සොල්දරේ නිධානේ……!

ලොකු පුතේ අදවත් බැට්ටිය චාජ් කරං ආවොත් හොඳා. පවුත්ති බැලුවෙ නෑ දවස් ගාණකිං….

ආත කිව්වෙ පාන්දර සීතල හින්ද කුස්සියෙ කොලොම්බුවක් උඩ ලිපේ රස්නෙ වදින්ඩ වාඩිවෙලා උන්න ලොකු මාමට….

හ්ම්… ලොකු මාමගෙ උත්තරේ එච්චරයි…

ආ… ඒහෙනං අපිට දොස්තර හොඳහිත බලන්ඩත් පුලුවන්….!

මල්ලියි මමයි දෙන්නත් උඩ පැන්න….

ගමේ ගෙදරට තාමත් විදුලිය නෑ… ඉතිං  ඉස්සර රූපවාහිනිය බලන්ඩ නං අර කාර් බැටරියක් ඕනෙ….

ඒක චාජ් කරගෙන එන්ඩ ඉතිං කර තියාගෙන පල්ලම් බැහැල ගඟෙන් එගොඩ වෙලා බස් එකේ දෙහිඕවිටටම යන්ඩ එපැයි…

ඔන්න ඉතිං උදේට කාල එහෙම ලොකු මාම බැටරියත් කරේ තියන් පල්ලම් බැස්ස.

තාත්තත් නිවාඩු නැති නිසා වැඩට ගිහින් නෙ…. අම්ම ඉතිං ආච්චි අම්මත් එක්ක මුලුතැන්ගෙයි වැඩ. චූටි මාම කොහෙ ගියාද නෑ….
වෙනදට චූටි මාතියා…. කියාගෙන එන සිවකුමාරයත් නෑ……

අපි දෙන්නටම හරිම කාන්සියි… ටිකක් වෙලා බට්ට පැන්න….. ටිකක් වෙලා අපි දෙන්නගෙ බයිසිකල් රේස් බැලුම්ගලට වෙලා පාරෙ යන වාහන ගැන්න….

ම්හ්…. හරි යන්නෙ නෑ…

කම්මැලියි නේද අක්කෙ….?

මල්ලි අහනව …

හ්ම්…….

හදිසියෙම මට යමක් මතක් වුණා…

මල්ලි… අපි දෙන්න සොල්දරේට නගිමුද?

අම්ම බනියි…

නෑ අම්ම බන්න්නෙ නෑ.. ඒ අපිට නගින්ඩ එපා කියන්නෙ අපි වැටෙයි කියල බයේ නෙ….ඇයි අපි දෙන්නව එක්කරගෙන ගියේ පහුගිය පාර ගමේ ආවාම..

හා එහෙනං යං…

අපි දෙන්නම බැලුම් ගලේ ඉඳල ගෙදර දිහාට ආවා.

ගමේ ගෙදර සොල්දරේ කියන්නෙ සාලෙන් ඇතුල් වෙන්ඩ කියෙන කාමරේ පැත්තකින් හදපු ලී තරප්පු පේලියකින් නගින්ඩ තියෙන ඒ කාමරේ හා සාලයේ වපසරියට සමාන ලී තට්ටුවක්. අපේ අම්ම කියන විදියට අම්ම ඉස්සර ඉඳල කාමරේ විදියට පාවිච්චි කරල තියෙන්නෙත් මේ සොල්දරේ. පුංචිම කාලෙ අපිව වැටෙයි කියල සොල්දරේට නගින්ඩ දුන්නෙ නෑ… අම්මත් එක්ක එක දවසක් මම ඒකට නැග්ග…

එදා හරියට බලාගන්ඩ බැරිවුණු කොච්චරක් නම් දේවල් තියෙනවද මේ සොල්දරේ ඇතුලෙ…

හැබැයි මම චන්ඩිය වගේ හිටියට තනියම සොල්දරේට නගින්න බයයි. මම බය හින්ද ඒ ගමනට එකතු කරගන්නෙ මටත් වඩා බය අපේ මල්ලිව

ලී පඩිවලින් එන සද්දෙ ඇහෙන නිසා අපි දෙන්නා ලී තරප්පු පේලිය නැංගෙ හරිම පරිස්සමෙන්.

මම ඉස්සරවෙලා තට්ටුවට ගොඩ වෙලා මල්ලිව අල්ලල උඩට අරගත්ත..

වහලෙ උලු කැටයක් අයින් කරල වීදුරුවක් තියල තිබුණ නිසා සොල්දරේට හොඳට එළිය වැටුන….

අපි දෙන්නම ඇවිදගෙන ඉස්සරහට ගියා.

චිරිස් චිරිස්…චිරිස් අපි අඩි තියන ගාණට සොල්දරේ ලෑලි මැදෙන හඬ ඇහෙනව.

අපි දෙන්න හිමින් හිමින් අඩි තියනව…සොල්දරේ මැද හරියෙ හිස්.

වටේට බිත්ති අයිනෙ ලොකු වීදුරු බෝතල් තියල තිබුණ

එක බෝතලයක දාල තිබුණ සර්ප හැවක්…

මල්ලි අර…

ඊ….යා මොකාගෙද ඒක….?

බය වෙන්ඩ එපා ඒක හැවක් විතරයි. සර්පය නෑ…

සර්ප හැවේ ඇස් දෙක තියෙන තැන මුතු ඇට දෙකක් වගේ දිලිසෙනව..පෙනුමෙන් නම් නාගයෙකුගෙ..

ඒ ඇරෙන්න බිත්තියෙ එල්ලපු ගෝන අං තට්ටුවක්…  පරණ පුටු, ආදී  නානාප්‍රකාර ලට්ටලොට්ටත් තිබුණ

අක්කෙ අනේ අපි බහිමුද???

මල්ලි අහන්නෙ බයෙන් වගේ…

පොඩ්ඩක් ඉන්ඩකො….

මම බෝතල් ගොඩෙන් මෑත් වෙලා බිම තියල තිබුණ ට්‍රංක පෙට්ටියක් ඇරල බලන්න ලෑස්ති වුණා.

මොනවද අක්කෙ ඔය…..?

දන්නෙ නෑ… බලන්ඩ ඕනෙ…. මම රහස් හඬින් කිව්ව..

කරං….බෙලෙක් හඬක් නගමින් ට්‍රංක පෙට්ටිය විවෘත වුණා

ආ….. පොත් ගොඩාරියක්….

මම දණ ගහගෙන පොත් පිරුණ ට්‍රංක පෙට්ටිය ලඟ වාඩි වුණා…

මලයත් වාඩි වුණා ඒ පාර…

මම එක පොතක් අරන් පෙරලල බැලුව…

ලංකා ඉතිහාසය…. සරත් ඥානසිරි…

ආ චූටි මාමගෙ..

චූටි මාම ආව ද දන්නෙ නෑ…

මලයට ආයෙත් මතක් වුණා මාමව..

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය….. රුක්මණි ආරියලතා

මේක පුංචි අම්මගෙ

අක්කෙ අර මොනවද? චිත්‍ර පොත් වගයක් නේද?

මල්ලි පෙන්නූ පොත්වලින් එකක් අරගෙන පෙරලල බැලුව..

හානේ චිත්‍ර කතා පොත්… චූටි මාම පොඩි කාලෙ ඇඳපු එකක්ද කොහෙද…?

අපි දෙන්නම එතන ඉඳගෙන චිත්‍ර කතා කියවන්ඩ වුණා..

ඒක ඉස්කෝලෙ යන වයසෙ තරුණයෙක් හා තරුණියකගෙ ආදර කතාවක් වගේ තමයි මට දැන් මතකෙට එන්නෙ… මගේ වයසෙ ඉන්න කෙනෙක්ට නොගැලපෙන එකක් . ඒ කාලෙ ඒ වයසට අපි කියවන්නෙ ළමා කතා නෙ ඒකයි එහෙම කිව්වෙ, දැන් කාලෙ නම් පුංචි ළමයි ඇටෙන් පොත්තෙන් ඉදෙනකොටම පැහිල ඉදිල බිමටම නැමිල නෙ…ඔය වෙනකොට මලයටත් අකුරු ගැට ගහ ගහ කියවන්ඩ පුලුවන්…. මම නම් ඒ කාලෙත් අතට අහුවෙන හැම දේම කියවනව… වෙන එකක් තියා හාල්මැස්සො කරවල ඔතාගෙන එන පත්තර පිටු විසි කරන්නෙත් කියවල ඉවර වෙලා තමයි…

මලයත් ගන්නව එතනින් චිත්‍ර කතා පොතක්. එයත් ඉතිං මගෙන් තේරෙන්නෙ කතාවෙ තේරෙන්නෙ නැති තැන් අහ ගනිමින් කතාව කියවනව…

බලාන ගියාම චූටි මාම නම් නොකරපු වැඩක් නෑ වගේ නේද අක්කෙ?

මල්ලි අහනව….

හ්ම්….

කියවීමට බාධා වෙනවට මම උත්තර දෙන්නෙත් තනි අකුරෙන්

චූටි පුතේ…..!

අම්මගෙ හඬින් අපි දෙන්න පියවි ලෝකෙට එනව…

ඉන්නෙ සොල්දරේ උඩ හොරෙන් කියල අමතක වෙලා අපි දෙන්නම කෑ ගහනව

ඇයි අම්මේ…….

මගෙ අම්මේ … නැගල නේද මුන් දෙන්න සොල්දරේ උඩට ඈ….මොකෙක් හරි ඉඳල කෑවනං එහෙම….

අන්ඩක් කඩාගන්ඩ තමයි ඔය හදන්නෙ දෙන්නෙක්කල….

හිමින් හිමින් තරප්පු පෙළ බහින අපි දෙන්නට ආච්චි අම්ම ගෝරනාඩු කරන්නෙ ආදරේට

ගමේ ගෙදර සොල්දරේ කියන්නෙ ගඟට  තරම් මම ආසා කරපු තැනක්.

ගමේ යන හැම වතාවකම මමයි මල්ලියි සොල්දරේ උඩට නැගල පොත් කියවනව.සොල්දරේට නගින එක අපිට දැනෙන්නෙ  හරියට නිධානයක් ගන්ඩ යනව වගේ.මේ සොල්දර සම්බන්ධව මගේ ලොකු ඇල්මක් තියෙනව මොකද මන්දා….

මේ පහුගිය කාලෙක පෙම්බරයගෙ මහ ගෙදර ගිය වෙලාවෙ මම ඒ ගෙදර සොල්දරේටත් නැග්ග….

කිසිම වෙනසක් නෑ…. පරණ පොත් පත් පින්තූර පිරිල… මට ආසාවෙ බෑ…. අපි ආපහු පිටත් වෙන්න හදිසියෙන් හිටපු නිසා මට අවශ්‍ය තරම් වෙලාවක් සොල්දරේ උඩ ඉන්න නම් බැරි වුණා….

ඒකට මක් වෙනවද….? ආයෙත් ගිය දවසක බලනවා…

 

ඔන්න මට ඒ ගෙදරිනුත් නිධානයක් හම්බ වුණා එහෙනං….

 

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

8 Responses to සොල්දරේ නිධානේ……!

  1. රාළ පවසයි:

    ඉතිං ඒ ගෙදරිනුත් නිධානයක් හම්බ උනා කිව්වෙ ආයෙ කොයි ගෙදරින්ද හම්බ උනේ . . . ?

  2. සෝරෝ පවසයි:

    පොඩි කාලේ අපේ ආච්චියම්මාලාගේ ගෙදර ගියාමත් මගේ වැඩෙත් සොල්දරේට නගින එක..
    මාර වැඩේ කියන්නෙ ඒකේ තිබුනෙත් වැඩි හරියක් චිත්‍ර කථා පත්තර….

    ඉස්සර චිත්‍ර කථා පත්තර හිට්වෙලා තිබුන කාලයක්තියෙන්න ඇති නේ (දැන් බ්​ලොග් වගේ) ……

    ජය වේවා…!!

    • ඒක තමයි. මම කියන චිත්‍රකතා පත්තරවල ගිය ඒව නෙවෙයි. ඒව චිත්‍ර ශිල්පියෙක් වෙන අපේ චූටි මාම කොල්ල කාලෙ ඇඳපුව.
      ඔයාලගෙ ආච්චිඅම්මලගෙ ගෙදරත් සොල්දරේ චිත්‍රකතා පත්තර තිබුණ නම් හැම ගෙදරකම සොල්දර තියෙන්නෙ චිත්‍ර කතා තැන්පත් කරන්ඩ වෙන්ඩ ඇති

  3. abeetha පවසයි:

    අදයි ගොඩ උනේ… දිගටම එන්න ඕන මේ පැත්තේ….

  4. පවසයි:

    අපේත් දෙපැත්තේම මහ ගෙවල් වල සොල්දර තියෙනවා දෙකේම ඔය වගේ දේවල තියෙනෙන. අපිට යන්න තහනම් ඒත් අපි යන්න කැමතිම තැනක්. මොකෙට සොල්දර හැදුවද මන්දා ඒ කාලේ අය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )