විශ්‍රාමය සුවයක්ම වේවා!!!

කවුද මේ වැඩේ කළේ…..?

ඇයි මේ රිජිෆෝම් හැමතැනම කඩල දාල???

සංගීත ටීචගෙ හඬ තරමක් රලුයි…

සංගීත කාමරේ බිම පැදුරුවල ඉඳගෙන හිටපු ළමයි සේරමල බිම බලාගත්ත…

වැඩේ වැරදුනා වගේ… කට්ටියටම හිතුණ…

සංගීත කාමරය පුරාම පුංචි පුංචි රිජි‍ෆෝම් බෝල…

පුංචි හුළං පාරටත් ඒව එහාට යනව මෙහාට යනව

ඉස්කෝලෙ සංගීත කාමරේට අලුත් සිතාරයක් ලැබුණා…

ඒක අරගෙන එද්දි ලී පෙට්ටිය ඇතුලෙ සිතාරය එහෙ මෙහෙ වදිනවට දාල තිබුණු රිජිෆෝම් කෑලි ටික සංගීත කාමරේ පැත්තක ගොඩ ගහල තියෙනව සමස්ත ලංකා සංගීත තරඟ පුහුණුවීම්වලට කාමරේට ආව  ළමයින්ට අහුවුණා…

ඒව පොඩි කරනකොට එන කිරි කිරි සද්දෙට ආස කරපු පොඩි වයසෙ ළමයි එකතු වෙලා අර රිජිෆෝම් ටික පුංචි පුංචි බෝල වෙනකල්ම කඩල සද්දෙ ඇහුව.. ටිකකින් ලොකු කටිටියටත් වැඩේ අල්ලල ගියා…

මොකක් හෝ හදිසි පණිවිඩයකට ප්‍රින්සිපල් ගෙ කාමරේට ගිහින් හිටපු සංගීත ටීච ආපහු එනකොට කාමරේ බිම කිරි පාට රිජිෆෝම් බෝලවලින් පිරිල… පැදුරු උඩ, සංගීත ටීචගෙ හාමෝනියම් එක තියල තියෙන මේසෙ යට, සංගීත භාණ්ඩ තියෙන අල්මාරි, කබඩ් යට, … හැමතැනම…

කවදත් සංගීත කාමරේ පිළිවෙලට, පිරිසිදුවට තියාගන්ඩ කැමති සංගීත ටීචට තරහ යන එක ඉතිං අහන්ඩත් දෙයක්ද …?

ඉක්මනට කියනවල… කවුද මේක කළේ???

කවුරුත් නැගිටින්නෙ නැති බව තේරුණාම පන්තියෙ ළමයි අතරෙ හිටපු සංගීත ටීචගෙ දෝනියැන්ද නැගිට්ට…

වැරැද්දට මුල වුණේ එයා නෙවෙයි වුණත් නැගිට්ටෙ අම්මගෙ හැටි දන්න හින්ද…

අම්මට තරහ අමතක වෙලා කට කොණට හිනාවක් ආව…

ඔන්න එක්කෙනා දෙන්න නැගිටින්ඩ පටං ගත්ත ඒ පාර…

සමන්ත අක්කයි රොබින් අක්කයි දෙන්න නැගිටල

ටීච ජනනි නංගි නෙවෙයි අපි දෙන්නයි පටන්ගත්තෙ කියල කිව්ව…

ඒ පාර අනිත් ළමයි කට්ටියත් කිව්ව අපිත් සම්බන්ධ වුණා වැඩේට කියල…

මේ….. මට කවුද කියල වැඩක් නෑ .. හැඩි කරල දැම්මනං අතුගානවල පන්තිය…  ඉක්මනට අතුගාල සේරම අයින් කරල ලෑස්ති වෙනවල ප්‍රැක්ටිස්වලට…

හැබැයි එක රිජිෆෝම් කෑල්ලක්වත් තියෙන්ඩ බෑ පන්තියෙ…

සංගීත ටීච ලොකු පන්තිවල අයියලගෙත් කණ මිරිකනව  දැකල තිබුණ නිසා ගුටියක් කන්ඩ වෙන බව දැනගෙන හිටිය ළමයි පුදුම වුණා සංගීත ටීචගෙ දඬුවමට..

අතුගාන්ඩ ගත්තාම තමයි ළමයින්ට තේරුණේ වැඩේ බරපතලකම…

නිතර හුලඟ ඇවිත් දැල් ගහපු ජනෙල් අස්සෙන් රිංගල අතුගාන අතුගාන වතාවක් ගානෙ ආයෙමත් අර බෝල සැම තැනම විසුරුවල දැම්ම…

අතුගාල ඉවරයක් කරන්ඩ බෑ අනේ මේක.. අහුලමු… කවුදෝ ඉස්සර වුණා

සංගීත පීරියඩ් දෙකම ඉවරවෙලත් ටික වෙලාවක් ගියා…

කොඳු රිදෙනකල් නැවි නැවී  රිජිෆෝම් බෝල අහුලපු ළමයි එදා නං  සංගීත ටීචගෙ දඬුවමෙන් පාඩමක් ඉගෙනගත්ත….

දැන් තේරෙනවද අමාරුව… ?

සංගීත ටීච හරිම නීතිගරුකයි… තදයි, ප්‍රැක්ටිස් නම් ප්‍රැක්ටිස්, වෙන වැඩ බෑ… නොසන්ඩාල වැඩ බෑ,

නංගී අද උඹලගෙ අම්ම මට ගැහුව… මේං පාර…. ඒත් අපි උඹලගෙ අම්මට හරි ආදරෙයි හරිද… අම්මට  කියපං ගිහිං මං එහෙම කිව්වයි කියල…

ගුරුතමීගෙං පන්තියෙදි ගුටිකාපු කරදඬු උස්වෙච්ච කොලු ගැටවු  ටීචගෙ දුවට තර්ජනය කළා…

ඒත් ඒ ළමයි කවුරුත් සංගීත ටීච එක්ක තරහ වු‍ණේ නම් නෑ…

සංගීත ටීචගෙ දුව වෙච්ච මම ඇරෙන්ඩ වෙන කවුද ඒක ගැන දන්නෙ….?

අපේ අම්ම… ඒ කියන්නෙ මේ කතාවෙ සංගීත ටීච, සංගීත පන්තියෙදි මටයි අනිත් ළමයින්ටයි කියල කිසිම වෙනසක් නෑ.. දඬුවම නම්  හැමෝටම එක විදියට, පැසසුම වුණත් දුව කියල උවමනාවට වැඩිය ලැබෙන්නෙ නෑ… ගානට… අම්මගෙ හැටි එහෙමයි කියල දැනගෙන හිටපු මමයි මල්ලියි දෙන්නත් අම්මගෙන් එහෙම වැඩි සැලකිලි බලාපොරොත්තු වුණෙත් නෑ…

අම්මට මමත් එකයි, මල්ලිත් එකයි… අම්ම එක්ක ඉස්කෝලෙ උගන්නන අයිරා ටීචගෙ පුතා සුරංගත් එකයි, ඉස්කෝලෙ කැන්ටිමේ ඩගී මාමගෙ දුව සෞම්‍යාත් එකයි ඉස්කෝලෙ අනිත් ළමයිත් එකයි…වෙනසක් නෑ තමන්ගෙ අනුන්ගෙ කියල…

මටනම් හිතෙන්නෙ මොන දේටත් වඩා ගුරුවරියකට තියෙන්ඩ ඕනෙ ගුණාංගයක් තමයි ඒක…!

අපේ අම්මගෙ ඉස්කෝල ගුරු ජීවිතේ වැඩි කාලයක් ගෙවුණෙ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් එක්ක…

පස්සෙ කාලෙක අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුලත් වෙලා විද්‍යාපීඨ කීපයක සේවයට එක්වුණත් අම්ම හැමදාමත් කිව්වෙ මේවගේ තැන්වල විෂයක් විදියට සංගීතය උගන්වනවට වඩා පාසැල් දරුවන් සමග ඉන්න ලැබුණ නම් හොඳයි කියලයි..අම්ම ආස කළේ පාසල් දරුවන් එක්ක වැඩ කරන්ඩයි…

ඉස්කෝලෙ ඇය සේවය කල කාලය සංගීත අංශයේ ස්වර්ණමය යුගයක්….!

අම්මා සේවයට කැපවුණ හැටි අපි පුංචි කාලෙ ඉඳලම දැක්ක…

රාජකාරිය නම් දේවකාරියක්!! එහෙමයි අපේ තාත්ත කියන්නෙ…

මේ අම්මගෙ කටින් නිතර පිටවුණ වචන පෙලක්

ඒක අම්ම කට වචනෙට සීමා කරපු දෙයක් විතරක් නෙවෙයි වැඩවලිනුත් පෙන්නුම් කරපු දෙයක්. අපි දෙන්න පුංචිම කාලෙ අම්ම ඉස්කෝලෙ උත්සව වැඩ, තරඟ පුහුණුවීම් ඉවර වෙලා ගෙදරයන්ඩ පිටත්වෙන්නෙ හවස්වෙලා… එතකොට අපි දෙන්නට සංගීත කාමරේ බංකු උඩ නින්දත් ගිහින්…. හවස දෙකට ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය දවසක් මතක් කරගන්ඩවත් නෑ….

අම්මා පලාතේ සංගීත ගුරුවරියන් අතර නමක් දිනාගත්තු කෙනෙක් වුණත් ඇය ඒ ජයග්‍රහණ පැසසුම්වලින් හිස උදුම්මවාගත්තෙ නෑ.. ඒව පාව්ච්චි කරල ඉහල පුටුවලට යන්න උත්සාහ කළෙත් නෑ… අම්ම නිහඬව තමන්ගේ සේවය කලා.. ඒ සේවය නිසා ඇයව ප්‍රසිද්ධ වුණා…

අපි සමස්තලංතා තරඟ දිනල  සතුටින් කෑගහනකොටත් අම්ම කිව්වෙ..

සතුට විඳින ගමන් පැරදුන අයට ඇතිවෙන දුක ගැනත් හිතන්ඩ කියලයි.

අම්මගෙ මම ආසම කරන ගුණාංගය තමයි නොසැලෙන ගුණය..

නොහිතපු වෙලාවක් තාත්ත අපෙන් සදහටම වෙන්වුනාම අම්ම ඒක දරාගත්ත විදිය මට මතකයි.

රාජකාරි ජීවිතේ අසීරු අවස්ථාවල අම්ම බොහොම ඉවසීමෙන් වැඩ කළා මට මතකයි…

අනිත් එක අම්ම තීරණ ගන්ඩ අපිට දීල තිබුණ නිදහස…

හැම කෙනෙක්ම විද්‍යා විෂයන් කරන්ඩ කියල බල කරද්දි උසස් පෙළට කළා විෂයන් කරන්ඩ ඕනෙ කියල මම ගත්ත තීරණය ඇය අනුමත කළේ

එහෙනං ඔයා සංගීතෙ කරන්ඩ… ඒක ඔයාට උදව්වක් වෙයි… දැනටමත් ඔයා ඒලෙවල් සිලබස් එකේ දේවල් දන්න එකේ එක විෂයකම බර ඔයාට අඩු වෙනවනෙ…. අනිත් එක කවුරු මොනව කිව්වත් ඔයා කැමති දේ ඕනෙ ඔයා කරන්ඩ… කියල බොහොම හොඳට පැහැදිලි කරල

මම උසස්පෙළ විභාගෙ ඉහලින් සමත් වුණාමත් ඇය ඒ ගැන සතුටු වුනෙත් බොහොම නිහතමානීව…

වතාවක් අම්ම බොහොම ආසාවෙන් ගුවන් විදුලි සරලගී වැඩසටහනක් වෙනුවෙන් ගායනා කරපු මවුගුණ ගීතයක් ඇයව පෞද්ගලිකව හඳුනන ප්‍රසිද්ධ ගායකයෙක් අම්මට කියන්නෙවත් නැතිව ගායනා කරල ඒ ගීතය බොහෝ ජනප්‍රිය වුණා… දවසක් රූපවාහිනී වැඩසටහනකට ආව මේ ගායකයා මේ ගීතය ඔහුට ලැබුණ ආකාරය ගැන කිව්වෙ ලොකු බොරුවක්… ඒ වෙලාවෙ මටත් මල්ලිටත් ඒ මනුස්සය ගැන ඇතිවුණේ හරිම තරහක්..

අපේ අම්මගෙ සින්දුව හොරකම් කරල මේ මිනිහ තව බොරුත් කියනව…. අපි දෙන්න එකතු වෙලා බනින කොට අම්ම අපිට කිව්වෙ මෙන්න මෙහෙමයි….

චූටි පුතා… ඕක තරහ ගන්ඩ තරම් ලොකු දෙයක් නෙවෙයි… මම ඔය සින්දුව කිව්ව කියල ඒ සින්දුව අද ලබල තියෙන ජනප්‍රියත්වය ලබන්නෙ නෑනෙ…. ඒ නිසා සතුටු වෙන්ඩ…

ජනප්‍රිය වෙන්ඩ උවමනාවක් තිබුණ නම් මීට වඩා තරුණ කාලෙදි මට ඇති තරම් අවස්ථා තිබුණනෙ පුතේ…

ඊට වඩා වටින දේවල් ලැබිල තියෙද්දි ඇයි අපි ඔය සින්දුවක් ගැන දුක් වෙන්නෙ….?

ඒ කාලෙ අම්ම කියපු දේවල් අපි දෙන්නට හරියටම තේරුණේ නැ… ඒත් දැන් නම් හොඳට තේරෙනව අම්ම ඔය ජනප්‍රියබව හරිම තාවකාලික දෙයක් කියලයි අපිට කියල දෙන්නයි උත්සාහ ගත්තෙ කියල…

මල්දෙනියෙ කතා ලියලියා හිටපු ජනූ එකපාරටම මොකද මේ පීලි පැනල කියල හිතුනද….?

ටික දවසක් නොලිය ඉන්න වුනේ මේ සතියෙ කොළඹත් දඹදෙනියත් අතර කීප වතාවක් එහා මෙහා යන්න වුන නිසා….

හවස පහට වැඩ ඉවර වෙලා, යන ඒ ගමන්වලට ලැප්ටොප් සයගවත් හවුල් කරගන්න තිබුණ නම් හොඳයි. ඒත් වවුලෙක් වගේ පැය දෙක තුනක් බස් එකේ එල්ලිලා ගෙදරට යනකොට අරන් ගිය ලැප්ටොප් එක දිගාරින්න තියා අම්ම උණු උණුවෙ උයල තියෙන හොද්දයි බතයි කා ගන්ඩවත් බැරි තරම් කෙඩෙත්තුයි… ඉතිං සගයව තියල මම විතරක් ගියා…වෙනද සති අන්තයේ ගෙදර යන මම සතිය මැදත් ගෙදර ගියේ අම්මගෙ රාජකාරි ජීවිතේ අවසන් දවස් කිහිපයෙ යෙදිල තිබුණු වැදගත් උත්සවයකට සංගීතය පැත්තෙන් උදව් වෙන්නයි….

මම යන්ඩ කලින් කරන අවසාන වැඩේනෙ චූටි පුතා.. මේ ළමයින්ට තේරෙන්නෙ නෑ ….අනික ඉස්කෝලෙක වගේ නෙවෙයි නෙ…. ඔයාලට වගේ ඔය තරඟවලට ගිහින් එහෙම අත්දැකීම් නෑ….මේ හොඳට කෙරෙන්ඩ ඕනෙ නෙ….ඔයා ඇවිත් උදව් වෙනවනම් හොඳයි…

ඉතින් උත්සවයෙ වැඩ කටයුතු හොඳට කෙරුණ නිසා අම්මා හිටියෙ ඉහ වහා ගිය සන්තෝසෙන්…

පහුගිය දහ වෙනිද අම්ම රාජකාරි ජීවිතෙන් විශ්‍රාම අරගත්ත… ඉතාම සතුටින්….

මට නිදහසේ, නිවී සැනසිල්ලෙ ඉන්ඩ ඕනෙ… මම කැමති පොතක් කියවල, චිත්‍රපටයක් බලල, ක්ලැසිකල් එකක් අහල, මට ඉන්ඩ ඕනෙ, ආයෙත් රාජකාරිවල හිර වෙන්ඩ මට බෑ.. මම විශ්‍රාම ගත්තෙ ඒකෙ සුවය විඳින්ඩයි…

අම්ම සේවය දිගු කරගන්ඩ කැමති නැද්ද? විසිටින් එන්න කැමති නැද්ද? කියල අහන හැමෝටම කිව්ව…

අම්මගෙ මේ කතාව අහල කිත්සිරි අයිය පුදුමත් වුණා… මොකද විශ්‍රාම ගිය වැඩිදෙනා  තමන් ගත්ත ඒ තීරණය ගැන පසුතැවෙන බවක් තමයි එයා අහල තිබුණෙ…

ඒ අස්සෙ මම කල්පනා කලේ අපිට නොකිව්වට අම්මගෙ හිතේ කොයි තරම් එයා ආස කරන දේවල් තියෙනවද අපිට නොකිව්වට???

සමහර වෙලාවට අගහිඟකම්, දරුවන්ගෙ රාජකාරි, යුතුකම්, වගකීම් මෙකී නොකී දේවල් නිසා බොහොමයක් ගැහැණු තමන් ආස කරන දේවල් කරන්ඩ මැලි වෙනව… විශේෂයෙන්ම ඒ දේවලට යන මුදල ඉහළ නම්…!

පුංචි කාලෙ තාත්තලට ගොඩක් සල්ලි නැති නිසා, බැන්දහම මහත්තයට ගොඩක් සල්ලි නැති නිසා, දරුවො ලැබුනාම උන්ව උස්මහත් කරගන්ඩ සල්ලි ඉතුරු කරගන්ඩ ඕනෙ නිසා..ගෙවල් හදන්ඩ සල්ලි ඉතුරු කරන්ඩ ඕනෙ නිසා, ගෑණූ ජීවිතේ තමන් කැමතිම දේ විඳීම කියන දේ අමතක කරල දානව…

ඔන්න ඔහෙ මට සතුටු වෙන්ඩ පස්සෙ බැරියැ…වැදගත් මේ වැඩ නෙ කියල හිතල

ඒ නිසා මට හරිම සතුටුයි අම්ම විශ්‍රාම අරන් කරන්ඩ ඕනෙ දේවල් ටික දැන්මම හිතල තියෙන එක ගැන…

සමහර විට තාත්තත් හිටිය නම් ඒ දෙන්නත් එක්කල එකතු වෙලාම ඒ දේවල් කරන්ඩ තිබුණ නම් කියල හිතෙන කොට නම් මටත් දුකයි…

මල්ලි… අම්ම ගොඩක් නිදහස හොයන කෙනෙක් නෙ… දැන් අපි ඔය පෙන්ෂන් ගත්තාම කොළඹට එන්න අපි ලඟ ඉන්ඩ කියල කියන්නෙ ඇත්තටම අපේ ලේසියට පහසුවටනෙ… නැතුව වෙන මොනවටද?

ඒකෙන් වෙන්නෙ එයා කැමති තැනක එයා කැමති දේවල් කරල ජීවිතේ සැහැල්ලුවෙන් ඉන්ඩ තියෙන කාලෙ අපි නැති කරන එක නෙවෙයිද? කවුද කැමතිවෙන්නෙ මේ කොළඹ කූඩු ජීවිතේට, තමන්ගෙ ජීවිතේ තමන් ආසම කරන දේවල් ටික කරන්න ඉඩක්  නැත්නම්.. ඒ නිසා අම්මට බල කරන්ඩ එපා එන්ඩ කියල… අපි කවුරු හරි හොයල නවත්තමු..

එයා සතුටු විදියට එයාගෙ විශ්‍රාම ජීවිතේ ගෙවන්ඩ තියෙන්ඩ ඕනෙ නෙ….

මල්ලි අම්මව කොළඹ එක්ක එන්න වාද කරන හැම වෙලාවකම මම කියනව..

ඒ වුණාට අම්ම එහෙම ඉන්ඩ ඕනෙ නෑනෙ… අපි දෙන්න එක්ක ඉන්ඩ පුලුවන් නෙ … මිනිස්සු මොනව නොකියයිද එහෙම ඉන්නකොට….

අපි දෙන්න ඔය ගැන නිතර වාද කරනව….

ඒත් මට හිතෙන්නෙම අම්ම කැමති දේ කරන්ඩ අපි ඉඩ දෙන්ඩ ඕනෙ… මම වුණත් කවද හරි දවසක තැමති වෙන්නෙ මගේ ජීවිතේ විශ්‍රාම කාලෙ බොහොම සතුටින් සැහැල්ලුවෙන් මම කැමති විදියට ගත කරන්ඩයි.. ඒ කියන්නෙ යුතුකම් අමතක කරල ඉන්නව කියන එක නෙවෙයි… ඒත් අපි ජීවත් වෙන ටික කාලෙ සතුටින් ඉන්න ඕනෙ නෙ මොනව නැතත්

ඉතින් අවුරුදු තිස් හතරක සේවා කාලයක් අවසන් කරල විශ්‍රාම ගිය අම්ම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නෙ මෙන්න මෙච්චරයි…..

ආයු බෝ වේවා!!

පහන් සිත් සෑදේවා!!!

රෝ දුක් නිවේවා!!

විශ්‍රාමය සුවයක්ම වේවා!!!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to විශ්‍රාමය සුවයක්ම වේවා!!!

  1. Prasad පවසයි:

    Great article and very toughing.. Hope this is one of best appreciation gift that your amma can ever get in life time. Wish her long live.

  2. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    නංගිගේ අම්මගේ ප්‍රාර්ථනාවනුත්, අම්මා වෙනුවෙන් නංගියි මල්ලියි කරන ප්‍රාර්ථනාවනුත් ඒ අයුරින්ම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  3. Ravi පවසයි:

    අනේ මම දන්නෙ නැහැ නංගියේ,ඔයා ලියන බොහොමයක් දේවල්,විශේෂයෙන් හදවතට කිට්ටු හැඟීම් බර දේවල් කියවද්දි මගෙ ඇස් තෙත් වෙන්නෙ මොකද කියල,බෙහෙතක් වත් ගන්ඩ වෙයිද මන්දා,………. හෙහ්, ………..හෙහ්,

    අනික් අතට ඒකෙ අරුමෙකුත් නැහැ, දෙවිවරු වගෙ ගුරුවරු ගැන ඔයා පපුවෙන්ම ලියද්දි ඒ විශේෂයෙන්ම ඔයාගෙම අම්ම ගැන වෙච්චි කොට, එහෙම දෙයක් නොවුනොත් තමයි මම හිතන්නෙ බෙහෙතක් ගන්ඩ වෙන්නෙ,

    ගුරුවරු සහ ගුරුදෙවිවරු කියල දෙගොල්ලක් ඉන්නවනෙ නංගි,ඔය ගුරුදෙවිවරු කියන කට්ටිය Endangered Species නැත්නම් වඳවී යාමේ තර්ජනයට කල්වූ සත්ව කොට්ඨාශයක් බවට පත්වූ කාලයකයි අපි මේ ජීවත් වෙන්නෙ,

    තව ඉතාම වැදගත් කාරණයක් ඔයා ලියල තිබුනා, විශ්‍රාම ගිය මව්පියන්ට තමන්ගෙ ජීවිතේ තමන් කැමති පරිදි ගත කරන්නට සම්පූර්ණ නිදහස දෙන්න ඕනය කියන එක, සීයට දෙසීයක් එකඟයි නංගි, විශ්‍රාම දෙන්නෙ විවේක සුවයෙන් තමන් කැමති දේකට කාලය යොදවමින් සතුටෙන් ගත කරන්න මිසක් කොහේ හෝ තැනක, තමන්ගෙම දරුවන්ගෙම පවා, වැට කඩුලු වලින් හිරවෙලා ඉන්න නෙවෙයිනෙ,

    ඉතින් ආයෙම කියන්න තියෙන්නෙ මෙවන් මවක් ලැබූ ඔබ දියණියක වශයෙන් සතුටු වන තරමටම මෙවන් දියණියක ලැබූ ඇයද මවක් වශයෙන් සතුටු වන බව මට නිසැකයි කියල තමයි, ඇත්තමයි ඔන්න හොඳේ,……. මේ ඇත්තටමයි කිව්වෙ, හරිය……හෙහ්, හෙහ්,

    The mediocre teacher tells.  The good teacher explains.  The superior teacher demonstrates.  The great teacher inspires.  ~William Arthur Ward

    • ස්තූතියි රවී අයියෙ… අම්ම අපි වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන කල්පනා කරද්දි මම තනියම හිතන දෙයක් තමයිකවද හරි ඒවගේ දේවල් මම මගේ දරුවෙක් වෙනුවෙන් කරයිද? කියන එක…
      අපි නිසා අම්ම එයාට ලැබුණු බොහොම උසස් මට්ටමේ අවස්ථා ප්‍රතික්ෂේප කලා…එහෙම කළේ පසුතැවිල්ලක් කියන බින්දුවක්වත් හිතේ නැතුවයි… ඉතින් අම්මට පුලුවන්තාක් කල් එයා කැමති විදියට ඉන්න දෙන්න ඕනෙ කියලයි මම හිතන්නෙ… අපේ ඒකාකාරී ජීවිතේට එයාවත් ඇදල දාන එක පවු!!

  4. SiriBiris පවසයි:

    පාරට කිට්‍ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා..
    අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා..
    කනේ තියෙන රන් පුස්කොල ‍තෝඩුව ගුවන් තලේ උඩ නද කරනා
    අම්මාට පිං ඇත මේ දුව තැනුවට අන්තර-ජාලේ බ්ලොග් ලියනා..

    • SiriBiris පවසයි:

      හුටා. බුද්ධිමය දේපල පණත, අමතක වුනා නෙව. මං නෙමෙයි කිව්වෙ “උපාලි කන්නන්ගර” .මං පොඩි එඩිටිං පාරක් දැම්මා, කවිකාර මුදියන්සේගෙ කොමන්‍ටුව දැකලා. මේක විසේසයෙන්ම කියන්නෙ සියලු සත්ත්වයා ගැන පතල කරුණාවෙන්, මගේ අහිංසක් ඔලුගෙඩිය බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනුයි. කාගෙන්ද කියලා දන්නෝ, දනිති.

  5. ගෝල්ඩ් fish පවසයි:

    ඔයාගේ අම්මා හොඳ ටීච කෙනෙක්… එච්චරයි…

  6. Thushari Rajapaksha පවසයි:

    නංගී,. ඇත්තටම මට හිතෙනව මමත් වාසනවන්තයි කියලා..ඔයාගෙ අම්මගෙන් සංගීතය ඉගෙන ගන්න තරම් මමත් වාසනාවන්තියක්.
    නිරෝගිමත් සහ සැනසිලිදායක විශ්‍රාම දිවියක් සන්ගීත ගුරුතුමීට මමත් ප්‍රාර්තනා කරනව…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )