හොද්දට ලුණු ඇඹුල්!!!!

ආ… මේ එන්නේ අක්කල….

ගෙදර ලඟටම එනකල් අපිව දැක්කෙ නැතුව එක පාරටම අපි දැක්කම අම්ම කිව්ව

දඟ කරාද මේ දෙන්න අක්කෙ? අම්ම අහනව…

නෑ නෑ… දෙන්න ගඟට බැස්සෙවත් නෑ ඕං… ලොකු අම්ම කියන්නෙ හිනාවක් බොහොම අමාරුවෙං හංගගෙන…

අම්මත් නොදන්නව නෙවෙයිනෙ අපි ගඟට ගියාම පොඩ්ඩක් හරි වතුරෙ බැහැල ඉන්නව කියන එක….

හිතේ තියෙන බය හිංදනෙ වැඩි පරිස්සමට එහෙම කියන්නෙ..

දුවේ මේ රෙදි ටික වනන්ඩකො.. මං තේ කහට ටිකක් වක්කරන්නංකො බොන්ඩ…..මෙහෙම කියල ලොකු අම්ම ගෙට ඇතුල් වුණා….

ගම්මානෙ අක්ක ගඟේ නාන ගමන් හෝදගෙන ආව රෙදි ටික ගේ ඉස්සරහ වැලේ වනල දිය රෙද්දත් අතෙන් අරන් ගේ ඇතුලට ආව..

ඇයි අක්කෙ ඒකත් එලියෙම වැනුව නං වේලෙයි නෙ….

දිය රෙදි හැන්දෑකරේ එළියෙ වනන්නෙ නෑනෙ නංගි….

ඇයි ඒ??? ඔන්න ඉතිං මගේ සුපුරුදු විමසිල්ල…

හරියටම දන්නෙ නං නෑ ….හොඳ නෑ කියල ලොකු අම්ම තමයි කියල දුන්නෙ…

අක්ක එහෙම කියල දිය රෙද්දෙ වතුර හොඳට මිරිකල අරන් ගිහින් ගෙයි ඇතුලෙ බැඳපු රෙදි වැලක වැනුව..

සමහර විට හොරකම් කරගෙන යයි කියල වෙන්ඩ ඇති….!

හ්ම් වෙන්ඩැ…මං පහන තියන්ඩ මල් ටිකක් කඩන්නංකො…. නංගිත් එනවද??

හා  යමු කො…

හැන්දෑවට පිපෙන හෙන්දිරික්ක මල් අපි දිහා බලල හිනාවෙනව හරියට “අනේ මාවත් නෙළා ගන්න බුදු සාදුට පූජා කරන්ඩ” කියන්න වගේ..

අපි මල් වට්ටිය පිරෙන්ඩ පාට පාට හෙන්දිරික්ක මල් නෙලුව…. ඊට පස්සෙ ගම්මානෙ අක්කගෙ රෝස පඳුරෙ පිපිල තිබුණා ඈතටත් සුවඳ හමන ලස්සන රෝසමලක් නෙලල මල් වට්ටිය මැද්දෙන් තිබ්බ….

යං දුවේ තේ බොන්ඩ… ආව හැටියෙම ගඟට දිව්ව මිසක් මොකවත් කෑවෙ බිව්වෙ නෑ නෙ… ලොකු අම්ම කතා කලේ මට…

අක්කත් එක්කම එන්නං

නෑ නංගි යන්ඩ මං ආතට මල් ටික දීල එන්නං…

මං ලොකු අම්මත් එක්ක කුස්සියට යනකොට මල්ලි නං හොඳට ඉඳගෙන හැලප කනව…. හොඳට ඉදිල පිපිරෙන්න ලං වෙච්ච පූවාලු ඇවරියක් මේසෙ උඩ බබලනව…

අම්ම මිටි හිරමනේ උඩ ඉඳගෙන පොල් ගානව… නැන්දත් හාල් ලිපේ තියන්ඩයි සූදානම…

ආච්චි අම්මත් කුස්සිය මුල්ලෙ තියල තිබුණ මිටි පුටුවෙ ඉඳගෙන ආගිය කතා කිය කියා කිය කියා හිටියට මොකද ඔඩොක්කුවෙ හාල් කුල්ලක් තියාන වී ඇහිඳිනව

ඔය හැටි හැලප කන්ඩ එපා කොල්ලො… දැං රෑට බත් කන්නෙ නෑ ඕං ඔය වංගියෙ…දෙවනි හැලපෙටත් අත දාන මල්ලිව දැකපු ආච්චි අම්ම කිව්ව….

අනේ මට බඩගිනියිනෙ ආච්චිඅම්මෙ…. මල්ලි මූණ ඇඹුල් කරගත්ත…

හා හා… කන්ඩ කො… එහෙනං… හැබැයි රෑට බත් කන්ඩත් ඉඩ තියාගන්ඩ වෙයි ඔන්න…

දුවේ මෙහෙ එන්ඩකො… මේං මේ හාල් ටික දාන්ඩ ලොකු අම්මගෙං වටිටියක් ඉල්ලං එන්ඩකො…

ආච්චි අම්ම උන් තැනිං නැගිටිවන්ඩ කම්මැලිවට මට කිව්ව…

මං වට්ටියක් අරං ආව…

ඉතිං ආච්චිඅම්මෙ එකවරම නෑඹිලියට දැම්මනං හරිනෙ හාල් ටික කුල්ලෙං…

ආච්චිඅම්ම සකසුරුවමට කුල්ලෙං හාල් ටික වට්ටිනට දාල ගල් වංගෙඩිය ලඟ  තිබුණ පිත්තල කැටේ අරන් හාල් මැනල නෑඹිලියට දානකොට මං කිව්ව…

මේ සේරම උයන්නෑනෙ දුවේ…. කුල්ලෙං නෑඹිලියට දානවට වඩා ලේසියිනෙ වට්ටියට දාල මැන්නාම හැලෙන්නෙ අපතෙ යන්නෙ නෑනෙ…

ඉතිං ආච්චි අම්මෙ කව වටිටියකටත් දාන වෙලේ ඔය ටික පරිස්සමෙං නෑඹිලියට දාල වැඩියි කියල හිතුනොත් ආපහු කුල්ලට දාන්ඩ බැරියැ…

හා හා… නෑඹිලියට දැම්මට පස්සෙ ආයෙ කුල්ලට දාන්නෙ නෑ දුවේ…

ඇයි ආච්චි අම්මෙ ඒ???

ඒක චාරිත්‍රයක් දුවේ… කුල්ලෙං නෑඹිලියට දැම්මට නෑඹීලියෙ තිබ්බ දෙයක් ආපහු කුල්ලට දාන්නෙ නෑ…එව්ව මතක තියාගන්ඩ ඕනැ දේවල් ගෑනු ළමයි වුණාම… බත් බෙදද්දි හැන්දෙ ඇලිල තියෙන බත් ගසන්ඩ මුට්ටි කටේ හැන්ද ගහන්නෙ නෑ….. හැන්දැකොරේ ගේ අතුගාල කුනු එළියට දාන්නෙ නෑ….

අර අක්ක දිය රෙද්ද එළියෙ වනන්නෙ නෑ කිව්වෙත් ඒ වගේ දෙයක් හන්දද??

ආන්න  හරි !!! ඒ වගේම එකක් තමා!!! ආච්චි අම්ම උත්තර බැන්ද…

 

මේං මේ ලූණු ටිකත් විග විගහිං සුද්ද කරන්ඩකො දුවේ…

කඩිමුඩියෙ කුස්සියෙ එහාට මෙහාට දුව දුවා ඉවුම් පිහුම් කරන ලොකු අම්ම කිව්වෙ ගම්මානෙ අක්කට…

මාත් එන්නංකො….. මෙහෙම කියල මාත් වාඩි වෙලා හිටපු මිටි බංකුව ඇදගෙනම අක්ක ලඟට ගියා….

ලොකු අම්ම හාල් ගරල මුට්ටියට දාල ගාණට වතුර තියල නෑඹීලියටත් වතුර ටිකක් තියලයි ලිපේ තිබ්බෙ….

ඊට පස්සෙ ලොකු අම්ම බත් ඇලියට අත් දෙක එකතු කරල වැන්ද!!!

ඒක නං  ආච්චිඅම්මත් කරන හංද මම  දන්න චාරිත්‍රයක් නෙ…

බත් කන අපි බත්වලට ගරු කරන්ඩ නෙ වඳින්නෙ…

 

මොනවද ලොකු අම්මෙ ලිපේ???

මං ලිප ලඟ ඉඳගෙන හිටපු ලොකු අම්ම ලඟට කිට්ටු වුණා… කුම්බලා කරවල හොද්දක් ලිපේ දුම් දානව!!!පොල් කටු හැන්දෙං ලතාවකට හොද්ද හැඳිගාන ලොකු අම්ම හැන්දෙන් අල්ලට හොදි ටිකක් දාල රස බැලුව….. ටිකක් කල්පනා කළා….

ඇයි ලොකු අම්මෙ??? මං ඇහුවට මොකද ලොකු අම්ම කතා නෑ…

මං පුදුමෙට පත් වුණේ ලොකු අම්ම ඊ ලඟට කරපු දේ දැකලනෙ…

කතාවක් නැතුව හැන්ද දාල හොද්ද වතාවක් දෙකක් කළවම් කරපු ලොකු අම්ම හැන්දට හොදි ටිකක් ගත්ත…

අරන් පිලිවෙලට ලිග්ගල් තුනට වක්කළා….

ඒ මොකද්ද ලොකු අම්මෙ ඒ කළේ???

මං ඇහුවෙ පුදුම වෙලා කටත් ඇරිච්ච ගමන් ටිකක් වෙලා බලාගෙනත් ඉඳලයි…

මොකද්ද දුවේ???

අර හොදි අරන් ලිග්ගල්වලට වක්කළේ??

ආ…. ඒකද??? ඒක කෙමක් නෙ දුවේ

කෙමක්???

ඔවු… දැන් දුවගෙ ඇහේ නගනයක් හෙම ආවම මුතුගල කිරිඅම්ම මොකද කරන්නෙ??

තුත්තිරි ඉස්ම ගානව….

බඩ පුරවගෙන පැත්තකට වෙලා බූල් පූසව හුරතල් කරකර හිටපු මල්ලි එකපාරටම කිව්ව!!

ඒ තුත්තිරි ඉස්ම ගාන්ඩ තුත්තිරි ගහ කඩන්නෙ කොහොමද??

දන්නෙ නෑනෙ??

තුත්තිරි ගහ කඩන්නෙ කතා නොකර ගිහින්!! ඒකෙංම සනීප වෙනව නෙ නගනෙ???

කෙම් කියන්නෙ දුවේ ආං ඒ වගේ පොඩි පොඩි ඇබැද්දි අසනීපවලට ගමේ ගොඩේ ඇත්තො හොයාගත්ත ප්‍රතිකර්ම නෙ…

කරවල හොද්දෙ ලුණු පොඩ්ඩක් ඉහලිං තිබුණෙ..

ආං ඒ වගෙ වෙලාවට කතා නොකර ලිග්ගල් තුනට හොදි ටික ටික වක්කරන එකෙං හොද්දෙ ලුණු අඩු වෙනව

අපිට ගෘහ විද්‍යාවට නං උගන්නන්නෙ ඒ වෙලාවට අල පෙත්තක් හොද්දට දාන්ඩ කියල….

ගම්මානෙ අක්කට තමන් ඉගෙන ගත්ත දේකුත් මතක් වෙලා

 

ඉතිං එතකොට කෙං ගෙඩි කෝ????

පැත්තක හිටපු කටකාරි, ගම්මානෙ නංගි ඇහුව…

.කෙංගෙඩි??? හැමෝම පුදුම වෙලා ඇහුවෙ එක පාරටම

ඔවු කෙංගෙඩි …. ඇයි ඔය මාමල “ඕනෙ කෙංගෙඩියක් කරගනිං” කියන්නෙ

අපි කට්ටියගෙම හිනාව පිපිරුණේ එක පාරටම…

හනේ හනේ…. ඉගෙන ගෙන තියෙන එව්ව මේකි…. ඒ කියන්නෙ මේ කෙම් නෙවෙයි කෙල්ලෙ…. එව්ව වෙනයි මෙව්ව වෙනයි…. ඒකෙං මේකෙං කියන්ඩ ආව දේ අමතක වෙනවනෙ…ඉතිං දුවේ ආයෙ අල පෙත්තක් ගන්ඩ අල ගෙඩියක් කපල නහත්ති කරන වෙලේ මේ කෙම කළාම ඒක ඉතුරුයි නෙව… මුලුතැංගෙට විද්‍දියාව විතරක් නෙවෙයි සකසුරුවමයි වැඩියෙං ඕනැ කරන්නෙ….

පැත්තක ඉඳල අපේ කතාව අහගෙන හිටිය ආච්චිඅම්මත් කිව්ව….

හ්ම්!!! මම කල්පනාවට වැටුණ….

 

පුංචි කමට මටත් හිතුණ ආච්චි අම්ම කියලු එකේ ඇත්තක් තියෙනව කියල..

ඒ කාලෙ පහු කරං ඇවිත් කොලඹ කාමර කෑල්ලක තනියම උයාගෙන කාගෙන විශ්වවිද්‍යාලෙට යන කාලෙදි අපේම හිතවතියක් හාල් රයිස් කුකර් එකට දාල ප්ලග් එක ගහල වැන්දම කාමරේ හිටිය අනිත් කෙල්ලො ටික හිනාවුණා…. ඒත් මට හිනා ගියෙ නෑ… මට යමක් මතක් වුණා… පුංචි කාලෙ ඉඳල දැනගෙනත් මම ඒ දේවල් පුරුද්දක් විදියට කරන්නෙ නෑ නේද කියල…

මට අපේ හිතවතිය ගෙ හැඟීම් තේරුණා..ඈ පිරිසක් ඉස්සරහ පත්වුන අපහසුතාවයෙන් මුදාගන්ඩ ඉදිරිපත් වුණු මම “ ඈ වැන්දෙ රයිස් කුකර් එකට  නෙවෙයි අපි කන බත්වලටයි” කියල කිව්වාම නම් යාලුවොන්ට කරකියාගන්ඩ දෙයක් නැති වුණා….

 

ගම්මානෙ ලොකු අම්මගෙ කරවල හොද්දෙ ලුණු රහ නං මට මතක නෑ…. ඒත් මේ පහුගිය දවසක මම උයද්දි පරිප්පුවක ලුණු වැඩි වෙලා තිබිල මම බොහොම අමාරුවෙන් තමයි හිත පාලනය කරගත්තෙ… ගෑස් ලිපක් නොවී ගෙදර දර ලිප වගේ වුණා නං ආයෙ දෙකක් නෑ මං අත් හදා බලනව අර කෙම….

 

හා………….. දැං කවුරු කවුරුත් එක්කල හොදි මාලුපිණිවල ලුණු වැඩි වුණාම ඕක කරල බලල ප්‍රතිපල දන්වන්ඩකො

 

 

ඕං කාලාන්තරෙකට පස්සෙ මල්දෙනියට ගොඩ වැදුණ. මේක ලියන්ඩ දවස් ගාණක් ගත වුණා. රවී අයිය නං ඉන්තේරුවෙංම කියාහිටියෙ මේ පාරවත් සිමියොං ගැන ලියහං කියල… ඒ වුණාට ඒ සිමියොං  කොහෙද අප්ප එහෙ?? ඔරු පදින සීමොං ආත මිසක….

 

ඒකයැ, කෝ දැං ඔය මල්දෙනියෙ විත්ති ලියන්ඩ ලියන්ඩ කියල කෑගොස්සං ගහපු එවුවො හැබෑට??

 

 

 

 

 

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

42 Responses to හොද්දට ලුණු ඇඹුල්!!!!

  1. praveena පවසයි:

    අපොයි මේ ඉන්නේ!!!

    ඔන්න ඉතින් පොඩ්ඩිගේ කෑමට ලුනු වැඩි වෙන විදියට ඔය කෙම කරන්ට නම්, ඔය කියන උයන ගෙයිම තමා උයා, පිහාගන්ට වෙන්නේ. කුම්බලා කරවල හොද්ද, හැලප අනේ මන්දා…ආයම දවස් කීපයක් බඩ පපුව දදා, කෙල ගිල, ගිල ඉන්ට වෙයිද? නංගියේ උඹැහැ ආවේ මට මේ තරම් දුක් ගිනි කන්දරාවක් දෙන්ටද?……:)

    ඔය බත් හැලියට වඳින එක වලව්වෙත් තාමත් කෙරෙනවා.

    මෙන්න මම ආසම උනු කොටස…//හැන්දෑවට පිපෙන හෙන්දිරික්ක මල් අපි දිහා බලල හිනාවෙනව හරියට “අනේ මාවත් නෙළා ගන්න බුදු සාදුට පූජා කරන්ඩ” කියන්න වගේ..//

    • බත් හැලිය ලිපේ තියන්ඩ කලිං වඳින පුරුද්ද නං ඇරිල ගියා… ඒත් මං තාමත් බත් එක ඉදුනම කූරු ගාල බෙදන්ඩ කලිං නං වඳිනව රයිස් කුකර් එකට වුණත්…. ඒක මං අපෙ චූටි මාමගෙ නෝන මහත්තයගෙං ඉගෙන ගත්ත හොඳ පුරුද්දක් නෙ….
      ඇයි මං විතරක් පොඩ්ඩි අක්ක ආව එකටත් සතුටුයි!!!
      එන්නංකො වෙලාවක එය හැලප ටිකක් කාරිය තම්බල දෙන්ඩ

  2. දුමී පවසයි:

    නගාගේ පෝස්ට් එක මාවත් අවුරුදු ගාණක් ඈතට මාව අරගෙන ගියා. ඉස්කෝලේ නිවාඩුවට ඇල්පිටියේ හරි මතුගම හරි ගියාම ආත්තම්මලා, නැන්දලා, එව්ජින් අක්කලා කුස්සියේ පාපු වික්‍රම එහෙම මතක් උනා. ඒ වගේම ඒ ගමේ ගොඩේ කෑමවල රස ආපහු දිවට දැනෙන්න පටන් ගත්තා.

    හොද්දේ ලුණු වැඩි උනහම හලන්න දැන්නම් ඉතින් කොහෙන්ද බොලේ ලිග්ගල්. ගෑස් ලිපට හොදි වැක්කුරුවොත් ආපහු සුද්ද කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නෙ.

    ඔය පරණ චාරිත්‍ර මතක් කරපු වෙලාවෙ අපේ හාමිනේගේ අම්මා ගෙදරදි කරන චාරිත්‍රයක් මට මතක් උනා. ඒ තමයි ගෙදර හදන බත් මුට්ටියෙන් පලවෙනි බත් පිඟාන බෙදන්නෙ හාමිනේගේ තාත්තට. ගෙදර බත සරිකරන තාත්තාට කරන ගරු කිරීමක් තමයි ඒක. මගේ ඇහැට කඳුලු ආපු දවසක් තමයි, හාමිනේ අම්මයි තාත්තයි නිවාඩුවකට මම ඉන්න රටට ආපු වෙලාවක හාමිනේගේ අම්මා ඉස්සෙල්ලාම බත් එක මගේ පිඟානට බෙදපු දවස. හාමිනේගේ තාත්තත් හිටපු එදා මම ඒ බත් එක හාමිනේගේ තාත්තට දුන්නේ ජීවිත කාලෙදිම අපේ හාමිනේගේ අම්මා කරගෙන ආපු පූජාව එක දවසක් වත් කඩ වෙන්න ඕනෙ නැති නිසයි.

    • අයියෙ, ඒ වගේ පුරුදු පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ නිකංම නෙවෙයි නෙ… වටිනාකමක් තියෙන නිසා නෙ… සමහරුන්ට අපි රයිස්කුකර් එකට වඳිනව කියන එක විහිලුවක් වගේ පේන්ඩ පුලුවන් … ඒත් ගමේදි අපි බත් හැලියට වැන්දාම එහෙම හිතෙන්නෙ නෑ නෙ…. අනික ඔය පවුලෙ ප්‍රධානියට නැත්තං පිරිමියට මුදුන් බත බෙදන එක මම දන්න බොහෝ ගෙවල්වල තාමත් කෙරෙන දෙයක්…දැන් මං වුණත් නවාතැනේදි මුදුන් බත බෙදන්නෙ අපෙ මලයට…. පෙම්බරයගෙ ගෙදරදි පෙම්බරයට…. (උන්දැ දන්නවද දන්නෙ නෑ මේ ගැන…)
      අයියවත් සාදරෙන් පිළිගන්නව මල්දෙනියට

  3. Buratheno පවසයි:

    අපි මෙහෙ ඉන්නවෝ.. අර කියැවුවත් වගේ නගේ කොහොමෙයි හොද්දට ලුණු වැඩිවුනා කියලා කෙම් කොරන්නෙ..?? උයන්නෙ ගෑස් ලිපේ වෙච්චි.. 😦

  4. නදී... පවසයි:

    මම් අහල තියනව හොද්දකට ලුණු වැඩි උනොත් හොද්ද ලිපෙන් බාලා පත්තර කොලේකින් වහල තියන්න කියල ලුණු අඩුවෙනවලු.ඔයා ලියන විදියට මම් ආසයි කියවන්න.

    • ස්තූතියි නදී… අදයි මේපැත්තෙ ඉස්සෙල්ලාම දැක්කෙ! සාදරෙන් පිළිගන්නව
      ඔවු ඔය පත්තර පිටුවෙ කතාව මාත් අහල තියෙනව…
      තව දෙයක්.. පත්තර පිටුව කිව්වාම මතක් වුණේ…
      ඔය වාහනවල ගමං යද්දි වමනෙට එන අය ඉන්නව නං එහෙම දැනුණාම සීට් එකේ පත්තර පිටුවක් එලල ඒක උඩ උඩ වාඩි වෙන්ඩකො….. මට නං නියමෙට වැඩ කරපු කෙමක් තමා ඒක…

  5. gizza පවසයි:

    //ඒකයැ, කෝ දැං ඔය මල්දෙනියෙ විත්ති ලියන්ඩ ලියන්ඩ කියල කෑගොස්සං ගහපු එවුවො හැබෑට??//
    මෙන්න ඉන්නවා කෑගොස්සං ගහපු අපි 😀
    අදත් කාලෙකට පස්සෙ ලස්සන අතිතයකට අපිව අරගෙන ගියට ජනුට බොහෝම ස්තුති
    ජනුගෙන් බොහෝම අහිංසක ඉල්ලිමක් කරන්න තියනව අඩුම ගානේ සතියකට බ්ලොග් 1~2 වත් ලියන්න අපිට කියවන්න…
    (අපේ පලාතෙත් කියන්නෙ නම් ඔක්කොම එලවලු ව්‍යංජන වලට කියන්නේ මාළු කියල තමා ඔය වචනේ නිසා මටත් මාර ඈබෑදි වලට මුණ දිලා තියනවා 😀 )

  6. deeps පවසයි:

    පොඩි කාලේ ආච්චිලගේ ගෙදර ගියාමත් මෙහෙම තමා

  7. D.G.M බස්සා පවසයි:

    අපි ඉතිං කෑගහන්නෙ නෑනෙ. හූම්..හූම් කිය කිය දොරකඩ ගහට වෙලා කෙල ගිලිනව විතරමයි. ඕං මාත් ආව, හොට දාලා යන්න.

    අපේ නැන්දගෙ දොරකොඩ බක, බක ගානා
    මේකා තමයි බකමූණා..

  8. abeetha පවසයි:

    http://narabamusrilanka.blogspot.com/2011/06/blog-post_12.html මෙන්න මේකත් තියෙන්නේ ඔය කියන මල්දෙනියේ තමයි ඔන්න…. (කොත්මලේ මල්දෙනියෙද ජනූ….)

  9. Ravi පවසයි:

    ජනූ නඟේ, මල්දෙනියෙ විත්ති ආයෙම ලියන එක නම් හරිම සන්තෝසයක්…..

    ඔය දිය රෙදි සීන් එක මෙහෙමලු……ඉස්තිරී පක්සෙ ඔය කිළි වෙන කාල වකවානුවෙදි එහෙම එලි පෙහෙලියෙ දිය රෙදි වැනුවම කළු කුමාර දිෂ්ඨිය වැටෙනවයි කියල තමයි කියන්නෙ.

    තකහනියක් ඕක මම දැනගත්තෙ අපෙ ලොකු අම්මගෙන්. අපෙ අම්ම දන්නෙත් නෑ හරියට හේතුවක්.උඹට කියන්ඩ නගේ ගම රට ආපු ගමන් මම ලොකු අම්මව බලන්ට ගෙහුං හිට වැඳල කරල කාරිය ඊළඟට ඇහුවෙ ඔන්න ඔය පුරස්නෙ.

    “ඈ, ලොකු අම්මෙ,මොකදෑ හැබෑටම ඔය දිය රෙදි රෑ පානෙ එළි පෙහෙළියෙ වනන්නෙ නැත්තෙ? ”

    ” ඈ පුතේ ඔය උඹ ඉන්න දිහාවෙත් තියනවද දියරෙදි එහෙම? ” ඔන්න උන්දැ කටත් බාගෙට ඇරගෙන මගෙන් අහපු එක.

    මම කිව්ව ඒ පාර ” නෑ, නෑ, ලොකු අම්මෙ එහෙ ඇති දිය රෙද්දක් නෑ. මේක මේ මල්දෙනියෙ ජනූට වෙච්චි එකක් කියල……හෙහ්, හෙහ්,”

  10. ගෝල්ඩ් fish පවසයි:

    ජනු අක්ක කෑම ගැන ලියන විදියට පඩිකක්මක් ලඟින් තියාගෙන තමා මේක කියවන්​න වෙන්නේ… මරු ඈ….

  11. නදුන් උයන පවසයි:

    මම හිතන්නේ මම පලවෙනි වතාවට මෙ පැත්තට ගොඩ උනේ…. මාරම දැනුමක් තමයි එකතු උනේ…
    ඇත්තටම කියන්න මෙතන තිබ්බ කෙම් ක්‍රම එකක් වත් මම දැනගෙන හිටියෙ නැ.
    අර බත් වලට ගරු කරන කතාව නම් දන්නව… අපේ තාත්තත් හොඳ ගොවියෙක් නිසා…

    ස්තූතියි දැනුම බෙදාගත්තට….

  12. Nihal Gurusinghe පවසයි:

    “කුල්ලෙං නෑඹිලියට දැම්මට නෑඹීලියෙ තිබ්බ දෙයක් ආපහු කුල්ලට දාන්නෙ නෑ…”
    ඒක ලස්සන කතාවක්
    කුල්ල කරන්නේ හොඳ දේවල් තියා ගෙන නරක දේ අයින් කරන එක. නෑඹිලිය කරන්නේ නරක දේ තියා ගෙන හොඳ දේ අයින් කරන එක. ඒ නිසා නරක දේ ආයෙමත් කුල්ලට දාන එකේ තේරුමක් නෑ.

  13. තාරක Dilsh@n පවසයි:

    ලුණු වැඩි වුනාම එහෙම නම්, මිරිස් වැඩි වුනාම කරන දෙයක් එහෙම දන්නේ නැද්ද???

    • නෑනෙ මලයො… මිරිස් වැඩි වුණොත් ඉතිං වැඩේ දෙල් වෙනව….
      මාලුපින්නක් ඒදද්දි තුනපහ අඩුවැඩිය ගාණට දානව කියන්නෙ ඉතිං අතේ හුරුවෙං කරන දෙයක්නෙ….ඒකට කාලයක් උයන්ඩ ඕනෙ… දැං අපේ අම්මල පරිප්පු හින්දල ඉව්වොත් හැමදාම එකම රහ නෙ.. ඒ එයාල තුනපහ දාන අනුපාතය හොඳට හුරු වෙලා තියෙන නිසා තාම අපි ඉව්වට එහෙම නෑ…. ඒ අපි අඩුවැඩිය යොදන විදිය තාමත් එහා මෙහා වෙන හන්දනෙ….

  14. vajiradevi පවසයි:

    හංසකිංකිණි.. සුන්දර මතක එකතු කරල ලියන විදියට වජිරදේවි බොහොම මනාපයි…කුම්බලා කරවල කන්නත් දැන් හිතිලයි තියෙන්නේ..

  15. නවම් පවසයි:

    මං නං ලුණු වැඩි උනාම අනිනව ටොක්කක්. පස්සෙන්දට ලුණු ඇත්තෙම නෑ එතකොට.

  16. Buru පවසයි:

    ඔයාගේ බ්ලොග් එක මුල ඉඳන්ම රෑට රෑට කියවන හින්දා මට ප්‍රශ්න ගොඩක් තියෙනවා.

    මේ ලියන ඔයා ඒ තරමට වයස කෙනෙක් කියලා මට හිතෙන්නේ නෑ.
    ඒ උනාට මට කවදාවත් දකින්න නොළඹුනු අහන්න නොලැබුනු මේ තරම් දේ කොහොමද ඔයාට තියෙන්නේ…

    කොටින්ම ඔයා මේ කියන ගමට ගිහින් මේ දේවල් මගේ ඇස් වලින් බලාගන්නකම් මට හිතෙන්නේම ඔයා ප්‍රභන්දයක් ගොතනවා කියලා. ඒ තරමට මේ ලියුම් අස්සේ මම අසරණ වෙලා. ඒකෙන් කියන්නේ ඔයා ඒ තරමටම නිර්මානාත්මකයි.
    ඔය මාළුව කතාව නම් බලන්ගොඩ අපේ ගමෙත් කියනවා. එක දවසක් කොහෙ හරි කෑමට ගිහින් ඔය අහවල් මාළුවා කිවුවම මම ගත්ත කටටම කිව්වනේ මම මාළු කන්නේ නෑ කියලා. ( මම ඇත්තටම හිතුවේ මාළුවෙක්ගේ නමක් කියලා.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )