අම්මා උපන් ගමට යමු….

හූඃ

හූඃ

අම්මයි තාත්තයි මාරුවෙන් මාරුවට හූ කිව්වෙ එගොඩ තියෙන ඔරුව මෙගොඩට ගෙන්නගන්ඩ.

සීමොං ආතේ……………………………….ඒ

සීමොං ආතේ…………………………………………………..ඒ

එන්ඩෝ………………………….

අපිව එගොඩට එක්කයන්ඩ එන්ඩෝ…………………………

අපි දෙන්නත් තරගෙට බෙරිහන් දුන්නා.

අපි දෙන්නගෙ සද්දෙ ඇහෙන්නෙ මාස දෙකතුනකට වතාවක් වුණත් සීමොං ආතගෙ කන් දෙක අපි දෙන්නව හොඳට අඳුනනවා.

අපේ සද්දෙට ගග ඉහත්තාවෙ  හදපු උන්දැගෙ ගේ පොඩ්ඩෙ ඉඳලා එලියට ඇවිත් ඔරුවට නගින සීමොං ආතා ගග මැදක් වෙනකල් උඩු ගං බලා පදිනවා.

ඔහෙ නෙවෙ…………………යි

සීමොං ආතේ…………… අපි මෙහේ………………..ඒ

උඩුගං බලා පදින්නේ ආතාට අපි සිටින ඉසව්ව සොයා ගන්න බැරි වීමෙනැයි සිතන අපි දෙන්නා ආයෙමත් බෙරිහන් දෙනවා.

නෑ පුතේ සීමොං ආතට වැරදිලා නෙවෙයි. ඔරුව මෙගොඩට ගේන්න පදින්නෙ එහෙමයි. ගග මැදක් වෙනකල් උඩුගං බලා පැදල. දැන් ආපහු යද්දි බලන්ඩකො…

තාත්තා අපිට විස්තර කරනවා.

ආ……… චූටි මහත්තයයි මැණිකෙයි ආවැයි අලුත් අවුරුද්දෙ ආතවයි ආචිචිඅම්මවයි බලන්ඩ…?

හොඳා හොඳා…… නගින්ඩකො නගින්ඩකො එහෙනං….

සීමොං ආතා තොටුපොලේ පහළම ගල් බැම්මට ඔරුව කිට්ටු කරනවා. තාත්ත ඔරුවෙ බඳෙන් අල්ලගන්නවා හෙල්ලෙන්නෙ නැතිවෙන්ඩ.

ඔහොම ඉන්ඩ….. දගලන්නෙ නැතුව.

තනියම ඔරුවට නගින්ඩ වලිකන අපි දෙන්නගෙ අත්වලින් අල්ලගෙන අම්මා ඔරුවට නගිනවා. ගගට වැටෙයි කියලා අපි දෙන්නට ඔරුවෙ ඇණ තියාගන්ඩ කියල අණ කරනවා. ඒත් අපි දෙන්න කැමති හිටගෙන ඉන්න තාත්තව බදාගෙන වටපිට බලබල ඔරුවෙ යන්ඩ.

ඔන්න ඔහෙ යන්ඩ දෙන්ඩ… මං අල්ලගන්නවනෙ….

තාත්ත අපිව බේරගන්නව.

හවස් අතේ සැර බාල වෙච්ච ඉර එළිය ගග මැද්දට වැටිලා ඒ එලියෙන් අපේ මූණු රන්වන් පාට වෙනව.

හිමින් හිමින් අපිව එගොඩ කරන සීමොං මාමට රුපියල් පහක් දහයක් මිට මොළවන තාත්තා බෑග් මලු කරේ එල්ලගෙන, අපිවත් ඉස්සර කරගෙන කන්ද නගින්න පටන් ගන්නවා.

සෑහෙන දවසකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවෙ. පාන්දර නැගිටල උයාගෙන පිහාගෙන, පෙම්බරයටයි මලයටයි බත්ගෙඩි බැඳගෙන, රස්සාවට ඉගිල්ලිලා ගොම්මන් කලුවරත් එක්ක, සමහර දාට රාත‍්‍රියෙ ගෙදර ඇවිත් මොනව හරි රත්කරගෙන කාල ඇඳට වැටිල අන්තර්ජාලයට එන්නෙ මොනව හරි ලියන්න කියවන්න හිතාගෙන. ඒත් තෙහෙට්ටුව ඒකට ඉඩ දෙන්නෙ එහෙමත් දවසක තමයි.

මොනවද අනේ… ඔයා දැන් කවියක්වත් ලියන්නෙ නෑ නෙ….? ලියන්නකො අලුතෙන් මොනව හරි.

මම අලුතෙන් යමක් ලියන තුරු මග බලන් ඉන්න පෙම්බරයාගෙන් පෙම්බර චෝදනාවක්

සෑහෙන දවසකට කලින් මම ලියන්න හිතන් හිටපු දෙයක් ලියන්නයි මේ ලක ලෑස්ති වෙන්නෙ.

තාත්ත වියෝ වුනත් අපේ අම්ම දැන් ඉන්නෙ එයා දීග ආපු තාත්තගෙ ගමේනෙ. දැන් නම් එයා පිට ගමකින් ආවද කියලවත් හොයන්න බැරි තරමට ගමටම අයිති කෙනෙක් වෙලා….. ඒත් එයා  වයඹ පලාතෙ දඹදෙනි උඩුකහ බස්නාහිර කෝරලයට ඇවිත් තියෙන්නෙ සබරගමු පලාතෙ සීතාවක ගංගාව අසබඩ පුංචි ගම්මානයක ඉඳලනෙ.

අම්මගෙ උපන් ගම ගැන මට තියෙන සුන්දර මතක සටහන් ගැන ලියන්න හිතුවෙ මා ඉපදුන ගම ගැන සුන්දර මතකයන් නැතිව එහෙම නෙවෙයි. ඒත්… පුංචි කාලෙ අපි ගමට යනව කියල මග බලන් ඉන්නෙත්, පාසල් නිවාඩුවට ගිහින් සතියක් විතර නතර වෙලා ඉන්නෙත් අම්ම උපන් ගම වුණු මල්දෙනියෙ. අපි පාසල් නිවාඩු දුන්න දවසෙ ඉඳන් සූදානම් වෙන්නෙ මල්දෙනියෙ යන්න. ගමේ ආතයි, ගමේ ආච්චි අම්මයි (මල්ලිත් මමත් අම්මගෙ මවුපියන් ඇමතුෙව ඒ විදියටයි.) එවකට තනිකඩයෙක් වුණු ලොකු මාමයි මග බලන් ඉන්නව අපි නිවාඩුවට එනකල්.

ආදරණිය ලොකු දූ විසින් බලාගන්නා ලෙසටයි,

ඔබලාගේ සැප දුක් කෙසේද? අම්මාත් මමත් සුපුරුදු ලෙසින් කාලය ගත කරන්නෙමු. ළගදී අම්මා බෙහෙත් ගන්නට කියා සුදාගේ ගෙදර ගොස් ආවා………..

ඉතින් ලොකු දුව, ෙම් ලිපිය ලියන්නේ නුඹලා මෙවරත් සිංහල අවුරුදු නිවාඩුවට මල්දෙනියේ එනවාදැයි දැන ගැනීමටයි,…………තොරතුරු දන්වා ලිපියක් එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමි.

මීට තාත්තා

ඩබ්ලියු. ජී. ගුණවර්ධන.

නිවාඩුව කිට්ටු වෙනකොට මෙන්න මේ වගේ ලියුමක් ලැබෙනව අම්මට.ඒ කාලෙ ඉතිං අපිට යාන වාහන තිබුණෙ නෑනෙ. බස් එක තමයි දුකට සැපට. ඉතින් ඔන්න කලින් යොදාගත්ත දවසක උදේ පාන්දරින් මුතුගලින් අපි කට්ටිය ඒ කියන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි පිටත්වෙලා ගිරිඋල්ලට ඇවිත් එතනින් නිට්ටඹුවට ඇවිත් රුවන්වැල්ලට, එතනින් දෙහිඔ්විටට යනවා. ඒ කාලෙ බස්එකේ මේ ගමනට උදේ වරුවම යනවා. නිට්ටඹුවෙන් රුවන්වැල්ල පාර වයඹ පලාතත්, සබරගමු පලාතත් අතර භූලක්ෂණමය වෙනස්කම් පෙන්වා දෙනවා. පුංචි කාලේ මේ බර වචන දැනගෙන හිටියෙ නැතත් හැදෙන වැඩෙන පලාතෙ නැති අරුම පුදුම දේවල් මේ යන මග මුණ ගැහෙනව කියල නම් මමත් මල්ලිත් දැනගෙන උන්නා. ශීඝ‍්‍ර බෑවුම් ඇති රබර්වතුවල පොලිතින් කොට සායවලින් සැරසුනු මෝස්තරකාර රබර් ගස් වටේට හිසේ රෙදි කඩක් බැඳගත් ගෑනු කැරකෙන්නෙ කිරි කපන්න, ඔට්ටපාලු එකතු කරන්න. පාර හරියට රබර් වත්ත මැදින් ඇදෙන නයෙක් වගේ. බස්එක වංගු වංගු කැරකි කැරකි මේ නයාගෙ පිට උඩ හිමින් හිමින් ඇදෙනවා. මල්ලියි මමයි ඔය රබර්වතුවල මැද්දෙ මතුවෙලා තියෙන බෝල බෝල ගල්වලට අලියො කියල කෑගහනව. ඔය පාරෙ මම ආසම තැනත් තමයි පාර දෙපැත්තෙ කහපාට රුක් අත්තන වවපු වංගුව. පුංචි කාලෙත් මට ඒ වංගුව දැක්කාම වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සතුටක් දැණුනා මතකයි.

පහුගිය කාලෙ අම්මයි මමයි මල්ලියි අපේ වාහනේ ගමේ ගියා. මම ගමට ගියේ හරියටම අවුරුදු හයකින් විතර.

අනේ……….!

පුංචි කාලෙ දැක්ක වගේම මල් පිපිල අපි එන සන්තෝසෙට හිනාවෙනව වගේ එහා මෙහා වැනෙන මලින් පිරුණු රුක් අත්තන මල් වංගුව දැක්ක මට උඩට ගත්ත හුස්ම ආපහු හෙලන්නත් අමතක වුණා……

ඒකෙන් මේකෙන් කියාගෙන ආව කතාවත් මට අමතක වුණා.

දෙහිඔ්විටින් එහාට අපි යන්නෙ ලක්රාණිගෙ බඩ ඇතුලෙ. ලක් රාණි කියන්නෙ ලොරි බස් එකක්. මේවට වෙනම නමක් තියෙනවද කියල මම දන්නෙ නෑ. ඒක පරණ තාලෙ පොඩි ලොරියක් . මේ ලොරියෙ වටේ ලෑලි ගලවල ඇතුලෙ පැති දෙකේ බංකු හයි කරල තිබුණ. තාත්ත පුංච් අපි දෙන්නව ලොරි තට්ටුවෙන් උස්සල තියනව. අපි බංකුවෙ ඉඳගෙන ලොරියෙ ඇන්දෙ තියෙන යකඩ බට අල්ලගන්නව. රබර් සීට් ටික දෙහිඔ්විට කඩේට දෙන්ඩ, සිල්ලර තුනපහ ටිකක් අරන් යන්ඩ ආව ආව මිනිස්සු සරම් කැසකවාගෙන ලොරි තට්ටුවට නගිනව, බස්එක පිරිල පැත්තකට ඇලවෙලා හිමින් හිමින් ගමන් අරඹනව. කලාතුරකින් අසල්වැසියෙක් හෝ ගම්වාසියෙක් මුණ ගැහුණොත් මිසක් නැත්නම් බස් එකට අපි තරමක් ආගන්තුකයි, එකතු වෙන මිනිස්සුන්ගෙ නානාප‍්‍රකාර කතාවලින් විස්මයට පත්වෙලා කටත් ඇරගෙන ඒ මිනිස්සුන්ගෙ කතාවලට කන්දෙන්න හදන මම අම්මගෙ රැවුම් පාරට ආයෙමත් පියවි සිහියට එනව.

යෝගම බැහැගන්ඩ….

යෝගම බැහැගන්ඩ………..

කොන්දොස්තර මාම කෑගහනව. තාත්ත ලොරි තට්ටුවෙන් බිමට බැහැලා අපි දෙන්නව උස්සලා බිමින් තියල අම්මට බහින්න උදව් කරනවා.

ඇඳුම් මලු බඩු මලු උස්සගෙන අම්මයි තාත්තයි අපි දෙන්නව ඉස්සර කරගෙන පාරෙන් පල්ලම් බහිනවා. යාර සීයක් දෙසීයක් ඇවිදගෙන යනකොට තොටුපොල හම්බවෙනව.

ඔන්න අපි දෙන්න ඔරුවට හූ කියන්නෙ මෙතෙන්දි තමයි…

ඔරුවෙන් බැහැල කන්ද නගින්න තියෙන්නෙ පැතලි ගල් අල්ලපු පටු පඩිපෙලක්. පඩි සීයක් විතර නගිනකොට දුඹුරු පාට පරණ ටකරංවලින් හදාපු තේ ඉස්ටෝරුව හම්බවෙනව. අම්මලගෙ මහගෙදර තියෙන කන්දෙ තේ වත්ත පටන්ගන්නෙ එතන ඉඳන් තියෙන ගල් ලයිසන් කරපු අඩි පාරෙ මගක් ගියාම. අම්මත් තාත්තත් පහු කරගෙන එක හුස්මට පඩි නැගගෙන ඉස්ටෝරුව ලගට ආව අපි දෙන්න පඩියක් උඩ ඉඳගෙන හති අරිනවා.

හා… මොකද??? බොලා දෙන්නට මහන්සිද????

හිමින් හිමින් නැගලා අපිට කිට්ටු කරපු තාත්තා සෙල්ලම් ස්වරයෙන් අපෙන් අහනවා

ඊට පිටි පස්සෙන් ඔසරිය උඩට කැටි කරගෙන කන්ද නගින අම්මත් එනවා.

අපි දෙන්නා නැගිටලා ගල් ලයිසන් කරපු පාර දිගේ ආයෙමත් දුවනවා.

හා හා බලාගෙන… චූටි පුතා…… මල්ලි වැටෙයි. දුවන්ඩ එපා

අම්මා ආයෙත් කෑගහන්නෙ අපි දෙන්න වැටිල තුවාලයක්වත් කරගනියි කියලා බයෙන්. අපි දෙන්නාට මේ තේ වත්තෙ ගිමන් හරින්න අපිදෙන්නම හදාගත්තු විශේෂ ස්ථානයක් තිබුණා. ඒක තේ වත්තෙ මැද හරියක් නගිද්දි ගල් පඩි පෙලට ආසන්නව කිබුණු ගල් පොත්තක්.

කොච්චර මහන්සි වුණත් අපි දෙන්නා බඩ ගාගෙන හරි මේ ගල්පොත්තට ඇවිත් ඒකෙ වැතිරිලා අම්මයි තාත්තයි එනකල් අහස දිහා බලන් ඉන්නවා.

පාට පාට සාරි ඇඳන් කූඩ බැඳගත්ත වත්තෙ දලු නෙළන ගෑනු ඇත්තො මොහොතකට තමන්ගෙ වැඩ නවත්වල කංකානම් මාමට හොරෙන් අපි දෙන්නා දිහා බලනවා.

ආයෙමත් අම්මල ලං වෙනකොට අපි දෙන්න නැගිටල දුවන්න පටන් ගන්නව.

ආතේ………………….

ආච්චිඅම්මෙ……………………….

අපි දෙන්න ඊළගට කෑ ගහනව…

අපේ සද්දෙට ආච්චි අම්ම ගෙදර මිදුලෙ ජම්බු ගහ යටට එනව.

ඒක දකින අපි දෙන්න තවත් වේගෙන් කන්ද නගිනව. තේ පඳුරු මැද්දෙන් කියෙන ගල් අඩි පාර දිගේ දුවල දුවල ගිහින් අපි දෙන්න ආච්චි අම්මව බදාගන්නව.

ආවද මගෙ පැටවු දෙන්න….?

ඇය අපිව සුරතල් කරනව.

ආ මේ ඇවිත් තියෙන්නෙ…..

මං ඒත් බැලුව මොකෝ පරක්කු කියල…..

ඔන්න වත්ත උඩහ ඉඳල ගමේ ආතත් පල්ලම් බහිනව. හිගුරල ටිකක්, දෙලුම් ගෙඩියක්, රඹුටං පොකුරක් උන්දැ අතේ වරදින්නෙ නෑ.

ලක්රාණි අද පරක්කු වුණැයි ලොකු දුවේ……?

පුතේ…. නිවාඩු දැම්මැයි අද…..?

ආතා හිමින් හිමින් නැගල ගෙදරට කිට්ටු කරපු අම්මගෙනුයි තාත්තගෙනුයි අහනව…..

යමු පුතේ ඇතුළට… මාන්සි නැතෑ ඇවිදිං…..

ආච්චිඅම්මා අපිව ගෙදරට කැන්දනවා…..

Advertisements

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in මල්දෙනියෙ විත්ති. Bookmark the permalink.

17 Responses to අම්මා උපන් ගමට යමු….

  1. රාළ පවසයි:

    එක හුස්මටම කියෙව්ව අනේ
    ආසාවේ බෑ.
    මටත් පුංචි කාලෙ මතක් උනා…
    මේ ඒක නෙමේ අපේ පරම්පරාවේ අයගෙ හැම ආච්චි අම්ම කෙනෙක්ගේම ගෙදර ජම්බු ගහක් තිබ්බද අනේ.
    අපේ අත්තම්මලගේ ගෙදරත් එකක් තියනව නෙ.

  2. yajith පවසයි:

    නියමයි! ගොඩක් කැමැත්තෙන් කියවපු ලිපියක්. තව එකක් ඉක්මනටම ලියන්න.

  3. yajith පවසයි:

    රජයේ අවවාදයයි!

    ලැප්ටොප් පරිඝනක අසල තබාගෙන නිදාගැනීම අද සිට තහනම්. LOL!

  4. Ravi පවසයි:

    අපොයි, දෙයියනේ, හරිම ලස්සනයි, ඇත්තටම ලස්සනයි,අපූරුවට ලියල තියෙනවා,

  5. Amila පවසයි:

    “නිට්ටඹුවෙන් රුවන්වැල්ල පාර වයඹ පලාතත්, සබරගමු පලාතත් අතර භූලක්ෂණමය වෙනස්කම් පෙන්වා දෙනවා. ”

    එමෙන්ම ලිපියේ සමහර තැන්වල භූගෝල විද්‍යාත්මක ආභාසයත් දක්නට ලැබෙනවා.
    සතියට දෙවරක් දඹදෙණියේ ගේ ලඟින් යන මට එය පාලුවට ගොස් ඇති බවක් ද දක්නට ලැබෙනවා.
    😀

  6. කාල්,
    ඇත්ත තමයි. සමහර විට අපි නොදැනුවත්ව අපි හදාරපු දේවල ආභාසය අපේ නිර්මාණවලට එක් වෙනවා. මේකත් එහෙම වෙන්න ඇති.
    ඔය සතියකට දෙවතාවක් දඹදෙනියෙ ගෙදර ළගින් යන කෙනා ගෙදර පාලුව යන්නත් එක්ක පොඩ්ඩක් ගොඩ වැදිලා අම්මත් එක්ක කතා කරල ගියා නම් නේද හොඳ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )