සාදයේ සංගීතය වේග රිද්මයකට හැරුණ…කන් අඩියටම වදින ඒ සද්දෙට අසුන්වලින් නැගිට්ට බාල තරුණ මහලු හැමෝම ඇදුණෙ නැටුමට…
හරියට පොළව කොටද්දි උදැල්ලට කැපිච්ච පණුවො රෑණක් වගෙ…..
තරුණ කෙල්ලො කොල්ලො පිරිසක් නටන අඟර දඟර නැටුම් දිහා බලාගෙන හිටපු චාරුකීට හිතුණ..
මුං මේ නටන වේගෙට අත් කකුල් කැඩිල විසිවෙයිද දන්නෙ නෑ….
ඒ පාර නං කෙල්ලට හිනාවක් ගියා!!!
ඇයි අක්කි…..තනියම හිනාවෙන්නෙ? චාරුකී ලඟින් ඉඳගෙන හිටපු සඳා ඇහුව
චාරුකී උත්තරයක් දුන්නෙ නෑ…. සඳා දිහාට හැරිල හිනාවුණා… සඳත් හිනා වුණා…
හා හා.. ඔහොම ඉඳල බෑ… යං යං කට්ටියම නටන්ඩ…. අර්ජුන අයියයි, සඳලි අක්කියි දෙන්න ඇවිත්
බ්‍රයිඩ්ස්මේඩ්ල නේද ආ?? මටත් එක්ක ලැජ්ජයි…. යං යං… සඳලි අක්කිගෙ වදේ
ඉස්සෙල්ල මනමාලියි මනමාලයයි නටන්ඩකො….. අපි එන්නංකො පස්සෙ…
චාරුකී බොහොම අමාරුවෙන් දෙන්නම වෙනුවෙන් උත්තරයක් දීල ගැලවුණා…
එන්ඩ ඕනේ…. හරි?? නැත්තං ඊලඟ පාර ඇදගෙන යනව දෙන්නම… අර්ජුන අයිය තර්ජනය කළා..
යාන්තං ඇති!!!!
සඳයි චාරුකීයි හුස්මක් හෙලුව….
චාරුකී නටන්ඩ කැමති නැති කෙනෙක් වත් කවදාවත් මගුල් ගෙදරක ඩාන්සිං ෆ්ලෝ එකක නටපු නැති කෙනෙක්වත් නෙවෙයි!! ඒත් මොකද්දෝ උදාසීන ගතියක් ඇවිත් තිබුණ එදා….
පාට පාට ලයිට් නටන මිනිස්සුන්ගෙ ඇඟවල් උඩට වැටිල අමුතු අමුතු රටා මැවෙන්ඩ පටන් ගත්ත…
ඒ දිහා බලාගෙන ඉන්න අතරෙ කොහේදෝ ඉඳල මූණටම එල්ලවෙලා සැරට වැදෙන රස්නෙයක් චාරුකී ට දැනෙන්ට ගත්ත.
ඉවසගෙන ඉන්ඩම බැරි තැන එයා බැලුවෙ කොහෙන්ද මේ රස්නෙ එන්නෙ කියල..
මේසෙකට දෙකකට එහා මේසයක් වටේට ඉඳගත්තු කිහිපදෙනෙක්ගෙ බැල්ම එක එල්ලේ තමන්ට එල්ල වෙලා!!!
දැක්ක ගමන් එක පාරට චාරුකීට අහක බැලුණ…
ආ ඒකයි මේ රස්නෙ… හීන් හිනාවකුත් තොල් අගට පැන්න…
කවුද මේ කට්ටිය??? චාරුකී ආයෙත් බැලුව…
ඒ වෙනකොට එක්කෙනෙක් ඇරෙන්ඩ අනිත් අය කිසිම දෙයක් නොවුණා වගේ තමන්ගෙ කතා පටන් අරගෙන…
හ්ම්…. මූණෙන් නම් පේන්නෙ බැල්ම අඩුම ගාණෙ විනාඩියක්වත් පරණ එකක්!!!
හරියට ආලෝක කදම්බයක් එල්ල කරල වගේ!!
කවුද අප්පේ මේ???
දන්න අඳුනන කෙනෙක් වත්ද?? වෙන්ඩ බැරිත් නෑ නෙ…. සමහර විට නෑදෑයො වුණත් අඳුනන එකක්යැ අපි හරියට??
චාරුකීට හිතුණ… ඒත් දැකල පුරුද්දක් නං නෑ….
නෑදෑයොද? යාලුවෙක්ද? යාලුවෙක්ගෙ යාලුවෙක්ද දන්නෙත් නෑ… නැද්ද දන්නෙත් නෑ….!!!!
අනේ මන්දා??? ඔන්න ඔහෙ ඕනෙ එකක්!!!
හිනාවක් වගේ වෙන්ඩ තොල් දෙක ඉරක් කර ගත්ත චාරුකී කෝකටත් කියල ඉක්මනටම ආලෝක කදම්බයෙන් තමන්ගෙ ඇස් ඉවතට ගත්ත.
අක්කෙ මම යන්ඩ ඕනෙ දැන්…. අපේ මාම ඇවිත් මාව එක්කරගෙන යන්ඩ… දුරකථනය විසන්ධි කරපු සඳා කිව්ව..
යමු මම ඔයාව පහළට ඇරලල එන්නං…
ඉඳගෙන ඉඳල එපා වෙලා තිබුණෙ… !!
ආපහු සාදයට ඇවිත් ඉඳගත්ත චාරුකීට දිගු හුස්මක් හෙලුණ…
මේසෙ කවුරුත්ම නෑ…..!!!
සඳත් ගියා…දැන් ඉතින් ඉඳපන්කො තනියම…
ටිකක් වෙලා ජංගමයගෙ තිබුණ කවදාවත් හරියට කරගන්ඩ බැරි ගේම් එක සෙල්ලම් කළා..
පරණ කෙටි පණිවිඩ කියව කියව හිටිය…
කරන්ඩ දෙයක් ඇත්තෙම නැති තැන ඒ වෙලාවෙ වාදනය වෙච්ච සින්දුවෙ තාලෙට මේසෙට තට්ටුවක් දැම්ම…
මේ සීට් එකේ කවුරුහරි ඉන්නවද??
චාරුකී කටහඬ ආව පැත්ත හැරිල බැලුව…
දන්නෙම නැතුව කොහෙදෝ ඉඳන් එක පාරටම ලඟටම කඩන් පාත් වෙච්ච ආලෝක කදම්බය දැකපු චාරුකීගෙ හිත උඩ නිලා කූරක් පත්තු කළා වගේ සිරි සිරියක් නැගුණ.. ඒත් එක්කම සීතලක් දැණුන…
දන්න අඳුනන කවුරුත්ම නම් නෙවෙයි… අඳුනගන්ඩ එන කෙනෙක් පාටයි….
හරි… වැඩේ හරියන්ඩයි එන්නෙ….. මගුල අස්සෙ තව මගුලයි!!!!! චාරුකීට හිතුණ….
මේ සීට් එකේ කවුරු හරි ඉන්නවද?? ආලෝක කදම්බය නැවතත් ප්‍රශ්නය යොමු කළා… හතර වෙනි වතාවට විතර
නෑ කියනවද… ඉන්නව කියනවද?? චාරුකී හිතුව….
චාරු ළමයෝ…… මේ නම් හොඳ පොටකට නෙවෙයි එන්නෙ….ඉක්මනට හිතපං කියන දෙයක්…..ඉන්නව…කියමු එතකොට එක පාරින්ම චැප්ටර් ක්ලෝස් නෙ ..
ඒත් ආලෝක කදම්බය චාරු දිහා බලන් හිටපු විදියට චාරුට කියන්ඩ ගිය දේ පැටලුණා… “ඉන්නව” වෙනුවට කියවුණේ “නෑ” කියල….
ග්රේට්!!!
එහෙම කියල වශීකරණයක් වගේ හිනාවක් දාපු ආලෝක කදම්බය චාරුකී ලඟින් ඉඳගත්ත…. චාරුකීට දාඩිය දාගෙන ආවා….!!
ඉවරයි ඉවරයි ඔක්කොම ඉවරයි…..!!!!
“සිසි කැලුම් දහර ඉවසිය නොහී
කොඳ කැකුලු විල් ජලේ සැලී සැලී”
ඒත් කතාව නං මතු සම්බන්ධයි!!!!
අද පින්තූරෙ හොයා ගත්තෙ මෙතනින් – falsesenseofself.blogspot.com
ලස්සන කථාවක ආරම්භය වගේ බලමු මීට කලින් ඔය අක්කගේ කතාන්දරනම් මම කියවලා නෑ. මේක මෙගා කතාවක් උනත් මට කමක් නෑ .. මේ ලියලා තියන පළවෙනි කොටසත් මගේ හිතට ඇල්ලුවා ..
ආලෝක කදම්බය ..මොකාටද එන්න හදන්නේ කියලා අපිට බලන්න වෙන්නෙ තව මාස ගණනාවකින් වත්ද ?
දැම්ම කොහොමද හරිහමං අදහසක් දෙන්නේ ? ලියාගෙන යමුකෝ !
ලියන පළවෙනි කතාව තමයි මලේ… මෙගා එකක් නම් වෙන එකක් නෑ….
ඉන්ඩකො ඉක්මනටම දාන්නංකෝ!!!
/ ඒ දිහා බලාගෙන ඉන්න අතරෙ කොහේදෝ ඉඳල මූණටම එල්ලවෙලා සැරට වැදෙන රස්නෙයක් චාරුකී ට දැනෙන්ට ගත්ත. /
/ ඉවසගෙන ඉන්ඩම බැරි තැන එයා බැලුවෙ කොහෙන්ද මේ රස්නෙ එන්නෙ කියල.. /
අර්ජුන අයියගෙයි සඳලි අක්කියි නෑදෑයො හිත මිතුරො එක්ක සාම්ප්‍රදායික ඡායාරූප වලට පෙනී හිටින්ඩ ලෑස්ති වෙනව.
ඒ කටයුත්තට සූදානම් වෙන නිල ඡායාරූප ශිල්පියාගෙ ෆ්ලෑෂ් ලයිට් එකක් තමයි මේ චාරුකී ගෙ මූණටම වදින්නෙ.
” සොරි මිස් ” මිනිහ ලයිට් එක මනාල යුවල පැත්තට හැරෙව්වා.
—————————————————————————
/ එහෙම කියල වශීකරණයක් වගේ හිනාවක් දාපු ආලෝක කදම්බය චාරුකී ලඟින් ඉඳගත්ත…./
” මොකක්ද ඔය ලයිට් එකක් පත්තු වෙන්නෙ? ” චාරු ඇහුවෙ ඇස් කොනකින් බලන ගමන්.
” ආහ්……සොරි, අපේ ගෙවල් පැත්තට ලයිට් නෑ. මම මේ රෑ වුනොත් එහෙම කියල ගෙනාපු ටෝච් එක ඉබේම පත්තු වෙලා. ඔයා හොඳ වෙලාවට කිව්වෙ.නැත්නම් අපරාදේ බැටරිත් බහිනව ” ඔහු සාක්කුවෙන් ගත්තු විදුලි පන්දම ක්‍රියා විරහිත කරන ගමන් කිව්වා.
මේ ලියන්නෙ තව කතාවක් රවී අයිය ඒ අස්සෙ
නියමයි නියමයි!!!!!
ආ, නගාව ආයි ඉක්මණින්ම දකින්න ලැබිච්ච එක ගැන සතුටුයි. කතාව ලස්සනට ලියලා තියෙනවා. මේ ඔයාගෙ හැබෑම ආදර සයුරේ නම් ගම් වෙනස් කරලා අපිට දීපු දිය දෝතක්ද? එහෙම උනත් නැතත්, කතාව හරිම ලස්සනයි. ඉක්මණට ඊලඟ කොටසත් දාන්න බලන්නකෝ.
නිකං සත්‍යයත් ප්‍රබන්ධයත් අතර දෙයක් කියල හිතාගන්ඩකො කවිකාරි අක්කෙ… මොකද මේ කතාව ලියන හැටි මම තාම හිතනව. සමහර විට මේකට කතා දෙක තුනක් පැටලෙයි වගෙත් හිතෙනව… කීප දෙනෙක්ගෙ කතා!!! ඉක්මනට ලියන්නංකෝ!!
මම හිතන්නේ මේ කියන්නේ අර පෙම්බරයා හම්බ උණු හැටි වෙන්ටෑ.
ඒකමත් නෙවෙයි හැබැයි ඒකෙ කෑලිත් නැත්තෙමනෑ!!!!