සිවකුමාර්…!

අක්කෙ අක්කෙ…. නැගිටින්ඩ නැගිටින්ඩ….

කවදාවත් නැතිව මල්ලි උදේ පාන්දරම ඇහැරිලා

කරදර කරන්ඩ එපා අනේ…. නිදාගන්ඩ දෙන්ඩකො මල්ලි…

මම තව තවත් පොරවනය ඇතුලට ගුලි වෙන්නෙ කම්මැලිකමට

මල්දෙනියෙ සීතල සැපදායක පරිසරයෙදි නින්ද යන්නෙ අපිටත් නොදැනීම….

එනවකෝ අක්කෙ…. අනේ එනවකො අපි උගුරැස්ස කඩන්ඩ යංකො..

මල්ලිට ඕනෙ මාව ඇහැරවාගන්ඩයි. සෙල්ලම් කරන්ඩ කුමාර්වත් ඇවිත් නැතුව ඇති…

චක්…..! මේ උදේ පාන්දර කවුද අනේ උගුරැස්ස කන්නෙ?

ඒ මගේ නුරුස්නාබව හඟවන හඬ…

අනේ නැගිටිනවකො…. අනේ අනේ ඕයි නැගිටිනවකො අක්කෙ…. මට සෙල්ලං කරන්ඩ කවුරුත් නෑනෙ..

ආං එළියට පැන්න බළල මල්ලෙං

මට පොරවනේ ඇතුලෙදිම  තනියම හිනා….

හා එහෙනං අර ජනේලෙ අරිනව….

මමත් අරින්නෙ නෑ එක එක වැඩ ගන්නව….

හැබැයි නැගිටල එන්ඩ ඕනේ හරිද ……?

හරි හරි………. ඊට පස්සෙ තව වැඩ තියෙනවනෙ කරන්ඩ….

ආ එහෙම බෑ…

ආ එහෙනං මං නැගිටින්නෙත් නෑ….

මම ආයෙත් හිසේ ඉඳන් පොරවනයෙන් වහගන්නව

හා හා… මම අරින්නම්කො… මලය ගිහින් ජනේලෙ ඇරිය…

අරුණු එළිය හෙමින් සැරේ කාමරයට ගලාගෙන ආවා…

හා නැගිටින්ඩ දැං…

මගෙ තේ එක ගෙනත් දෙන්ඩ දැං….

මට බෑ…

එහෙනං….. ඔන්න මම….

නෑ නෑ ගෙනත් දෙන්නං ගෙනත් දෙන්නං..

මලය කුස්සිය පැත්තට දුවන්නෙ මගෙ තේ කෝප්පෙ ගේන්ඩ…

හප්පේ… සෑහෙන කාලෙකිං බ්ලොග් එක පැත්තෙ ආවෙ…කෝ මේ මල්දෙනියෙ විත්ති අහන්ඩ එන කට්ටිය…?

මැච් බලන්ඩ ගිහිංද?

කට්ටියක් නං වලව්වට එක්කාසු වුණානෙ මැච් බලන්ඩ….

ඒ ආව ඇත්තොන්ට කෑම බීම සප්පායං කළෙත් මල්දෙනියෙං නෙව…

ඉතිං උයන්ඩ පිහන්ඩ වෙච්ච මහන්සිත් නිවාගෙන එහෙම තමයි ආවෙ ඔන්න මේ පැත්තට

ආ මෙන්න…

ටික වෙලාවකිං මලය ආයෙත් එන්නෙ මගෙ තේ එකත් අරන්

හැබැයි මේක බීල නං නැගිටින්ඩ ඕනෙ හරිද?

මල්ලිගෙ හඬ නොයිවසිලිමත්

හා හා… මමත් කියන්නෙ කරදරෙන් බේරෙන්ඩයි

ටකස්!!!

ඒමොකද්ද ඒ…???

හදිසියෙම ජනේලය දෙසින් කාමරය තුලට ආපු යමක් පොළවෙ වැදිල නැගිච්ච සද්දෙට තිගැස්සුන අපි දෙන්නම විපරම් කළා…

මලය බිම තිබිල අහුලගත්තෙ පුංචි ගල් කැටයක්…

කවුද මේ ගල් විසි කරන්නෙ???

අපි දෙන්නම මුහුණෙන් මුහුණ බලං කල්පනා කලා..

මල්ලි ජනේලෙ ලඟට ගිහින් අවට පේනතෙක් මානෙ විපරම් කළා…

ම්හු.. කවුරුත් නං පේන්ඩ නෑ…

මම තේ එක බිව්ව.. රස කර කර වෙලාව අරන් තේ එක බොන එක ගැන නම් මලයගෙ හිතේ කිසිම කැමැත්තක් නැති බව ඇඹුල් වෙච්ච මූණෙන් පෙණුන… ඒත් ඒ ගැන මොනවත් කිව්වොත් මම ආයෙමත් නිදාගනියි කියල බයට කට හෙල්ලුවෙවත් නෑ

හදිසියෙම ජනේලෙන් කාමරේට ආව ආලෝක තීරුව යමකින් ආවරණය වුණා වගේ දැණුන නිසා මම ජනේලෙ දිහාව බැලුව…

කවුදෝ කෙනෙක් ඒ සැනින් හිස පහතට ගන්නව මට ඡායාවක් වගේ පෙණුන…

කවුද???

මම හයියෙන් ඇහුව….

සද්දයක් නෑ….

කවුද ඔය ජනේලෙ ලඟ ඉන්නෙ… ඉක්මනට එනව එළියට….

ම්හ්… කිසිම හැලහොල්මනක් නෑ…

ඉන්නවකො ආතට කතා කරන්ඩ..ආතේ …. ආතේ මෙන්න මෙතන කවු….

ශ් ශ්…..කෑ ගහන්ඩ එපා…. කෑගහන්ඩ එපා…..

මල්ලි කෑගහන්ඩ පටන් ගන්නකොටම හෙමින් හෙමින් කලුපාට ඔලු ගෙඩියක් මතු වුණා පෙණුන මම කලබලෙන් කිව්ව.

ඒ පාර කලු පාර ඔලු ගෙඩිය අපි දිහාට හැරිල හිනා වුණා….

ආ……………………සිවකුමාර් නෙ…..!

අපි දෙන්නටම එකපාර කියවුණේ

යං යං… මං එන්නං… සෙල්ලං කරන්ඩ යං….

මලයට මාව අමතක වෙච්ච පාර පැන්න කාමරෙං එළියට… දුවගෙන ගියා මිදුලට…

මටත් ඉතිං කම්මැලි හිතුණ ආයෙමත් නිදාගන්ඩ

ඒ පාර මමත් නැගිටල මිදුල දිහාවට ගියා..

මිදුලෙ අයිනක තියෙන ඇල වෙච්ච පොල්ගහෙ නැගල මල්ලියි කුමාරුයි සුපුරුදු සෙල්ලම පටන් අරන්….

සුපුරුදු පරිදි මල්ලි ඩ්‍රයිවර්

කුමාර් තමයි කොන්දොස්තර…

යෝ….ගම යෝගම….. බයින අය එන්ඩ… බයින්ඩ බයින්ඩ….

කුමාර් පොල් කඳ උඩ හිටගෙන බෙරිහන් දෙනව…කුමාර්  කට්ට කලුයි.  හිනා වෙද්දි කම්මුල්වල පුංචි සුලි දෙකක් මතු වෙනව… මල්ලිට වඩා පොඩ්ඩක් විතර වයසිං බාලයි

මේකයෙ දත් කුට්ටම විතරයි සුදු… කතා කරද්දි යකා පොල් කන්නහෙ…

අපේ තාත්ත විහිලුවට කුමාර්ව දැක්කම කියනව

උඩු කය වැහෙන්ඩ ඇඳුමක් ඇඳල නැති නිසා කුමාර්ගෙ ලොකු බඩ ගෙඩිය බෙරිහන් දෙන සද්දෙට උඩ පහල යනව.

මේකට කමිසයක් වත් අන්දපල්ලකො පොන්නු…. ආච්චි අම්මත් වෙලාවකට පොන්නුට කියනව…

ඒත් ඉතිං තේවත්තෙ නැහිල නැහිල පණං හතරක් හොයාගෙන රෑට වේලට යාන්තං මොකුත් ලිප තියාගන්ඩ ලැයිමට යන පොන්නුට ඔව්ව කියල වැඩක් යැ….

ආච්චි අම්ම මල්ලිගෙ පරණ කමිසයක් කුමාර්ට දුන්න…

මල්ලි කුමාර්ට වඩා පොඩියිනෙ… ඉතිං කුමාර් අමාරුවෙං කමිසෙ ඇදගත්තට මොකද බොත්තම් ටික පියවන්ඩ බෑ…. බඩ ගෙඩිය හින්ද පියවනව තියා ලං කරන්ඩවත් බෑ…ඒ කමිසෙ ගලවල ජම්බු ගහේ පහල අත්තක් උඩ රඳවල තියෙනව මම දැක්ක….

මල්ලි පුලුවන් හයිය දාල සුක්කානම කරකවන්නෙ අමාරු වංගු ගන්න රියදුරෙක්ගෙ විලාසයෙන්…දෙන්නගෙ තාත්වික රඟපෑම දැක්ක ගමන් මට හිනා ගියා…

දෙයි හාමුදුරුවනේ මං බැලුව මේ මොකද්ද මේ උදේ පාන්දර ගෝසාව කියල…මොකද කුමාරයො මේ බෙරිහන් දෙන්නෙ….?

කුමාරයගෙ සද්දෙ අඩු වුනේ හරියට හුලං ගිය බැලුම වගේ…

අපරාදෙ කියන්ඩ බෑ කුමාරයත් අම්මයි තාත්තයි වෙච්ච පොන්නුයි මාරිමුත්තුයි වගෙම ආතට හරි ගරු සරුයි..

මලයත් පොඩ්ඩක් අයිං ගැහුව…

බෙරිහන් දෙන්නෙ නැතිව සෙල්ලමක් කොරපල්ලකො…

එහෙම කියල ආත පිලිකන්න පැත්තෙං ගෙට ගියේ උන්දැ එක්කාසු කරගෙන ආව පුවක් ටික පිල උඩට දාන්ඩයි.

ගමේ ආත බුලත් කොරටුවට ගිය ගමං වෙන්ඩැති මිදුලට ආවෙ…

උන්දැ ඉතිං නැගිට්ට ගමංම යන්නෙ උන්දැගෙ ළමයි වාගෙ බුලත් පැල බලන්ඩ නෙ….

ගිහිං කොලයක් ගානෙ අතගාල ලෙඩ රෝග එනවද කියල හෝදිසි කරල… අලුත් දඬු කොවුල්වලට තියල කෙසෙල් පට්ටවලිං බැඳල එහෙම තමයි ඔය පල්ලං බහින්නෙ…

කකුල්වල දුඹුරු පාට මඩ…. සරම කැහැපොට ගහගෙන ඉන්න ආතගෙ ඝන ඇහිබැමි යුගල තමයි මුහුණෙ කැපිලම පේන්නෙ… ඒ හින්දද කොහෙද ආතගෙ මුහුණ බැලු බැල්මට ටිකක් නපුරු පාටයි…

එහෙම නැතුවත් බෑනෙ මේ පෝරිසාදයො ආන්ඩුමට්ටු කරන්ඩ..

ආං… අපේ අම්ම….

ආත යනකල් සද්දයක් නැතිව හිටපු කුමාර්ගෙ කටට ආයෙමත් පණ ඇවිත්….

කෝ…

අර පල්ලෙආ තේ කෑල්ලෙ තමා ඉන්නෙ… එබි එබී බලන ගමන්

ශහ්… කංකානි අයිය තමා ඉන්නව..

නැත්තං හරි අපිට යෙන්ඩ තිපුණ..

කංකානම පොඩ්ඩක් එහෙමෙහෙ යනකල් ඉඳල දෙන්නත් එක්කල පනිනව තේ වත්තට

තේ ගෙඩි කඩලා එව්ව හපන්ඩ… තේ දලු කඩලා නලා හදන්ඩ…. කොච්චර නං වැඩද?

යකුනේ මෙහෙට වරෙව්….!

ඔය මොනවද ගිනි අව්වෙ ඔය තේවත්තෙ ඉඳං කරන්නෙ? ආච්චි අම්මට හොඳටම තරහ ගිහිං වගේ…

දෙන්නම මී පැටවු වගේ පඩි පෙළ නගිනව…

මෙහෙ එනව…තේ බොන්ඩ

ආච්චි අම්ම මල්ලිගෙ තේ කෝප්පෙ දීල කුමාර්ගෙ බෙලෙක් කෝප්පෙට තේ වතුර වක්කරනව…

ඇයි ආච්චි අම්මෙ කුමාර්ට බෙලෙක් කෝප්පෙට තේ දෙන්නෙ…?

මල්ලි උන්න ගමන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්ඩ බැරුව කිරි අම්ම හිර වෙනව

ආ මේං… මේ විස්කෝත්තුවක් කන්ඩ…

ආච්චි අම්ම ප්‍රශ්නෙ ඇහුණෙ නෑ වගෙ ඉන්නව..තේ බීල ආයෙමත් දෙන්නම පනිනව…

තේ පඳුරු ගානෙ, ගල් පොතු ගානෙ කරක් ගහන එක තමයි දෙන්නගෙ වැඩේ

සිවකුමාර්…………! අනේ දැන් නම් මොනව කරනවද දන්නෙ නෑ…

ටිකක් ලොකු වයසෙදි අපේ ආතා අංශබාගෙ හැදිල එකතැන් වුණාම සාත්තු සප්පායම් කරන්ඩ අපේ ගෙදර නතර වෙලත් හිටිය. දෙපයින් හිටගන්ඩ බැරි ආතව දෑතින් වඩාගෙන ගිහින් නාවල, කවල, පොවල, බෙහෙත් තෙල් ගාන්නෙ කුමාර් තමයි…

ඊට පස්සෙ ආතත් මියැදුනානෙ…

කුමාරුත් යන්ඩ ගියා… ආර්ථික අගහිඟකම් නිසා මොනව හරි පොඩි රස්සාවක් කරනව ඇති….කොහෙ ඉන්නවද කියල දන්නෙ නෑ…

මල්ලියි මමයි හිටපු ගමන් මල්දෙනියෙ විත්ති කතා කරන කොට අපේ ගොඩක් කතාවලදි කුමාර්ව අපිට මතක් වෙනව…

ඒ වෙලාවට හිතට දැනෙන්නෙ හරි පාලුවක් වගේ හැඟීමක්….!

ඒ අපිට දැනෙන්නෙ ප්‍රිය විප්පයෝගයේ එක ප්‍රකාරයක් වෙන්ඩ ඇති….!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

43 Responses to සිවකුමාර්…!

  1. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

    ආ, මේ ඇවිදිං ඉන්නේ… කොහොමෙයි ඉතිං? ගමං මාන්සිය යන්ටත් කළියෙං වළව්වට කෑම හදාල දෙන්ට උනානෙ නේද? ඒ හන්දා ඕං ඉතිං අපි ඉවසං උන්නා. නගා ඒ පැත්තේ ලියාලා තිබ්බ කතා කොමෙන්ටුවත් පංකාදුයි.

    සිවකුමාරයව ආයෙ කොයි දොහක හරි මුලිච්චි වේවි නගාලට… අර ඔයි ගැන කියාපු සින්දුවකුත් තියෙන්නේ, ‘මේ පුංචි රටේ, කොතැනකදී හෝ කවදා හෝ, යළි අප හමු වේවී’ කියලා… ඉතිං ගම් තුලානේ ඉසව්වේ හෙම ඩිංගක් ආරංචි කොරලා බැලුවොතිං කාරිය හොයාගන්ට බැරි වෙන එකක් නෑ මයෙ හිතේ…

    • කාට කියන්ඩද කවිකාරි අක්කෙ ඒ අවනඩු… වලව්වල කුමාරිහාමිල වෙච්චි, හිතූ දේ ඕනැ වෙච්චි, මොකෑ අපි බෑ කියන්ඩ කියලයැ?
      කුමාර් කොළඹ පැත්තෙ රස්සාවක් කරනව කියල ආරංචි වුනා… ඒත් හරියට ඉන්න තැනක් දන්නෙ නෑ නෙ?
      කොහෙ කියල හොයන්ඩද?
      දැං වෙනස් වෙලා ඇති අදුනගන්ඩත් බැරි තරං..
      ගමේ ගිය වෙලාවක හොයල බලන්ඩ ඕනෙ..

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

        ජනූ නගේ, ආං අපේ මහත්තයා කියන්ඩයි කිව්වා නගා මේ රස කර කර කෑම වේල් ගැන බොලොක්ක පිටු පුරෝන වෙලේ ඔයි කියන කෑම සේරෝම ජාති හදලා අපට කෑම වේලක් දුන්නනං නාකෙයි කියලා. ඕං මං පයිංඩෙ කීවා, මේං ගියා. ආයෙ හැන්දෑ කොරේ ඇවිදිං යන්ඩ එන්නං නගාගෙ උත්තරේ මොකද්දෑ බලංඩ.

      • මොකෑ බැරි අක්කෙ…. ඕං ඔය නිවාඩු පාඩු තියෙන වෙලාවක අපෙ අහ ආවනං ඉවරයි නෙව…. වේලක් උයල දෙන එක ආයෙ මහ ලොකු කාරියක්ය…?
        එදාට ඔය මල්දෙනියෙ කෑම ගැන අහල හූල්ල හූල්ල ඉන්න යජිත් ඇත්ත, රවී අයිය, සිරිබිරිස් අයිය, බුරතීනො අයිය, පරාස්ස මලය, රත්තරං මාලුව, කුමාරිහාමි අක්ක ඔය හැමෝටමත් එන්ඩ කියන්ඩ බැරියැ…
        බත ලිපේ තියමු අපෙ අම්මගෙ වී තම්බන හැලියෙ…
        දානවලට උයන්ඩම විසේසෙං තියෙන ලොකු වළංවල බැරියැ ඉතුරුව උයන්ඩ… නැද්ද
        මට මැවිල පේනව…. වෙසක් කාලෙ අපේ ගෙවල් ඉස්සරහ සමාගම්මඩුවෙ දෙන දංසැල වගෙ තියෙයි ඕං….!

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත පවසයි:

        අප්පේ! අඬබෙරයක් ගහන්න වටින ආරංචියක් නෙව!

  2. SiriBiris පවසයි:

    // වලව්වල කුමාරිහාමිල වෙච්චි, හිතූ දේ ඕනැ වෙච්චි, මොකෑ අපි බෑ කියන්ඩ කියලයැ?//

    හුහ්, බෑ කියල බලහංකො, මොකද වෙන්නෙ කියල. එක්කෝ උඹ දඬු කඳේ, නැහ්නං පැණි ගොඩේ!

  3. Buratheno පවසයි:

    වලවුව පැත්තෙ ගියාම, රෑට කන්ට මෙහෙට එන්ට කියාලා තිබුන නිසා ඕං මමත් ආවා.. අර කෑම ලැයිස්තුව දැක්කමනං මට හීල්ලුනා, ආයෙ බොරු තියන්නෙ මොකටෙයි.. අනේ ඉතිං ආයෙ කවදාක ඒ වගේ කෑම කන්ට ලැබෙයිද කියාලා දෙයියො තමා දන්නෙ..

  4. praveena පවසයි:

    වලව්වේ ගොයිරාළලාට මල්දෙනියේ පදිංචි වෙන්න පුලුවන් නම්, ඇයි ලමාතැනීලට බැරි බිරියෝ? අනෙක මම මෙහෙ පදිංචියට ආවොත් ඉතින් තමුන්ටත් වෙන්නේ මයෙත් එක්ක මෙහේ බින්න බහින්න නොවැ. ඒක වැටහෙන්නේ නැද්ද හැබෑට ඔය ගෙඹි මොලේට?

  5. SiriBiris පවසයි:

    මේං වැන්දා අපෙ මැනිකෙ, විහිලු කිරිල්ල නවත්තල වලව්වට සැපත් වුනා නං,ආයිබෝං. ආං අරෙහෙ වලව්වෙ කස්ටිය බලාගෙන ඉන්නවා

    වන්ස පෝන ටයිම්
    අපෙ මැනිකෙ බිව්ව වයින්
    අත්තම්මට තරහ ගොහින්
    ගැහුව එකක් පයින්

  6. praveena පවසයි:

    එහෙම නං ඉතින් ඔය අලි මොටා පිටේ මාව පරිස්සමින් නග්ගලා, මයෙ පිටිපස්සෙන් වාඩිවෙලා මාව වැටෙන්ට නොදී මාවයි, අලි මොටාවයි, හොඳින් බලාගෙන, සීපදයකුත් කියාගෙන, ඔය කුඩෙත් මට ඇල්ලුවනං බිරියෝ!!!

    • SiriBiris පවසයි:

      අනේ හංස කිංකිං නඟේ, ඊයෙ වලව්වෙ උපන්දින සාජ්ජයක් නොවැ. කුමාරිහාමිට තාමත් වයින් මතේ වෙන්ටෑ. එල්ලාවලා ආත හිටිය නං සොකරි විතරක් නෙමෙයි වඩිග ප‍ටුනත් නටවන්න තිබ්බා. පුහ්, කුමාරිහාමි නටන්න හරි දස්සි.

      ඔය වෙරි පිට කියන එව්වා වැඩිය ගනන් ගන්න එපා.මං උන්දැව වලව්වට ඇරලවල එඤ්ඤං.

      • හප්පේ…. මං මේ දර ඩිංගිත්තක් කඩා ගන්ඩ කියල පොඩ්ඩක් වත්ත පහලට ගියා… සිරිබිරිස් අයියට කිව්වෙ ගේ බලා ගන්ඩ කියලනෙ… ඒ අවු අස්සෙ බලහල්ලකො ආයෙ අං තට්ටු පටලවගෙන නෙව…. අනික මේ කුමාරිහාමි අක්කණ්ඩිගෙ උපං දවස වෙච්චි, එහෙව් දවසකවත් ඒ ඇත්තිගෙ හිත තලන්නෙ නැතිව ඉන්ඩ බෑනෙ හැබෑට මේ සිරිබිරිස් අයියට….?

      • SiriBiris පවසයි:

        // ඒ ඇත්තිගෙ හිත තලන්නෙ නැතිව …..//
        මං එහෙම ඉන්නෙ කොහොමද, යන්තං ඇහැ අහකට ගත්තු ගමන් ඔය කියන ඇත්ති සු‍ටුස් ගාලා අනින්නමනෙ බලාගෙන ඉන්නෙ.

        අර කීව වගේ වී කරල් පිංතූරෙ නං හරි ලස්සනයි. මොකක්ද කැමරාව?

      • ඒ වුණාට බවලත්තුංගෙ හිත් තලා දාන්ඩ හොඳ නෑ නෙ අයියෙ…. උම ඔව්ව ගානකට ගන්ඩ එපා. හුරතලේට හැදිච්ච කෙලි පොඩිත්ති නෙව…

        කැමරාව මොකක් කියලද හිතෙන්නෙ??? එක පාරටම කිව්වොත් අගේ නැති වෙනව නෙව…. අනුමාන කරල කියමු බලන්ඩ එහෙනං?

      • SiriBiris පවසයි:

        උඹ තාම දන්නෙ නෑනෙ ඔය අම්මණ්ඩිගෙ හැටි. හොඳින් ඉන්න කං පූස් පැටියා වගේ, පුරු..පුරු ගගා ඉන්නව. පොඩ්ඩක් වැරදුනොත් දෙන්නෙ, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්නනෙ.

        කැමරාව නේද? එකත් එකටම ඕක උඹ ගල්-කටස් කොරපු පෙම්බර ඇත්තොගෙ කැමරාව වෙන්ටෑ. නම දාලා තිබුණෙ නෑනෙ. මාත් ඔය පොටෝ ඇල්ලිල්ලට බොහොම මනාපයි නෙවෙ, මේ පිංතූරෙ “හොඳ” ගණයට වැටෙන පිංතූරයක්.
        ඔය යන එනකොට දකින දේ පොටෝ අල්ලලා , දාන එකයි තියෙන්නෙ, අපටත් බලා කියා ගන්න.

        මං උඹට සයිට් එකක් දෙන්නං ගිහින් බලන්න. මේක පිංතූර ගැනිල්ල උගන්නන තැනක් නෙමෙයි. හැබැයි එදිනෙදා සිදුවීම්, දකින දසුන් කැමරාවට අල්ලගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න පුළුවනි. මට ඔය කෙලවෙලා, ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්න කොට මං මෙතෙන්ට ගිහින් බලනවා. මේකෙ තියෙන්නෙ අඳුරට සාප නොකර ඉටිපන්දමක් දල්වන්වන්න හදන අපේ කාලයෙ මිනිසුන්ගෙ කතාවක්.
        http://www.theplaceswelive.com/

      • ඒක තමයි ඒක තමයි… අනේ අපරාදෙ කියන්ඩ බෑ ඔච්චර දෙයක් වෙලත් පෙම්බරය ඒක ඉල්ලන්ඩත් කලිංම දුන්න…
        කැමරාව බොහොම පොඩි එකක් බිරී අයියෙ…
        Olympus FE 320
        බොහොම ස්තූති වේවා අර සයිට් එකට… හරිම ලස්සනයි නෙව…

  7. Buratheno පවසයි:

    තේ නං නැතත් කමක් නෑ නගෝ.. ඕන්න ඔය රා මුට්ටිය මෙහාට ලං කොරානං සිරාටයි මටයි පොඩ්ඩිත්තක් සප්පායං වෙන්ට.. අමුවෙන්ම කෑම කන්ටත් හොද නෑ කියනවලුනෙ..

    පලි: ඔය සිරායි පොඩ්ඩියි අං පවලවගන්න ඒවා ඒ හැටි ගනං ගන්න එපල්ලා.. ආදරේටනෙ ඔය කොයිවත්.. 🙂

    • හප්පේ මල්දෙනියෙ කොයින්ද රා…? ඒ තිබ්බෙ එල්ලාවල ආතලයෙ ගෙදර නෙවැ….ගමේ ආතත් කිතුල් මල් මැද්දෙව්ව නං තමා… හකුරු හදන්ඩ.. හැබැයි රා නං කටේ තිබ්බෙ නෑ ඕං….
      ඔය අයියලත් ආදුරුසෙට ගත්තනං එව්ව…

    • SiriBiris පවසයි:

      හෙහ්..හෙහ්..රා නැහ්නං වල් ෆැන්ටා හරි ගහමු නේද? ඒහ නෙමෙයි උඹ ආයෙ “ටිරිටියක්” වත් ගැහැව්වද, මේ පොඩ්ඩිට පංදම් අල්ලන්න තියා ගත්තෙ?

      • මං අල්ලපු පංදමක් නෑ ඕං…
        මං මේ කිව්වෙ හිටපු ගමං කුලප්පු වෙච්ච මීමො දෙන්නෙක් වගෙ අං තට්ටුව පටලව ගන්ඩ බෑනෙ හැබෑට මේ දෙන්නට…. ආ?

      • Buratheno පවසයි:

        සිරා, හැබෑට බොලාට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද බොලවු මේ අනුන්ගෙ ගෙවල් අස්සෙ ඇවිදිල්ලා කා කොටා ගන්නෙ.. අහල නැද්ද ගෙයි ගින්දර පිටට නොදෙන්න කියලා.. කරන මරාගැනිල්ලක් වලවුව ඇතුළෙ කොරගනිල්ලකො එහ්හෙනං..

        ජනූ නගා මේකා මේ පන්දම් අල්ලන කතාවක් කියන්නෙ උඹැහැට නෙවෙයි, මට.. මායි පොඩ්ඩියි පීස් ට්‍රීටි එකක් ගහල නොවැ ඉන්නෙ..

      • ආ… කවුදැ දන්නෙ ඔය විත්තියක්…!
        මක්කරන්ඩද ඔවුව ඉතිං බත් හැලිය ඉදෙනකල් විතරයි කියල වත් හිත හදා ගමු බුරතීනො අයියෙ…

  8. ගෝල්ඩ් fish පවසයි:

    අඩේ මං ටූ ලේට්නේ…. කමක් නෑ… හැබැයි අක්කේ මල්ලිගෙන් වැඩ කොරව ගන්න එකනම් මහම මහා කැතම කැත වැඩක්… පවුනේ මල්ලිලා… අක්කලා හරිනම් මල්ලිලාට තේ එක අරගෙන ගිහින්, ඒක නිවලා පොවන්න ඕනේ…

    ඒකට මේ අක්කා…

    ඇත්තට අර වී කරල් ටික නම් සුපිරි…

  9. හපුච්චේ මේ මොකෑ මේ?මං අදනේ බොලං මේක දුටුවේ.මං නැති අතර ගිනි විජ්ජුංබර ගොඩයි නෙව.මෙහෙං අං කෙලිය.ඒ අස්සේ අක්කණ්ඩි කෑම වේලකුත් දීලා නෙව.මේකව දීය ම කාපිය කිව්වලු.මේ අකුරු අච්චු කන්තෝරුවට හෙන ගහන්ට මුං මට කීවේ නෑ නෙව සිවකුමාර තුමා ගැන ලියලා තියනවා කියලා.හහ් මං අල්ල ගන්නංකෝ උන්දැලව.
    හැබැයි මාළු පනේ කියපු කතාවට කටේ මසුරං දාන්ට ඕනේ ඕං,පව් නේද මලයා?

    • ආ පරාස්සයො.. කොහෙද අතුරුදහං වෙලා හිටියෙ…. කවුරු හරි කට්ටඬියෙක්වත් බැඳ ගෙන වැඩ ගත්තවද්ද උඹව?
      මදෑ අපි මේ කෑම පංගු බෙදං උන්දැල එනකල් බලං හිටිය
      හා හා මේ අපේ මලය පවු කියන්ඩ ආව මෙතන දෙන්නත්තෙක්ක..
      අක්කල එහෙම ඉන්නවනං දෙන්නටම, ඒවගේ උදව් කරන එකයි ඇත්තෙ…

      • SiriBiris පවසයි:

        හුටා, මල්දෙණියෙ පරාස්සයොත් ඉන්නවද? මේකා රාස්සයොත් කන එකා වෙච්චි. මේං වැන්දා ආයිබෝං, මයෙ නං ඇඟේ මස් කලඳක් නෑ,ක‍ටුම විතරයි, කනව නං කාපං ඔය නඟාවම. හැබැයි පු‍තෝ, උඹ පරාස්සයා වුනාට උනාට උන්දැගෙ පෙම්බර ඇත්තොගෙන් නං කාවි හොඳ කෑමක් , එහෙම කලොත්!

    • මේ පැත්තේ ගොඩවැදෙන්ට අමතක උනේ නෑ,කම්මැලි කමට අකුරු අච්චු කන්තෝරුවෙන් ලියුං කරදහියක් මයේ කකුල් දෙක ලගට එනකං හිටියා නෙව,මේ යෝදයෝ එව්වේ නෑ නෙව ලියුං කරදහිය.ඕං ඉතිං ඊයේ දොහේ නිකං ගොඩවැදුනා මොකෝ මේ ටික දොහේ නිස්සද්ද බලන්ට,එතකොටයි දුටුවේ මේ සන්තෑසිය…

      අනේ සිරිබිරිස් අයියණ්ඩියේ අපි ඔය මස් කන්නේ නෑ නොවැ,කන්නෙම ගස් කොලංමයි.අන්තිමට ගහක් කොලක් කාලා ගහක් කොලක්ම ගහල ගහක් යටම මැරිල යනකං කවුරුත් දන්නෑ ඕං… මේ අක්කණ්ඩිව කෑවොත් ඉතිං පෙම්බර ඇත්තෝ මාව දුං වලල්ලක් කරලා යවනවා සහතිකයි ඕං…

      හා හා දැං අක්කණ්ඩිලා හොදයි,මලයණ්ඩිලා තමා නාක.හොදෙයි?දැං අහකයි නේ,ගෝරි දාගන්ට ඕනෑ නෑ නෙව,නැද්ද මාළු පනේ?

  10. SiriBiris පවසයි:

    හී…හී. මේකා මේ වැජිටේරියන් පරාස්සයෙක් නොවැ. ගහේ බඩු තියෙනවා, දැං බාපුවා. ටිකක් ගන්නවැයි. මේක සොකරි නටන්න කියාපු බේත, නිකංයැ “නැ‍ටුං තෙල්” කියන්නෙ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )