කාලය කෙතරම් නපුරුද/සුන්දරද………??

අපි වෙන් වෙමු අසංක.. අපි දෙන්න ගැලපෙන්නෙ නෑ…කසාද බැඳල අවුරුදු පහක් හයක් ගිහිල්ලත් ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි දෙන්නව තේරුම් ගන්ඩ බැරි නං ඒ විවාහ ජීවිතෙං තේරුමක් තියෙනවද??

ඇගේ මුවින් නික්මෙන වදන් මා සිත දවාලයි…..විවාහයෙන් වසර හතරකට පසුව, වෙන් ව වසන්නට වී වසර දෙකකට පසුව ඈත් මාත් හමුවන්නේ යුග දිවියේ අවසන් තීන්දුව ගන්නටද??

නිමාෂා… ඔයා ඔහොම ගහෙන් ගෙඩි එන්න වගේ කියන්නෙ කොහොමද??? ඔයාට හිතක් පපුවක් නැද්ද?? අඩුම ගානෙ අපි දෙන්න දෙන්නට පණ වගේ ආදරේ කරපු කාලයක් තිබුන කියල ඔයාට මතක් වෙන්නෙවත් නැද්ද???

මට නං ඒව අමතක කරන්ඩ බෑ… කවදාවත්ම බෑ….

මගේ හඬ උස් වන්නේ හද නැගි ආවේගයටයි…

මෙතන බොරුවට බෙරිහන් දෙන්ඩ එපා අසංක…..  අවුරුදු  දාසයක ළමයෙක් වගේ ආදරේ ගැන කතා කරල වැඩක් නෑ අපි දෙන්න… අපි දෙන්න කතා කරන්ඩ ඕනෙ අපි දෙන්නගෙ ජීවිත ගැන…

මං කතා කරන්නෙ අපි දෙන්න එක් වෙලා ගත කරන ජීවිතයක් ගැන…..ආදරේ ගැන……….?? නිමාෂා පොඩ්ඩක් වත් හිතෙන්නෙ නැද්ද අපිට ආපහු අපේ ජීවිතවල වැරදිච්ච තැන ඉඳල පටන්ගන්න තාමත් ඉඩ තියෙනව කියල…???

මගේ හඬ හැඬුමට වඩාත් සමීපය…….

මං කතා කරන්ඩ ආවෙ අපි දෙන්න ගත කරන ජීවිතයක් ගැන නෙවෙයි අසංක… අපි දෙන්න ගෙ තනි ජීවිත ගැන

මට ඔයාගෙන් වෙන් වෙන්ඩ ඕනෙ  නීතියෙන් ම……..  කතා කරනව නං ඒ ගැන කතා කරමු…

තමුසෙට පිස්සුද?? ඇයි මේ කලබලේ දික්කසාද වෙන්ඩ  හදන්නෙ.. හොයාගත්තද වෙන මිනිහෙක්ව… දැං මං හොඳ මදි නේද???

ඇගේ වදන්වල රලුබව ඉවසාගත නොහී මම  මගේ හඬ උස් කරමි… කෑගසමි… බැන වදිමි…

ඇයි තමුසෙ කතා නොකරන්නෙ??? උත්තර දෙනව……………..

ඈ… සුපුරුදු නිහඬවත රකින්නේ මා තව තවත් පීඩාවට පත් කරමිනි… ඈ කියන එකම දේ අප වෙන්විය යුතු බව පමණි……

අවසන පරාජය බාරගන්නට මට සිදුවේ….

ඇයි නිමාෂා……………. දික්කසාද වෙමු කියනව වගේ ඇයි ඔයාට හිතෙන්නෙ නැත්තෙ අපි ආයෙත් එක් වෙමු කියල කියන්ඩ…………..??? ඔයා ඔහොම හිතක් පපුවක් නැති ගෑනියෙක් වුණේ කොහොමද???

ඒවට උත්තර හොයල වැඩක් නෑ……….. අපි දෙන්නගෙ ජීවිතේට අනාගතයක් නෑ……………….!! ඇගේ හඬ ස්ථිරය…. තීරණය කර හමාරය….

ඔන්න ආයෙමත් කතාවක් ලිව්වෙ ඔයාලට මේ සින්දුව අහන්ඩ දෙන්ඩයි…

සොඳුරිය කාලය කෙතරම් නපුරුද

දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන

රැක ගත් ආලය උදුරාගෙන ගිය

කාලයකෙතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්

තනුව ඔබම වී නැලවුණු යුගයක

හද රැඳි ඔබෙ රුව සිහිනෙක වත් නැත

ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය

ලොවට හොරා විලි ලා බිහිකරගත්

වසන්තයේ සඳ මියැදුන සවසක

බෙදා හදාගත් දුකවත් අද නැත

ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය

සමන්ත හේරත් නම් වූ ගේය පද රචකයාගේ අනෙත් සියලුම ගීත රචනාවන්ට වඩා මා ප්‍රිය කරන මේ ගීතය ඔයාල හැමෝම වගේ අහල නම් ඇති…ආයෙ ඒකෙ දෙකක් නෑ…. ඉතිං වචනෙං වචනෙ ගීතයට විවරණ දෙන්න ඕනෙ නෑනෙ…….

මම ගීතයක ඉස්සෙල්ලාම ආස වෙන්නෙ තනුවට… වචන දෙවනියට… එහෙමම කියන්ඩත් බෑ… ඒක ගීතයෙන් ගීතයට වෙනස් වෙන දෙයක්…. මට හිතෙන විදියට නං…. ඊට පස්සෙ තමයි ගීතවල හැංගිලා තියෙනවයි කියල මං විස්වාස කරන මායාමය අදහස් හිතට දැනෙන්ඩ ගන්නෙ…….

මොනවද මේ මායාමය අදහස්…. ???

ඊට කලින් ගීතයට ඇහුම්කන් දීල ඉමුකො නේද??? මෙන්න එහෙනං සින්දුව

මේ ගීතය හොඳින් විඳපු කෙනෙක්ට ගීතයේ සංගීත නිර්මාපකයා වන ප්‍රේමසිරි කේමදාසයන්ගෙ මධුර මනෝහර නාදරටාව හොඳින් හිතේ කාවදිනව… එහෙම වෙන්නෙ මේ ගීතයේ සංගීතය සඳහා ප්‍රධාන සංගීත භාණ්ඩ ලෙස යොදා ගෙන තියෙන වයලීන දෙකක හඬ නිසා. වයලින් පවුලේ තරමක් ලොකු සාමාජිකයෙක් වෙන චෙලෝ එකකුත් වාදනය වෙන බවයි ඇහෙන්නෙ

මෙන්න දැන් මං ලියන්ඩ යන්නෙ මගේ හිතට මේ ගීතය ගැන දැනෙන මායාමය යටි අදහස …..

ගීතය නැවත  අහන්න වෙයි සමහරුන්ට මම මේ කියන දේ තේරුම් ගන්න නම්… ඉස්සෙල්ලාම ඇස් දෙක පියාගන්ඩකො……

දැන් මේ වයලීන දෙක අර මම උඩින් ලියපු කතාවෙ යුවලට උපමා කරගන්ඩකො…..

කතාවෙ ඒ දෙන්නගෙ ගැටුම, වරෙක නැගෙන ආවේගශීලී බව, අනෙකා ඒ අතර තමන්ගෙ මතය වෙනුවෙන් නැගී සිටින්ඩ හදන හැටි, පරාජයට පත් වෙලා බැගෑපත් වෙන හැටි මේ ගීතයේ ආරම්භක හා අතුරු සංගීත ඛණ්ඩ අහද්දි  මගේ හිතේ මැවෙනව……..

මේ වයලීන දෙක වැයෙන්නෙ වරෙක එකිනෙකා පරයමින්, තවත් වරෙක එකිනෙකා පසුපසින්, වරෙක දුකින්, තවත් වරෙක ආවේගයෙන්…..ඒ අතරෙ චෙලෝව වාදනය වෙන්නෙ හරිම ශෝකාන්විත හඬකින්!!!

වැඩි දෙනෙක්ට මේ ගීතය අහනකොට නොදැනෙන ඒ වේදනාව අපේ හිතට දැනෙනව මේ ගීතය මෙහෙම අහද්දි එහෙම ගීතයේ සංගීතය හා ආත්මීයව බද්ධ වුණාම මම මටම අනන්‍ය වුණු අර්ථයක් ඒකට දෙනව……

එතකොට මං ගීතයේ වචනවලට සීමා නොවී සංගීතය තුළින් මට දැනෙන හැඟීමට මුල් තැනක් දෙනව…..

මට හිතෙන්නෙ මේ ගීතයේ සංගීත භාවිතාව ගීත රචනාව ඉක්මවා යන බවක්…..

බලන්ඩකො ඔයාලටත් මං මේ කියන දේ දැනෙයිද කියල???මේ කියන දේම දැනෙන තව ගීත කීපයක් මට තියෙනව….

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා කියන  පණ්ඩිත් අමරදේවයන් ගයන මේ ගීතය හොඳට හඳ එළිය තියෙන රෑක එළිමහනක ඉඳල අහල බලන්ඩකො මං කියනවට….

මගේ හීනයක් තිබුණ.. කවද හරි මේ ගීතය  පෝය හඳ තියෙන දවසක, හැන්දෑවක, වැවක් ලඟ ඉඳන් අහන්ඩ,

විස්වාස කරන්ඩ.. ඒ හීනෙ හැබෑ කරගන්ඩ ලැබුණෙ දැනට අවුරුදු පහකට විතර කලින් අපි අලුතෙන් වාහනේ අරන් අනුරාධපුරේ ගිය වෙලාවෙ…

ගමන් සගයො වුණේ මල්ලියි අම්මයි….

සංගීතය ජීවිතේ වැදගත්ම කොටසක් වෙච්ච හන්ද අපි දෙන්න ඒ පුංචි වාහනේට සවි කරගෙන තිබුණෙ ඉතාම හොඳ තත්වයේ වාදක යන්ත්‍රයක්…….

අම්ම අපිට හිනා වුණේ ඒක වාහනේ වටිනාකමටත් වඩා වටිනවද මන්ද කියල…

කොහොම වුණත් මෙන්න මේ කියන අනුරාධපුර ගමනෙදි හැන්දෑවක අපි දෙන්න කලා වැව අද්දර ගහක් යට වාහනේ නවත්තල පැදුරක් ගහ යට එලාගෙන ඒකෙ වැතිරිලා වාහනේ පසුපස දොර ඇරල තියල  ගමනකදි නිතරම වගේ අපි ලඟ තියෙන අමරදේවයන්ගෙ ගීත එකතුව වාදනය වෙන්ඩ දාලයි තිබුණෙ…

ගීත කීපයකට පස්සෙ එක පාරටම සඳ හොරෙන් හොරෙන් ගීතය වාදනය වුණේ අනපේක්ෂිතව…. ඒ වෙද්දි හඳත් පායලා තරුත් එක දෙක අහසෙ දිලිසෙමින් තිබුණෙ.. මගෙ හිතේ ඒ ගීතය ඇසිය යුතුයි කියල තිබුණ පරිසරය හරිම අපූරුවට එතන මැවිල තිබුණ….

මම මොහොතකට පරිසරයෙන් නැගෙන සද්ද බද්ද අමතක කරල හීන් හුළගෙ අතු පතර හෙලවෙන හැටි බලාගෙන…. ගීතය ඇහුව,

කෙටි වයලින් පහරවල්වලින් ඉස්මතු වෙන රාත්‍රිය උදාවෙද්දි ඇහෙන රැහැයි නාදය, ඉතා අල්පව භාවිත කරල තියෙන තාල වාද්‍ය භාණ්ඩයෙන් හා ඉහල ස්වර වල වාදනය වෙන වයලීන ඛණ්ඩ වලින් මැවෙන සීතල සුළඟෙ කිතිය, හැඟීම් කුලුගැන්වෙන අමරදේවයන්ගේ මධුර ගායනය නිසා හිතට දැනෙන ප්‍රේමාන්විත හැඟීම් හා ගීත රචනාවෙ තියෙන සරාගීබව, අතු පතර හෙලවෙන හඬ, මේ හැමදේම පරිසරය එක්ක බද්ධ වෙලා මමත් පරිසරයත් ගීතයත් එකක් වෙන අවස්ථාවකට පත් වීම තමයි මේ මායාමය හැඟීම්වල කූටප්‍රාප්තිය…………මේක වචන බරගාණක් ලියල පැහැදිලි කරන්ඩ ගියාට වැඩක් නෑ… මට තේරෙනව…මේක ඔයාල අත්දකින්ඩ ඕනෙ දෙයක්…

අමරදේවයන්ගෙ බොල් වී අහුරු, මම කාලෙකට ඉහත ඔයාලට අහන්ඩ දීපු පෙම් රල පතරින්, කියන ගීත එක්ක මගේ මේ හෘදයාංගම බැඳීම තියෙනව,  ඒක රසයකට වඩා මට නම් හදවත පසාරු කරගෙන යන ගතියක්… ශෝකයත් රසයක්ලු නෙ……

දීපිකා ප්‍රියදර්ශනීගෙ පිතු සෙනෙහේ, නන්දා මාලිනීගෙ ඔබයි රම්‍ය සඳ කිරණ , කරුණාරත්න දිවුල්ගනේ ගයන ඔබට වරම් නැති  ඒ වගේ තවත් ගීත කීපයක් විතරයි….

පෞද්ගලිකව මම ගීතයක් හෝ සංගීතය විඳිනව කියල අදහස් කරන්නෙ මමත් නාදයත් එකක් බවට පත් වීමක්!!

ඒක එක්තරා ආකාරයක භාවනාවක් කියල මට හිතෙනව…..

වැඩ කරල මානසිකව වෙහෙසකර දවසක් ගත තරන අපි බස් රථයකට ගොඩවෙලා ගමනාන්තයට යනකල් අහන්නෙ මොනවද බලන්ඩකො???

ඒ වෙලාවට යන ගැවන්විදුලි වැඩසටහන්, එක්කො මිනී මැරුමක් ගැන සිද්ධියක් පසුබිම් වෙච්ච ගැවන් විදුලි නාටකයක්…ගීත හරියට මිනිස්සුන්ගෙ රත් වෙච්ච ඔලුවලට පොල්ලකින් ගහනව වගේ….

මේ දේවලින්  මිනිස්සුන්ගෙ අවුල් වෙච්ච හිත් අවුලෙන් අවුලට පත් කරනව විනා සැනසිල්ලක්, අස්වැසිල්ලක් වෙන්නෙ නෑ…. නේද???

මට මතක් වෙන්නෙ ඉස්සර ගුවන් විදුලි නාලිකා දෙක තුනක් විතරක් තියෙන කාලෙ මමයි තාත්තයි ඉරිද හවස තුනට වෙළඳ සේවයෙ පරණි රසාංග අහන්ඩ බලන් ඉන්න හැටි…..

තාත්ත ලඟ තිබුණ  පැරණි චිත්‍රපටවල මියුරුම ගීත අඩංගු වෙච්ච කැසට් පට අහපු හැටි…. එහෙම සින්දු අහන්ඩ වෙලාවක් වෙන් කරගන්ඩ නං දැං කාලෙ අපේ ජීවිතවල රටාවත් එක්ක හරිම අමාරුයි නෙ…

ඒත් ඉතිං පුංචි හරි වෙලාවක් වෙන් කරගන්ඩ ඕනෙ කියල හිතෙන්නෙ මේ වගේ ගීත ගැන දැනෙන දේ තරමක් ගැඹුරින් කතා කරන්ඩ හිතුනම තමයි…..

කාලෙකට පස්සෙ ඇවිල්ල මොන පිස්සුවක් නටල ගිහින්ද මන්ද කියල හිතුනද???

ලියන්න පොරොන්දු වෙච්ච දේවල් පැත්තක වැල්වටාරං ගහනව මෙතන කියල තරහ ගත්තද???

තරහ ගන්ඩ එපා යාලුවනේ…. මම කාලෙකට ඉහත ලියන්ඩ කියල හිටපු දෙයක් තමයි මේ ලිව්වෙ….

පහුගිය කාලෙ තරමක් බ්ලොග්කරණයෙන් ඈත් වුණාද කියල හිතෙනව…

ඒ කොහොම වුණත් ආයෙමත් පරණ පුරුදු රටාවට හැඩ ගැහෙන්න ඉක්මනින්ම උත්සාහ ගන්නව….

ආ…. අමතක වුණා නෙ පහුගිය අට වෙනිද තමයි මගේ උපන්දිනේ!!
මගේ විතරක්යැ මගේ බ්ලොග් එකෙත් උපන්දිනේ මේ මාසෙ නෙ!!!!

අවුරුද්දක්!!! බ්ලොග් සටහන් හැටක්!!!!

දිගටම බ්ලොග් එක ලියන්ඩ කියල කරදර කරන පෙම්බරයෙක්!!!

ඒ විතරක්යැ

කිසිදා හැබැහින් නොදුටු හැබෑ යාලුවො රොත්තක්!!!!!

අනේ හැබෑට මටත් ගිය කලක්!!!!!

පින්තූරය හොයාගත්තෙ  jefflindsay.com

ගීත නම් http://www.youtube.com/ එකෙන් තමයි… කොහෙද ඉතිං මගෙ හදිස්සයට පෙම්බරයට වැඩේ බාර දෙන්ඩ බැරිවුණා නෙ.. නැත්තං එයා ඔයාලට අහන්ඩ ලස්සනට ඒව උඩුගත කරල දෙනවනෙ

අවවාදයයි: අනේ ගීත අහද්දි වීඩියෝ නම් බලන්ඩ එපෝ!!!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

44 Responses to කාලය කෙතරම් නපුරුද/සුන්දරද………??

  1. praveena පවසයි:

    අප්පච්චියේ අර මුල ටික කියවලා පපුව පුච්ච ගත්තු තරමක්. මොනා උනත්, හරිම අමිහිරි, කටුක දෙයක් තමා එකට හිටපු දෙන්නෙක් ඒ විදියට වෙන්වෙන එක.

    ඒ එක්කම ලස්සන තේරුම තියන සිංදු ගොඩාක්. කමෙන්ට් දාන්ට වෙන්නේ ඒ ඔක්කොම අහලා බලලයි.

    හහ්…ඔය වගේ පෙම්බරයෙකුයි, අපි වගේ යාලුවෝ රොත්තකුයි හිටියොත් නරක් වෙලා හිටීවි….:D

  2. Buru පවසයි:

    කාලයක් තිස්සේ ම මම අහන සිංහල සින්දු වල මේ හැම සින්දුවක්ම තියෙනවා. ඒත් ඔයාගේ කතාවත් එක්ක ආපහු පාරක් ඇහුවම ආයෙත් අළුත් විඳීමක් ලැබුනද මන්දා.
    මම නම් ගොඩාක් වෙලාවට මෙහෙම සින්දු අහන්නේ ගෙදර දොරවල් ජනෙල් ඔක්කොම වහලා ටබ් එකට හොඳ හොට් වෝටර් එකක් පුරවගෙන ඒකට රටේම තියෙන ඔයිල් වර්ගයි ඉන්සෙන්ස් වගේ දේවල් ඔක්කොම හදලා හොඳට පෙන පිරිච්ච වතුරේ බැහැගෙන ඉන්න ගමන් . පැයක් එක හමාරකින් දිව්‍ය ලෝකෙන් ආවා වගේ තමයි. නිතර ස්ට්‍රෙස් අස්සේ ඉන්න මට තියෙන හොඳම මොහොත තමයි ඒ. මාසෙකට සැරයක් නම් මම ඔය තෙරපි එක කරනවා මයි.
    ඔයාගේ වැව ගාව දැනිච්ච හැඟීමම වෙන්න ඕනේ මෙතනත් තියෙන්නේ.

  3. ගෝල්ඩ් fish පවසයි:

    ජනූ අක්කේ ඔයා බ්ලොග් එකේ උපන් දිනේ වෙනුවෙන් දුන්න තෑග්ග නම් නියමයි. සුභ පතනවා අක්කට තවත් ලස්සනට ලියන්න ලැබෙන්න කියලා…!

  4. පැතුම් හර්ෂණ පවසයි:

    ඔක්තෝබර් 24 වෙනිදාට ඔහු නික්ම ගොස් තෙවසරක්…… අක්කාගෙ රසවින්දනය ගැන කියන්න දෙයක් නෑ. නියමයි! සින්දු ගැන වැඩිපුර ලියන්න….
    (ඇයි දැන් ජනූ ළමයාගේ කතා ලියන්නෙ නැත්තෙ?????)
    ජය!!

    • බොහොම ස්තූතියි මල්ලි…කේමදාසයන්ගෙ නිර්මාණවල තිබුනු විශේෂත්වය තමයි ඔහු තනු නිර්මාණය කලේ ගීතවලට… ඒ වචනවල අරුතට ගැලපෙන පරිදි රසවින්දනයට හොඳ අඩිතාලමක් දමල… පදමාලාව කොච්චර බලවත් වුණත් නොගැලපෙන සංගීතය මුසු වුණොත් ගීතය ඉවරයි… හොඳම උදාහරණෙ රූකාන්ත ගුණතිලක ගායනා කරන නෙලන්නට ගිහින් පලවැල කියන ගීතය. මේ ගීතය ඔහු සංගීත සන්දර්ශනවල ගයන විට මිනිස්සු නටනව මම දැකල තියෙනව.. එක අතකට පුදුම වෙන්ඩ දෙයක් නෑ…. මිනිස්සු ජාතික ගීයටත් නටනව නෙ

  5. Ravi පවසයි:

    පිස්සුද හැටිද කිව්වලු…..හෙහ්, හෙහ්,

    උඹටනම් නඟේ මල් තියල වඳින්ඩ ඕනෙ…

    අද අපෙ නිවාඩු දවස…….කාමරෙන් එළියෙ සඳළු තලයෙ මම මේ දැන් ඉන්නෙ….පේන තෙක් මානෙ ගෙවල්……පෙරේදනෙ පාළොස්වක…..හඳ තාම පුරා හඳ තරමටම ලොකුයි….අහසෙ නෑ ආසාවකට වළාකුලක් එහෙම…….ගෙවල් මණ්ඩියෙන් එහා පෙනෙන්නෙ අනන්තය තෙක් විහිද ගිය කාන්තාරෙ….හඳ එළිය කතරට ගලල දිලිසෙනව වැලි තලාවත් එක්කම.

    උඹ දුන්නු ඒ අමරණීය ගීතය ඇහෙනව අමරදේවයන්ගෙ සදාතනික හඬින්….

    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා,
    වළාරොදක සැඟවිලා,
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා,
    අසා සිටිනවා…………….

    අද අහනව උඹේ සිංදු ටික ඔක්කොම……දහස් වරක් ස්තූතියි…..

    මද පමණට මත් වූ සිත,
    සඳෙන් අසයි මෙලෙස සබඳ,
    කතරට පෑයූ පුන් සඳ,
    මගෙ තනියට ඔබ පමණද?,

    • මං දන්නව රවී අයියෙ… උඹ නං ඉතිං සින්දු ටික අතඅරින්නෙ නෑ කියල… දැන් බලපංකො… මං ඔය ගීතය රස විඳපු පරිසරයයි උඹ රසවිඳපු පරිසරයයි හාත්පින්ම වෙනස්… ඒත් අපි දෙන්නම ඒ ගීතයෙන් ලබපු රසය කියන එක උපරිමයි….
      රසය පැහැදිලිවම පුද්ගලබද්ධයි මට හිතෙන්නෙ… ඒ පාර මට වැලි කතරට ඇවිල්ල ඔය සින්දුව අහල බලන්ඩ ඕනෙ වෙලා තියෙන්නෙ…..

  6. හිස් අහස පවසයි:

    සුබ උපන් දිනය්ක් වෙන්න ඕන දෙන්නටම කලින්ම උපන් දිනේ කීවේ නෑ හොර කමට හිටියා නේද ? .

    මමත් කවදාකවත් ඇහුනොත් මිසක්ක ඔය මැරිච්ච සිද්දි අහලා නිකං ලේටික පුච්චගන්නේ නෑ !

  7. //මම ගීතයක ඉස්සෙල්ලාම ආස වෙන්නෙ තනුවට… වචන දෙවනියට…//
    මමත් හිතන්නෙ එහෙමමයි… ඒකයි සමහර ගීත දහස් වතාවක් ඇහුවත් එපා නොවෙන්නෙ… ඒ වගේම තේරුම නොදන්න ගීත වලටත් අපි ආස වෙන්නෙ… මම ඉතාම කැමති ගීතයක් තියනව බෙංගාලි…” ඇක්ල චොලූ රේ ” හරියටම වචනාර්ථය කියන්න දන්නෙ නෑ.. ..( අදහස දන්නව ) ඒත් අහන් ඉන්න පුදුම ආසයි…

    කැමැති නම් අහල බලන්න

    ……….

    හැබැයි අනිත් අතට ගසල් එකක් වගේ දෙයක් රසවිඳින්න වචන තේරෙනවනම් වඩාත් හොඳින් පුළුවන්…

    .

  8. මධුරංග පවසයි:

    උඩ තිබ්බ කතාව කියෝගෙන යනකොට විවහා ජීවිතේ කොච්චර කටුකද කියලා හිතුනා. දෙන්නට දෙන්නා ආදරේ කරලා කසාද බැඳලා අන්තිමේදි වෙන් වෙන්න හොයනවා. දුක හිතෙන සීන් එකක්

    අර සිංදුවට නම් මාත් ලයික් ය. පද මාලාව වගේම තනුව ගායනය මේ සේරම ගානට තියෙන ලස්සන සිංදුවක්.

    අක්කගේ උපන්දිනේ පහු උනා කියලා අපි දන්නේ නෑ ඕං. ඒ නිසා සුබ උපන්දිනයක් වේවා කියලා පතන්නම්. සොරි ෆෝ ද ඩිලේ විෂස් !!!! 🙂

    බ්ලොග් එකේ උපන්දිනේට පෝස්ට් එකක් දාන හන්දා එදාට සුබ පතන්නම් බ්ලොග්කරණයේ අවුරුද්දට. 🙂

  9. පුදුම හිතෙන කථාවකුත් එක්ක ලස්සන සිංදුවක්…..තව ලියන්න…..

  10. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ඇත්තටම භාවනාවක් වගේ හිත දැහැන්ගත කරවාපු ලිපියක් ජනූ. ගීත රසවිඳින්න පුළුවන් තවත් මානයක් පෙන්නලා දුන්නට ගොඩාක් පින්. හරිම අධ්‍යාත්මික ලිපියක්. ඔයාගෙ අතීත මතක ලිපි අතරින් මේ වගේ ලිපිත් ඉඳ හිට ලියවෙනවට මමනම් ගොඩාක් කැමතියි. වැව් ඉවුරේ ඉඳගෙන ඔයා ලබාපු අත්දැකීම අපි එක්ක බෙදාගන්න උත්සාහ කළාට ගොඩක් ස්තූතියි.

  11. Kiri පවසයි:

    ඔය සිංදුව එල කිරි මනෝවිරේකයක්…

  12. Gaveen පවසයි:

    අවුරුද්දකට සටහන් 60ක් කියන්නේ ලොකු දෙයක්. වැඩියෙත්ම, කෙනෙකුට කියවලා රස විඳින්න පුලුවන් අපූරු සටහන් නිසා. මට සටහන් 60ක් එක බ්ලොග් එකක ලියන්න අවුරුදුම හයක් ගියා නේ. 🙂

  13. abeetha පවසයි:

    උඩ සිංදුවත් එක්ක යන තවත් ලස්සන සිංදුවක් තමයි ක්‍රිශාන්ත එරන්දකගේ ඉක්මන් නොවුනා නම් අපී ගීතය…

    ගීත ගැන නම් මගෙත් තියෙන්නේ මේ වගේ අදහසක්…..

    වසරට සුභ පැතුම්

  14. Nisupa පවසයි:

    අක්කටයි බ්ලොග් එකටයි දෙකටම සුභම සුභ උඅපන්දිනයක් වේවා..
    මගෙත් සංගීතය කියන්නෙ ජීවිතේ ලොකු කොටසක්

  15. praveena පවසයි:

    සුබ උපන් දිනයක් තිබුනා කියලා කවුරුත් කීවේ නෑ…:(
    කේක් දෙන්ට වෙයි කියලා වෙන්ට ඇති…:((

  16. Buratheno පවසයි:

    ඇයි බං නගේ, අමර‍දේවගෙ ‘සඳ තරු නිහඩයි ගහකොළ නිසලයි’ සිංදුව.. ඒකත් ඔය වගේම මහ රෑ ලයිට් ඔක්කෝම ඕෆ් කරගෙන අහන්ට පුළුවන් නේ.. ‘බොල් වී අහුරු’ කියන්නෙත් මගෙ favම එකක් තමා, අර කියන්නා වගේ ඒක අහනකොට හරියට හදවතේ බිත්ති බෝතල් කටුවකින් පහුරුගානවා වගේ..

    පලි: ටික දවසකට පස්සෙ යාන්තං බ්ලොග් පැත්තෙ එන්ට පුළුවන් වුනා.. Happy belated B’day එකක් වේවා..!!

    • හානේ බූරයිය ආයෙත් ආව එක හරිම සතුටක්…. ඇත්ත තමයි.. සඳ තරු නිහඬයි කියන්නෙත් මගේ ලිස්ට් එකට දාන්ඩ පුලුවන් එකක් නේන්නං…දැන් බලන්ඩකො මගේ ලිස්ට් එකෙත් වැඩි පුර තියෙන්නෙ අමරදේවයන්ගෙ ගීත නෙ… ඒ ගේයපදවල ගැබ් වෙච්ච පරිසර වර්ණනා ජීවමාන වෙනව සංගීත භාවිතාව නිසා
      බොල් වී අහුරු ගීතය ගැන ඉතිං කවර කතාද…. ඔයා කියන්න වගේ බෝතල් කටුවකින් හීරෙනව වගේ තමයි දැනෙන්නෙ….ඒක දවස ගානෙ ඇහුවත් එහෙම තමයි….

  17. TG පවසයි:

    සුබ උපන්දිනයක් ජනූ .කොයිතරම් දෙයක්ද ආයෙත් ලියන්න පටන්ගත්තු එක .කීප දවසක්ම හදිසියෙන් මෙහෙට හොට දැම්ම ඒත් පරණ පොස්ට් තමා කියෙව්වේ .

    අර වෙලඳ සේවෙ කියද්දි මතක්වුනේ . ගොඩක් රේඩියෝ චැනල් නොතිබ්බ ඒ කාලේ ස්වදේශීය සේවයේ සමහර වැඩසටහන් පටන්ගත්තු තේමා වාදන මතකද ? ධීවර වැඩසටහන් , ගොවි වැඩසටහන් ,ලමා උපන්දින සුබ පැතුම්
    , හරියටම මද්දහනේ ප්‍රවෘති ඉවර වෙලා අමරදේව මහත්තයා ගායනාකෙරුව “සබ්බ පාපස්ස අකරණං “.ඒවා නිකන් හීනෙන් ගෑව සුවඳක් වගේ අදත් ඇහුනොත් මට අවුරුදු විස්සක් විතර එහා අතීතෙට යන්න පුලුවන් . දැන් රේඩියෝ චැනල් වල නැත්තෙත් ඒක . ටිකක් එහෙම ගතියක් තියෙන්නේ ගෝල්ඩ් එෆ් එම් විතරයි .
    හැබෑටම කාලය කොයිතරම් නපුරුද ?

    • වැඩ රාජකාරි වැඩි වුණාම අක්කෙ ලියන්ඩ තියෙන ආසාවත් අකා මකා යනව… හිත නිදහස් නෑ රාජකාරි මට්ටමේ වැඩ දෙක තුනක් හන්ද… ඉතිං වෙනද වගේ කමෙන්ට්වලට පිලිතුරු ලියන්ඩ වුණෙත් නෑ… ඔයා කියන්න වගේ ඒ තේමා වාදන අදටත් ඇහෙද්දි මොකද්දෝ මන්ද අමුතු හැඟීමක් ඇතිවෙනව.. අවුරුදු ගාණකට එහා අතීතෙට ගිහින් ඒ වගේ ජීවත් වෙන්ඩ පුලුවන් නම් කියල දුකකුත් ඇති වෙනව… මම රූපවාහිනියෙන් ගැවන් විදුලියෙන් ඈත් වුණේ විශ්වවිද්‍යාලෙ ආවට පස්සෙ… දැන් නම් විහිලුවටවත් ඒ දිහා බලන්නෙ වත් නෑ..

  18. Giza පවසයි:

    සුභ උපන්දිනයක් වේවා ජනු….!!!

  19. ජීවිතේ මල් පවසයි:

    රවි අයියයි පාර කිව්වෙ. සා සා මේ තරම් ලස්සන සටහනක් මට මහ හෑරිලනෙ 😦 අද සිට පන්නමි 🙂
    ජය

  20. නවම් පවසයි:

    නිමාෂට මං කැමතියි ! කෙනෙක් තවත් කිසිම කෙනෙක් වෙනුවෙන් දුක් විඳින්න කැමති නෑ ඒ දුක සතුටක්ම වෙන්නෙ නැත්නම්.

    ඊට පල්ලෙහායින් ලියාපු දේවල් ගැන ආයෙ කියන්න වචන නෑ.
    සුභ බ්ලොග් උපන්දිනයක් ජනූ.

    • මොකක්දෝ හේතුවකට මට නිමාෂා ගැන අයිය ලියල තියෙන කතාව දැක්කම මතක් වුණේ නිලාර් එන් කාසිම්ගෙ මෙන්න මේ පදටික… ගයන්නෙ නිරෝෂා විරාජිනී..
      ඔබ ගියාම දුක මට දී
      ඔබ ගියා කියා නොසිතේ
      ඔබ ගැනම සිහින පුරමී
      දුක තුළද ඔබම දකිමී

      බොහොම ස්තූතියි සුබ පැතුමට….!

  21. Manogi පවසයි:

    Sorry for writing this in english. This is the first time I ever writing something. This story made my heart aching, as this was my real story but it happened other way around. Anyway thank you for maintaining this blog. I accidentally came through this and now started going through from the begining.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )