චූටි මාම කෝ………….!

ආච්චි අම්මෙ කෝ චූටි මාම…?

මල්ලිගෙ දවස එලිවෙන්නෙ මාම ගැන අහගෙන….

දන්නෙ නෑ පුතේ… උදැහැනැක්කෙ කිරි බීපු ගමන එළියට බැස්සෙ. කොහෙ යනවද කියල නං කිව්වෙ නෑ…

කොළඹ ගියාද??

මල්ලිගෙ මූණ ඇද වුණා…

සරම ඇඳං කොළඹ යන්ඩ ඇහැකිය මාමට?

ආ………… සරම ඇඳලද ගියෙ…?

මල්ලිගෙ හිත පොඩ්ඩක් හරි ගියා.

හා……… යං දෙන්න මගෙත් එක්කල පීල්ල ලඟට වතුර ටිකක් අරං එන්ඩ….

හා…. නියමායි….

මල්ලිගෙ සන්තෝසෙ……!

ආච්චි අම්මා මැටි කළෙයි, ඇලුමිනියං කළෙයි අරං ලොකු පනිට්ටුව මට දීල මලයටත් පොඩි පනිට්ටුවක් දුන්නා…

කට්ටියම ගේ පිටි පස්සෙන් රබර් හිටවල තියෙන කන්ද දිහාට වැටිච්ච අඩි පාර දිගේ පීල්ල දිහාට ඇවිදගෙන ගියා. උදේ පාන්දර වැටිච්ච පිනිවල බරින් පුංචි පුංචි පඳුරු පාර දිහාට නැවිල අපේ දෙපා සිඹිනවා. සීතල පිනි ගෑවෙනකොට දෙපා කිතිකැවෙනව.

අන්න අන්න… බලන්න බලන්න අක්කෙ….

මල්ලිගෙ සද්දෙට බයවෙච්ච පීල්ල ගාව පඳුරක් අස්සෙ හිටපු දුඹුරුපාට හා පැංචා රබර් වත්තෙ ගල් වැටි මත්තෙන් දිග දිග පිමි පැනල දිව්ව…

මේ පීල්ල කියන්නෙ උණ බට දෙකට පලලා ඒව දිගේ වතුර ගලාගෙන එන්න පුලුවන් වෙන විදියට කණු හිටවල ඒ උණ බට  දිගට දිගට අතුරලා හදා ගත්තු ජල ප්‍රවාහන ක්‍රමයක්. මේක සබරගමු පලාතෙ වගෙම අනිත් කඳු පලාත්වලත් ජීවත් වෙන මිනිස්සු එකතු වෙලා තමන්ගෙ එදිනෙදා ජල අවශ්‍යතාව සපුරා ගන්න හදා ගන්න පාවිච්චි කරන පොදු උපක්‍රමයක්. කොහේ හෝ උල්පතක ජලය එක්රැස් වෙන්න ටැංකියක් බැඳලා ඒ ටැංකියට අර මම කලින් කිව්ව පීලි ඒකට සම්බන්ධ කරලා තමන්ගෙ නිවස ආසන්නයට ජලය ලබාගන්නවා.

හැබැයි මේ ක්‍රමයෙ දුර්වලතාව තමයි පීල්ලෙන් එන වතුර පාර අවශ්‍ය නැති වෙලාවට නතර කරගන්න විදියක් නැති වීම….

මං ඉතිං දැං ඉගෙනගෙන පණ්ඩිත වෙලා ඔහොම කියාවි…. ඒත් ඔය කඳු මුදුන්වලට වතුර සපයාගන්න තියෙන අමාරුවෙ හැටියට ඒක නාස්තියක් කියල වෙන කාටවත් හිතෙන එකක් නෑ….

ආච්චි අම්මලගෙ පීල්ල තිබ්බෙ රබර් වත්ත මැද්දෙ. පීල්ලෙන් වැටෙන මේ වතුර පාර ලොකු බැරල් එකකට එකතු වෙනව. ඒක පිරුණාම උතුරල යන වතුර ඊට පල්ලෙහා එළවලු පාත්තිවලට යන්න පුලුවන් වෙන විදියට කාණු හදලා ගල් වැටි බැඳල තිබුණා…..

අපි යනකොට බැරල් එක වතුරෙන් පිරිල….

අවුරුද්දට කිරි උතුරවන කොට මුට්ටිය දෙපැත්තෙන් කිරි උතුරන්නා වාගෙ වතුර උතුරලා යනව

උණ බට පීල්ලෙන් බැරල් එකට වතුර වැටෙන්නෙ සුදු පාටට පෙන පිඩු නංවමින්.

බලා ඉන්න ආසයි..

කළගෙඩි දෙකයි පනිට්ටුයි වතුරෙන් පුරවගත්ත අපි හිමින් හිමින් පාර දිගේ ආපහු ගෙදර දිහාවට ආවා…

සුදට හදපු පරිප්පු හොද්දයි, හීං කොච්චි දාල හිඳෙන්ඩ උයපු මියන දලු ඇඹුලයි එක්ක ඉඳිආප්ප දෙසා බාපු අපි දෙන්න ගමේ ගෙදර මිදුලෙ පැත්තක ඇල වෙලා තිබුණ තැඹිලි ගහේ නැගල බස් එකක් දැම්ම.

ඈම් ඈම් ඈම්….. බ්‍රම් බ්‍රම් බ්‍රම්…..

මල්ලි සුපුරුදු වාහන සද්ද ටික දාල ඩැයිවර ජොබ් එක බාරගත්ත.

අයියෝ……! ඩැයිවරයි කො කො කොන්දොස්තරයි විතරයි…

පාඩු පිට දු දු දුවන බස් එකක්!!

බැටරියත් චාජ් කරගෙන ඒක කරේ තියං ගෙදර ගල් පඩි පෙළ නගින ලොකු මාම කිව්ව.

ලොකු මාමෙ බූන්දි නෑ…..?

නෑ පුතේ…. අද ක ක ක කරත්තෙ තිබුනෙ නෑනෙ..

බැටරිය කරේ තියන් කන්ද නැගපු ලොකු මාමගෙ හඬ විඩාබරයි.

ආං චූටි මාම එනෝ!!!!!!!!

මල්ලි එක පාරටම බෙරිහන් දීපි….

කෝ කෝ….

මමත් දඩි බිඩි ගාල තැඹිලි ගහට නැංග

කිව්වත් වගේ පහළ තේ වත්ත මැදින් වැටිච්ච පාරෙ ඈ……ත කෙළවරේ කවුදෝ එනව පේනව.

මලය තැඹිලි ගහෙන් බිමට පැන්න.

හා හා හෙමිං හෙමිං……

බුලත් වට්ටියකුත් හිසේ තියං වත්තෙ ඉඳල මිදුලට ආව ආතට කියාගන්ඩ වත් වෙලාවක් වුනේ නෑ

මිනිහ අඩියට දෙකට පඩි ටික පැනල තේ වත්තෙ පාර දිගේ දුවන්ඩ ගත්ත.

ටික වෙලාවකින් දෙන්නම ලඟ ලඟ එනව පෙණුන.

චූටි මාම කරේ තියාගෙන මොනවදෝ ගේනව.

පේන්නෙ කෝටුවක් විතරයි…..

අක්කේ…… චූටි මාමට මීවදයක් හම්බ වෙලෝ……..! මේ……………………..!

මලය ඈත තියාම පයින්ඩෙ දුන්න….

චූටි මාම මිදුලට ඇවිත් අඩ හඳක් වගේ මීවදේ බැඳපු කෝටුව මලය අතට දීල

පිඟානක් ගෙනෙං කෙල්ලෙ….කියල මට කිව්ව.

කොයින්ද පොඩි පුතේ…..? ආත ඇහුව

අර කත්තිරිකාවත්තෙ කැලේ තිබුණෙ….

මයෙ අම්මෙ… ඔච්චර ඈත ගියැයි මේ උදේ පාන්දරින් ගිහිං……..?

මං ගිහිං පිඟානක් අරන් ආව…

චූටි කාලෙ මල්ලිවයි මමයි ගෙදර තනියම දාල ගියොත් අපි දෙන්න අනිවාර්යයෙන්ම කරන හොර වැඩක් තිබුණ.

ඒ තමයි මී පැණි බෝතලේ හොරා කන එක…

ඒත් මම කවමදාවත් මී වදේකින් මී පැණි කාල තිබුණෙ නෑ.

මී වදේ කෝටුවෙන් වෙන් කරල පිඟානෙ තියල කෑලි කෑලි කඩල කඩල කද්දි පුදුම රසක්.

වද කෑලි හපල පැණි ටික උරල බිව්වම මී ඉටි ටික කටේ ඉතිරි වෙනව.

චුයිංගම් කියල අපි හපන්නෙ මොන උලව්වක්ද කියල හිතෙන්නෙ එතකොට තමයි.

විසික්කරන්නෙ එහෙම නෑ මී ඉටි ටික… එක්කාසු කරන්ඩ ඕනෙ…

දෙලුම් ගෙඩියෙ පොතු ටිකත් වේලල බේතට ගන්ඩ පරිස්සම් කරන ආච්චි අම්ම කිව්ව.

එයා අපි කාල ඉවර වුනාට පස්සෙ ඉතිරි මීවද කොටස මිරිකල තේ කෝප්පෙකට එක්කාසු කළා. ඊට පස්සෙ පෙරල කාලෙ බෝතලේකට දාල අරන් තිබ්බ.

තිබ්බ තැන බලාගත්ත මලයයි මමයි පස්සෙ හොරෙන් මී පැනි කෑව…

මල්දෙනියෙ විත්ති කියවන්ඩ ආසාවෙන් බලං ඉන්න අපේ පෙම්බර ඇත්තො දැන් එක පොරයයි දැහැන්වක බලන්ඩ යන්ඩ ඕනෙ කියල.

අද මේ කතාව කියෙව්වාම මීවද කන්ඩත් ඕනෙ වෙයි ඕං ඉන්තේරුවෙන්ම…..

දැහැන්වක නං පෙන්නන්ඩ බැරියැ…

ඒත් මීවද කොහෙං හොයන්ඩද කැලෑවක් බේතකට හොයාගන්ඩ බැරි මේ කාලෙ කියල තමයි මං කල්පනා කරන්නෙ…..!

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

11 Responses to චූටි මාම කෝ………….!

  1. wiaw says:

    මේක නව කතාවක්ද, කෙටිකතාවක්ද? මම අහුවේ මේක මතුසම්බන්ධ ද, කියල……

    • කෙටි කතාවක්ද නවකතාවක්ද කියල මමවත් දන්නෙ නෑ. ඒත් මේක මගේ කතාව….
      ඔවු අම්මලගෙ ගම ගැන, සිදුවීම් ගැන මගේ මතකයට එනකල් මම ලියනව….
      ඒක මොකක් වෙයිස කියල නම් දන්නෙ නෑ…

  2. yajith says:

    මී වදේ කඩන හැටි දැක්කෙ නැද්ද? මම නම් මී වද කඩපුවා තවම දැකලා නැහැ. මම මේ ලඟදි කොහේ හරි වතුර ටැංකියක එල්ලෙනවා දැක්කා බඹර වද නම්. කඩා ගන්න එක තමයි වැඩේ.

    • මම ගස්වල තියෙන වද කඩන හැටි දැකල තියෙනව. අපේ ගෙදර කළේක වහල හිටිය මීයක් කැඩුව හැටිත් දැක්ක. ඒත් මේක නම් දැක්කෙ නෑ. ඔය උසම උස තැන්වල බඳින බඹර වද කඩන්න නම් ලේසි නෑ. ජනප්‍රවාදවල හිටියට ඉස්සර කාලෙ බඹර කඩන්න යන්නෙ දෙමස්සිනෝ….. ඒ හින්ද ඉස්ඉස්සෙල්ලම මස්සිනෙක් හොයා ගන්ඩ වෙයි.

    • SiriBiris says:

      ඔය බඹරු මී බඳින්නෙ හෙල් වල – ඒ කියන්නෙ යටි අතට ප්‍රපාතෙ වෙගේ තියෙන ගල් කඳු වල – දැන් නැති කමට වතුර ටැංකිවල බැන්ඳට. ගෝයියෝ බඹර කැපිල්ල හැමෝටම කරන්න පුළුවන් සෙල්ලමක් නොවේ, එකෙක් ඇන්නොත් දෙමස්සිනෝම ටැංකියෙන් පහලට දෙරි ගහාවි.

      • ඒකත් හැබෑව සිරිබිරිස් අයියෙ… දැං කාලෙ ඔය ටැංකිවලට කියා ගහකට නගින්ඩවත් වෙලාවක් නෑ නෙ.

  3. ඒවා අපි දන්​නේ නෑහැ, පෙම්බරයටයි අපිටයි ඔය ගිහින් එන වෙලාවක මී පැනි ගේන්න. හොඳ අක්කනේ…

  4. wiaw says:

    බොහෝම සතු‍ටුයි. මොකක් උනත් කතාව ලස්සනයි. දිගටම ලියන්න….

  5. SiriBiris says:

    හංසකිංකිණි..හ්ම්ම්. ඔය බළල් තඩියෙක්ගෙ බෙල්ලෙ නං කිංකිණි බැඳපු කතාවක් නං අහලා තිවුනා. ඇයි හංසයගෙ බෙල්ලෙ බැන්දෙ? මං හිතන්නෙ, පෙම්බර ඇත්තොන්ගෙ වැඩක් වෙන්ටෑ. මේ කතා ටික නං හරිම අපූරුයි. ඔය හිච්චි එකා සංදියෙ මාත් ඇලේ දොලේ දිය බුං ගහලා, වෙලේ මඩනාලා කොක්කු පස්සෙ පන්නලා තියෙනවා. ඔහෙට කියන්න, කොකෙක් දැක්ක කාලයක් මතක නෑ නොවැ. දැං ඉතිං කොන්ක්‍රීට් වනාන්තරේ යාන්ත්‍රික සත්වයා නොවැ. ඒත් මේ කතා කියවලා, ඇස්පියා ගත්තාම, තාමත් ගමට යන්න ඇහැකි. ස්තූතියි,නඟේ.

    අර “මල්දෙනියෙ සිමියොන්ගෙ කතා” වල ලින්ක් කෑල්ලකුත් ඔය අයිනෙන් දාන්න පුළුවන්ද?

    • නෑ බං සිරිබිරිස් අයියෙ. ඔය හංසකිංකිණි කියන නම අපේ සංගීත චීච අම්මගෙ වැඩක් නෙව. ඒක හින්දුස්තානී රාගයක නමක් කියන්නෙ
      ඇයි අයියෙ සිමියොං තමයි සීමොං ආතා…. අර ඔරුව පදින්නෙ එයානෙ 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s