ගම්මානේ යමු…!

ඉස්තෝප්පුවෙ මිටි පඩි උඩ ඉඳගෙන ඈත කඳුවල හෙවනැලි කන්දෙන් කන්දට වැටෙන හැටි බලාන හිටිය මම හැරිල බැලුවෙ අම්ම එන සද්දෙට…

කොහෙන්ද අම්මෙ පත්තරේ?

කියවන්ඩ දෙයක් නැතිව හරිම හිතේ අමාරුවෙං හිටිය මං ඇහුවෙ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහිං..

ඇයි ආත දෙහිඕවිට ගිහිං එද්දි නෙ ගෙනාවෙ…

අම්ම එහෙම කියල ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවක වාඩි වෙලා පත්තරේ කියවන්ඩ ගත්ත.

මාත් කෑල්ලක් ඉල්ලගෙන කියවන්න පටංගත්ත…

හවස් අතේ ගම්මානෙ ගෙදරට ගොඩ වැදිල එන්ඩත් ඕනෙ….

දවල් කෑම කාල වළං පිඟං හෙම අස් පරස් කරල ඉස්තෝප්පුව පැත්තට ආව ආච්චි අම්ම කිව්ව.

ආ නියමයි… නියමයි…. දැං යං දැං යං..

දවල් කෑමෙන් පස්සෙ කොහෙ ගියාද නැතුව හිටිය මල්ලිත් කඩන් පාත් වුණා එතකොටම….

ඒ පිටි පස්සෙං කුමාරයත් එන්නෙ ඔය හොරගල් අවුල අවුල….

ආ ආවද මහත්තය.. දවස තිස්සෙම නඩලං ගහල ගහල? හැටි විතරක් නාවර පෙරාගෙන වැදි පැටිය වගෙ?

ආච්චි අම්ම සැර කරන්නෙ ආදරේට කියල දන්න නිසා මල්ලි ආච්චි අම්මගෙ කරේ එල්ලිලා මූණ ඉඹිනව..

චික් විතරක්.. එන්ඩ එපා මයෙ ඇඟේ කුණු ගාන්ඩ..

ආච්චි අම්ම එහෙම කියන්නෙ කෝලමටත් එක්ක….  එහෙම කිව්වම මල්ලි තවත් ඇඟේ එල්ලෙන බව එයා දන්නව..

කොහෙද කොල්ලො ගියේ..? ආච්චි අම්ම ඇඟේ එල්ලෙන මලයව අල්ලගෙන අහනව..

කුමාර් එක්ක පල්ලෙහා කෝවිල ලඟ හිටියෙ…

ඈ…..! කෝවිල ට ගියා….! මොනවද කළේ එහෙ ගිහිං?

හරි නරකයි ඇයි ඔයාල මට කිව්වෙ නැත්තෙ එහෙ යනව කියල…

මගෙ මූණ දෙක වුණා ඔන්න..

හාහ්.. හොඳා නෙ… ගෑනු ළමිස්සියො තමා යන්ඩ ඕනෙ තනිපංගලමෙ සවාරි ගහන්ඩ…

ඉතිං තනියම නෙවේ නෙ ආද්දි අම්මෙ.. මල්ලිලත් ඉන්නවනෙ…

මං ඉතිං හේතු දක්වන්ඩ වුණා…

ඔන්න මලය පටං ගත්ත විස්තරේ කියන්ඩ ඒ පාර

ආච්චි අම්මෙ කෝවිල ලඟ ගහේ  ලස්සන රතු පාට අඹ හැදිල….  අපි අඹ ගහට පොලු ගැහුව…

හනේ හම්මේ… මුන්ටත් තියෙන ගායක මහත….?

ඈ කොල්ලො….පූසාරි හිටියෙ නැද්ද?

ආච්චි අම්ම කුමාර්ගෙං ඇහුව..

නෑ…

කුමාර් කිව්වෙ ඇහෙන නෑ හෙන හඬිං

උඹටත් කිව්වම තේරෙන්නෙ නෑනෙ… මේ ළමයවත් අරං ඔච්චර දුර රවුං ගහන්නෙ… මොනව හරි උනොත් එහෙම කාට කියන්ඩද හා?

ආච්චිඅම්ම කුමාරයට සැර කළා…

කුමාරය බිත්තියට හේත්තු වෙලා බිම බලාගෙන හිටිය….

ඔය පූසාරි හරි වසයි…. කෝවිල ලඟට එන ළමයින්ව අල්ලගෙන හංගගන්නව…

තනියම යනව එහෙම නෙවෙයි ඒ පැත්තෙ…

හා ලං ලිඳ ලඟට… ඇඟ හෝදං එන්ඩ…..ගම්මානෙ යන්ඩ කලිං…

ආච්චි අම්ම මල්ලිව එක්කං ගල් පඩිපෙල බැස්ස…

කුමාරත් ඇවිත් මූණ කට හෝදගන්නව…..

ඉර බහින වෙලාවෙ තේ දලු කූඩෙ පැට්ටේරියට බාරදීපු පොන්නු ගල් අතුරපු පාර දිගේ එනව… කුමාරයව එක්කන් යන්ඩ.. පොන්නුගෙ මූණ හරිම මහන්සි පාටයි.

කේතලේ ලිපේ තියල ඇත්තෙ… ගිහිං වක්කරහංකො තේ…  කහට ටිකක් බීලම යමං…

ආච්චි අම්ම පොන්නුට කියනව

දලු කිරන වැඩ හමාර වෙලා මාරිමුත්තුත් ඇවිත් කුස්සිය පැත්තෙ පිලේ ඉඳගෙන මහන්සි නිවනව…

ආච්චි අම්ම ලිප උඩ තිබුණු මුට්ටියක් වහල තිබුබ මැටි කෝප්පෙ අයින් කරලා කඩවැස්ම උඩ තිබුණු දුම් දාන හැලප ටික එකින් එක අරන් පිඟානක අඩුක් කළා…

කිතුල් පැණි මුහු කරපු ඒ  හැලපවල රස ගැන ගැන කාට හරි විස්තර දැනගන්ඩ එහෙම ඕනෙද?

තමන් හදලම කාල රස බලන්ඩකො…!

කටිටියම  හැලප කාල තේ බිව්ව…

අපි තේ බොන්නෙ පිඟන් මැටි කෝප්පවල…

කුමාර්ට තේ බොන්න බෙලෙක් කෝප්පයක්…!

පොන්නුයි මාරිමුත්තුයි තේ බොන්නෙ තද දුඹුරු පාට කටුව මතු වෙනකල් සුද්ද කරපු ලොකු පොල් කටු දෙකක…

ඒක දැක්කම මටත් හරි ආසයි පොල් කටුවක තේ බොන්ඩ…

ඒත් කවදාවත් ආච්චි අම්ම නං ඒ ගැන කතා කරනවට වත් සතුටු වුණේ නෑ..

ඒක කතා නොකළ යුතු දෙයක් බව තේරුණ නිසා මම නම් හරා අවුස්සන්ඩ ගියේ නෑ…

ඒත් මලය නං ඕක ආච්චි අම්මව අවුස්සන්ඩ හැම තිස්සෙම වගෙ ඇහුව..

පොන්නු තේ බීල මැටි කළේ වතුර අඩුව කොරහට පුරවල ඒක උකුලෙ තියං ගල්පඩි බහිනව…

එයා වතුර කලේ පුරවල ගෙනත් තියන්නෙ කවුරුවත් අණ දීල නෙවෙයි..

මාරි මුත්තු උයන ගෙයි මුල්ලක හේත්තු කරල තිබ්බ පොරව අරන්, දර මඩුවෙං දර කොටයකුත් පෙරලගෙන ඒක පලන්ඩ පටං ගත්තෙත් කවුරුවත් කියල නෙවෙයි..

හා හා ලෑස්ති වෙන්ඩ දැං ගම්මානෙ යන්ඩ.. අම්ම මල්ලිට කිව්ව

හා….! මල්ලි උඩ පැන්න…

ලක ලෑස්ති වෙලා… අර හැලපත් ඔතාගෙන  ඔන්න අපි පිටත් වුණා ගම්මානෙ යන්ඩ…

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

21 Responses to ගම්මානේ යමු…!

  1. ඔය කරේ අදත් යස වැඩක්,මතක් කරොත් රස කෑමක්ම තමා.අනේද කියන්නේ,මට නොදී ඔක්කෝටම කන්නත් දීලා.දැං තව හැලපෙකුත් මතක් කොරනවා.නාකයි නාකයි බෝම නාකයි කතාවේ හොදම හරිය දැම්මෙ නෑ නෙව මේ කම්මැලි අක්කණ්ඩිගේ කම්මැලිකොමට.එක්කෝ එකත් හොදා.රස වැඩි වෙන්නේ අගේ වැඩි වෙනකොට නෙව.
    ප්‍රීතී පුරෝහිත ප්‍රීතී, ඔය ඉතුරු ටිකත් අගේ නොකරම ඉක්මනට දැම්ම නං…

  2. Ravi පවසයි:

    ඈ….බොල කෙල්ලෙ,

    මම මේ උඹෙං කීප දවසක්ම අහන්න මයි හිටියෙ, මොකෑ මේ ආච්චි අම්මය ආච්චි අම්මය කියන්නෙ?, ආච්චි අම්මය කියන්නෙ මේ අපි වාගෙ පාත්තයො නෙව,

  3. praveena පවසයි:

    අනේ දෙය්යනේ මම මොන වැරද්දක් කලාටද මට මෙහෙම කරන්නේ? අද මට නින්ද යයි කියලා හිතනවද?
    ” කඩවැස්ම උඩ තිබුණු දුම් දාන හැලප ටික එකින් එක අරන් පිඟානක අඩුක් කළා…කිතුල් පැණි මුහු කරපු ඒ හැලපවල රස ගැන ගැන කාට හරි විස්තර දැනගන්ඩ එහෙම ඕනෙද?”
    උදේ ඉඳන් මහන්සි වෙලා ගෙදර එන්නේ යන්තම් ඇහැ ටිකක් පියා ගන්නනේ! අද ඒකත් නෑ.

  4. SiriBiris පවසයි:

    මුදලිතුමා උදැහැනැක්කෙම හුළු අත්තත් පත්තු කරන් ආවෙ ,බෑරක් යන්නද, පන්දං අල්ලන්නද? බොලං, ඇලපාත , පොඩ්ඩිට මාව හීනෙන් පේන්න, ඇයි මං අයිස් කෝපි එකක් ද?

    • Buratheno පවසයි:

      හුළු අත්තක් පත්තුකොරගෙන ආවෙ අයිස් කෝපි එක රත්කොරලා දෙන්ට.. බොලා මෙතන ඉදං මාව කන්ට තනනවා.. දැං තව ටිකකින් අනිත් පැත්තෙනුත් මට එයි ඊතල පණිවිඩයක් ආඩපාලි කියාගෙන.. ඕං මීට පස්සෙං පහු මං නෙවේ කටක් හොල්ලන්නෙ..

      • SiriBiris පවසයි:

        හුටා. එහෙමත් එකක්ද? එහෙම දෙපැත්තෙන්ම උඹව කන එක නං ඉන්තේරුවෙන්ම වැරදියි. මං එහෙනං නොකා ඉන්නං, ඔය එහා පැත්තෙන්ම කාපුවාවෙ..හී..හී

  5. Buratheno පවසයි:

    මේ ඒක නෙවෙයි නගා, අර පරාස්ස මලයා කියලා තිබ්බ පුරස්නෙ මටත් ආවා නොවැ.. ගූගල් රීඩර් පොජ්ජට නගාගෙ බොලොක්ක ඇඩ්ඩැරැස් එකත් එකතු කොරලා තිබ්බට අලුතෙන් දාන පෝස්ට් එව්වා පෙන්නන්නෙ නෑ නෙ.. මාත් මේ හිතේ හෝදිසියට ගොඩවැදුනු ගමන් තමා මේකත් දැක්කෙ..

  6. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    දැං ඔය ඉන්න මල්දෙණියත් ගම්මානේ නෙවැ නගේ, ආයෙ කොහෙද මේ ගම්මානේ යනවැයි කියලා යන්ට තනන්නේ? විගහින් දාන්ටකෝ ඒ විස්තරත්.

  7. Maneka පවසයි:

    අනේ මටත් යන්න ඕනා….ඔය ගමට…මාව එක්කන් ගිහින් නෑනේ ඔයාලා…..:(

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )