නිරහංකාර ලොකු මාමා…!

වාහනේ යෝගම තැපැල් කන්තෝරුව ළඟ නතර කළා…

කිරි අම්මයි, කිරි අප්පච්චියි, උක්කුං මාමයි, කට්ටියම වාහනෙන් බැහැල වටපිට බැලුව….

මේ…. ඇහුණද? ඔය පාරෙ යන කාගෙං හරි හරියටම යන හැටි අහගත්ත නං…

කිරි අම්ම කිව්වම

අර ගුණවර්ධන මුදලාලිගෙ ගෙදරට යන්නෙ මෙතනින්ද?

කිරි අප්පච්චි රබර් රොටි මිටියක් කරේ තියන් එන ගමේ ඇත්තෙක් ගෙන් ඇහුව…

ඔය පල්ලම බැහැල ගඟෙන් එගොඩ වෙලා කන්ද නගින්ඩ…

මග සලකුණු ලැබුණා…

කට්ටියම පල්ලම බැස්සෙ ලඟ දිහාට යන්ඩ

සුදු පාට පින්න මල් දෙපැත්තෙ පිපිල දෙපාවල වැදෙන තරමට නැමිල තිබුණු අඩිපාරෙ කෙළවර තොටුපලේ ඔරුවට වෙලා තොටියා බලාගෙන හිටිය….

මාතලෙන් එන කට්ටිය එගොඩ කරන්ඩ

කට්ටියට හිනාවකින් සංග්‍රහ කළ තොටිය ඔරුවට ගොඩ වෙන්ඩ ලේසි වෙන්ඩ තවත් ටිකක් තොටුපලට ළං කළා…

කට්ටිය ඔරුවට නැගුණා…

තද රිටි පහරක් ගහපු තොටියා ඔරුව තොටුපලෙන් ඈතට පදවන්න පටන් ගත්තා…

අනේ මන්ද මේ පුතාල ඉගෙන ගන්ඩ මොන දුකක් විඳින්ඩ ඇත්ද? මේ ගඟෙං එගොඩ වෙලා…. කන්දක් නැගල බැහැල…?

වැහි කාලෙට මොන තරම් කරදර වෙන්ඩ ඇත්ද?

ඒ කරලත් ඉහළටම ඉගෙන ගත්තනෙ….

ඕං ඕව ආදර්ශෙට ගන්ඩ ඕනෙ…..

කිරි අම්ම උක්කුං මාමගෙ ලොකු පුතා සමිත මල්ලිට කිව්ව.

ඔරුව එගොඩට ළං වුණාම කට්ටියම හෙමින් හෙමින් ඔරුවෙන් බැහැගත්ත.

මේ කොලුවට කීයක් හරි දෙන්ට

කිරි අමිම කිරි අප්පච්චිගෙ කණට කොඳුරල කිව්ව

ආ….. මේක තියාගන්ඩ…

කිරි අප්පච්චි තොටිය කොලුවට මුදලක් මිට මොලවන්ඩ ගියා…

එපා….

අහිංසක ලෙස හිනා වුණ තොටියා මුදල ප්‍රතික්ෂේප කළා…

කොයි තරම් පෙරැත්ත කළත් එම මුදල නොගත්ත තොටියට ස්තූති කරල, යන්නං කියල, කට්ටිය ගල් පඩි පෙළ නගින්න පටන් ගත්ත.

තමන්ගෙ බාල දුවගෙ අත ගන්ඩ හදන මනමාලයගෙ ගෙදරට යන මේ නඩේ හිමින් හිමින් තේ වත්ත මැද්දෙන් මල්දෙනියෙ ගෙදරට සේන්දු වුණා……

මල්දෙනියෙ ගෙදර ඇත්තො මේ අලුතෙන් ඥාති සනුහරේට එක් වෙන්ඩ යන ඇත්තන්ව සාදරයෙන් පිළිගත්ත.

තේ පැන් සංග්‍රහය අවසන් වෙලා කට්ටියම මහ ගෙදර ඉස්තෝප්පුවෙ ඉඳගෙන ආගිය තොරතුරු කතා කරකර ඉන්න වෙලාවෙ… ගෙදර හිටිය ඇස් දෙකත් වැහෙන්ඩ බූල් වැවිච්ච ටික්කා බල්ල එක පාරටම නැගිටල මිදුලට දුවගෙන ගිහින් පඩිපෙළ බැස්ස.

කිරි හට්ටි දෙකක් හා පැණි මුලක් එල්ලාන සරමත් කැහැපොට ගහගෙන පඩිපෙළ නැංග තොටිය කොලුව ගෙදර මිදුලට ඇවිත් කැහැපොට ලෙහල දාල හිනා මූනෙන් ආච්චි අම්ම අතට කිරි හට්ටි දෙක දුන්න.

හිතවත්කම පාන්ඩ ළඟට ආව ටික්කගෙ හිස අත ගාපු තොටිය කොලුව අමුත්තන්ට හිනා කටක් පාල ගේ ඇතුළට ගොඩ වැදුණ…

ඒ අර අපිව ගඟෙන් එගොඩ කරපු එක්කෙනා නේද…….?

මාතලේ කිරි අම්ම ඇහෙන නෑහෙන ගාණට ඇහුවෙ කිරි අප්පච්චිගෙං….

ඔය ආවෙ අපේ අපේ ලොකු පුතා නෙ

ආච්චි අම්ම කිව්ව….

අනේ ඇත්තද? අපිව ගඟෙන් එගොඩ කළේ මේ පුතානෙ එතකොට…..

මාතලේ කිරි අම්ම කිව්ව…

ඔන්න ඔහොමයි…. අපේ ලොකු මාම චූටි මාමගෙ නැන්දම්මයි මාමණ්ඩියි ඇතුල් පිරිස එගොඩ ගම් බිම් බලන්ඩ එන දවසෙ ගඟෙන් එගොඩ කළේ……!

මේ කතාව මට කිව්වෙ අපේ නැන්දම්ම… ඒ කියන්නෙ චූටි මාම කරකාර ගත්ත කේතලේ මල්ල…

මළගෙදර ඉවර වෙළා අපි ගෙදර එන අතරෙදි….

දුව… අපේ අම්මට පුදුම දුකයි අයිය නැති වුණා කිව්වාම….

එහෙ ගමබිම් බලන්ඩ ගිය දවසෙ මේ අයියනෙ අම්මලව එගොඩ කරල තියෙන්නෙ…. අම්මල දන්නෙ නැතිව ඔරු කාරය කියල හිතල  සල්ලි දික් කරල…

අම්ම කියනව අයිය හරීම අහිංසක විදියට හිනාවෙලා සල්ලි එපා කිව්වලු…

පස්සෙ මේ ලොකු අයිය බව දැන ගත්තාම අම්මලට හරි ලැජ්ජ හිතුණලු…

මොකද මන්ද මේ කතාව අහගෙන ඉන්නකොට මගේ පපුව හිර වෙනව වගේ දැණුන…

අර කොහෙන්දෝ මතු වෙන උණූසුම් රබර් බෝලෙ උගුර දිහාට ඇදිල එන්න ගත්ත….

අනේ ලොකු මාමෙ….!

නුඹ කොයි තරම් නම් නිරහංකාරද?

දැරණියගල ගම් තුලානෙ වසම්වල ගැමියන්ට නුඹ උපකාර කළේ රාජකාරියෙන් ඔබ්බටත් ගිහින්….

මේ හිතවත්කම් නුඹව මත් පැනට හුරුකළේ නුඹේ අවාසනාවටද?

නුඹ නැති මල්දෙනියෙ විත්ති පෙර තරම් රසවත් වන්නේ කෙලෙසකද?

මල්දෙනියෙ විත්ති නැවත ලියන්නට පෙර

මේ උපහාරය

කෙලින් හිටගන්ඩ බැරි තරම් වෙරි වෙලත් රාජකාරිය අකුරටම ඉටු කළ

මාලිගාවෙත් පැල්පතෙත් වෙනසක් නොදුටු..

නිරහංකාර ලොකු මාමාටයි……!

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති, Uncategorized. Bookmark the permalink.

25 Responses to නිරහංකාර ලොකු මාමා…!

  1. ලියන ඔයාගේ වගේම කියවන අපෙත් උගුරේ රබර් බෝල හිරවෙලා නංගියෝ. ලොකු මාමාගේ හදවතින්ම නැගුන ඒ ආදරණීය මනුෂ්‍යත්වයටයි නිහතමානී බවටයි අපි හැමෝගේම උපහාරය පිදෙනවා. ලොකු මාමාගේ සසර ගමන සැනසුමෙන් පිරේවා කියලා පතනවා.

    • බොහොම ස්තූතියි කවිකාරි අක්කට… හැමදාමත් මගෙ දුකේදියි සැපේදියි ඉන්න අක්කෙක් වෙලානෙ දැන් ඔයා මට.
      මට ඔය වගේ අක්කල දෙන්නෙක් හිටිය.
      නෑදෑයොවත් නෙවෙයි… ඒත්…. එක්කො මං ඒ කතාව පස්සෙ ලියන්නම්…. හැමෝටම කියවන්ඩ. මොකද ඒ වගේ හිතවත්කම් නිකන්ම, ආවට ගියාට ඇතිවෙන එව්ව නෙවෙයි….. වටිනාකමක් ඇති ඒව….

  2. නිම්ශා පවසයි:

    ඔයා කතාව මුල ලස්සනට අරන් ලස්සන නිමාවක් එක්කම ඉවර කලා…. හොද මිනිස්සු මේ ලොකේ හුගාක් කල් ඉන්නේ නැ එයාලාව ඉක්මනට දෙවියෝ ලගට ගන්නවලු…

  3. SiriBiris පවසයි:

    ආන්න අපිට මනාප රටාවට ලියල තියෙනවා, මල් හතයි. ඔය කනබොන කස්ටිය ඉන්නවා නේද( මං කියන්නෙ, කාල බීල, ගමත් කන අය ගැන නොවෙයි), හරි හිත හොඳ අය. අද ගහනවා කරයි කැඩෙන්න, ලොකු මාමා වෙනුවෙන්.

  4. SiriBiris පවසයි:

    හුටා. වැරදුනා. කරයි නෙවෙයි කරටි- කරටි කැඩෙන්නෙ. මේක අපූරුවට ලියලා තියනවා. මං දැන සිටි සුවඳ හමන අව්‍යාජ ගැමි පරිසරයට, ආයෙත් හිතිං ගියා වගේ දැණුනා. ඔය රා කට්ටක් දෙකක්, වල් ෆැන්ටා පාරක් දැම්මාට ගමේ අයගෙ ජීවිත හරි සරලයි. මේක හොඳටම තේරෙන්නෙ, හැම දේටම මිලක් තියෙන නාගරික සමාජෙත් එක්ක ඔට්‍ටු වෙන්න වෙච්චි දාටයි.

    • හා… මටනං පේන්නෙ බිරී අයිය දැනටමත් කරටි කැඩෙන්ඩ ගහල වගෙ ඉන්නෙ….? ඇත්ත… ගමෙන් ඇවිත්, මේ ගෙන්දගම් පොළවෙ කොන්ක්‍රීට් වනාන්තරවල අතරමං වෙලා සල්ලි, ඉඩකඩම්,ගෙවල්දොරවල්, යානවාහන, ටාගට්, පස්සෙ පිඹගෙන දුවන මිනිස්සුත් ඒ කොන්ක්‍රීට් කෑලි වෙන හැටි බලන්ඩ දුකයි අයියෙ. ඒ මිනිස්සුත් එක්ක හැප්පෙන්ඩ මේ ගමේකං හිතවත්කං අගය කරන, වැඩපොලෙත් නෑදෑකං හදාගන්න අපිට කොයිතරම් අමාරුයිද කියල ඔයාට ඉතිං අමුතුවෙං කියන්ඩ ඕනෙ නෑනෙ…..

  5. ගෝල්ඩ් fish පවසයි:

    දුකයි අප්පා… ලොකු මාම ගැන. මගේ ලොකු මාමත් කකුල කඩාගෙන දැන් අවුරුදු 2ක් වෙනවා. එයා පොළොන්නරුවේ එයාලේ ලෙදරට වෙලා ඔහේ ඉන්නවා. පවු…

    මේ ඔයාගේ ඔයා රබර් බෝලේ සීන් එක වැඩියි දැන් ඈ… හිටුකෝ පෙම්බරයට කියන්න.

  6. ඔයාට තව බ්ලොග් එකක් තියනවා නේ (කන්ෆූස්ඩ්)

  7. Lucky Wickramasinghe පවසයි:

    ආදරණීය ජනූ අක්කේ, ඔයාට වගේම මල්දෙණිය මටත් හරිම මිහිරි මතකයක්. ඒත් මම ආයෙම දවසක මල්දෙණි ගියත් ඉස්සර ඒ ගමනේ තිබුණු සුන්දරත්වය ආයෙම එන්නෙ නෑ. ඒ අළුත් පාළම නිසා නෙවේ. ඉස්සර මම එහෙ යනකොට හිටි කවුරුත් දැන් එහෙ නැති නිසා. මගේ “මල්දෙණියෙ මහප්පා” ඉස්සර හැමදාම මට වෙසක් කාඩ් එකක් එවනවා. එතකොට මගේ නමට එන ඒ කාඩ් එක මට පුදුම සතුටක් සහ ආඩම්බරයක් වුණා. ඒත් මොකක්දෝ අවාසනාවකට මම යවපු එකම කාඩ් එකවත් මල්දෙණියෙ මහප්පට ලැබුනේ නෑ. අන්තිමට මහප්පා මියගිය වෙලාවේ වත් මට යන්න ලැබුණේ නෑ. ආච්චි නැතිවුණු වෙලාවෙත් අවමංගල උත්සවය ගත්තෙ ඉංගිරියේ පොඩි නැන්දලගේ ගෙදර නිසා මම දැන් අඩුම ගානේ වසර හත අටකින් වත් මල්දෙණි ගිහින් නෑ. කාලය වේගයෙන් ගෙවෙනවා. මතකයන් ඉතිරි වෙනවා. ඔයාගේ සටහන පැරණි මතකයක් ආයිත් අරගෙන ආවා. බොහොම ස්තුතියි!

    • මල්දෙනිය ගැන මගේ කතාවෙ අවසානයත් ඔන්න ඔය වගේමයි…. පුංචි කාලෙ අපි මල්දෙනියෙදි ලබපු සුන්දර අත්දැකීම් ගැන මතකය මේ විදියට ලියද්දිත් මම හිතින් ඒ පරිසරයට යනව… ඒක හරිම අපූරු අත්දැකීමක්…. ස්තූතියි ලකීටත් මේ මතකය බෙදා හදාගන්න මේ පැත්තෙ ආවට…

  8. Ravi පවසයි:

    අනෙ මයෙ නඟේ, සමා වෙයැන්නිං පහුගිය දෙතුං දොහේ වැඩ සාජකාරි අටෝරාසියක් හිංද මල්දෙනි පැත්ත පලාතෙ එන්ඩ බැරිඋනා නෙව,

    ලොකු මාමයෙ කතාව නම් දෑස් දෙකට ඇහි වතුර පොදක් කැන්දාන ආපු කතාවක් නෙව, මේ ඇත්තමයි,

    මයෙත් හිටිය ඔය වාගෙම මාමෙක්, උන්දැ අපෙ ගෙදරමයි හිටියෙත්, බැඳල හෙම නැතුවා, අන්තිමේට බොලායෙ ලොකු මාමා වගේම අකලට මියෑදුනා නෙව,

    හා, දැම්මේ අනික් කතාවට බහිමු, මොකදෑ හැබෑට මේ සත්තරං මාලුවෙක් කිව්වය කියල උඹැහෙ අර අච්චර අපූරු බාසා විලාසෙ අතඇරියෙ?, මොකෑ උඹැහෙ ඔයාකාරවම සත්තරං මාලුවට බයදෑ හැබැහැට?

  9. බොහොම ඉස්තූති වේවා! ඔය රත්තරං මාලුව මලය දැං ටික හෙකට කලිං මට තර්ජනාංගුලිය පෙන්නන්ඩ ආව නෙව රවි අයියෙ..උන්දැ කියනව මං රබර බෝල උගුරෙ හිරකොරගන්නව වැඩිය, අපෙ පෙම්බර ඇත්තන්ට ඒ බව පැමිණිලි කොරනවය, අරවය මේවය කියාල. ඕං ඒ හිංදයි මේ ඇත්ති පොඩ්ඩක් පහු ගැහුවෙ ඔය බාසා විලාසෙංම ලියන්ඩ. ඒ ඇත්ති ඒ වංගියෙ හිතට ගත්ත ඒ ඒ කතාවට පෑහෙන කතා විලාසෙකිං අකුරු කොරන්ට… නැතුව ඔය මාලුව මලයට බයේ හෙම නෙවෙයි….
    ඔය ඇත්තංගෙ ඇස්ඔලටත් කඳුලු එන්ඩ උණා එහෙනං මයෙ මාමගෙ කතාන්තරේ කියවල ඈ….?
    මක්කොරන්ඩද ඉතිං උන්දැ ලබා උපං හැටි නෙව…
    හැබැයි අපෙ හිච්චි මාම ඹය මරණෙ ගන්න වෙලාවෙ සහබාගි වෙච්ච හැමෝටම ඉස්තූති කතාව කොළා නෙව.. ආං ඒ කතාවෙං නං අපෙ බොලොග් අවකාසෙ ඇත්තොන්ට ගන්ඩ ආදුරුස තියෙනව…
    එව්ව ඉතිං නිවි හැනහිල්ලෙ ලියන්නා…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )