඟානට දෙකක්…

හපොයි… උන්ව බැදල පැණි දාල නෙව තිබුණෙ

අපරාදෙ කියන්ඩ බෑ හරිම ආස හිතුණ අපිට ඒව දැක්කම… ඔය සුප් එකයි ඊට පහලින් තියෙන කෑමයි දෙකම ගෙඹි මස්….

හොඳ වෙලාවට නේද අපේ මේසවල චීන යාලුවො හිටියෙ…

එයාලට ආවේණික ක්‍රමයටම ආහාර සකස් කරල තිබුණ නිසා වෙන්න ඇති ඒ වගේ දේවල් පවා මේසෙට ආවෙ… එහෙම වුණා කියල අපි කවුරුත් ඒ කෑම පිලිකුල් කළෙත් නෑ…. අනිත් දේවල් නොකා හිටියෙත් නෑ එයාල අපේ කෑම ගැන තියෙන අවශ්‍යතා සෑහෙන සැලකිල්ලකින් හොයල බැලුව.. ඒ වගේම තමයි රටින් රටට ආහාරවල විවිධතා තියෙන බව දන්න නිසාම ද කොහෙදෝ එයාල ඒ විදියට බෙදිල ඉඳගෙන අලුතින් කෑමක් මේසෙට ආව ගමන් එයාල ඒක දිහා බලල හෝ කාල බලල ඒ මොනවද කියල අපිට කියන්න පටන්ගත්ත. මුලින්ම ගතවුණු දවස් දෙකේ දි නම් රාත්‍රී ආහාර වේල ඉවර වෙලා ආපහු හෝටලේට යන ගමන් මම කල්පනා කලේ දැනුවත්ව ඒ වගේ දේවල් මේසෙට ආව නං නොදැනුවත්ව මොනතරම් දේවල් කන්ඩ ඇතිද කියල…

මට පුදුම හිතුණ කලාපයෙන් කලාපයට මිනිස්සු රස කියන දේ ගැන දක්වන විවිධත්වය ගැන…

හැබැයි අප්‍රිය ගතියක් නං ආවෙ නෑ ඒ කිසිම කෑමක් ගැන…එකම එක වතාවක්දි හැර…  ඒත් මම  ලංකාවෙදිත් කාල පුරුදු බීන් කර්ඩ් කන්න ගිහින්.

 මං කිව්වද මන්ද ඔයාලට අපේ පුහුණුවෙ තුන් වෙනි දවස වෙන් වෙලා තිබුණෙ ජංසු පලාතෙ සුශෝ කියන නගරයට ක්ෂේත්‍ර චාරිකාවක් යන්ඩනෙ.. මගේ චීන  පාද චාරිකා ගැන පස්සෙ ලියන නිසා ඒ ගැන වැඩි විස්තර ලියන්නෙ නෑ මෙතන…මේ පලාත හරිම ලස්සනයි. අපි ගියේ ඒ පලාතෙ සෞඛ්‍ය ආයතන කීපයක කටයුතු ගැන අධ්‍යයනය කරන්ඩයි අපේ ජී පී එස් පුහුණුවටයි…

මේ  තියෙන්නෙ එදා අපි දිවා ආහාරය

ඒ මදිවට මේ කට ඇරගෙන ඉන්න මාලුවත් ආවනෙ

මේ පලාතෙ මිනිස්සු ගොලුබෙල්ලන් ආහාරයට ගන්නව… ඒ නිසා හැදෙන Schistosomiasis කියල රෝගයකුත් මේ පලාතෙ තිබුණලු… බොහෙමෙ මෑතතදි තමයි ඒ රෝගය සුෂෝ වලින් තුරන් කරල තියෙන්නෙ.. ඒත් තවමත් මේ රෝගය කවුන්ටි කිහිපයක තියෙනව.

එහෙමත් තියෙද්දි මෙන්න බලන්ඩ එදා විශාල විලක් අද්දර තිබුණ රෙස්ටොරන්ට් එකකදි අපේ රාත්‍රී ආහාරයට මේසෙට ආවෙ මොනවද කියල

තව තිබුණ ජාතියක් මෙන්න මෙහෙම

හා හා කට්ටිය දැන් ඔය කට දෙපැත්තෙන් බේරෙන කෙල පිහ ගන්ඩල… කෑම ජාති පෙන්නල ඉවරයි…

ලියන්ඩ කොච්චර ආසාවෙන් හිටියත් ඹපීසියෙ වැඩ යි, ගෙදර ගියාට පස්සෙ උයන පිහින කන බොන වැඩයි, චිත්‍රපටි බැලිල්ලයි හන්ද අතපහු වෙනව… ඒ අතරෙ දවසට දහය ගානෙ කේක් පෙට්ටිත් හදනව නෙව… මොන වැඩ තිබුණත් දැන් ඉතිං මේ ලියන්ඩ පටන් ගත්ත චීන රටේ සවාරිය ගැන අමතක වෙන්ඩ කලින් ලියන්ඩ ඕනෙ නෙව…

ඕං එහෙනං කලින් ලියමනේ සමහර කමෙන්ටුවලට පිලිතුරු දෙන්ඩ වත් නොයිඳ දෙවෙනි කෑල්ල ලිව්ව ඔන්න

අනේ මන්ද අද පෝස්ට් එක බලල කී දෙනෙක් ආයෙ මේ පැත්තෙ පස් පාගයිද කියල!!!!!!!

ආ…… දැං කට්ටිය අහයි නෙ අර මං  අර මම අරං ගිය ක්‍රීම් ක්‍රැකර් පැකට් එකට මොකද කලේ කියල???

ඒක මම ආපහු එද්දි හෝටල් කාමරේ මේසෙ උඩ තියල ආව..

චීන්නුත් ලංකාවෙ විස්කෝතුවක රහ බැලුවම මක්වෙනවද නැද්ද???

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මගේ චාරිකා. Bookmark the permalink.

35 Responses to චීන රටේ කෑම බීම….

  1. Buru පවසයි:

    මම එදාම හිතුවා ජනු ගෙම්බෝ කාලා ගෙම්බෙක් වෙලා එයි කියලා. දැන් ගෙම්බො නොකාම ගෙම්බෙක් වෙලා නේද?

    අර ගොළුබෙලි කතාව හයි ප්‍රෝටීන් කියලා කනවා නේද?

    ඊයැක්… මම චීන කෑම වලින් කන්නේ ස්පැගති විතරයි. සොයා ස්පැගති හා හාල් ස්පැගති… මම මගේම වර්ශන් එකකට වෙර්මිචෙල්ලිත් හදනවා නිතරම දැන්.

  2. Sandun Nilanka පවසයි:

    නියම ලිපියක්…කෑම ටික දැකල බඩගින්නත් වැඩිවුනා….:D
    ඉතුරු ලිපි ටිකත් දාන්න ඉක්මනට.මතක ඇතුව මාතෘකාවට චීන සවාරිය කියල දාන්න අමතක කරන්න එපා.ගෙඹි සුප් බොන්න හිතුන්නැද්ද ඇත්තටම? 😉

    • හරි හරි… එහෙම කරන්නංකො…. මං මෙහෙන් යද්දි නං හිතාගෙන ගියේ කාගෙන් වත් මොනවද මේ කියල අහන්නෙ නැතුව එන දෙයක් කනව කියල තමයි. ඒත් එහෙම කරන්ඩ තරං හිතේ හයියක් නැති වුණා ගියාම, එක එක විදියෙ දීසි මේසෙට එන්ඩ පටන් ගත්තාම… ගෙම්බො කියල දැනගෙන හිටියෙ නැත්තං මං අනිවාර්යෙයෙන්ම ඕක බීල බලයි… සමහර විට මට ඔය නොකනවා කියල හිතාගෙන හිටපු දේවල් කැවෙන්ඩත් ඇති… අපි කොහොමද හරියටම දන්නෙ ඔය චීන ළමයි ඒ මස් වර්ග හරියටම අඳනනව කියල?? නැද්ද

  3. Sameera පවසයි:

    කොහොම්ද අර ඔලුවත් එක්ක කුකුලා රහද ?

  4. මධුරංග පවසයි:

    චීන ඈයෝ බත් චුට්ටයි නේ කන්නේ.
    අම්මෝ මට මේ සමහර කෑම දැකලා ඔක්කාරෙට ආවා. 🙂

    • එයාල වැඩි තැනක් දෙන්නෙ ප්‍රෝටීන්වලට… කොළ ජාතිත් හරියට කනව…. එයාල කන්න ගියාම මස් වර්ග හා මාලු වර්ග කීපයක් කනව එක වේලට…. සමහර විට හෝටල්වල නිසා වෙන්ඩ ඇති එහෙම සාමාන්‍ය චීන ගෙදරක ආහාර වේලකට ඒ වගේ ඇති කියල මට හිතෙන්නෙ නෑ…. හැබැයි එයාල බත් කන්නෙ හරිම පොඩ්ඩයි…. අපි නෙ සමනල කන්ද වගේ කොත ගහල බත් එකක් කන්නෙ

  5. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ඊඊඊඊඊඊඊඊඊයාආආආආආආආආආආආ……………….. 😛

  6. Buratheno පවසයි:

    හික් හික්.. මමත් ඔය කට්ට කනවා මෙහෙ china town ගිහිල්ලා කෑම තෝරන්න ගියාම.. හොඳ වෙලාවට මෙහෙ ගොළුබෙල්ලො නං හදන්නෙ නෑ (ගෙඹි කරි නං තියෙනවා).. ඒ නිසා දැන් නං ගොඩක් වෙලාවට china town යන්නෙ චීන යාළුවෙක් එක්කම තමා.. 🙂

    හැබැයි නගේ, මයෝනිස් නං එච්චර ගොඩක් කන එක සරීරෙට ගුණ නැතෝ..

    • ගොලුබෙල්ල ඉව්වාම උගේ කන්ඩ දෙයක් නැතුව ඇති එයාල කරන්නෙ අර චොප්ස්ටික්වලින් එකෙක්ව අල්ලගෙන උගේ කටුව ඇතුලෙ තියෙන සාරය උරන එක…. අම්මේ ඔවු කවුරු හරි විස්වාසවන්ත යාලුවෙක් එක්කම යන්ඩ අයියෙ…. මම ලංකාවෙදි නං මයොනේස් කන කෙනෙක් නෙවෙයි.. එහෙ එලවලු තිබුණෙ අමුවෙන් ඒ විතරක් නෙවෙයි ලුණු මිරිස් රසක් නෑ ගෑවිලාවත්… ඒක හන්ද තමයි එහෙදි කන්ඩ වුනේ….

  7. kathandarakaraya පවසයි:

    මේ කොයි චීනේද?

    හරිම දුප්පත් හෝටලයක් වගේ!

    • කකා,
      මේ ශැංහයි චීනෙ… අපි නතර වෙලා හිටිය හෝටලේ එහෙ මෙඩිකල් කොලීජියකට අයිති තැනක් මං හිතන්නෙ ඉතිං ඒ හැටි සැප පහසුකං තිබුණෙ නෑ… හැබැයි සතියක් කරදරයක් නැතුව වැටිල ඉන්ඩ පුලුවං වුණා… අපි කෑම කාපු තැන වුණත් ශැංහයිවල හොඳම රෙස්ටොරන්ට් එකක් නෙවෙයි වෙන්ඩ ඇති…
      මං හිතන්නෙ මට තව සතියක් විතර තිබුණ නං මම ඔය ප්‍රධාන පාරවල් වලින් ඇතුලට හැරි හැරී ගියාම තියෙන නියම චීන පෙනුම තියෙන පාරවල් අද්දර තියෙන චීන කඩවලින් කාල බලනව..ඉන්දියාවෙදි කලා වගේ… ඒ වගේ අත්දැකීම් ලබන්ඩ සතියක් මදි නෙ

  8. සමාදි පවසයි:

    හපෝ… හංසි හොඳින් ඉන්නව නේද?
    ඒක නෙමෙය් මොකද අර සුප් එකට දාපු හැන්ද් මිට ඇතුලට ඔලුව එලියට හිටින්න දාල තියෙන්නෙ?

  9. praveena පවසයි:

    චීන කෑම මතක් කරන්ට එපා අප්පා. දවසක් රෑ එලිවෙනකල් වමෙනේ දැම්මා. ඒ වෙලාවේ නම් හිතුනේ රස මොනවා හරි කාලා නම් තව මැරුනත් මොකද කියලා.. 🙂

    අපි එනකොට කාමරේ තියලා ආපු, ඇපල් වගේ පලතුරු ජාති ගොඩාක් අපි පහලට එනකොට, මෙන්න වැඩකරන කෙනෙක් අරගෙන දුවගෙන එනවා, අපට අමතක වෙලා කියලා.

    මම නම් හැබැයි ගෙම්ඹන්ට ආසයි. කන්ටම නෙමේ. නිකං බල, බලා ඉන්ට.. 🙂

    • හි හි.. මට නං ඒ තරං තදබල අප්‍රිය කමක් දැණුනෙ නෑ.. හැබැයි අර සුෂෝ ගිය දවසෙ බීන් කර්ඩ් කන්ඩ ගිහින් නං මට එපා වුණා… ශැංහයි වල පාරවල් කොච්චර පිරිසිදු වුණත් අර නගරෙ යටින් යන මලවහන නලවල ගඳ එනව.. සමහර විට ඒක උහුලන්ඩ බැරි තරම් තිබුණ අපි හිටපු හරියෙ.. මට බීන් කර්ඩ් එකෙන් ආවෙ අන්න ඒ ගඳ මයි…. තව හරි හරි අත්දැකීම් තියෙනව… හෙමිං හෙමිං ලියන්නංකො පොඩ්ඩි අක්කෙ

  10. නවම් පවසයි:

    හප්පා චීන කෑම නං අරහං. අපේ බිල්ඩිමේ ඉන්න චින්නුන්ගෙ කෑම වෙලාවට එලිවේටර් එකේ යන්න බෑ ගන්දස්සාරෙ.

  11. kathandarakaraya පවසයි:

    චීන කෑම අරහං කියන්නේ ඇයි?

    එහෙනං කොළඹ රටේ තියෙන චයිනීස් ඒවා වහන්න එපායැ?

  12. ගෝල්ඩ් fish පවසයි:

    අප්පා ඇත්තම තමා කෙල බේරෙනවා නේන්නම්…! අක්කා ගොළුබෙල්ලෝ කෑවැයි…?

    චීනෙ තිවුනේ නැද්ද ලංකාවේ කෑම තියෙන රෙස්ටෝරන්ට් එකක්වත්….?

  13. මම නං හරි බයයි නොදන්න කෑම කන්ට..හප්පේ වැරදිලා බලු මස් එහෙම කැවුනොත්…..අනික චීන්නු කියන්නේ…ඔය ජාති කන අයනේ…

    • කවුද දන්නෙ අපටත් එහෙදි කන්න වුණාද කියල… අපිත් නොදන්න අපේ චීන යාලුවොත් නොදන්න කෑමත් තියෙන්ඩ ඇතිනෙ…. මම නං නොදන්න කෑම කන්ඩ බයක් නෑ… ඒත් ඒ මොනවද කියල දැන ගත්තාම අපි සාමාන්‍යයෙන් නොකන දෙයක් නං පොඩි අකමැත්තක් එනවනෙ ඒව කාල බලන්ඩ…. හැබැයි ඉතිං අපි දන්න අපේ රටේ කන දෙයක් වුණත් ඒ රටේදි හදල තියෙන විදිය අපිට ගැලපෙන්නෙ නැති වෙන්ඩ පුලුවන්නෙ… එහෙම වෙලාවට නං ඉතිං දුක තමයි

  14. youngzeezar පවසයි:

    මට නම මර අප්පිරියය් අක්කේ අර කුකුල් ඔලුව දැකල

  15. chathuri mindula පවසයි:

    හපොයි අක්කේ…… ඕවයේ මිරිස් නැතුව ඇති හරියට ජපානෙ වගේ……………………….. අක්කා පොත් කියවනවනේ????????? මළගිය ඇත්තෝ 1 කියෙව්වා නම් දැනගෙනම යන්න තිබුණා……………………………

  16. නිරෝෂා පවසයි:

    “යාන්තං ලුණු මිරිස් රහකට කන්ඩ ඇහැක් වෙයි කියල දාගත්ත පිඟානට දෙකක්…
    හපොයි… උන්ව බැදල පැණි දාල නෙව තිබුණෙ”

    අනේ ඇත්තමයි ඔයාගේ මූණේ හැටි මේ දැනුත් මැවෙනවා!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )