අලිසන්දිරි රජ්ජුරුවන්ගෙ රාජධානියට සමු දෙමු….!

අදත් මල්දෙනියෙ විත්ති අහන්ඩ ආව අය ඔහෙ ඉඩ තියෙන තැනක් බලල ඈදි ගත්තනං……

ඔය මල්දෙනියෙ කතා කිව්වට මේ ටිකේම ලිව්වෙ එල්ලාවල කතා නෙ…

මට පේන්නෙ මේ පැත්තෙ ගොඩ වදින ඈයො එන්නෙම කාජ්ජෙ බෝජ්ජෙ ගැන අහන්ඩ

දැං නං මමත් හරියට මාලනීගෙ කුස්සිය වගෙ වෙලා….

ඔන්නොහෙ ඒකට කමක් නෑ…. අහමුකො එහෙනං අද දවසෙ කතාවත්

ආච්චි අම්ම ඇවිත් කීප වතාවක් කතා කරනකල් එල්ලාවල ආත නෙවෙයි බජවුව නවත්තන්නෙ…

අපිත් නටනව මිසක මෙලෝ සිහියක් නෑ…

චූටි මැණිකෙ නැන්දම්මයි අම්මයි දෙන්නත් මහ දොර ළඟ අපේ නැටුං බල බලා දෙකට නැවි නැවි හිනා වෙනව…

නන් සිරින් වොරැඳි බර…. නැස් පුරයේ.. ඒ…….!

ඒපාර ආතට නාඩගං ගීයක් මතක් වෙලා නෙ…

නන් සිරින්…. ආත වටපිට බලනව… වොරැඳි….. සින්දුව කියන ගමන්ම ඉස්තෝප්පුව හතර වටේ මොකද්දෝ හොයනව… බර….. ඒ පාර ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවකට හේත්තු කරල තිබිච්ච බස්තම අරගත්ත ආත ඒක ඔලුවට උඩිං කරකෝල… සින්දුව කිව්ව

නැස් පුරයේ…………………..ඒ……..

බර… නැසු පුරයේ…… අපිත් අත්වැල් ඇල්ලුව…. කවුරුත් කියල දීලත් නෙවෙයි..

එව්ව ඇඟෙම්ම එනව මගෙ හිතේ…..

පුර වර්ධන කරන අග…. නරනා මෙමං

නරනා මෙමං….

උසට උසේ ඉන්න ආත නටාගෙන, බස්තම වනාගෙන යද්දි හරියට තේජමාන රජෙක් වගේමයි…

අපිත් ආතට නටන්ඩ උදව්වට අත්වැල් ගායනා කරනව….

නාමය නම් අලිසන්දිරී වේ ඒ….

නාමය… නම් අලි සන්.. දිරී වේ

මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ….

ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ……

ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ

ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විදිමින්නේ

නාඩගං බලල තියෙන ඈයො ඉතිං මේ ජවනිකාව දැං හිතේ මවාගෙන ඇති නෙ….

මේ………. ඇහුණද, අර ඉඳිආප්ප ටික නිවුනැං පස්සෙ වැඩක් නෑනේ කාල මේ පොඩි එවුං එක්ක කාල හිටින්ඩ

ඊට පස්සෙ නටන නැටුමක් නටන්ඩ කො…

ආච්චි අම්ම පොඩ්ඩක් නැටුම බාල වුණාම කිව්ව

අලිසන්දිරි රජ්ජුරුවො ඉද්ද ගැහුව වගේ නැටිල්ල නැවැත්තුව..

ටිකක් වෙලා ආච්චිඅම්ම දිහ බලං හිටිය

යහපති යහපති දේවින්නාන්ස….ඔබ වහන්සේගේ අණඥාව පරිදි අප රාත්‍රී බෝජනයට මේදැං එනව මේදැං එනව…

කියල කිව්ව

ආච්චි අම්මට එවෙලෙ ගිය හිනාව තමයි බලන්ඩ වටින්නෙ….

අපිටත් හිනා…

ඒ පාර ආත අපි ඔක්කෝමලව එක්කාසු කරන් කෑම මේසෙට වාඩි වුණා..

ඉඳි ආප්ප, සුදට හදපු පරිප්පු හොද්ද, හොඳවැයිං කොච්චි දාල හිදෙන්ඩ උයාපු මියන දළු මාලුව,

ඉඳි ආප්ප කන්ඩ මස් මාලු හොදි හොයන අය දවසක මෙහෙම කාල බලන්ඩකො…. එව්වගෙ අඩුවක් දැනෙනවද කියල….

අනේ ආච්චි අම්මෙ මියන දලු කියන්නෙ මොනවද?

මං ඉතිං පුංචි කාලෙ ඉඳලම ඔය අමුතු කෑම ජාති ගැන දැනගන්ඩ හරි උනන්දුයි..

එව්ව ඔය මීවන ජාතියක් නෙ….

ඇයි ඔය දොළට උඩහිං ලන්දෙ හැදෙන්නෙ….

ඉන්ඩකො හෙට උදේ යද්දි ටිකක් කඩල දෙන්නංකො ගෙනියන්ඩ….

චූටි නැන්දම්ම උත්තර බැන්ද…

කිව්වත් වගෙම පහුවෙනිද උදේ අපි මල්දෙනියෙ යන්ඩ පිටත් වෙද්දි චූටි මැණිකෙ නැන්දම්ම මියන දලු මිටියක් ගෙනත් දුන්න

ආච්චිඅම්මට කියල උයවගන්ඩකො….

අපේ ගෙදර අය මියන දලුවලට කොච්චර කැමතිද කියනවනං පස්සෙ කාලෙක අම්ම මියන පැලයක් බොහොම අමාරුවෙං පැළ කරගත්ත අපේ වත්තෙ ඒ කියන්නෙ දඹදෙනියෙ…

හොඳට දිය සීරාව තියෙන හින්ද ඒ පැලේ හැදිල දැන් ඒ හරියෙ අපි තුන් දෙනාට වේලකට උයාගන්ඩ සෑහෙන්ඩ මියන දලු කඩා ගන්ඩ පුලුවන් මියන ගොල්ලක් හැදිල තියෙන්නෙ…

ඉතිං කිය කියා හිටපු කතාවෙං පිට පැන්නනෙ මියන දලු ගැන වර්ණනා කරන්ඩ ගිහිං

එදා අපි ආපු සතුටට කඳුලු පිරිච්ච ආච්චි අම්මයෙ ඇස්වල අපි ආපහු යන දුකටත් කඳුලු පිරිල…..

ඊලග නිවාඩුවටත් එන්ඩ පුතේ….!

ආතගෙ මුහුණත් දුකින් පිරිල…

තුනුරුවං සරණිං ගිහිං එන්ඩ….සමං දෙයි හාන්දුරුවන්ගෙ පිහිටයි ආරස්සාවයි!

රාලහාමි…. පුතේ මේ අක්කවයි පැටවු දෙන්නවයි බස්සෙකට ඇරලවන්ඩ…විජහනියෙං යන්ඩ වෙයි… දැං අට හමාරෙ බස්සෙක එන්ඩ ලඟයි මහිතෙ…

අපි තව සතියක් හිටියත්, මාසයක් හිටියත් ඔය සැලකිල්ල ඔය විදියමයි….

ඒ ගෙදරින් සමුගන්න එක අපිටත් දුකක්..

වැඩ රාජකාරි වැඩි වුණාම,මහන්සියට  නිස්කලංකෙ ගෙදරට වෙලා ඉන්නව කියල හිතපු සති අන්තෙක ගෙදරට කවුරුහරි ආවත් හිතට එන්නෙ කේන්තියක්…. ඒ අපි ආගන්තුක සත්කාරයට අකමැති නිසා නෙවෙයිනෙ… මේ ආර්ථික සමාජ රටාව අපිව පුරුදු කරල තියෙන හැටි තමයි… ජීවිත සටනට ශක්තිය වැය කරන  අපිව යාන්ත්‍රික වෙන්න, මොහොතකට හැඟීම් දැනීම් නැති මිනිස්සු කරවන්න ඒ හෙම්බත්වීමට පුලුවන් … ඒත් මේ මිනිස්සු ආගන්තුක සත්කාරයට මොන තරම් කැමතිද….? අපි එන එකට, ආවාම කන්න හදල දීල, කතා බහ කරන්ඩ කොයි තරම් කැමතිද….?

මම මේ තනියම කල්පනා කරන්නෙ… දැන් වැඩ ඇරිල නවාතැනට ආවාම එක කාමරේ එකට ඉන්න මල්ලියි මමයි කතා කරන්නෙත් ගණින්න පුලුවන් තරම් පොඩි වචන ගණනක්….

මුලු දවසෙම පරිගණක දිහා බලං ඉඳල ඇවිත් කන්ඩ මොනව හරි හදාගෙන කාල, වළං පිඟන් සෝදල, ඇඳට පනින්නෙ ආයෙමත් පරිගණකගත වෙන්ඩ නෙ… ඉතිං වචන  හුවමාරුව දන්නෙම නැතිව අඩු වෙලා. ගෙදර ගියාමත් ඉස්සර වගෙ අපි අම්ම එක්ක වුණත් කතා කරන්නෙ නැති බව අපිට නොතේරුණත් අම්මට තේරෙනව.

මොකද මේ අපිට වෙන්නෙ…..?

අපිත් හරියට රොබෝල වගෙ වෙන්ඩ එනව වද්ද….!

තවත් කතාවක්,

සිරිබිරිස් අයිය කිව්වනෙ පින්තූරයක දාන්ඩ කියල…. මං ඉතිං වෙබ් අවකාශෙ පීර පීර හෙව්ව

ඕං හම්බ වෙච්ච එක..

හම්බ වුණේ මෙතනිං.

lankapropertyweb.com

ඒකෙන් තේරෙන්නෙ දැං කාලෙ පරණ ගෙවල්වල පින්තූර තියෙන්නෙ දේපල වෙඳෙලාම සම්බන්ධ වෙබ් අඩවි වල….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

27 Responses to අලිසන්දිරි රජ්ජුරුවන්ගෙ රාජධානියට සමු දෙමු….!

  1. සන්තෝ අද ඉදිඅප්පං ගැන.එහෙං අම්ම බයිනවා බඩජාරියෙක් වෙලා කියලා,මෙහෙං මේ අක්කණ්ඩි අවුස්සනවා කෑම මතක් කොරාලා.අනේ මංදා?
    මේ බොලොක්කේ ලියන එකවත් අඩු කොරාලා මලයා තුමත් එක්ක කතා කොරහං,නැතිනං ටික දොහකිං දෙන්නා උන්නද මලාද කියලා දෙන්නම දන්නේ් නැතිවෙයි ඕං !

  2. අපේ ආච්චිත් ඔය වගේ තමා. මාව හිනස්සනවා එක එක විකාර කර කර…

    • හැබෑට…..? ඔය ආතල ආච්චිල හරිම විනෝදෙන් හිටිය උදවිය නෙව. අපි වගේ තරුණ වයසෙදිම ජීවිත සංකීර්ණ කරගෙන නෑ නෙ

  3. තරහයි ඕං ඈ! මොකෑ මං කළිං දමාපු කොමෙන්ටුවට උත්තරයක් නැත්තේ? මයෙ ආසාවට කවියක් කියාලා සෙත් පතාලා ගියපු එකට ඔය නගා මනාප නැතුවැයි? හොඳ හොඳා, මීට පස්සේ කවි නොකියා ඉඤ්ඤංකෝ, එතකොට අහවරයිනේ!
    දැං බලමුකො මේ ලියමන ගැන. දුකයි අප්පේ ඒ ආතවයි ආච්චි අම්මවයි දාලා එන්ට උනහම. කියෝන අපිට මෙහෙමනං නගාලට කොහොමට දුක හිතෙන්ට ඇද්ද.
    මේ ලියමං වලට නගාගේ දොඩමළු හිතේ වචන කතා කරන තරමට කටේ දොඩමළු ගතියත් එහෙමම තියාගන්ට. මලයත් එක්කලත් මේ පරණ දේවල් ආයෙ කතා කොරන්ට ගන්ට, එතකොට ඔයි ‘රොබෝ’ හිතිවිල්ල දුරු වෙලා යාවි.

    • අක්කණ්ඩියෙ තරහ අවසර, මං මේ අම්පාරෙ ඇවිත් නෙව ඔපීසියෙ රාජකාරියකට… ඒකයි..
      කවියක් අමුණ අමුණ හිටියට ඉස්පාසුවක් නෑ අක්කෙ.. මහ කමකට නැති එකක් ලියවුණේ..
      ඒ පාර අල්ලල දැම්ම… කලබලේ ලියන්නෙ නැතිව පස්සෙ හිමීට ලියන්නං ඈ….?

      • සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත says:

        හාකො ඉතිං…
        දැං අම්පාරෙ ඉඳං ආපහු ඇවිදිං ඇති නේද? මං දැක්කා පොඩි කුමාරිගෙ බංගලාව පැත්තෙ ගොඩවැදිලා ඉන්නවා… ඉතිං, කොහොමෙයි සැප සනීප කාරිය? ගමං මහසිය එහෙම නිවාගෙන නිවාඩු පාඩුවෙ ඇවිදින් ආයෙ පරණ හෑලි කියංඩකො බලංඩ අපිටත් කියවංඩ…

      • හා හා… කට වරද්දගන්නව එහෙම නෙවෙයි කවිකාරි අක්කෙ… බංගලාව නෙවෙයි වලව්ව වලව්ව….
        අම්පාරෙ ඉඳල ආවෙ අද පාන්දර ජාමෙ නෙව… ඒ පාර ආයෙ වැඩටත් ගියානෙ…. පොඩ්ඩක් මහංසි නිවාගෙන කුරුටු ගාන්නංකො

      • praveena says:

        මම මේ බැලුවේ මේ දෙන්නා එකතු වෙලා ‘කනු, කුනු’ ගාන්නේ මොනවද කියලා. ඕකට දැන් කියන්නේ ‘වලව්ව’ උනාට ඊලඟට ‘උලව්ව’ සහ ‘ඉලව්ව’ කියනා කාලයකුත් එයිද දන්නෑ. ඒ හන්දා කට්ටිය ගනන් ගන්න එපා.

        දැන් ඉතින් ඔය කතා පැත්තක දාලා රහ කෑම වේලක් හදන්න පටන්ගත්තානම්! මටත් ඉතින් ලූනු ගෙඩියක් එහෙම සුද්දක් කරලා දුන්නෑකි. හැබැයි කැපිලි නම් බැහැ හොඳේ.

  4. Ravi says:

    බොල, ආතට ඉත්තේරුවෙම්ම රා මතේ වැඩිවෙලා ද කොහෙදෑ, උන්දැ ටීටර් සිංදු දෙකක් පටලෝල නෙව,

    බරණැස කොහෙද නඟේ අලිසංදිරිල,

    අලිසංදිරිගෙ එක එන්නෝන මේං මෙහෙම,

    ගම්භිර සේ සැදි කොන්ස්තන්……තීනු පුරේ,
    කොන්ස්තන්………………තීනු පුරේ,

    පුර වර්ධන කරන අග………. නරනා මෙමම්,
    පුර වර්ධන කරන අග………. නරනා මෙමම්,
    නාමය මම් අලිසන්දිරී ඊ, ඊ, ඊ…………..
    නාමය මම් අලිසන්දිරී ඊ, ඊ, ඊ…………..

    අපෙ ජීවිතවල වාචික අදහස් හුවමාරුව අඩුවෙලාය කියන එක නම් නඟේ සහතිකම ඇත්ත, පරිණාමෙදි භාවිතා නොවන අංගෝපාංග නැතිවෙලා යන එකේ සමහර විට කලකදි අපෙ කථා කිරීමේ හැකියාව නැත්තටම නැතිවෙලා යාදෝ කියලත් වෙලාවකට මට හිතෙනව ඔන්න,

    • SiriBiris says:

      අලිසන්දිරි කිව්වාම නිකං ඇත්ගොව්වෙක්ගෙ නමක් වගේ. මයෙ හිතේ, ඇලෙක්සැන්ඩර් ව සිංහලීකරණය කරලා වෙන්ටෑ.

      පිංතූරෙ නං පංකාදුයි. ඔය පරණ ගෙවල් සමහරක් රෙස්ට් හවුස් වලට හරවලා තියෙනව දැක්කා.එහෙම හරි ඒවා සංරක්ෂණය වෙන එක ලොකු දෙයක්.

    • වෙරි වෙරි….. ! හොඳටම වෙරි… ඒක නෙව නාඩගං මාරු වුණේ….!
      හපොයි කතාකරන්ඩ බැරිම වෙලා ගියොත් මක්කද කරන්නෙ අයියෙ….?
      අනේ මං නං මීට පස්සෙ කතා කරනෝ…..!

  5. සිරිබිරිස් අයියට ඉතිං අලිය ඇතුවත් බෑ නැතුවත් බෑ නෙව…
    අලිසන්දිරි කියන්නෙ ඇලෙක්සැන්ඩර් ට තමයි….
    හැබැයි ඔයාගෙ නම නම් නියමයි මුලට අලි කෑල්ල දාන්ඩ

    අලිසිරිබිරිස්, අලි සිරා, අලි බිරා, අලි බිරී…. ඔය තියෙන්නෙ නං ගොඩක්…..!

    • SiriBiris says:

      හපොයි කෙල්ලේ, මේ තියෙන නං හොඳටම ඇති. ඉස්සෙල්ලම පටන්ගත්තෙ කටපුරා සිරිබිරිස් කියල. මේං පස්සෙන් පහු,ඒක සිරිබිරි, බිරි වෙලා අන්තිමට බිරියෝ වෙලා නොවැ නැවතුනේ.

      ඔහොම කිව්වට මගේ සම්පූර්ණ නම, සද්ද විද්ද පළඟ පතිර විදානේලාගේ සිරිබිරිස්. අපේ පරම්පරාවෙ මී මුත්තා කෙනෙක් ඔය ගෙම්බෙකුට විදලයි ඒ නම්බුනාමෙ ලැබුනෙ. විදින එක අපේ පරම්පරාගත පුරුද්ද නිසා මාත් ඔන්න ඔහේ විද්දා. මේං මට හම්බුවෙච්ච නම්බුනාම:

      ඉස්සා, කූනිස්සා,වස්සා, බස්සා

  6. SiriBiris says:

    හා කුමාරිහාමි බෑරක් සැපත්වෙන ගමන් වෙන්ටෑ.
    අපි නං ආයිබෝං මල්දෙණිය පැත්තෙ ඇවිත් යන්නෙ, ඔය දැහැන්වකේ හීතල වතුර පොදක් නාලා, ගමේ තාලෙට කට සැර කෑම වෙලක් කාලා, හැන්දෑකොරේ ඔය හීනියට ..අහම්…සප්පායම් වෙලා, බිං කරුවල වැ‍ටුනාම එල්ලාවල ආතත් එක්ක සොකරි නටන්නයි.

    දැං මේ කුමාරිහාමි මේ ගම් මැද්දට සැපත් වුනේ , ගෙම්බො අල්ලන්න වෙන්ටෑ. ඔය වලව්වල සුකුමාර කොමට හැදිච්ච සරිර වලට මේව්ව අඟුණයි, පිනිබාන්න පුළුවනි, පරිස්සං උනොත් හොඳමයි, වලව්වෙ හාංදුන්නේ.

    • කිරිඅප්පේ මෙහෙමත් අං තට්ටු පටලවගැනිල්ලක් හැබෑට….!
      මොකෑ අප්පේ මේ?

      • SiriBiris says:

        නෑ නඟේ. දැං උඹට තේරෙනවනෙ මං අර කියාපු “අංපාර” ආවෙ කොහෙන්ද කියල.

        උඹ ඔන්න ඔව්ව ගණන් ගන්නෙ නැතුව, තව කතා කෑල්ලක් ලියහංකො.

  7. neetha says:

    ගම්වල තියෙන ආගන්තුක සත්කාරයයි, කන්ඩ බොන්ඩ් හදලා දෙන කෑම බීමයි ගැන විස්තර දැන් කාලෙ දකින්න ලැබෙන්න කලාතුරකින්.ඒ වාගේ පරිසරයකට යන්න පුදුම ලෝබකමක් ඇතිඋනා.

    ඒක නෙවෙයි හංස කිංකිණි මේ පොඩි කුමාරිහාමියි, සිරා අයියයි දෙන්න හම්බවෙන හැම තැනදිම රන්ඩු වෙනවා වගේ නේද?

    • නීතක්කවත් ආදරෙං පිලිගන්නව මල්දෙනියට..
      අපේ මේ සිරිබිරිස් අයිය හරි හොඳ මනුස්සය නෙ අක්කෙ…
      ඔය අලිය ඉන්නව නේද.. අණ්ඩපාලය… කේලං කියනව හතර අතට
      ඒක නෙව පොඩි කුමාරිහාමි අක්කයි සිරා අයියයි දෙන්න කොයි වෙලෙත් රණ්ඩුව…
      මං ඉතිං බේරන්ඩ ගිහිං ගුටිකන අහිංසක ජනූ කෙල්ල නෙව

    • SiriBiris says:

      @ නීතා
      රංඩු නොවී කොහොමද? සත්තු වත්තෙ ඉන්න ඔක්කොම සත්තුන්ගෙ නම් වලින් බැන අඬ ගහනකොට? තව වලහව විතරයි ඉතුරු වෙලා ඉන්නෙ. හපෝයි, එක එහෙම ඔය මහගෙට මතක් කොරන්න එපා. පැණි වලහ කියන්නෙ එච්චර හොඳ නමක් නෙමෙයි මේ අපි වගේ බෝ පැල වලට.
      අලිය නං කියන්නෙ මුන්දෑ මයෙ පූරුවෙ වයිරක්කාරයෙක් වෙන්ටෑ කියලයි. හරි ,මාත් ඔය හීනියට මඩ පාරක් ගැහැව්ව නං තමා, ඒත් එහෙමයි කියල මෙහෙම බනින්න වටිනවද?

  8. Priyantha says:

    මියන දළු ගැන නම් ඇහුවෙත් අද. කාලම නෑ මං හිතන්නේ. ඒත් සමහර දවස් වලට අම්මා ඉඳිආප්ප කන්න හදන කිරි හොද්ද, කොච්චි මිරිස් සමිබෝලේ රස මතක් වෙනවා. ගමේ කෑම වල තියෙන සිවභාවික රස කොහේද දැන් කන මේ ආටිෆිශල් කෑම වල. ඔය මියෙන දළු මාළුවක් නම් කොහෙන් හරි හොයාගෙන කන්නම ඕන. අපේ පැති වල තිබුනා ඉස්සර බරු කොකු කියල මීවන වර්ගයක්. ඒවායේ දළු කනවලු. මම නම් කාලම නෑ. ඒ වර්ගය හා මේ මියෙන දළු කියන්නේ එකක්මද නැතිනම් දෙකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?

    • ප්‍රියන්ත අයියෙ, මියන දලුයි බරු කොකුයි කියන්නෙ වර්ග දෙකක්. ඔය බරු කොකු තරමක් විශාල රතු පාටට හුරු වර්ගයක් නෙ. අනික ඒව උයන්නෙ තම්බා දිය ඇරල. ඒ කියන්නෙ උයන්ඩ කලිං වතුරෙ තම්බල ගන්නවට.
      මේ මියන දලු කියන්නෙ කොළ පාට ඊට වඩා පොඩි අර ගෙවල්වල ලස්සනට පෝච්චිවල වවාගෙන ඉන්නව වගේ ජාතියක්.
      ඉන්ඩකො ආයෙ ගෙදර ගියාම මම පින්තූරයක් දාන්නංකො.

  9. Buru says:

    මේ දවස් වල ජනුගේ බ්ලොග් එකේම ඉන්න හින්දා මට ප්‍රශ්න කෝටියක්….
    මොනවද මේ බරු කොකු?
    මම පොඩි කාලේ මියන දළු කාලා තියෙනවා. ඒ උනාට මම නම් ඒවා කෑවේ මිරිස් දාලා උයලා නෙමෙයිනේ.

    • බරු කොකු තියන්නෙ හරියට අර මඩු දලු වගේ ජාතියක්. දැන් අහයිද න්නෙ නෑ මඩු දලු කියන්නෙ මොනවද කියල
      රවී අයියේ……! මෙහෙ වරෝ!!!! කියල දීපියෝ!!!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s