මී පැටවු….!!

සෙනෙහෙලතා ඉස්කෝල හාමිනේ තිලක හෝටලයෙන් ගෙනා සීනි බනිස් මල්ල කූඹි නගිනවාට කලමනා එල්ලා තබන කොක්කේ එල්ලා, එළවලු කලමණා මල්ල කුස්සියේ මිටි පුටුවට හේත්තු වෙන්නට බිම තබා, පුටුවේ වාඩි වී ඔසරි පොටින් දහඩිය පිස දැම්මාය. මද්දහනේ දඹදෙනි පොලට ගොස් ආ නිසා ඈ විඩාපත්ය… ‍

තේ කහට ටිකක්වත් බොන්ඩ ඕනෑ…..

ඈ එන හඬට කොහේදෝ රස්තියාදුවක ගොස් සිට පැමිණි බලල් තඩියාද ඇගේ දෙපා අතර හුරතල් වන්නට විය.

කෝ…..‍රෝස අහකට යනව…මං කේතලේ ලිප තියන්ඩ ඕනෙ….

බලල් තඩියා නෑහුණු කණින් ඥාව් ඥා‍වු ගාමින් දෙපා අතර පටලැවෙයි..

පොඩ්ඩක් හිටිංකො… මං බනිස් ‍ගෙනල්ල ඇත්තෙ ටොමියටත් එක්ක…

ඈ පහත් වී රෝස බළලාගේ හිස අත ගෑවාය…

යං රෝසො ටොමියට බනිසක් දෙන්ඩ….

රෝසා කේතලේ ලිප තබා ගෙතුලට ගිය ‍සෙනෙහෙලතා පසුපස දිව ගියේ ගිලන් රථයක් මෙන් නොනවත්වාම හඬ නගමිනි.

ඊ…. ඒ මොකෙද්ද ඒ!!!
බිම තිබුණු මෘදු යමක් පයේ වැදී විසි වී යනු දැනුණ ඇය හිරිකිතෙන් පස්සට අඩියක් තැබුවත් රෝස බළලා පය වැදුණු වස්තුව දෙසට උමතුවෙන් මෙන් දිව යනු දුටු ඇය වහා එතැනට පැන බළලා එලවා දැම්මාය…

අයියෝ!!!!!!!!!!! ආයෙත් මී පැටියෙක්…….!!!!

මීට පෙරත් කුඩා මී පැටවුන් දෙදෙනෙකු මෙසේ වහලයෙන් බිමට වැටී  අවසන් ගමන් ගොස් සිටි අතර  දෙනෙහෙලතා උන්ව පස් යටට කළාය. රෝස බළලාට හසු වූ එකෙක් නම් ඉතිරි වූයේ ම නැත…

කරුමක්කාරයො… දැං කී දෙනෙක් මැරුණද බිම වැටිල…ඇස් ඇරලවත් නැති සප්පයො නෙ….

ඈ කාඩ්බෝඩ් කැබලි දෙකක් ගෙන මී පැටියා එකක් මතට ගන්නට සැරසුණේ රෝස බළලාට හසු නොවූ මේ ප්‍රාණියාව පස් යට කරන්නටයි

අපොයි!!!! මූට පණ තියෙනව….මී පැටියා කකුලක් යාන්තම් සොලවනු දුටු ඈ බිය වී කාඩ්බෝඩ් කැබලි අතහැරියාය…

බිම වැටුණු මී පැටියා වරක් දෙවරක් පා සොලවා නිහඬ වනු දුටු ඇගේ පපුව හෝස් ගා පත්තු විය…

ඈ වහා දිව ගොස් වතුර පොදක් ගෙනවිත් මී පැටියාට යාන්තම් ඉස්සාය

මැරුණවත්ද?

බිම ඇණ තියා ගත් ඇය මී පැටියා හුස්ම ගන්නේදැයි පරීක්ෂාවෙන් බලා සිටියාය.

මී පැටියාගේ සිඟිති උදරය උඩ පහල යනු යාන්තමින් හඳුනා ගත් ඇගේ හිත එකලස් විය..

මවිල් එක දෙක යන්තමින් මතු වීගෙන එන වයසේ වුන් මී පැටියා වකුටු වී නිදා ‍සිටින ආකාරය දෙස බලා වුන් සෙනෙහෙලතා ට මතක් වූයේ ගයන්ත ය… තමන්ගේ පුතුය…

ගමේ පාසලේ ඉගැන්වූ සෙහනහෙලතාගේ තනිකඩ දිවිය ඇරඹෙන්නේ  සැමියා වියෝ වූ කාලයේදීමය…

ඒ කාලයේම  සම වයසේ වූ දුවණිය හා පුතා විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලබා කොළඹට සේන්දු වූ සැටි…

විශ්‍රාම ගෙන තමන් සමග කොළඹට ආසන්නයේ ගෙයක් කුලියට ගෙන නවතිමුයි සාරංග ගෙදර එන ගණනේ යෝජනා කරයි…

විවාහයෙන් දරුවන් දෙදෙනෙක් ලද මිතුනිට දැන් තවත් දරුවෙක් බඩේය.

දියණිය තමන් ලඟ ඉන්නැයි කියයි…

නමුත් සෙනෙහෙලතාට නිවසින්  බැහැර දවසකට දෙකකට වඩා ඉදීම නම් අසීරුය…

අම්මට තේරෙන් නෑ…  රට්ටු කතන්දර හදන්න බලං ඉන්නෙ…. ‍මේ ගෙයි අම්ම තනියම දාල අපි කොළඹට වෙලා ඉන්නව කියල නෙ මිනිස්සු කියන්නෙ…අම්ම ඔය තනියම ඉන්න ඉඳිල්ල කවද වෙනකල් කරන්ඩද හදන්නෙ???  මං අක්ක එක්කත් කිව්ව.. එක්කො අම්ම මේ වෙලාවෙ අක්ක ගාවට යන්ඩ ඕනෙ… තනියම ඉන්නකොට අසනීපයක් හැදුන, කරන්ට් වැදුන, කාට කියල කතා කරන්ඩද???? මට නං අම්ම මේ තනියම ඉන්න එක ඉවසන්ඩ බෑ… එක්කො මං රස්සාවෙං අස්වෙලා ගෙදර ඉන්නව

මේක තාත්තගෙ තැන.. මේක නැති නාස්ති වෙන්ඩ අතෑරල දාල මං යන්නෙ කොහොමද පුතේ??? එතකොට මට රට්ටු මොනව නොකියයිද???

අනේ අම්මෙ අම්ම එක්ක කතා කරල වැඩක් නෑ මේව….

පහුගිය දොහේ ‍ගෙදර පැමිණි සාරංග ගියේ ද හිත් නොහොඳිනි…

පුතාල කිව්වට මං කියල කොහොම යන්ඩද මෙව්ව දාල???

සෙනෙහෙලතා තමාටම කියාගත්තාය…

මේක පුංචි පැටියෙක් වුණාට හරි හයියක් තියෙනව… කලින් වැටිච්ච දෙන්නම මැරිලනෙ හිටියෙ…. දැන් මූට මොකද කරන්නෙ…..???

තමන් කුඩාකාලයේ අයියාගේ පොත් රැසක් ලියා දැමූ වරදට අයියා මීයෙකු අල්ලා එවකට සිටි බළලෙකුට ප්‍රදානය කළ ආකාරය ඇයිට සිහි විය….

අපොයි පණ තියෙනව කියල දැන දැන කොහොමද අප්පේ ඒ වගෙ දේවල් හිතන්නෙ වත්???

ඇය එක හිත් හිතා ගත්තාය.

මී පැටියා රෙදි කැබැල්ලක ඔතා කෑම ගයන්තගේ කාමරයේ බිම තැබූ ඇය කුඩා කූඩයක් සොයා එය වැසුවාය…

වතුර ඉස්සාය… මී පැටියාගේ හැල හොල්මනක් නැතිව දවසක් දෙකක් ගෙවිණි. ඊ ලඟ දිනයේ ඌ ඇස් ඇර තිබිණි…. සෙනෙහෙලතා ඉසින ලද වතුර හෙමින් ලෙවකෑ මී පැටියා දෙස බලා හුන් සෙනෙහෙලතා පාන් කැබැල්ලක් කිරෙන් පොඟවා මීයා අසල තැබුවාය….

මීයා ඉඳුල් කට ගාන ලදි….

නෝම්මහත්තයා…………!! මොනවද මේ කූඩෙකිං වහල බේබි මහත්තයගෙ කාමරේ මැද්දෙ???

හා හා…. අරින්ඩ එහෙම එපා කිරිමැණිකෙ කූඩෙ.. මී පැටිය පැනල යයි… නැත්තං රෝස අල්ලගෙන කාවි..

 මොකක් කිව්ව මී පැටියෙක් මේ කූඩෙ අස්සෙ දාගෙන හදනව???ඈ….. නෝම්මහත්තය පිස්සුද හැබෑට???

ගිය කන්නෙ වී උරවලට කරපු හරිය මතක නැතුවද මේ නයින්ට කිරි පොවන්නහෙ මී පැටියෙක් හදන්නෙ???

 නෑ කිරි මැණිකෙ මූ  මං පොලේ ගිහිං එද්දි වැටිල හිටිය.. පණ පිටිං වලලන්ඩවත් සතෙක්ට විසිකරන්ඩවත් බෑනෙ

මොකෙක් වුණත් පැටියෙක් නේද? ඔය ටික දවසක් ඉඳල ලොකු වුණාම කැලේ හරියට යවන එකනෙ තියෙන්නෙ….

අනේ මංද නෝම්මහත්තය….!!!! කිරිමැණිකේ කල්පනාවට වැටුණි..

ඈ නෝම්මහත්තය… බේබියි බේබි මහත්තයයි කාලෙකිං ආවෙ නෑ නේද??? අසනීපයක්වත්ද???

නෑ.. ඒගොල්ලන්ට වැඩ වැඩියි …!!!!

ඈද සෙනෙහෙලතා ද කල්පනා කර තිබුණේ එකම දෙයකි…

මී පැටියා හීලෑ වූ තරම කෙතරම්ද යත් සෙනෙහෙලතා කූඩය වටා යන විට ඌ ඈ සිටින පැත්තට එන්නට පටන්ගති. උදෑසනම කූඩය තුල ට දමන කෙසෙල්ගෙඩි, පාන් වැනි දෑ හවස්වන විට අතුරුදහන්ය….

සිඟිති අත් ඇති, තමා වටා  රවුම් කැරකෙමින් දුවන  මී පැටියා දෙස බලන වාරයක් ගාණේ සෙනෙහෙලතාටය සිය දරුවන්ගේ ළපටි කාලය සිහිපත් වන්නේ නිතැතින්මය…

මීයාත් ඇයත් අතර ඇතිවූ සම්බන්ධය ඇයටම පුදුමයකි. සෙනෙහෙලතා කොහේ හෝ ගිහින් ගෙට ගොඩ වුණ වහාම මී පැටියාගේ සුව දුක් විමසීමේ  පුරුද්දක්ද ඇති විය.

රෝස යන්නෙ එහෛම නෑ කාමරේ පැත්තට… කරදර කරන්නෙ එහෙම නෑ මී මල්ලිට හරිද???පොලට කඩපිලට යන්නට පිටක් වන ඇය බලල් තඩියාට එසේ සැර කරයි…

හදාගත්ත නල්ලමලේ මී පැටියෙක්!!!!  ඊට පස්සෙං පහු ඇවිත් ගෙටම වින කරන්ඩ ගත්තාම තමා නෝම්මහත්තයට තේරෙන්නෙ ඕං….

වත්ත පහළ එළදෙන දිගෙලි කර ගෙට ගොඩ වූ කිරි මැණිකේ සෙනෙහෙලතා මී පැටියා දෙස බලා සිටින ආකාරය දැක කීවාය

තව දවසකින් දෙකකින් කැලේට අතාරින්ඩ පුලුහං ඌව…

මං කීවෙ ඒක නෙවෙයි නෙ නෝම්මහත්තය… ඌ දැං ගෙදරට හොඳට පුරුදු එකේ හැම දාම එන්ඩ ගනියි

හරි හරි …..ඒක බලමුකො එදාට… සෙනෙහෙලතා කිරිමැණිකෙව නිශ්ශබ්ද කරවන්නේ එලෙසයි…

එක් උදයක මීපැටියා සිටි කූඩය යටින් ලෑලි කැබැල්ලක් දමා එය ඔසවාගෙන දර මඩුව  අසලට ගිය  ඇය මී පැටියාට යාමට සැලැස්සුවාය.

මී පැටියා ලද අවසරයෙන් පැන දිව ගොස් දරමඩුව තුළට වැදුනි…

හ්ම්…. ඒකත් ඉවරයි!!!!

ඇගේ සිතට කවදාවත් නැති පාලුවක් දැණුනි.

දුරකනය අසලට ගිය ඈ ගයන්තට අමතන්නට උත්සහ කළාය…

පුතා ලබන හෙනහුරාද ගෙදර එනවද???

බලන්නංකො අම්මෙ… වැඩ ගොඩක් තියෙනව… සිකුරාදට කියන්නංකො….

දරුවන් තමන්ගෙන් මොන තරම් ඈත් වෙලාද???? ඈට සිතිණි….

නෝම්මහත්තයා…….නෝම්මහත්තයා…. ‍මෙන්න මීයෙක් කාමරේට රිංගුව….. බළල් තඩිය ඌ පස්සෙං  කාමරේට වැදුන…

දිනක් කිරි මැණිකෙ බෙරිහන් දුන් හඬට සැප පුටුවෙ දිගා වෙලා පොතක් කියවමින් උන් සෙනෙහෙලතාගේ හිතේ විදුලියක් කෙටුවා මෙන් විය…..

අනේ…..! අර මී පැටියද දන්නෙ නෑ  කිරි මැණිකෙ…..??

රෝස බළලා තියුණු දෑස් කරකවමින් ඥාවු ඥාවු ගාන්නේ හත් දොහකින් කෑම නැති කලෙක කෝප වූවෙකු මෙනි…

මං හූණ කියන්නැහෙ කිව්ව නේද නෝම්මහත්තයට ඔය හොර මීය ආයෙ ගෙට රිංගනව කියල….

ඔය රෝස බළලව එලවල දාල මීය ඉන්නව නං ඌව පන්නල දාන්ඩ කිරි මැණිකෙ…

ඔන්න ඔහෙ බළල හිටපු දෙං නෝම්මහත්තය… එතකොට ඔය කරදරේ ඉවරයක් වෙයිනෙ…

කිව්ව දේ කරන්ඩ කිරි මැණිකෙ… ඔය බළලව එලවල දාන්ඩ….

සෙනෙහෙලතා නැවතත් පොත කියවන්නට ගත්තාය…

කිරිමැණිකේ රෝස බළලාව එලවා දමන හඬත්, ඉන් පසුව කාමරයේ භාණ්ඩවලට තට්ටු කරමින් මීයා සොයන හඬත් නිසා හිත එකලාසයක් කරගෙන පොත කියවීම ඈට අසීරු විය…

ඔහෙ නෑ…..! පැනල යන්ඩ ඇති ඕක… මදැයි කරගත්ත දෙයක්!!! කිරිමැණිකෙගේ හඬ ඇගේ හිතේ නුරුස්නාබව හඟවයි…

හ්ම්…!!! සෙනෙහෙලතාගේ හිත සැහැල්ලු වූයේ එවිටය…

ඔය කොස්ස පැත්තක තියල යං කිරි මැණිකෙ මල් ටිකක් නෙලන්ඩ….

ඈ පුටුවෙන් නැගිට සෙමෙන් සෙමෙන් බුදු ගේ දෙසට යන්නේ මල් වට්ටිය ගෙන එන්නටයි…

හැන්දෑ ඉර ඈත කොහුමෝලේ කුඩු කන්ද පිටු පසින් සැඟවෙන්නට පටන්ගෙනය…

වවුලන් රංචු රංචු පියාඹා අහස අත්පත් කරගන්නා වෙලාව ළං වේ!

කිරිමැණිකේ කෙක්කත් ඔසවාගෙන මිදුල කෙළවර අරලිය ගස දෙසට ඇදෙන්නීය

මේ පෝය නිවාඩුවටවත් බේබි මහත්තය ගෙදර එන්නෙ නැතෑ… මල් නෙලන කිරිමැණිකේ කියයි…

හ්ම්!!!!!! මාත් මේ හිතුව විතරයි!  සෙනෙහෙලතා සුසුමක් හෙලන්නීය..

ටික දවසක විරාමයක්!!! ලියන්න වෙලාව තිබුණත්, හිතවත්තු තර්ජනය කළත් මම හිටියෙ මෙන්න මේ කතාව ගොතන මූඩ් එකක. තේමාව වගේම පාඩිච්චි කරපු බස් වහර වුණත් මං ලියපු විදියට වඩා පොඩ්ඩක් වෙනස් නේද??

මේක මගේසුපුරුදු ගමන වෙනස් කරන්න ගත්ත උත්සාහයක් නෙවෙයි

පොඩි වෙනසක් ඕනෙ වුණා මටයි මගෙ බ්ලොග් එකටයි දෙකටම

ඒක විතරක් නම් මදැයි !!!!

දන්නෙම නැතුව පණස් වෙනි ලිපියත් ලියලනෙ මම…!!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මට හිතෙන හැටි. Bookmark the permalink.

30 Responses to මී පැටවු….!!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ආ, නගාත් අර්ධ ශතකයක් ගහලා වගේ… මේකනං ඉහළින්ම සමරන්ඩ වටිනවා නෙව… වලව්වෙයි, මල්දෙණියෙයි හරි හරියට උත්සව තියේවි. දැං මොනවැයි අපට දෙන්නේ සන්තෝසෙට?
    ලියාපු පණහට තව පණහේ ඒවා මහා රාසියක් ලියන්ට ඔය අතටයි හිතටයි හැකියාව ලැබේවා, නංගාගේ නිර්මාණ වලින් තව තවත් ඉස්සරහට යන්න වාසනාව ලැබේවා!!!

  2. praveena පවසයි:

    එහෙත් පනහ ගහලා. මෙහෙත් පනහ ගහලා.

    මගේ සුබ පැතුම් ඔයාට. බාල්දියක් තෑග්ගකට දෙන්ට වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ.

  3. dimuthu පවසයි:

    මගේ සුබ පැතුම් – 50 posts

    mage ammalath pension giya dakawath cmb enna kemathi ne.game innai kemathi.etakota api loka dekata ataraman wena kalayak ewida dan ne.

  4. Thilina S. පවසයි:

    ආසාවෙන් කියෙව්වා.., සුබ පැතුම්..!! 🙂

  5. ගෝල්ඩ් fish පවසයි:

    මී අක්කගේ… අප්පට සිරි වැරදුනානේ… ජනු අක්කගේ පනහට ………………………. මං මොනාද දෙන්නේ….?

    වෙන මොනා දෙන්නද…… ජනු අක්කට මගෙන් සුභ පැතුම්…!

    මී මල්ලිගේ කතාව මරු අක්කේ…. බලන්නකෝ කොච්චර ලස්සනට කියවන්න පුලුවන්ද කියලා. අරවා වගේද නෑනේ….

  6. හිස් අහස පවසයි:

    මී කතාවක් .

    අක්කා පනහ ලියලා වගේ ඔන්න මගෙනුත් සුබ පැතුම් .

    මී කතාව මම ආසාවෙන් කියෙවුවා .ඔයා ලියපු කතා එක්ක බැලුවම මේක ටිකක් වෙනස් කතාවක් .අපි බලාන ඉන්නේ ලියමු දිගටම ..

    .මීයාගේ රූපෙත් නියමයි . කියුට් මීයෙක් .

  7. Buratheno පවසයි:

    අප්පද බොල මෙන්න මෙයත් 50ක් ගහලලු.. ඕල් ද බෙෂ්ට් කිවුවලු..!!

    පලි: පහුගිය දොහේ කොහෙද බොලේ අතුරුදහන් වෙලා හිටියෙ..??

  8. Buratheno පවසයි:

    ආ අහන්ට අමතක වුනානෙ.. දැං අරෙහෙන් නං පාර්ටියක් දෙනව කිවුව කෙහෙල්මුහයි, තුණපහ වැඩියෙන් දාපු පරිප්පුයි එක්ක.. මෙහෙං මොනවැයි..??

  9. gizza පවසයි:

    ඔන්න ජනුට මගෙනුත් සුබ පතුම් 50 පොස්ට් එකට.
    ඈයි දෑන් වෑඩිය ලියන්නෙ නත්තෙ අසාවෙන් කියවපු කියෙව්ව බ්ලොග් එකක් මෙක .ජය වේවා දිගටම ලියන්න

  10. Chanaka Aruna Munasinghe පවසයි:

    50 ට සුභ පැතුම්. ඔය 50යි කිවුවට මෙලහකට 200ටත් කිට්ටු ඇති. ගෑණු ළමයි වයස කියන්නෙ අඩුවෙන්ලුනෙ

  11. Ravi පවසයි:

    සුබ පැතුම් නංගි, පණස් වෙනි පෝස්ට් එකට, හැබැයි සීය ලියන්ඩ නම් මට හිතෙන්නෙ තව අවුරුදු දෙකක් වත් යාවි…….හෙහ්, හෙහ්, බොරුද මම කියන්නෙ? ඉස්සරහට එන අධික කාර්ය බහුල……හෙහ්, හෙහ්,…..කාලයත් එක්ක ලියන්ඩ වෙලාව හොයාගන්න එක තමයි වැඩේ.

    නෑ…..මම මේ කිව්වෙ ඔය බාල්දි පෙරලෙන කේස් එහෙම බහුලව යෙදේවි නෙව ඉස්සරහට…..ඒ අස්සෙ ලියන්ට වෙලාවක් බොට තියෙයිද නම් මන්දා….ඒකයි,

    හරි උඹෙ ලිවිල්ල ගැන දැනට ඒ ඇති……දැන් කතාව ගැන….

    දරුවො හදල දරුවො වියපත් වෙලා කැදැල්ලෙන් වෙන්ව ගියාම කොයි දෙමව්පියන්ටත් මුහුණ දෙන්ට වෙන තත්වයක් තමයි නංගි මේක,විශේෂයෙන්ම ජීවිතේ කොටස්කරුවා හෝ කොටස්කාරිය ඒ වෙනකොට මෙලොවින් සමුගෙන නම් මේ පාලුව දරාගැනීම තවත් අසීරුයි.

    මේ තත්වය කාගෙවත් වැරැද්දක් නෙවෙයි……………. දෙමව්පියන්ගෙවත්….. දරුවන්ගෙවත්….ඒ තමා යථාර්තය….

    අපිට කරන්ට පුලුවන් දෙමව්පියන්ගෙ ඒ තනිකම පාලුව අපිට හැකි විදිහට තුනී කරන්ට කටයුතු කරන එක විතරයි.හැබැයි එක කාරණයක්…..කවදාවත් එයාලගෙ කමැත්තට පිටින් ගිහිල්ල එහෙම නෙවෙයි,ජීවිතේ අවසාන කාලෙ එයාලට කැමති විදිහට………… පිනක් දහමක් කර ගන්නව නම් එහෙමයි, පොතක් පත්තරයක් බලනව නම් එහෙමයි, බණක් අහනව සිල් ගන්නව නම් එහෙමයි,

    ඒ කටයුතු වලට හැකි විදිහට සම්මාදම් වෙන එක විතරයි අපි කල යුත්තෙ…..

  12. SiriBiris පවසයි:

    හුටා! 50ත් ලිව්වද? තව තව ලියන්න හයිය හත්තිය ලැබෙන්න ඕනෙ.

  13. D.G.M බස්සා පවසයි:

    හූම්, හූම්. මෙන්න මගෙනුත් 50 වැනි සැමරුමට සුභ පැතුම්. අර උඩ පින්තූරෙ ඉන්න කස්ටියත් ලියන්න දස්ස අය. ලියන අප්පු කියලනෙ කියන්නෙ. ඔය පරණ පොත් පත් ෂෝක් එකට හීනියටම ලියල දානවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )