පෙම්බරයගෙ දුං වළලු යැවිල්ල

මේ පැත්තෙ එන හැමෝම කුතුහලෙන්…..

මොකද්ද මේ …?

ඉක්මනට ලියාපංකො අක්කෙ…..!

නගේ…..දැං අපිට ගුටි කන්ඩත් වෙනව ඔය කතාව ලිව්වෙ නැත්තං ඔන්න

කට්ටිය එක පොරයයි…..!

ඒ හින්ද ඕන්න ලියනව අපේ පෙම්බරයගෙ හපංකොමක්…

පහුගිය සිකුරාද දවසක්. ඒදා අපේ ඔපීසියෙ ඇත්තො එක්කහු වෙලා පහුගිය දොහේ  ගං වතුරෙන් අවතැං වෙච්ච අපේ දිස්ත්‍රික් කාරිය මංඩලේ ඇත්තොන්ට ආධාර පැකැට් හැදුව නෙව….

රෑ වෙනව මයෙ වැඩ ඉවර වෙද්දි.  ඔය ඇත්තො යන්ට මට පරවාහන පහසුකං ලැබෙයි ඔපීසියෙං .කියල මං අපෙ පෙම්බර ඇත්තොන්ට කිව්ව

නෑ නෑ මං ඉන්නංකො….. ඒ ඇත්තො කීව…

එදා වෙනදට කලින් වැඩ හමාර වෙච්ච පෙම්බර ඇත්ත මිත්තරයෙක් එක්කල සෙල්ලං කොරන්ඩ ගියා…

ඊට පස්සෙ මගෙ වැඩ ඉවර වෙනකල් ඉතිං අපේ පෙම්බරයට  ඉන්ඩ වුණා හක්කලං කොර කොර. චිත්තර පටියක් බලන්ඩ යන්ඩත් පැලෑනක් තිබුණ. ඒත් අපේ වැඩ හිතුවට වඩා කලියෙං අහවර උණ හිංද දැං ඕං ඒ පැලෑන අත ඇරුණ නෙ. දැං ඕං ඒ ඇත්ත මාව එක්කරං යන්ඩ මග එනව….

එන ගමං මට කතා කොරනව….

ඔහේ ලඟ ගිනිපෙට්ටියක් තියේද?

ඈ…..? මොකක්….?

ගිනි පෙට්ටියක්…

ඒ මොකටද?

මොකටද කියල වැඩක් නෑනෙ. තියෙද?

නෑ….. ඒත් හොයාගන්ඩ පුලුහං…. ඒත් ඇයි මේ අල්ලපනල්ලෙ ගිනිපෙට්ටියක්….

අර ගෑනුංට සොබාවයෙංම පිහිටල තියෙන රහස් පරීක්සක ගුණාංගෙ ඉස්මතු වෙච්ච පාර මං පුරස්න කොරන්ඩ ගත්ත…..

මක්කවත් නොහොබිනා වැඩකට හෙම නෙවෙයිනෙ….?

මේ මේ වැඩි කතා ඕනෙ නෑ…. මං ආවාම මට ගිනි පෙට්ටියක් ඕනෙ…

හහ්…. යකඩෝ..!!! කවදාක්කත් නැතුව මේ ඇත්තට මේ මක්ක වෙලාදැ හැබෑට….?

කතා කොරන්නෙත් හරියට මහ ඒජන්ත උන්නාන්සෙගෙ රස්නෙ ගහපු ආව‍තේවකාරය කතාකොරන්නැහෙ….?

මොකෑ මේකෙ රහස……!!!

අර බයස්කෝප් පැලෑන හබක් වෙච්ච හිංද වෙන්ඩ ඇති… විනෝදෙට බර එක්කෙනා නෙව….

මෙහෙම කම්පනා කොර කොර මං අපේ ඔපීසියෙ මුලුතැංගෙයි මාලා ඇත්තිගෙං ගිනි පෙට්ටියකුත් ඉල්ලගත්ත…..

දැං ඕං අපි… අපි කිව්වෙ මේ මායි මයෙ ඔපීසියෙ මිතුරියි දෙන්න  ඔපිසියෙ එවුන්ඩ හායි බායි කියල එළියට බැහැල නැගුනයි කියමුකො වාහනේට…

කෝ …. ගිනි පෙට්ටිය…. දෙන්ඩ…….?

වෙනදට ඉතිං අපිව පිළි අරං නානාප්පරකාර කතා කියන අපේ පෙම්බර ඇත්ත අහපි නැගල ඉඳගන්ඩ වත් උණේ නෑ ඕං…..

යකෝ තියෙන හදිස්සිය බලහල්ලකො…..

අර මක්කටෙයි ගිනිපෙට්ටි…?

මයෙ පුරස්නෙ තඹ සතේකට මායිං නොකර

එතකොටත් මයෙ අතේ තිබ්බ ගිනි පෙට්ටිය ඇදල අරගත්ත පෙම්බර ඇත්ත කමිසෙ උඩ සාක්කුවෙං ගත්තෙ  කොල පාට පැකට් එකක්.

උජාරු ලීලාවෙං පැකැට් එක දිගෑරල අහකල දුං බටයක් අරංකටේ තියාගෙන ගිනි පෙට්ටිය ගහන්ඩ හදනව

මේ මොන නෙයියාඩගමක් නටන්ඩෙයි තනන්නෙ?…….යං යං පරක්කු වෙනව නෙව…..

මං කිව්වාම ඕං මූණ කරත්තෙට අහු වෙච්ච කජු ලෙල්ලහෙ හදාගෙන ඉස්ටාට් කොරල යන්ඩ පිටත් වුණා…

මිතුරිගෙ නිවස්නෙ ලගින්  ඒ ඇත්තිව බස්සල අහකල මේං ආයෙත් ගත්ත සිගරැට් එක.

මං ඉතිං බලං හිටිය මොකෑ මේ කොරන්ඩ හදන්නෙ කියාල….මේ ඇත්ත සිගරැට් බොන හාදයෙකුත් නෙවෙයි එහෙම…

මොන දෝසයක් වෙලාදැ මේ කියල මං ඉතිං ඇස්ගෙඩි දෙකත් උඩ ඉන්දාන කටත් බලියාන බලං උන්න…

කැහ් කැහ් කැහ්…..

මහ ලොකුවට බොරු පුරුදුකාරකොමක් පෙන්නාන උජාරුවෙං පත්තු කරගන්ඩ ගියාට මොකෑ පත්තු කොරනකොටම කහින්ට ගත්ත…

මං ඉතිං හිනාව තද කොරාන හිටිය…

කියන දේ නාහන ගුරු ඉහළිං ගියත් එකයි, පහළිං ගියත් එකයි

දැං ඉතිං ඕං සිගරැට් එක පත්තු කොරං නානා ආකාරෙට මූන ඇද කොර කොර මට පෙන්නනව….

පුලුහංකාරකොම….. හරියට ඔය හන්දි ගානෙ එකෙල මෙකෙල වෙවී ඉන්නෙ චන්ඩි……. සිගරැට් එක කොයි වෙලේ බැලුවත් කටේ ගහං, නැහ්නං බීඩි කනේ ගහං…..ආං ඒ වගේ…. බලන්ඩ හිනහයි අප්පේ….!

සිගරුට් බොද්දි පලාතෙ වසන්ට බෑ නෙව…

මේ මොන ගන්දස්සාරයක්ද අප්පේ මේ….. මයෙ හුස්මත් හිර වෙන්නහෙ, හිසරදේකුත් ඇල්ලුව ඕං ඒපාර

ආ….. එහෙනං වීදුරු පාත් කොරගනිමු....

දැං ඕං එක අතකිං සුක්කානම කරකෝන ගමං  සිගරැට් එක අනිත් අතේ දබරැඟිල්ලටයි මැදැඟිල්ලටයි හිර කොරාන දුං උගුරක් අදිනව. ඒක කටේ පුරවගෙන මොකද්දෝ විජ්ජ්ම්බරයක් කොරන්ට තනනව තනනව කොරගන්ට බෑ…..

මනුස්සයොන්ඩ හුස්ම ගන්ඩ ඕනෙ වෙන්නෙ ආය දැනුං දීලයැ… හුස්ම එක්ක සිගරැට් දුං පපුවට ගෙහුං කැස්ස හැදෙනව….

ඒ වංගියෙ බැරිම තැන සිගරැට් එක වාහනෙං එළියට අල්ලාන හයියෙං හයියෙං හුස්ම ගන්ට පටංගත්ත.

එහෙමත් නාඩගමක් හැබෑට….!

ඔය මක්කද දැං කොරන්ඩ හදන්නෙ…..?

මං බලා ඉන්ඩ බැරිම තැන ඇහැව්වෙ…

මට දුං වළලු යවන්ඩ ඕනෙ…..?

ඈ….. දුං වළලු?මේ මොකද්ද බොලේ හැදිල තියෙන ලෙඩේ හැබෑටම

ඈ……..!

එකත් එකටම මේ ඇත්තා පහු ගිය වංගියෙ අර මකරෙක් පුරුදු කොරන්නෙ කොහොමද කියාල බයස්කෝප් එකක් බැලුව නෙ.  ඒ ගැන බොහෝම ඇල්මෙං කියෝ කියෝ ඉඳල දැං මේ දුං පිට කොරන්ඩ තනන්නෙ  ගිනි මකරෙක් වෙන්ඩ වත් ඕනැ වෙලා වද්ද?

ඔවු…. දුං වළලු තමයි. ඇයි මට බැරි???

දැං කවුද දුං වළලු යැව්වෙ…..?

එන්ඩ කලියෙං මං කෝපි කෝප්පයක් බොන්ඩෙයි කියල කෝපි කඩේකට ගොඩ වැදුන. කෝපි කෝප්පෙ බි බී ඉන්නකොට මං දැක්කෙ ඒ කඩේ උන්න මාලදිවයිං කාරයො යස අපූරුවට දුං වළලු පිට කොර කොර හිටිය…. මටත් ඕනෙ ඒ වාගෙ දුං වළලු පිට කොරන්ඩ….

අර අම්මල හොරතල් කොරල නාක් වෙච්ච ඇබිත්තං එකෙක් වයෙ පෙම්බර ඇත්ත මේ කතාව කියාපු විලාසෙට මට හිනහයි… ඒත් ඉතිං අමාරුවෙං හිනා තද කොරාන මං ඇහැව්ව

දැං ඔය සිගරැට් බොන එක හොඳ වැඩක්යැ… ඉතිං දුං බීල සරීරෙට හානි පමුණුවාගෙන ආසාවක් ඉස්ට කොරගන්ඩ තනන්නෙ අහවල් එකටැයි කියල….

ඇරත් පුරුදු නැති එව්ව කොරන්ඩ ගෙහුං නිකං අමාරුවෙං දුක්විඳින්නෙ මක්කටෙයි….?

කොහෙදැ… කියන්නෙ කාටදැ?

චැහ්…. මේ සිගරැට් එක ඉවර වෙලානෙ

බැලුවාම කතාව අස්සෙ වාහනෙං එලියට අල්ලාන ගිය සිගරැට් එක හුළං පාරට දැවිල පිලිටරේ ඉතරයි ඉතුරු….

ඒපාර ඕං ආයෙත් එකක් පත්තු කොරන්ඩ ලැහැත්තිය..

අනේ මේ ඔය ඇත්තොන්ට ඔය ගිනි බටේ මේ දැම්මම පත්තු කොර ගන්ඩ ඕනෙද?

මං ඉතිං ගෝලු ගත්ත…

ඒ පාර

හා එ‍හෙනං මං ගෙදර ගෙහුං බොන්නංකො

කියල වැඩේ අල්ල දැම්ම…

මාව අපෙ නවාතැනට ඇරලන්ඩ ගිය පාර  අපේ මලයත් එක්කත්  දුං වළලු පිඹින්ට තනල තියෙනව මං පොඩ්ඩක් එහා මෙහා වෙනකල් ඉඳල.

පලයංකො ගෙදර…. ඕක ගෙදර අරං ගියාම තමයි උන්දැ මට්ටු වෙන්නෙ…

මාත් ඉතිං හිටිය බලං….මොකෑ වෙන්නෙ කියල

කොහොමිං හරි ඕං ඕක අමතක වෙලා මේසෙ උඩ බැරිවෙලා ගිහිං තිබ්බ දවසක් දෙකක්ම.

ඔය දේස දීපංකරේ යන්ඩ බෑග් හදන්ඩ කලිං දවසෙ වැඩට යන කොට ඔය සිගරැට් පෙට්ටිය දැකල

අද සිකුරාද නෙව.  ඉඩක් ලැබුණොත් බොන්නං ඔපීසියෙ ඇත්තොත් එක්කල….

කියල ඒ ඇත්තොංගෙ අම්මගෙනුත් හොඳහැටි අහගෙන ඕක කාර් එකේ ලාච්චු කෑල්ලෙ දාගත්ත…

ඊලඟ දවසෙ උදේ මාත් එක්ක එක ජල්ලියයි මං සිගරැට් පැකට් එක ගත්තය, ඒක හංගලය කිය කියා….

මං ඉතිං උඩ බිම බැලුව මේ මොන අවනඩුවක්ද සීවරං දෙයියනේ කියල…

ඕං ඒපාර මට කම්පනා උනා මේ ඇත්තො කලිං දවසෙ ඒක කාර් එකේ දාගත්තනෙ කියල

බොරුවට කෑ කොස්සං ගහන්නෙ නැතිව ඔය ලාච්චු කෑල්ලෙ බැලුව නං…

මං කිව්ව

ඕං ඒපාර සද්දෙ නවත්තල බැලු කොට දැක්කෙ මොකද්දැ….?

හෑ…. මීය කාල නෙවෙ ද සිගරැට් පැකට් එක???

මොකක් කිව්ව … මීයෙක් එනවද මොටෝ කාර් එක ඇතුලට?

නැත්තං… මේ අයියෝ මයෙ සිගරැට් ටික…

හා ඕක නං කාල නෙවෙයි බිව්වත් මක්කද? … විපරං කොරල බලන්ඩ ඔය ආසන අරව මේව කාල දායි

අනේ යන්ඩ උං එහෙම කොරන්නෙ නෑ….

ඒ වුනාට නිකං අවිස්සාසෙට මං හැරි  මං පිටිපස්සෙ  ආසනේ දිහා බැලුව…

හා……………….. ඔය නෑ කියපුව තියෙන්නෙ මේ…

සිගරැට් බොන්ඩ ආව මීයා වාහනේ පිටිපස්සෙ ආසනෙත් රහ බලලයි ගෙහුං කියෙන්නෙ…

හයියෝ හයියෝ…. වෙච්ච දෙයක්…!

හත්වලාමෙ වෙච්ච දේට මක්කොරන්ඩද?

ඔය සිගරැට් බීමට ලැබිච්ච දඬුවම තමයි.

මං ඉතිං ඕක දැක්ක වෙලේම කිව්ව මං මේක නං ලියනව ලියනවමයි  ඕං මගෙ බොලොක්කෙ කියල.

ඒ ඇත්තො ඉතිං මං ලිව්වට අමනාප ගන්න එකක් නෑ….

ඉතිං මේ අපේ පෙම්බර ඇත්තංගෙ දුං වළලු කතාව අහල හිනා වෙන්ඩ නෙවෙයි, ඔය ළමයින්ට ගන්ඩ පුලුවං ආදුරුස දෙක තුනක්ම කියෙනව නෙව

ඒ විතරක් නෙවෙයි ඕං මට හොඳවැයිං උපහැරණ කතා ටිකකුත් මතක් වෙනව මේ අවස්තාවෙ..

අද ගොඩ බැස්සම මොනව කිව්වත් මට මේ වෙලාවෙනං එව්ව නොකිය ඉන්ට බැරුව..

මේං උපහැරණ කතා ටික..

නොදන්න දෙමලෙට ගිහිං වරිගෙ නහ ගැනීම

කලිං කිව්ව වගේ කියන දේ නාහන ගුරු ඉහළිං ගියත් එකයි පහලිං ගියත් එකයි

අන්තිම එක

බැරි වැඩ නොකරං අබරෝ….

පිංතූරෙ මේං මෙතනිං – nittygrittynow.com

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in පෙම්බරයයි මමයි. Bookmark the permalink.

17 Responses to පෙම්බරයගෙ දුං වළලු යැවිල්ල

  1. Ravi says:

    අනෙ නඟේ, ඇස්සහක් කටවහක් නෑ, යස අපූරු කොලු පොඩ්ඩෙක් නෙව උඹෙ මේ පෙංබර ගොයියා, මට දුකේ බැරුව ගියා ඔන්න හොඳ විස්සාසෙට ගනිං,

    හැබැයි උංදැට කියාපං එහෙම එක දුංවැටියක් බීල වලලු පා කොරන්ඩ නං බැරිය කියාල,

    ඉස්තූතියි, මේ අහිංසක මයෙ බොටුව බේරාලා දුන්නට,

    • ඕං එහෙනං වැඩේ හරි ඈ……

      • ආ මේං බලාපල්ලකො මේ අයිය කියන කතා..වෙලාවට තාම පෙම්බර ඇත්ත නැත්තෙ මේ අහල පහල. නැහ්නං ඔය අයියට දුං වළලු යවන හැටිත් කියල දෙන්ඩ වෙයි ඕං….
        පේන හැටියට මෙයත් ඔය මකර චරිත රඟපාල තියෙනව වගේ ….

  2. අනෙ අප්පේ මේ අපේ කන්තෝරුවෙ ඇත්තෝ බලනවා මේ යසට උන්නු මට ඉහකුඩිච්චියක්කත් දාන්ඩ වෙලාද මේ කොම්පීතර පෙට්ටියට ඇස් ගෙඩි දෙක කුලියට දුන්නැහේ තනි පංගොලොමේ විරිත්තන්නේ මොකෑ කියාලා… මේ නගාගේ අකුරු කෙරුවාවේ හාස්කං ගැන කියාලා තමයි යාන්තං ජාමේ බේරගන්ඩ ඇහැක් උනේ… ඕං මං හූනා කියන්නැහේ කියඤ්ඤං, අද හෙට උන්දැලාටත් මට දාන්න තනාපු ඉහකුඩිච්චිය දාගන්න වේවි ඕං මේ කෙලි පොඩ්ඩිගේ අපූරු ලියමං කියෝලා…
    නගාගේ පෙම්බර ඇත්තන්ට කියංඩ මකර පැටියෙක් වෙංඩ ඔය හැටිම ආසානං ඔයි විස දුං බට උරන් නැතිව හීතල පලාතකට ගොහිං එන්ඩ කියාලා… ඔයි ඒ පැති වල ඇත්තොත් යස අගේට දුං පිඹින්නේ…

    • අක්කේ,
      අපෙ පෙම්බර ඇත්තත් මේ බොලොක්කෙ බලනව නෙව….
      නාකයැ ඔය අක්කම කිව්වනං ඔය මකර වේසෙ නං නුවර එළියට ගියත් ගන්ඩ පුලුවං කියල…
      දැං ඔය ඔපීසියෙ වෙනම කාවුරු හරි ඇත්තෙක් පත්කොරගන්ට වෙයි එහෙනං ඉසකුඩිච්චි තනන්ට ඔය හැටියට….. නැත්තං ඔය දේසීය වයිද්ය අමාත්තියංසෙකට වක්කත් ටාන්සැර් එකක් ඉල්ලන්ඩ වෙයි ඕං ඔක්කොමලට

  3. අක්කණ්ඩියේ අයියණ්ඩිව හදා ගනියෝ.අයියණ්ඩි track එක පන්නවලා නොවැ අර පිට දේසක්කාරයා.

    මෙව්වා දැක්කම නම් අයියණ්ඩි සැරැන්ඩර් වෙයි මයේ හිතේ.

    ඕං දන්න විදියට වැදි බණ දෙසුවා,කිරියාත්මක කිරීම කාගේ හරි සතුයි…
    (මං තුමා ගැන දන්න උදවියත් කියයි මම වැදි බණ දෙසුවා කියලා.එයාලට කියන්න තීන්නේ මං නං මැරෙන්නමයි ඕවා උරන්නේ කියල විතරයි )

    • අයියො පොටෝ නෑනේ.
      මෙව්වා තමා පොටෝ

    • ඈ පරාස්ස මලයො,
      උඹත් මේ කිව්වට ගිනි මකරෙක්ය?
      හපොයි හපොයි මොකෑ මේ වෙලා තියෙන්නෙ ඈ?

    • හයියෝ…. කල තියෙන්නෙ වතුර පුරවන්ඩ මිසක්ක කිරන්ඩ නෙවෙයි නෙව.
      උඹට ඔය ටික වටහල දෙන්ට කෙනෙක් හිටියෙ නෑ නෙව හැබෑට….?

      • හිටියා, ඒ ඇත්ති එක්ක කල පිරෙව්වා එකදාස් අටසිය බර ගනං වල.පස්සේ ඒ ඇත්ති කල දාල ගියාට පස්සේ හිතුනා පුරවපු කලත් එක්ක කිරන්ට.ඕං එදා ඉදං කල කිරනවා නොවැ අද වෙනකල්.

        හපුච්චියේ මාත්තුරුකාව පැනලා නොවැ පිට.කෝ ඉතිං මං තුමා දොඩන්ට ගියාම දොඩවනවා නොවැ ඇහිල්ලක් බැලිල්ක් නැතිව.
        (පාඨක තුමංලා සමා වෙන්ට ඕනේ)

  4. මේ අක්කේ .. අක්කට තිබුනේ තිබුුනේ How train your hubby to smoke… කියලා ෆිල්ම් එකක් කරන්න. අර මකරාව පුහුණු කරා වගේ.

    හොඳ අක්කා වගේ ඈහැකිනම් භාෂාව වෙනස් කරමුද? ටිකක් මඥ්ඥං වගේ.

    මරු පෙම්බරයා.. පෙම්බරයා නෙවේ දුම්බරයා… හැබැයි පව් අහිංසකයා, බලන්න කොයිතරම් අහිංසක දේකටද ඒ මනුස්සයා පෙරුම් පුරලා තියෙන්නේ. ඔයාට තිබුනේ සපෝට් එක දෙන්න.

  5. Gaveen says:

    We might be able to add a few more stories here. Maybe someday layer, with permission. 😉

    PS: Sorry for not commenting in Sinhala. On someone else’s computer, so no Unicode.

  6. TG says:

    මාත් යාලු කමට හවුලේ බටේ උරල තියෙනවා . බට උරන යාලුවො කීපදෙනෙක් මටත් ඉන්නවනේ .කාලෙකට පස්සේ මුණ ගැහුනම හොඳ තේකක් , මසාලා චායේ නැත්නම් කෝපි එකක් බීලා යාලු කම වැඩිකරගන්න හවුලේ දුමක් ගහන්නේ එතකොට .ඔහොම බටයක් හවුලේ ගහද්දි තව එකෙක් මගේ පොටෝ එකක් මූණු පොතේ දාල එක කෙලියයි මට හෝගාලා එක්ස්ප්ලනේශන්ස් ඉල්ලලා ඊ මේල් කෝල් ආවා දැඩි මතදාරී දූම නිවාරණ යාලුවන්ගෙන් .හැබැයි බටේ උරන රූමලා සෙට් වුනහම මම තද නීති දාල තියෙන්නෙ කාමරේ බට උරන්න බෑ කියල . ඒ විතරක් නෙවෙ තදින් බටේ ගහන් එවුන්ට අවවාද අනුසාසනා එහෙමත් දෙනවා . උන්ගෙ බට පැකැට් හංගලත් තියෙනවා . තවම එකෙක් ඉන්නවා මා එක්ක කොහේ හරි ගියොත් මගෙන් අවසර අරන් බට උරන

    මොන ඇබ්බැහි කම් තිබ්බත් මුන් හිත හොඳ යාලුවො අතාරින්න දුකයි . බ ටඋරල නාස්තිවෙන එක ගැන ඊට දුකයි

    • හා…. මටත් ඔය ගැන රස කතා නං තියේ… කොහොම වුණත් ඔය දුම් වැටි නං අල්ලන්නෙ නැති තරමට හොඳා මහිතෙ… ඇල්ලුවොත් බොන්ඩ හිතෙනව… බිව්වොත් තව ගන්ඩ හිතෙනව… ඊට පස්සෙ තව බොන්ඩ හිතෙනව.. යාලුවෙක්ටත් දෙන්ඩ හිතෙනව…

  7. KJ says:

    අනේ මංදා, උඹලා දෙන්නා යස අපූරුවට ගැලපෙනවා, ඒක නම් කියතැහැකි.

Leave a reply to Ravi Cancel reply