කඳුලු……!

අපි ගෙදරට ගොඩ වුණා…

හිස් අතින්…..

හැඟීම් පවා හිස් වෙලා තිබුණ කියලයි මට දැන් හිතෙන්නෙ….

මොකද එතනින් පස්සෙ දවස්වල සිද්ද වෙච්ච, ආව ගිය කතා කළ තිසිම දෙයක් හැබෑ ලෝකෙදි වුණා මගේ මතකයේ නෑ… හීන වගේ!!!

රූපෙ මාමල නිමල් මාමල ගෙදර සාලෙ තිබුණු පුටු, ටීපෝ කාමරවලට රිංගවනව……. ඉතින් සාලෙ පවා හිස්!!!

මුතු නැන්දල ගුණවතී නැන්දල කුස්සිය පැත්තෙ කරන කතා බහක් ඇහෙනව… ඒත් කිසි දෙයක් පැහැදිලි නෑ….

ක්ෂණයකින් සිතිවිලි රාමු මාරු වෙනව….

අම්ම ඉස්තෝප්පුවෙ පේළියට තියල තිබුණු පුටුවක ඉඳගත්ත…..

කඳුලු පෙරෙන ඇස්!!!!

මේ ඔක්කොම ඇයි??

තාත්තව පිළිගන්න….වෙනද වගේ වැඩ ඇරිල ගෙදර එනකල් අපි බලන් ඉන්න තාත්ත අද  දෙණක සැතපිලා ගෙදර එන්නෙ….

දෙයියනේ…….!  ආයෙත් අපිට තාත්තව පණපිටින් දකින්න නෑ නේද???

මගෙ හිත මහා දුකකින් පිරිල….

පපුව දිගේ රත් වෙච්ච යකඩ බෝලයක් ඇදගෙන යනව වගේ!!!! හුස්ම හිරකරවන වේදනාවක්!!! කෑගහල අඩන්න උවමනාවක්!!!

ඒත් සද්දෙ පිට වුණේ නෑ…. කඳුලු බින්දුවක් වැටුණෙ නෑ…!!!

චූටි නැන්දෙ අනේ මං ඉස්සරහ අඬන්ඩ නං එපා!!! මට හරි අමාරුයි දරාගන්ඩ…. දැන් අඬල වැඩක් නෑනෙ… ඒ හින්ද මේ වැඩ ටික පිළිවෙලකට කරගන්ඩ මට උදව්වේන්ඩ ඔයාලත් ඇඬිල්ල පැත්තක තියල…

තමන්ට හිටපු එකම සහෝදරයගෙ වියෝව දරාගන්න බැරි වුණ ලොකුනැන්දයි චූටි නැන්දයි මාව බදාගෙන අඩන්ඩ වුණාම මං කිව්වෙ එච්චරයි….

කලින් දවසෙ සීතල බංකුව ඉඳගෙන නරක නපුරු හීන දැක දැක තාත්තගෙ ජීවිතේ ගැන අවිනිශ්චිත හැඟීම් ගොන්නක් හිතේ තද කරගෙන හිටපු මම තාත්ත නැති වුණා කියල දැනගත්ත වෙලාවෙ ඉඳල අවුරුදු ගාණක් වයසින් මුහුකුරා ගිය, හැඟීම් පරිණත වුණ කෙල්ලෙක් බවට පත් වුණේ කොහොමද???

මට අදටත් හිතා ගන්ඩවත් බෑ….

අම්මටවත් ඒ වෙනකොට උසස්පෙළ පන්තියෙ හිටපු මල්ලිටත් නැති හිතේ හයියක් ඒ වෙලාවෙ මට ආවෙ කොහෙන්ද???

චූටි නැන්දෙ තාත්ත නැතිවුණා!!! අපි දැන් එනව…. අපේ ගෙදරට එන්ඩ

ලොකු නැන්දෙ තාත්ත නැතිවෙලා!!! අපි දැන් ගෙදර එනව… ඔයාල කෙලින්ම අපේ ගෙදරට එන්ඩ…

මේ විදියට තාත්තගෙ මළගම ගැන පණීවිඩ දුන්නෙ මමමද???

අනේ ඉටිකොලවලින් නම් සැරසිලි කරන්ඩ එපා මාමෙ… සවුකොල ගේන්ඩ….

මාමෙ හවස කරන්ට් කැපුවොත් හෙම …. අපි ජෙනරේටර් එකක් හොයාගන්ඩ බලමුද හවස??

මේ විදියට ගමේ මාමල නැන්දල එක්ක අවමගුල සැලසුම් කරන්ඩ හිතට හයියක් ආවෙ කොහෙන්ද???

දුවේ,  බුලත් පුවක් ටිකක් හෙම ගෙන්නන්ඩ වෙයි…  රෑට දෙන්ඩ කෝපි හෙම තියෙනවද?? අවසාන කටයුතු දාට හදන්ඩ බීම හෙමත් ඕනෙන…

අම්මට වඩා ඒ වෙලාවෙදි මම ශක්තිමත්ව ඉන්න බව හැඳිනගත්ත ගමේ අයත් වෙනද අම්ම එක්කල කතා කරන දේවල් පවා මට ඇවිත් කිව්ව…

නැන්දෙ කෝපි තියෙනව.. ෂෝ කේස් එකේ තේ කෝප්ප තියෙනව ඒව ටිකක අරන් හෝදල ගන්ඩ වෙයි… බීම මම ගේන්නං.. තව ටිකකිං කොහොමත් ටවුමට යනව ඕනෙ කරන දේවල් ගේන්ඩ…

මහ ගෑනියෙක් වගේ ඕනෙ කරන දේවල් හොයල, කුස්සියෙ බඩු මුට්ටු ගැන බලල ලිස්ට් එකක් ලියාගෙන හෙම නාරම්මල ටවුමට ගියා මට මතකයි….

අම්ම පිටිපස්සෙ ඇවිදලම කුස්සියෙ වැඩපල බඩු මුට්ටු, එව්ව තියෙන තැන්  ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසා ඒ වැඩ මෙහෙයවන එක ලොකු දෙයක් වුණේ නෑ මට…

ජනවාරි දෙවනිදට එළිවෙන්ඩ අවසන් හුස්ම හෙලපු තාත්තගෙ දේහය ගෙදර ගෙනාවෙ තුන් වෙනිද පාන්දර යාමෙ… ඒ වෙලාව වෙනකල්ම මම හිටියෙ හරියට වෙන කාගෙ හරි මළගෙදරක ගිහින් මම උදව් කරනව වගේ හැඟීමක වෙන්ඩ ඇති…

ඒ මහ පාන්දර මම ගෙදර ඉස්තෝප්පුවෙ පුටුවකට වෙලා කකුල් අකුලගෙන හිටිය… නංගිල මල්ලිල යාලුවො හැමෝම මං වටේ හිටිය මතකයි…

එයාල කතා කරන දේවල් මගෙ කණට වැටුණ.. හිතට ගියෙ නෑ… ඒව සද්ද විතරයි…

මගෙ හිත පිරිල තිබුණෙ මොනවගෙන්ද කියල මම අදටත් දන්නෙ නෑ…..

වාහනේ ආව….

කවුදෝ කිව්ව…

මගෙ හිත ගැහෙන්ඩ ගත්ත

තාත්ත!!!!!!!!!!!!!

මට පුටුවෙන් නැගිට්ටවුනා…..

ඇත් දල

ස්ටෑන්ඩ් දෙකක්

වියන්

මල්ශාලාවෙ කට්ටිය හරිම පිළිවෙලයි… පොඩ්ඩක් වත් එහා මෙහා වෙන්ඩ දෙන්නෙ නෑ…. හෙමින් හෙමින්  අපේ ගෙදර සාලෙ මැද්දෙ තමන්ගෙ රාජකාරිය කළා….

ඒක බලන් ඉඳලම මගෙ හිත නොසන්සුන් වුණා…

කෝ තාත්ත???

අන්තිමටම කට්ටිය වාහනෙන් තාත්තව එළියට ගත්ත

වෙනද බස්එකෙන් බැහැල කඩුල්ල පැනල ගෙදර ඇවිත් කාමරේට යන තාත්ත එදා එදා ගෙදර ආවෙ පෙට්ටියක වැතිරිලා කරවල් හයක් මතින්…….

බොහොම පරිස්සමෙන් පෙට්ටිය ඇතුළට අරන් ආපු කට්ටිය වියන ඇතුලෙන් තාත්තව තැන්පත් කලා…

ඒ පිටිපස්සෙන් ගෙදර හිටිය හැමෝම වගේ එතෙන්ට ඇදුන…

හැමෝම හිටියෙ නොයිවසිල්ලෙන්…

පෙට්ටිය ඇරුණ….

තාත්ත ශාන්තව ඒ මැද වැතිරිලා හිටිය… .

තමන් වටේ මේ තරම් පිරිසක් වටවෙලා ඉන්නව කියල එයාට තේරෙන්නෙවත් නැති හැටි….!

ඇදයි නේද පොඩ්ඩක්?

කමිසයේ පොඩි වෙච්ච තැන්, කලිසමේ රැලි සියල්ල හදපු මල්ශාලාවෙ එක් පුද්ගලයෙක් අනෙකාගෙන් ඇහුව…

එක්කෙනෙක් තාත්තගෙ හිස යටින් අත් තිබ්බ

අනෙකා පය යටින් අත තිබ්බ….

ඒ දෙන්න තාත්තව උස්සල ආපහු හරියට තිබ්බ….තාත්තව ඉස්සුණේ හරියට දර කොටයක් වගේ….

කොහෙන්වත් නැමුණෙ නෑ නේද තාත්තව….???

මනුස්සයෙක්ව එහෙම උස්සල ගන්නෙ කොහොමද??

විදුලි වේගෙන් මගෙ ඔලුවෙ මේ ටික වැඩ කළේ!!!

මගේ පපුව ගැහෙන්ඩ පටන්ගත්ත…ඒ සද්දෙ එළියට නෑහුණා පුදුමයි…!!

ඒ කියන්නෙ තාත්තට පණ නෑ නේද???

අනේ !!!!

දෙන්න එක පාරටම හැමෝම බලන් ඉන්න තැන තාත්තට කරපු දේට මට කෑගැස්සුණා..

හැමෝම කලබල වුණා…

කවුරු හරි කෙනෙක් මාව එතනින් අහකට එක්කන් යන්න හදද්දි මං කිව්ව නෑ නෑ එපා මම ඉන්නං කියල

ඒත් බලවත් ඇවිටිල්ල නිසා මට එතනින් ඉවත් වෙන්ඩ වුණා…

මට සෑහන වෙලාවක් යනකල් මැවි මැවී පෙණුන අර මිනිස්සු තාත්තව උස්සල තිබ්බ හැටි!!!

ඇස් ඇරගෙන හිටියත්……… ඇස් වහගෙන හිටියත්…………!

 

ඒත් එක දෙයක් ගැන මට තාමත් පුදුමයි!

තාත්ත නැති වෙලා කියල දැන ගත්ත වෙලාවෙ ඉඳල මගෙ ඇහැට කඳුලු බින්දුවක් ඉනුව නං ඒ අම්ම හරි මල්ලි හරි අඬනව දැක්ක වෙලාවක විතරයි….

ඒ හැරෙන්ඩ මම ඇඬුව මතක නෑ….

තාත්ත නැති වුණා කියල දැන ගත්ත වෙලාවෙ මගෙ කඳුලු හිඳුණද කොහෙද….

ඒ වෙලාවෙ ඉඳල තාත්තගෙ අවසන් කටයුතු කෙරෙන වෙලාවෙ දිවත් මම ඇඬුවෙ නෑ…. මට ඇඬුණෙත් නෑ….

අපිට පේනව මේ නෝනා මහත්මිය සහ එතුමියගෙ දරුවො දෙන්න මේ හදිසියේ ඇතිවුණු අතිශය සංවේගජනක අවස්ථාවට බොහොම හොඳින් මුහුණ දෙනව… තමන්ගෙ ආදරබර ස්වාමි පුරුෂය, මේ දරුවො දෙන්නගෙ පියාණන්ගෙ හදිසි වියෝව අප පවා කම්පනයට පත් කළ සිදුවීමක්….

අනුශාසනා, ගුණ ගායනා වැලක් අවසානයේ තාත්ත සුසාන භූමියෙ තනිකරල ඇවිල්ල වත් මට ඇඬුනෙ නෑ….

කාලය ගෙවුණ…. මමත් මල්ලිත් තාත්ත නැති වෙලා බොහොම කෙටි කාලෙකින්ම අධ්‍යාපන කටයුතුවලට කොළඹට ආව…

අම්මට ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයට යන්ඩ වුනා…

තාත්තත් අපිත් ජීවත් වුණු සොඳුරු නිවහන අපිට නවාතැනක් බවට පත්වුණා….

මහා දුකක් ඇතිවුණ ගමන්ම අපිට ඒකට මුහුණදෙන්නෙ කොහොමද කියල හිතාගන්ඩවත් බැරි වුණාට ඒ දුකත් එක්ක කාලය ගතවෙද්දි ඒකට මුහුණ දෙන්න අපේම විදියක් හැදෙනව…ඒත් එක්කල අර දුක ටිකෙන් ටික වේලෙනව….

 හරියට අටුකොස් වගේ……

අපේ හිත්වල දුකත් ටිකෙන් ටික අටුකොස් වෙන්ඩ ගත්ත…

ආපහු ගෙදරට අපි තුන් දෙනා එකතු වෙන කාලෙ වෙද්දි අපි තේරුම් අරන් තිබුණ මෙතනින් එහාට ජීවත් වෙන්නෙ අපි තුන්දෙනා විතරයි කියල….

ඔහොම ඉන්න අතරෙ අපේ අම්මගෙ හොඳම මිතුරියකගෙ සැමියාට මුඛ පිලිකාවක් කියල දැනගන්ඩ ලැබුණ…

ඔවුන් අපේ පවුලේ හිතවතුන්!!!

සෙනෙවි අංකල්!!!

තාත්තට පස්සෙ මගෙ ජීවිතේ වැඩියෙන්ම මම සමීප වෙලා හිටිය කෙනෙක්!!!

අපි ඔහුව බලන්න ගියා….

ඔහු තමන්ගෙ රෝගීතත්වයට මුහුණ දුන්න ආකාරය ගැන වෙනම ලියන්ඩ ඕනෙ… මට අදටත්  විශ්වාස කරන්ඩ අමාරුයි ඒ වගේ බැරෑරුම් තත්වයකට පත්වුණ කෙනෙක්ට ඒ තරම් ශාන්තව ජීවිතේ ඉදිරි කාලෙට මුහුණ දෙන්ඩ පුලුවන් කියල….

කොහොම හරි සෑහෙන කාලයක් රෝගීව පීඩා විඳිමින් හිටිය ඔහුත් හදිසියෙම අපි අතරින් වෙන් වුණා…

විශ්ව විද්‍යාලෙ තුන් වෙනි වසරෙ විභාග කටයුතු මැද මම මළගෙදරට සහභාගි වුණා….

සෙනෙවි අංකල්ව කුරුණෑගල ආදාහනාගාරයට අරන් ගිහින් දාහකයට ඇතුල් කළා…

අනේ තාත්තා!!!!!!

මට ඒ වෙලාවෙ හිතුණ……

මම නොසිතු විදියට කඳුලු ගලන්ඩ පටන්ගත්ත…. නවත්තගන්නම බැරි විදියට….

අටුකොස් කොච්චර වේලිලා තිබුණත් අපි උණුවතුරෙ දැම්මොත් නැවතත් පෙඟෙනවනෙ…

කාටවත් නොදැනෙන්ඩ ආදාහනාගාරෙ කණුවක් අසල බිම ඉඳගත්ත මම ඇති වෙනකල් ඇඬුව….

සමහර විට පැය බාගයක්!! පැයක්!!!!

අම්ම ඇවිත් ගෙදර යමු කියල කතා කරනකල්ම….

මම ගෙදර ආවෙ එන්න ඕනෙම නිසා….

ගෙදර ඇවිත් වෙනද වගේ අපි තුන්දෙනාම හිටියත් මට මළ පාලුයි…..

මට තාත්තගෙ අඩුව දැණුනෙ සෙනෙවි අංකල්ගෙ වියෝව දවසෙයි….

සතියක් දෙකක් ගිහින් මම මළගෙවල් දවස්වල රාමු කරපු තාත්තගෙ පින්තූරෙ බලන්ඩ අල්මාරිය ඇරිය…

අනේ පුතේ ඕක එළියෙ නං තියන්ඩ එපා…. මට බල බලා ඉන්ඩ බෑ….  ඔය මල්මාලෙ අයිං කරල ඕක පරිස්සං ඇති තැනක තියන්ඩ… හත් දවසෙ දානෙ ඉවර වෙලා ගෙදර අස් කරද්දි අම්ම කිව්ව

අන්න එහෙමයි තාත්තගෙ පින්තූරෙ අල්මාරියට ගියේ…(මේ පින්තූරෙ නම් ඔයාල දැකල තියෙනව)

මම හෙමින් සීරුවෙ ඒක එළියට ගත්ත…

තාත්තගෙ ඇස් .. හරියට මම දිහා බලන් ඉන්නව වගේ … මුහුණෙ පුංචි දුක්බර ගතියක්!!! ඒත් හීන් හිනාවකුත් තිබුණ….

 දෙවියනේ මේ තාත්ත නේද??? තාත්තගෙ මූණ ආයෙත් කවමදාවත් ඇත්තට දකින්ඩ නෑනේද???

අපේ ඇස්පනාපිටම තාත්ත ලෝකාන්තෙන් පල්ලෙහාට වැටුණ වගේ හැඟීමක් මට ඇතිවුණා…

මට ඒ වෙලාවෙ හිතට ආව දේවල් සිහි කරකර ලියන මේ වෙලාවෙත් මගේ ඇස් තෙත් වෙනව…

වැඩි වෙලාවක් බලන් ඉන්න බැරි වුණා..

මට ඉකි ගැහෙන්ඩ පටන් ගත්තෙ කොහොමද කියල මට හොඳට මතකයි…

පපුව හිරවෙන්ඩ වගේ ඇවිල්ල… උගුර දිගේ රත් වෙච්ච බෝලයක් උඩට එනව වගේ….. එදා……..අර තාත්ත නැතිවුණ වෙලාවෙ අඬන්ඩ බැරිව හිර වෙච්ච කඳුලු ගලන්න පටන්ගන්න විදිය හරි පුදුමයි!!!

ඒ වේදනාවෙන් මගේ ඇස්වල කඳුලු පිරුණ…. ඇඳේ ඉඳගෙන පින්තූරෙත් අතේ තියාගෙන මම ඇඬුව……

තාත්තේ!!! අනේ තාත්තේ!!! කිව්ව මිසක් වෙන දෙයක් කටට ආවෙ නෑ…. සද්දෙ පිට වුණෙත් නෑ….

හැබැයි දවස් ගාණක් යනකල් මගෙ උගුරෙ වේදනාවක් තිබුණ…

ඒ වේදනාව දැනෙන හැම වෙලාවකම මට තාත්තව මතක් වුණා…

 

එදා ඉඳල මම අවුරුද්දක් පාසාම වතාවක් දෙකක් තාත්තගෙ මූණ බලනව…. තාත්තගෙ දානෙ දවස ජනවාරි පළවෙනිදට…. ඒ හැර මම කැම්පස් එකේ රස්සාවට යද්දි, ආපහු මේ රස්සාවට එද්දි, පෙම්බරයව හම්බවුණාම, මේ වගේ කීප වතාවක්……

මේ සති අන්තෙත් මම තාත්තව බලන්නයි යන්නෙ,

ජීවිතේ තවත් සොඳුරු කඩයිමක් පසුකරන්ඩ කලින් මට තාත්තගෙ මූණ බලන්ඩ ඕනෙ…..

එයාගෙ ආශිර්වාදය ඕනෙ….

ඒ දවසෙත් මං අඬයි…. මගෙ කඳුලු දකින්ඩ අකමැති පෙම්බරය නං කැමති වෙන එකක් නෑ මේ  වැඩේට…

ඒත් මට තාත්තව දකින්න ඕනෙ…..

ආ කෙල්ලෙ,

උඹ දැං එහෙනං ලොකු ගෑණියෙක් නේද??

කසාදෙකුත් බඳින්ඩයි එහෙනං  යන්නෙ ආ???

තාත්ත ජීවතුන් අතරෙ හිටියනම් එදාට එහෙම කියාවි කියල මට හිතෙනව…..!!!

 

 

 

සෑහෙන දවසක් තිස්සෙ මේ සටහන ලියනව,

පෞද්ගලික ජීවිතේ සිද්ධ වෙන්ඩ යන වෙනස වගෙම රස්සාවෙ අලුත් වගකීම්  එක්ක ඇතිවෙච්ච කාර්යබහුලත්වයත් මාව මගේ සටහනෙන් තරමක් ඈත් වෙන්ඩ බලපෑව….වෙනද වැඩ අතරෙ දඩි බිඩි ගාල සටහනක් අකුරු කළාට පහුගිය දවස්වල ඒකට හිතක් නැති වුණා….

මහන්සි වෙලා ගෙදර ගියාම ආයෙත් ලියන්ඩ අත ගහන්ඩ කම්මැලි හිතුණ…

ඉතිං ඔහොම ගිහිං පෙම්බරයගෙං ඉල්ලගත්ත රූපවාහිනී මාලා නාටකයකට ඇබ්බැහි වුණා…

 

ටික දවසක විරාමයක් අරගන්න ඕනෙ වගේ!!! නැත්තං ලියන දේවල් නීරස වෙනව කියල මටම හිතෙනව…

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මට හිතෙන හැටි. Bookmark the permalink.

37 Responses to කඳුලු……!

  1. Dishan Savithra Rajapaksha පවසයි:

    මගේ ආච්චි මාසෙකට කලින් නැති උනා, මං විතරයි පවුලේ, මාත් මල ගෙදර වැඩ ඔක්කොම කරලා තත එක්ක මිනිය උස්සනකොට තම ඇඩුණේ, මට ආපහු ඒ හැමදේම මතක් උනා 😦

  2. මහිම පවසයි:

    ජිවිතේ පලවෙනි පාරට බ්ලොග් එකක් කියවල ඇහට කදුළු ආවේ අක්කේ
    ඔය සිද්දිය ඔය විදියටම මටත් වෙලා තියනවා
    එත් මම නම තාත්ත පෙට්ටියේ ඉන්නවා නම් මම බැලුවේ නැ

  3. Ravi පවසයි:

    ඊයේ මා කරමත හිඳුවා,
    කඩුල්ල පැන ගෙදරට ආ නුඹ,
    අද සිව් දෙනෙකුගෙ කර මත,
    ඇරුණු කඩුල්ලෙන් ගෙදරට ආවා,

    හිනාවෙමින් ඊයේ නුඹ මට,
    රටකජු ගොට්ටක් දුන්නා මතකයි,
    අද මම නුඹෙ හිස අද්දර දැල්වෙන,
    පිත්තල පහනට පොල්තෙල් දමනෙම්,

    කියන්ඩ වචන නෑ නංගි…ඒ තරම් ලස්සනට ලියල තියනව…….තනි වචනෙකින් කිව්වොත් Superb, වචන දෙකකින් කිව්වොත් Really Superb, වචන තුනකින් කිව්වොත් Really superb Indeed.

    / ටික දවසක විරාමයක් අරගන්න ඕනෙ වගේ!!! නැත්තං ලියන දේවල් නීරස වෙනව කියල මටම හිතෙනව…/

    මොන විකාරද?…….නීරස කමක් නම් කොහෙත්ම නෑ නංගි, ඒත් විවේකයක් ගන්ටම ඕනෙ නම්……..

  4. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    මේ කඳුළු සටහන කියවන හැම කෙනාගෙම ඇහැට කඳුලක් ගෙනේවී.
    ඒ කඳුළු අතරින් ඒ හැමෝම මේ කඳුළු අකුරු කරපු ඔයාගේ අනාගතය වෙනුවෙන් සුභ පතාවී.

  5. හිස් අහස පවසයි:

    මටත් දුක හිතුනේ මගේ තාත්තත් මට අහිමි වෙලා තියන නිසා වෙන්නැති .. අපෝ මම ඒක මතක් කරන්න පවා කැමති නෑ ..

  6. praveena පවසයි:

    අපොයි මට නම් දුකේ බෑ ජනු…කමෙන්ට් එකක් ලියන්ට හිතට එන්නෙත් නෑ…… 😦

  7. සමාදි පවසයි:

    ජනු…. තාත්තගේ ආශිර්වාදය ඔයා කොහේ ගියත් ඔයත් එක්කම තියෙවි, ඒ තත්තලගෙ හැටි.

  8. මධුරංග පවසයි:

    ගොඩක් දුක හිතෙන කතාවක් ජනූ අක්කේ.
    මම් අහලා තියෙනවා දූලා ලූ ගොඩක් අප්පච්චිලාට ආදරේ. ඒ නිසා අප්පච්චි කෙනෙක් නැතිවෙන එක ගොඩක්ම දැනෙන්නේ දූලට ලූ. අනිත් අයටත් ඒක නොදැනෙනවාම නෙමෙයි. මම් කියන්නේ ගොඩක්ම දැනෙන්නේ දූලට.

    ප.ලි. – ඔය කුරුනෑගල ආදාහනාගාරය කියලා කියන්නේ මල්කඩුවාවේ තියෙන එකද ? එතන මම් ආදරේ කරපු ගෑනු ළමයගේ අම්මාව මිහිදන් කරලා තියෙනවා. එයාලෑ ගෙවල් නම් තියෙන්නේ මනෙකලාගේ ගෙවල් පැත්තේ. අක්කා මනෙකව දන්නවනේ.

  9. Nisupa පවසයි:

    මටත් හොඳටම දුක හිතුනා අක්කේ.මාත් මගේ තාත්තට සෑහෙන්න ආදරෙයි.මීට අවුරුදු ගානකට කලින් තාත්තට පිළිකාවක් හැදුන වෙලේ මං කොයි තරම් නම් බය වුනාද තාත්තා අපිට නැති වෙයි කියලා.දෙයියන්ගෙ පිහිටෙන් තාත්තා හොඳටම හොඳ වුනා.

    ඒත් එක්කම අක්කගෙ ජීවිතේ වෙන්න යන වෙනසට සුභ පතනවා. දිගු කාලයක් සතුටෙන් සිටීමට ලැබේවා….:D

  10. Nish පවසයි:

    අනේ තාත්තා!!!!!!

    හ්ම්ම් කාලෙකට පස්සෙ ඇහට කඳුලක් ආවා.

    හ්ම්ම් තාත්තා හිටියනම්

  11. prarthana පවසයි:

    මගේ ඇස් වලින් කඳුළු වැටෙනවා ජනූ අක්කේ.. මට කවදාවත් මම ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වෙන එක දරා ගන්න බෑ,,. ඔයා කොහොම ඒ දේ දරාගත්තද කියලා මට නම් හිතාගන්න බෑ,..

  12. මන්තරකාරි පවසයි:

    භාගයයි කියෙව්වෙ, කියවන්න බෑ දුකයි…

  13. Buru පවසයි:

    හිත සසල කල සටහනක්.
    මගේ අම්මා මිය ගියාම මට දැනුනේ කියා ගන්න බැරි හිස්කමක්. ඒ හිස්කම කවදාවත් මාව අතෑරලා ගියෙ නෑ.
    ඊටත් ටික කාලෙකට පස්සේ අප්පච්චිත් යන්න ගියාම ඉඳලා හිටලාවත් ගෙදර යන්න තිබුන උවමනාව නැත්තටම නැති උනා. අද වෙනකොට මේ දේවල් වෙලා බොහොම කාලයක් ගියා වුනත් එයාලා දෙන්න මතක් වෙන හැම පාරම එන කඳුළු වලකාගන්න මා සමත් නෑ.
    ඔයාගේ තාත්තා කොහේ හිටියත් ඔයා දිහා බලාගෙන ඉන්නවා ඇති.
    සුභ අනාගතයක්….

  14. නවම් පවසයි:

    සමාවෙයං ජනූ, මේකට කමෙන්ට් ලියන්න හිත් හදාගන්න බෑ. වෙනදා ලියන ලස්සනයි, නියමයි කියන වචන කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.

  15. vajiradevi පවසයි:

    මේක කියවලා තාමත් වජිරදේවි කඳුලු පෙරනවා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )