කී ෙරාටී……!

කියුක් කූ…………………..

කියුක් කූ………………….

අපි අවදි වෙන්නෙ නම නොදන්නා කුරුල්ලෙකුගේ නාදයක් කඳු වලල්ලේ වැදී දෝංකාර දෙන හඩින්. ඒත් නිදිගැට හැරලා ඇඳෙන් නැගිටින්න නම්  කම්මැලියි. හරිම සීතලයි. ඉතින් මල්ලියි මමයි දෙන්නා තවත් තාත්තට හේත්තු වෙලා පොරෝනය ඇතුළට රිංගලා හැංගෙනවා.

කෝ මගෙ පැටවු දෙන්නා….?

ආච්චි අම්මා අපි දෙන්නව හොයනවා….

ඒ හඩ අපි දෙන්නාගෙ අලස ගතිය අකාමකා දාලා ඉද්ද ගැහුවා වගේ ඇඳෙන් නැගිටින්න දුන්න දිව ඔසුවක් වගේ.

ආච්චි අම්මේ බඩගිනියි…..

අපි දෙන්නා නැගිටපු ගමන් ආච්චි අම්මා වටේ කැරකිලා එයාගෙ චීත්ත රෙද්දෙ එතෙනවා.

හා … යං යං දෙන්නම කිරි බොන්ඩ…

ආච්චි අම්මා අපි දෙන්නවත් අරන් කුස්සියට යනවා. අම්ම නම් උදෙන්ම නැගිටලා…. මෙන්න අපි කුස්සියට යනකොට මුට්ටියක් ලිපේ තියාගෙන හැඳිගානවා.

ආ මේ නැගිටල තියෙන්නෙ දෙන්නා….

ආතත් නැගිටලා කුස්සිය පැත්තට එනවා.

ආච්චි අම්මා උදේම සුද්දිගෙන් දොවල ගෙනාව කිරි උණූ කරල නිවෙන්න ලිපෙන් බාලා තියල තමයි අපිව අවදි කරන්න ඇවිත් තියෙන්නෙ

මටයි, ආතටයි කෝපි හා සීනි යහමින් දාපු උණු එළකිරි කෝප්ප අතට දෙන ආච්චි අම්මා මල්ලිගෙ කිරි කෝප්පෙ තව ටිකක් නිවෙන්න කියල කළගෙඩියෙන් කොරහට වතුර ටිකක් නවල ඒක ඇතුළෙන් තියනව.

කුස්සියෙ මුල්ලෙ හේත්තු කරල තිබ්බ පැදුර කුස්සියෙ බිම එළලා, ඒක උඩින් දරණුවක් තියන ඇය

ඔය මදෑ ලොකු දුවේ…..

කියා අම්මට කියනවා

අම්මා අස්කඩේකින් අල්ලලා පරිස්සමට ලිපේ තියෙන මුට්ටිය බාලා දරණුව මත තියනවා.

ආච්චි අම්මා කලින් දවසේ රාත‍්‍රියෙ උයල පරිස්සමට වහල තිබ්බ ගෙඩි ආප්ප වට්ටිය පැදුරට ගන්නෙ මේ සේරම පහිණිපත් ටික ඉවර වුණාමයි.

මොනවද ආච්චි අම්මෙ හදන්නේ…..?

මල්ලි සුපුරුදු පැණ මල්ල ලිහාගෙන.

ආච්චි අම්මා කී රොටී හදන්ඩයි යන්නෙ….

මම කියන්නෙ අති පණ්ඩිත ලීලාවෙන්

ඇත්තද ආච්චි අම්මේ….?

මල්ලිට මා කියන්නක් විශ්වාස නැත.

ඇත්ත තමයි පුතේ…. කී රෙටී හදන්ඩයි යන්නෙ…..

ඒ ආතා……..

කොහොමද කී රොටී හදන්නෙ….?

පැණ මල්ල ආතා දෙසට හැරෙයි…

ඔන්න බලාගන්ඩකෝ ආච්චි අම්මා හදනකොට…..

වට්ටියෙන් ගෙඩි අප්ප එකින් එක අරගෙන, ලිපෙන් බාල දරණුව උඩ තිබ්බ ඉගුරු, ගම්මිරිස් හා පොල් අඹරලා දාපු උණු පැණි මුටිටියෙ අහුරණ ආච්චි අම්මා.

ඔය කිරි එක දරුවට දීල පුතාටත් අවදි කලා නං ෙලොකු දුවේ උණුවෙංම කී රොටී කන්ඩ

කියල අම්මට කියනවා.

ආ… හොරගෙඩියො දෙන්නා මටත් කලින්ම නැගිටලා නේද…?

කුස්සිය පැත්තෙන් එන සුවඳ දැනිලාදෝ තාත්තාත් අවදි වෙලා ඒ පැත්තට සේන්දු වෙනව…

මං එහෙනං බුලත් කොරටුව පැත්තෙ ගිහිං එන්නංකො…

කිරෙන් සප්පායම් වුණු ආතා මිටි පුටුවෙන් නැගිටිනව…


ඔය උණුවෙංම කී රොටියකුත් කාලම ගියානංනෙ අගේ….
ඔය ළමයින්ට දීල හිටින්ඩකො… මට පස්සෙ බැරියැ….
ආතා බුලත් කොරටුවට යන්න පිටත් වෙනවා.

ඔ්ං කී රොටී හරි…..

අාච්චිඅම්මගෙ හිනාව මල් දාහක් ඒකතැන පිපුණා වාෙග්

පුතාට එහෙනං බෙදලා දෙන්නංකො කන්ඩ…

ආච්චි අම්මා මල් පිගානට කී රොටී බෙදලා කොලොම්බු කැටයක් උඩ ඉඳගත්ත තාත්තගෙ අතට දෙනවා.

අපිටත් ඔ්නේ අපිටත් ඔ්නේ………………

අපි දෙන්නම තාත්ත ළගට යන්නෙ එකපාරටම…

හා හා ඉන්ඩ ඉන්ඩ නිවුණාම බෙදලා දෙන්නං කො දෙන්නට…

ඒ වුණාට අපි දෙන්න නෙවෙයි තාත්ත ළගින් හෙල්ලෙන්නෙ…

ඉතිං තාත්තා කී රොටිය කෑලිවලට කඩලා නිවෙන්න තියලා අපි දෙන්නට කවන්නෙ එයා කන්නත් කළින්.

සුදු පාටට මුට්ටියෙ අහුරපු සුදු පාට ගෙඩි ආප්ප පැණි අහලා මීවද වගේ වෙලා….

ඉගුරු, ගම්මිරිස් රස මුසු වුණු පැණි බේරෙනවා.

පුදුම රසක්…. ඒ රස වචනයෙන් විස්තර කරන්න නම් මට බැරි වෙයි…. කී රොටී කාල තියෙන කවුරු හරි මේ සටහන බැලුවොත් මට උදවු කරන්න ඒ රස අපේ මිත‍්‍ර සමූහයාට පහදන්න.

කී රොටී…..

මම මගෙ ජීවිතේ කාපු රසම කෑමක්…

මම කොච්චර ආසයිද කියනව නම් උසස්පෙළ සමත්වෙලා මොනවද කන්න හදල ඔ්නෙ කියල අම්ම ඇහුවම මම කිව්වෙ මට කී රොටී හදල දෙන්න කියල. අම්ම තකහනියක් හාල් දිය දාල කොටාන ඇවිත් ෙගඩි ආප්ප උයලා පහුවදා ම මට කී රොටී හදලා දුන්නා….

එදා දවස මට අද වගේ මතකයි…. එදා අම්ම කී රොටී හදනකොට අපේ ගෙදර කුස්සිය පුරා විහිදිච්ච සුවඳ අවුරුදු ගාණක් පිටිපස්සෙ හැංගිලා තිබුණ මගේ රසබර මතකයන් අවදි කළා. ඒත් පන් පැදුරෙ ඉඳගෙන ආච්චි අම්මා හදන තුරු බලන් ඉඳලා තාත්තගෙ පිගානෙන් කනකොට දැනිච්ච රස නම් දැණුනද කියල සැකයි..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි, මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

21 Responses to කී ෙරාටී……!

  1. yajith පවසයි:

    අහලා වත් නැති කෑමක්. චැහ්..! කවුද ඉතින් මේව අපිට හදලා දෙන්නෙ. දුක තමා.

  2. රාළ පවසයි:

    අනේ මන්ද අප්ප
    ඔයත් එක්ක නම් බෑ ඔන්න
    මම මේ රෑට කාල එහෙම මේ ඔයාගේ බ්ලොගය කියවන්න වාඩි උනා….
    ආයෙම බඩගිනියි ඒක කියවල ඉවර වෙනකොට.
    කී රොටී…..
    මම කාලත් නෑ . . .
    ඒත් මේක කියවනකොට රස නම් දැනුන.
    ඔයා නම් මාරම ලේකිකාවක් තමා.
    මට නම් ඊරිසියයිත් එක්ක.

  3. රාළේ,
    පෙරේත වෙන්න එපා ඔන්න. ඒක රෑට කන කෑමක් නෙවෙයි. ඒවා හදන්නෙ සබරගමු පලාතෙ ගෙවල්වල උදේ කෑමට

  4. පුතා පවසයි:

    හෙඩිම දැක්ක ගමන්ම අවුරුදු පහළවකටත් එහාට මතක් වුනා… කී රොටී සබරගමු පළාතේ විතරක් නෙවෙයි නුවර පැත්තෙත් තිබුන කෑමක්.. දැන්නම් කොහොමද දන්නේ නෑ.. මමත් කාලා තියෙන්නේ කිරි අම්මා හදපු කී රොටී තමයි… කී රොටී කන්ට සීනියි පොල්කිරියි එකතු කරලා හදපු හොද්දක් වගෙ එකකුත් ගන්නවා වගෙ මතකයි…

  5. සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
    සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
    විස්තර “සින්ඩි ලංකා” හි
    “සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම” පිටුවේ.

  6. ශාලිනී පවසයි:

    හ්ම්ම්ම්…. කී රොටී අන්තිමට කෑවෙ සති දෙක තුනකට කලින්….. මේක කියෙවුවට පස්සෙ ඔන්න ආයෙත් කී රොටී බඩගින්නක් ආවා 😀 සබරගමුවෙ වගෙම නුවරත් කී රොටී ප්‍රචලිත කෑමක්!

  7. Ravi පවසයි:

    කී රොටී නුවර පැත්තෙත් සුප්‍රකට කෑමක් තමා, අපෙ අත්තම්ම ඉන්න දවස්වල මමත් කාල තියෙනව පොඩි සන්දියෙදි,ඔයා හල් පිට්ටු, කිතුල් තලප එහෙම කාල නැතෙයි?

  8. බුද්ධි නංගා පවසයි:

    අනේ …!!! ලoකාවට ආ දවසක මටත් අම්මට කියල කී රොටී උයල දෙනවද අක්කෙ ????

  9. ශාලිනී පවසයි:

    නෑත්තන් වෙලාවක අපේ ගෙවල් පෑත්තෙ එන්නකෝ, හදලා දෙන්නම් 😀 මේ දවස් වල උදේට තියන සීතලට නම් පැනි රසත් එක්ක හීනියට ගම්මිරිසුයි ඉගුරුයි රස දැනෙන කී රොටී කියාපු කෑම! කී රොටී කාල තියෙන කවුරු හරි මේ සටහන බැලුවොත් මට උදවු කරන්න ඒ රස අපේ මිත‍්‍ර සමූහයාට පහදන්න කියලා ඔයා කිවුව නිසා පොඩි උත්සාහයක් දෑරුවා, ඒත් ඉතින් රසක් කොහොමද ලියලා පෑහෑදිලි කරන්නෙ කාලම බලනවා මිසක්, නේද? මට මතකයි අපේ අම්ම කියනවා ඉස්සර කුඹුරු වැඩ පටන් ගත්තම කී රොටී හදන්නෙ මහා පරිමානෙන් කියලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )