කිරි ඇල්ල පැත්තට යන බස් එක එල්ලාවල හරියෙදි පාර අද්දර නැවැත්තුවම මලය බස්එකෙන් බිමට පැන්න.
මම බහිනකල් ඔය දෙන්න බැහැල අයිනට වෙන්ඩ… මල්ලියෙ ඔය දෙන්නව අල්ලගන්ඩ
අම්ම ලොකු චූටි මාමට කිව්ව..
අපි දෙන්නම බැහැල අයින් වෙලා ලොකු චූටි මාමගෙ අතින් අල්ලගෙන ඇහැලියගොඩ පොලෙන් බඩු මුට්ටු අරන් හෙමින් හෙමින් බස් එකෙන් බහින මිනිස්සු අතරින් අම්ම බිමට බහිනකල් බලන් හිටිය.
හා යං එහෙනං….
අපි කට්ටියම පාර මාරුවෙලා රබර් වත්ත මැද්දෙං වැටිල තිබුණ පාර දිගේ හෙමිං හෙමිං යන්ඩ පිටත් වුණා.
අපි යෝගමිං උදැහැනැක්කෙම පිටත් වෙලා ඇහැලියගොඩ ටවුමෙ ප්‍රදීපා ස්ටෝර්ස් එකට ආව…
ඒ ආවෙ ගමේ ආච්චිඅම්මගෙ නංගිලගෙ ගෙදර….
ඒ දවස්වල ගෙදර තිබුණෙ කඩේ පිටිපස්සෙමයි…ලොකු චූටි මාමයි, පොඩි චූටි මාමයි, ප්‍රදීපා පුංචියි ඉන්නෙ එහෙ…
ඉතිං අවල්ට කෑම එහෙම කාල සතුටු සාමිචියෙ යෙදිල ඉන්න වෙලාවෙ
එල්ලාවලත් යන්ඩ ඕනෙ මේ ගමංම … රෑ එහෙ ඉන්ඩ එන්ඩ කියල නැන්දගෙං ගිහ පාර ආවාමත් පොරේ….කියල අම්ම කිව්වාම
දැං මේ හවස් වෙන්ඩත් ආව එකේ තනියම යන්ඩ එපා ඔය පැටවු දෙන්නත් අරං…. ඔය ලොකු පුතාවත් එක්කරගෙන යන්ඩ චන්ද්‍රා දුවේ… කියල ඇහැලියගොඩ ආච්චි අම්ම කිව්ව.
ඕං ඔහොමයි ගමනට ලොකු චූටි මාමව පංගනාත්තු වුණේ…
අම්මෙ … හරි බඩගිනියිනෙ..
දවාලට කාල, ඊට පස්සෙ හවස විස්කෝතුත් කාල, තේත් බීල හිටපු මල්ලිට කියවුණාම අපි කට්ටියටම හිනා ගියා..
බොලේ… දැං මේ තේ බීල පිටත් වුණා විතරයි…..?
මටනි තියෙන්නෙ බඩගින්න නෙවෙයි …වතුර තිබහයි..
පුංචි කමට අම්මගෙ අතේ තිබුණ බඩු මල්ලකුත් එල්ලගෙන, අනෙත් අතිං ලොකු චූටි මාමගෙ අතේ එල්ලිලා කන්ද නගින ගමන මං කිව්ව…
පොඩ්ඩක් දුර ඔහොම යංකො චූටි පුතේ… මගදි වතුර උල්පත් හම්බ වෙයි…
අම්ම කිව්ව..
කිව්වත් වගෙම අඩි දෙක තුනයි ගියේ
රබර් වත්තෙ ගල් වැටිය අස්සෙන් හීන් හීන් වතුර පාරවල් ගලනව
තරමක් වතුර ගලන තැන්වලට යන එන මිනිස්සු රබර් කොලයක් තියල
පීල්ලක් වගේ රබර් කොලේ දිගේ වතුර වැක්කෙරෙනව ඉවරයක් නැතිව..
ඔය තියෙන්නෙ….ඇති තරං බොන්ඩ…ලොකු චූටි මාම කිව්ව
ඇයි…… බලං ඉන්නෙ…. බොන්ඩ
මගෙ විපිලිසර මුහුණ දැකල ලොකු චූටි මාම ආයෙත් තිව්වම මම අම්මගෙ මූණ දිහා බැලුව..
ගෙදරදි වතුර උණු කරල නිවල බොන්ඩ දෙන අම්මත් හිනා මූණෙං බලං ඉන්නව දැක්කම ජනූ දිය පාරට නැවිල වතුර දෝතක් අරන් බිව්ව…
පුදුම සීතලයි…
ඔය දැන් කාලෙ තියෙන ඛනිජ ලවණ අලුතෙන් එක් කරපු බෝතල් වතුර අයිස් පෙට්ටියෙ දාල සීත කරල බොනව වගේ නෙවෙයි…. මේ පුංචි දිය උල්පත්වල සීතල වතුර බඩට වැටෙනකොට බරක් දැනෙනව…. වතුර බොනව කියල දැනෙනව
හොඳද…..?
මං ඔලුව වැනුවෙ වතුර දෝතට කට තියං බොන ගමන්මයි…
මටත් බොන්ඩ ඕනෙ එව්ව.. අක්කෙ… මොන රහද….?
අපේ බඩගිනි කුමාරයටත් ඒපාර වතුර හරි බොන්ඩ ඕනෙ වුණා..
ඒව වතුර රහයි….ලොකු චූටි මාමයි මමයි දෙන්න එකතු වෙලා මල්ලිට ඇද කළා…
හා හා…. යමු යමු පය ඉක්මං කරල ඉක්මනට රෑ වෙන්ඩ කලිං…
අම්ම වතුර බොන ගමන් ඇඟට වතුර ගහ ගැනිල්ලක් පටන් ගත්ත අපි දෙන්නට කිව්ව.
ඔන්න ඉතිං ආයෙමත් යන්ඩ පිටත් වුණා කටිටිය..
ඉතිං මල්ලි…කොහොමද දැං ඉස්කෝලෙ වැඩ එහෙම
ව.. ව.. වරදක් නෑ අක්කෙ… දැ.. දැ දැං ඉතිං මං ද.. ද.. දහය වසරෙ නෙ.
මටයි ලොකු මාමටයි වඩා ගොත ගහන ලොකු චූටි මාම උත්තර දුන්න.
ආ…. ලබන අවුරුද්දෙ විභාගෙ නේද එහෙනං…?
පුංචි කාලෙ ලොකු චූටි මාමව හැදුවෙ වැඩුවෙ අම්මලුනෙ..
අපිට කලින් දරු සුරතල් බැලුවෙ එයාගෙලුනෙ…
ඒක වෙන්ඩ ඇති ඉස්සර වගේම අදත් ලොකු චූටි මාම අම්මට හරිම ආදරෙයි..
ඉතිං අම්මයි ලොකු චූටි මාමයි දෙන්නත් එක්ක යන ගමන් ඔන්න ඔහොම ආගිය තොරතුරු කතා කළා
අඳුර වැටෙන්නට එන නිසාදෝ රබර් වත්ත හරිම නිශ්ශබ්දයි.
ඉඳ හිල ඇහෙන රැහැයි නාදයක් හැරෙන්ඩ වෙන සද්දයක් නැති තරම්
ටකස්….!
එක පාරටම ඇහිච්ච සද්දෙට ඉස්සරහින්ම ගිය මලය පස්සට විසි වුණා..
අපි හිනා වුණා..
ඒ ර..රර..බර් කටු පුපුරනව පුතේ…
ලොකු චූටි මාම මලයට කියල දුන්න
ඇයි ඒ රබර් කටු පුපුරන්නෙ…?
එහෙම තමයි. රබර් ගහ තව තැනක පැලවෙන්ඩ හදාගෙන තියෙන විදිය තමයි ඒ…
ඇයි දැකල නැද්ද අඟුන මුත්තො පාවෙලා යන හැටි අඟුන ඇට අරන්… ඒව පාවෙලා ගිහින් පැලවෙනව.
රබර් ඇට පුපුරල විසිවෙලා ගිහින් පැලවෙනව…
ඉස්කෝලෙ විද්‍යාව පාඩම මතක් වෙච්ච ලොකු චූටි මාම කිව්ව..
ආන්න පේනව චන්ද්‍රක්කෙ ගෙදර…ලොකු දූටි මාම අම්මට කිව්ව…
කිව්වත් වලේ රබර් වත්ත මැද්දෙන් වැටුණ පාර කෙළවර වුණේ වත්ත මැද්දෙ හදල තිබුණ පරණ තාලෙ ලස්සන ගෙදරකින්..ඉදිරියට නෙරල තිබුණු, ලැටිස්වලින් සරසපු ඉස්තෝප්පුවක් ක්‍රෝටන් වැටට එහා පැත්තෙන් පෙනුන….
ඒ තමයි වත්තෙ කොන්දොස්තර වෙච්ච, අපේ ගමේ ආතගෙ නංගිව සහේට ගත්ත එල්ලාවල ආතගෙ බංගලාව…
අම්මේ…… මෙහාට එන්ඩෝ…..! මේං චන්ද්‍රක්කල එනෝ….!
අපි ගෙදරට කිට්ටු වෙන කොටම ගෙදර ඉස්සරහ රබර් රොටි වගයක් අකුලමින් හිටිය මනුස්සයෙකුට උපදෙස් දෙමින් හිටපු රාලහාමි බාප්ප ඒ කියන්නෙ එල්ලාවල ආතගෙ ලොකු පුතණ්ඩිය කෑ ගැහුව
හානේ….. මයෙ අම්මල ආවද ආතයි ආච්චිඅම්මයි බලල යන්ඩ…
දුවගෙන වගේ ඉස්තෝප්පුව පැත්තට ආව එල්ලාවල ආච්චිඅම්ම අපි දෙන්නව බදාගෙන ඉම්බා…
චූටි මැණිකෙ නැන්දම්මත් ඇවිත් කෝල හිනාවක් පාල ඉස්තෝප්පුවෙ කණුවකට හේත්තු වුණා..
කොහොමද දුවේ ඉතිං….? ආච්චි අම්මගෙ සන්තෝසෙ…. ඇස් දිලිසෙනව තාරුකා දෙකක් වගේ…
පුංචි කඳුලු බින්දු දෙකකුත් ඇස් මුලට උනල… සන්තෝසෙ කොච්චරද කියනවනං…
කොහොමද සුදු හාමිනේ….? රාලහාමි බාප්ප මගෙන් අහන ගමන් මල්ලිව වඩා ගත්ත
ශහ්……! කොල්ල දැං උස ගිහිංනෙ….
කෝ නැන්දෙ මාමා…..?
අම්ම ඇහුව.
දවාලෙ කෑම කාල එහෙම හවස් අතේ ඔය වත්ත පැත්තට ගියේ….ලොකු පුතේ මෙහාට ආවනං… අඳුර වැටෙන්ඩ කලියෙං පහල කඩපොල පැත්තට ගිහිං එන්ටත් ඕනැනෙ..
ඕං අක්කල එනව කිව්ව හන්ද මං හැලපත් හදල තිබ්බ… චූටි මැනිකෙ නැන්දම්ම කිව්ව
හා යං යං ගෙට මොකවත් බීල ඉන්ඩ…
එල්ලාවල ආච්චිඅම්ම කට්ටියම එකතු පහදු කරගෙන ගෙට ගියා……
ඔයා ලියන විදිහ readable.චරිත විස්තර කරන විදිහට මම ගොඩක් කැමතියි.ඔයා පාවිච්චි කරන භාෂාවත් live.සුබ පැතුම්.දිගටම ලියන්න.
ස්තූතියි කාංචනා…! පුලුවන් හැම වෙලාවකම ලියන්නම්කො…
ලස්සනට ලියලා තියනවා….ඔයවගේ පරිසරයක නිවාඩුවක් ගතකරන්න යන්න තියනම් කියලා හිතෙනවා…
හ්ම්… ඒත් ඒ පරිසරයත් දැන් නම් වෙනස් වෙලා… සල්ලිවල බලය හැම අස්සක් මුල්ලක් නෑර අඬු විහිදල….
අනේ අක්කේ මටත් අර පීල්ලෙන් වතුර ඩිංගිත්තක් ගෙනත් දියංකෝ.උගුර කට වේලිලා ගියා අර හීතල වතුර ගැන කියද්දී!
අනේ මන්ද පරාස්ස මලේ උඹටත් හිතෙන දේවල්….! ආයෙ ගියාම ඔය බෝතලේකට පුරවං එන්නංකො ඩිංගිත්තක් හෙනං
මාත් ඔය වතුර බීලා තියනවා නෙව දෙතුන් දොහක්.ඒක නෙව උගුර කට වේලිලා ගියේ.හොදා හොදා ඇන්න එන්ටකෝ හෙනං…
එහෙනං ඉල්ලන්නෙ මක්කටෙයි ආයෙත්…..? ඈ බොලේ උඹැහැ දවස තිස්සෙම අන්තර් ජංජාලගත වෙලා නෙවැ ඉන්නෙ….?
ආසාවේ ඉන්ට බැරි තැන නෙව ඉල්ලන්නේ.උජාරුවට රස කොරලා කියාලා අහක ඉන්න මාවත් ඇවිස්සුවා නෙව.
ජාලේ ඇර වෙන කොහේ ලගින්ටද අක්කණ්ඩියේ.ඕං කැලේ කොලේ ගාටන දවසක නැත්තං සංගීතේ කොරන වෙලාවට ඇර අනික් හැම වේලෙම ජාලේ, නැත්තං බයිස්කෝප් එකක් බල බල මගේ මැසිමේ තමා වසන්නේ…
මම කියඤ්ඤං බොලාට රෑට එල්ලාවල ආච්චි අම්මා සූජානං කොලේ මොනවැයි කියාල, හරිනං හරි කියාහං, හොර බොරු බෑ හොඳේ,
ගොටුකොල සම්බලේ හීං කොච්චි එහෙම යහමිං දාල, ලේනහතු මාලුවක්,මුංඇට නියඹලාවක්,තෙල් පෑදෙන්ඩ මඳ ගින්නෙ උයාපු පොළොස් ඇඹුලක්,කරකොල මැල්ලුමක්,එතනිං ගිහාම ලූණු එහෙම දාල බැදපු කීරමිං,
මයෙ අම්මේ….කටට කෙලත් උණනව ඕං… මතක් කොරන්ඩ එපෝ….. දැං ඒ රහට ඔය කර කොල මැල්ලුං, මියන දලු ඇඹුල, අල කොල මාලුව වගෙ එව්ව උයන්ඩ කෙනෙක් එහෙ නැතුවා… උන්දැල මිය පරලොව ගිහින් නෙව….
ඇයි රාලේ උඹ අපිට මෙහෙම කරන්නෙ? අපි මේව්වා මෙහේ කොහෙන් හොයන්නද? අම්මප මට එන කේන්තියක්, අර තෙන්නකෝන් ගොයියා මල පැනපු වෙලාවක කියපු කවියකුත් මතක් උනා
දැං කෙලින්ම ගෙදර යනව
ගිහින් තියෙන දෙයක් කනව
මේක ලියපු තෝව කාල
කුරුමි-නාසක බෙහෙත් බොනව
දැං ඔය බිරී අයිය කන්ට තනන්නෙ රවි අයියවද මාවද හා?
හිටපං බොට තව දෙඤ්ඤං,
තිබ්බටු පොල් දාල මලවලා,ඉන්නල කිරට උයලා,පොලොස් මැල්ලුමක් රතු මිරිස් කඩල දාල එහෙම මලවලා, කතුරු මුරුංගා මල් මිටිකිරෙම්ම හින්දවලා,දඹල මැල්ලුම,කිරිකොස් මාලුව,මඤ්ඤොක්ක තම්බලා ගලේ කොටපු කොච්චි අහුරකුත් එක්ක, ඔය කට්ට කරවල කෑල්ලක් දෙකක් බැදල හරි උණු අලු පල්ලෙ දාල පුස්සල ගත්තට වැඩියක් වෙන එකකුත් නෑ මයෙ හිතේ,
කිරි අප්පුච්චේ. උඹව කාල කොහොමද? පෙම්බර ඇත්තා , මාව කාලා, වහ කයි නොවැ. මේ පෝස්ට් එකත් මල් හතයි, නඟේ.
හි හී…. ඕං දැම්ම ඉතුරු ටිකත් එහෙනං….
හත්වලාමේ, මේ අළුත් ලියුම දිහාවෙත් ගොහිං ආයෙමත් මේ පැත්තට ඇදිලා ආවේ මේ කෑම වේල අහක දාන්ට බැරි හන්දමයි… අනෙක්වා ඔක්කෝම හරියි කියමු, අනේ මේ පොළොස් ඇඹුල දාලා යන්නෙ කෝමෙයි… බඩ පිරෙන්ට කාලා ඉන්න වෙලාවක උනත් කටට කෙළ උනාලා හත් දොහකිං කාලා නැති ගානට හාමතක් දැනෙනවා අප්පේ මේක කියෙව්වහම…
රවී අයියව අල්ලගන්ට අක්කෙ…. අනේ මං නං නෑ ඔව්වට ඕං….
මං නං නිතර බ්ලොග් ඔලට කොමෙන්ටු දාන කෙනෙක් නෙමේ. ඒත් නිතර සිංහල බ්ලොග් කියවනව විසේසෙන්ම දුරු රට වසන හින්ද ගම රට මතක් වෙන්ටත් එක්ක.මේ නගාගෙ ලියවිලි බොහොම අපූරු හින්ද නිතර කියවනව කොමෙන්ටු නොදැම්මට.එල්ලාවල ගැන ලියල තියනව දැක්කම මේක ලියන්ටම හිතුන.නගා මේ කියන කතාව ටිකක් කාලෙකට කලිං වෙච්ච සිද්දියක් වගේ පේන්ඩ තියෙන්නෙ යං යං වකවානු ගලපල බලනකොට.මාත් ඔය කියල තියෙන සමහර ඈයිංව දන්න හින්දයි එහෙම හිතුනෙ ඕං.දැං ඔය කියල තියන ලොකු මාම හෙම කොහොමේ.පොඩ්ඩක් ගොත ගැහැව්වට බොහොම නිවිච්ච හාදය.නගාගෙ පොඩි මාම නං මං දන්න කලෙ බොහොම ඳග කාරය.පුංචි මුන ගැහිච්ච වෙලාවක කියන්ටකො එල්ලාවල ගැන ලියපු ලිපියකට පුංචිගෙ පරන යාලුවෙක් කොමෙන්ටුවක් දාල තිබුනැයි කියල.
ප.ලි..
හැබෑට දැන් මේ නඟාට පුරසිද්ද ගායක මහත්තැන් කෙනෙකුත් නෑයො වෙනවනෙව නේද.
මම කියන්නම්. ස්තූතියි….! මේ කතා ඔක්කොම වගේ අපේ පුංචි කාලෙ වෙච්ච දේවල්…. ඒත් හරිම සුන්දර මතකයක්…!
අනේ අක්කේ ඉතුරු ටික…? 😦
දාන්නම් දාන්නම්. හපොයි මේ බොලොක්කයක් ලියන්ට අරං මට වෙච්ච වින්නැහියක්!