පිය සමර

චූටි පුතා…………… මල්ලිත් එක්ක ඇවිත් බත් කන්ඩකො… දැන් රෑ වෙලා නෙ.

හා….. තාත්ත ආවාම කන්නම් අම්මෙ

අනේ තාත්තට ආවාම මහන්සියිනෙ පුතේ මල්ලිත් එක්ක කන්ඩකො ඇවිත්

හවස හය හමාරට පමණ ඉස්තෝප්පු පඩිය මත හිඳ ගන්නා අපි දෙන්නා කොළඹ සිට කුරුණෑගල දෙසට ගමන් ගන්නා සෑම බස් රථයක් දෙසම බලන්නේ විමසිල්ලෙනි.

ඔන්න බස් එකක් එනවා...

බසයක් මුතුගල කන්ද අද්දන හඩට කන්දී සිටින මල්ලී පොඩි කමට කියයි.

බසය නැවතුම්පොලේ නවත්වන විට අපි කඩුල්ල වෙත දුවන්නෙමු

අන්න තාත්තා………..!

නගින බහින මිනිසුන් අතර තාත්තාව දකින මල්ලී සතුටින් ඉපිලෙයි.

ගෙල තෙක් වැවුණු කොණ්ඩය සුලගේ ලෙලවමින් කන්තෝරු බෑගය අතින් එල්ලන් තාත්තා ඈත එනු පෙනේ. අපේ හඩට අම්මාද ගේට්ටුව දෙසට කිට්ටු වන්නීය.

ආ………….. සුදු බල්ලෝ…චූටි බල්ලෝ………. කොහොමද බොලාට….?

බත් කෑවද…? කිරි බිවුවද?

තාත්තා අප වඩාගෙන නාට්‍යමය ලෙසින් අසයි

තාත්තෙ තාත්තෙ අද පාරෙ ගල්රෝලක් ගියානෙ… ලොකුම ලොකුයි ඒක

මල්ලීට තාත්තා ආවාම කියන්නට දහසක් දේ ඇත

හැබෑට …..? කියමු බලන්ඩ එහෙනං විස්තර

දවස පුරා වෙහෙසව, පෑ දෙක හමාරක් බසයේ හිටගෙන ඇවිත් අපේ අතොරක් නැති කතා අසන්නට තරම් තාත්තාට ඉවසීම ඇත

හා… මෙහෙට වරෙව් මීයනේ මෙන්න මෙහෙ වරෙව්

මෙන්න මෙහෙ වරෙව් රෑට කන්ඩ මෙහෙ වරෙව්

තාත්තා මෙසේ කැඳවන හඩට අපි දෙන්නා මුලුතැන්ගෙයි සුපුරුදු ස්ථානවල සැගවෙන්නේ තාත්තාගේ මීයන්ට බත් කවා උන් අල්ලාගන්නා සෙල්ලමට සම්බන්ධ වීමටයි

කෝ මේ මීයො දෙන්නා….?

කොහෙ හරි ඇති හැංගිලා මට පේන්නෙ නැති වෙන්ඩ

අල්ලගන්නංකො අද මං මුන් දෙන්නව

මාලු කෑල්ලක් මැදි කරල හදන්නංකො හොඳ බත් ගුලියක් මං

තාත්තා බත් ගුලි දෙකක් සාදා හැඳි දෙකක තබා එතැනින් ඉවත් වෙයි

අම්මා හා කතාවක පැටලෙයි

ඒ අතර හිමින් හිමින් කිට්ටු කරන මීයන් දෙදෙනා බත් ගුලි දෙකත් ගෙන  නැවත සිටි තැන්වලම සැගවෙයි

පොච්චියේ………………… ආයෙත් පැන්න නේද මුන් දෙන්නා….?

හා ….  හිටපියව්…… මීයනේ ඒ පාර නං හදනව අල කෑල්ලක් මැදි කරල හොඳවැයිං ගුලි දෙකක්

තාත්තා නැවත බත් ගුලි හදයි

සෙල්ලම නිමාවන්නේ වෙනදා බඩගිනි නැතැයි පෙරලි කරන, කෑමට අදිමදි කරන මීයන් දෙදෙනා ගේ කුස පිරී උන් දෙන්නා ස්ව කැමැත්තෙන්ම තාත්තා වෙත බාර වීමෙනි. තාත්තා හීනියට අඩියක් ගසා අම්මා සමග රාත‍්‍රී ආහාර ගන්නේ ඉන් පසුවයි.

තාත්තා ගැන මට ඇති මතක පොතේ දහසකුත් කතා අතර මෙසේ එක් පිටුවක් පෙරලන්නේ එළඹෙන ජනවාරි මස පළමු වෙනිදාට ඔහු අපෙන් වියෝ වී වසර නවයක් සපිරෙන දාට යෙදෙන පින්කමේ වැඩ අතොරක් නැතිව තිබෙද්දීය.

තාත්තේ…..

නුඹ නැති අප ජීවිතේ හිස්තැන නැවත කවදාකවත් පිරෙන්නේ නැතිබව හොඳින් දනිමි.

මෙ සටහන නුඹෙ නමින් පිදෙන්නේ බහ තෝරන වියේ පටන් මා නුඹ ආදරයෙන් එක්රැස් කල පොත් රාක්කය අදිනවිට ඉවසීමෙන් හිඳ මා කියවීමට හුරු කලා වූ

මා පාසැල් ගොස් එනවිට කවියක් ලියා මගේ පොත් මේසය මත තබා

ලියාපන් පිලිතුරු කවියක් යැයි ලියූ,

වැඩට යන්නට කම්මැලි හිතුණාම

ඔන්න ඔහෙ හිටපන් බන් ගෙදර

කියා අප දෙදෙනාද ගෙදර නවත්වාගෙන අතොරක් නැති පිස්සු වැඩ කළ ආදරණීය තාත්තා නමටයි…..

About හංසකිංකිණි

මම සංගීතයට චිත්‍රපටවලට හා පොත්පත්වලට වැඩියෙන් කැමති හදිසියෙම බ්ලොග් එකක් ලියන්න හිතුණ ගෑණු ලමයෙක්.
This entry was posted in අම්මයි තාත්තයි මල්ලියි මමයි. Bookmark the permalink.

10 Responses to පිය සමර

  1. නවම් says:

    හරිම සංවේදී සටහනක් හරිම ආදරණීය තාත්ත කෙනෙක් ගැන ලියවෙච්ච. මං විශ්වාස කරනව තාත්ත දැනං උන්න කියල මෙච්චර ආදරේ කරන දරුවො තමන්ට හිටිය කියල.

  2. හිතවත් නවම්,

    තාත්ත මාව කියවන්න හුරු නොකලා නම් අද දවසේ ඔහු ගැන මෙහෙම ලියන දුවක් නැහැ. ඒ නිසාම වෙන්න ඇති අදටත් පොත් සාප්පුවක් පසු කර ගියත් මට තාත්තව සිහිපත් වෙන්නෙ. තාත්තත් මල්ලිත් අතර තිබුණෙ අමුතුම බැඳීමක්. තාත්ත මල්ලිට ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාම ගෙනත් දුන්නෙ ඩ්‍රිල් එකක්. හා විදින්න භාවිත කරන කටු කට්ටලයක්. තාත්ත නිවාඩු දාල මල්ලිවත් පාසල් යන්න නොදී ගෙදර නවත්තගෙන විවිධ දේ හැදුවා. ගෙදර වඩුමඩුවක් වගේ. මගේ මල්ලි කියන්නෙත් ඔහු ගේ වෘත්තීය ජීවිතයේදී ඇණයක් මුරිච්චියක් දකින ගානෙ තාත්තව සිහිපත් වෙන බවයි. මා හා එක්ව මගේ මතක පොත දිග හරින ඔබට පින්……!

  3. Ravi says:

    හංස කිංකිණි,

    පපුවටම වදින අවංක සැමරුම් සටහනක් සදාදරණීය තාත්තා වෙනුවෙන්,

    මගේ තාත්තා ගැන කිව්වොත් ඔහු කිසිදවසක අපට ඔය විදිහට ආදරය විවෘතව නොපෙන්නුවා උනත් අප කෙරෙහි තිබුනු නොමිනිය හැකි ආදරය මට වැටහුනේ පසු කලෙක උස් මහත් වූ පසුවයි,

    නෙත් තෙත්වූ සටහනක් සියලු තාත්තලා වෙනුවෙන්, හරිම අගෙයි,

  4. රවී,
    ස්තූතියි සටහනට.
    මට අද දැනෙන්නෙ තාත්ත අපි එක්ක හිටිය කාලෙ මදියි වගේ.
    මම දන්නව ඔබටත් එහෙමමයි

  5. yajith says:

    ඔන්න මමත් හදාගත්තා වර්ඩ් ප්‍රෙස් ගිනුම්ක්, කමෙන්ට් කරන්නම කියලා හිතාගෙන! එහෙනම් බලමුකො ඉස්සරහට… 😉

  6. තාත්තේ
    නුඹත් විලක් වගේ
    නිසලයිඒත්…ගොඩාක්
    ගැඹුරුයි

    • පිය සෙනේ
      උල්පතකි
      නොසිඳෙනා

      මහා සම්පතකි
      මිහි මත
      නොපෙනෙනා

      ලපටි දිය කඳුරු
      ඉඩෝරෙන්
      සිඳෙන්නට නොදී
      රැක දෙනා

  7. Maneka says:

    පිය සෙනේ උල්පත.
    හැදූ ණය ගෙවන්නට..
    ඉඩ කඩ නොතබාම…
    සිඳි ගොස් නිහඬවම…..

    • නංගී මේකට පිළිතුරු කවියක් ලියන්න තරම් මගෙ හිත හයිය නෑ. අර ඔයා කිව්ව වගේ අන්තිමට අපි හැමෝම එකම කුලකයකට වැටුනා…. ඊට වඩා මොනව වෙන්ඩද…?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s