සීතාවක ගඟේ නැටුම්…….

සුදු පුතේ….. නැගිටින්ඩකො….. කිරි එක බොන්ඩ….

මල්දෙනියේ සීතල සැපදායක පරිසරයෙදි මලයව උදේට කූද්දන්ඩ අම්මට සෑහෙන්ඩ මහන්සි වෙන්ඩ වෙනව.

ආං ආතා මීමින්නෙක් අල්ලං ඇවිත් පුතාට කියල…..

නැගිටින්ඩකො අද අපි ගඟේ නාන්ඩ යනව….

පරණ තැටි කීපයක් වාදනය වුණා…

ම්හ්…. ආං අර ඉස්සරහ කාමරේ ඉන්නෙ කවුද කියල බලන්ඩකො…

ලො කු මා මා…..

මල්ලී නිදිබර හඬින් කියනව…

නෑ නෑ…. බලන්ඩකෝ ගිහිං

චූටි පුතා බලන්ඩ එහෙනං ගිහින්.

කවුද අම්මෙ ඉන්නෙ…..

කුතුහලයට පත්වෙච්ච මාත් අහනව…

අම්මා…. මට යමක් රහසින් කියනව….

ඔන්න ඒක දැනිල මලය දඩි බිඩි ගාල දුවගෙන ගිහින් ඉස්තෝප්පු කාමරේට එබෙනව.

බලනකොට ඊයෙ රෑ අපි නිදාගන්නකොට හිටිය ලොකුමාමට අමතරව තවත් කෙනෙක් කාමරේ නිදි

චූටි මාමා……!

අපේ මලය පැන්න ගමන් චූටි මාම නිදාගෙන ඉන්න ඇඳට පනිනව.

ආ කොහොමද කොල්ලො…..?

මාමගෙ හඬ තාමත නිදිබරයි.

නැගිටින්ඩකො නැගිටින්ඩකො….

අනේ පුතේ…. මාමට නිදාගන්ඩ දෙන්ඩකෝ… ඊයෙ රෑ වෙලානෙ මාම ආවෙ…

එ වුනාට මල්ලි නෙවෙයි අතාරින්නෙ.

මිනිහ යුද්ධ ප්‍රකාශ කරනව මාමත් එක්ක.

ඒ යුද්දෙ සද්දෙට ලොකු මාමත් ඇහැරෙනව.

ඔන්න ඉතිං අපි දෙන්නගෙ ගමේ නිවාඩුවෙ රසම රසබර තවත් දවසක් ඇරඹෙනවා…..

අනේ අපිව ගඟේ එක්ක යන්ඩ කෝ….

අපි දෙන්නා උදේ නැගිට්ට වෙලේ ඉඳන්ම මාමල දෙන්නට කරදර කරනව.

මේ මහ පාන්දර ගඟේ එක්ක යනව එහෙම නෙවෙයි…

ආච්චි අම්මගෙ ගෝරනාඩුවෙන් පොඩ්ඩක් මුලු ගැන්නුනත් ආයෙත් මතක් වෙන ගානෙ කියනව…

ඉතින් ඔන්න උදේට ආච්චි අම්මගෙ රතු හාලෙ කිරිබත් ලොකුමාම සිරීපාද කන්ද පාමුල එයාගෙ වසමෙ ඉඳල එද්දි ගෙනාව ඉස්තරම්ම කිතුල් පැණි, හකුරුත් එක්ක සප්පායම් වෙලා ටික වෙලාවකිං අපි දෙන්නාවත් ඉස්සර කරගෙන තාත්තයි මාමල දෙන්නයි ගඟට යන්ඩ පිටත් වෙනව.

අපි දෙන්න තේ වත්ත මැද්දෙන් වැටිල ගඟ තෙක් දිවෙන ගල් පඩි පෙළ දිගේ පහලට දුවන්නෙ ඉහ වහා ගිය සන්තෝසෙන්. තාත්තයි මාමල දෙන්නයි ඉතිං පල්ලම් බහින්නෙ ආ ගිය තොරතුරු කතා කරකර නෙ. ඉතිං අපි දෙන්නගෙ ඉක්මන එයාලට තියේ යැ ජීවිතේ වැඩි කාලයක් ගඟත් එක්කම බැඳිල ඉඳපු නිසා,

අපි දෙන්න ඉක්මනට ගඟ ළඟට ඇවිත් ගං ඉවුර ආසන්නයේ නොගැඹුරු වතුරට බහිනව.

එතකොට වටේ පිටේ ඉඳල අපි ආව ආරංචියට අපි දෙන්නව බලන්න පුංචි පුංචි මාලුවො රෑන් අපේ දෙපා වටා එතෙන්නෙ හරියට කාලෙකින් නෙ දැක්කෙ……කොහොමද සැප සනීප කියල අහන්නා වාගෙ. අපි දෙන්න ගං දියට නැවිලා දෝත පෑවාම මේ මාලු ඊට මත්තෙන් පීනනව.. හැමදාමත් දියට බහින සිය ගණනක් දෙපා වලට හීලැ වෙච්ච මාලුවො…….ඒ දිහා පැය ගාණක් බලන් ඉන්න පුලුවන්.

ආ…. මේ අපේ චූටි මහත්තයයි මැණිකෙයි තනිපංගලමෙ මොකෝ මේ ගඟ ගාව….? කවුරුවත් ආවෙ නැතෙයි…. ?

ඔරුව අරන් එගොඩහට යන්ඩ ආව සීමොං ආතා අපි දෙන්නව දැකල ඇහුව…

නෑ තාත්තයි මාමලයි මග එනව…..

පුංචි මාතියලට ගඟට බයින්ඩ එපා  කිව්ව ලොකු මාතියල එනකා

එගොඩහ යන්ඩ පඩි බහින පොන්නුයි තංගවේලුයි දැක්ක මල්ලි නම් ටිකක් බය වුණා .

හා … යනව නං නැගහල්ලා…..

සීමොං ආතා පොන්නුලට කිව්ව.

මාමලයි තාත්තයි පේන තෙක් මානෙට ආවාම පොන්නු ඔරුවට නැග්ග. පොන්නු නගිනකල් ඔරුව අල්ලාන හිටිය  තංගවේලු දණක් වතුරෙ බැහැල සීමොං ආතට රිට ගහගන්ඩ ලේසි වෙන්ඩ ඔරුව දියට තල්ලු කරල ඔරුවට නැංග. කට්ටියම ටිකෙන් ටික ඉවුරෙන් ඈත් වෙලා ගඟ මැද්දෑවට ගියා…

මාමලා ඇවිත් ඇඳුම් අහවර කරලා දියට බැස්සෙ සෙල්ලම් ගමනින්…

අපි දෙන්නත් ඇදගෙන ගඟේ ටිකක් දුර ගිය ලොකුමාමා අපිදෙන්නට පීනන්න පුරුදු වෙන්න කියල එයාගෙ පිට උඩ තියාගෙන පීනන්න ගත්තා…

ඊට පස්සෙ නහය මිරිකගෙන  වතුරෙ ගිලෙන්න පුරුදු වෙන්න කිව්ව.

අපි දෙන්න ඉතිං පීනනව කියල වතුරෙ බොරුවට ජබිං ජබිං ගාල අත් කකුල් ගහ ගහ දඟලන්ඩ පටන් ගත්ත. චූටි මාමා ගඟ මැදට ගිහින් දිය බුං ගහන්න පටන් ගත්තාම අපි දෙන්නා බලාන හිටියා.

බුං….!

ජබුං!

බලං ඉන්න හරිම විනෝදයි.

යංද අයිය දැහැන්වක පැත්තෙ….?

එගොඩ ඉඳන් මෙගොඩට ඔරුව පදින සීමොං ආතව දැක්ක චූටි මාම තාත්තගෙං ඇහුව…

තාත්ත හිනා වුනා…!

මොකද්ද මාමෙ දැහැන්වක කියන්නෙ?

මල්ලියි මමයි ඇහුවෙ එකටම වගේ.

ඕං බලාගන්ඩකො එහෙනං ඒකත් ………..

කියලා එගොඩ ගිහින් මෙගොඩට පදින සීමොං ආතගෙ ඔරුව ගඟ මැදදිම නවත්තගත්ත මාමා…

සීමොං මාමෙ අපිට දැහැන්වක පැත්තෙ යන්ඩනං ඕනෙ….කියපි

ඉතිං මයෙ මොකෝ… ඔරුව අරං යන එකනෙ… ඕනැ උණොත් මං අනික් ඔරුව අරං යන්නංකො…

සීමොං ආතා උත්තර බැන්ද….

ඔන්න ඉතිං අපි දෙන්නත්, මාමල දෙන්නත්, තාත්තත්, සීමොං ආතගෙ ඔරුවට පැටවුණා. චූටි මාම ඔරුවට  නැගල රිට අතට අරන් මෙගොඩට පැදල සීමොං ආතව බස්සවල ආයෙත් දැහැන්වක බලා රිටි ගහන්න වුණා

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

2 Responses to සීතාවක ගඟේ නැටුම්…….

  1. ගෝල්ඩ් fish පවසයි:

    කෝ අයියෝ ඉතුරු ටික? අනේ ඉක්මනට දාන්නකෝ…

    මේ අක්කේ, කිරිබත් වලයි, හකුරුවලයි රස කොහොමද? කටට කෙලත් උනනවා අප්පා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )