මල්ලිගෙ චාටු කතා!!!

කුසුම ලොකු අම්ම හරි හපනි!!!

පීනන්ඩ නං පීනන්ඩ.. ඒකත් මේ සුලුපටු තැංවල හෙම නෙවෙයි… දැහැන්වකේ!!!
ඒ විදියට දැහැන්වකේ පීනන්ඩ නං උපං හපංකමක් තියෙන්ඩ ඕනෙ, ඒ විතරක් මදි හිතේ හයිය කොයි තරං නං ඕනෙද ඒක හරහ පීනන්ඩ??? ඒ විතරක් නෙවෙයි…. කෑම හදන්ඩ, කිරි කපන්ඩ ඕනෙ වැඩක්!!!

උන්දැට හරි නොගිය එකම දේ තමයි කසාදෙ….

ඔය කෙලී ගෙට වුනේ ඉරිද දවසක නෙව…. නිකංයැ ඔය ඉරිද දවසක ගෙට වුනාම කාක්කෙක් වත් ගෙට උඩිං පියාඹන්නෑ කියන්නෙ….

ලොකු අම්මට මගුලක් හරි නොගිය එක ගැන කතා වෙන හැම වතාවකම වගේ ආච්චිඅම්ම මෙහෙම කිව්ව….

මොකද්ද ආච්චිඅම්මෙ ගෙට වෙනව කියන්නෙ??? ඒ පාර ඒ ගැන දැනගන්ඩ ඕනැ වුනේ මට

ඒ කියන්නෙ ගෑනු දරුවෙක් ලොකුමහත් වෙනවට…

එතකොට කාක්කෙක් පියාඹන්නෑ කිව්වෙ මොකද්ද???

එව්ව කියාදෙන්නංකො පස්සෙ… උන්දැ හැම දාකම කතාවෙං ලිස්සල ගියා!!!

පස්සෙ කාලෙක නං මට ඒ කිව්ව දේවල් තේරුම්ගන්ඩ පුලුවං වුණා…

හැබැයි ඔය ඉරිද දවසෙ කතාව නං මම හරියට දන්නෙ නෑ… එහෙමට විස්වාස කරන්නෙත් නං නෑ… ලොකු අම්ම විවාහ නොවෙන්ඩ  ඒක හේතු වුණා කියල මට හිතෙන්නෙ නෑ… මොකක් හරි වෙන අපි නොදන්න හේතුවක් ඇති ඒකට….!!

දැන් කොහොමිං හරි කියන්ඩ ආවෙ නාන්ඩ ගිය කතාවනෙ…..

කුසුම ලොකුඅම්මත් එක්ක ලැහැත්ති වෙලා අපි නාන්ඩ ගිය දැහැන්වක ගැන මං ඔයාලට කියල තියෙනවනෙ කලින්!!

දැන් ඔය දන්නෙ නැති කෙනෙක් එහෙම ඉන්නව නං මේං මෙතනින් ගිහිල්ල බලාගෙන එන්ඩකො කතාව…

දැහැන්වකට යන අඩිපාරෙ දෙපැත්තෙ මීවන ජාති පිරිල… බලන්ඩ හැඩයි!!!

එක එක ජාතියෙ එව්ව…

මමයි මල්ලියි ගම්මානෙ අක්කයි නංගියි කීප විඩේට මග නතර වුණේ ඔය මීවන ජාති බලන්ඩ..

ආං බලන්ඩ ලොකු අම්මෙ… අර මීවන පඳුර දිහා!!!අනේ අපේ පැත්තෙ නං එව්ව වවන්නෙ පෝච්චිවල… මෙහෙ කැලේට නෙ වැවෙන්නෙ.. මං දැකල තියෙනව පොලේ මේ පැල විකුණනවත්….!!!!

ඈ??? හැබෑට…??

ඔවු… මං හිතන්නෙ ඒව මේ වගේ පැතිවලිං ගලවගෙන ගිහිං විකුණනව ඇති!!!

ගම්මානෙ අක්ක කිව්ව

හප්පේ….මිනිස්සු විකුණන දේවල් හැබෑට….! හා … පය ඉක්මං කරල යමු… රෑට උයන්ඩත් එපැයි පුතේ නංගිලට!!!

කුසුම ලොකු අම්ම අපිවත් එක්කරගෙන  ගඟ දිහාවට ගියා

අක්කෙ අපි දෙන්නත් බහිමුද ගඟට???

ලොකු අම්මත් එක්ක ගම්මානෙ අක්කයි නංගියි නාන්ඩ ගඟට බහිනව දැක්කම මල්ලි රහසිං වගේ  මගෙන් අහනව..

බෑ බෑ… අම්ම කියලමනෙ එව්වෙ අපි දෙන්නව බහින්ඩ එපයි කියල…. ආයෙ අපි දෙන්නට මෙ‍හෙම එන්ඩ වත් හම්බ වෙන එකක් නෑ…

මං එහෙම කිව්වම මල්ලි කරබාගත්තෙ වැඩි කැමැත්තකින් නං නෙවෙයි…

ලොකු අම්ම දැහැන්වකේ පීනන්නෙ නැද්ද???

දැං හවස් වුණා වැඩියි පුතේ දැහැන්වකට යන්ඩ…. මේ ඉවුර ලඟින්ම නාගෙන ගොඩ වෙනව විජහනියට…

මේ වෙලාවට වතුර සීතලද ලොකු අම්මෙ???

ටිකක් සීතලයි පුතේ….!! ඒ වුණාට ගඟේ එක පාරක් ගිලුනම සීතල කොහෙ ගියාද නෑ!!!

මලය සැරෙන් සැරේට එක එක ප්‍රශ්න අහනව

අනේ ලොකු අම්මෙ මාත් බහින්ඩද???

මල්ලි ඇහුවම අපි කටිටියටම හිනා ගියා….!!!

නාන්ඩ නං බෑ පුතේ!!! ඔය ඉවුර ලඟින්ම මූණ හෝදගන්ඩකො… ඔයා තෙමිල ගියොත් එහෙම අම්ම මටත් එක්ක බනියි!!

මල්ලිට ඉතිං ඉහේ මලක් පිපිල වගේ!!!

ඒ පාර මල්ලි හෙමින් සැරේ ගඟට බැහැල  ඉවුර ලඟම ගලක් උඩ ඉඟගෙන වකුරට කකුල් දාගෙන වනන්න පටන් ගත්ත..

ඔයත්  එන්ඩ…. මල්ලි මටත් කතා කරනව…

ඔන්න ඒ පාර මමත් ගිහින් ඉඳගත්ත…

පුංචි පුංචි මාලු පැටවු අපේ කකුල් වටේ කැරකෙනව… ඒ විතරක් නෙවෙයි කොටනව!!

හංකිති කැවෙනව මුං කොටද්දි නේද අක්කෙ???

හ්ම්!!!

ලොකු අම්ම ඊලඟ පාර ආවම මට පීනන්ඩ කියල දෙනවද???

ගම්මානෙ අක්කයි නංගියි අපූරුවට පීනන හැටි, ගිලිල නාන හැටි දැක්කම මල්ලිට විතරක් නෙවෙයි නොකීවට මටත් ආස හිතුණ පීනන්ඩ ඉගෙන ගත්තනං කියල

හා ඕක මොකද්ද පුතේ අපි ඊලඟ පාර ආවාම ඉගෙන ගමුකො!!

අනේ යන්ඩ

ඔයාල මෙහෙ එන්නෙ එක දවසකටනෙ…

එක දවසිං කොහොමද පීනන්ඩ ඉගෙන ගන්නෙ

ගම්මානෙ නංගි කිව්ව…

මං කොහොමහරි ඉගෙන ගන්නංකො… ඔයා ඉන්ඩකො!!!

 

හා හා… නාල ඉවර නං ඔය දෙන්න ගොඩ වෙන්ඩ ගඟෙන්

දැං යන්!!!

 

අපි කට්ටියම ගඟෙන් එගොඩ වෙනව..ලොකු අම්ම ඇඳුම් මාරුකරගන්නකල් ගඟට බහින පඩිපෙළ දිගේ දියගොඩ සැමතැන සෙල්ලම කරන අපි හෙමින් හෙමින් ගෙදර යන්ඩ කන්ද නැග්ග

අපි ගෙදර එද්දි මිදුලෙ පහන් පැල ලඟ දම්පාට කහ පාට, තැඹිලි පාට හෙන්දිරික්කත් පිපෙන්ඩ පටන් අරන් තිබුණ!!!

පින්තූරෙ මෙතනින්

si.wikipedia.org

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

15 Responses to මල්ලිගෙ චාටු කතා!!!

  1. Buratheno says:

    ඒ පාර හිටු කියලා ලියනවා වගේ.. ඔ‍හොම යාං.. 😀

  2. praveena says:

    ගෙදර ආවාම ඔක්කොම කියවලා කමෙන්ට්ස් දාන්නම් හොඳේ……:D

  3. gizza says:

    ඔය කියන මල්දෙණිය තියෙන්නේ දෙහිඔවිට ඉදල ගොඩක් දුරද?
    ඔන්න අයමත් අපිට කතා ටික කියවන්න ලබුනට ජනුට බොහොම ස්තුති.. 😀

    • ඔවු ගොඩක්කිට්ටුව තියෙන්නෙ… දෙහිඕවිට ඉඳල ඇහැලියගොඩට යන පාරෙ කිලෝමීටර් පහක් හයක් විතර දුරින් වගේ යෝගම කියල ගමක් තියෙනව. එතන බැහැල ඔරුවෙන් එගොඩ වෙලා තේ වත්තෙ කන්ද නැංගාම තමයි මල්දෙනිය හම්බ වෙන්නෙ

      • ඇහැලියගොඩටපාරෙ යෝගමින් බැහැල ඔරුවෙන් එගොඩ වෙලා තේ වත්තෙ කන්ද නැගලා මල්දෙනියට…..
        හූම්..හූම්..අපි ඉතිං බස්සොනෙ, ගමන ගුවනින් නෙ. ගුවනින් කිව්වට, ගුගල් මැප් එකෙන් තමා, නිවාඩු වෙලාවක ගිහින් බලඤ්ඤං…..

  4. මේ නං අර පරණ මල්දෙනියෙ කෙලීම තමා. ඔය ආයෙ ලියන්න අරගෙන තියෙන්නෙ අපූරුවට. මේ පැත්තෙ ආවොත් රා කට්ටක් ගහලම යන්න ඇහැකියි කියලා, අලි මඩුවෙ කතාවෙනව ඇහිලයි, මාත් මේ හොට දාන්න ආවෙ.

  5. ඔය ඉතිං දැං මගේ ඔලුවට බ්‍රේන් චැප්චර් එකක් දැම්මනං එහෙම මරු ෆිල්ම් එකක් බලාගන්න පුළුවන්… ජනු අක්කා නියමෙට ලියලා… යකඩෝ අන්තිමට මට හෙන්දිරික්කා මල් වල සුවඳත් මතක් වුනා. හ්ම්… අනේ අපේ ගම… ආයෙ නිවාඩුවක් ආ හැටියෙම මාත් දුවනව ගමේ… තව මාසෙකින් දෙකකින් එහෙ ගොයම් කපනව… අම්මෝ එතකොට තමා ජොලි.

    පිදුරු ගොඩකට වෙලා මනෝ පාරක් දාගෙන ඉන්නවා කියන්නේ ….

  6. Ravi says:

    මේ ඊළඟ පෝස්ට් එක උඹ ලියන්ඩ ඕන නංගියේ සිමියොං ගැන…………….. ඔන්න නොකිව්වයි කියන්න එපා හරිද?

  7. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

    මල්දෙණියෙ විත්ති ආපහු අරන් ආවට බොහෝම පින් නගෝ.
    ආසාවෙන් කියවනවා ඔයාගේ ඒ සුන්දර අත්දැකීම්. හෙන්දිරික්කා මල් මාත් හරි ආසයි. හැන්දෑවට පිපෙන මම දන්න එකම පාට මල. හැන්දෑවට පිපෙන අනිත් මල් සුදුයිනේ.

  8. Buru says:

    මට ඔයාගේ බ්ලොග් එක හමු උනේ අදනේ… ඔක්කොම කියවනවා මේ දාගෙන.
    ලස්සනට ලියවිලා ඔක්කොම.
    මමත් ගඟ අයිනේ ඉඳගෙන මාළුවෝ කකුලට කොටනවා වගේ මේ…..

  9. Roney says:

    මමත් සෑහෙන කාලෙක ඉඳල බ්ලොග් කියවනවා …ඒත් අදනේ මට ඔයාගේ බ්ලොග් එක හම්බවුනේ.හරිම ලස්සනට ඔයා ලියනවා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s