මල්දෙණියට සමුදෙමු…!!!

හෙට උදැහැනැක්කෙම පිටත් වෙනවද ලොකු දුවල??

පාන්දර බුලත් කොරටුව පැත්තෙ ගිහින් කකුල්වල මඩ පිහ පිහා කුස්සිය පැත්තෙං ගෙට ගොඩ වුණ ආත ඇහුවෙ අම්මගෙන්…

ඔවු තාත්තෙ… උදෙන්ම ගියොත් ලේසි නෙ… බස් පහක යන්ඩත් එපැයි….

එහෙනං ඔය ඉඳිආප්ප ටිකක්වත් තම්බන්ඩවෙයි උදෙං දුවලට කාල යන්ඩ… නැත්තං ආයෙ දවල්ට කන්ඩ වෙන්නෙ නෑනෙ….

ආත එහෙම කිව්වෙ හිරමනේ උඩ ඉඳගෙන උදේ කෑමට පිට්ටු හදන්ඩ පිටි අතගාන කිරි අම්ම දිහා බලල…

බැරියැ ඒක නං…. අර සීමොං ගොයියට කියන්ඩ වෙයි අද හවස් අතේම…. නැත්තං  ඔරුව දාල උන්දැ කොහෙ හරි ගිහිං හිටියොත්  වෙලාවට ලක්රාණි අල්ලගන්ඩ බැරි වෙයි…..

ආච්චි අම්මෙ බඩගිනියි…. මල්ලි ඇඳෙන් බැහැපු ගමන් ඇස් පිහදම දමා කුස්සියට එනව…

පිට්ටු හදනවනෙ පුතේ මේ…. තව පොඩ්ඩක් ඉන්ඩකො…

මොනවද ආච්චි අම්මෙ පිට්ටු කන්ඩ හදන්නෙ….?

අපි හදමු කිරි හොද්දකුයි  හොඳ ලුණු මිරිසකුයි උම්බලකඩ හෙම දාල…

අපෝ!! මම නං කන්නෙ සීනියි පොල් කිරියි එක්ක…. ලුණු මිරිස් මතක් කරනකොට මල්ලි කිව්ව…

ආච්චි අම්ම පිටි ටික කැටි කරල මැටි කොරහෙ වතුර පුරවල ඒකෙ දාල තිබ්බ පිට්ටු බම්බුව අතට අරන් වතුර බේරෙනකල් අල්ලගෙන හිටිය….

ඊට පස්සෙ පිට්ටු බම්බුවෙ පතුලට දාන හිල් විදපු ටින් පියන දැම්ම බම්බුව ඇතුලට….

පිට්ටු කැටි තියෙන ඇලුමිනියම් කොරහට ලංකරල හෙමින් සැරේ පිට්ටු බම්බුවට පුරවන්ඩ ගත්තෙ ඊටත් පස්සෙ….

අනේ ආච්චිඅම්මෙ මාත් පුරවන්නං…. ?

බලං ඉඳල ආසාවට  මං ඇහුව

බෑ පුතේ පුතාට පුරවන්ඩ…. පිට්ටු ටික තද වෙන්නෙ නැතුව මල් වගේ තියෙන්ඩ ඕනෙ නැත්තං තැම්බෙන්නෙ නෑ… තව ලොකු වුණා ම දෙන්නංකො….

ආච්චි අම්ම පිට්ටු පුරවපු බම්බුව අරන් නැගිටල ලිපේ තියල තිබ්බ වතුර මුටිට්යෙ කට උඩින් පිට්ටු බම්බුව තිබ්බ…

කෝ එහෙනං දෙන්ඩ මට ලූණු සුද්ද කරන්ඩ…

හා එහෙනං සුද්ද කරන්ඩකෝ…. ඕං මං දෙපැත්ත කපල වතුරෙ දාල ඇත්තෙ…

මං පුංචි මැටිකෝප්පෙ මගෙ දිහාවට ඇදල අරන් ඒකෙ දාල තිබුණ ලූණු ටික සුද්ද කරන්ඩ පටන්ගත්ත …

ආං……….! ආං ආච්චි අම්මෙ…… පිට්ටුවෙ උඩිං දුං දානවෝ!!!

මල්ලි එක පාරටම කෑ ගැහුව….

ආච්චි අම්ම හිනාවෙලා හිරමනෙන් නැගිටල පැත්තකින් අරන් තියල තිබ්බ උදේ ගාපු පොලේ කටුවක් අරන් පිට්ටු බම්බුවෙ කට වැහුව…

ඇයි ආච්චි අම්මෙ පොල් කටුවෙන් වැහුවෙ….?

ඒ පුතේ හොඳට තැම්බෙන්ඩනෙ….. ඔන්න දැං තමයි පිට්ටුව ඇතුලෙ වාෂ්ප එකතු වෙන්නෙ…. එතකොට තමයි පිට්ටුව හොඳට තැම්බෙන්නෙ…

එහෙම කියල ටික වෙලාවකින් පොල් කටුව අයින් කරල පිට්ටු බම්බුව ලිපෙන් බාල කුස්සියෙ ලී මේසෙ උඩ වට්ටියක් දාල එලල තිබුණ කෙසෙල් කොලේ උඩට පිට්ටු බම්බුව අල්ලල මේසෙ උඩ තියල තිබ්බ පුංචි කිතුල් පොල්ල අරගෙන පිට්ටුවෙ පිටිපස්සෙන් තල්ලු කළා….

සුදු පාටට බැබලි බැබලි පිට්ටුව බම්බුවෙන් එළියට ආව….

ආච්චි අම්ම පිට්ටුවෙ ඇලිල තිබ්බ හිල් පියන අරන් ආපහු බම්බුවට දාල ආයෙමත් පිට්ටු පුරවල ලිපේ තිබ්බ..

ඊට පස්සෙ බාපු පිට්ටුවට පොල් කිරි ටිකක් ඉස්ස… පිට්ටුවෙ සුවඳට  කෙසෙල්කොලේ තැවුණු සුවඳ වගෙම පොල් කිරි සුවඳත් මුහු වෙලා බඩගිනි අවුස්සන සුවඳක් කුස්සිය පුරාම පැතිරුණා….

ඊට පස්සෙ කලින් සුද්ද කරල අරන්තිබ්බ පොල් කෙන්දක් අරන් පිට්ටුව හරහට කෑලි කැපුව

ඇයි ආච්චි අම්මෙ පොල් කෙන්දෙන්ම ඕක කරන්නෙ… පිහියෙං කපන්ඩ බැරිද???

අම්මත් එහෙම කරනව දැකල තිබුණ හන්ද මං ආච්චි අම්මගෙං ඇහුව…

මාත් ඕක ඉගෙනගත්තෙ අපෙ අම්මගෙන් නෙ…. පිට්ටුව උණුවෙං නෙ කපන්නෙ…… පිහියෙ ඇලෙන්ඩ ඉඩ තියෙනවනෙ පුතේ… පොල් කෙන්ද හීනියි… පිට්ටු කෑල්ල හොඳට ගාණට වෙං වෙනව පොල් කෙන්දෙං කපද්දි මයෙ හිතේ….

ඕං කතාවෙං කතාවෙං   ආං අර පිට්ටුව වහන්ඩත් වෙලාව හරි….

මෙච්චර වෙලා සද්ද නැතුව කිරි හොද්දට පහේ ඒදල ලි පේ තියමින් හිටිය අම්ම කිව්ව….

මෙන්න මේක හැඳි ගාන්ඩ චූටි පුතේ….යන්ඩ එහෙම එපා ඕං ඕක දාල ..

අම්ම කිව්වෙ මට…

ඇයි අම්මේ ඒ???

කිරි හොද්ද හැඳි ගාල එක පාරට බාගන්ඩ එපැයි පුතේ… ගොඩක් වෙලා ලිපේ තියන්නෙ නෑනෙ…  මැද්දෙං කිරි නටාගෙන එනකොටම ලිපෙන් බාන්ඩ ඕනෙනෙ… ඒකයි….

අම්ම එහෙම කියල මට කිරි හොද්ද බාර දීල ලුණු මිරිස හැදුව….

මමත් ඉතිං කිරි හොද්ද හැඳි ගෑව… අම්ම ඇවිල්ල හරි වෙලාවට ඒක ලිපෙන් බාල දරණුවක් උඩ කියද්දි පිට්ටු කෑලි දහයක් දොලහක් වට්ටිය උඩ පිරිල තිබුණ…

දැං ඉතිං තියෙන්නෙ කන්ඩනෙ…..

බඩ පුරා පිට්ටු සප්පායං වෙන මල්ලියි මායි  දෙන්න හනිකට ගෙදරින් මිදුලට බහින්නෙ මල්දෙනියෙ ඉන්න අන්තිම දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්ඩ ඕනෙ බව දන්න හන්දයි…

මිදුලට පහල තේවත්තෙන් එපිට ගඟට පාත් වෙච්ච මීදුම  කියන්නෙ තාමත් දවස ඇරඹීලා මහ වෙලාවක් ගිහින් නෑ කියලයි….

ඈත කඳු මුදුන් වල හැප්පිලා තේවත්ත මැද්දෙ ගල් අල්ලපු පාර දෙපැත්තෙ අරලිය ගස්වල සුදුපාට මල් කිති කවාගෙන මහන සුළඟ අපිව පඩිපෙලෙන් පල්ලෙහාට බහින්න කියල ආරාධනා කරනව වගේ….

මල්ලියි මායි දෙන්නත් එක්ක රතු පාටට බල්බ් දාපු ජම්බු ගහ පාමුලින් ඉහළට තියෙන ලැයිම් කාමර දිහාට යන පාර දිගේ ඉස්සහට යන්නෙ අපි දෙන්නගෙ ආසම තැනත් බලන්ඩ…

කඩේ ගෙදර පුංචි ලිඳ

ගල් අතුරපු පාර අඹගහ ලඟට එනකල් කන්ද…. අඹගහෙන් පස්සෙ බෑවුම… ඔය බෑවුම ඉවර වෙලා පාර තුනිතලා වෙන්නෙ කඩේ ගෙදර ලඟදි…මේ ගෙදරට යන්ඩ අපි හරිම ආසයි… පරණ ගෙදරක්.. පරණ තාලෙ තට්ටු දෙකේ පෙට්ටි ගෙදරක්….අම්මලට නෑකමකුත් තියෙනව….

ඒ ගෙදර හිටියෙ වයසක කිරිඅම්මෙකුයි ආතෙකුයි බැඳපු නැති නැන්දෙකුයි විතරයි. පැත්තක තියෙන ලෑලි වහපු කාමරේ, ඒකෙ තියෙන පරණ  විස්කෝතු බෝතල්,  ලෑලි රාක්ක හෙම කියා පාන්නෙ නමට විතරක් නෙවෙයි හැබෑවට ම මේ ගෙදර කඩයක් තිබුණ බවයි…. ඒ ගෙදර මිදුලෙ තියෙන ගල් තලාවෙන් බේරිලා එන දිය සීරාව එකතු වෙන්ඩ අඩි දෙකක විතර මිටි ගැට්ටක් බැඳල  හදපු පුංචි ලිඳට අපි දෙන්න පුදුම තරම ආසයි….

ඒකෙ  ඉන්න පුංචි පුංචි ගෙඹි පැටව්, මාලු පැටව් අපිට හරියට අපේ යාලුවො වගේ…

අපි දෙන්න කාටත් හොරෙන් ගිහින් මේ ලිඳට අත දාගෙන එතන බිම වාඩි වෙලා ඒ වෙලාවට ගොතා ගන්න කතන්දරයක චරිත බවට පත් වෙලා කතා කර කර ඉන්න එක…

එක වෙලාවකට ඔය ලිඳ පාලු කාන්තාරෙක යන අපි දෙන්නට හම්බ වෙන වතුර තියෙන එකම තැන…

තවත් දවසක ඒක වැරදි කරපු නරක නපුරු ළමයි අල්ලල දාන ගැඹුරු පතලක්!!!

ආයෙ ඉතිං අම්ම ල අපි දෙන්නව හොයල එක්කන් යන්න එනකල්ම අපි දෙන්නගෙ වැඩේ ඔතන ඉන්න එක තමයි….

හවස් වෙද්දි නං  දැනෙන්නෙ පුදුම පාලුවක්!! හෙට ආපහු ගෙදර යන්ඩ ඕනෙ නේද කියල….

හවස හෙන්දිරික්ක මල් පිපුණම මල් වට්ටියක් නෙලාගෙන ආච්චිඅම්මත් එක්ක අපි දෙන්නම බුදුගෙට යනව…

ගාතා කියල බුදුන් වැඳල ඉවර වුණාම හිතට දැනෙන්නෙ හරිම සැහැල්ලුවක්!!

විදුලිය නැති කුප්පි ලාම්පු චිමිනි ලාම්පු එලියෙන් ගත වෙච්ච මේ  දවස් ගණනාවට අපිට රූපවාහිණිය නැති අඩුවක් දැනෙන්නෙ වත් නෑ….

කාටුන්,සෙල්ලම්බඩු මතකවත් නෑ…..!!

ආච්චි අම්මවයි ආතවයි ලොකු මාමවයි දාල යන්ඩ බැරි දුක විතරයි හිතේ තියෙන්නෙ…

පහුවදා උදේ ඇඳපැලඳගෙන ඉඳිආප්ප සප්පායං වෙලා අපි ඉස්තෝප්පුවට එනව

තංග වේලු කතාවක් බහක්  කාගෙවත් අණක් නැතිව ඉස්තෝප්පුවෙ බිම තියෙන අපේ බෑග් ඔසවගන්නෙ පල්ලම් බැහැල අඟුලෙ නැගල ගඟෙන් එගොඩ වෙලා ලක්රාණි බස් එකට අපිව පරිස්සමෙන් නග්ගවන්ඩයි…

සිවකුමාර් ඉස්තෝප්පුවෙ කණුවක් බදාගෙන හැංගිලා අපි දිහා එබිල බලන් ඉන්නෙ බලන්න දුක හිතෙන මූණක් හදාගෙන

අපි ආතටයි ආච්චිඅම්මටයි දණ ගහල වඳිනව.

ආච්චි අම්මා හිතේ දුක මුහුණෙං හංගාන අපේ හිස අතගාල මූණ ඉඹිනව.

ආයෙත් එන්ඩ පුතේ… අගෝස්තු නිවාඩුවටත්!!!

මයෙ පුතාලට රත්නත්තරේ සරණයි!!  සමං දෙයි හාන්දුරුවංගෙ පිහිටයි!! ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නාවගෛ හරියන්ඩ ඕනැ!!!

හා එහෙනං පරිස්සමිං ගිහිං එන්ඩ…

හීං කඳුලක් ඇහේ මුල රන්දාගෙන ගමේ ආත කියනව…

කට්ටිය බය වෙන්ඩ කාරි නෑ… මල්දෙනියට සමුදෙමු කිව්වට

ඉන්මනටම මුතුගල විත්ති අරන් එන්ඩයි කල්පනාව…

ඒ හන්ද ඕං මට බනින්ඩ හෙම ඔට්ටු නෑ  හොඳද???

පින්තූරෙ හම්බවුණේ niwasa.com එකෙන්

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

43 Responses to මල්දෙණියට සමුදෙමු…!!!

  1. Buru says:

    මම නම් පිට්ටු කන්නේ නෑ…
    (නරියා මිදි තිතයි කීවේ නිකමටයැ….)
    ඊයේ පෙරේදා මම ගෙදරට කෝල් කරලා ඔයාගේ බ්ලොග් එකෙන් දැනගත්ත කෑම ලිස්ට් එක මට ඊගාව පාර ආවම ඕනේ කීවම පොඩි අක්කා මට කියනවා ඔයා දැන් ගමේ කෑම හොයාගෙන ස්කෝලෙකට යනවද කියලා.

    ඔයාගේ බ්ලොග් එක අස්සේ හිතුන තරම් මට මම මේ තරම් අසරනයි කියලා හිතුනේ නෑ වෙන කොහේදිවත්. ඔයාගේ ගම විස්තර කිරීම් අස්සේ මම ඔය ගමේ ගහල් ගලක් ගානේ යනවා වගේ දැන්. සමහරවිට මම පොඩි කාලේ හැදුන ගමයි ඔයාගේ ගමයි ගමේකමයි අතර තියෙන nostalgia වෙන්න පුළුවන්.

    • එහෙනං ලංකාවට ආවාම ඉස්සලේලාම හදල දෙන්නෙ පිට්ටු තමයි…..!
      අපේ බූරු බබා මගෙ බ්ලොග් එකේ ඇලිච්ච කොහොල්ලැ බබෙක් වෙලා නෙ දැන්… කාටත් කලින් එන්නෙ එයා තමයි …!
      කෝ අනික් කට්ටිය පරාදයි වගේ!!!!

  2. අනේ මං හෙනම ආසාවෙන් කියවපු සීරිස් එක… කමක් නෑ… මුතුගලත් නියමෙට තියෙයි කියලා හිතනවා…

    (අක්කේ අර බ්ලොග් තරඟෙට රෙජිස්ටර් වෙන්න ඉක්මනට…)

    • අනේ…. ටික කාලෙකින් ආයෙත් මම ලියයි මල්දෙනිය ගැනත් මේ වෙලාව වෙනකොට මට මුතුගල ගැන ලියන්ඩ තියෙන දේවල් ගොඩයි නෙ මලයො.. ඒකයි පොඩ්ඩක් වෙනස් වෙන්ඩ හිතුවෙ…

  3. ෂෙහ් කියලා වැඩක් නෑ . මටත් මගේ අත්තම්මව මතක් වුණා . ඔයා ගමේ ගෙදරක කුස්සියේ උදේට සිද්දවෙන සිදුවීමක් ලස්සනට ලියලා තියනවා . පට්ටම පට්ටම පට්ටම ලස්සන්නයි අක්කා

  4. Buratheno says:

    sigh…………. රංගි කිවුව වගේ nostalgia……. 😦

    • ඉතිං වරෙල්ලකො ලංකාවට… එතකොට හදල දෙන්නං කන්ඩ

      • Buratheno says:

        අනිවා ඩෙෆා.. ලංකාවට ආපු ගමන් බොලැයි දිහාවෙ තමා එන්නෙ බඩ-කට පිරෙන්ට කාලා යන්ට.. :))

        මයි හර්ටියස්ට් කන්ග්‍රැජුලේෂන් කිවුවා නගේ.. බොලා දෙන්නට ජීවිතේ හැමදාමත් පිට්ටු කකා ජීවන නෞකාව පැදයන්ට හේතුවාසනා ‍වේවා..!!

        පලි: අපටත් එවනවය අර ඉස්පන්චි කෑල්ලක්..??

      • ඉස්තූතියි ඉස්තූකියි බූරයියෙ.. එන්ඩ එන්ඩ අපේ ගෙදරට සාදරෙංප පිලිගන්නව!!

      • Buru says:

        ආයේ දෙකක් නෑ….. ඔන්න අපි කලින් කියලා එහෙම එන අය නෙමෙයි… ගෙදර දොරේ ඉස්සරහට එනකම්….

      • එන්ඩල එන්ඩල!!! මොනවැයි දැං උයල තියන්ඩ ඕනෙ???

  5. praveena says:

    හපෝයි මම බය උනු තරමක්!

    ජනුවේ, කට්ටිය අර සුබ ආරංචිය ගැන දන්නවද දන්නේ නෑනේ. මම දෙක එකට සම්බන්ධ කරලා හිතුවේ දැන් ඉතින් වැඩපල වැඩිවෙන හන්දා බ්ලොගේ වහන්ට හිතුවා කියලයි. මම නම් ලස්සනට වැඩ දාපු හොඳ බාල්දියක් ගත්තා. වහාම address එක ඊමේල් කරතැයි බලා ඉන්නවා…:)))

    ජනුට තරම් ගැමි පරිසරය තාත්විකවත්, කෑම සෑදීම මෙතරම් අපුරුවට විස්තර කර ලිවීමේ හැකියාවකුත් ඇති අයෙක් තවත් නම් මේ බ්ලොග් යායේ නැති බැව් පවසන්නේ ආඩම්බරයෙන්. (ඇයි ඉතින් වලව්වේ කෑම්, බීම් පිලියෙල කරන්නෙත් මේ යෝදිනේ. ඒම මදෑ )

    හැමදාම මේ පෝස්ට් එක බලපුදාට පොඩ්ඩි ඉන්නේ බඩගින්නේ හූල්ලමින්. හරි නරකයි….:(

    • එවන්නං එවන්නං…. බාල්දිය එවන්ඩ ඕනෙ කාලෙත් මං කියලම එවන්නංකො!!
      බොහෝම ස්තූතියි පොඩ්ඩි අක්කෙ මට වලව්වෙ උයන ගෙයි තනතුරක් දුන්න විතරක්යැ දැං වර්ණනාවකුත් කරල නෙව… දැං ඔය මුතුගල විත්ති ගැන ලිව්වය කියල අමුත්තක් නැති වෙයි… ඇයි?? එහෙත් වැඩි හරියක් තියෙන්නෙ කෑම ගැන දේවල්ම නෙව ලියන්ඩ….. තව කාලයක් ඔයාව බඩගින්නෙ තියන්ඩ පුලුහං මට ඒ හන්ද….

  6. නියම සිදුවීම් ටික ජනූ අක්කේ !!!!!
    මං අදමයි මේ සිද්ධි කියෙව්වේ. ලස්සනට ලියලා තියෙනවා.අර පිට්ටු බංබුව මැද්දට දාන හිල් පියනට කියන්නේ ‘ඇස්ස’ කියලා. ඒක නෙමේ මල්දෙණිය කියන ගම තියෙන්නේ කොය් පලාතෙද ?
    මුතුගල විත්තිත් මං කියවලා නෑ. ඒවාත් ලියලා තියෙනවද ? එහෙනම් කියවන්න ඕනා.

    • ආං හරි … ඇස්ස තමයි කියන්නෙ…. නෑ මලයො අලුතෙන්ම පටන්ගන්ඩයි හදන්නෙ මුතුගල විත්ති ලියන්ඩ….
      දෙහිඕවිට – ඇහැලියගොඩ පාරෙ හැතැම්ම පහක් හයක් විතර දුරක් ගියාම යෝගම කියල හරියක් හම්බ වෙනව. යෝගම තැපැල් කන්තෝරුව ලඟින් බැහැල පහලට ගිහින් ගඟෙන් එගොඩ වෙලා තේවත්ත මැදිදෙන් කන්ද නැග්ගාම තමයි මල්දෙනිය තියෙන්නෙ.. දැන් නං එගොඩ වෙන්ඩ පාලමකුත් තියෙනව.. ඉස්සර නං අඟුලෙ තමයි ගමන…

      • එහෙනම් අක්කණ්ඩි ඒක ලස්සන ගමක් නේ. මම් නම් දෙහිඕවිටට ගිහින් තියේ. ඔය කියන පාරේ නම් ගිහින් නෑ.

  7. Priyantha says:

    හපෝයි බයඋනු තරමක්. ආව ගමන් හිතුවේ ජනූගේ සටහන් වහන්නයි යන්නේ කියා…
    සුභ ආරංචියක් ගැන පොඩ්ඩි කියන්නේ මොකක්ද දන්නේ නෑ…:DDD
    හී හී
    ඕන්න මමත් සුභ පැතුම් එක් කරනවා……
    (හිතපු දේ හරිද දන්නේ නෑ)

    • නෑ නෑ…. වහන්නෙ නෑ ප්‍රියන්ත අයියෙ…
      පොඩ්ඩි ගෙ සුභ ආරංචිය ගැන ඔයා හිතුව එක නං හරි… ස්තූතියි සුබ පැතුමට!!!
      ඒත් මේ පොඩ්ඩි බාල්දියක් එවන්ඩ යනවනෙ අයියෙ දැම්මම….

      • ජනූ අක්කා සීනුවක් නාද කරන්නවත් යනවද මන්දා. මම් පොඩි එකා වෙච්චි. මටත් ඔයින් පොඩ්ඩක් කිව්වනම් හරි නේ අක්කා. මොකෝ අපි කාටවත් කියන එකක් යෑ. හික්ස් 🙂

      • සීනුවක් නෙවෙයි මලයො බාල්දියක් එවන්නෙ 😛

      • Priyantha says:

        බාල්දියට පයින් ගහන්න..:DDD
        එක දවසක් වලව්වේදී කීවේ බාල්දියට පයින් ගරන එක බරපතල වැඩක් කියල..:DDD

  8. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    ඊයෙ දාවලේ කීවා දවස් ගාණක ඉඳං පෝස්ට් එකක් ලියනවා කියලා. අද උදේ ඇවිදිං බලද්දී මෙන්න සමුදෙන කතාවක් ලියලා. හාපෝයි මං බය වෙච්චි තරමක්. උදේම මගෙ ලේ ටික පුච්චලා දැම්මා නෙව. හොඳ වෙලාවට අර අන්තිමට ලියලා තිබ්බ ටික ලීවේ, නැත්තං ඔයා අර කාටදෝ තියපු දෝස්මුරේ වගේ එකක් ඔන්න මගෙනුත් අහගන්න තිබ්බා ඔයාට.

    මුතුගල විත්ති වල ලියවෙන්නේ කා ගැනද… බලා ඉන්නවා කියවන්න ඇඟිලි ගැන ගැන ඔන්න. අර පොඩ්ඩි අක්කගෙ කමෙන්ට් එකේ අන්තිම පේළිය එහෙමම මටත් කියන්න තියෙනවා. බඩගිනියි!!!

    • අප්පේ නෑ… සමුදෙන්නෙ මල්දෙනියට… ටික කාලෙකට කවිකාරි අක්කෙ
      බලන්ඩකො බලන්ඩකෝ ලියන්ඩ ගත්තාම අදහෙටම

  9. Buru says:

    ඔයා දන්නේ නෑ ජනු, මගේ ජීවිතයේ කියවපු සිංහල පොත් මට නෑ. සිංහල සම්බන්ද මතක මට තියෙන්නේ බොහෝම ටිකයි. ඒ හුඟාක්ම පුංචි කාලේ.
    පස්සේ කාලෙක මම සිංහල හොයා ගන්නකොට මට කියවන්න පොත් ගන්න මායිමක මම හිටියේ නෑ. අනිත් එක මට පොත් අරන් කියවලා තේරුම් ගන්න හැකියාවක් තිබුනේ නෑ. ඉතින් මගේ ප්‍රියතම විනෝදාංශය වුනේ ඉන්ටර්නෙට් එකේ හම්බවෙන දේවල් කියවන එක. අදටත් ලංකාවෙන් පොත් ගෙන්න ගන්න පුළුවන් හෝ මටම ගන්න පුළුවන් කමක් තිබ්බත් මට ඒ පොත් වලට වඩා නෙට් එකේ කියවීම ලේසියි. මම හිතන්නේ මට නොතේරෙන දේ එවේලේම තව කෙනෙක්ගෙන් අහලා තේරුම් ගැනීමේ පහසුකම හින්දා වෙන්න ඕනේ.
    බ්ලොග් අස්සේ හෝ ලියන දේවල් අස්සේ මම හමු වුන මිනිස්සු බොහෝමයි. අදටත් ලංකාවට ගියාම මම ආසම ලියන මිනිස්සු හමුවෙන එක දැන් මගේ පුරුද්දක්. ඒ අය එක්ක එකට ඉඳගෙන තේ කෝප්පයක් ඉස්සරහා කෑම එකක් ඉස්සරහා ගෙවිච්ච මතක බලද්දි මම අද ගොඩාක් සතුටු වෙනවා. මම දන්නවා ඔය කියන යාළුවෝ අපෝ උඹ එක්ක පාරේ යන්නේ කොහොමද මචන් කීවට මාත් එක්ක ගෙවන පැය හෝ විනාඩි කීපය ආදරෙන් මතක් කරන බව හැමදාම. මේ අයගෙන් බොහෝ අයට මොකක් හරි කෑමක් දැක්ක ගමන් මතක් වෙන්නේ මමලු. කොහොමත් ඉතින් ගොඩයා මැජික් දැක්කා වගේ තමයි මම ඔය මොනා හරි දැක්කම. ඉතින් ලේසියෙන් අමතක වේවිද?….

    මම දන්නවා මට කියවන්න යමක් දීලා ලේසියෙන් කෙනෙකුට බේරෙන්න ලැබුනේ නෑ. ජනූටත් ඒ සෙතේම වෙයි… ඔන්න කොල්ලෑ බබාට වඩා භයානකයි. සමහරු නම් ලියන්න පරක්කු උනාම අහ ගන්නේ සුදු පාට සිංහල වලින්..

    • ඇත්තම කියනවනං මටත් දැං මොනව හරි කෑමක් දැක්කම හැදුවම ඔයාව මතක් වෙනව…
      සුදුපාට සිංහල????
      හම්මේ… බයෙත් බෑ… බූරු බබා දරුණු බබෙක් වගේ

      • Buru says:

        ආයෙත් අහලා…. ඔය නෙට් එකේ තියෙන ඒවා බොරු නෙමෙයි….

  10. Nisupa says:

    හ්ම්….මං නම් හිතුවෙ අක්කා බදින නිසා මල් දෙණියෙ කතා ලියන එක නතර කරන්න යනවා කියලා. සුභ පැතුම් අක්කේ..

  11. Ravi says:

    ඒයි…..ඔය පිට්ටු බම්බුව ඇළුමිනියම් එහෙම නෙවෙයි නේද?……දැන් තියෙන්නෙ ඒ ජාතියෙ එව්ව නෙව…….මම පොඩි කාලෙ අපෙ ගෙදර පිට්ටු හැදුවෙ ලී බම්බුවක…..එව්වට ගන්න වෙනම ලී ජාතියකුත් තියනව…..මට දැන් මතක නෑ බොල………..පිට්ටු බම්බුවෙ යට හරිය ලණු වලින් වෙලල තිබ්බ මට මතකයි හුමාලෙ පිටවෙනවට……….

    / ඔවු තාත්තෙ… උදෙන්ම ගියොත් ලේසි නෙ… බස් පහක යන්ඩත් එපැයි…./

    බස් පහක?????……හපොයි දෙයියනේ……බස් පහක යන්ඩ වෙනව නං දවල්ට විතරක් නෙවි රෑ කෑමත් බැඳගෙන ගියානම් නරකද?…….හෙහ්, හෙහ්,

    හරි….මම කියන්නෙයි?……ඔන්න මල්දෙණියෙ ඉඳං…..දෙහිඕවිටට එකයි……එතන ඉඳන් කොළඹට……කොළඹ ඉඳන් කුරුණෑගලට…..කුරුණෑගල ඉඳන් දඹදෙණියට……හෙහ්, හෙහ්….දැන් කීයෙයි?……හතරයි………අන්තිමට දඹදෙණියෙ ඉඳල ගෙදෙට්ට……..

    • අපේ ගෙදර තියෙන පිට්ටු බම්බුව උණ බටයකට කොහු ලණු වෙලල ඒකෙ අග හරිය රෙදි ඔතල තියෙන්නෙ… ඒ හරිය තමයි පෙඟෙන්ඩ දාන්නෙ..
      වැරදියි වැරදියි බස් පහ වැරදියි
      මේං මෙහෙමයි බස් පහ
      1. මුතුගල සිට ගිරිඋල්ල
      2. ගිරිඋල්ල සිට නිට්ටඹුව
      3. නිට්ටඹුව සිට රුවන්වැල්ල ( අර සෝබිත හාමුදුරුවො හිටියෙ)
      4. රුවන්වැල්ල සිට දෙහිඕවිට
      5. දෙහිඕවිට සිට යෝගම

      • Buratheno says:

        නගා දන්නවද, ඔය නිට්ටඹුව-රුවන්වැල්ල පාර කියන්නෙ මම හරිම ආසාකරන පාරක්.. රබර් වතු මැද්දෙන් වංගු වංගු තියෙන හරිම සුන්දර වටපිටාව.. මේ පාරෙ යනකොට ඉබේම හිත නිවෙනවා..

      • අන්න හරි!!! මාත් ආසම පාරක්.. ඇයි රබර් වතු මැද්දෙ තියෙන ගල් පර්වත!!! අර රුක් අත්තන මල් වංගුව!!!!

      • Buru says:

        අර බුරා කිව්ව මේ පාරේ මාත් ගිහින් තියෙනවානේ…
        අහන්න දෙයක් නෑ එදා තරම් නම් භය වෙලා නෑ කවදාවත්….
        මම හිතන්නේ මමයි ඒමියි කටුනායක පැත්තෙදි රත්නපුරට යන්න ලේසි පාරක් ඇහැව්වා. ඔය කියන වෙලාවේ කළුවරත් වැටෙන වෙලාව… අපි දෙන්නම පොඩි කාලේ ඉඳන්ම ලංකාවෙන් පිට නිසා දෙන්නම පාරවල් වත් සිංහලවත් හරියටම කතා කරන්නේ නෑ… රෙන්ට් කරපු වාහනයක්. ඩ්‍රයිව් කලෙත් අපිමයි. මට මතකයි ඔය පාරේ මනුස්සයෙක් අපිට හම්බ උනේ නෑ… අපේ මොබයිල් වලට සිග්නල් තිබ්බෙත් නෑ…. පාර අහන්න ගෙවල් හෙව්වත් එහෙම ගෙවල් පෙනුනෙත් නෑ… පස්සේ පැය ගානක් යද්දි හම්බ වෙන මිනිස්සු අපේ වාහනෙට නගින්න උවමනාවෙන් උන්නා මිසක් හරියට පාරක් කිව්වේ නෑ..( ඒ අයට උවමනාව තිබ්බේ බස් නැති ඒ පාරේ එයාලගේ ගමන යා ගන්න…. ) ඒත් අපි එතකොට ලංකාවේ මිනිසුන්ට පුදුම භයයි. මම හිතන්නේ මිනිස්සු උස්සන වාහන උස්සන හොරු හිටපු කාලයක් ඒ… අපිට කියලා තිබ්බේ කිසිම කෙනෙක් වාහනයට නග්ග ගන්න එපා අඳුනන්නේ නැත්නම් කියලා… අපි හන්වැල්ල හෝ කොහෙට හෝ එද්දි පැය ගානක් ගිහින්. ඒ වේලාවේ අපි කොළඹ ඇවිත් පරණ පාරේ රත්නපුරේ ගියා නම් දෙපාරක්වත් යනවා.. ඒ විතරක් ද එදා මම හිතන්නේ භයටම මම ඇඬුවත් එක්කද කොහෙද?
        අද ඒ දේවල් මතක් වෙද්දිත් හිනහයි…..

    • Priyantha says:

      උණ බට වලින් තමා පිට්ටු බම්බුව හදන්නේ. උණ බම්බුවකින් හදන නිසා වෙන්න ඇති ඕකට පිට්ටු බම්බුව කියන්නේ..

  12. Luckey says:

    හරිම අපූරු සටහනක්…
    ඔබගේ සටහන මාව අතීතයට අරගන ගියා…අනේ ආයෙත් ඒ කාලෙ එනවනම් කියලා හිතුනා.

    • ස්තූතියි ලකී!!! අපි හැමෝම ආසයි ඒ ගත වෙච්ච කාලෙට… පරිසරය වගෙම අපේ ජීවිතත් වෙනස් වෙලා ටිකෙන් ටික ඒව අපෙන් ඈත් වෙන එක තමයි දුක

  13. Observer says:

    පිට්ටු, ලුණු මිරිස්, කිරි හොදි, පුදුම බඩගින්නක් ආව. වෙලාව බලනකොට 10.10 ය්, තාම උදේට කෑවෙ නෑ නේද කියල මතක් වෙලා ඉක්මනට පාන් පති දෙකක් පොල් සම්බෝල එක්ක බස්සල තමා කොමෙන්ට් එක දාන්න වාඩි වුනේ. දැන් යනවා තේ එකක් හදන් බොන්න, නැවත හමු වෙමු.

    • කට්ටියනං මෙහෙ මට බැන බැන කෙල ගිල ගිල තමයි ඉන්නෙ ඔබා මාමෙ…. මාම වගේ පාන් කෑල්ලක් කාල සැනසෙන්නෙ නෑ… මේ පැත්තට සාදරෙන් පිලි ගන්නව… ඔබතුමාට අර අපේ පොඩ්ඩිට වගේ බඩගින්නෙ ඉන්ඩ වෙන එකක් නං නෑ මගෙ බ්ලොග් එක බලල මහිතෙ.. ඇයි ආස හිතුනොත් කන්ඩ යමක් හදාගන්ඩ ඔබී නැන්ද ඉන්නව නෙව…

  14. vajiradevi says:

    පිට්ටු කෑල්ලක් තිබ්බනම් කියලා හිතුණා ජනූ…

    • අප්පේ .. මට නං පිට්ටු අරහං වෙලා තියෙන්නෙ… පිට්ටු තම්බලම… ඇයි අපේ අම්ම හොඳටම හදන්ඩ දන්නෙ වැලිතලප නෙව… ඒ ලෝකප්පරසිද්ද වැලිතලපෙ හදන්ඩ ඔය දාන මාන මගුල් තුලාවලට හෙම ඕඩර්ස් එනව නෙව එයාගෙ යාලුවොංගෙං.. අපොයි එදාට පිට්ටු පනහ හැට තම්බන්නෙ අපෙ ගෙදර… සේරෝටම හපං නෙව පොල් ගාන එක….

  15. නවම් says:

    අනේ අපේ උන්දැට පිට්‍ටු හදන්නට බැරිය. උන්දෑ පිට්‍ටු කෑමටද අකමැතිය.

    • පිට්ටු හදන්ඩ හොඳ අතේ හුරුවක් අවශ්‍යය… පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් බොරලු කැට වගේ කැටි වේ.. එහෙම වුණොත් නං එව්වයිං හදන තලපවලට කියන්ඩ වෙන්නේ බොරලුතලපය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s