ලොකු මාමයි හල් පිට්ටුයි……

අන්න ලොකු මාම එනෝ……….

ගමේ ගෙදර මිදුලෙ දම්පාට, කහ පාට, සුදුපාට හෙන්දිරික්ක මල් පිපෙනකල් බලාන හිටිය මම ගල් පඩි පෙළ බැහැල ගල් අල්ලපු පාර දිගේ දිව්වා.

මං පිටිපස්සෙන් නූලත් ආවා

ලොකු මාමා එනවෝ කියාගෙන

අපි දෙන්නව දැකල පය ඉක්මන් කරපු ලොකුමාම අපි දෙන්නවම වඩා ගත්ත.

ඇයි ලොකු මාම පරක්කු වුණේ…..?

වැඩ තිබුණනෙ පුතේ…

අපි දෙන්නා වඩා ගත්ත ගමන්ම පඩිපෙළ නැගල මිදුලෙදි අපි දෙන්නව බිමින් තියනවා.

මල්ලිත් එක්ක බෙදාගෙන කන්ඩ….

කඩදාසි බෑග් එකක් මගේ අතට දීල කියනවා…

බූන්දි….

අම්මටි, තාත්තයි, ආතයි, ආච්චි අම්මයි එක්කලා ටිකක් වෙලා කතා කරකර ඉන්න මාමා තුවායක් ඇඳගෙන, දත් මැද මැද පඩි පෙළ බැහැලා ලිඳෙන් ඇගපත සෝදාගෙන ආච්චි අම්මා හදාපු තේ බොන්ඩ එනවා….

ඔන්න ඔය පැට්ටෝල් ලාම්පුව පත්තු කළා නං ලොකු පුතේ…

ආතා කියනවා…

ලොකු මාමා සොල්දරේ උඩ තියෙන පැට්‍රොමැක්ස් ලාම්පුව පරිස්සමින් පහලට ගෙනත් තාත්තත් එක්ක එකතු වෙලා පත්තු කරනවා.

මුලු ගෙදරම එළිය වැටෙනවා…

මාමයි, තාත්තයි ආතයි ගෙදර ඉස්තෝප්පුවෙ ලී පුටුවලට වෙලා ආගිය තොරතුරු කතා කරකර ඉන්නවා….

කුස්සියෙ වැඩකටයුතු අහවර කරලා ආච්චි අම්මයි , අම්මයි දෙන්නත් එකතු වෙනවා

අපි දෙන්නත් ඉතිං කට්ටියගෙ කටවල් දිහා බල බල ඉන්නවා….

ලොකු පුතේ කාල අහවර වෙලා අර හල් ටික දියේ බැඳල ආව නං….

ආච්චි අම්මා කිව්වා…

ලොකු මාමගෙ ඔලුව දෙපැත්තට වැනෙන්නෙ වැඩේ අනුමත කරන්ඩයි.

ඇයි ආච්චි අම්මෙ කාවද ග‍‍‍ෙඟේ බඳින්නෙ….?

කතාවෙන් අන්දුං කුන්දුං වෙච්ච මල්ලි ඇහුව…

ඇයි ආච්චි අම්ම එයාව බය කරනවනෙ දග වැඩ කරද්දි

තංගවේලු දැක්කොත් එහෙම අල්ලගෙන ගිහින් ගගේ බඳීවි කියල.

කලුපාට උස මහත දෙහෙත සිරුරක් එක්ක තංගවේලු ඈත පාරෙ එනව දකින මල්ලි දුවල ගිහින් සොල්දර තරප්පුව පිටිපස්සෙ හැංගෙනව.

නෑ පුතේ හල් කියන්නෙ ගෙඩි ජාතියක්නෙ… ඇයි අම්ම හවස හිරමනෙන් ගෑවෙ…

ඊයා…. ඒව තිත්තම තිත්තයි නෙ….

ඒ වෙනකොටත් අම්ම ගාල තියපු හල් රස බලපු හින්ද මට කියවුණා

තිත්ත යන්ඩ තමයි ගගේ බඳින්ඩ ඕනෙ

අපි හෙට පිට්ටු හදන්ඩනෙ යන්නෙ….හල්වලින්….

ඔය කිව්වට එච්චර තිත්ත ජාතියකින් පිට්ටු කන්ඩ පුලුවන්ද?

මං තනියම කල්පනා කළා මිසක් කාගෙංවත් අහන්ඩ ගියේ නං නෑ…

රතු කැකුලු හාලෙ බතුයි, මිරිස් ගලේ අඹරපු තුනපහ දාල අලයි හාල්මැස්සොයි එකට උයල හොද්දයි, මියන දලු ඇඹුලයි,  පපඩම් බැදලයි, අපේ රාත්‍රී භෝජනය  නම් හරිම අපූරුයි.

අපි අදටත් හරිම ආස ආහාර වේලක්….

අද කාලෙ ලේසියට හැමෝම වගේ මිරිස් සරක්කු කඩෙන් ගන්නව එහෙම නැත්නම් තමන් බැදලා මෝලකට දීල කොටවගන්නව. ඒත් ගලේ අඹරපු පහේ දැම්මම හොද්දක රස තීව්‍ර වෙන හැටි  අත් දකින්න නම් පින් කරල තියෙන්න ඕනෙ. (දැන් කාලෙ ගෙවල්වල මිරිස් ගල් තියෙන්ඩ එපැයි ඔක්කොටම කලින්)

ඉතින් මේ රාත්‍රී භෝජනේ අහවර කරල ආච්චි අම්ම දෙන හල් පොට්ටනියත් අරන් ‍ලොකුමාමා පල්ලම් බහින්නෙ හල් පොට්ටනිය ග‍ං ඉවුරෙ පෑදිච්ච මුලක බැඳල එන්න.

ඒක පාන්දර ජාමෙ ආපහු ලිහල  ගේනකල්ම ගලා යන වතුරෙන් හල් ටික සේදිලා සේදිලා  තිත්ත ඉවත් වෙනව.  මේව අරගෙන ඇවිත් තමයි හල් පිට්ටු හදන්නෙ.

මට නම් හිතාගන්නත් බැරි වුණා ඒතරම් තිත්ත දේකින් කොහොමද ඒවගේ රසවත් පිට්ටු හදන්නෙ කියල…..

මේ පහුගිය කාලෙක අපි ගමේ යද්දි පාර අයිනෙ ගෙදරක හල් ගෙඩි විකුණන්න තියෙනව දැකල අම්මයි චූටි මාමයි ඒව අරගෙන ආවා. එදා අපි තිත්ත යන්ඩ කියල කළේ කෘත්‍රිම ගඟක් හදපු එක. ඒ කියන්නෙ ටැප් එක බාගෙට ඇරල හල් පොට්ටනිය ටැප් එකේ බැඳපු එක.

මම ලියන මල්දෙනියෙ විත්ති කියවන රවී අයිය අහල තිබුණනෙ හල් පිට්ටු කාල නැද්ද කියල…  ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙත් හල් පිට්ටු කෑවෙ එදා තමයි….

ඒත් හදන හැටි නං හරියටම දන්නෙ නෑ. අද ගෙදර ඇවිත් අම්මගෙන් අහ ගන්න හිටියත් බැරි වුණානෙ….

මක් වෙනවද… මං නොදැනගත්තට

මේ ඉන්නෙ දැනමුතුකං තියෙන මගේ යාලු මිත්‍ර පිරිස….. එයාල ලියයිනෙ හල් පිට්ටු හදන හැටි ගැනත් ….

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

9 Responses to ලොකු මාමයි හල් පිට්ටුයි……

  1. Ravi says:

    හල් වල තිත්ත අරින්න ගලා යන වතුර පාරක බැඳල තියනව කියන කාරණේ ඇරුනම මම හිතන විදිහට හල් පිට්ටු හදන්නෙ සාමාන්‍ය පිට්ටු හදන විදිහටමයි, වැරදිනම් දන්න කෙනෙක් නිවැරදි කරත්වා!

    • හල් දියේ බඳින්නෙ තිත්ත යන්න… එහෙම නැතිව පිට්ටු හැදුවොත් නම් කන්න වෙන්නෙ නෑ රවී අයියෙ….

      • Ravi says:

        හරි, නංගි, වතුරෙ තියන කතාව මම දන්නව, අපෙ අත්තම්ම තිබ්බෙ වක්කඩක, මම කිව්වෙ එතනින් පස්සෙ මම දන්න විදිහට සාමාන්‍යයෙන් පිට්ටු හදන ක්‍රමයටමයි හදන්නෙ කියල,

  2. ඔවු අයියෙ ඔයා හරියට හරි .. මං අම්මටත් කතා කරල තකහනියක් ඇහැව්ව. හල් දියේ බැඳල ගෙනල්ල වතුර මිරිකනව. එතනින් පස්සෙ සාමාන්‍ය පිට්ටු හදන විදියම තමයි ලු. මම ළඟදි අපේ පෙම්බරයගෙ අම්ම හදලා තව රස කෑමක් කෑව. ඒ තමයි උඩබැලුං. මාතර පැත්තෙ රසකැවිල්ලක්. අයිය කාල තියෙනවද?

    • Ravi says:

      උඩ බැලුං කියන්නෙ නඟෝ, උඩරට කෑමක් මම දන්න විදිහට, මාතරත් තියද දන්නෙ නම් නැහැ, කාලා නම් නැහැ, කන කොට කුඩු වෙලා වැටෙන නිසා උඩ බලාගෙන තමයි කන්න ඕනෙ කියලයි අහල ඇත්තෙ,

      • ආං හරි… ඒව තමයි.. මම නම් දෙපාරක් කාල තියෙනව හැබැයි මාතර පැත්තෙන්ම තමයි ආවෙ දෙපාරම… ඒ පැත්තේ මේවට ගොදුරු කියලත් කියනව. උඩරට ඇත්තොත් උඩ බලනව කියල දන්නෙ අදයි… අයියට බොහොම පින් මේ ගැටලුකාරී තැන්වලදි මට උපකාර වෙනවට…..කියවනව විතරද? ලියන්න අදහසක් නැත්ද…. නැත්නම් අයිය ලියනව මම දන්නෙ නැද්ද?

  3. Buru says:

    රස ලියුම් අස්සේ කොමන්ට නොදා ආවේ? ඒත් මම මේ කෑම එකක්වත් කාල නෑ නේ.
    ඔබගේ සටහන් මට හරිම සමීප භවක් දැනෙනවා..
    දැන් ඉතින් හල් කන්නයි උඩ බැලුම් ගන්නයි එන්න වෙනවා ලංකාවටම…..

    • උඩ බැලුම් නම් ගිය සතියෙ අපේ පෙම්බර ඇත්තල අපේ ගෙදර එද්දිත් ගෙනාව මට බූරු ව මතක් වුණා ඉතිං…. දෙන්නෙ කෝමෙයි???

      • Mani says:

        අපේ ගෙදරත් හැලප හදනවා අහම්බෙන් මේ ලිපිය දැක්කේ.ආච්චි කෙනෙක් තමා හල් ගෙනත් දුන්නේ..උඩ බැලුම් කියන්නෙ මොනවද..?ඒවා හදන්නෙ කොහොමද..?❤️

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s