චූටි පුතා.. නැගිටින්ඩ නැගිටින්ඩ…. අපි ගිරිඋල්ලට ආව….
අම්මගෙ හඬට මං ඇස් යාන්තං ඇරල වාහනේවීදුරුවෙන් එළිය බැලුව…
අපි නිට්ටඹුවෙ ඉඳල ආව බස්එක ගිරිඋල්ලෙ පාලම පහු කරමින් තිබුණෙ….
අනේ චූටි පුතේ…….. මට මල්ලිවයි ඔයාවයි දෙන්නම වඩාගෙන බහින්ඩ බෑනෙ… නැගිටින්ඩකො හොඳ පුතා වාගෙ….
මගෙ ඇස් ආයෙමත් පියවෙන්ඩ එන බව දැනිලද කොහෙද අම්ම කිව්ව.
මං ඇස් හෙම අතිං පොඩි කරල නිදිගැට ඇරල බහින්ඩ සූදානං වුණා…..
මම අම්ම අතේ තිබුණු ලොකු බෑග් එකක් අරගෙන අම්මට මල්ලිව වඩාගෙන බහින්ඩ උදව් වුණා…
ගිරිඋල්ලෙන් බැහැපු අපි නාරම්මල අතට යන බස් එකකට ගොඩ වෙද්දි උදේ මල්දෙනියෙන් එද්දි දැනිච්ච දුක තුනී වෙලා ගිහින්….
.ගමනෙ තෙහෙට්ටුව දැනුණ වුණත් මුතුගල ගෙදර දකින්ඩ, කිරිඅම්මයි අත්තයි බලන්ඩ, තාත්ත එක්ක සෙල්ලං කරන්ඩ ආසාවක් එකපාරටම හිතට එන්නෙ ගිරිඋල්ලෙදි තමයි….
එතන ඉඳන් ඉන්නෙ මුතුගල ගෙදර ලඟින් බහින්නෙ කොයි වෙලේද කියල තමයි ඔන්න….
ඊටත් වඩා ගෙදර ලං වෙන්ඩ වෙන්ඩ දැනෙන නොයිවසිල්ල, වටේ පිටෙන් හමන සුලගෙ පවා දැනෙන ගමේ සුවඳ….!
අම්මෙ, අපි කොහෙද මේ ඉන්නෙ?
හොඳවයිං නින්දක් හෙම නිදාගෙන ඇහැරිලා මල්ලි අහනව… .
තව ටිකකිං අපි ගෙදර ලඟ බහිනව පුතේ … අනේ ආයෙ නිදාගන්ඩ හෙම එපා…..
අම්මෙ අත්ත මගෙ ඔන්චිල්ලාව ලෙහල ඇතිද??
අවුරුදු නිවාඩුවට මුතුගල අත්ත මිදුලෙ අඹ ගහේ බැඳල දුන්න ඔංචිල්ලාව මලයට මතක් වෙලා තියෙන්නෙ දැන් තමා…..
නෑ පුතේ අත්ත එහෙම කරන්නෙ නෑනෙ… දැං පුතාල එනකල් බලාගෙන ඇති…..
මල්ලි………! අපි ගිහිල්ල බයිසිකල් පදිමු.. මං එහෙම කියන්නෙ මගෙ රතු පාට පුංචි චොපර් බයිසිකලේ මතක් වෙලා…
කොහුමෝල ලඟ බැහැගන්ඩ… කොහු මෝල ලඟ බැහැගන්ඩ….
කොන්දොස්තර මාම කෑගහද්දි අපි බස්එකෙන් බහිනවට වඩා පනිනව…
හා හා… හොඳට දෙපැත්ත බලල පාර පයින්ඩ… කෝ දෙන්නම මාව අල්ලගන්ඩ….
අම්මගෙ අතේ එල්ලිලා අපි පාර පැන්න….
ආං…. අත්ත බලං ඉන්නව….
කඩේ මිදුලෙ පේරගස් හෙවනෙ සිමෙන්ති කැටේ උඩ ඉඳගෙන අත්ත අපි එන මග බලාගෙන ඉන්නව දැකපු මල්ලි කෑගැහුව…
අත්ත නැගිටිනව දැකල මල්ලි දුවන්ඩ ගත්ත….
බලාගෙන සුදු පුතේ පාරෙ බයිසිකල් හෙම එනව…… අම්ම කෑගහන්නෙ හිතේ බයට…
එහෙං උදේම එන්ඩ ඇති නේද ලමයො??
දුවගෙන ඇවිදින් කඩුල්ල පැන්න මල්ලිව වඩාගෙන අත්ත අම්මගෙන් අහනව..
ඔවු තාත්තෙ නැත්තං මේ වෙලාවට එන්ඩ වෙන්නෙ නෑ… කෝ අම්ම??? කඩුල්ලෙ උණ බට එහාට කරමින් අම්ම ඇහුව
ආං කුස්සිය දිහා හිටියෙ… ආප්ප හදන්ඩ පිටි හෙම අනාගෙන බලං ඉන්නෙ ඔය….
අත්ත එහෙම කියල අම්මගෙ අතේ තිබුණු මල්ලක් එල්ලගත්ත…
ආ…. නියමායි…. අද ආප්ප කඩයක් දානව!!!!! අත්ත ඉතිං අපි නැතුව පාලුවෙං හිටියද???
නැත්තං???
අත්ත මගෙ ඔංචිල්ලාව ලෙහුවද???
මල්ලිට ඉතිං කොහෙ වුණත් ඕනෙ වෙලාවක ප්‍රශ්න මල්ලක් තියෙනවනෙ දිගාරින්ඩ
නෑ පුතේ අර තියෙන්නෙ… කෝ ඉතිං පදින්ඩ හිටියැයි මෙහෙ…. ඇයි මල්දෙනියෙ අත්ත බැඳල දුන්නෙ නැද්ද එකක් එහෙදි??
මේ ලමය එහෙදිත් කළේ ඕකම තමයි තාත්තෙ…..එහෙත් මිදුලෙ ජම්බුගහේ එකක් බන්දව ගත්තෙ…. අම්ම කිව්ව
හා……….. මං යනව ඒක පදින්ඩ…..
මේ මේ….. දැං ඇඟ හෝදන්ඩ ඕනෙ… ඇයි කිරිඅම්ම බලන්නෙ නැද්ද???
අම්මගෙ කටේ බලේට මල්ලි ආපහු හැරෙන්නෙ වැඩි කැමැත්තකිං නං නෙවෙයි…
කට්ටියම බෑග් මලු සේරම අලුත් ගෙදරින් තියල පරණ ගෙදර පිටිපස්සෙ කුස්සියට යන්නෙ කිරිඅම්මව බලන්ඩ…
අප්පේ ආවද දුවල???
ආප්ප පිටි ඒදන්ඩ පොල් ගාන ගමන් අපිව දැකපු කිරිඅම්මගෙ හිනා කටයි!!!
මං මේ කේතලෙත් ලිප තියලමයි බලාන උන්නෙ… මහන්සි නැතෑ… තේ ටිකක බීල ඉමුකො…
ආච්චි අම්ම හිරමනෙන් නැගිටල තේ හදන්ඩත් ලැහැත්තිය…
නෑ අම්මෙ…. අපි ඇඟ හෝදනෙම එන්නංකො….
අනේ ……!! ආච්චි අම්මෙ බඩගිනියි….
ආං අර කූඩෙං වහල වැලිතලප ඇති… ඊයෙ රෑට පිට්ටු හැදුවනෙ….මං ඉතුරුවයිං වැලිතලප ටිකක් හැදුව..
කමු කමූ….. මල්ලි දුවනව..
ඇඟ හෝදගෙන ඉන්ඩ සුදුපුතේ…
ඔන්න ඔහෙ කාපුදෙං දුවේ…. පස්සෙ ඇඟ හෝදවමු…
ආච්චි අම්මට දුක හිතිල මල්ලිට වැලිතලප කෑල්ලක් අරන් දෙනව….
මමත් හෙමිහිට කූඩෙ උස්සල වැලිතලප කෑල්ලක් අරන් මිටි බංකුවෙ ඉඳ ගන්නව…
ඕන්න එහෙනං පොරොන්දු ප්‍රකාර මුතුගල විත්තිත් ලියන්ඩ පටං ගත්ත…. දැං ඔය මල්දෙනියෙ විත්ති අහන්ඩ ඇවිල්ල මෙහෙ පැලපදියං වෙච්ච ඈයො සේරමල මුතුගල විත්තිත් ආසාවෙං කියවයි කියල හිතනව…
ආ……. තව ඩිංගෙං අමතක වෙනව නෙ…… අද මේ මුතුගල විත්ති ඉස්සිස්සෙල්ලා පටංගත්ත දවසෙ මං පැණයට පිලිතුරු තරගයක් තියෙනව…
මේක තමා පැණය
අපි දෙන්න ඒ කිව්වෙ මල්ලියි මමයි මල්දෙනියෙ අපේ අම්මගෙ දෙමව්පියොයි මුතුගල තාත්තගෙ දෙමව්පියොයි වෙන් කරල අඳුන්නල දෙන්නෙ කොහොමද??? මොන නම්වලින්ද??
පිලිතුරු දෙනු රිසි බ්ලොග් වාසී ඔබ සැමගේ පිලිතුරු යොමුකරන්න….
දැං කට්ටිය බලාගෙන ඇති නෙ මොනවද තෑග්ගට හම්බ වෙන්නෙ කියල…..
ඒක විශේෂ තෑග්ගක්…. ඒ කියන්නෙ මේ…. එක්කොත් කියන්ඩ බෑ…..
කිව්වොත් අගේ අඩු වෙනවනෙ….
ඒ හන්ද උත්තර දීල දිනන්ඩලා….. දිනලම බලන්ඩලා…..
අද පින්තූරෙ හම්බ වුණේ මෙන්න මෙතනින්
Jdslanka.org
එහෙම බෑ. මුලින්ම තෑග්ග දැනගන්න ඕනෙ! ඔන්න ඉතින් මංගල ආරාධනා පත්‍රයක්වත් තෑග්ගට දෙනවා කිව්වොත් සලකල බලන්න පුළුවන් 😀
ආච්චි අම්මා කියන්නෙ තාත්තගේ අම්මට, ආත්තම්මා කියන්නෙ අම්මාගෙ අම්මට
සීයා කියන්න තාත්තාගේ තාත්තට අත්තා කියන්න අම්මගේ තාත්තට!
තෑග්ග ගැන කියන්නෙ පස්සෙ මලයො… හරිද කියල බලමුකො අපි ඔයාගෙ උත්තරේ….
එහේ අත්තයි මෙහේ අත්ටයි
අල්ලපු අත්තයි පය ගහපු අත්තයි
අත්තයි මුත්තයි නත්තයි පනත්තයි කිරිකිත්තයි
ඔන්න, ඔන්න කෑමවලින් අපේ හිත් අයින් කරන්ට එතනට ප්‍රශන්යක් ගෙනාවා නේද?…:D
මල්දෙනියේ ආතා, සහ ආච්චි අම්මා
මුතුගල අත්තා සහ කිරි අම්මා
හැබැයි ඔයා මුතුගල කිරි අම්මා සමහර තැන්වල් ‘ආච්චි අම්මා’ විදියටත් සඳහන් කරලා තියනවා.
තෑග්ග එවන්නේ ඊමේල් එකකින්ද? …:)))
අක්කාගේ පිලිතුර වැරදියි. ආතා කිව්වොත් ගෑනු කෙනාට කිරිඅම්මා කියලා කියන්නෝන.
හොද උත්සහයක්. 🙂
ඔවු අක්කෙ.. ඒක හරියට අර අපි මල්දෙනියෙ ඉඳල ආච්චි අම්ම කියල පුරුදුවෙලා මුතුගල ආවම එහෙ කිරි අම්මටත් ආච්චි අම්ම කියනව වගේමයි… මෙතනදි නං මට වැරදිලාම තමයි එහෙම ලියවුණේ…. හදන්ඩ ගියෙත් නෑ ඕං.. මගේ පරණ පෝස්ට් එකක උත්තරේ ගෙඩි පිටිංම තියෙන හන්ද
මේ යන විදියට තෑග්ග ඔයාට එන්ඩ බැරි නෑ ඕං….
හප්පා දැන්මම උත්තර දිලා ඉවරනේ, අපිට තෑගි නෑ 😦
මොනා වුනත් ගමේ කතා නම් මරු නේද, ඇත්තටම ගක හුලගේ තියෙන සුවද කියලා නිමකරන්න බෑ, මම නම් ඒකට ගොඩක් ආසයි.
බූඩි, බොහෝම ස්තූතියි මේ පැත්තට ආවට… කොළඹ ඉඳල ගමට කිට්ටු වෙන කොට දැනෙන ගමේ සුවඳ හරි පුදුමයි!!!
රයිටෝ… ඔන්න මමත් ආවා විස්තරේ බලන්න…
ආ සෝරොත් ඇවිල්ල තියෙන්නෙ… ඔය අස්සයව අර ගේ ඉස්සරහ පේර ගහේ දිගේලි කරල ආවනං ආප්පයක් කාල යන්ඩ
අර පස්නෙට උත්තරයක් දීගන්න මම් තාම හිතනවා. බලමු කමෙන්ට් එක අගටවත් උත්තරයක් දීගන්න පුලුවන් වෙයිද කියලා. අර වැලිතලප කිව්වම මගේ කටට කෙලත් ඉනුවා. ඒ තරමටම මම් වැලිතලප කන්න මනාපයි නෙව.
නිට්ටඹේ ඉදලා ගිරිඋල්ලට එන ගමන නම් නියමයි. මාත් එක වතාවක් ඔය පාරෙන් ඇවිදිල්ලා තියෙනවා.
මල්දෙණියේ අත්තා, කිරියම්මා
මුතුගල අත්තා,කිරියම්මා
ඔහොම කිව්වොත් පටලැවෙන්නේ නෑ මයේ හිතේ. ඔන්න අක්කා තෑග්ග මට නේද. මම් හොදසූට් එහෙකුත් ඇද ගත්තා තෑග්ග ගන්න එන්න. 🙂
හපොයි!! පොඩ්ඩි අක්කට පූචානං දොඩවල ඔය දීල තියෙන්නෙ වැරදි උත්තරයත් ගෙඩි පිටිංම.. අපරාදෙ නෙව අලුත් සූට් එක??? දැං මක්කද කරන්නෙ???
ඉතින් අක්කෝ අලුත් සූට් එකක් අන්ද එකටවත් සැනසිලි තෑග්ගක් දෙන්න බෑ ද ? බැයි ම නම් මම් ආප්ප තුන හතරක්ම කනෝ. ආයේ ඉතින් කාගෙන් තහංචිද. හික් හික් 🙂
මල්දෙණියේ ඉන්නේ ආච්චි අම්මයි ආතයි
මුතුගල ඉන්නේ කිරිඅම්මයි අත්තයි
හි හි…..
මෙයානං හොඳ ටීච කෙනෙකුට තමයි. පරණ පාඩම් මතක නැති බබාලට ආපහු මතක් කරගන්න හරි හරි දේවල් තමයි මේ ටීච කරන්නේ.
හ්ම්…වැලි තලප වලට මාත් පෙරේතයි නේ.
උත්තරනම් හිතාගන්න බැරියෝ..
මගේ පරණ පෝස්ට් එකක උත්තරේ දීලම තියෙනෝ!!!
වැලිතලප? ජනු ලෙඩ බෝ කරන්නද හදන්නේ මෙතන අහිංසක මට?
මට පොඩි කාලේ ඔන්චිලි පදින්න බෑ. පොඩ්ඩෙන් ඔළුව කැරකෙනවා. ඒකටත් එක්ක දැන්…
( දැන් ඔළුවක් නෑ නේ…)
මේ කෑම බීම මතක් කරල මං බැනුං අහල කෙලවරක් නෑ නෙව… ඔලුවක් නැත්තං ඔංචිලි පදිද්දි කැරකෙන්නෙ මොකද්දෝ???
අය ඒ පාර පැණ විසඳුමක් පටන් ගත්ත…..
උත්තර කලින් දීල තියන නිසා මම මොකවත් කියන්නෙ නෑ……මම කාලෙකට ඉස්සර වැඩ කරපු පොළොන්නරුවට කිලෝමීටර් විස්සක් වගෙ එපිට පැත්තෙත් තිබ්බ මුතුගලක්,
අනේ අනේ අයියෙ උඹ පරදිනවට බයේ නේද උත්තර නොදී අරින්නෙ..
මට මතක් වෙන්නේ
මල්දෙනියේ සිමියොන්
සහ
තියෝබෝල්ඩ් මුතුගල පමණි!
හි හි… කටන්දර අයියටත් අර රවී අයියට වගේ මල්දෙනියෙ සිමියොං මතක් වෙලා තියෙන්නෙ.. වැඩේ තියෙන්නෙ මේ මල්දෙනියටයි මුතුගලටයි ඔය දෙන්නගෙම සම්බන්ධයක් නැති එක නෙ…
මාත් අලව්වෙ, ගිරිඋල්ලෙ එහෙම ඉස්සර වැඩ කරලා තියෙනවා. කතාව කියෝන ගමන් ඒ අතීතයටත් ගියා
හැබෑට ඔබා මාමෙ??? ගිරිඋල්ලෙ වැඩ කළා කිව්ව… එහෙනං අපෙ ගෙවල් කිට්ටුවම නෙ ඉඳල තියෙන්නෙ….
ඔයා ඉපදිලත් නැද්ද මන්ද එතකොට, ප්‍රය්වෙට් බස් දුවන්න යාන්තං පටන් ගන්න කාලේ, ඔයාලගෙ පාරවල් වල ලංගම බස් දිවෙව්වෙ, ගිරිඋල්ල ඩිපෝවෙන්. ඒ කාලේ මං ගිරිඋල්ලෙ ඩිපෝවෙ වැඩ කලේ. අපිත් එක්ක වැඩ කරපු එක්කෙනෙක්, දැනට ගිරිඋල්ල බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ රිසෙප්ෂන් හෝල් එකක් එක්ක එහෙම තියෙන, තට්ටු තුනක විතර හෝටලයක් කරනව. හෝටලේ නම “දේශක හෝටලය” වගේ යන්තමට මතකය්.
පස්සේ කාලෙක මං අලව්ව ඩිපෝවෙත් වැඩ කළා, ඒ කාලේ අවිස්සාවේල්ල, කරවනැල්ල, දෙහිඕවිට, වගේ පැති වලටත් ඒ ඩිපෝවෙන් බස් දිව්වා.
ඒ කියන්නෙ, මල්දෙනිය පැත්තටය්, මුතුගල පැත්තටය් දෙපැත්තටම සේවය කරලා තියෙනවා. ගිරිඋල්ල, නාරම්මල සහ අලව්වේ ඉන්න යාළුවො බලන්න අපි දෙන්න ලංකාවට ආවම යනවමය්, කුරුනෑගල යන ගමන්.
ඔන්න අපිත් මල්දෙණියෙන් මුතුගලට අවා කියමුකො බලන්න මුතුගල කථා ටිකත් රසකරලම… 😀
මං අම්ම එක්ක හක්මන ආචිචිලැයිඅහ ගියා වගේ හිතුනෙ. මොහොම ස්තූතියි ජනූ ! ලියන්න අපුරු හැකියාවක් තියෙන්නෙ.
පැණයට පිළිතුර විදියට මට නම් හිතෙන්නේ ආච්චි අම්මටයි සීයටයි කතා කරන විදිය කියලා.
උත්තරේ හරිනම් වෙන මුකුත් එපා වැලිතලප කෑල්ලක් එවන්ඩ. මතක් වෙද්දීද් කටට කෙල පිරෙනවා.